09 June 2017

ආසියාවේ කළු වෙළඹගේ පදක්කම විකුණන්න යන කවුරුත් නොසිතූ වටිනාකම මෙන්න

ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පසුගිය දිනෙක ඇය දිනාගත් පදක්කම විකුණා දමන බවට පවසා තිබුණා. මේ පිළිබඳව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාද ප්‍රකාශයක් සිදුකර තිබුණු අතර ඔහු විසින් පවසා තිබුණේ එලෙස පදක්කම් විකිණීමට ක්‍රීඩකයින් කටයුතු කරන්නේ නම් තමන් එය අනුමත නොකරන බවයි.

පසුව වාර්තා වුණේ එලෙස පදක්කම් විකිණීම තහනම් කිරීමට නීතියක් අනුමත කරන්නට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බව වන අතර මේ වන විට සුසන්තික ජයසිංහ පවසා ඇත්තේ තමා හිමිකරගත් ඔලිම්පික්‌ පදක්‌කම මිලට ගැනීම සඳහා පිටරටවලින් ඉල්ලීම් රැසක්‌ ලැබෙන අතර එම පදක්‌කම රුපියල් කෝටි විසිපහකට වැඩි මුදලකට විකිණිය හැකි බවයි.

මෙම පදක්‌කමේ වටිනාකම ලෝකයම දැන ගත්තත් අපේ ක්‍රීඩා ඇමැතිවරයා ඒ බව නොදැනීම ගැන තමා බෙහෙවින් කනගාටු වන බවත් පවසන ඇය මෙම පදක්‌කම මෙපමණ වටිනාකමක්‌ තිබෙන බව දැන ගැන්නට ලැබීම ගැන තමා මහත් සේ සතුටු වන බව ද පවසා තිබෙනවා.

ඒ අනුව මෙම පදක්‌කම විකුණා ලබන මුදලින් තමාට ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉදිරි මැතිවරණ කටයුතුවලට පවා උදව් කළ හැකි බවද සුසන්තිකා ජයසිංහ පවසා තිබෙනවා.

සුසන්තිකා මෙම ප්‍රකාශය කළේ එම පදක්‌කම වෙන්දේසි කිරීමට අදහස්‌ කළ බවට පසුගියදා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමකදී ය.

No comments:

Post a Comment