08 May 2017

අල්ලස්, දූෂණ මහජන පැමිණිලි විමර්ශන ලේකම් කාර්යාලය වසා දමයි

අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ඉදිරිපත් වන සෘජු මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ලේකම් කාර්යාලය වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. විවිධ ආයතන සම්බන්ධයෙන් විමර්ශනය කරන මෙම ලේකම් කාර්යාලයට අගමැති කාර්යාලයේ වාහන පරීක්ෂණ කටයුතු යොදා ගැනීමෙන් මේ තත්ත්වය උද්ගත වී ඇතැයි වාර්තා වේ.

අරලිය ගහ මන්දිරය ආසන්නයේ පිහිටි දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යලය 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ස්ථාපිත කරන ලද්දකි. මෙම ලේකම් කාර්යාලයේ නිලධාරීන් සෑම සතියකම හමු වී දූෂණ විරෝධී කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් එහි සාමාජිකයෝ වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මතත මෙම ලේකම් කාර්යාලය ස්ථාපිත කරන ලදි. මුල් කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් ද මෙම කමිටුවේ සාමාජිකයත්වය දැරෑ අතර පසුව ඔවුහු ඉන් ඉවත් වූහ. ඉන් අනතුරුව ආණ්ඩුවේ නියෝජිතයෝ පමණක් එහි සාමාජිකත්වය දැරූහ.

කෙසේ වෙතත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම යන රාජ්‍ය ආයතන සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීම මෙම ලේකම් කාර්යාලය වසා දැමීමට නිල හේතු වී ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ විමර්ශන සහ අනෙකුත් කටයුතු සඳහා අග්‍රමාත්‍ය කාර්යාලයේ වාහන භාවිත කර ඇතැයි වාර්තා වේ. විමර්ශනයක් සම්බන්ධ කටයුත්තකට ඉකුත් දිනක කමිටුවේ නිලධාරීන් පිරිසක් මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකුගේ නිවසකට ගොස් ඇති අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ රථයකි.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අනතුරු අඟවා ඇති අතර මෙවැනි සිදුවීම් හේතුවෙන් පසුගිය ආණ්ඩුවට චෝදනා එල්ල වූ සුදු වෑන් වැනි චෝදනාවක් මේ ආණ්ඩුවට ද එල්ල වනු ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත. ජනමාධ්‍යවේදීන් ඇතුළු ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වන පිරිස් පැහැර ගැනීම සඳහා සුදු වෑන් එවූ බවට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා එල්ල විය.

විමර්ශන කටයුතුවලදී නවාතැන් පහසුකම්, ආහා වියදම් ඇතුළු වියදම් පියවා ගැනීමට ක්ෂේත්‍ර දීමනාවක් දෙන්නැයි දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. මේ වසර ආරම්භයේදී මෙම ලේකම් කාර්යාලයේ කාර්යභාරය මාස හයකින් දීර්ඝ කල අතර අතර එය ජූනි මස 30 වැනිදායින් අවසන් වේ.

– ලංකාදීප –

චම්පිකගේ කොළඹ යාචකයින්, ගවයින් හා සුනඛයින් අතුරුදන් කරවීමේ තැත



කොළඹ නගරය සංවර්ධනය කිරීමේ පුර්වගාමී කටයුත්තක් වශයෙන් දැනට කොළඹ නගරයේ හිඳින යාචකයන්, ගවයන් සහ නිවාස අහිමි සුනඛයන් නගරයෙන් බැහැර කළ යුතු බව මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවේ කියා තිබේ.

එහෙත් මෙම ‘බැහැර කිරීම’ යනුවෙන් හැඟවෙනුයේ කුමක්ද? යන්න පිළිබඳව ඇමතිවරයා මුලදී නිශ්චිත අදහසක් පළකොට නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් පසුව පැවසුණු අදහසකට අනුව කොළඹ නගරයේ සිඟමන් යදින යාචකයන් අම්බලන්තොට රිදියගම කඳවුර වෙත යැවීමේ සූදානමක් පවතී. එහෙත් ඇමතිවරයා ගේ මෙම මහනගර සහ බස්නාහිර සැලසුම් යෝජනාව තුළ ඔහුගේ දැනුම් අවබෝධයන් සීමාවෙන් බැහැර වන පුළුල් සමාජ විද්‍යාත්මක පරාසයක් පවතී. මේ ඒ සම්බන්ධයෙන් පාඨක අවධානය යොමු කරවීමකි.

මෙහිදී පළමුව අපි “යාචකයා” යනු කවරුන්ද යන්න විමසා බලමු. සාමාන්‍යයෙන් යාචකයා යනුවෙන් මූලිකව හැඳින්වෙනුයේ ආහාරපාන – ඇඳුම් පැළඳුම් සහ ඖෂධ ආදී මූලික අවශ්‍යතා සපුරා ගත නොහැකිව පොදු සමාජ කරලිය වෙත‍ට පැමිණෙන සමාජයේ පහත්ම අඩියේ වෘත්තීයක යෙදෙන්නෙකි. ලොව පැරණිතම වෘත්තීන් දෙක පිළිබඳව සඳහන් කරන බොහෝ මානව විද්‍යාඥයන් ගණිකා වෘත්තිය සහ යාචක වෘත්තිය හුවා දක්වා ඇති බව නොරහසකි. ඒ කෙසේ හෝ පසුකාලීනව සිදු වූ සමාජ පරිනාමයත් සමඟ මෙම ගණිකා සහ යාචක වෘත්තීන් කර්මාන්ත ස්වරූපයට පරිවර්තනය වනු ලදුව අද වන විට කර්මාන්තයකට අවශ්‍ය බොහෝ අංගවලින් මෙම යාචක සහ ගණිකා වෘත්තීය පසුබිම සැකසී තිබේ.

