28 April 2017

Altair : කොළඹ සුපිරි ඇලවෙන ගොඩනැගිල්ලේ සැලසුම්කරුට ලංකාවේ සංවිධාන කිහිපයකින් තර්ජන (Exclusive)



ශ්‍රී  ලංකාවේ දැනට ඉදිවෙමින් ඇති දර්ශනීය තට්ටු ගොඩනැගිල්ල ලෙස එම සමාගම විසින්ම හදුන්වාදෙන කොළඹ බේරේ වැව අසල පිහිටි තට්ටු 68 කින් යුතු Altair  ගොඩනැගිල්ලේ ප්‍රධාන ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියාවන යුදෙව් ජාතික Moshe Safdie මහතාට ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන සහ මානවහිමිකම් සංවිධානවලින් විරෝධය එල්ලවී ඇතැයි ඊශ්‍රායලයේ  Haaretz පුවත්පත වාර්තාකර තිබේ.

එයට හේතුව ලෙස දක්වා තිබෙනුයේ Moshe Safdie මහතා ඊශ්‍රායලය විසින් අත්පත්කරගෙන ඇති පලස්තීනයට අයත් බටහිර ඉවුරේ  යුදෙවේ ජනාවාස ඉදිකිරීමට පෙරමුණ ගත්තෙක් වීමය. මේ සම්බන්දයෙන් ඔහුට ප්‍රථමයෙන්ම චෝදනා ඉදිරිපත්කලේ 2010 බ්‍රිතාන්‍යයේ  Guardian පුවත්පතේ පළවූ ලිපියකය. එම චෝදනා පදනම් කරගෙන ‘Sri Lankan Journalists for Global Justice’  නම් සංවිධානයක් විසින් Moshe Safdie මහතාට ලංකාව තුල සිය විරෝධය මුලින්ම එල්ලකර තිබේ.

එහෙත් ඊශ්‍රායලයේ  Haaretz පුවත්පත වාර්තාකරනුයේ 2010 වසරේ බ්‍රිතාන්‍යයේ  Guardian පුවත්පතේ පළවූ ලිපිය සම්බන්දයෙන් Moshe Safdie මහතා විසින් කරුණු පැහැදිලිකර ලිපියක් යැවූ බවත්, ඔහුගේ එම ලිපිය පළකරමින් බ්‍රිතාන්‍යයේ  Guardian පුවත්පත  Moshe Safdie මහතාගෙන් සමාව ඉල්ලු බවත්, එහෙත් ලංකාවේ ‘Sri Lankan Journalists for Global Justice’  නම් සංවිධානය එම කරුණු ගැන කිසිදු අවධානයක් යොමු නොකරමින් Moshe Safdieට දක්වන විරෝධය අසාධාරණ බවය.

2013 දී Altair ගොඩනැගිල්ල සැලසුම්කිරීමේ සිට Moshe Safdie මහතා අවස්ථා කිහිපයකදීම ලංකාවට පැමිණ තිබේ.  පසුගිය මාසේදී ඔහු ලංකාවේ පැවැත්වූ ජාත්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සමුළුවක් ඇමතු අතර ඉදිරි මාස කිහිපයේ ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත කටයුතු කිහිපයක් සදහා මෙම රජයේ සහ පෞද්ගලික අංශයේ අනුග්‍රහය යටතේ සහභාගීවීමට නියමිතය.

Moshe Safdie මහතා යනු කැනඩා, ඇමෙරිකා‍ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යන රටවල් ත්‍රිත්වයේම පුරවැසි බව දරන, 78 හැවිරිදි, ලෝකප්‍රකට ගෘහනිර්මාණ ශිල්පියෙකි. සිංගප්පූරුවේ Marina Bay Sands, ජෙරුසලමේ  Yad Vashem Holocaust History Museum, කැනඩාවේ ඔටාව නගරයේ ඇති National Gallery of Canada, වොෂින්ටන් නගරයේ ඇති  United States Institute of Peace Headquarters, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි Khalsa Heritage Memorial Complex සහ බංගලිදේශයේ චිතගොන් නගරයේ පිහිටි දර්ශනීය Asian University for Women ආදී ගොඩනැගිලි රාශියක ගෘහ නිර්මාණ ශිල්පියාය.

