03 August 2017

අපගේ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න



දිනපතාම අලුත් වන පුවත් සමග ලංකා ඊ වොයිස් වෙබ් අඩවිය අද ඔබ වෙතට එන්නේ මෙලෙසිනි.

පිවිසෙන්න මෙතනින් : http://www.lankaevoice.com/

01 August 2017

කොලඹ ඉඩම් හොර ඔප්පුවලින් විකිණු කල්ලියක් දැලේ

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසක කෝටි ගණන් වටිනා ඉඩම්වලට හොර ඔප්පු තනා ඒවා අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් සොයා ගත් කොළඹ වංචා විමර්ශණ කොට්ඨාශය මෙම ජාවාරම කරගෙන ගියැයි කියන යුද්ධ හමුදාවේ හිටපු කපිතාන්වරයකු ඇතුලු සැකකරුවන් අට දෙනෙක් අත් අඩංගුවට ගෙන තිඛෙනවා.

කොළඹ වංචා විමර්ශණ කොට්ඨාශයේ පොලිස් අධි කාරි රොහාන් ප්‍රේමරත්න මහතා ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණ මෙහෙයුමකින් මෙම දැවැන්ත ඉඩම් වංචාජාලයේ සුළ මුළ සොයා ගනිමින් එම ජාවාරමට සම්බන්ධ එම සැකකරුවන් අට දෙනා සමග ඔවුන් විසින් මේ වන විට හොරට විකුණා ඇතැයි සැක කරන ඉඩම් පනහකට අධික සංඛ්‍යාවක ඔප්පු සහ ඒවා සකස් කිරීමට ගන්නා උපකරණ ඇතුලු දෑ සොයා ගැනිමට හැකි වී ඇත්තේ කොළඹ ඩේසි විලා ප්‍රදේශයේ රුපියල් කෝටි අටකට වඩා වැඩි වටිනාකමකින් යුත් ඉඩමකට හොර ඔප්පු තනා විකිණීමට ගිය අවස්ථාවේදීයි.

මෙම ඉඩමට පමණක් ජාවාරම්කරු විසින් ව්‍යාජ ඔප්පු තුනක් සකස් කර ඇති බවයි අනාවරණ කර ඇත්තේ.

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම ජාවාරමේ ප්‍රධාන සැළසුම්කරුවන හමුදා කපිතාන්වරයා සෙසු සැකකරැවන් සමග එක්ව මෙසේ විවිධ ප්‍රදේශවල පිහිටි ඉඩම් පනහකට වඩා වැඩි ප්‍රමාණයක් විකුණා ඇතැයි ඔහු සතුව සහ ඔහු‍ගේ ගෝලයකුගේ මෝටර් රථය පුරවා තිබූ ඔප්පු විශාල ප්‍රමාණයක් ද සොයා ගෙන තිඛෙනවා.

ඔප්පු සෑදීමට ගන්නා විශේෂ කඩදාසි වර්ගයක බන්ඩල් කිහිපයක් ද එම ඉඩම් වල ට අදාළ විස්තර ඇතුළත් පරිගණක විස්තර , එම ඔප්පු තැනීම සිදුකරන පරිගණක ඔප්පු ලියාපදිංචියට ගන්නා මුද්දර, සහ තවත් ඒ හා සම්බන්ධ තොරතුරු රැසක්ද මෙම සැකකරුගේ නිවසේ තිබි පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

කොළඹ ඩේසිවිලා ප්‍රදේශයේ ඉඩමට ව්‍යාජ ඔප්පුවක් සකස් කර එම ඉඩම එහි නියම හිමිකරු විසින් ‍රුපියල් කෝටි එක හමාරක් වැනි මුදලකට විකුණා ඇති බවට ව්‍යාජ ඔප්පුවක් තනා එය ලියාපදිංචියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා එතරම් වටිනා දේපලක් මෙතරම් අඩු මුදලකට විකිණීම ගැන සැක සිතා එම ඉඩම ලියාපදිංචි නොකර තබා සොයා බැලිමේදි එම ඉඩම ඊට පෙර තවත් දෙවරක් විකුණා ඇති බවත් ඒවා පත්ඉරුවල ට ඇතුළත්වී ඇති බවත් අනාවරණය වී තිඛෙනවා.

පෙම්වතියගෙ උපන්දිනේ වෙනුවෙන් පෙම්වතාගෙ යාළුවො නිරුවත් වෙලා | PHOTO

ඕස්ට්‍රේලියාවේ තරුණයෙකු විසින් තම පෙම්වතියගේ උපන්දිනයට යැවීමට අපූරු කැලැන්ඩරයක් නිර්මාණය කරල තියෙනවා. 27 හැවිරිදි බ්‍රැන්ඩන් ජෝන් විසින් ඔහුගේ මිතුරු මිතුරියන් පිරිසක් යොදාගෙන මෙම කැලැන්ඩරයට ඡායාරූප ගෙන තිබෙනවා.











රාජ්‍ය ආයතන 42ක් කෝටි 9000ක් ණය වී ඇති බව හෙළි වේ

රජය සතු වාණිජ ව්‍යාපාර 42ක් මේ වනවිට බැංකුවලට රුපියල් කෝටි 88913ක් ණයවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වනවා.

ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 3174ක් ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 38255ක් ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් කෝටි 23765ක් ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් කෝටි 4226ක් ද සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටි 3852ක් සහ සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම රුපියල් කෝටි 9158ක් ද ආදී වශයෙන් බැංකුවලට ගෙවිය යුතු ණය තිබෙන බව එහි දැක්වෙන්නේ.

2011 අවසන් තරගය ගැන අර්ජුනගේ ප‍්‍රකාශයට මුරලිගෙන් පිළිතුරු

2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ශ‍්‍රී ලංකාවට අත්වූ පරාජය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට අමාත්‍ය අර්ජුන රණතුංග ඉකුත්දා කළ ප‍්‍රකාශයට මුත්තයියා මුරලිදැරන් ද ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

ද ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් මුරලිදරන් පවසා ඇත්තේ තමන්ද එම ප‍්‍රකාශය සමග එකග නොවන බවයි.

අර්ජුන රණතුංගගේ මෙම ප‍්‍රකාශය හේතුවෙන් තරග පාවාදීම් සහ සමස්ත ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයටම හානියක් සිදු වී ඇති බවයි මුරදිරන් පෙන්වා දෙන්නේ.

මෙම සම්මුඛ සාකච්ජාවේදී ශ‍්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලද එක්දින තරගාවලි පරාජය පිළිබඳවද මුරලිදරන් අදහස් දක්වා තිබෙනවා.

ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන්ගේ දුර්වල ක‍්‍රීඩා විලාශය මෙම තරගාවලි පරාජයට හේතු වූ බවයි ඔහු කියා සිටියේ.

වර්තමානයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන නවක ක‍්‍රීඩකයන්ගෙන් අපේක්ෂිත දක්ෂතා ඉස්මතු නොවන බවද මුරලිදරන් සඳහන් කර තිබෙනවා.

ජනපති මිය යන දිනය අනාවැකියකින් කියූ ජ්‍යොතීර්වේදියාට වෙන්න යන දේ

අන්තර්ජාලය ඔස්සේ ජනාධිපතිවරායට එරෙහිව අදහස් පළ කළ ජ්‍යොතීර්වේදියෙකු ලෙස හඳුන්වන විජයමුණි විජිත් රෝහණට එරෙහි නඩුව අද (01) යළි කැඳවනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ඔහුට එරෙහිව ගත යුතු ඉදිරි නීතිමය පියවර පිළිබඳ දැනගැනීමට, අදාළ විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

අන්තර්ජාලය ඔස්සේ ජනාධිපතිවරයා මිය යන දිනයක් අනාවැකියක් ලෙස සඳහන් කරමින් මහජනයා තුළ කැළඹීමක් ඇති කිරීමේ වරදට ඔහු ඉකුත් දා අත්අඩංගුවට ගත් අතර පසුව ඇප මත මුදා හැරුණා.

සිද්ධියට අදාල නඩුව නොවැම්බර් 28 යළි කැඳවීමට නියමිතයි.

උ.කොරියාවේ විනාශ කරන්න ඇමරිකාව මිසයිල නාශක පද්ධතිය සක්‍රීය කරයි | PHOTO

ඔනෑම මොහොතක උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි මිසයිල ප්‍රහාරයක අවධානම හේතුවෙන් ඇමරිකාව විසින් මේ වන විට මිසයිල ආරක්ෂණ පද්ධතියක් අත්හදා බලා තිබෙනවා. ඒ අනුව පසුගිය දා සාර්ථකව මිසලියයක් ස්වංක්‍රීයව උඩු ගුවනේදී විනාශ කිරීමට ඇමරිකානු හමුදා සමත්විය.