අද අප සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවුවද ශ්‍රී ලංකාවේ යාචක වෘත්තිය සම්බන්ධ උප සංස්කෘතියක් ද තිබේ. අප ‍රටේ විසූ කීර්තිමත් සමාජ විදයාඥයකු වූ මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන් විසින් 1979 වසරේ ලියන ලද The beggar in Srilanka කෘතිය මගින් ඒ සම්බන්ධ විශිෂ්ට සමාජ දර්ශනයක් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව මෙහි දී අප විසින් කළ යුත්තේ යමකු යාචක වෘත්තියට පෙළඹීමට බලපාන පෞරුෂ, මානුෂික, පවුල්, ප්‍රජා සහ සමාජ වටපිටාව අධ්‍යයනය කිරීමය. ඉන්පසුව  එම සමාජ පරිසරය තුළදීම මූලික වශයෙන් ඔවුන් සඳහා සුබසාධන ක්‍රියාවලියකට මුල පිරීමය.  ඒ හැරුණු කොට කොළඹ නගර සීමාව තුළ සිටින එම යාචකයන් ඔසවා ගෙන ගොස් කොහේ හෝ තැනකට අතහැරීම නොවේ. එසේ කළ හොත් මූලිකවශයෙන් කොළඹ නගරය තුළ යාචක වෘත්තියේ යෙදෙන්නවුන් නිසා දිවි ගැටගසා ගන්නා තවත් පවුල් සිය දහස් ගණනක් අනාථ භාවයට පත්වනු ඇත.

බොහෝ විට අගනුවර සහ ඒ ආශ්‍රිත යාචක වෘත්තියේ යෙදෙනුයේ අගනුවර සහ ඒ ආසන්න ප්‍රදේශවල පැල්පත් වාසී ප්‍රජාව නියෝජනය කරන පිරිස් අතුරින් කොටසකි. මොවුන් ගේ ආහාර, ඇඳුම් පැළඳුම්, පවුල් ප්‍රජා සහ සමාජ සබඳතාවල පවත්නා විශේෂ අනන්‍යතාවයන් සමාජ විද්‍යාඥයන් ගේ අවධානයට යොමුව තිබේ. එසේම සමාජයේ සෙසු කොටස්වලට සාපේක්ෂව මත්පැන්, මත්ද්‍රව්‍ය සහ ගණිකා වෘත්තිය, සුළු සොරකම්, මංපැහැරීම කෙරෙහි විශේෂ නැඹුරුවක් මෙම ජන කොටස් තුළ තිබේ.  ඒ ඔවුන් වෙත නිරතුරුව පොදු සමාජයෙන් එල්ලවන ප්‍රතිරෝධය මුල්කරගනිමිනි.

කොළඹ නගරයේ යාචකයන් ඉවත් කරවීම හෝ ‘අතුරුදන් කරවීම’ ට පෙර මෙම කරුණු සම්බන්ධ විද්‍යාත්මක විමර්ශනයක් කළ යුතුවේ.

අමාත්‍යවරයා ගේ යෝජනාව පරිදි කොළඹ නගරයේ යාචකයන් හිටිහැටියේ වෙනත් ස්ථානවලට ගෙන ගොස් දැමීම නව සංකල්පයක් නොවේ. 1976 කොළඹ පැවැති නොබැඳි ජාතීන් ගේ සමුළුව සහ 2013 කොළඹ දී පැවැති චෝගම් සමුළුව මුල් කොට ගෙන ද මෙම යාචකයන් ඉවත් කිරීමේ කාරියේ යෙදුණු රජය කොළඹ යනු බෙහෙතකටවත් යාචකයකු සොයා ගත නොහැකි සුරපුරයක්ය යන අසත්‍යය, මිථ්‍යාව ජාත්‍යන්තරය වෙත පතුරුවා හැරීමේ අඥාන උත්සාහයක යෙදී  තිබිණ.

 පාඨලී චම්පික ඇමතිවරයා මේ මුල පුරනුයේ එහි නවතම අදියරට මිස නව සංකල්පයක් ක්‍රියාවට නැංවීමට නොවේ. ලෝකයේ බොහෝ දියුණු රටවල යාචක වෘත්තිය සහ මංපැහැරීම තුලනාත්මක සබැදියාවක් සහිත වෘත්තීන් දෙකක් වශයෙන් සමාජ විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. මෙහි දී යාචක වෘත්තියෙන් යමක් ඉපැයීමට නොහැකි වීම තුළ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙමින් ජනතාව සතු යම් යම් දේ සොරකම් කිරීමට පැහැර ගැනීමට පෙළඹෙන්නවුන් ගේ සංඛ්‍යාව ඉහළ යන බව නොරහසකි. මේ වනවිට යුරෝපාකරයේත්, ඇමරිකාවේත් බොහෝ නගරවල සිදුවන සොරකම් සහ මංපැහැරීම් ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත්තේ නව සමාජ ආර්ථිකය හමුවේ අද වන විට යාචක වෘත්තිය අවලංගු රැකියාවක් බවට පත් ව ඇති නිසාය. එමෙන්ම ඒ ඔස්සේ එම නගරවල වීදි ගණිකාවන් බහුල වීමේ තත්ත්වයක් ද පෙන්නුම් කෙරේ.

