25 July 2017

50% කින් ඩෙංගු රෝගීන් අඩුකරගත හැකියි

ඩෙංගු වෛරසය ශරීරගතව රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කර වෙන් කර තබා ගන්නේ නම් සියයට 50 කින් රෝගීන් වාර්තා වීම අවම කර ගත හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ උපායමාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ පුහුණු උපදේශක, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ගැමුණු සාලිය මහතා පවසයි.

රෝහල්වල වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ඩෙංගු රෝගයට ගොදුරු වන්නේ රෝගීන් ආරක්ෂිතව වෙන් කර නොතැබීම නිසා බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් රෝගීන් අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ මහතා පැවැසුවේය.

ඩෙංගු මදුරුවන් ලක්ෂයක් ගතහොත් ඔවුන්ගෙන් සිය දෙනකුගේ ශරීරය තුළ පමණක් මේ වෛරසය ශරීරගතව තිබෙන අතර සෙසු මදුරුවන්ට වෛරසය ආසාදනය වනුයේ රෝගියකුට දෂ්ට කිරීමෙන් බවත් රෝගීන් මදුරු දෂ්ටනයෙන් වළක්වා ගන්නේ නම් රෝගය ව්‍යාප්ත වීම අවම කර ගත හැකි බවත් ඔහු කීය.

රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් මදුරු දැලකින් ආවරණය කර හෝ මදුරු විකර්ශක ගල්වා තැබීමෙන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් වළක්වා ගත හැකි යැයි ද, මේ වෛරසය ශරීරගත වූ පුද්ගලයකුගේ සිරුරෙහි වෛරසය වැඩි වන අවස්ථාවේ මදුරුවන් දෂ්ට කළහොත් මදුරුවාගේ සිරුර තුළට වෛරසය ශරීරගතව සෙසු පුද්ගලයන් වෙත රෝගය ව්‍යාප්ත වන්නේ යැයි ද ඒ මහතා පැවැසුවේය.

ඩෙංගු රෝගය වසංගතයක් බවට පත්ව ඇති මේ අවස්ථාවේ මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට අපහසු වුවත් මීළගට පැමිණෙන ඩෙංගු අවදානම් කාලයේදි මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ නම් රෝගය වසංගතයක් වීම වළක්වා ගත හැකි යැයි ද හෙතෙම පැවැසීය.

වසුරිය, මහාමාරිය වැනි බෝ වන රෝග වළක්වා ගැනීම සදහා එකල රෝග ස්පර්ශකයින් වෙන් කර තැබීමේ ආඥා පනත ක්‍රියාත්මක වූ අතර එම රෝග වළක්වා ගැනීමට එය මහගු අවස්ථාවක් වූ බවත් එම ක්‍රමය ඩෙංගු රෝගීන්ට ද අනුගමනය කිරීම වැදගත් බවත් ඔහු පැවැසුවේය.

No comments:

Post a Comment