රටට ඇතුල් වීමට පෙර ඇලෙස්කානු වෙරළ තීරයේදී මෙම මිසයිලය විනාශ කර ඇති අතර එහි රූප රාමු අන්තර්ජාලයට මේ වන විට නිකුත් වී තිබෙනවා.



ටියුෂන් තහනම් කරන්න නව පනතක්

පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා  පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබඳව. පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් සම්පූර්ණවීම නිමිත්තෙන් තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මහරගම ආසනයේ ගැබිනි මවුවරුන් 600 දෙනෙකු සඳහා පෝෂණ මලු බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කොතරම් උගතෙක් වුවත් බුද්ධිමතෙක් වුවත් ඔහු හෝ ඇය බුද්ධිමතෙකු වන්නේ ආගමික දැනුමෙන් ලබන පරිචය හා ඔහු ලබාගන්නා වූ ආගමික දැනුම සමගයි. ඒ අනුව නිදහස් අධ්‍යාපනයෙන් දරුවන් කෙතරම් ඉහළට ගියත් ඔවුන් ගුණ ධර්මවලින් පෝෂණය වී නොමැති නම් ඔවුන් ලැබූ අධ්‍යාපනය ජාතියට නිසි පරිදි ගලාගෙන යන්නේ නැහැ.

ඒ නිසා සෑම දරුවෙකුම ඔවුන් ලබන ආගමෙන් දහමෙන් පෝෂණය ලැබිය යුතුයි. ආගමික ශික්ෂණයක් ලද දරුවා කිසිවිටෙක සමාජ විරෝධී ක්‍රියාවක් සිදු කරන්නේ නැහැ. ආගමික පරිසරයෙන් යුතු පුරවැසියෙක් ගෙන් සෑම විටම සමාජයට වන්නේ යහපතක්. එවන් පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම සඳහා නීති පැනවෙන පනත නීතිගත කිරීමේදී එම ආයතන ප්‍රධානීන් සමගද අප සාකච්ඡා කළා.

ඒ අනුව ඉරිදා දින සහ පෝය දින ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන එනවා. උපකාරක පන්ති ගුරුවරුන් සමගද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. මේ සමග දහම් පාසල් සඳහා ළමුන් යොමු කිරීමට පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා . මේ සම්බන්ධව අපි ‍මහා සංඝරත්නය හා ආගමික නායකයන්ගෙන් ද උපදෙස් ලබා ගත්තා. ඒ අනුව රටේ සියලුම දරුවන් දහම් පාසල් සඳහා යොමු වනු ඇති” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් සහ මහරගම ප්‍රාදේශීය දේශපාලඥයෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා ඉල්ලා අස්වීමේ සූදානමක?

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයෙහි (Anti-Corruption) ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ලක්‍ෂ්මන් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව 'අද' ට වාර්තා වේ.මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතු 02ක් බලපා ඇති අතර, පසුගියදා ගාල්ලේදී නිමාව දුටු ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙක් සමග මතගැටුමකට මැදිවීමත්, දූෂණ මර්දන ඒකකයේ කටයුතුවලට යම් යම් පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ලවීමත් යන කරුණු ඊට ඉවහල්ව ඇතැයි වාර්තා වේ.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙකු සමග ගාල්ලේදී ඇති වූ මතගැටුමකින් පසුව ද සිල්වා මහතා සිය සමීපතමයන්ට දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට පැමිණි නවකයන් ජ්‍යෙෂ්ඨයන්ට ගරු කිරීමටවත් නොදන්නා බවත්, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසන කිසිම කාරණයකට සවන්දීමටවත් ඔවුන් සූදානම් නොමැති බවත්ය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්හි නිලධාරීහු කටයුතු කරන්නේ නම් තමාට ඉදිරියට වැඩකටයුතු කිරීමට නොහැකි බවත්, එවැනි තත්ත්වයක් උදා වුවහොත් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව සිය තනතුරට සමුදීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ලක්‍ෂ්මන් ද සිල්වා මහතාගේ සේවා කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති අතර, දූෂණ මර්දන ඒකකයේ කටයුතුවලට යම් යම් පුද්ගලයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ඔහු අදාළ ධුර කාලය නිමාවීමට පෙර ඉල්ලා අස්වීම භාරදෙනු ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ලක්‍ෂ්මන් ද සිල්වා මහතාගෙන් කරුණු විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ තම සේවා කාලය තවත් මාස 06කට දීර්ඝ කර ඇති බවත්, යම් යම් සිද්ධින් හේතුවෙන් තමන්ට ගැටලු ඇති බවත්ය. “පොඩි පොඩි සිද්ධීන් කිහිපියක් වුණා. එහෙත් මම උපරිම උත්සාහ කරනවා අදාළ මාස 06 රාජකාරි කරන්න. එහෙත් කියන්න බැහැ වාතාවරණය අනුව කොහොම වේවිද කියලා" යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය. 

 මේ අතර පසුගිය සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී යම් යම් ගැටලුකාරී අවස්ථා කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර දූෂණ මර්දන ඒකකය හා ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකය පරීක්‍ෂණයක් පවත්වන බව මාධ්‍ය වාර්තා පළවුණු අතර, ලක්‍ෂ්මන් ද සිල්වා මහතා එම ප්‍රවෘත්තිය අසත්‍යයක් බවද ප්‍රකාශ කළේය.

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාව මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට තමාට මුණ ගැසීමට නොහැකි වුණු බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයෙන් එවැනි පරීක්‍ෂණයක් ක්‍රියාත්මක නොවන බවද ඔහු තහවුරු කළේය.

කෙසේ වෙතත් සිම්බාබ්වේ තරගාවලිය අතරතුර සම්පත් හෙට්ටිආරච්චි නමැත්තෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායම් රැස්වීම්වලට සහභාගි වී ඇතැයි ද මාධ්‍ය වාර්තා පළවන අතර, ඔහු මෙරට ක්‍රිකට් පරිපාලනයේ ඉහළම නිලධාරියෙකුගේ ඥාතියෙකු බවද අනාවරණය වේ. මෙහිදී යම් යම් සිද්ධීන් කිහිපයක් සිදුව ඇති බවට විවිධ පිරිස් චෝදනා කරති. කෙසේ නමුත් ලක්‍ෂ්මන් ද සිල්වා මහතා පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් හෝ ලැබී නොමැති බවත් කිසිදු පරීක්‍ෂණයක් හෝ ක්‍රියාත්මක නොවන බවත්ය. 

ඒකාධිපතියකු තම ජනතාවට කී අවසන් කතාව

"දයාවන්ත වූත්, ත්‍යාගවන්ත වූත් අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන්,

අවුරුදු හතළිහක්‌, ඇතැම් විට ඊට වැඩි කාලයක්‌දැයි මට මතක නැත, මම මගේ ජනතාවට අවශ්‍ය නිවාස, රෝහල්, පාසල් හා ඔවුන් කුසගින්නේ සිටින විට ඔවුන්ට අවශ්‍ය ආහාර ද ලබාදෙන්නට මට හැකි සෑම දෙයක්‌ම කළෙමි. කාන්තාරයක්‌ව තිබුණු බෙන්ගාසිය පවා මම සශ්‍රීක ගොවිබිමක්‌ කළෙමි. මම රොනල්ඩ් රේගන් නම් වූ ගොපල්ලාගේ ප්‍රහාරවලට එරෙහිව නැඟී උන්නෙමි. ඒ ඔහු මා විසින් හදාගත් අහිංසක අනාථ දියණියව මරාදැමූ විටය. ඔහු උත්සාහ කළේ මා මරාදමන්නටය. එහෙත් මියයන්නට සිදුවුණේ ඒ දුප්පත් අහිංසක දැරියටය. ඉන්පසු මම අප්‍රිකානු සන්ධානය වෙනුවෙන් මගේ අප්‍රිකානු සොයුරන්ටත් අරාබි මිතුරන්ටත් මුදලින් උපකාර කළෙමි.

මහජන කමිටු වලින් රට පාලනය කරමින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකල්පය වටහාගන්නට මගේ රට වැසියන්ට උදව් කරන්නට මට කරන්නට හැකි සියලු දේ කළෙමි. එහෙත් එයද ප්‍රමාණවත් වූයේ නැත. කාමර දහයකටත් වැඩි නිවාස හා ඒවා පිරෙන්නට බඩුමුට්‌ටු ද ඇති මිනිසුන්ට පවා ඒවායින් සෑහීමකට පත් වෙන්නට නොහැකි විය. ඔවුන්ට තව තවත් දේ වුවමනා විය.