සෞදි අරාබිය, ඩුබායි, කටාර් ආදී රටවල පවා ගොඩනැගිලි ඉදිකර ඇති  Moshe Safdie මහතාට ලංකාව තුල කුඩා කණ්ඩායමක් එල්ල කරන විරෝධය ගණන් නොගත යුත්තක් ලෙස පෙනී ගියද, එහෙත්  Haaretz පුවත්පත දක්වනුයේ එය ලංකාව තුල මුල් බැසගෙන ඇති ඊශ්‍රායල් වීරෝධයේ එක් ප්‍රකාශනයක් ලෙසය.






මාකස් ප්‍රියන්ත පෙරේරා

ජංගම දුරකතන හදන මාරක ලෙඩ

රෑ කාලේ ෆෝන් භාවිත කිරීමේදී ගොඩක් දෙනා හිතන්නේ ඒවායේ ඇති විකිරණ සහිත ස්වාභාවය පමණක් අපට අනතුරුදායකයි කියලයි. නමුත් ඔවුන් වැරදියි. ඊටත් වඩා අනතුරුදායක වන්නේ ජංගම දුරකතනවල තිරයෙන් පිටවන Blue Light නැතිනම් නිල් ආලෝකයයි. රෑ කාලේ ලැබෙන මේ නිල් ආලෝකය නිසා අපේ නින්ද අවුල් වෙනවා. එයින් මාරක ලෙඩ රැසක්ම හදන්න හේතු වෙනවා.

මේ Blue Light කියන දේ අපිට සූර්යයාගෙන් දවල් කාලයේ ලැබෙනවා. නමුත් දවල් කාලයේදී එය ඇස්වලට හානියක් කරන්නේ නෑ. නමුත් රාත්‍රී කාලයේදී එක එල්ලේ ජංගම දුරකතනය දෙස බලා සිටින්නන්ට නම් මෙම නිල් ආලෝකය මගින් සිදුකරන හානිය ප්‍රබලයි. නිල් ආලෝකය මගින් අපේ ශරීරයේ ඇති මෙලටෝනින් කියන හෝර්මෝනය නිපදවීමට බාධා කරනවා. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුර ශාන්ත බවට පත් කරන්නේ. නින්ද විශ්‍රාමය ලබා දෙන්නේ. මෙලටොනික්වලට අහිතකර මෙම නිල් ආලෝකය මගින් මිනිස් සිරුරට වෙන හානිය ගැන දැන් අපි වෙන වෙනම සලකා බලමු.

ඇසට බරපතළ හානි

රාත්‍රී කාලයේ නිදාගැනීමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇසට එක එල්ලේ ගලා එන නිල් ආලෝකය මගින් ඇසේ දෘෂ්ටි විතානයට, කහ බින්දුවට දැඩි ලෙස හානි වෙනවා. විශේෂයෙන්ම කහ බින්දුව පරිහානියට පත්වීම නිසා ඔබ ඉදිරියේ තිබෙන රූප ඇසට නාභි ගතකරගෙන බැලීමට අපහසු වෙන්න පටන් ගන්නවා. ජංගම දුරකතන තිර දෙස මෙන්ම පරිගණක තිර දෙස දිවා රාත්‍රී බලා සියින්නන්ට ඔවුන් ඉදිරියේ තිබෙන රූප බොද වී පෙන්න ගන්නේ මේ හේතුව නිසයි. ඒ වගේම වයස්ගත වීමටත් පෙර ඉක්මණින්ම ඇසේ සුද මතු වීමේ අවදානමකුත් ඇති වෙනවා.

නින්ද නොයාමේ ගැටලු

මුලින් කිව්වා වගේ මෙලටෝනින් කියන අපේ සිරුර ශාන්තබවට පත්කරන හොර්මෝන ක්‍රියාකාරීත්වය නිල් ආලෝකය නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුරේ Rest Cycle නැත්නම් විවේක චක්‍රය නිසි පරිදි පවත්වා ගන්නේ. මෙම හොර්මෝනය අඩපණ වීමෙන් නිදාගන්න වේලාව මොකක්ද වැඩ කරන වෙලාව මොකක්ද කියන එක සිරුරට අඳුනගන්න බැරි වෙලා යනවා. ඒ නිසා නින්ද නොයාමේ ගැටලු ඇති වෙනවා. මෙම විවේක චක්‍රය අක්‍රමවත් වීම නිසා ඇති වන අනෙකුත් හානි තමා මේ.

