16 July 2017

අ.පො.ස උ.පෙ. විභාග අක්‍රමිකතා මැඬලන්න පොලිසිය

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේදී අක්‍රමිකතා වැළැක්‌වීම සඳහා පොලිස්‌ දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රශ්න පත්‍ර ගබඩා කර තැබෙන සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයන්හි ආරක්‍ෂාවට යෙදෙන පොලිස්‌ නිලධාරීන්ගේ සංඛ්‍යාව තිදෙනෙක්‌ දක්‌වා වැඩි කෙරෙන අතර දින තුනකට වරක්‌ එම නිලධාරීන් ද මාරු කිරීමට සැලසුම් කර තිබේ. විභාග මධ්‍යස්‌ථානයන්හි ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස්‌ ජංගම රථ මෙන්ම පොලිස්‌ යතුරුපැදි ද වෙනත් වසරවලට වඩා මෙවර යෙදවීමට කටයුතු යොදා ඇත.

විභාගයේ ආරක්‍ෂාව වෙනුවෙන් ගත හැකි ආරක්‍ෂක විධිවිධාන සම්බන්ධයෙන් ත්‍රිsවිධ හමුදාව, පොලිසිය මෙන්ම සිවිල් ආරක්‍ෂක බළකාය ද සහභාගි වන සාකච්ඡාවක්‌ ලබන සතියේ විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.

මේ අතර විභාග මධ්‍යස්‌ථාන පැවැත්වෙන පාසල්වල විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව උත්සව පැවැත්වීම, ඉදිකිරීම් කටයුතු වැනි සියලුම බාහිර ක්‍රියාකාරකම් කළ නොහැකි බවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා විසින් පාසල් ප්‍රධානීන්ට, කලාප හා පළාත් අධ්‍යක්‍ෂවරුන්ට ලිපියක්‌ නිකුත් කර ඇත.

අදාළ පාසල් විදුහල්පතිවරයාට හැර ගුරුවරුන්ට හෝ විභාග මධ්‍යස්‌ථානයට ඇතුළුවීම තහනම් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා මාධ්‍යට පැවසීය.

ලබන මස 8 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්‌වා විභාගය පැවැත්වේ.

No comments:

Post a Comment