තමන්ට 'ප්‍රජාතන්ත්‍රවාදයත්', 'නිදහසත්' වුවමනා බව ඔවුහු ඇමෙරිකානුවන්ට සහ අනෙකුත් අමුත්තන්ට කීහ. එය "ලොකුම බල්ලා විසින් සෙසු උන්ව කා දමන" අන්දමේ බෙල්ල කපන ක්‍රමවේදයක්‌ වේ යෑයි ඔවුන් හඳුනාගත්තේ නැත. ඔවුන් මේ වචන වලින් කොතරම් වශී වී උන්නාදැයි කිවහොත් ඇමෙරිකාව යනු නොමිලේ ඖෂධ නැති, නොමිලයේ නිවාස නොදෙන, නොමිලයේ ප්‍රතිකාර කරන රෝහල් නැති, නොමිලයේ අධ්‍යාපනය නොදෙන, නොමිලයේ ආහාර නොදෙන, සහ මිනිසුන්ට තම ආහාරවේල උපයා ගන්නට දවස පුරා වෙහෙස වී වැඩ කරන්නට සිදුවෙන රටක්‌ බව ඔවුන් තේරුම් ගත්තේ නැත.

මා කොතරම් දේ කළ ද ඇතැමුන්ට එයින් සෑහීමකට පත්වන්නට නොහැකි විය. එහෙත් මගේ අනෙක්‌ රටවැසියෝ මා ගැන දැන සිටියහ. මා ගමාල් අබ්දුල් නසාර්ගේ පුත්‍රයා බව ඔවුහු දනිති. සලාහ් අල් ඩීන්ට පසුව අපට උන් එකම මුස්‌ලිම් නායකයා හා අරාබි නායකයා ඔහු පමණකි. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන් සූවස්‌ ඇළ ගොඩනැඟුවාක්‌ මෙන් මම මගේ මිනිසුන් වෙනුවෙන් ලිබියාව ගොඩනැඟුවෙමි. මා ගියේ ඔහුගේ පියසටහන් අනුවය. ඔහු මෙන්ම මාද උත්සාහ කළේ අපේ උරුමය සොරාගන්නා සොරුන්ගෙන්, යටත්විජිත ආධිපත්‍යයෙන් මගේ මිනිසුන් මුදාගන්නටය. දැන් මම යුද ඉතිහාසයේ විශාලතම සේනාවකගේ ප්‍රහාරයට යටත්ව සිටින්නෙමි. මගෙ පුංචි අප්‍රිකානු පුත්‍රයා, ඔබාමාට මා මරා දමන්නට වුවමනාය. ඔහුට අපේ රටේ නිදහස උදුරාගන්නට වුවමනාය. අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ගෙවල්, අපේ රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවය, අපේ නිදහස්‌ අධ්‍යාපනය, අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ආහාර, උදුරා ගන්නට ඔහුට වුවමනාය. එහෙත් එහි අර්ථය කුමක්‌දැයි තුන් වැනි ලෝකයේ රටවල අපි හොඳින් දනිමු. එහි අරුත සංස්‌ථාවන් විසින් රටවල් පාලනය කිරීමත්, ලෝකය පාලනය කිරීමත් එයින් මිනිසුන් විඳවීමත්ය.

ඉතින් මට වෙනත් විකල්පයක්‌ නැත. මා මෙයට මුහුණදිය යුතුය. අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව ඔහු පෙන්වූ මාර්ගයේ යමින් මා මියයා යුතුය. අපේ රට ගොවිබිම්වලින් සශ්‍රීක කර, ආහාරයෙන් හා සෞඛ්‍යයෙන් පොහොසත් කර, අපේ අප්‍රිකානු හා අරාබි සහෝදර සහෝදරියන්ටත් උදව් කළ යුතු බව අල්ලාහ් දෙවියන් මට පෙන්වූ මාර්ගයයි.

මම මැරෙන්නට අකමැත්තෙමි. එහෙත් මගේ මව්බිමත්, මගේ මිනිසුන් හා මගේ දරුවන් බඳු වූ දහස්‌ ගණන් දරුවනුත් රැකගන්නට මගේ ජීවිතය දෙන්නට සිදුවේ නම් එය මම ඉටු කරමි. මම නේටෝවේ කුරුස යුද්ධගාමීන්ගේ ප්‍රහාරවලට එරෙහිව නැඟී සිටියෙමි. කෲරත්වයට එරෙහිව නැඟී සිටියෙමි. පාවාදීම්වලට එරෙහිව නැඟී සිටියෙමි. බටහිරටත්, එහි යටත්විජිතවාදී බල තණ්‌හාවටත් එරෙහිව නැඟී සිටියෙමි. මගේ අප්‍රිකානු සහෝදරයන් හා මගේ සැබෑ අරාබි මිතුරන් වෙනුවෙන් මට හැකි අයුරින් පෙනී සිටියෙමි. මගේ මේ අවසන් ප්‍රකාශය ඒ බව ලෝකයට කියන මගේ හඬ වේවා. අනෙක්‌ අය මාලිගා තනද්දී මම සාමාන්‍ය නිවසකත්, ඇතැම් විට කූඩාරමකත් දිවිගෙවූයෙමි. සිරේට්‌හි ගෙවුණු මගේ තරුණ කාලය මට අමතක නැත. මා අපේ ජාතික භාණ්‌ඩාගාරය අත්තනෝමතික ලෙස භාවිත කළේ ද නැත. අපේ ශේ්‍රෂ්ඨ මුස්‌ලිම් නායකයකු වූ සලාෆ් අල් ඩීන් මෙන්ම මාද මා වෙනුවෙන් ලබාගත්තේ ඉතා ස්‌වල්පයකි. බටහිර සිටින සමහරුන් මාව "පිස්‌සෙකු" ලෙස හඳුන්වනු ඇත. ඔවුන් බොරුව තවදුරටත් පතුරුවන්නේ සත්‍ය දැන දැනමය. අපේ රට අධිරාජ්‍යවාදී ග්‍රහණයට හසු නොවූ නිදහස්‌ නිවහල් භූමියක්‌ බව ඔවුහු දනිති. මගේ දැක්‌මත්, මගේ ගමන්මඟත් මගේ මිනිසුන්ට පැහැදිලි බවත් ඔවුහු දනිති. එය දැන දැනමත් ඔවුහු බොරුවම පතුරුවති. මගේ අවසන් හුස්‌ම පොද තෙක්‌ම මම අපේ නිදහස වෙනුවෙන් සටන් කරමි. නිදහස්‌වත් විශ්වාසවන්තවත් පවතින්නට අල්ලාහ් දෙවියන් අපට පිහිට වනු ඇත".

කර්නල් මුවම්මර් ගඩාෆි.
2011.04.17 වැනි දිනදීය.

(කර්නල් මුවම්මර් ගඩාෆි තම රටවැසියන් අමතා කළ අවසන් නිල ප්‍රකාශය මෙය බව කියෑවෙයි.)

නිසරු කාන්තාර රටක්‌ව තිබුණු ලිබියාව මුවම්මර් ගඩාෆිගේ පාලන කාලය තුළ කලාපයේ සශ්‍රීකම රාජ්‍යය බවට පත්වූ බව ප්‍රතික්‌ෂේප කළ නොහැකි සත්‍යයකි. මේ කර්නල් ගඩාෆිගේ පාලන සමය තුළ ලිබියාවේ පැවති තත්ත්වය ගැන ඔබ නොදත් කරුණු කිහිපයකි.

* ඒ කාලය තුළ ලිබියාවේ විදුලි බිල් තිබුණේ නැත. සියලුම රටවැසියන්ට විදුලිය නොමිලේ ලැබිණ.

* ණයවලට පොලියක්‌ නැත. ලිබියාවේ සියලු බැංකු රජය සතු වූ අතර, රටවැසියන්ට ණය නිකුත් කරන ලද්දේ 0% ක ණය අනුපාතයටය.

* ලිබියානුවකුට උපාධියෙන් පසුවත් රැකියාවක්‌ සොයාගැනීමට නොහැකි වී නම් ඔහුට හෝ ඇයට සුදුසු රැකියාවක්‌ ලැබෙන තුරු රජයෙන් එම තැනැත්තාට ප්‍රමාණවත් වැටුපක්‌ ගෙවයි.

* කෘෂිකර්මාන්තය/ගොවිපළ පාලනය කිරීමට යොමුවන ලිබියානුවන්ට ඒ සඳහා භූමියක්‌, නිවසක්‌, කෘෂි උපකරණ, පශු සම්පත් හා අවශ්‍ය මූලික පහසුකම් රජයෙන් නොමිලයේ සැපයෙයි.

* කාන්තාරයක්‌ව තිබුණු රටක සෑම තැනකටම පහසුවෙන් ජලය ලබාගැනීමට හැකිවුණු Great Man-Made River නම් වූ ලෝකයේ විශාලතම ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ කර්නල් මුවම්මර් ගඩාෆිය.

* "නිවසක්‌ යනු සෑම පුද්ගලයකුගේම මානව හිමිකමකි" යි ලිබියාවේ එවකට සැලකිණි.