මෙවන් පසුබිමක් තුළ මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධනය උදෙසා කොළඹ නගරයේ යාචකයන් නගරයෙන් පිට කොහේ හෝ සඟවා තැබීම ඔස්සේ කොළඹ නගරය තුළ යාචක වෘත්තිය නොමැති වී ඊට සාපේක්ෂව සොරකම්, මංපැහැරීම් සහ ගණිකා  වෘත්තිය තුලනාත්මකව ඉහළ නැංවීම කිසිවකුටත් වැළැක්විය නොහැක.

පාඨලී චම්පික රණවක මහතා නියෝජනය කරනුයේ බුදු දහම මත පදනම් වූ බෞද්ධ සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලන දර්ශනයක් වෙනුවන් පෙනී සිටින ජාතික හෙළ උරුමයයි.

එබැවින් මෙම කොළඹ නගරයෙන් යාචකයන් ඉවත් කිරීම පිළිබඳ නැවත ‘මුවින් කෙළ බිඳක් හෙළීමට’ පෙර ඔහු බෞද්ධ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ එන කූටදන්ත සහ චක්‍රවත්ති සිහනාද ආදී සූත්‍ර නැවත පරිශීලනය කිරීම ඉතා වැදගත්ය. එහි දී කූටදන්ත සූත්‍රයෙන් නිරන්තරව අවධාරණය කෙරෙනුයේ යම් රාජ්‍යයක තිරසාර සංවර්ධන ක්‍රමෝපාය වනුයේ දිළිඳුන් සමූල ඝාතනය කිරීම නොව ‘දිළිඳු බව’ සමූල ඝාතනය කිරීමෙන් පමණක් රාජ්‍යයකට සෞභාග්‍යය උදාවන බවය.

එහෙත් බෞද්ධ දර්ශනය යම් තරමකට හෝ හදාරා ඇතැයි අප සිතන හා ශ්‍රී ලාංකික දේශපාලන භූමියේ ඇති එකම බෞද්ධ දේශපාලන පක්ෂය නියෝජනය කරමින් මෙරට ප්‍රධාන අමාත්‍ය ධූරයක් හොබවන පාඨලී ඇමතිවරයා ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය හුදෙක් ප්‍රකාශයකට පමණක් සීමා වීම ඔහුගේත්, ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයේත් මුළු මහත් ශ්‍රී ලාංකීය සමාජයේත් යහපතට ඉෂ්ටාර්ථ සිද්ධියට ඉවහල්වන හේතුවන බව අපගේ අවංක විශ්වාසයයි.

|මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා

ඉගෙනීමෙහි දක්ෂයකු නොවූ තොල්ස්තෝයි



රුසියානු ලේඛක ලියෝ තොල්ස්තෝයි අදටත් වර්ගීකරණය කෙරෙන්නේ ලොව මුල් පෙළේ ලේඛකයන් අතරය. 1828 සැප්තැම්බර් 9 වැනිදා රුසියාවේ ටූලා පළාතේදී උපන් තොල්ස්තෝයි සිය පළමු මහා නවකතාව වන යුද්ධය හා සාමය ලියන විට වයස තිස් ගණනකි. ඔහුගේ දෙවනුවට වඩාත් ප්‍රකටම නවකතාව වන ඇනා කැරනිනා ලියන විට ඔහු හතළිස්පස් හැවිරිදි වියේ පසු විය.

තොල්ස්තෝයිගේ මව ඔහු දෙහැවිරිදි වියේ සිටියදීම ජීවිතයෙන් සමුගත්තාය. ඉන් පසු ඔහු සහ සොහොයුරන් තිදෙනාගේ බාරකාරත්වය පැවැරුණේ නැන්දණියටයි. එහෙත් ඊට සත් වසරකට පසු අවාසනාවන්ත ලෙස ඇය ද මිය ගියාය. එවක් පටන් තොල්ස්තෝයි සහ සොහොයුරන් හදාවඩා ගත්තේ තවත් නැන්දණියක විසිනි. ලියෝ තොල්ස්තෝයි සිය ළමාවිය මතක අවදි කරමින් පසු කලෙක සඳහන් කළේ එය අහිමි වීම්වලින් පිරි එකක් වූ බවය.

තොල්ස්තෝයි ඉගෙනීමට දක්ෂයෙක් නොවිණි. ප්‍රාථමික අධ්‍යාපනය නි‍ෙවසේදීම ලැබු ඔහු කසාන් විශ්වවිද්‍යාලයෙන් පිටවූයේ උපාධිය නොලබාය. එවක් පටන් ඔහු වෑයම් කළේ දක්ෂ ගොවියකු වීමටයි. එහෙත් එය ද අසාර්ථක විණි. සිය සොහොයුරා වූ නිකොලායිගේ මඟපෙන්වීම මත හමුදා සේවයට එක්වූ ලියෝ 1850 ගණන්වලදී ක්‍රිමියානු යුද්ධයට ද සම්බන්ධ විය.

