18 May 2017

විකුණන බව දැන මන්ත්‍රීලාට පර්මිට් දෙන්නේ කප්පමක් හැටියටයි



උද්ඝෝෂණ නිසා ජනතාව පීඩාවට පත්වෙනවා නම් ආණ්ඩුව කළ යුත්තේ උද්ඝෝෂණ ඇතිවීම වැළැක්වීම බවත්, ඒවා. වැළැක්විය යුත්තේ ඕනෑ පහර දී නොව නොව ප‍්‍රශ්න විසඳීමෙන් බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මේ ආණ්ඩුව විසින්ම උද්ඝෝෂණ කැඳවා ගන්නා බවත්, කැඳවා ගන්න ආණ්ඩුවම උද්ඝෝෂකයින්ට වැරැද්ද පැටවීමට උත්සාහ කරන බවත් හෙතෙම කියා සිටියේ අද (18) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

ඊයේ වාහන තදබදය ඇතිවුණේ උද්ඝෝෂණය නිසා නොව උද්ඝෝෂකයින්ට පොලීසිය පන්න පන්නා පහර දීපු නිසයි. පොලීසිය සිසුන්ට එරෙහිව යුද ප‍්‍රකාශ කළ නිසයි. පොලීසිය කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර එල්ල කරපු නිසයි ශිෂ්‍යයින් පාරවල් දිගේ දිව්වේ. පාරේ ගමන් ගත් ජනතාවටත් කඳුළු ගෑස් වැදුණේ. ජනතාව පීඩාවට පත්වුණේ උද්ඝෝෂකයින්ගෙන් නොවේ. ආණ්ඩුවේ පොලීසියෙන්.

ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වෙඩි තියලා උද්ඝෝෂණ මර්දනය කරන්න පුළුවන්කමක් නැහැ කියලා. වෙඩි උණ්ඩයෙන් ජනතාව මර්දනය කරන්න හදපු බොහෝ අය ගෙදර ගියා. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලෙත් උද්ඝෝෂණවලට වෙඩි තියලා රතු පස්වලදී තුන් දෙනෙක් මැරුවා. ධීවරයෙක් ඝාතනය කළා. දැන් මහින්ද ගෙදර ගියාට වෙඩි තියපු පුද්ගලයින් බන්ධනාගාරගත වෙලා.

මේ උද්ඝෝෂණ ආණ්ඩුව පෙරළන්න ආපු ඒවා නෙවෙයි. ආණ්ඩුව කියනවා නම් ආණ්ඩුව පෙරළන්න ආවා කියලා ශිෂ්‍යයින්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කරලා ආණ්ඩුව පෙරළීම වළක්වා ගන්න පුළුවන්. මේ සියලූ දෙනා ඉල්ලන්නේ ජනාධිපතිකමවත්, අගමැතිකමවත් ඇමතිකම්වත් වාහනවත් නෙවෙයි. නීති විරෝධී සයිටම් අහෝසි කරන ලෙසයි. සයිටම් වහල දැම්මා නම් ප‍්‍රශ්නය විසඳෙනවා.

ආණ්ඩුවේ ආයතනයකුත් නොවන සයිටම් වහන්න ආණ්ඩුව මේ තරම් මැළි වෙන්නේ ඇයි? සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් කරන උද්ඝෝෂණ ආණ්ඩුව පෙරළීමේ බිල්ලා පෙන්වලා මර්දනය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
ආණ්ඩුව දීලා තියෙන්නේ ඉල්ලපු දේවල් නෙවෙයි. රෝහල පවරා ගන්න කටයුතු කළාට ඒක ශිෂ්‍යයන්ගේ ඉල්ලීම්වල තිබ්බ එකක් නෙවෙයි. ඒ වගේම සයිටම් ආයතනය තනි අයිතිය වෙනුවට කොටස් වෙළඳපොළට දාන එකත් සිසුන් ඉල්ලපු එකක් නෙවෙයි.

ශිෂ්‍යයින් ඉල්ලන දෙයට අදාළ දේවල් නෙවෙයි ආණ්ඩුව කරන්නේ. රෝහල සමඟ ප‍්‍රශ්නයක් නැහැ. රෝහල පවරා ගත්තහම සයිටම් මුදලාලිට ඒක වාසියක්. ආණඩුවේ සල්ලිිවලින් රෝහල පවත්වාගෙන ගිහින් එයාට ඕන වැඬේ කරගන්න පුළුවන්. සයිටම් ආයතනය කොටස් වෙළඳපොළට දැම්මාම සයිටම් මුදලාලි තමන්ගේ මුදලින් මෙම ආයතනය පවත්වාගෙන යනවා වෙනුවට ජනතාවගේ මුදල්වලට එම ආයතනය පවත්වාගෙන යන්න පුළුවන්. දැන් සිසුන් බඳවා ගැනීම නතර කර තිබෙන්නේ ලැජ්ජාවෙන් බේරෙන්න. මොකද, මේ ආයතනයට එල්ල වූ විරෝධය නිසා සිසුන් බඳවා ගැනීම අඩු වෙලා තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් විකිණීම ජනතාව ගෙවන පවක්. ජනතාව ඡන්දය දීලා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එවන්නේ රට හදන්නයි. පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු මුලින්ම කරන්නේ තමන්ට ලැබෙන පර්මිට් එක ලක්‍ෂ 250-300කට විකුණා ගන්න එකයි. එයින් සිදුවෙන්නේ ආණ්ඩුවට ලැබිය යුතු බදු මුදලක් අනියම් ආකාරයෙන් මන්ත්‍රීවරු අතට ගැනීමයි. එය වංචාකාරී වැඩක්.

ජවිපෙ මන්ත්‍රීවරු ඇරෙන්න අනෙක් සියලූ පක්‍ෂවල මන්ත්‍රීවරුන් වාහන පර්මිට් විකුණනවා. ඒ බව දැන දැනත් ආණ්ඩුව පර්මිට් දෙන්නේ කප්පමක් විදිහටයි. මන්ත්‍රීවරුන්ට දේශපාලනයට ආපුවාම ආර්ථික අමාරුකම් අපහසුතා තියෙනවා නම් ගෙදරට වෙලා හිටියා නම් හරි. සමහරු කියනවා කශේරුකාව ගෙවෙන නිසා හොඳ වාහන ඕන කියලා. ඇත්තටම ඔවුන්ට කශේරුකාවක් නැහැ. මේ අයගේ කශේරුකාව ගෙවෙනවා නම් බස් එකේ ගමන් කරන ජනතාවගේ කශේරුකාවට මොකද වෙන්නේ?

මේ අය දේශපාලනයට එන්නේම සල්ලි හම්බ කරන්නයි. මන්ත්‍රී වැටුපෙන්, දීමනාවලින් හම්බ කරනවා. සමහරු කොමිස් ගහනවා. ඇමති වුණාම කොන්ත‍්‍රාත්වලින් හම්බ කරනවා. එනිසා ඔවුන්ට පාර්ලිමේන්තුව කියන්නේ ආදායම් උපයන ඉල්ලමක්. ඒ නිසා ජනතාවයි තේරුම් ගත යුත්තේ මොවුන් ජනතා මුදල් කාබාසිනියා කරන බව.

මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කාරක සභික, පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල සහෝදරයාද සහභාගි විය.

No comments:

Post a Comment