* ලිබියාවේ අලුත විවාහපත් වන අයට ලිබියානු රජයෙන් ඔවුන්ගේ පළමු නිවාසය මිලදීගෙන නව දිවිය ඇරඹීම සඳහා ඩිනාර් 60,000 ක්‌ (ඇමෙරිකානු ඩොලර් 50,000) ක්‌ ලබාදෙනු ලැබිණ.

* එක්‌දරු උපතක්‌ සඳහා මවකට ඇමෙරිකානු ඩොලර් පන්දහසක දීමනාවක්‌ රජයෙන් ලබාදෙනු ලැබිණ.

* ලිබියානුවකු මෝටර් රථයක්‌ මිලදී ගන්නා විට එහි වටිනාකමින් 50% ක්‌ රජය විසින් දරනු ලැබිණ.

* එවකට ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ. ඩො. 0.14 ක්‌ විය.

* අධ්‍යාපනයත් වෛද්‍ය ප්‍රතිකාරත් රටවැසියන්ට මුළුමනින්ම නොමිලේ ලැබිණ. අරාබිය හා අප්‍රිකානු ලෝකය තුළ හොඳම සෞඛ්‍ය සේවාවක්‌ තිබුණු රට ලිබියාව විය. සෑම පුද්ගලයකුටම කිසිදු ගාස්‌තු අය කිරීමකින් තොරව වෛද්‍යවරුන්ගේ, රෝහල්වල, සායනවල සේවාව හා නොමිලේ ඖෂධ ලබාගත හැකි විය.

* ලිබියානුවකුට තමාට අවශ්‍ය අධ්‍යාපනය හෝ වෛද්‍ය ප්‍රතිකාරයක්‌ ලිබියාවේදී ලබාගත නොහැකිව පිටරටකට යන්නට සිදුවුවහොත් ලිබියානු රජය විසින් ඒ සඳහා අවසරය ලබාදෙන අතර ඒ වෙනුවෙන් වියදම් කිරීමට ඇ. ඩො. 2300 ක මාසික දීමනාවක්‌ ද එකී පුද්ගලයාට ලබාදෙන්නට කටයුතු කෙරිණ.

* ගඩාෆිගේ පාලනයට පෙර ලිබියාවේ සාක්‌ෂරතාව තිබුණේ 25% ක්‌ පමණක්‌ වන අතර වර්තමානය වන විට එය 87% කි. ලිබියාවේ 25% කට පමණම විශ්වවිද්‍යාල උපාධියක්‌ ඇත.

එලෙසින් තිබුණු ලිබියාව ඇමෙරිකාවේත්, නේටෝ හමුදාවන්ගේත් සහයෙන් "ඒකාධිපතියාගෙන් මුදාගත්" පසුව අද පත්ව ඇති තත්ත්වය ගැන කිව යුතු නැත. බොහෝ ආසියාතික හා මුස්‌ලිම් රටවල් වර්තමානයේ අස්‌ථාවර වී ඇත්තේ එවන් පාලකයන්ගේ නායකත්වය හා ආරක්‌ෂාව නැති හෙයිනි.

| නිම්මි මුදිතා හේරත්

ඩයනාගේ පෞද්ගලික දිවිය චැනල් 4 නිරුවත් කිරීමට යයි | VIDEO

 විවාදාත්මක හා දුක්බර තම විවාහ දිවිය පිළිබඳව නැසීගිය ඩයනා කුමරිය කතා කරන වීඩියෝ පටයක් චැනල් 4 නාලිකාව ප්‍රචාරය කිරීමට සූදානමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

'ඩයනා, ඇයගේම වචනයෙන්' යන විශේෂ වාර්තා වැඩසටහන ඩයනා මියගොස් 20 වැනි වසර සපිරෙන අවස්ථාවේදී ප්‍රචාරය කිරීමට චැනල් 4 නාලිකාව බලාපොරොත්තුවෙන් සිටියත්, ඩයනාගේ සමීපතමයන් හා හිතවතුන් එය ප්‍රචාරය නොකරන ලෙස චැනල් 4 නාලිකාවට බල කරන බවද එම වාර්තා සඳහන් කරයි.

මෙම වීඩියෝ පටය මීට පෙර බ්‍රිතාන්‍ය තුළ ප්‍රචාරය වී නොතිබුණු අතර, මේ හරහා එරට ජනතාව මෙතෙක් නොදුටු කතාවක් දිගහැරෙන බව චැනල් 4 නාලිකාව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඩයනාගේ ළඟම හිතවතියක වන රෝසා මෝනක්ටොන් පවසන්නේ චැනල් 4 නාලිකාව ඩයනාගේ පෞද්ගලික ජීවිතය පාවාදෙන්නන් පිරිසක් බවයි.

කෙසේ වෙතත්, මෙම වීඩියෝ පටයෙන් ඩයනා තමන්ගේ විවාහ ජීවිතය, ලිංගික සම්බන්ධතා මෙන්ම, ඇයගේ ස්වාමියා වූ චාල්ස්, කැමිලා පාකර් සමග පැවති සබඳතාවයේදී තමා මුහුණදුන් අභියෝග විස්තර කරන බව කියැවෙයි. 



2 වැනිදා රට පුරා වර්ජන..

ලබන අගෝස්‌තු මස 02 වැනිදා ජාතික විරෝධතා දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර රජයට එරෙහිව රටපුරා විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීමට සයිටම් විරෝධී ජනපවුර ව්‍යාපාරය තීරණය කර ඇත.

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම, සයිටම් අහෝසි නොකිරීම, එට්‌කා ගිවිසුම, අතුරුදන් පනත, මැතිවරණ කල් දැමීම ඇතුළු ආණ්‌ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම විරෝධතා පැවැත්වෙයි.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්‌ෂ, ජනතා විමුක්‌ති පෙරමුණ, වෘත්තීයවේදී සංගම්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාර රැසක්‌ එදින මෙම විරෝධතාවට එක්‌වීමට තීරණය කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩල වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පැවසීය.

ප්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වැඩ වර්ජන හා ඒවා ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටත්, දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ප්‍රධාන නගරවල විරෝධතා පෙළපාලි හා ජනහමු පැවැත්වීමටත්, ආයතන මට්‌ටමින් කළු පටි පැළැඳ විරෝධය පළකිරීමටත් එදින කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

මෙම විරෝධතාවට එක්‌වීමට තව තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වෘත්තීය සමිති රැසක්‌ සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

කසළ දැම්මොත් රුපියල් 125,000ක් දඩ

මෙරට ගංගා ඇළ දොළවලට හා පරිසර සංවේදී කලාපවලට කුණු කසළ බැහැර කළහොත් රුපියල් 125,000 දක්වා දඩ නියම කළ හැකි නීති රීති දැන් සකස් කර ඇතැයි බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති හා මහ නගර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා පවසයි.

දැනට මෙම නීති රීති දැඩිව ක්‍රියාත්මක බවත් මේ යටතේ මේ වසර ඇතුළත පුද්ගලයන් 2655කට පමණ කුණු කසළ දැමීම නිසා පොලිසියෙන් අල්ලා නඩු පවරා ඇති බවත් ඇමැතිවරයා පවසයි.


31 July 2017

මුරපදය හොයා ගන්නම් ඉවසන්න - අර්ජුන් ඇලේසියස්ට අතිරේක සොලිස්ටර් ජනරාල් කියයි

 පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබා නොදුන්නොත් විමර්ශන නිලධාරීන් එය සොයා ගන්නා බවත්, එතෙක් ඉවසා සිටීමට අර්ජුන් ඇලෝසියස් මහතාට සිදුවන බවත් කොමිසමේ කටයුතුවලට සහාය වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර කොමිසමට අද (31දා) දැනුම් දුන්නේය.

අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබාදීමේ අපහසුතාව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසමට පැහැදිලි කළ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා එසේ දැනුම් දුන්නේය.

2015 පෙබරවාරි මස පළමු වැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්‍ෂි විභාග කිරීම සිදුකෙරේ.

අර්ජුන් ඇලෝසියස් මහතා භාවිත කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුළු සියලු විද්‍යුත් සන්නිවේදන උපකරණ විමර්ශන නිලධාරීන්ට බාරදෙන ලෙස බැඳුම්කර කොමිසම ඔහුට නියම කළද, ඔහු කොමිසමට බාරදී ඇත්තේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේ සිට තොරතුරු පමණක් බවත්, මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික පරීක්‍ෂණයක් සිදුකිරීමට අවශ්‍ය වී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා මීට පෙර අවස්ථාවකදී කොමිසමට දැනුම් දෙමින් කළ ඉල්ලීමක් පිළිගත් කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතා 2016 ඔක්තෝබර් මාසයේදී භාවිත කළ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) මුරපදය (Password), භාවිත නාමය (User Name) ආදී කරුණු විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසද නියම කළේය.