ලියෝ තොල්ස්තෝයිගේ පළමු කෘතිය ලෙස ප්‍රකාශයට පත්වූ ‘ද චයිල්ඩ්හුඩ්’ ඔහු අතින් ලියැවුණේ මේ වකවානුවේදීය. එය ඔහුගේම ළමාවිය මත පදනම් වූ චරිතාපදානමය කතාවකි. එවක් පටන් මියයන තෙක්ම දිනපොත ලිවීම ඔහුගේ චර්යාවක් විය. යුද පෙරමුණේ සිටියදී පවා ඔහු ලිවීම නතර කළේ නැත. තොල්ස්තෝයිගේ දෙවන කෘතිය ලෙස ප්‍රකාශයට පත්වූ “සෙවස්තපෝල් ටේල්ස්” නම් තුන් ඈඳුතු නවකතාවට පසුබිම් වූයේ ද ක්‍රිමියානු යුද්ධයයි. ඔහු එය ලීවේ ද යුද්ධය අතරතුරය. ක්‍රිමියානු යුද්ධය නිමා වීමත් සමඟ ඔහු හමුදාව හැර ගියේය. රුසියාවට පැමිණි තොල්ස්තෝයි ශාන්ත පීටස්බර්ග් සාහිත්‍ය කරළියේ කැපී පෙනෙන භූමිකාවක් බවට පත්විණි. “ඇනා කැරනිනා” ප්‍රකාශයට පත්වීමත් සමඟ තොල්ස්තෝයිගේ ආදායම් තත්ත්වය ද වේගයෙන් වර්ධනය විය.

සිය ආගමික විශ්වාසයන්ගෙන් ඔහු මිදු‍ෙණ් රුසියානු ඔර්තඩෙක්ස් පල්ලියෙන් ද දුරස් වෙමිනි. තමා අරාජිකවාදියකු බව ඔහු විසින්ම හඳුන්වා දුන්නේය. රහස් පොලීසිය ඔහු පසුපසින් වැටෙන්නට තරම් මේ වෙනස්කම් බලපෑවේය. මුදලට ඇති ආසාව ද ඔහු අත්හළේය. එය ඔහු සහ බිරිය, සොෆියා අතර විරසකයක් ඇතිවීමට හේතු විණි. ඔවුන්ගේ විවාහය දෙදරා යන තරමටම එය දිග්ගැසෙද්දී සිය කෘතීන්වල නෛතික හිමිකාරිත්වය සොෆියාට පැවරීමට තොල්ස්තෝයි ක්‍රියා කළේය.

තොල්ස්තෝයිගේ පසුකාලීන නිර්මාණවලින් ඔහුගේ අනාගමික හැඟීම් මෙන්ම යථාර්ථවාදී නැඹුරුව පිළිබිඹු වේ. කෙසේ වුවද, සිය ජීවිතයේ අවසන් දශක තුන ඔහු ගත කළේ සදාචාරාත්මක හා ආගමික නායකයකු ලෙසිනි. ඔහු අහිංසාවාදය ඉහළින් පිළිගත්තේය. නැවතත් ආගමික ජීවිතය දෙසට නැඹුරු වීමට ඔහු වෑයම් කළේය. එහෙත්, ඔහුගේ විශ්වාසයන් හා සොෆියාගේ දැක්ම අතර බලවත් වෙනස්කම් තිබිණි. එය ඔහුගේ පෞද්ගලික ජීවිතයට බලපෑවේය.

මුල් පෙළේ නවකතාකරුවන් බොහෝ දෙනා පවසන පරිදි මෙතෙක් බිහි වූ විශිෂ්ටම නවකතාකරුවා ලියෝ තොල්ස්තෝයිය. මෙතෙක් බිහි වූ විශිෂ්ටම නවකතාව ලෙස පිළිගැනෙන්නේ “යුද්ධය හා සාමය” යි. එය වචන 400,000කටත් වැඩි කෘතියකි. තොල්ස්තෝයිගේ විශිෂ්ටම කෘතිය ලෙස විචාරකයන් සලකන්නේ “ඇනා කැරනිනා”ය.

