26 July 2017

දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාරගෙ පැටිකිරිය මෙන්න

මැද : දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර
මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට එරෙහිව දූෂණ වීරෝධී හඬ සංවිධානය විසින් අංක ACC/FC/2015/51 යටතේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ එම කාර්යාලය ඒ පිළිබඳ විමර්ශණ අවසන්කර අධ්‍යන වාර්තාවක් සහිතව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාර දී ඇත. මෙම පැමිණිල්ල මගින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර වෙත චෝදනා ගණනාවක් එල්ල වී ඇත. එම චෝදනා අතර

01. මහනුවර ශ්‍රී දළදා මාලිගාව සතු ඉඩමක් වන “උඩගෙදරවත්ත” අක්කර 2.5ක් බැගින් කැබලිකර පර්චස් එකක් රුපියල් 65,000 බැගින් විකුණා එම මුදල වංචා කිරීම.

02. දළදා මාලිගාව සඳහා විවිධ පුද්ගලයන් හා දානපතියන් විසින් පූජා කරන ලද ස්වර්ණාභරණ ඇතුළු අනෙකුත් භාණ්ඩ සොරා ගැනීම.

03. දළදා මාලිගාව සතු මුදල් 2015 ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම.

04. දළදා මාලිගාව නමින් තීරබදු රහිත භාණ්ඩ ගෙන්වා එම භාණ්ඩ පෞද්ගලික පරිහරණය සඳහා ගැනීම.

05. දියවඩන නිළමේවරයාට අයත් PND CONSTRUCTION නැමති ආයතනය දළදා මාලිගාවේ මුදල්වලින් නඩත්තු කිරීම හා එම ආයතනයේ බැංකු ගිණුමට රුපියල් කෝටි එකහමාරක මුදලක් තැන්පත් කිරීම.

06. දළදා මාලිගාවේ වියදමින් Mini Jhon Cooper වර්ගයේ වාහන අලුත්වැඩියාකිරීම හා ඒ හරහා වංචා සිදු කිරීම.

07. දළදා මාලිගාව සතු මුදල් යොදවා සී.ඩී. තැටි නිපදවිමේ කොන්ත්‍රාත්තුවක් Onasta International සමාගමට ලබාදී එමගින් මුදල් වංචා කිරීම  ප්‍රධාන තැනක් ගනියි.

නිලංග දෑල බණ්ඩාරට අදාළව ඉදිරිපත්වී ඇති මෙම චෝදනා විමර්ශනය කිරීමේදී දළදා මාලිගාව සතු ඉම් කොටස් කර විකිණිමෙන් රුපියල් 26,000,00.00 මුදලක් දළදා මාලිගාවේ බැංකු ගිණුමට බැර නොකර වංචා කර ඇති බව කරුණු සහිතව සනාත වී ඇත. මීට අමතරව 2015 ජනාධිපතිවරණ සමයේදී දළදා මාලිගාව සතු රණ්පත්‍ර, පුන්කළස්, කෙණ්ඩි යනාදී කෞතුක වටිනාකමක් සහිත භාණ්ඩ අතුරුදහන් වී ඇති අතර එම වකවානුවේදී අනුරාධපුර දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් ඡන්ද දායකයින් හට මුදල් හා භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලියක්ද ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර විසින් සිදු කර ඇති බව පෙනී යයි.

ඉහත චෝදනාවන්ට අදාළව විමර්ශන අවසන් කර නීතිපතිවරයා වෙත අදාල ලිපි ගොනුව යොමු කොට ඇති අතර මහනුවර අධිකරණයට ම/උ 34983/15 යටතේ කරුණු වාර්තා කර ඇත. මීට අමතරව 2015.09.01වන දින CR 5/27/2015 යටතේ නිලංග දෑල බණ්ඩාරට එරෙහිව ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වාර්තාව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා යොමුකර ඇත.

කරුණු මෙසේ වුවද නීතිපති උපදෙස් සඳහා යොමුකොට දැනට වසර දෙකක් ගෙවී ගියද යහපාලන ආණ්ඩුවේ ඉහලම ප්‍රබලයින්ගේ මැදිහත්වීම මත දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට අදාළ ඉහත සනාත කළ හැකි චෝදනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැත. මීට අමතරව මහනුවර අධිකරණයට කරුණු වාර්තාකර ඇති නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නඩුපැවරීමක් සිදු කොට නොමැත.

No comments:

Post a Comment