බැඳුම්කර කොමිසමේ කටයුතු අවසන් වීමට ආසන්න අවස්ථාවේදී අර්ජුන් ඇලෝසියස් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබාදීමේ අපහසුතාව පිළිබඳ පැහැදිලි කළේය.

මේ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (‘ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබා දුන්නොත් පැය 48ක් ඇතුළත එම උපකරණ සියල්ලම ආපසු ලබාදීමට හැකියාව ඇතැයිද, රහස්‍ය අංකය ලබාදුන්නේ නැත්නම් ඊට විකල්පයක් වශයෙන් එහි රහස්‍ය අංකය සොයා ගන්නා තුරු ඉවසා සිටීමට සිදුවන්නේ යැයිද පැවසීය.

මුදල් ඇමැති රවි කරුණානායකට සුපිරි මහල් නිවස ගත්තේ කලු සල්ලිවලින්

රවි කරුණානායක පවුල සඳහා මොනාක් රෙසිඩන්පිසීස්  මහල් නිවස සංකීර්නයෙන් සුපිරි නිවස මිලදී ගැනීම සඳහා වැය කළ ලක්ෂ 160ක කෙතැනකින් පැමැණියේදැයි නොදන්නා ගිනුම් පොත්හි සඳහන් නොවූ ජවාරම්කාර මුදලක් බව අද බැදුම්කර කොමිසම හමුවේ හෙලිදරව් විය.

මෙම මුදල ගෙවන ලද්දේ ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් සහ ලොජිස්ටික් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා ඔහු සතු සේප්පුවක තබා තිබූ රුපියල් මිලියන 145 කට අධික මුදල් නෝට්ටු මගින් බව  එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා අද බැදුම්කර කොමිසමේදී ප්‍රකාශ කළේය.

මෙම මුදල සමාගමේ කිසිදු මුල්‍ය ලියවිල්ලක සඳහන්ව තිබී නැත.

එළෙස මුදල්තැ තැන්න්පපත්ත් කර තිබීම  මුදල් විශුද්ධිකරණයට උත්සහ ගැනීමක් විය හැකිද ඔහු සඳහන් කළේය.

මේ අතර  පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් විශාල මුදල යෙදවූයේ, කුමන ආයෝජන සඳහා දැයි සොයා බැලිය යුතු බවට ද කොමිසම නිර්දේශ කර තිබේ.

මේ අතර 2016දී  මෙම සුපිරි මහල් නිවාසය මිලදී ගත් ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් සහ ලොජිස්ටික් පෞද්ගලික සමාගමේ ප්‍රධාන මූල්‍ය නිළධාරී බ්‍රයන් සින්නයියා මහතා අද කොමිසම හමුවෙහි සාක්ෂි දුන්නේය.

2015 ජනවාරි 8 වනදා ඉල්ලා අස්වනතෙක් අමාත්‍ය රවී කරුණානායක මහතාද එම ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ වරයකුවූ අතර ඇති අතර මේ වන විට අමාත්‍යවරයාගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය එහි විධායක අධ්‍යක්ෂවරුන් ලෙස සේවය කරයි.

ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් සහ ලොජිස්ටික් පෞද්ගලික සමාගමේ සභාපති ධුරය දරන්නේ එංගලන්තයේ පදිංචි සිලක්ෂිමිකාන්තන් නැමැත්තෙකි.

සින්නයියා මහතා කොමිසම ප්‍රකාශ කළේ 2016 ජුලී මස ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් සහ ලොජිස්ටික් පෞද්ගලික සමාගමේ ආයතනයේ ආයෝජනයක් වශයෙන් මෙම සුඛෝපභෝගී නිවස මිලදී ගන්නා ලෙස අධ්‍යක්ෂවරුන් තමන්ට උපදෙස් දුන් බවයි.

ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් සහ ලොජිස්ටික් පෞද්ගලික සමාගමේ සභාපති ලෙස කටයුතු කරන ලක්ෂ්මිකාන්තන් නැමැත්තා 2016 පෙබරවාරි මස එංගලන්තයේ සිට පැමිණ ෙ රැපියල් මිලියන 70ක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු පාර්සල් දෙකක් එම සේප්පුවේ තැන්පත් කරන ලෙස ඔහුට උපදෙස් දී තිබේ.

මෙකී  නිවස මිලට ගැනීම සඳහා ලබාගත් බැංකු ණය පළමු වාරිකයේ සිටම ගෙවන ලද්දේ මෙම සේප්පුවෙන් ලබාගත් නෝට්ටු වලින් බව ඔහු කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ 2017 පෙබරවාරි මස ලක්ෂ්මිකාන්තන් නැමැත්තා මෙරටට පැමිණි මොහොතේ තවත් රුපියල් මිලියන 75ක් වටිනා මුදල් නෝට්ටු සේප්පුවේ තැන්පත් කළ බවයි.

මෙවැනි ධනයක් මෙරටට ගෙ ආවේද නැතිනම් මෙරටින් ලබා ගත්තේද යන්න පැහැදිළි නැත.

එවකට මුදල් ඇමැතිවරයා වශයෙන් සිටි රවි කරුණානායක මෙවැනි නීති විරෝධී මුල්‍ය ජාවාරමක කොටස්කරුවකු වී සිටීම දේශපාලන අංශයන්හි මවිතයට හේතුවී තිබේ.

වෙනත් රටකදී නම් ඇමැතිවරයා මේ වන විටත් ඉල්ලා අස්විය යුතුව තිබූ බව ද විවිධ ආංරචි මාර්ග සඳහන් කරයි.

රවි කරුණානායක ඉල්ලා අස්විය යුතු බවට වන තෙරපුම වර්ධනය වෙමින් තිබෙන අතර ජනාධිපති සිරිසේන කියා ඇත්තේ කුණු වූ ආණ්ඩුවක සිටීමට තමන් සූදානම් නැති බවයි.

ෂැංගිලා හෝටලයට ගොස් එන බණ්ඩාරනායක දුටුවෙහිද?

මොස්කව් නුවර සූර්කොෂ් රාජ්‍ය කලායතනයේ ප්‍රධානීයා ද රුසියාවේ ඇකඩමියේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කළ සෝවියට් දේශය බිහිකළ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු ලෙස සැලකෙන ලෙව් කෙරබල් මූර්ති ශිල්පියා එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. මේ ශ්‍රේෂ්ඨ මූර්ති ශිල්පියාගේ ඉල්ලීම ඉතා සතුටින් පිළිගෙන ඇති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එය එසේම වන බවට පොරොන්දුවක් ද ලබා දී තිබේ.

ලෙව් කෙරබල් ශ්‍රී ලංකාව තුළ සනිටුහන් කළ අපූරු සළකුණක් ඇත. එය අන් කිසිවක් නොව ගාලු මුවදොර ආසන්නයේ ස්ථාපිත කර ඇති බණ්ඩාරනායක පිළිරුවයි. එම පිළිරුවේ නිර්මාණ ශිල්පියා වන්නේ ලෙව් කෙරබල්ය. කෙරබල් එම නිර්මාණය කරන්නේ සෝවියට දේශයේ රජයෙන් සිදුකළ නියමයක් අනුවය. පංච මහා බලවේගය හමුවේ ඇති නොනිමි මෙහෙවර උදෙසා මහා මාරුතයන් මැද ඝෘජු ලෙස ඉදිරියට ඇදෙන බණ්ඩාරනායක පෞර්ෂය කදිමට නිරූපණය කරන එම ප්‍රතිමාව සෝවියට දේශයෙන් ශ්‍රී ලංකාවට පිදෙන ත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එනු ලබන්නේ 1976 වර්ෂයේදී ය. ඒ මොස්කව් නුවර සිට ඒ සඳහාම යොදවන ලද විශේෂ මිග් ගුවන් යානයකිනි.

මාපලගම විපුලසාර හිමි

මෙරටට රැගෙන ආ අසහාය ශ්‍රී ලාංකික පුත්‍රයාගේ පිළිරුව ස්ථාපිත කිරීම සඳහා සුදුසු ස්ථානය නිර්ණය කර ඇත්තේ කලාශූරි මාපලගම විපුලසාර හිමිපාණන් විසිනි. එම ස්ථානයේ ඊට සුදුසු පසුතලය හෙවත් ඒ සඳහාම සකස් කරන ලද කඳුගැටය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන සුරේන් වික්‍රමසිංහ මහතා විසිනි. ඒ සියල්ලන්ගේ නිර්මාණ දායකත්වයෙන් ස්ථාපිත කළ බණ්ඩාරනායක පිළිරුව විවෘත කිරීමෙන් පසු එහි නිර්මාණ ශිල්පියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් සිදු කර ඇති ඉල්ලීම කුමක් විය හැකිද?

