05 July 2017

බ්‍රිතාන්‍ය තුළ ඉස්ලාම් ජිහාඩය වපුරන්නේ සෞදිය බව කියයි

 මහා  බ්‍රිතාන්‍ය  තුළ ඉස්ලාමීය  මූලධර්මවාදය  වැපිරීම සඳහා ප්‍රමුඛ අනුග්‍රහයක් දක්වන්නේ සෞදි අරාබිය බව බ්‍රිතාන්‍යයේදී එළිදැක්වූ නවතම වාර්තාවක් දක්වයි.

ලන්ඩනයේ ක්‍රියාත්මක බුද්ධි මණ්ඩලයක් වන 'ද හෙන්රි ජැක්සන් සොසයටි' විසින් සිදුකරන මෙම අනාවරණයට අනුව බ්‍රිතාන්‍යයේ වර්ධනය වන ඉස්ලාමීය මූලධර්මවාදී ආයතන සඳහා අරමුදල් සැපයීම, වෛරය වපුරන ආගමික පූජකයන් සහ ප්‍රචණ්ඩත්වය වපුරන ජිහාඩ් කණ්ඩායම් සමග සෞදි අරාබියට ඉතා පැහැදිලි හා වර්ධනීය සම්බන්ධයක් පවතින බව බී.බී.සී.ය වාර්තා කරයි.

ඒ අනුව, ඔවුන් යෝජනා කර සිටින්නේ සෞදි අරාබිය හා සෙසු ගල්ෆ් රාජ්‍යයන් පිළිබඳ වහාම පොදු විමර්ශනයක් කළ යුතු බවයි.

මේ අතර, බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන් බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගෙන පවතින ඉස්ලාමීය මූලධර්මවාදී කණ්ඩායම් පිළිබඳ වාර්තාව එළිදැක්වීම සම්බන්ධයෙන් යම් බලපෑමකට යටත්ව සිටින බවද එම වාර්තාවේ දැක්වේ.

ස්වදේශ කටයුතු කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම ජිහාඩ් සංවිධාවල බලපෑම හා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය දක්වන වාර්තාවකට වර්ෂ 2015 දී හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ අධිකාරීත්වය හිමිව තිබුණද, එම වාර්තාව අවසන් නොකිරීමත්, එය මෙතෙක් එළිදැක්වීමට අපොහොසත් වීමත් ප්‍රශ්නකාරී බවද සඳහන් වෙයි.

විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍ය මේ වනවිට සෞදිය ඇතුළු ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් සමග සමීප රාජතාන්ත්‍රික සබඳතා පැවැත්වීම හේතුවෙන් මෙම වාර්තාව හිතාමතා යටගසමින් සිටින බවට චෝදනා නැගෙයි.

No comments:

Post a Comment