තොල්ස්තෝයි අවම ව‍ශයෙන් භාෂා 6ක් දැන සිටියේය. ලියෝ තොල්ස්තෝයි යනුවෙන් ලෝ පතළ වුවද ඔහුගේ සැබෑ නම ලෙව් නිකොලායෙටිච් තොල්ස්තෝයිය. තොල්ස්තෝයි සිය දෛනික චර්යාව මැනවින් සැලසුම් කරගත් ලේඛකයෙකි. ආචාරධාර්මික නීති රීති සම්ප්‍රදායකට අනුව ඔහු ජීවිතය හැඩගස්වාගෙන තිබිණි. ඉන් සමහර පුරුදු අදට ද ගැළපේ. රාත්‍රී 10.00ට නින්ද ගොස් උදෑසන 5.00ට අවදි වීම පමණ ඉක්මවා ආහාර නොගැනීම, පැණි රස කෑම අවම කිරීම වැනි දෑ ඒ අතර තිබේ. දවස ගත කළ අයුරු සටහන් කරන තොල්ස්තෝයි පසු දින ගත කරන ආකාරය ද සැලසුම් කිරීමට පුරුදු වී සිටියේය. සංගීතය රස විඳීමේ පටන් කාඕ සෙල්ලම් කිරීම දක්වා සෑම දෙයක්ම පිළිවෙළකට කිරීම තොල්ස්තෝයිගේ සිරිත විය. වර්ෂ 1862 දී විවාහ ජීවිතයට ඇතුළු වන විට තොල්ස්තෝයි 34 හැවිරිදි වියේ පසුවූ අතර සොෆියා 18 හැවිරිදි වියේ පසුවිණි. දෙදෙනා පළමු වරට හමුවී සති කිහිපයකින් විවාහය සිදු විය. ඔහු “යුද්ධය හා හාමය” ලිවීම ඇරැඹුවේ ද මේ වර්ෂයේදීමය. එහි පළමු පිටපත ලියා නිම වන විට වසර 3ක් ගත වී තිබිණි. නැවත නැවත ලිවීම තොල්ස්තෝයිගේ ශෛලිය වූ බැවින් ඊට කාලයක් ගත විය. “යුද්ධය හා සාමය” ලියා නිම කිරීමට ඔහුට සිය බිරියගෙන් ලැබුණේ අගනා සහායකි. වසර 7ක් තිස්සේ ඇය එම සමස්ත අත්පිටපත අට වතාවක්ම යළි යළිත් ලීවාය. ඇතැම් තැන් 30 වතාවක් පමණ යළි යළි ලිවීමට සිදු විය. සොෆියා එම කැපවීම කළේ දේපළ හා ව්‍යාපාර කටයුතු ද බලා ගනිමිනි. මේ සියල්ල අතර ඔවුන්ට දරුවෝ 13 දෙනෙක් ද වූහ. තොල්ස්තෝයි දාර්ශනික අදහස් හා මතවාද සැපයූ ලේඛකයෙකි. රාජ්‍යයේ භූමිකාව හා දේපළ අයිතිය ගැන ඔහුගේ අදහස් සාර් පාලනය සමඟ ගැටිණි. සාර් පාලනය ඔහු පොලිස් සුපරීක්ෂාව යටතේ තැබීය. රුසියානු ඔර්තඩොක්ස් පල්ලිය වර්ෂ 1901 දී ඔහු පල්ලියෙන් නෙරපා හැරියේය.

රාජකීයයන් මෙන්ම පල්ලියද තොල්ස්තෝයිගේ ජනප්‍රියත්වය හීන වනු දැකීමට රිසි විය. එහෙත්; ඔහු වටා ආධ්‍යාත්මික නායකයකු වටා රොක් වන්නාක් මෙන් අනුගාමිකයෝ පෙළ ගැසුණහ. තොල්ස්තෝයිගේ දර්ශනය මහත්මා ගාන්ධිට සහ මාටින් ලුතර් කිංට පවා ආභාසයක් වූ බව පිළිගැනේ.

සිය බිරිය සොෆියාගේ සහාය තොල්ස්තෝයිගේ සාහිත්‍ය ජීවිතයට විශාල අත්වැලක් විය. එහිදී ඇය දැඩි කැපකිරීමක් කළ බව පැහැදිලි වේ. එසේ වුවද තොල්ස්තෝයිගේ ජීවන දැක්ම හේතු කොටගෙන ඇති වූ වෙනස්කම් වඩා බරපතළ විය. ජීවිතයේ සැඳෑ සමය එළැඹෙන විට ඔහු පවුලෙන් විතැන් වන තරමටම කටයුතු යෙදී තිබිණි. 82 හැවිරිදි වියේ පසුවූ තොල්ස්තෝයි 1910 වසරේ එක් මැදියම් රැයක නිවසින් පිට විය. ඔහුගේ තනියට ඔහු සමඟ පැමිණියේ එක් දියණියක පමණි.

ශ්‍රේෂ්ඨ ලේඛකයාගේ අතුරුදන් වීම විශාල මාධ්‍ය අවධානයක් යොමු වූ කාරණයක් විය. ඔහු වන්දනා ගමනක යෙදී සිටින්නේ යැයි ද ප්‍රචාරය කෙරිණි. දින කිහිපයකට පසු ඇස්තාපොවෝ දුම්රිය පොළේ සිටියදී ඔහු හමු විය. වීඩියෝ කැමරා ද සහිතව මාධ්‍යකරුවන් පිරිසක් ද, විශාල ජනකායක් ද එහි රැස්ව සිටිනු දැකගැනීමට ලැබිණි. මේ පිරිස අතර සොෆියා ද සිටියාය. අසනීප තත්ත්වයෙන් පසුවූ තොල්ස්තෝයි ආපසු නි‍ෙවසට කැඳවාගෙන යෑමට පරිශ්‍රමයක් දැරුව ද ඔහු එය ප්‍රතික්ෂේප කළේය. 1910 නොවැම්බර් 20 වැනිදා ඇස්තාපොවෝ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිවහනේදී ජීවිතයෙන් සමුගෙන තිබිණි. ඔහුගේ මරණයට හේතුව නිව්මෝනියා රෝගී තත්ත්වයයි.

මහා ලේඛකයාගේ මරණය ඔහු මැවූ ඇනා කැරනිනාගේ මරණයට බෙහෙවින් සමීප විය.

