17 April 2017

දින 100 න් විසඳන්න ගිය කුණු කන්දේ ප්‍රශ්නය වවාගෙන කෑවේ කවුරුන්ද..? (විශේෂ)



දශක ගණනාවක් තිස්සේ විවිධ රජයෙන් යටතේ මේ රටේ කසල කළමනාකරණ කිරීමට නිසියාකාර ව්‍යාපෘතියක් සිදුනොවීමට ඇත්තටම හේතු කාරණා මොනවාද යන්න මේ රටේ ජනතාව දැනගත යුතුය.

පසුගිය රජයන් විසින් විවිධ ව්‍යාපෘති මේ සඳහා ඉදිරිපත් කළද ඒවාද ක්‍රියාත්මක නොවී යටයන ලදී. අතීතය රජයන් ගැන යළි කතාකොට දේශපාලන කුණු ඇවිස්සීම ඵලක් නැත. එහෙත් ජනතාවට නැවුම් පොරොන්දු ලබාදෙමින් පත්වූ වත්මන් යහපාලන රජය මෙම කුණු ප්‍රශ්නයේදී අසමත් වීමට හේතුව සොයාබැලීම වැදගත් වන්නේ වර්තමානයේ බලය ඇත්තේ ඔවුන් සතුව බැවිණි.

කුණු කන්දේ ගඳ විකුණන NGO කපුටන්

කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳ ප්‍රශ්නය වත්මන් යහපාලන රජයේ ‘දින 100’ වැඩපිළිවෙළ යටතේ විසඳීමට 2015 මාර්තු මාසයේදී උත්සහ ගන්නා ලද අතර ඊට ආගමික බළල් අතකින් මීගමුව මුලස්ථානය කොට ගෙන රටේ දේශපාලන සහ විවිධ සිවිල් ප්‍රශ්න උත්සන්න කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් සහ මීතොටමුල්ලේම ජවිපෙ විසින් මෙහෙය වන රාජ්‍ය නොවන සංවිධානයක් විරෝධය දක්වා එම අවස්ථාව වැළකීය. 2015 මාර්තුවේදී වත්මන් රජය මීතොටමුල්ලේ කුණු කන්ද මෙම ස්ථානයෙන් ඉවත්කොට ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙනත් ස්ථානයකට ගෙනයෑමට උත්සහ කළ අතර ඒ සඳහා මුතුරාජවෙල රක්ෂිතය ආසන්නයේ ඉඩම් ප්‍රමාණයක් යොදාගැනීමට තීරණ වී තිබිණ. මෙම ඊනියා රාජ්‍ය නොවන සංවිධාන දෙක විසින් එම ප්‍රදේශයට ගොස් කුණු ගේනවාට විරුද්ධව එම ප්‍රදේශයේ ජනතාවගේ වෙස් ගෙන විරෝධතා දක්වා ඇත. එහි කණගාටුදායකම කරුණ නම් මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ අයවලුන්ද කුණුකන්ද මීතොටමුල්ලෙන් ඉවත්කරගෙන වෙනත් තැනකට ගෙනයනවාට විරුද්ධව සහය දැක්වීමයි.

චම්පික තම සිහිනය වෙනුවෙන් කුණු බදාගත් හැටි

ආණ්ඩු පෙරළීමේ සටනට උරදීම වෙනුවෙන් ඇමති චම්පිකද විශාල භාගයක් ඉල්ලා සිටි අතර ඒ වෙනුවෙන් ඔහුට මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය නමින් අළුත්ම අමාත්‍යංශයක් පිහිටුවා හිමිකගත්තේය. ඒ තුළින් කොළඹ කුණු ප්‍රශ්නයට විසඳුම් සොයන බවට ඇමති චම්පික රණවක කීවද සැබැවින්ම ඔහුත් කළේ ඊට අනෙක් අයට විසඳුම් දීමට තිබූ අවස්ථා වියර්ත කිරීමයි. ඊට හොඳම උදාහරණය නම් වත්මන් බස්නාහිර පළාත් මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මීතොටමුල්ල කුණු කන්ද ඉවත්කිරීමටත්, කසළ කළමනාකරණය කිරීමටත් ඒ සඳහා ආයෝජකයින් ගෙනැවිත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් ගත් උත්සහයත් පාඨලී චම්පික අමාත්‍යවරයා විසින් වළකාලීමට කටයුතු කිරීමයි.

