26 July 2017

රංගන මිය ගිය බවට වාර්තා වූ තොරතුරු ගැන අවුරුදු 4ට පසු හෙළිකරයි

 2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඔස්ට්‍රේලියාවේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය බවට සමාජ මාධ්‍ය හරහා තොරතුරු වාර්තා විය. මේ පිළිබඳව අවුරුදු හතරකට පමණ පසුව රංගන හේරත් සිය අත්දැකීම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ඔහු පවසන්නේ එදින ඔස්ට්‍රේලියානු වේලාවෙන් පාන්දර 3.30ට පමණ තම දුරකතනය නාද වෙන්න පටන් ගත් බවත් අඛණ්ඩව දුරකතනය නාද වෙන විට කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව හැඟුණු බව රංගන පවසයි.

“ඒ හිමිදිරි පාන්දර, මම හිතන්නේ පෙ.ව. 3.30ට පමණ ඇති. මගේ දුරකතන නාද වෙන්න පටන් ගත්තා. බොහෝ මිත්‍රයින් ලංකාවේ සිට කතා කළා. මට හිතුණා මොකක් හෝ දෙයක් වෙන බව. මම එක් දුරකතන ඇමතුමකට පිළිතුරු දුන් විට සිදුව ඇති දේ තේරුම් ගත්තා. රාත්‍රිය පුරාම දුරකතනය නාද වෙන්න පටන්ගත්තා.

මට දුරකතනය ක්‍රියා විරහිත කරන්න අවශ්‍ය වුනේ නෑ. එතකොට ඔවුන් හිතනවා සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය කතාව ඇත්තක් බව. ඒ වන විට මට ලැබෙන හැම දුරකතන ඇමතුමකටම මම පිළිතුරු ලබාදෙමින් හිටියේ. මට කතා කරපු හැම දෙනෙකුටම මම කීවේ මට කිසිම ගැටලුවක් නෑ.මම තාමත් පනපිටින් ඉන්නවා. මම තරගය ක්‍රීඩා කිරීමට  සූදානම් බවයි.” යනුවෙනි.

මේ අතර 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත ක්‍රීඩා කිරීමට  කැමතිදැයි තමන්ගෙන් දුරකතනයේ විමසා සිටියේ කුමාර් සංගක්කාර බවද හේරත් සඳහන් කළේය. මුත්තයියා මුරලිදරන් අබාධයට පත්වීම හේතුවෙන් හේරත්ට නැවතත් ක්‍රිකට් පිටියට පැමිණීමට අවස්ථාව ලැබුණි.

"ඒ වන විට මම එංගලන්තයේ ලීග ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩාකරමින් සිටියේ. එක්වරම මට ශ්‍රී ලංකාවෙන් දුරකතන පණිවිඩයක් ලැබුණා. කුමාර් සංගක්කාර මට කතා කර කීවේ මුරලි ආබාධයකට ලක්වුණා. ඔබ ක්‍රීඩා කරන්න ලෑස්තිද කියලයි. මම කීවා ඔව් කියලා. ඉන් පසුව ඔවුන් නැවතත් මට මගේ ගෙදරට එන්න සියලු දේ ලෑස්ති කළා.

සංගා මට දුරකතන ඇමතුම ලබාදුන්නත් මම දන්නවා ඒ ක්‍රියාවලිය පසුපස බොහෝ දෙනෙකු සිටි බව. මුරලි, කළමනාකරණය, තේරීම් කමිටුව විශේෂයෙන්ම චන්දික හතුරුසිංහ. ඔහු ඒ වන විට ශ්‍රී ලංකවේ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටියා. ”

No comments:

Post a Comment