හදවත් රෝග
ප්‍රතිචාර දැක්වීමේ පමාව
කෙටි අමතකවීම්
මානසික ආතතිය
සම ඉක්මණින් වයසට යාම
ශරීර බර වැඩි වීම
පිළිකා ඇති වීමේ අවදානමක්

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇති වෙන වෙනත් සෞඛ්‍ය හානියක් තමයි අපිව පිළිකා ඇති වීමේ අවදානමට ගොදුරු වීම. නිල් ආලෝකය නිසා සිරුර තුළ නිපදවීම සීමා කෙරෙන මෙලටෝනින් හොමෝර්නය සතුව පිළිකා අවදානමට එරෙහිව සටන් කිරීමේ හොඳ හැකියාවක් තියෙනවා. එය අහිමි වීමෙන් අපිව නිබදවම පිළිකාවලට ගොදුරු වීමේ හානිය වැඩියි.

ඔබ දැනගත යුතු තවත් තියනවා. මේ රාත්‍රී කාලයේදී මිනිස් ඇසට හා සිරුරට හානි කරන නිල් ආලෝකයට අපි ගොදුරු වන්නේ ජංගම දුරකතනවලින්ම පමණක් නෙවෙයි. පරිගණක තිර හා රූපවාහිනි තිරවලින්ද මේ විදිහටම නිල් ආලෝකය අපේ ඇස්වලට වැටෙනවා.

ජංගම දුරකතනවල මේ නිල් ආලෝක ධාරාවලින් රාත්‍රී කාලයේදී අපේ ඇස් පරිස්සම් කර ගන්න නම්, මූලිකවම ඉතින් කළ යුතු දේ වන්නේ ජංගම දුරකතන භාවිතය අඩු කිරීම තමයි.

ජීවිතේ එපාවෙලා

උන්නැහේ බොහොම ප්‍රසිද්ධ හිටපු උප ඇමැති කෙනෙක්ලු. කලක් පළාතක් රටක් හොල්ලපු චරිතයක් හැටියටත් ප්‍රසිද්ධයි.

උන්නැහේ එකපාරටම ජීවිතෙන් සමුගන්න තීන්දු කරලය කියල ලොකු කතාවක් ගියා. ඒ කතාව කියන්නෙ උන්නැහේගෙ කොළඹ ඉන්න නෝනලු. ඒ නෝන මේ කතාව පොලිස් පොතෙත් ලියන්න ගියා කියලයි හැමතැනම ආරංචිය යන්නෙ...

ඉතින් කොහොමහරි මේ හදිසි තීරණයට හේතුව නෝනලාගෙ ප්‍රශ්නයක් කියලත් සමහරු කියනව. ඉතාම කරුණාවන්ත දේසපාලුතුමෙක් වන මුන්නැහේට හිතවත්ව ආදරෙන් සලකන කෙනෙක් මඩකලපු පැත්තෙත් ඉන්නවලු...

තතු දත් ඇතැම් අය කියන්නෙ උන්නැහේට ජීවිතේ එපාවෙන තරමට ප්‍රශ්න උග්‍රවුණේ මේ කොළඹ මඩකලපු ප්‍රශ්න නිසා කියලයි... කොහොමහරි තමන්ට ජීවිතේ එපාවෙලා කියල කොළඹ ගෙදරින් බැහැල ගිය උන්නැහේ ගැන පොලිසිය මාර්ගෙන් හොයල බලනකොට මේ හිටපු උප ඇමැති තැන මඩකලපු පැත්තෙ අප්‍රකටව ඉන්න බව දැනගන්න ලැබිල... දැන් කොළඹ ඉන්න නෝන මහත්තය එයා එනකම් බලා ඉන්නවලු.

Deshaya

හිටපු අගවිනිසුරු කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට



හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා කොමර්ෂල් බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර තිබේ.

2017 අප්‍රේල් 26 දින සිට මෙම පත්කිරීම බලපැවැත්වෙන බව කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි සමාගම් ලේකම්වරිය දන්වා සිටී.

කේ. ශ්‍රීපවන් මහතා 2015 ජනවාරි මාසයේ සිට 2017 මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගවිනිසුරුවරයා වශයෙන් කටයුතු කරන ලදී.