කුණු කන්ද අරක්ගෙන එය විකිණීම ජීවිකාව කරගත් මරික්කාර්

කොලොන්නාව, මීතොට මුල්ල කුණු කන්දෙන් පාර්ලිමේන්තු රිංගාගැනීමටත්, එය තමන්ගේ දෛනික දේශපාලන අලෙවි භාණ්ඩයක් කරගෙන සිටින වත්මන් රජයේ කුප්‍රකට මන්ත්‍රීවරයා මරික්කාර් කීවොත් ඊට කිසිවෙකු විරුද්ධ නොවනු ඇත. කුප්‍රකට ජාතිවාදී, අන්තවාදී චරිතයක් වන මර්ක්කාර් මෙම කුණුකන්දෙන් පාර්ලිමේන්තු ගියා පමණක් නොව එය තම දෛනික ලාභ උපයන දේශපාලනික ව්‍යාපෘතියක් බවටද පත්කරගත් බව අපට වඩා හොඳින් ඒ ගැන දන්නා කොලොන්නාවේ ජනතාවම පවසති.

මේ කරුණු කාරණා සියල්ල තුළින් අපට පෙනෙනා සත්‍ය නම් මෙම කුණු කන්දටත්ද මේ රටේ කසල ප්‍රතිචක්‍රීකරණයටත් තවමත් නිසි විසඳුමක් ලබාදීම වෙනුවට විවිධ දේශපාලඥයින්ගේ සහ පක්ෂවල පටු අරමුණු මෙම ප්‍රශ්නය තවදුරටත් වවාගෙන කන බවයි.

RSL

ඇමති චම්පික නිදහසට කරුණු කියයි!



කසළ කළමනාකරණය සඳහා විධිමත් ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට නොහැකිවී ඇත්තේ මහජන විරෝධතා නිසා බව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කොළඹ කුණු අපිට එපා යන සටන් පාඨයට කළ හැකි එකම දේ මෙය පමණක් බවද මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියට එල්ලවන චෝදනා පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමක දී ඔහු ඒ බව පැවසුවේය.

කෙසේ වෙතත් කොළඹ නගරයේ කසළ නැවත මීතොටමුල්ලට බැහැර නොකිරීමට තීරණයකර ඇතැයි ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කුණු කන්ද සහ අවට ප්‍රදේශය විධිමත්ව සැකසීම සඳහා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය බාර අරන් තිබෙනවා. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එකතුව කටයුතු කරනවා. දැනට නිවාස හැට නවයක් පූර්ණ හානියට පත්වි ඇති බවට හඳුනාගෙන තිබෙනවා. රජය ආධාර ලබා දෙන්නේ නම් එම නිවාස වෙනුවට නව නිවාස හැට නවයක් සාලමුල්ල හා අවට ප්‍රදේශ වලින් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය සූදානම්.

පසුගිය පෙබරවාරි මාසයේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් දමා තිබෙනවා මේ මිතොටමුල්ල කුණු කන්ද අනාරක්ෂිත බවත් එම ස්ථානයට කුණු දැමීම වහාම නතර කළ යුතු බවත්.කැබිනට් මණ්ඩලය එය පිළි අරන් තිබෙනවා. හැබැයි කොළඹ මහ නගර සභාව එම උපදෙස ක්‍රියාත්මක කර නැහැ.

ධනවතුන්ගේ හිත් තිගැස්සෙන විශ්මිත නිර්මාණ | PHOTO & VIDEO



සත්ත්ව සම්වලින් කළ නිෂ්පාදන ගැන බොහෝ දෙනෙකුගේ හිත්වල තියෙන්නේ ලොකු උනන්දුවක්. සල්ලි තියෙනවා කියල පෙන්වන්න හුඟක් අය මේ නිෂ්පාදන පාවිච්චි කිරීම දකින්නට පුළුවන්.