මැතිණියනි, මේ පිළිරුව මගේ නිර්මාණයක් වුවත් ඒ තුළ මූර්තිමත් වන්නේ මේ රටේ අසහාය නායකයෙකි. එතුමන් කෙරෙහි ද රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව ද සෝවියට ජනතාව තුළ පවත්නා ගෞරවය සනිටුහන් කිරීම සඳහා මෙම පිළිරුව නිර්මාණය කර ඔබ වෙත පිරිනමන්නෙමු. මේ පිළිරුවට කරන ගෞරවයක් ලෙසට මේ පිළිරුව තුළින් මූර්තිමත් වන අසහාය පෞර්ෂය ද බණ්ඩාරනායක මහතා අනුදත් දේශපාලන දර්ශනය ද මැනවින් ප්‍රදර්ශනය වනු පිණිස එය සදාකල් මේ ආකාරයෙන්ම පවත්වාගත යුතුය. එහිදී කිසිඳු විටක මේ පිළිරුව පිටුපස හෝටලයක් ඉදි නොකිරීමට වගාබලා ගත යුතුය. මා ඔබගෙන් කරන එකම ඉල්ලීම එයයි.

ලෙව් කෙරබල් ශ්‍රේෂ්ඨ මූර්ති ශිල්පියා බණ්ඩාරනායක මැතිණයගෙන් එවැනි ඉල්ලීමක් කර ඇත්තේ එවැන්නක් සිදුවුවහොත් ඒ මගින් බණ්ඩාරනායක පිළිරුව තුළ මූර්තිමත්වන ජීව ගුණයට එමගින් හානියක් සිදුවිය හැකි නිසා පමණක්ම නොවේ. එවැන්නක් මගින් බණ්ඩාරනායක පිළිරුව ඒ හෝටලයේ තවත් එක් අලංකාරික භාණ්ඩයක් බවට ද පත්වන බව මැනවින් තේරුම්ගැනීම නිසා විය යුතුය.

එහෙත් අද වන විට ලෙව් කෙරබල් ද ජීවතුන් අතර නැත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද අප අතර ජීවත් නොවේ. එහෙත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක වැනි දැවැන්ත චරිත මත ගොඩනැගුණු මේ රටට නව දේශපාලන සම්ප්‍රදායක් උරුමකර දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලන සමයකදීම බණ්ඩාරනායක පිළිරුව චීන හෝටලයක දොරටුපාලයෙක් කර තිබේ.

ඒ සඳහා මග සකසා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. එය එසේ සිදු කර ඇත්තේ බණ්ඩාරනායක පිළිරුව ආසන්නයෙන්ම අක්කර 06 කට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් චීන හෝටල් සමාගමකට සින්නක්කරවම විකුණා දැමීම මගිනි. කෝට්ටේ යුගයේ රජකළ දොන් ජුවාන් ධර්මපාලගෙන් පසු මේ රටේ කිසිම පාලකයෙක් එවැන්නක් සිදුකර නැති බවනම් ඉතා පැහැදිළිය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටී අශෝක පීරිස් මහතා ප්‍රකාශ කර ඇති ආකාරයට ජනාධිපති මන්දිරය අසළ යුද හමුදා මූලස්ථානය ද පිහිටි මෙම ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් චීනයට අයත් ෂැංගිලා හෝටල් සමූහයට විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයට ද හොර රහසේය.

ඒ කෙසේ වුවත් දැන් අප රටට එම ඉඩමේ හිමිකමක් නැත. එහෙත් අප රටට කළ ගෞරවයක් ලෙස සෝවියට සමූහාණ්ඩුව මගින් නිර්මාණය කර පරිත්‍යාග කරන ලද බණ්ඩාරනායක පිළිරුව තවදුරටත් පවතිනවා ඇත. එහෙත් ඒ පෙර පැවති ආකාරයෙන්ම නොවේ. ඉතා නුදුරු දිනයක සංචාරයක පාරාදීසයක් විය හැකි දැවැන්ත හෝටලයක් ඉදිරිපිට ඇති බණ්ඩාරනායක පිළිරුව බොහෝ දෙනෙකුට එදවස දිස්වනු ඇත්තේ හෝටලය තුළ සිට පිටතට එන තවත් එක් පුද්ගලයෙකු ලෙසටය.

මේ රටේ දේශප්‍රේමියෙකු ලෙස පෙනී සිටින්නෙකු සැබෑ දේශප්‍රේමියෙකුට අත්කරදී ඇත්තේ එවැනි වූ ඉරණමකි.

| සුනිල් ජයසේකර

රාජපක්ෂ සදාකාලයටම ගාලු මුවදොර ඉඩම් චීන සමාගමකට ලියා දුන් ලියැවිල්ල මෙන්න | PHOTO

කොළඹ යුධ හමුදා මුලස්ථානය පිහිටි ගෝල්ෆේස් ඉදිරිපිට ඉඩම ජනපති රාජපක්ෂ විසින්  සින්නක්කරවම ෂැංගිලා හෝටල්   සමාගමට විකුණා දැමු ලියැවිල්ල  පහත දැක්වේ.

අද හම්බන්තොට චීනයට දෙන්නේ යැයි කෑමොර දෙන රාජපක්ෂවරුන් රටේ වැදගත්ම මර්මස්ථානයක් චීන සමාගමකට පවරා දුන්නේ එසේය.

හෙක්ටයාර 2.4361 හෙවත් පර්චස් 963.15ක් රුපියල් මිලියන 8250ක  රාජපක්ෂවරු චීන සමාගමට ලියා දුන්නේ පර්චසයක් ලක්ෂ 85ක පමණ අඩු මිලකටය. මතක තබා ගන්න මේ විකිණීම කර ඇත්තේ සදාකාලිකවය.






ජනපති දියණියකගේ ඡායාරූපයක් සමාජ ජාල කළඹයි

ජනපතිවරයෙකුගේ බාල දියණියකගේ ඡායාරූපයක් හේතුවෙන් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බෙයාෆ්ගේ බාල දියණිය වන අලියා ශගීවා සිය දියණියට මව්කිරි ලබාදෙන ඡායාරූපයක් මෙලෙස දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

එම ඡායාරූපයේ දැක්වෙන්නේ ඇය විසින් නිරාවරණය කෙරුණු උඩුකයෙන් යුක්තව සිය දරුවාට මව්කිරි පොවන ආකාරයයි.

කෙසේ වෙතත් මෙය දරුවෙකුට මව්කිරි පොවන දසුනක් ද නැතහොත් එය සරාගී හැගීම් මතුකරන දසුනක්දැයි සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයක් මතුව තිබෙනවා.

ජනපති දියණිය පවසා ඇත්තේ සිය බිළිදාට කුසගිනි වූ  ඕනෑම අවස්ථාවක  ඕනෑම ස්ථානයක සිට මව්කිරි දෙන බවයි.

මතුවූ දැඩි සංවාදයත් සමග ඇය මෙම ඡායාරූපය ඉවත් කරගෙන ඇති අතර ඇගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයින් ද ඡායාරූපයට නොසතුට පළ කර තිබෙනවා.

මාස 06ට ආණ්ඩු විරෝධී සටන් 1500ක්

මෙම වසරේ ගත වූ මුල් මාස 06 තුළ ආණ්ඩු විරෝධි වැඩවර්ජන සහ උද්ඝෝෂණ 1500 ක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමන් පවසනවා.

ඉන් බහුතරයක් ආණ්ඩුවේ ගමන අඩාල කිරීම සඳහා සැලසුම් සහගතව සංවිධාන කළ ඒවා යැයි අනාවරණය වී ඇති බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.

වෘත්තීය ගැටළුවල දී වැඩ වර්ජන යනු අවසන් විසඳුම විය යුතු බවයි මුජිබර් රහුමන් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ත්‍රිරෝදයට උපරිම වේග සීමාවක්‌ මීටර් සවිකිරීමත් අනිවාර්ය කරයි

ත්‍රිරෝද රථ පැදවීමේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 40 ක්‌ ලෙසට අනිවාර්ය කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මාධ්‍යට ඊයේ (30 වැනිදා) පැවසීය.

ඉදිරි දින කීපය තුළ මේ සඳහා වන ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමට නියමිත බව ද ත්‍රිරෝද රථ අනතුරුවලින් මියයන සංඛ්‍යාව වැඩිවීම නිසා මෙම වේග සීමාව පැනවීමට පියවර ගන්නා බව ද ඒ මහතා කියා සිටියේය.

මේ අතර මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීම අනිවාර්ය කිරීමට අදාළ ගැසට්‌ නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව ද ඒ මහතා කීය.

මීට අදාළ වාර්තාව ප්‍රවාහන අමාත්‍යවරයා වෙත බාරදීමෙන් අනතුරුව එම ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවට තවත් ඉන්දීය සංචාරයක්

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන නොවැම්බර් මස දී ඉන්දීය තරග සංචාරයකට එක් වීමට නියමිතව තිබෙනවා.