මහින්දානන්ද අලුත්ගමගේ අද 'දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ දික්කසාද බිරිඳ සමග' යුග දිවියට



හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28)යළිත් යුග දිවියට පිවිසෙනවා.

ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක සමගයි.

රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ උත්සවය පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න සහ දි.මු.ජයරත්න සාක්ෂි අත්සන් කිරීමට නියමිතයි.

මහින්දානන්ද අලුත්ගමගේ අද යළිත් යුග දිවියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ දික්කසාද බිරිඳ සමගයි.

පසුගිය ආණ්ඩුව යුද්ධය දිණුවත් සාමය සමගිය ඇති කරන්න බැරි වුනා

“මීට පෙර තිබූ ආණ්‌ඩුව යුද්ධය දිනුවා කියා පුන පුනා කියමින් රට විනාශ කළා. සොරකම් කළා. රටේ දියුණුව ආපස්‌සට ඇද්දා. යුද්ධය පිට දාලා එය නිම වී වසර පහක්‌ හයක්‌ සාමය සමගිය ඇති කළේ නැහැ. සිංහල දෙමළ ඇතුළු ජාතීන් අතර සමගිය ඇති කිරීමට වැඩපිළිවෙලක්‌ ඇති කළේ නැහැ. එවන් යුගයක බලයට පත්වූ මේ ආණ්‌ඩුව ජාතික සංහිඳියාව වඩා වර්ධනය කරමින් පැහැදිලි ගමනක්‌ යනවා” යයි හිටපු ජනාධිපතිනි හා ජාතික සමගිය හා සංහිඳියාව කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

බළන්ගොඩ නාගරික ක්‍රීඩා පිටියේදී පැවැති ජාතික සූර්ය මංගල්‍යය අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ ඇය මෙසේ ද කීවාය.

“බොහෝ දෙනෙක්‌ විශාල බලාපොරොත්තු ඇතුව මේ ආණ්‌ඩුව බලයට පත් කළා. දැන් කෑ ගසනවා බඩු මිල වැඩියි රැකියා නැහැ, රටේ ආර්ථික දියුණුවක්‌ නැහැ කියලා. නමුත් මෙයට ප්‍රධාන හේතුව පසුගිය රජය විසින් කරන ලද සොරකම් නිසා ආර්ථිකය කඩා වැටීමයි. දැනට විශාල වැඩ කොටසක්‌ මේ රජය කරගෙන යනවා. නත්තල් තෛපොංගල්, වෙසක්‌, පොසොන්, රාමසාන් වැනි උත්සව අපේ මැදිහත් වීමෙන් සංවිධානය කරමින් නැති වූ ජාතික සමඟිය සංහිඳියාව වර්ධනය කරනවා. අදත් මෙහිදී සිදුවන්නේත් එවැන්නක්‌. සෑම ආගමකම, ජාතියකම හැසිරීම්, චාරිත්‍ර හඳුනාගෙන යන මෙම ගමනේදී විශාල මෙහෙවරක්‌ ඉටු කිරීමට අපි බලාපොරොත්තුවනවා.”

ඖෂධ සමාගමක් පිළිබදව සුව ඇමැති නියෝගයෙන් පරීක්ෂණයක්

පිළිකා රෝගය සඳහා ලබාදෙන ඖෂධයක් රෝගියෙකුට අධික මිලකට අලෙවි කළ පෞද්ගලික ඖෂධ සමාගමක් පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම්දී තිබේ. 

පිළිකා රෝගියෙකුගෙන් ලැබුණු ලිපියක් පාදක කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර තිබේ.

එම පෞද්ගලික සමාගම ඉන්දියාවෙන් මෙම පිළිකා ඖෂධය ආනයනය  කර ඇත්තේ රුපියල් එක්ලක්ෂ 25,000 ක මුදලකට වන අතර, එම ඖෂධය රෝගියාට ලබාදී ඇත්තේ රුපියල් හාරලක්ෂ 29,000 මුදලකට බව තොරතුරු ලැබී ඇතැයි ‍සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳව ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් මගින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම්දී තිබේ. 

මේ අතර  පෞද්ගලික රෝහල් නියාමනය කිරීම සඳහා ජාත්‍යන්තර සමාගමක් විසින් සකස් කළ වාර්තාවට අනුව පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම්දී ඇත. 