හැබැයි, මේ සම් භාණ්ඩ නිපදවන්න ඒ සම් අයිති සතුන්ගේ ජිවිත උදුරා ගන්නා බව බොහෝ දෙනෙක් අමතක කරන කාරණයක්. මේ ගැන ලෝකය දැනුවත් කරන්න තියෙන අවශ්‍යතාවය නිසාම චීන ගෘහ අලංකරණ ශිල්පියෙක් හරි අපූරු වැඩක් කරලා.

කපා දැමුණු සතෙකුගේ මෙන් ලේ බේරෙන, අභ්‍යන්තර අවයව පෙනෙන්නට තියෙන මේ නිර්මාණ දැක්කම හිත තිගැස්සෙනවා. පහුගිය අවුරුද්දේ මේ වගේම නිර්මාණ පෙළකින් හිත් තිගස්සවන්න තවත් සමාගමක් කටයුතු කර තිබූ බවත් වාර්තා වෙනවා.


















විද්‍යුත් බස් 1000 ක් ලබන මස දිවයිනට



ඉදිරි මාසය ඇතුළත විද්‍යුත් බස් රථ 1000 ක් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසති.

කාර්යාල වේලාවන් මුල්කර ගනිමින් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එමගින් ඉදිරියේදී ප්‍රමුඛතා මංතීරුවේදී මෙම බස් රථ ධාවනය කිරීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේය.

ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා, මෙම බස් රථවල ගමන කිරීමේදී මගීන්ගෙන් සාමාන්‍ය ගාස්තු මෙන් දෙගුණයක් අය කිරීමට සිදුවන බවයි.

පුද්ගලික රෝහල් නියාමන කිරීමට පියවර



පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පෞද්ගලික සෞඛ්‍ය සේවාව නියාමනය කිරීමට ගෙන ඇති තීරණයට අනුව ජාත්‍යන්තර සමාගමක් විසින් පෞද්ගලික රෝහල් හා ඖෂධ ශාලා සියල්ල පරීක්ෂා කර නියාමන වාර්තාවක් සකස් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පසුගිය සතියේ අදාළ වාර්තාව එම ජාත්‍යන්තර සමාගම විසින් තමන්ට භාරදුන් බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව අමාතයවරයා සඳහන් කළේය.

අම්පාර මහ රෝහලේ සුව විශිෂ්ඨතා සම්මාන උළෙලට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවාව ගොඩනැංවීමට කටයුතු කරද්දී තවත් වෛද්‍යවරුන් පිරිසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුළින් එය විනාශ කිරීමට උත්සාහ දරන බවයි.

වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ඉදිරියේදී තවත් වෛද්‍ය පීඨ ඇති කරන බව පවසන රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය රජයෙන් ලබාදෙනවා මෙන්ම පෞද්ගලික අංශයෙන් ද ලබාදිය යුතු බවයි.

ක්‍රීඩා සංගම්වල මුදල් හොරුන්ට ඇමැතිගෙන් දැඩි දඬුවම්



අති විශේෂ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කළ නව ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු නොකරන ක්‍රීඩා සංගම්වලට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. විශේෂයෙන්ම මුදල් රෙගුලාසි කඩකරන හා මුදල් අක්‍රමිකතා පිලිබඳ චෝදනා ඇති නිලධාරීන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත් නීතියේ සඳහන් දැඩි දඩුවම් පමුණවන බවත් ජයසේකර මහතා අවධාරණය කළේය.

විගණනය කරන ලද මූල්‍ය වාර්තා ක්‍රිඩා සංගම්වල සාමාජිකයන්ට නියමිත කලට ඉදිරිපත් නොකොට නිලවරණ කැඳවීමට උත්සහ දරන ජාතික සංගම්වල ප්‍රධානීන්ට දැඩි දඩුවම් පමුනුවන බවද ඒ මහතා පැවැසීය.

