09 June 2017

ත්‍රස්තවාදියා මෙන්ම ත්‍රස්තවාදයේ බළල් අත් ද හඳුනාගත යුතුය

ශ්‍රී ලංකාවට අදාළ ආසන්නතම සිදුවීම් පිළිබඳව සලකා බැලීමේදී ශිෂ්ට සම්පන්න පුරවැසියන් තැතිගන්වන සු`එ ප්‍රවනතාවයක් මෙන්ම සාම්ප්‍රදායික සමාජ නායකත්වයකට මුවාවී සිදුකරන දැවැන්ත මතවාදී බලපෑමක් ද දැකගත හැකි වේ. වැඩිදුර නොගොස්, බැලූ බැල්මටම කිවහැක්කේ මේ ප්‍රවනතා දෙකම ශ්‍රී ලංකාවට මාරාන්තික ප්‍රතිඵල ගෙන ආ හැකි ඒවා බවයි. එක් අතකින් සැලකීමේදී එය පුරෝකථනයකටත් වඩා අනතුරු ඇඟවීමක් ලෙසට තේරුම් ගතයුතුව ඇති තරමටම එම තත්වය ඉතාමත්ම බැරැරුම්ය.

ආගමික අන්තවාදය

මෑත යුගයේදී රටතුළ මතුකිරීමට උත්සාහ කරන ප්‍රවනතාවය වන්නේ මුස්ලිම් ජනවර්ගය හා මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් සිදුකරන ප්‍රහාරයන්ය. එය මේ දක්වා බිහිසුණු අඩියකට පැමිණ නැතත් නියතවශයෙන්ම එවැනි තත්වයකට පත්වීමට පෙර මර්දනය කළයුතුව ඇති තත්වයක් බව නම් ඉතා පැහැදිළිය. එය සැලකියයුතුව ඇත්තේ අනුකම්පාවකින් තොරව විනාශ කළයුතුව ඇති භයානක සර්පයෙකු ලෙසටය. එය මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා බැදී සිටින ආයතන පද්ධතිය හොඳින් තේරුම්ගෙන ඇතිවා වියහැකි වුවත් සාමාන්‍ය පුරවැසියන් ද තේරුම්ගත යුතුව ඇති සත්‍යයක් තිබේ. එනම් පෙර සඳහන් කළ ප්‍රහාරයන් හරහා ඉස්මතු කිරීමට උත්සාහ කරනු ලබන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ අභිලාෂයන් හෝ අපේක්ෂාවන් නොවන බවය. නියතවශයෙන්ම ඒවා පසුපස සිටින්නේ අන්තවාදී ආගමික හා ජාතිවාදි කල්ලි කිහිපයක් පමණකි.

රටක් ලෙස ශ්‍රී ලංකාවේ ගෙවුණු මෑත අතීතය තුළ ජාතිවාදය මෙන්ම ආගම්වාදය පදනම් කරගනිමින් සිදුව ඇති විනාශයන්හි ප්‍රතිඵල අපට ඔරොත්තු නොදෙන තරම්ය. ඒ තුළ විනාශයට පත්වූයේ ජාතික ධනය, මිනිස් ජීවිත පමණක් නොව රටේ වර්තමාන පරපුරට උරුම වියයුතුව තිබූ සහ අනාගත පරපුරට ද අහිමි කරලූ සංවර්ධනයයි. ඒ ගැන මෙනෙහි කිරීමේදී අබ ඇටයක හෝ මොළයක් ඇති කිසිවෙකු නැවත එවැනි විනාශකාරී යුගයකට අත නොවනනු ඇත. අනෙක් අතට එවැනි උත්සාහයක යෙදෙන හැම කෙනෙක්ම ඉතා මැනවින් අවබෝධ කරගත යුතු බරපතළ සත්‍යයක් ද තිබේ. එනම් අප රට තුළ මතුවූ එවැනි අපකීර්තිමත් ගැටුම්කාරී තත්වයන් අවසානයේ අප රට තුළ ම සමහන් කරගැනීමට එදා අපට හැකිවූ නමුත් අනාගතයේදී එය එසේ නොවීමට බොහෝදුරට ඉඩඇති බවය. ලෝක මට්ටමෙන් මේ වනවිට ගොඩනැගෙමින් ඇති ත්‍රස්තවාදී ප්‍රවණතා සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී ඇතිවිය හැකි එවැනි යම් සු`එ සිදුවීමක් පවා ජාත්‍යන්තර වශයෙන් සිදුවන බිහිසුණු අතපෙවීමකට ද කැඳවීමක් වියහැකි බව තේරුම්ගැනීම එහිදී ඉතා වැදගත්ය. එය රාජ්‍ය මට්ටමෙන් හෝ රාජ්‍ය තාන්ත්‍රික ආයතන මට්ටමෙන් සිදුවිය හැකි අතපෙවීම් නොව මේ වනවිට බලවත් රටවලට ද හිසරදයක් වී ඇති ගෝලීය ත්‍රස්තවාදයේ අතු ඉති වීමට බොහෝදුරට ඉඩ තිබේ.

