19 May 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු එංගලන්ත රට සවාරියට පොරකති



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධානය කරන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා (ICC Champions Trophy) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බහුතරයක් නිලධාරීන් මේ වනවිටත් ලකලැහැස්ති වන බව 'අද' ට වාර්තා වේ.

එහිදී තරගාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ඉහළ නිලධාරීන් මෙන්ම පහළ නිලධාරීන් අතරද තරගයක් නිර්මාණය වී තිබෙන අතර, රට සවාරි යෑමට පමණක් නිලධාරීන්ට මිලියන ගණනක් ඇස්තමේන්තු කර ඇතැයි ක්‍රිකට් ආයතනයේම පිරිසක් චෝදනා කරති.

එමෙන්ම අදාළ රට සවාරි යෑමට නිලධාරීන්ට මේ වනවිටත් 'බිස්නස් ක්ලාස්' ගුවන් ටිකට්පත් ලබාගැනීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇතැයිද හෙළි වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් රේඩියෝව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ හා ඉන්පසුව ඉවත් කළ පහළ නිලධාරියෙකුටද ශූරයන්ගේ කුසලානයට යාමට අවස්ථාව ලබාදී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මෑතකදී ක්‍රිකට් විධායක කමිටුවට පැමිණි නිලධාරියෙකුට හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳකටද නිලවශයෙන් එංගලන්තයේ සංචාරය කිරීම සඳහා ක්‍රිකට් ආයතනයේ මුදල් වියපැහැදම් කර ඇතැයි අනාවරණය වේ.

මේ අතර ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ක්‍රිකට් ආයතනයේ මුදලින් එංගලන්තයට යාමට මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් හිමිව ඇති අතර, මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙකු එය ප්‍රතික්‍ෂේප කර තිබීම සුවිශේෂීය. ඔවුන් පෙන්වාදී ඇත්තේ මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍යවේදීන්ට ලබාදෙන අල්ලසක් හෙයින් මෙම තරගාවලිය සඳහා තමන්ගේ නම් ඉන් ඉවත් කරන ලෙසයි.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු එලෙස ක්‍රිකට් ආයතනයේ මුදලින් රට සවාරි යාම ප්‍රතික්‍ෂේප කර ඇති පසුබිමක තවත් මාධ්‍ය‘වේදීන් 06 දෙනෙකු එම ආරාධනාව භාරගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එංගලන්තයට හා වේල්සයට යාමට ගුවන් ටිකට්පත් ඇතුළු අනෙකුත් පහසුකම් පිරිනමා තිබේ.

ක්‍රිකට් ආයතනය මෙලෙස හිතුමතේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේම පිරිස් චෝදනා කරනුයේ වත්මන් පරිපාලනය මින් ඉවත් වනවිට විශාල මුදලක් ක්‍රිකට් ආයතනය ණය කර යනු ඇති බවටයි. මෙහිදී ඔවුන් ඍජුව චෝදනා එල්ල කරනුයේ වත්මන් පරිපාලනයට හිතැති ඕනෑම පුද්ගලයෙකුට ක්‍රිකට් ආයතනයෙන් වුවමනාවන්ටත් වඩා වරප්‍රසාද හිමිකරගත හැකි බවයි.

ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්ද මේ පිළිබඳ විනිවිද පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර, දූෂිත ගනුදෙනුවලට හවුල් පුද්ගලයන් එංගලන්තයේ ගොස් 'ගල්වනු' ඇතැයි හැඟෙන හෙයින් මෙම මුදල් නාස්තිය හා දූෂිතයන්ට නිසි දඬුවම් ලබාදී ක්‍රිකට් ආයතනය නිවැරදි දිශානතියකට ගමන් කිරීමට අවශ්‍ය නායකත්වය ලබාදෙන්නැයි වැඩිදුරටත් ඉල්ලා සිටිති.

No comments:

Post a Comment