මේ වනවිටත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝණය කරමින් නිලවරණය පවත්වා එය ක්‍රීඩා අමාත්‍යාංශය පිළිනොගන්නා බව ප්‍රකාශ කොට ඇති අතර හිටපු සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන නිලධාරීන් තිදෙනාට ජීවිතාන්ත තහනමක් පැනවීමට ද තීරණය කොට ඇත. එමෙන්ම එම නිලවරණය අධීක්ෂණය කළ නිලධාරීන් තිදෙනකුට ද තහනමක් පැනවීමට කටයුතු යෙදේ. විගණන වාර්තා ඉදිරිපත් නොකර කැඳවූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරි මණ්ඩලය අවලංගු කොට විශේෂ පරිපාලන කමිටුවක් පත් කිරීමට ඇමැතිවරයා පියවර ගෙන ඇත. එමෙන්ම එම නිලවරණය නැවත පවත්වන ලෙස ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා නියෝග කළේය.

සියලුම ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ කාලය මැයි 31 වැනිදා තෙක් දීර්ඝ කළද විගණන වාර්තා පිලිබඳ ප්‍රශ්න ඇති සංගම්වලට යම් සහන කාලයක් ඉල්ලා සිටියහොත් එය සලකා බැලීමටද ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කොට ඇත.

“ ක්‍රිඩා සංගම්වල සිටින බොහෝ නිලධාරීන් මා දන්නා හඳුනන අය. ඒ සියලු දෙනාට කියන්නේ නීතිය අනුව වැඩ කරන්නයි. ක්‍රීඩා නීතිය ආරක්ෂා කරමින් කටයුතු කිරීම සැමගේ යුතුකමක්. එසේ නොකරන අයට මගෙන් කිසිදු සමාවක් නෑ. ඇතැම් ක්‍රීඩා සංගම්වල ඉන්න නිලධාරීන්ට මූල්‍ය චෝදනා තියනවා. බැඩ්මින්ටන් සංගමය වසර ගණනාවකින් අය වැය විගණනය කර නෑ. මේවා ජනතාවගේ මුදල් කියා ක්‍රීඩා සංගම් ප්‍රධානීන්නට අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ. නිලවරණ තියන්න කලින් මුදල් වාර්තා නිසි පරිදි සකස් කළ යුතුයි. හොරුන්ට රැකවරණයක් ලැබෙන්නේ නෑ. ක්‍රීඩා කරන දරුවන්ගේ මුදල් ගසාකන අයට දඩුවමක් හිමිවිය යුතුමයි ” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

නව ක්‍රීඩා රෙගුලාසි අනුව ජාතික ක්‍රීඩා සංගම් පවත්වන නිලවරණයට දින 90කට පෙර විශේෂ මහා සභා රැස්වීමකදී ඡන්ද විමසීමේ විශේෂ බලය හිමිවන නිලවරණ කමිටුවක් පත්කර ගතයුතු බව ක්‍රීඩා ඇමැතිවරයා සියලු ක්‍රීඩා සංගම් වෙත විධානය කොට ඇත. ක්‍රීඩා සංගම් වෙත නිකුත් කොට ඇති සියලු විධානයන් ජාතික ක්‍රීඩා සංගම් තම ව්‍යවස්ථාවට අනිවාර්යයෙන්ම ඇතුලත් කොට සම්මත කර ගන්නා ලෙසට ද දැනුම් දී ඇත.

ක්‍රීඩා පනත අනුව නිකුත් කළ විධානයක් මගින් ක්‍රීඩා සංගම් වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ මේ වර්ෂයේ පමණක් නිලවරණ කමිටුව නිලවරණයට සති දෙකකට පෙර විධායක කමිටුවේ අනුමැතියෙන් පත් කොට සියලු සාමාජිකයන් දැනුම්වත් කරන ලෙස හා එම කමිටු නාම ලේඛණ පිටපත ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත එවීම ප්‍රමාණවත් බවයි.

අනතුරුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිලවරණ කමිටුව හා නිලවරණය අධීක්ෂණය සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු නම් කරනු ඇත.