කුණු කන්දෙන් මතු වූ මල්වත්ත



ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ නගරයට කිලෝ මීටර් 2 ක්‌ පමණ දුරින් පිහිටි මීතොටමුල්ල කුණු කන්ද පසුගියදා නාය ගියේ 33 දෙනකු මරුමුවට පත්කරමිනි. එම ෙ€දචාචකයෙන් පසු ලංකාවේ කසළ අර්බුදය පිළිබඳව විශාල කතාවක්‌ ඇතිවිය. ඒ කසළ සංවාදය තවම අවසන් නැත. කොළඹ කසළවලටද තවමත් විසඳුමක්‌ නැත. කොළඹ, මීතොටමුල්ල කුණු කන්ද මගින් ඇතිවූ පාරිසරික අර්බුදයට සමාන අර්බුදයක්‌ ඊශ්‍රාලයේ ටෙල් අවිව් (TEl AViV) නගරයේ පිහිටි හයිරියා (Hiriya) කුණු කන්ද මගින්ද ඇතිවිය. නමුත් ඊශ්‍රාලයේ දේශපාලනඥයන් ලංකාවේ දේශපාලනඥයන් මෙන් කුණු වලින් දේශපාලනය කරන්නට ගියේ නැත. ඒ නිසා ඊශ්‍රාලයට පිළිලයක්‌ වීමට ගිය කුණු කන්ද මැද පෙරදිග කලාපයේ නවීනතම තෙත්බිම් උද්‍යානය බවට පත් කිරීමට ඔවුන්ට හැකිවිය.

හයිරියා කුණු කන්ද (Hiriya Garbage Dump) ලෙසින් හැඳින්වූ මෙම කුණු කන්දේ ඉතිහාසය 1952 වර්ෂය තෙක්‌a දිවයයි. 1998 වසර වන විට මෙම කුණු කන්දේ දිග සැතපුම් භාගයක්‌ සහ උස මීටර් 80 ක්‌ පමණ විය. ඒ වනවිට හයිරියා කුණු කන්දට දිනකට බැහැර කළ කසළ ප්‍රමාණය ටොන් තුන් දහසකි. කුණු කන්ද මගින් ටෙල් අවිව් නගරයේ භූගත ජල පද්ධතිය පමණක්‌ නොව වායු ගෝලයද බරපතළ ලෙස දූෂණයකට ලක්‌විය. කුණු කන්දේ කසළ ආහාරයට ගැනීමට පැමිණි පක්‌ෂීන් නිසා ටෙල් අවිව් නගරයේ පිහිටි බෙන් ගුරියන් (Ben Gurion) ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩ බැස්‌ස වීමටද බාධා ඇති විය. කසළ කන්දේ තත්ත්වය බරපතළ බව තේරුම් ගත් ඊශ්‍රායල රජය වහාම 1998 වසරේදී හයිරියා කුණු කන්දට කසළ දැමීම නතර කර කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය ආරම්භ කළේය.

2001 වසරේ ආරම්භ කරන ලද මම කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මගින් 2014 වන විට හයිරියා කුණු කන්ද මැදපෙරදිග පිහිටි නවීනතම තෙත් බිම් උද්‍යානය බවට පත් කිරීමට ඊශ්‍රාල රජයට හැකිවිය. අද එම තෙත් බිම් උද්‍යානය හඳුන්වන්නේ ඒරියල් ෂරොන් උද්‍යානය (Ariel Sharon Park) නමිනි. ඒරියල් ශැරොන් යනු ඊශ්‍රාලයේ හිටපු කීර්තිමත් අගමැතිවරයෙකි.

මීට වසර 19 කට පෙර කුණු වලින් පිරී ගිය, දුඟද හමන හයිරියා කුණු කන්ද අද මල්වලින් පිරී ගිය උද්‍යානයකි. නිල මැස්‌සන් වෙනුවට එහි අද සිටින්නේ සමනලුන් සහ මී මැස්‌සන්ය. අක්‌කර 2000 ක්‌ පුරා පැතිර ගොස්‌ ඇති ඒරියල් ෂරොන් උද්‍යානයේ අක්‌කර 150 ක විශාලත්වයකින් යුත් කැළි කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්‌ථානයක්‌ද ඉදිකර ඇත. ඊශ්‍රාලයේ නගර 18 ක කුණු අදටත් ගෙන එන්නේ මෙම ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්‌ථානයටය. දිනකට නිවාසවලින් එකතු කරන කසළ ටොන් 3000 ක්‌ පමණද, කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන කසළ ටොන් 2000 ක්‌ පමණද මෙහිදී ප්‍රතිචක්‍රීයකරණ කරනු ලබයි. ඊට අමතරව කුණු කන්දේ කැණීම් කර ඉදි කරන ලද ළිං 80 ක්‌ මගින් ජීව වායුව නිපදවීමේ ව්‍යාපෘතියක්‌ද ක්‍රියාත්මක වෙයි.

එරියල් ෂරොන් උද්‍යානය නැරඹීමට දිනපතා සංචාරකයන් විශාල පිරිසක්‌ පැමිණෙන අතර එම සංචාරකයන් සඳහා ඇවිදීමේ මං තීරු, පාපැදි මංතීරු, ජල පොකුණු, වගාබිම්, ආසන 50,000 කින් සමන්විත රංග භූමියක්‌ද ඉදි කර ඇත.