අනෙක් අතට අද වනවිට එවැනි බිහිසුණු අනතුරකට අත වනමින් සිටින්නේ අප රට තුළම සිල්රෙදි පොරවාගෙන සිටින ත්‍රස්තවාදී මානසිකත්වයෙන් යුත් කණ්ඩායම් කිහිපයක් විසින් වන බවද අප තේරුම්ගත යුතුව ඇත. “ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධි ත්‍රස්තවාදයේ නව ආකෘතියක් ” මැයෙන් සටහනක් තබා ඇති ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු විද්වතා මැනවින් පෙන්වා දී ඇති පරිදි ජාතිය හා ආගම ඉදිරියට දමමින් මේ අන්තවාදී කල්ලි කිහිපයක්ම නිරතව සිටින්නේ ත්‍රස්තවාදී ක්‍රියාවලියක ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිර්වචනය කර ඇති ආකාරයට “ඕනෑම ක්‍රියාවක් එහි ස්වභාවය හා සන්දර්භය අනුව ජනතාවක් තැති ගන්වයි නම් හෝ ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් ලවා යමක් කරවා ගැනීමට මෙන්ම නොකරවීමට බලකරයි නම් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පැහැදිළිය.

අන්තවාදය ත්‍රස්තවාදයක් ලෙස
ඒ අනුව මෙකී අන්තවාදීන්ගේ උපාය මාර්ගයන් දෙකම සැලකිය හැක්කේ ත්‍රස්තවාදයක් ලෙසටය. පළමුව ඔවුන් මේ රටේ එක්තරා අගමික කොටසක් භීතියට පත්කරමින් ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට පහර දෙමින් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන විනාශ කිරීම සඳහා තැත් කරයි. එය පෙර සඳහන් කළ ත්‍රස්තවාදයේ එක් අර්ධයකි. එහි අනෙක් අර්ධය වන්නේ එවැනි සිදුවීම් පාලනය කිරීමට හා අදාළ වරදකරුවන්ට නීතියට අනුව දඬුවම් ලබාදීමට රජය මෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින රාජ්‍ය ආයතන වලට කරමින් සිටින බලපෑමයි. මේ වනවිට අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති ආන්දෝලනාත්මක භික්ෂු චරිතයක් අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා ඇතැම් පාර්ශවයන් සිදුකරන බලපෑම ද අයත් වන්නේ ඉහත ගණයට ය.

එහිදී ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශව මතුකරන ප්‍රධානතම තර්කයක් වන්නේ ගලබොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නේ නම් ඒ ආකාරයෙන්ම ජාතිවාදි ප්‍රකාශ සිදුකරන දෙමළ හා මුස්ලිම් දේශපාලන චරිත ද අත්අඩංගුවට ගතයුතුව ඇති බවය. රටේ නීතියට එරෙහිවන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම අදාළ ආයතන වල වගකීමකි. එහි කිසිදු ප්‍රශ්නයක් තිබිය නොහැකිය. එහෙත් ඒ සියලු දෙනාම මේ වග ද හොඳින් තේරුම්ගත යුතුව තිබේ. එනම් කිසියම් මිනීමැරුමක් පිළිබඳව පැහැදිළි සාක්ෂි ඇති මිනීමරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සූදානම් වෙද්දි මිනීමරා ඇත්තේ තමා පමණක් ද යන්න ප්‍රශ්න කරමින් අනෙක් සියලු මිනීමරුවන්ට දඬුවම් දී තමා අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට තර්ජනය කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. අනෙක් අතට ඔවුන් මතුකරන පරිදි ජාතිවාදය හා ආගම්වාදය මතුකරමින් රටේ සාමය කඩකිරීම සඳහා මේ රටේ ඕනෑම ජනවර්ගයකට අයත් දේශපාලනඥයෙකුට චෝදනා ඇත්නම් ඒවා ඉදිරිපත් කළයුත්තේ අවලාද ස්වරූපයෙන් නොව, නිශ්චිත සාක්ෂි මතය. එසේ නොමැතිව සාමාන්‍ය ජනතාව මුළා කරමින් අපරාධ චෝදනාවන්ගෙන් ගැලවී සිටීමට කිසිවෙකුට අවස්ථාවක් දියයුතු නැත.

ඥානසාර උන්නාන්සේ

එමෙන්ම අප දන්නා තරමින් ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම පිළිබඳව ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට මොනතරම් චෝදනා තිබුණ ද මේ මොහොතේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ එවැනි චෝදනාවකට නොවේ. මේ වනවිට උන්වහන්සේට චෝදනා එල්ල වී ඇත්තේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනාවකට ය. අධිකරණ කටයුතු වලට චේතනාන්විතව බාධාකිරීමේ චෝදනාවකට අදාළවය. ඒ අනුව නීතිය හමුවට ගොස් තම නිර්දෝෂිභාවය තහවුරු කරනු විනා උන්වහන්සේට ඇති වෙනත් විකල්පයක් ද නැත. ඒ සමගම මේ සිදුවීම මුල්කරගනිමින් සත්‍ය වසන්කරමින් ඒ තුළ ද ආගම්වාදය හා ජාතිවාදය වැපිරීමට තැත්කරන උදවියට කිවයුතුව ඇත්තේ ජාතියේ අනාගතය විනාශයට යොමුකරවන මේ ආකාරයේ මහා පාපකර්මයන්ට අත නොතබන ලෙසය.

| සුනිල් ජයසේකර

No comments:

Post a Comment