02 May 2017

05 දා ගුරු විදුහල්පති ලෙඩ නිවාඩු



 සයිටම් වසා දමන ලෙස ඉල්ලා මේ මස 05 වැනිදා ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

මෙම වර්ජනය සඳහා ගුරු විදුහල්පති සේවයේ පවතින වෘත්තීය සමිති 13 න් 12ක්ම සහභාගිවන බවත්, එම සමිති සතුව සමස්ත ගුරු විදුහල්පති සේවයේ සාමාජිකයන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන බවද එම සංගමයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මහින්ද රැළි කීයක් තිබ්බත් ඡන්දෙ පරාදයි



මහින්ද රාජපක්ෂ මහතා කුමන ආකාරයේ රැළි පැවැත්වුවද මැතිවරණය පරාද වූ බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.

කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඊළඟ මැතිවරණය සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටින බවයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ “මහින්ද රාජපක්ෂ මහත්තයා ඔය වගේ රැළි කීයක් තිබ්බද?. ඒත් ඡන්ද පරාදයි නේ. බලමුකෝ ඊළඟ එක මොකද වෙන්නේ කියලා..මේ රටේ ජනතාව තීරණය කරයි.” යනුවෙනි.

මැතිවරණ සම්බනධයෙන් විපක්ෂය කුමක් ප‍්‍රකාශ කළ ද ලබන සැප්තැම්බර් මාසය වන විට පළාත් සභා මැතිවරණ පැවැත්වීම ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

අයවැය යෝජනා පරිදි ගොවි වන්දිය පුළුල් වෙන්නේ මෙහෙමයි



මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017අයවැය මඟින් යෝජනා කළ පරිදි මෙතෙක් කෙතට. අරුණ පොහොර දිරිය වගා හානි රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ට පමණක් ලබාදෙනු ලබන වගා හානි වන්දිය, මෙම වසරේ සිට අල, ලොකු ලූනු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි සඳහාද පුළුල් කිරීමට තීරණය කර ඇත.

මෙම රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් අක්කරයකට රු. 10,000 ක උපරිමයකට යටත්ව හෝ හෙක්ටයාරයකට රු. 25,000 ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීමක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ගොවීන්ට වන වගා හානිය වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා 2013 වසර සඳහා වන අයවැය අවස්ථාවේදී කරන ලද යෝජනාවකට අනුව, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලු බැංකු, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන වලින් ඔවුන්ගේ වාර්ෂික ලාභාංශයෙන් සියයට එකක ගාස්තුවක් මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලට බැර කෙරේ.

ජාතික රක්ෂණ භාර අරමුදලට බැරකරන ලද මෙම මුදල් උපයෝගී කරගෙන, වී ගොවීන්ට වගා හානි සඳහා වන්දි ගෙවීම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හරහා සිදුකෙරෙන බව සඳහන්ය.

2016/2017 මහ කන්නයේ දිස්ත්‍රික්ක ගණනාවක ඇතිවූ නියං තත්ත්වය හේතුවෙන් වගා හානි සඳහා ගොවීන් හට අක්කරයකට රු. 10,000 බැගින් වූ වන්දි මුදල් ද පසුගිය මාසය තුළදී ගෙවා ඇති බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙයට අමතරව, වගා හානි හේතුවෙන් ලබාගත් වගා ණය, ආපසු ගෙවීමට නොහැකි වූ ගොවීන්ට සහන ලබාදීමේ ක්‍රමවේදයක්ජාතික ණය සුරැකුම් යෝජනා ක්‍රමය නමින් 2016 වසර සිට ආරම්භ කරන ලදී.

මේ යටතේ බැංකු මඟින් වගා ණය ලබාගත් ගොවීන්ගේ වගාවලට යම් හානියක් සිදුවුවහොත් එම හානිය ගණනය කර, ගොවියාට ගෙවීමට නොහැකි වූ ණයමුදල මෙම ණය සුරැකුම් යෝජනා ක්‍රමය මඟින් ගොවීන් වෙනුවෙන් බැංකු වෙත ගෙවනු ලැබේ.