මතභේදයට තුඩුදුන් යෝද කත, UAE රෝහලක් වෙත



ලෝකයේ වැඩිම බරකින් යුතු කාන්තාව ලෙස විරුධාවලිය ලැබූ ඉන්දියාවේදී සැත්කමකට භාජනය වී පසුව මතභේදයක් ඇති වූ ඊජිප්තු කත එක්සත් අරාබි එමීර් හි රෝහලක් වෙත යැවීමට තීරණය කර තිබේ.

ඇය ප්‍රතිකාර ලැබූ ඉන්දියාවේ මුම්බායි හි රෝහලේදී ඇයට නිසි පරිදි ශල්‍යකර්මය සිදු නොවූ බවත්, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ඉන් පසුව අසාධ්‍ය තත්ත්වයක පවතින බවටත් ඇගේ සහෝදරිය විසින් රෝහල් බලධාරීන්ට චෝදනා කිරීම මත මෙම තීරණයට පැමිණ තිබේ.

කිලෝ ග්‍රෑම් 500ක් බරින් යුතු යැයි කියූ එමාන් අබ්ඩ් එල් අටී නමැති මේ කාන්තාවගේ දැන් බර කිලෝ ග්‍රෑම් 172ක් බවත්, සිය ශල්‍යකර්මයේ සාර්ථකත්වය මත සෑහෙන් ශරීර බරක් අඩුවී තිබෙන බවත් ඉන්දීය රෝහල අවධාරණය කරයි.

කෙසේ වෙතත්, අගේ සොහොයුරිය දිගින් දිගටම රෝහලට චෝදනා කිරීම තුළ මෙම අර්බුදය උග්‍ර අතට හැරිණි.

ප්‍රධාන නගර 7ක තවත් අවදානම් කුණු කඳු 7ක්‌



මීතොටමුල්ල කුණු කන්ද වැනි අවදානම් කුණු කඳු 7 ක්‌ ප්‍රධාන නගර 7 ක නිර්මාණය වෙමින් පවතින බව මහානගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මහනුවර ගොහාගොඩ සහ ගම්පොළ ආශ්‍රිතව ගොඩගැසී ඇති කුණු කඳු ඉන් ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගන්නා බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මීට අමතරව මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, පෑලියගොඩ සහ කැලණිය යන ප්‍රදේශවල ද එම තත්ත්වය උදාවෙමින් පවතින බව හෙතෙම කීවේය.

ප්‍රධාන නගර 7 ක දැනට පිහිටි කසළ රැඳවීම සහ කළමනාකරණය අදාළ ආයතන නිසි පරිදි සිදුනොකළහොත් ගැටලු ඇති විය හැකි යෑයි ද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මීතොටමුල්ල කුණු කන්ද පිපිරීමේ අවදානමක්‌ තවදුරටත් නොමැති බව කී ඇමැතිවරයා එම කුණු කන්ද ස්‌ථාවර කිරීම ඉදිරි මාස 5 ඇතුළත සිදුකරන බව ද සඳහන් කළේය.

එසේම මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් කමිටු 3 ක්‌ පත් කර ඇතැයි ද, මාස 5 කින් පසුව එහි කසළ කොපමණ ප්‍රමාණයක්‌ ඉවත් කරනවාද සහ අදාළ ඉඩම කුමන ව්‍යාපෘතියක්‌ සඳහා යොදා ගන්නවාද යන්න පිළිබඳව තීරණයක්‌ ගන්නා බව ද ඇමැති පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසීය.

යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට GSP දෙන්න තීරණය කරයි



ශ්‍රී ලංකාවට GSP+ සහන ලබාදීමට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත් වී තිබේ.

එම යෝජනාව සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම  (27) දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට සිදු විය.

ඒ අනුව අදාළ යෝජනාවට යුරෝපා පාර්ලිමේන්තුව තුළ විරුද්ධව ඡන්ද 436 ක්ද, පක්ෂව ඡන්ද 119ක්ද, ඡන්දය භාවිත නොකළ පිරිස 22 ක්ද ඇතුළත්ය.

කෝලිගේ පිලට නැවතත් අන්ත පරාජයක්



ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය ගැනීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලූ 07කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 තුළ සියල්ලන් දැවී ලකුණු 134ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 5ක දී කඩුලූ 03ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.