13 June 2017

අවශ්‍ය ප්‍රමාණයට වඩා සියයට 905 ක් වැඩියෙන් බැඳුම්කර නිකුත් කරලා

 2015 පෙබරවාරි 27 වැනිදා වනවිට රජයට අවශ්‍යව තිබූ මුදල් ප්‍රමාණයට වඩා 905% ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳ පොළට ඉදිරිපත් කොට ඇතැයි වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විරේසිංහ මහතා ඊයේ (12දා) හෙළි කළේය.

මීට පෙර වසර හයක කාලයක් තුළදී බැඳුම්කර වෙන්දේසි 248ක් පවත්වා ඇතැයිද, ඉන් සමහර අවස්ථාවලදීද රජයට අවශ්‍ය මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් ප්‍රමාණ ඉදිරිපත් කොට ඇතත් ඒවා 400% ක ප්‍රමාණයට වඩා ඉහළට ගොස් නැතැයිද වාර්තා අනුසාරයෙන් පෙන්වා දුන් රජයේ විගණකාධිපතිවරයා රුපියල් බිලියන 10.058ක් ගැනීමට මෙම වෙන්දේසියේදී රජය කටයුතු කළද, රජයට ලැබුණේ රුපියල් බිලියන 9.658ක් නිසා මෙම වෙන්දේසිය ආරම්භයේදීම රජයට රුපියල් කෝටි 40ක පාඩුවක් සිදු වූ බවද රජයේ විගණකාධිපති ගාමිණී විරේසිංහ මහතා වැඩිදුරටත්  හෙළි කළේය.

සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්) මුදල් මගින් 2015 පෙබරවාරි 27 වැනිදා වනවිට රජයට අවශ්‍යව තිබූ සම්පූර්ණ මුදල් ප්‍රමාණය සොයා ගැනීමට හැකියාව තිබූ බව පෙන්වා දුන් රජයේ විගණකාධිපතිවරයා සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්) මුදල් වෙනත් ඒවායේ ආයෝජනය කිරීමට යෑමෙන් එහි තිබූ මුදල්ද නැති වී ඇතැයි කීය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කොට ඇති මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණෙන ලෙස කොමිසමෙන් කළ දැනුම්දීමකට අනුව රජයේ විගණකාධිපති ගාමිණි විරේසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදුකෙරේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝ්දාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විරේසිංහ මහතා කොමිසම හමුවේ මේ කරුණු හෙළි කළේය.

No comments:

Post a Comment