සියලුම නාම යෝජනා මෙම නිලවරණ කමිටුව ඉදිරියේ අදාල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා විවෘත කළ යුතු අතර එතැන් සිට ඡන්ද විමසීම නිමවන තෙක් නිලධාරීන් පත්කර ගැනීමට අදාල සියලු කටයුතු මෙම නිලවරණ කමිටුව යටතට පත්වේ. ජාතික ක්‍රීඩා සංගම් විශේෂ මහා සභා රැස්වීමක් පවත්වන විට අවම වශයෙන් දින 40කට පෙර ස්වකීය අනුබද්ධ ආයතන වෙත රැස්වීමේ දිනය නිවේදනය කළ යුතුවේ.

ලාබාලතම සාම දූතවරිය - මලාලා යූසුෆ්සායි



දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින පාකිස්තාන ජාතික ළමා ක්‍රියාධාරිනියක වන මලාලා යූසුෆ්සායි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාබාලතම සාම දූතවරිය ලෙස නම් කරනු ලැබ තිබේ.

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උත්සවයක දී මලාලා යූසුෆ්සායිට එම සහතික පත්‍රය පිරිනැමුණි.

නොබෙල් සාම ත්‍යාගයෙන් පුද ලැබූ ලාබාලම පුද්ගලයා බවට පත් වෙමින් 2014 දී මලාලා යූසුෆ්සායි නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගත්තාය.

(බී.බී.සිය ඇසුරෙනි)

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර එකඟතා රැසක්



ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළඳ ගනුදෙනු ඉදිරි වසර කීපය තුළ අමෙරිකානු ඩොලර බිලියනයක් දක්වා ඉහළ නැංවීමටත්, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ ද, සහයෝගීතාව වර්ධනය කිරීමටත්, දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කළහ.

17වන දා පෙරවරුවේ වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු (Nguyen Xuan Phuc) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික නිල සාකච්ඡා පැවති අතර, වෙළඳ ෙක්‍ෂ්ත්‍රය පමණක් නොව, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන් ද ප්‍රවර්ධනය කිරීමට පදනම සැකසීමට ද මෙහිදී එකඟත්වය පළ කෙරිණි.

ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජයීය වශයෙන් සංවර්ධනාත්මක මාවතකට අවතීරණය වීම පිළිබඳව ප්‍රසාදය පළ කළ වියට්නාම් අග්‍රාමාත්‍ය ෂුඑන් මහතා, ජාතික සංදියාව තහවුරු කරලීම උදෙසා ශ්‍රී ලංකාව ගෙනයනු ලබන වැඩ පිළිවෙල සාර්ථක වන බවට විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා - වියට්නාම් ඒකාබද්ධ කොමිසම මගින් සිදු කෙරෙන කාර්යයන් මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, දෙරටේ සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීම උදෙසා රජයේ හා පුද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත බුද්ධිමය පර්ෂදයක් සැකසිය යුතු බවටද මෙහිදී තීරණය කෙරිණි.

බුද්ධිමය පර්ෂදය පිහිටුවීම සහ එහි කාර්යයන් සම්බන්ධීකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ශවයෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද, වියට්නාම් පාර්ශවයෙන් විදේශ කටයුතු උප ඇමති ගුයෙන් ක්වුක් ඩං (Nguyen Quoc Dzung) මහතා ද නම් කෙරිණි.

දෙරටේ රාජ්‍ය සහ පුද්ගලික අංශයන්ගේ පමණක් නොව අන්තර් ප්‍රජා සම්බන්ධතාවන් ද වැඩි දියුණු කළ යුතු බව දෙරටේ අග්‍රාමාත්‍යවරු පිළිගත්හ.

සංස්කෘතික හා තරුණ හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීමටත්, දේශපාලන සම්බන්ධතා තහවුරු කරලීමටත් පියවර ගත යුතු බව දෙපාර්ශවයේම අදහස විය.

