26 July 2017

පුරුෂ ශුක්‍රාණු ප්‍රතිශතය පහළට අනාගත තර්ජනයක් බව කියයි

පුරුෂයන්ගේ ශුක්‍රාණු ප්‍රතිශතය දැනට පවතින සීමාවේ තවදුරටත් අඩුවෙමින් පැවතියහොත් අනාගත මනුෂ්‍ය සංහතියේ අභාවය වැඩි ඈතක නොවන බව විද්‍යාඥයෝ පවසති.

උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සිද්ධීන් 200ක් පමණ ඇසුරෙන් දීර්ඝ කාලයක් පුරාවට සිදුකළ පර්යේෂණ ප්‍රතිඵලයකට අනුව වසර 40ක කාලය තුළ ඔවුන්ගේ ශුක්‍රාණු ප්‍රතිශතය අඩකින් පමණ පහළ බැස ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පර්යේෂණ කණ්ඩාමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වෛද්‍ය හගායි ලෙවින් පවසන්නේ අනාගතයේ සිදුවිය හැකි අනතුර සම්බන්ධයෙන් අප වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

වර්ෂ 1973 සහ 2011 යන දීර්ඝ කාලයක් පුරා සිදුකළ දැවැන්ත පර්යේෂණ ප්‍රතිඵලයක් බැවින් මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව ඉහළ බවද පර්යේෂකයෝ පවසති.

වසංගත තත්ත්වයන් සම්බන්ධ විශේෂඥයෙකු වූ වෛද්‍ය ලෙවින් පවසන්නේ මේ තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් අනාගතයේ මනුෂ්‍ය සංහතිය ක්‍රමයෙන් හීනවී යනු ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම පර්යේෂණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් සැක උපදවන පිරිස්ද සිටින අතර, මෙය සමස්ත ලෝකයටම බලපාන තත්ත්වයක් නොවන බව ඔවුහු පවසති.

















No comments:

Post a Comment