2011 වසරේදී හයිරියා කුණු කන්ද ගැන. 'The Hiriya Project: A Mountain change' නමින් කෙටි චිත්‍රපටයක්‌ද නිපද වූ අතර එම චිත්‍රපටයට එක්‌සත් ජාතීන්ගේ දේශගුණ වෙනස්‌වීම් පිළිබඳ සම්මුතිය (UNFCCC) මගින් පැවැත්වූ පිවිතුරු නගර සංවර්ධනය තරගාවලියේදී පළමු තැන හිමි විය.

|රසී වීරසිංහ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් බිලියන 6ක පාඩුවක්



ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය වසරේ අලාභය රුපියල් බිලියන 6.49ක් ලෙස ගණන් බලා තිබෙනවා. එය පෙර වසරට වඩා රුපියල් බිලියන 2.9ක වැඩි වීමක්.

එමෙන්ම පසුගිය මූල්‍ය වසරේ අවසන් කාර්තුව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අලූත්වැඩියා කිරීම සඳහා වූ ව්‍යාපෘතිය ද මෙවර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය කාර්ය සාධනයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

එම කාලය තුළ ගුවන් ගමන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් අත්හිටුවීමට සිදුවුණා. 

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව ආයෝජකයා ලෙස තෝරාගෙන තිබූ පෞද්ගලික සමාගම ද ඉවත්වීමට තීරණය කර ඇති බව සදහන්.

මෙම සමාගම රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එකඟ වී සිටි ටෙක්සාස් - පැසිෆික් ගෲප් නැමැති පෞද්ගලික ආයතනයයි මෙලෙස ආයෝජනයෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ.

මෝසම් වැස්සෙන් ඩෙංගු ඉහළට

මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ඩෙංගු මර්දන වැඩ සටහන අනතුරු අඟවා සිටියි.

මේ වන විට ගත වූ මාස හතරක කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 42141ක් වන අතර පුද්ගලයින් 90 දෙනෙකු මිය ගොස් ඇතැයි ඩෙංගු මර්දන වැඩ සටහන පෙන්වාදේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යා වන 9278 වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර අඩුම රෝගීන් සංඛ්‍යාව වන 107 පිරිසක් වාර්තා වී ඇත්තේ මුලතිව් ප්‍රදේශයෙන් බව යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. රජයේ රෝහල්වල මේ වන විටත් ඩෙංගු රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රතිකාර ගනිමින් සිටින අතර අයිඩීඑච් උණ රෝහ‍ලේ පමණක් රෝගීන් 250කට අධික සංඛ්‍යාවක් ඩෙංගු සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවද එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් කීට විද්‍යා පාස‍ලේ විදුහල්පති නජිත් සුමනසේන මහතා සඳහන් කරනුයේ නගරයට සීමාවූ ඩෙංගු රෝගය මේ වන විට ගම්බද ප්‍රදේශ කරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවය.

මෙයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ගම්බද ප්‍රදේශයන්ද කැළි කසළවලින් දැඩි ලෙස අපවිත්‍ර වීම බවය.

ලොව දැවැන්තම වැලි බුදු පිලිමය ශ්‍රී ලංකාවේ



ජාත්‍යන්තර වෙසක් දින උත්සවය මුල් කර ගනිමින් ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කිරීම හෙට ආරම්භ කෙරෙනවා.

ඒ ඉන්දීය සම්මානලාභී කලාකරුවකු වන සුදර්ශන් පට්ටනයික් විසින්.

මැයි 10 වනදා සිට මැයි 14 දින තෙක් බත්තරමුල්ලේ දියවන්නා ඔය අසල දී උදෑසන 10 සිට සවස 07 දක්වා මෙම බුදු පිලිමය මහජන ප්‍රදර්ශනයට තැඛෙනවා.

ඉන්දීය පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ මෙම නිර්මාණ ශිල්පියා මීට පෙරද විවිධ ආකාරයේ වැලි නිර්මාණ රැසක්ම සිදුකර තිඛෙනවා.

https://pbs.twimg.com/profile_images/859244221844381701/eozT4QSy.jpg

නරේන්ගේ ප්‍රහාරය හමුවේ කෝලිගේ පිල අසරණවෙයි

සුනිල් නරේන් සහ ක්‍රිස් ලයන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඊයේ (07 වැනිදා) සමත්විය. දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 46 වන තරගය බැංගලෝර් හිදී පැවැතිවිණි.

ජයග්‍රහණය සදහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 15.1 කදී කඩුලු හතරක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ සුනිල් නරේන් අයි.පී.එල්. ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සමකරමින් පන්දු 15 කදී අර්ධ ශතකය ලබාගැනීමට සමත්විය. 2014 වසරේ පැවැති අයි.පී.එල්. තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව පන්දු 15 කදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් ඊට හිමිකම් කීමට යුසූෆ් පතාන් සමත්වී සිටියේය.

සුනිල් නරේන් දැවීයන විටදී පන්දු 17 කට මුහුණ දෙමින් හයේ පහර හතරක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 54 ක් ලබා ගැනීමට සමත්විය. නරේන්ට අනගි සහයක් ලබාදුන් ක්‍රිස් ලයන්ද වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 22 කදී ලකුණු 50 ක් ලබාගත් අතර ඊට හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් ඇතුළත් විය.