වියට්නාම් සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත්, ශ්‍රී ලාංකේය සංචාරකයින් වියට්නාමයට ගෙන්වා ගැනීමටත් ඇති ඉඩ කඩ පිළිබඳව ද මෙහිදී සලකා බැලිණි. වියට්නාම් ගුවන් සේවාවන්ට ශ්‍රී ලංකාව විවෘත බව අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර අපරාධ මැඬලීම සඳහා එකට එක්ව ක්‍රියා කිරීමේ වැදගත්කම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු අතර, දෙරටේ හමුදා අංශ සිය අත්දැකීම් හුවමාරු කර ගතයුතු ක්‍රමවේදයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි. වියට්නාම් ආරක්‍ෂක ඇකඩමිය සහ කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය අතර සම්බන්ධතා ශක්තිමත් කරලීම ඔස්සේ ආරක්‍ෂක අධ්‍යයන කාර්යන් සමීපව සිදු කිරීමට ද තීරණය කෙරිණි.

දෙරටේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් සාගර වෙළෙදාම මත යැපෙන බැවින්, ඉන්දීය සාගර කලාපීය ආරක්‍ෂාව සහ නිදහස් නාවුක ගමනාගමනය වෙනුවෙන් නිරන්තරවම පෙනී සිටිය යුතු බව ද අවධාරණය කෙරිණි.

දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය සුරුකීමේ වැදගත්කම තහවුරු කරමින්, ජාත්‍යන්තර නීති රීතීන්ට අනුකඣලව, සාමකාමී ක්‍රියා පිළිවෙත් ඔස්සේ දකුණු චීන මුහුදු අර්බුදයට විසඳුම් සෙවිය යුතු බව ද දෙපාර්ශවයේම අදහස විය.

ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජයවර්ධන, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජෙනරාල් සුදන්ත ගනේගමආරච්ච් යන මහත්ම මහත්මීහු ද, මේ සාකච්ඡාවට සහභාගී වූහ.

මුදල් ගැටලුවක් කර නොගෙන විපතට පත් ජනතාවට උපරිම සහන සලසන්න



මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩාවැටීමෙන් සිදුව ඇති හානිය පිළිබදව දින 05 ක් ඇතුලත වාර්තාවක් සපයන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ විපතට පත් ජනතාවට සහන සැළසීම පිළිබදව ඊයේ(16) පෙරවරුවේ ආපදා කළමණාකරන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවක් අතරතුරදීයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී මීතොටමුල්ල කසල කන්ද එම ස්ථානයෙන් ඉවත්කිරිම පිළිබදව ප්‍රමුඛ අවධානය යොමුවුනා.

එමෙන්ම විපතට පත් ජනතාවට උපරිම සහන සපයන ලෙසත් එම කටයුතුවලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබදව ගැටළුවක් ඇතිකර නොගන්නා ලෙසත් ජනාධිපතිවරයා නිළධාරීන් හට උපදෙස් දෙනු ලැබූවා.

තවදුරටත් අවදානමට ලක්ව ඇති ජනතාව එම ස්ථානවලින් ඉවත්කරමින් මිතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා 03 ක එම ජනතාව සියලු යටිතල පහසුකම් සහිතව තාවකාලිකව රැදවීමට ඇති හැකියාව පිළිබදව සොයා බලන ලෙසටද ජනාධිපතිවරයා මෙහිදී නිළධාරීන් දැනුවත් කලා.

සෙවීමේ හා මුදාගැනීමේ ක්‍රියාන්විතයේ ප්‍රගතිය පිළිබදව මෙහිදී නිළධාරීන් කරුණු ඉදිරිපත් කල අතර ජනතාවට සහන සැළසීම හා නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමේදී ප්‍රදේශවාසීන්ගේ චෝදනාවට ලක් නොවන ආකාරයට ඒවා සිදුකරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබූවා.

මෙවර පෙරහර පැවැත්වීමට අලි අර්බුදයක් - බස්නායක නිලමේවරු මහ නායකහිමිවරුන් හමුවේ



මෙවර සියලු දේවාලවල පෙරහර එකම නැකතකින් ආරම්භ කිරීමට සිදුව ඇති නිසා හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් මතුවන බව රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ පවසනවා.

ඔහු ඉල්ලා සිටින්නේ වනජීවි භාරයට ගෙන සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු හෝ නිදහස් කරන දෙන ලෙසයි.

