18 May 2017

ජුලි 1 දා සිට රාජ්‍ය සේවකයන්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කෙරේ

රාජ්‍ය සේවකයන්ගේ පැමිණීම හා පිටවීම සනාථ කළ හැකි පරිදි ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම ලබන ජුලි මස 01 වැනි දින සිට අනිවාර්ය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක්‌ මගින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට,පළාත් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය හා සංස්‌ථා හා ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල ප්‍රධානීන්ට උපදෙස්‌ දී ඇත.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ඡේ.ඡේ.රත්නසිරි මහතාගේ අත්සනින් යුත් චක්‍රලේඛයක්‌ මගින් එසේ උපදෙස්‌ දී ඇත.

මුදල් අමාත්‍යවරයා විසින් 2017 අයවැය යෝජනාවන්හි අංක 373 යටතේ ද සියලුම රාජ්‍ය ආයතනවල කාර්ය මණ්‌ඩල පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කළ යුතු බවට යෝජනා කර තිබුණි.

මීට පෙර 09/2009 හා 2009.04.16 දිනැති චක්‍රලේඛය මගින් ලබාදුන් උපදෙස්‌ අනුව මෙම ක්‍රමවේදය මෙතෙක්‌ ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති සියලුම රජයේ ආයතනවල චක්‍රලේඛවල විධි විධාන අනුව ඇඟිලි සලකුණු සටහන් කිරීමේ යන්ත්‍ර භාවිත කිරීම මගින් නිලධාරීන් කාර්යාලයට පැමිණීම හා පිටවීම සනාථ කිරීම සම්බන්ධයෙන් වූ වාර්තා තබා ගැනීමට පියවර ගතයුතු බවටද අදාළ චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස්‌ දී ඇත.

No comments:

Post a Comment