ඒ, ටෙස්ට් තරග 03ක්, එක්දින තරග 05ක් සහ පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයක් සඳහායි.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට ශ‍්‍රී ලංකාවේදී පූර්ණ ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා.

ඉන්දිය කණ්ඩායම මේ වන විට පළමු ටෙස්ට් තරගය ජය ගෙන සිටින අතර, ඉදිරියේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් දක්ෂතා අතරට පැමිණිම ඉතා වැදගත් බවයි ක‍්‍රිකට් විචාරයකින් පෙන්වා දෙන්නේ.

ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 තරගාවලියේ ශ‍්‍රී ලංකාව පරාජයට පත් වුවහොත් නොවැම්බරයේ ආරම්භ වන ඉන්දීය සංචාරයද ශ‍්‍රි ලංකාවට දැඩි අභියෝගයක් වනු ඇති බවයි ක‍්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.

“චීන හමුදාවට ඕනෑම හමුදාවක් පරාජය කළ හැකියි”

මහජන චීන විමුක්ති හමුදාවට ඕනෑම ආක්‍රමණික හමුදාවක් පරාජය කළ හැකි බව චීන ජනපති ෂී ජින්පින්ග් මහතා චීන නිදහස් හමුදාව ආරම්භ කර වසර 90ක් පිරීම නිමිත්තෙන් අද (30) පැවැති හමුදා ආචාර පෙළපාලිය අමතමින් ප්‍රකාශ කළේය.

උතුරු චීනයේ මොංගෝලියා කලාපයට ආසන්නයේ පිහිටි ෂූරිචේ හිදි මෙම දැවැන්ත හමුදා ආචාර පෙළපාලිය පැවැත්වුණු අතර චීන ජනාධිපතිවරයා ජීප් රථයක නැගී ආචාර පෙළපාලිය නිරීක්ෂණය කිරීමේද යෙදුණු බව විදෙස් වාර්තාවල දැක්වේ.

ජිප් රථයේ නැගී ආචාර පෙළපාලිය නිරීක්ෂණයේ යෙදෙන අතරවාරයේදී චීන ජනාධිපතිවරයා “සහෝදරවරුන්, සහෝදරවරුන්, ඔබ වෙහෙස වී සේවය කරනවා” යනුවෙන් කී බව ද වාර්තා විය.

හමුදා පෙළපාලියට නව තාක්ෂණයෙන් යුතු ජෙට් යානා ඇතුළු නවීන අංගෝපාංග එක් කර තිබූ අතර චීන හමුදාවේ යුද ශක්තිය පිළිඹිඹු කරමින් දැවැන්ත ආචාර පෙළපාලියක් පැවැත්වීමට චීනය කටයුතු කර තිබිණි.

මිලියන 2.3ක් සාමාජිකයන් සිටින මහජන චීන විමුක්ති හමුදාව ලොව විශාලතම හමුදාවයි.

මහජන චීන විමුක්ති හමුදාව 1927 වසරේ අගෝස්තු 1 වන දා ආරම්භ කෙරුණේ කොමියුනිස්ට් චීනයේ නිර්මාතෘ මා ඕ සේතුංගේ නායකත්වය යටතේයි.


මත්තල කළමනාකාරීත්වය වෙනත් සමාගමකට ?

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කළමනාකාරිත්වය වෙනත් සමාගමකට පවරාදිම සම්බන්ධයෙන් අවධානය. යොමුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගුවන් සමාගමේ ලාභය ඉහළ ගැන්විමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අළුත්ගම කන්දෙවිහාරස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ හම්බන්තොට වරායේ රැකියා කිසිදු චින ජාතිකයෙකුට ලබා නොදෙන බවයි.

“මගේ අම්මට මාව හම්බවෙන්න විලිරුදාව හැදුනේ සුද්දගෙ වත්තේ තේ දළු කඩනකමන්”

අලුත උපදින දරුවෙකුට පළමු මාස 06 තුළ මව්කිිරි ලබාදීමේ අවස්ථාව සෑම මවකටම උරුම කරදිය යුතු බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසනවා.

ඔහු කියා සිටියේ වතුකරයේ ඇතුළු ඇතැම් ප‍්‍රදේශවල මව්වරුන්ට මෙම අවස්ථාව ගිලිහී ගොස් ඇති බවයි.

ඔහු මෙම අදහස් පල කළේ 2017 ජාතික මව්කිරි දීමේ සතිය, වතුකරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මගේ අම්මා.. මාව හම්බවෙන්න විලිරුදාව හැදුනේ සුද්දගෙ වත්තේ තේ දළු කඩනකමන්. කහවත්ත රෝහලේ දී මාව හම්බවෙනකොට මගේ බර ග්‍රෑම් 1500 කට සමානයි. ඒ කියන්නේ ජීවත් වෙයි කියලා නොහිතන පුංචි බෝනික්කෙක් තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි අපේ අම්මා ළමයි 07 දෙනෙක්ගේ පවුලේ 05 වැනි දරුවා ලෙස මට අවුරුදු 03 ක් මව්කිරි පොවලා තියෙනවා. ඒ නිසා ඒ දුප්පත් කොල්ලට අද ලංකාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එන්න පුලුවන් වෙලා තියෙනවා. මව්කිරි තමයි අද ලෝකය වෙනස් කරපු හැම කෙනෙක්ගේම හයිය.” යනුවෙනි.

1990 ගිලන් රථ සේවයට වසරයි: 33,839කට සේවා

ඉන්දියා රජයේ ආධාර මත මෙයට වසරකට පෙර ආරම්භ කරන ලද ඇමතුම් අංක 1990 හදිසි ගිලන් රථ සේවාව. පසුගිය වසරක කාලය තුළදී හදිසි අවස්ථා 33,839 ක් වෙනුවෙන් සේවා ලබාදී ඇති අතර, ඉදිරි වසරේදී එම සේවාව මුළු දිවයින පුරාම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කීය.

රාජගිරියේ පිහිටි ‍ගිලන් රථ සේවාවේ ප්‍රධාන කාර්යාලයේදී වසරක් සැමරීමේ උත්සවයට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මෙහිදී තවදුරටත් කතා කරමින් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා, ශ්‍රී ලංකාවේ සංචාරයකට සහභාගි වූ අවස්ථාවේදී මේ සේවය අපට ලබා දුන් අතර, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල මෙය හොඳින් ක්‍රියාත්මක වන අතර, සාමාන්‍ය ජනතාවට එම සේවය විශාල උපකාරයක් වී ඇති බවද කීය.

හදිසි අවස්ථාවකට මෙන්ම ගැබිනි මවුවරුන්ට මේ සේවාව විශාල සහනයක් බවද අද දින මව්වරුන් තම දරුවන් සමඟ විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටීම පිළිබඳ වඩාත් සතුටුවන පුද්ගලයා තමා බවද කීය.පසුගිය කාලයේ සිදුවූ ගංවතුර විපත් සිදුවූ අවස්ථාවේද විශාල පිරිසක් මෙමඟින් සහන රැසක් හිමිකරගත් බවද අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කීය.

මෙම ගිලන් රථ සේවය මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට දැනට සැලසුම් කරගෙන යන අතර, මෙම සේවාවෙහි ප්‍රයෝජන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අවස්ථාව ලබාදී තිබෙන අතර, රැකියා අවස්ථා 2000ක් පමණ ලබාදීමට හැකිවනු ඇතැයිද ඉන්දියානු රජයට අපගේ ගෞරවණීය ස්තුතිය මෙම අවස්ථාවේ පළකර සිටින බවද හර්ෂ ද සිල්වා මහතා කීය. ලංකාවේ වැඩබලන නියෝජ්‍ය ඉන්දියානු තානාපති අරින්දම් බග්ජි මහතා හා වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පාලක මණ්‌ඩලයට පත්කළේ වරලත් ගණකාධිකාරිවරයෙක්‌

නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලේ පාලක මණ්‌ඩලයට දුම්කොළ සමාගමක අධ්‍යක්‍ෂවරයකු පත්කර ඇති බව. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ ද එම පුද්ගලයා වරලත් ගණකාධිකාරිවරයකු මෙන්ම අගමැතිවරයාගේ උපදේශකයකු ලෙස ද කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයා සමඟ පසුගියදා සාකච්ඡා පවත්වන අවස්‌ථාවේදී සම්බන්ධීකරණ කටයුතු සිදු කළේද මෙම පුද්ගලයා විසින් බව ඇමැතිවරයා කියා සිටී. සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සහ ලේකම් එය දන්නා බව ද ඇමැතිවරයා කියා සිටී.

එවැනි නියෝගයක්‌ ලබාදුන් පුද්ගලයකුට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කිරීම විලිලැඡ්ජාවට කාරණයක්‌ බවත් එම කර්තව්‍යය අවසන් වූ පසු සහයෝගය දැක්‌වූ පුද්ගලයාව විවේචනය කිරීම වෘත්තීය සමිතියක ලක්‍ෂණයක්‌ නොවිය යුතු බවත් අමාත්‍යවරයා කියා සිටී.

