16 July 2017

සංගා-අර්ජුණ ගැටුම ජාත්‍යන්තරයට යයි , අර්ජුණගේ ප්‍රකාශය නිසා විදෙස් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව විවේචනය කල හැටි

ශ්‍රී ලංකාව පරාජය ක‍රමින් 2011 ලෝක කුසලානය ජය ගත් ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් අර්ජුණ රණතුංගට විරෝධය දක්වා තිබෙනවා.

ඉන්දියාව වසර 28කට පසුව ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව පැරදවීම සැක සහිත බවට අර්ජුණ රණතුංග සිදුකළ ප්‍රකාශය නිසාය.

අර්ජුණ රණතුංග මින් පෙර කියා සිටියේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව අනපේක්ෂිත පරාජයක් ලැබීම පිළිබදව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

තමන් එම තරගාවලියේ තරග විස්තර විචාරයට එක්ව සිටි අතර, සැක කටයුතු කරුණු කිහිපයක්ම තිබූ නමුත් ඒවා හෙළිකිරීමට තවමත් වේලාව නොවන බවත්, ඔහු වැඩිදුරටත් කියා තිබුනා.

ශ්‍රී ලංකා පිලේ තවත් හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර මාධ්‍ය හමුවකදි කියා සිටියේ සාක්ෂි පවතින්නේ නම් එවැනි චෝදනා ඉදිරිපත් කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට බවයි.

මේ අතර 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඉන්දියාව නියෝජනය කරමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් එනම් ලකුණු 97ක් ලැබූ ගෞතම් ගම්බීර් කියා සිටියේ අමාත්‍ය අර්ජුණ රණතුංග ඒ පිළිබද එල්ල කරන චෝදනාවලට සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි.

එමෙන්ම ඔහුගේ ප්‍රකාශයෙන් තමා මවිතයට පත්වූ බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය දිනූ පුද්ගලයෙකු වෙතින් එවැනි බරපතල ප්‍රකාශයක් කිසිලෙසකින්වත් අපේක්ෂා නොකළ බවත් ගම්බීර් කියා සිටියා.

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඉන්දීය පිළ නියෝජනය කළ තවත් ක්‍රීඩකයෙකු වන අෂීස් නේරා සඳහන් කළේ මෙවැනි ප්‍රකාශ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළ යුතු බවයි.

ඒ පිළිබද අදහස් දැක්වීමෙන්ම ඊට පිළිගැනීමක් ලැබෙන බව ඔහුගේ අදහසයි.

කිසිවෙකු 1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය ප්‍රශ්න කරන්නේ නම් එය සාධාරණදැයි නේරා පෙරළා පැනයක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ නමුත් අර්ජුන රණතුංග වැනි ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයෙකු මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම බලාපොරොත්තු කඩකිරීමක් බවද අෂීස් නේරා වැඩිදුරටත් සඳහන් කළා.

2011 ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු වන හර්බජන් සිංගෙන්ද මේ පිළිබඳ විමසූ විට ඔහු අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළ බවයි ඉන්දීය පී. ටී. අයි. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

No comments:

Post a Comment