09 June 2017

කටාර් රාජ්‍යය හුදෙකලා කිරීමට අරාබි රටවල් ගත් තින්දුව මගේ ඉල්ලීමක් – ට්‍රම්ප්

ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ඇමෙරිකානු ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය “ත්‍රස්තවාදයේ බියකරු බව නිමාකිරීමේ ආරම්භය” සනිටුහන් කිරීමට ඉඩ තිබෙන බවත් සඳහන් කරයි.

ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටුවනු ලැබීය.

අසල්වැසි රටවල තීන්දුවත් සමග ගුවන් සේවා සමාගම් ගණනාවක් කටාරයේ ඩෝහා අගනුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

අරාබි රටවල තීන්දුවෙන් අනතුරුව කටාරය සමග සම්බන්ධතා අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ අසල්වැසි මාලදිවයින ද පියවර ගත්තේය. හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආණ්ඩුවේ එම තීන්දුව දැඩි විවේචනයට ලක් කර තිබේ.

විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සවුදි සංචාරයෙන් සති දෙකකට පසුව අරාබි රටවල් ගත් තීන්දුව ඉතා වැදගත් බව විශ්ලේෂකයෝ පවසති. රියාද් අගනුවරදී දේශනයක් පැවැත්වූ ජනාධිපති ට්‍රම්ප්, මැද පෙරදිග අස්ථාවර කරන බවට ඉරානයට චෝදනා කළේය.


No comments:

Post a Comment