දුම්කොළ සමාගමට එරෙහි බද්ද රජය මේ වන විට සියයට 90 කින් ඉහළ දමා ඇති අතර දුම්කොළ භාවිතයෙන් ජනතාව බේරාගැනීමට තීන්දු රැසක්‌ ගෙන ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

දිස්ත්‍රික්ක 17ක ජනයා නියඟයෙන් පීඩාවට

දිවයින පුරා දිස්ත්‍රික්ක දාහතක් පුරා මේ වන විට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 17ක පවුල් තුන්ලක්ෂ දහහතර දහස් හතළිස් නවයකට අයත් පුද්ගලයන් දසලක්ෂ අනූතුන් දහස් හත්සිය දහහත කර පීඩාවට පත්වී සිටිති.

මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයට වන අතර, එහි පවුල් 45730ට අයත් 149962 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. ඊට අමතරව ත්‍රිකුණාමලය 105847ත්, මඩකලපුව 65341ත්, අම්පාර 40548, ‍පොළොන්නරුව 23919, අනුරාධපුරය 55683, පුත්තලම 131051, කිලිනොච්චි 83378, මුලතිව් 115308, යාපනයේ 124206, මන්නාරම 54152, රත්නපුර 812කි. බදුල්ල 29868, මාත‍ලේ 20341 සහ මහනුවර 300 දෙනෙක් මෙමගින් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පානීය ජලය අවශ්‍ය සෑම ප්‍රදේශයකටම කඩිනමින් ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය. ඒ වෙනුවෙන් රජය මේ වන විට වැයකර ඇති මුළු මුදල රුපියල් මිලියන 40කි.

29 July 2017

පොඩ්ඩක් බොන අයට සුභ ආරංචියක්.

මෙම පර්යේෂණය මෙහෙයවූ ඩෙන්මාර්කයේ විශේෂඥයන් පවසන්නේ මිනිස් සිරුරේ රුධිරයෙහි අඩංගු සීනි ප්‍රමාණය පාලනය කිරීමෙහි ලා මද පමණින් වයින් පානය හිතකර වන බවය.

කෙසේ නමුත් නිර්දේශිත ප්‍රමාණයට වඩා මත්පැන් පානය කිරීම හිතකර නොවන බව මෙම වාර්තාවේ අවධාරණය කර තිබේ.

මෙම පර්යේෂණය සඳහා 70,000ක් පමණ දෙනා සහභාගී කරගෙන ඇත. ඔවුන් මත්පැන් පානය ප්‍රමාණයන් සහ අවස්ථා ගණන පිළිබඳව හැදෑරීමෙන් අනතුරුව මෙම පර්යේෂණය සිදුකර තිබේ.

මහජන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටින්නේ මත්පැන් පානය හේතුවෙන් පිළිකා, හෘද රෝග සහ අක්මාවේ රෝග වැනි බරපතළ රෝග තත්වයන් කිහිපයක් ම ඇතිවිය හැකි බවය.

පානය කරන මත්පැන් ප්‍රමාණය සහ අවස්ථා ගණන මත ප්‍රතිඵල රඳා පවතින බව මෙම පර්යේෂණය මෙහෙයවූ විද්‍යාඥයෝ පවසති.

පර්යේෂණයට සහභාගී වූ පිරිස වසර පහකට පසු පරීක්ෂා කර බැලීමේදී පෙනී ගොස් ඇත්තේ පිරිමින් 859 දෙනෙකුට සහ කාන්තාවන් 887 දෙනෙකුට පළමු හෝ දෙවන කාණ්ඩයේ දියවැඩියාව වැළඳී ඇති බවය.

සතියකට එක්වතාවක් ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කරන පිරිස සමඟ සංසන්දනය කිරීමේ දී සතියකට දින තුනක් හෝ හතරක් මද පමණින් මත්පැන් පානය කරන කාන්තාවන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම 32%කින් සහ පිරිමින්ට එම රෝගය වැළඳීමේ අවදානම 27%කින් අඩු වී ඇති බව, පර්යේෂණයට සහභාගී වූ සියලු දෙනා පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිගමනය කර තිබේ.

එමෙන්ම සියලුම මත්පැන් වර්ග එකම ප්‍රතිඵලය ගෙන නොදෙන බවත් වයින් පානය මෙහි දී වඩා හිතකර වන බවත් මෙම වාර්තාවේ සඳහන් වෙයි.

සාමාන්‍ය වෛද්‍ය නිර්දේශය වන්නේ සතියකට මද්‍යසාර ඒකක (Units) 14කට වඩා වැඩි ප්‍රමාණයක් පානය නොකළ යුතු බවය. මෙය සාමාන්‍ය වශයෙන් සමාන වන්නේ සතියකට බීර පයින්ට් හයකට ය. අඩු සාන්ද්‍රනයෙන් යුත් වයින් නම් කුඩා ප්‍රමාණයේ වීදුරු 10කට ය.

මෙම ප්‍රමාණය කොටස් වශයෙන් සතියේ දින තුනක් හෝ හතරක් ඇතුළත පානය කළ යුතු බවත් අතරමැද මද්‍යසාරයෙන් තොර දිනයක් හෝ දෙකක් ගත කළ යුතු බවත් වෛද්‍යවරු පවසති.

නිර්දේශිත මද්‍යසාර ප්‍රමාණය සතියකට දින තුන හතරක් ඇතුළත කොටස් වශයෙන් පානය කිරීම හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ අවදානමද අඩුවන බව වෛද්‍ය මතයයි.

කෙසේ නමුත් මද්‍යසාර කුමන ප්‍රමාණයක් හෝ පානය කිරීම වෙනත් රෝග තත්වයන් 50කට පමණ හේතුකාරක වන හෙයින් මත්පැන් පානය යෝග්‍ය බවට අනුමත කළ නොහැකි යැයි වෛද්‍යවරු අවධාරණය කරති.

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම පරාජය ලබයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට හිමි වුණා. ලකුණු 304ක ජයක් ලැබූ ඉන්දියාව පළමු ඉනිමේදී ලකුණු 600ක් ලබා ගත්තා. දෙවෙනි ඉනිම සඳහා ලකුණු 240ක් රැස්කර ගැනීමටද ඉන්දියාව සමත් වුණා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 291ද දෙවෙනි ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 245ක්ද රැස් කළා.

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ලැබූ දරුණුතම පරාජය මෙය බවයි වාර්තා වන්නෙ. මීට පෙර 1994දි පකිස්තානය හමුවේ 301ක පරාජයක් ලබා තිබෙනවා.



විදුලිය ජනනයට රුපියල් කෝටි 3800ක්

පවතින දැඩි නියං කාළගුණ තත්ත්වය නිමවන තුරු ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3800ක අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවට ගණන බලා ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටිනවා.

මේ වන විට විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම 38% මට්ටමට පහත වැටී ඇති බවත් ඩීසල් බලාගාරවලින් සිදුකරන විදුලි ජනනය 80% දක්වා ඉහළ ගොස් ඇති බවද ඇමතිවරයා පවසනවා.

කෙතරම් අමතර වියදමක් දැරුවද අඛණ්ඩව විදුලිය ලබාදීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කළ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ජනතා විරෝධය නොතකා හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තබයි

රජයට එල්ලවු ජනතා විරෝධය සහ වරාය මෙන්ම තෙල් සංස්ථා සේවකයින්ගේ විරෝධය නොතකා හම්බන්තොට මාගම්පුර වරාය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමට බදු දීමේ ගිවිසුමට  වරාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී අත්සන්කර ඇත. හම්බන්තොට වරාය, රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම මෙම ගිවිසුම මඟින් සිදු වන අතර එහි 70%ක අයිතිය හිමිවන්නේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමටයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් එල්.පී ජයම්පති මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ. චීන රජය වෙනුවෙන් “චයිනා මර්චන්ට් සමූහයේ“ විධායක උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන්ය. ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය වරාය අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති අතර, ඒ සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂිං ලියැං මහතා ද එක්ව සිටියේය.

මෙම ගිවිසුම රටට සුභදායි ලෙසත් ඛනිජ තෙල් සේවකයන්ගේ යෝජනා අනුවත් සකස් කිරීමටත් පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවේදී  එකගවී තිබුණි. ඒ අනුව ලබන අඟහරුවාදා(01) දෙපාර්ශවයම රැස්වී අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි. ජනාධිපතිවරයාගේ එම එකඟතාවයට අනුව  ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයෝ තාවකාලිකව වැඩවර්ජනය නතර කිරීමටද තීරණය කර කලේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ එම තීරණයට පිටුපා අගමැතිවරයා මෙම ගිවිසුම අද දින අත්සන් කරනබව ඊයේ ප්‍රකාශ කරනලදි.