16 July 2017

සයිටම් රජයට පවරා ගන්නේ නැහැ : අමාත්‍ය රාජිත සේනාරත්න

 සයිටම් හෙවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා නොගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

මහනුවර මහ රෝහලේ ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කර සිටියේය.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ලබන සඳුදා (17දා) සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත  බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාව පිළිබඳවද තොරතුරු ද හෙළි කළේය.

"හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීම මත අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවට කැමැත්ත පළ කර තිබුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා කොන්දේසි දෙකක් ඉදිරිපත් කළා.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කැමැත්ත සහ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිවීම අනිවාර්යවීම එම කොන්දේසි දෙකයි. ඊට එකඟත්වය පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡාවට සහභාගි වුණා.

එහි සභාපතිවරයා සහ ලේකම්වරයා ඊට එක්ව සිටි අතර, අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සයිටම් සිද්ධිය මුල්කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෞද්ගලිකව පහරදීම වැරදි බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ තීන්දූ තීරණ තමයි ක්‍රියාත්මක කරන්නේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ද ගැසට් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට ප්‍රකාශ කළා. මෙම සාකච්ඡාව සුහදව පැවැත්වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපතිධුරයට නම් දෙකක් ඉදිරිපත් කළා.

හිටපු සභාපතිවරයෙකු සහ පෞද්ගලික රෝහලක සභාපතිවරයෙකු ඊට ඇතුළත්. මේ පිළිබඳ සොයාබලා නව සභාපතිවරයා පත් කිරීමට කටයුතු කරනවා. වෛද්‍ය ආඥා පනතට අනුව සභාපතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාටයි."

No comments:

Post a Comment