29 April 2017

වැඩ කරන කතුන්ටත් රජයේ අනුමත ප්‍රසූත නිවාඩු



වතු කම්කරු කාන්තාවන් සහ ඇඟලුම් සේවිකාවන් ඇතුළු කය වෙහෙසා වැඩ කරන මෙරට සියලු සේවිකාවන්ට දින 84 ප්‍රසූත නිවාඩුව ලබා දීමේදී රජයේ නිවාඩු අතහැර එය ගණනය කළ යුතු බවට තම සංගමය ඉදිරිපත් කරන යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟත්වය පළ කරමින් මෙවර මැයි දිනයේදී ප්‍රකාශයක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පවසයි.

කය වෙහෙසා වැඩ නොකරන කාර්යාලීය සේවිකාවන් සඳහා දින 84 ප්‍රසූත නිවාඩුව ගණනය කිරීමේදී රජයේ නිවාඩු අතහැර ගණනය කරන නිසා ඔවුන්ට දින 100 ඉක්ම වන ප්‍රසූත නිවාඩු කාලසීමාවක් ලැබුණ ද, වතු කම්කරු කාන්තාවන් සහ ඇඟලුම් සේවිකාවන් වැනි කය වෙහෙසා වැඩ කරන සේවිකාවන්ට එම නිවාඩුව ගණනය කිරීමේදී රජයේ නිවාඩු ද එයට ඇතුළත් කිරීම නිසා දින 84 පමණක් ලැබීම නිසා ඔවුන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බවද ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පෙන්වා දෙයි. වැඩ කරන කාන්තාවන්ගේ ප්‍රසූත නිවාඩුව සමබන්ධයෙන් මෙසේ දෙයාකාරකට කටයුතු කිරීම නිසා බරපතළ විසමතාවක් ද මතුව තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තම සංවිධානය කළ දැනුම්දීමකට අනුව වහාම මෙම විසමතාව ඉවත් කරන ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය ද දන්වා ඇතැයි ද ඒ මහතා කියයි. මීට අමතරව මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 60 බවට පත් කරන ලෙසත්, සමුපකාර අංශයට පනවා ඇති බදු ඉවත් කරන ලෙසත්, වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කරන ලෙසත් මෙවර මැයි දිනයේදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කියයි.

ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් මූලස්ථානයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී ය.

No comments:

Post a Comment