රුහුණු කතරගම මහා දේවාලයේ සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේවරුන් ඇතුළු අලි හාම්පුතුන් පිරිසක් ඊයේ(16) දිනයේදී සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් මුණ ගැසුණා.  ඒ, අලි ඇතුන් හිඟවීමෙන් දේවාලවල පෙරහැර පැවැත්වීමට බාධා මතුවීම පිළිබදව මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහායි.

මීතොටමුල්ලේ මිය ගිය ගණන 26 දක්වා ඉහළට



මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිද හමුදාව, පොලිස් නිලධාරීන් මෙන්ම කොළඹ දිසාපතිවරයා, කොළොන්නාව ප්‍රාදේශීය මහ ලේකම්වරයා, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර  නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ද යොදවා ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, විපතින් ජීවිත අහිමිවූවන්ගේ අවමඟුල් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට ජනාධිපතිවරයා හා අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේවෙතත් විපතට පත්වූවන්ට සම්පූර්ණ වන්දි ගෙවීමට හා ඔවුන්ගේ ජීවිත පෙර තිබූ තත්වයට වඩා යහපත් තත්වයට ගෙන ඒමට කටයුතු කරන බව ඊයේ(16)  දිනයේදී ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආපදාවට ලක්වූ දේපළ තක්සේරු කිරීමේ කටයුතු අද (17) දින සිදුකිරීමට නියමිත අතර අවදානම් කලාපවල සිටින ජනතාව හඳුනාගෙන ඔවුන් සඳහා ද සුරක්ෂිත ස්ථාන පිළියෙළ කිරීමේ කටයුතු ද සිදුකිරීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළොන්නාව ප්‍රදේශයේ ඉදි කරන ඇති නිවාස සංකීර්ණවලින් විපතට පත් ජනතාවට නිවාස ලබාදීම පිළිබඳ සොයා බලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත උපදෙස් ලැබී ඇති බව වාර්තා වෙයි.

ඇමැති සාගලට, මරික්කාර්ට ’හූ’ සංග්‍රහයක් - දේශපාලනඥයන්ට දැඩි විරෝධය



මීතොටමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් විශාල පිරිසක් අතුරුදන් යැයි වාර්තා වන හෙයින් ඒ පිළිබඳ සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කෙරෙන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

මේ අතර හානිය පිළිබඳ සොයා බැලීම සඳහා නීතිය හා සාමය ඇමති සාගල රත්නායක මහතා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ. ඇමතිවරයා සමගින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාටද “හූ“ කියමින් විරෝධතා දැක්වූහ.

"මැරුණ⁣ට පස්සේ මොනව බලන්න එනවද" යයි කියමින් ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ.

මේ අතර මීතොටමුල්ල කුණු කන්දට විරෝධය දැක්වීමේ සංවිධානය පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෙය ස්වභාවික විපතක් නොව මිනී මැරුමක් බවයි.  “2011 සිට මේ කුණු කන්දට විරෝධය පැවැත්වෙනවා. කිසිම පිළිතුරක් නෑ“

“කුණු කන්ද නාය යාමට පැවැති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවත් වගකිව යුතුයි. මිනී මැරීමේ චෝදනාව යටතේ ආණ්ඩු දෙකේම පාලකයන්ට මරණීය දණ්ඩනය නියම කළ යුතු වෙනවා“ යයි කුණු කන්ද ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ගිය නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය.

ප්‍රදේශවාසියකු වන ඩඩ්ලි දන්තනාරායන මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ මෙම කුණු කන්ද මෙතැනින් ඉවත් කරගැනීම සඳහා සාකච්ඡා කිරීමට මීට දින කිහිපයකට පෙර තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා හමුවීමට ගිය බවයි. එහෙත් එයින් කිසිදු  ප්‍රයෝජනයක් අත්නොවූ බවද දන්තනාරායන මහතා පැවසීය.

“මේ දවස් වල පාර්ලිමේන්තුව නිවාඩු. අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුව පටන් ගත්තාම මේකට විසඳුමක් දෙන්නම් කියලා තමයි එයා කිව්වේ“ යයි දන්තනාරායන මහතා ප්‍රකාශ කළේය.