මෙම ණය සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ ඉහත පරිදි ණය මුදල් පියවීමද ජාතික රක්ෂණ භාර අරමුදල වෙත බැංකු, මූල්‍ය හා රක්ෂණ ආයතන වලින් ලැබෙන 1% ක ගාස්තුව තුළින් සිදුකෙරෙන බව අමාත්‍යංශය පවසයි.

2016/2017 මහකන්නයේඇතිවූ නියඟයෙන් ගොවීන්ට සිදුවූ වගා හානි හේතුවෙන් ලබාගත් ණය පියවීම සඳහා රුපියල් මිලියන 500 ක පමණ මුදලක් ජාතික රක්ෂණ භාර අරමුදල විසින් බැංකුවලට ගෙවීමට සිදුවනු ඇතැයි දැනට ගණන් බලා තිබේ.

2013.04.01 දින සිට මෙම 1% වගා බද්ද ක්‍රියාත්මක කරන ලද අතර එදින සිට 2017 අප්‍රේල් මස 25 වන දින දක්වා මෙම බද්ද මඟින් ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ලැබී ඇති මුළු මුදල රුපියල් මිලියන 5,069.81 කි.

ඉන් රුපියල් මිලියන 3,932.34 ක් වගා හානි සඳහා වන්දි ගෙවීමට හා ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ලබාදී ඇති අතර 2017 අප්‍රේල් මස 25 දින වනවිටරුපියල් මිලියන 1,137.47 ක මුදලක් ඉතිරි වී ඇති බව සඳහන්ය.

ඉන් රුපියල් මිලියන 500 ක් 2016/2017 මහ කන්නයේ වගා හානි ගෙවීම සඳහා තවදුරටත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ලබාදීමට සැලසුම් කර ඇති අතර, ඉතිරි මුදල් ජාතික ණය සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ 2016/2017 මහ කන්නයට අදාළ ගෙවීම් සිදුකිරීම සඳහා රඳවා ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව, මෙම 1% ක වගා බද්ද අයකිරීම ආරම්භ කළ දිනයේ සිට 2017.04.25 දින දක්වා සංචිත වශයෙන් එකතු වී ඇති මුළු මුදල රුපියල් කෝටි 500 ක් පමණ වන බැවින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය වෙත පැවසූ පරිදි මෙම අරමුදලේ කෝටි 700 ක් අතුරුදන් වී නොමැති අතර අදාළ එකතු වූ සංචිත බදු මුදල එම බද්ද පැනවීමේ අරමුණට අනුව ගොවි ජනතාවගේ යහපත සඳහා රජය විසින් යොදවා ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

අන්තරේ 5දා ඉගෙනීමේ කටයුතුවලින් ඉවතට



සයිටම් වසා දමන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ මස 05 වන දින සිදුකරන වැඩවර්ජනයට. සාපේක්ෂව සියලුම අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලය සඳහන් කරයි.

මේ අනුව එදින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කරන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා  සහයෝගය දැක්වීමේ ක්‍රියාමාර්ගවල නිරතවන බවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.

රටට උචිත අලුත් ව්‍යවස්ථාවක් ඕනෑ : ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

දේශපාලන සිරකරුවන් වශයෙන් වසර ගණනාවක් සිරගත කර සිටින තරුණයන් වැරැදිකර නොමැති නම් නිදහස් කිරීමටත්. මේ රටට උචිත අලුත් ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් ස්ථාපිත කිරීම සඳහා වේගවත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසටත් බලකර සිටින බව නව ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් ක්‍රීඩා මණ්පයේ පැවැති මැයි දින රැලියේ දී පැවසීය.

පොදු ජන අයිතිය රකින වැඩකරන ජනතා අයිතිය රකින ජනවාරි 89 වැනි දින පොරොන්දු ඉදිරියට ගෙනයාමට බලකරමින් වෘත්තීය සමිති හා වමේ සංවිධානයේ මෙහෙයවීමෙන් මෙම මැයි දින රැලිය පැවැත්විණි.

මෙහිදී තවදුරටත් කථා කළ වික්‍රමබාහු කරුණාරත්න මහතා පසුගිය රජය මඟින් කළ දූෂණ මර්දනය වෙනුවෙන් ක්‍රියාකිරීම අද දුර්වල වී තිබෙනවා. එම නිසා මෙම දූෂණ හා මර්දන ක්‍රියාකරකම් පිළිබඳව දැඩි තීන්දු තීරණ ගන්නා ලෙසට රජයට බලකර සිටිනවා.

