26 July 2017

ඩෙංගිට අලුත් පෙම්වතෙක් - කපුකම ගූගල්ගෙන්

 
ඩෙංගු, සීකා, චිකුන්ගුන්යා වැනි රෝග බෝකරන මදුරු ගහනය මර්දනය කිරීම සඳහා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ ප‍්‍රදේශයට මදුරුවන් මිලියන 20ක් මුදාහැර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය අරඹා ඇත්තේ ගූග්ල්හි මව් සමාගම වන ඇල්ෆබට් බහුජාතික සමාගමට අයත් වෙරිලි ජීව විද්‍යා පර්යේෂණ හා සමීක්ෂණ සංවිධානය මගින්.

‘අයිඞීස් අයිජෙප්ටි’ නමැති මෙම මදුරු විශේෂය පැටවුන් බෝ කිරීමේ හැකියාවක් නොමැති වඳ මදුරු විශේෂයක් බව විද්‍යාඥයෝ පෙන්වා දී තිබෙනවා.

රෝගකාරක ගැහැනු මදුරුවන් හා සංවාසයේ යෙදුණ ද පැටවුන් බිහිනොකිරීම නිසා මදුරු ගහනය අවම කිරීමට හා තවදුරටත් රෝගකාරක මදුරුවන් බෝවීම මෙමගින් සාර්ථකව වළක්වා ගතහැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි.

ගිම්හාන ඍතුවේදී ඩෙංගු ආදී රෝග බෝවීම ඇමෙරිකාවට ද බරපතළ තර්ජනයක් වී ඇති බැවින් මෙවර ගිම්හාන සමය ඉලක්ක කරගනිමින් මෙම මදුරුවන් මුදාහැරීමට නියමිතයි.

අධික ජනගහනයක් වෙසෙන ෆ්‍රෙස්නෝ ප‍්‍රදේශයේ මදුරුවන් මුදාහැරීමේ මෙම ව්‍යාපෘතිය නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙරිලි ජීව විද්‍යා පර්යේෂණ හා සමීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ලිනස් අස්පොන් පවසා ඇත්තේ පෙර කරන ලද පර්යේෂණ ගණනාවකින් සාර්ථක ප‍්‍රතිඵල ලැබීමත් සමග ඇමෙරිකාවේ වසංගතයක් ලෙස බරපතළ තර්ජනයක් බවට පත්ව ඇති සීකා සහ ඩෙංගු රෝග මර්දනය සඳහා මෙම ප‍්‍රදේශයෙන් ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.

ඉදිරි කාලයේදී ඇමෙරිකාව පුරා මෙන්ම ලොව සෙසු රටවලට ද මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීමට වෙරිලි ජීව විද්‍යා පර්යේෂණ හා සමීක්ෂණ සංවිධානය අපේක්ෂා කරනවා.

මේ සඳහා වැයවන මුදල සාමාන්‍යයෙන් ඩෙංගු මර්දන ව්‍යාපෘතියකට වැය වන පිරිවැයට වඩා ඉතා අඩු බව ද ඔවුහු පෙන්වා දෙනවා.

රෝග බෝකරන මදුරු මර්දනය කරනු ලබන මෙම පිරිමි මදුරු විශේෂය මීට වසර 15කට පෙර සොයාගන්නා ලද්දේ ස්ටීවන් ඩොබ්සන් නමැති විද්‍යාඥයා විසින්.

මෙම පිරිමි මදුරු විශේෂය සතුව පවතින එක්තරා ජානමය බැක්ටීරියා කාරකයක් හේතුවෙන් ඔවුන් රෝගකාරක මදුරුවන් හා සංවාසයේදී ගැහැනු මදුරුවාගේ රෝග කාරක නැසීමේ හැකියාවක් සහජයෙන්ම මෙම මදුරු විශේෂය සතු බවට ද ඔහු විසින් සොයාගෙන තිබෙනවා.

එ් අනුව මෙම මදුරුවා හා සංවාසයේ යෙදුණු ගැහැනු මදුරුවන් මිනිසුන්ට දෂ්ට කළද රෝගකාරක බැක්ටීරියා මිනිසාට සම්පේ‍්‍රෂණය නොවේ.

එමෙන්ම මෙම මදුරුවා වඳ බවට පත්කිරීමෙන් මදුරු ගහනය අවම කිරීමේ හැකියාවක් පවතින බවට ඔහු පසුව සොයාගෙන ඇති බව වාර්තා වනවා.

No comments:

Post a Comment