ගත වූ කාලයේ දී ආණ්ඩුවට බලකර සිටීම නිසා ජී.එස්.පි. සහනය අද ලබා ගැනීමට හැකිවී තිබෙනවා. රාජ්‍ය දේපළ, මුදල් වංචා කර ඇති පුද්ගලයන්ගේ තත්ත්වය පිළිබඳව නොසලකා වරදක් කර ඇති සෑම පුද්ගලයකුටම නිසි දඬුවම් ලබාදීමට රජයේ අවධානය යොමු කර සිටිනවා.

වමේ සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා – 1886 වර්ෂයේ ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ ඇතිවූ කම්කරු අරගලයේ දී කම්කරුවන් හතර දෙනෙකුගේ ජීවිත අහිමිවීම නිසා එම කම්කරුවන් සැමරීමට කම්කරුවන්ගේ මැයි දිනය ස්ථාපිත වුණා.

අද එයට දේශපාලනය සම්බන්ධ කරගෙන ලංකාවේ දේශපාලන පක්ෂ මැයි දිනය සැමරීම කනගාටුවට කරුණක්.

වෘත්තීය සමිති හා වමේ සංවිධාන හැම විටම මැයි දිනය සැමරීමට කම්කරු පිරිස සමඟ එක්වී සිටියා. අද ලංකාවේ මැයි දිනය වෙනස් මුහුණුවරක් ගැනීම කනගාටුවට කරුණක්.

වමේ සංවිධානයේ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය- ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මානව හිමිකම් ගරුකරන පක්ෂයක් ලෙස මේ අපේ අවසාන සටන ලෙස හැඳින්විය හැකි වන අතර පසුගිය යුද සමයේ දී තමන්ගේ දරුවන් ඝාතනය කළ ඝාතකයන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස රජයට බලකර සිටිනවා.

තමන්ගේ දරුවන් නැතිවීම නිසා ඒ අම්මලා තවමත් අඬනවා. ඔවුන්ට කිසියම් සාධාරණයක් ලබාදීම රජයේ යුතුකමක්.

නව සමසමාජ පක්ෂයේ ‍ඩී.එම්.ඩී. ‍අබේරත්න මහතා- මැයි දිනය සමරන්න අද ගෝල්ෆේස්, කැම්බල් හා ගැටඹේ යන ස්ථානවල පවත්වන්නේ නියම මැයි දිනය නොවෙයි. කම්කරු ජනතාව වෙනුවෙන් පවත්වන වමේ සංවිධාන මැයි දිනය මෙයයයි.

ජයම්පති වික්‍රමරත්න, ලාල් විජේනායක, හිටපු නාගරික මන්ත්‍රී බී. තිරනාතරසු යන මහත්වරුන් ද මෙහිදී කතා කළහ.

මහින්ද රාජපක්ෂ සිරගත කළ යුතුයි : අමාත්‍ය සරත් ෆොන්සේකා


 වසර 2005 මැතිවරණය ජයගැනීමේ අරමුණ ඇතිව මහින්ද රජපක්ෂ මහතා LTTE සංවිධානයට මිලියන 2 ක් ලබා දීම හේතුවෙන් රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතු බවයි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ 01 බොරැල්ල කැම්බල් පිටියේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී අදහස් දක්වමින්.

වසර 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණෙද්දී මීතොටමුල්ල කුණු කන්දේ උස මීටර් 15 ක් වූ බවත් එය වත්මන් රජයට භාර දෙන විට එහි උස මීටර් 45 ක් වූ බවත් ෆොන්සේකා මහතා පවසනවා.

වත්මන් රජය සමයේ මීතොටමුල්ල කුණු කන්දේ උස වැඩි වූයේ මීටර් 3කින් පමණක් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මීතොටමුල්ල කුණු කන්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ කරුමයක් බවයි ෆොන්සේකා මහතා කැම්බල් පිටියේදී ප්‍රකාශ කළේ.