පළමු කඩුල්ල සදහා සුනිල් නරේන් සහ ක්‍රිස් ලයන් එක්ව පන්දු 37 කදී ලකුණු 105 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්වූහ.

අයි.පී.එල්. ඉතිහාසයේ පළමු ඕවර 6 තුළඳී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද බිඳ හෙළීමටද කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත්වූ අතර ලකුණු 100 ක් ලබාගනිමින් මීට පෙර එම වාර්තාවට හිමිකම් කීමට චෙන්නායි සුපර්කිංග්ස් පිල සමත්වී සිටියේය.

පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් ලබාගැනීමට සමත්විය.

තරගයේ යවන ලද පලමු පන්දුවෙන්ම ක්‍රිස් ගේල් දවාගැනීමට උමේෂ් යාදව් සමත්වූ අතර අනෙක් ආරම්භක පිතිකරුවූ මංදීප් සිං පන්දු 43 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට සමත්විය.

ඉනමි අවසන් වනතුරු කඩුල්ලේ රැඳි සිටි ට්‍රැවිස් හෙඞ් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 47 කදි හයේ පහර පහක් සහ හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 75 ක් රැස් කිරීමට සමත් වූයේය.

සිවුවැනි කඩුල්ල සදහා පන්දු 63 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මංදීප් සිං සහ ට්‍රැවිස් හෙඞ් සමත්වූ අතර උමේෂ් යාදව් ලකුණු 36 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ගෞතම් ගාම්බීර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 158
(මංදීප් සිං 52, ට්‍රැවිස් හෙඞ් නොදැවී 75, උමේෂ් යාදව් 36/3, සුනිල් නරේන් 29/2)

කොල්කටා නයිට් රයිඩර්ස් – ඕවර 15.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 159
(ක්‍රිස් ලයන් 50, සුනිල් නරේන් 54, පවන් නෙගී 21/2)

ලංකාවේ පුද්ගලයින් 100කට දුරකතන 135ක්



ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 100ක් ගත්විට දුරකතන 135.7ක් පවතින බව මහ බැංකු වාර්තාව සඳහන් කරයි. පුද්ගලයන් 100කට පවතින ස්ථිර දුරකතන සංඛ්‍යාව 12 ක් බවත් ජංගම දුරකතනද ගත්විට එම අගය 135.7ක් බවත් 2016 වර්ෂය සඳහා නිකුත් කළ මහ බැංකු වාර්තා වේ සඳහන් වෙයි.

එසේම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 100ක් ගත්විට ඔවුන්ගෙන් 23.2කට අන්තර්ජාල පහසුකම් ඇති බවත් මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

පළාත් සභා සියල්ල පොදු සම්මුතියක් යටතේ ක්‍රියාත්මක විය යුතුයි


 ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නම් පළාත් සභා කටයුතුවල විධිමත් භාවයක් තිබිය යුතු මෙන්ම. රජය සහ පළාත් සභා අතර සහයෝගය ද වර්ධනය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පළාත් සභා සියල්ල පොදු සම්මුතියක් යටතේ ක්‍රියාත්මක විය යුතු බවය.

හබරණ ප්‍රදේශයේ පැවැති 33 වෙනි ප්‍රධාන අමාත්‍ය සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කාර්යක්ෂම ජනතා සේවයක් සැපයීමට මහජන නියෝජිතයින් බැදී සිටින බවය.

මෙවර ප්‍රධාන අමාත්‍ය සමුළුවේ සභාපතීත්වය උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා විසින් මෙහෙය වූ අතර මීළඟ සමුළුව පැවැත්වෙන වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා වෙත මෙහිදී සභාපතීත්වය පිරිනැමිණි.

ප්‍රංශ ජනපති ධුරය 39 හැවිරිදි එමානුවෙල් මැක්‍රෝන්ට



ප්‍රංශ ජනපති සටනින් මධ්‍යස්ථ මතධාරී එමානුවෙල් මැක්‍රෝන් එරට නව ජනාධිපතිවරයා ලෙස ප්‍රබල ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ.

වයස අවුරුදු 39දී ජනාධිපති ධුරයට තේරීපත් වන මැක්‍රෝන් එදාමෙදා තුර ප්‍රංශයේ ජනාධිපතිවරයෙකු ලෙස තේරීපත් වන ළාබාලතම ජනාධිපතිවරයා බවට පත්වනු ඇත.

ප්‍රංශ ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදී මරීන් ල -පෙන් දැඩි පසුබෑමක් පෙන්වා ඇති අතර, මැක්‍රෝන් 66.06% ක ඡන්ද ලබාගනිද්දී, ඇයට ලබාගැනීමට හැකිවී තිබෙන්නේ ඉන් අඩක් වන ඡන්ද 33.94%ක් පමණි.

එමෙන්ම, වර්ෂ 1858 නවීණ සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව එරට ප්‍රධාන දේශපාලන දහරාවන්ගෙන් පිටත අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා ලෙස තේරීපත් වන ප්‍රථම අවස්ථාවද මෙය වීම ඉතිහාසගත වන සිදුවීමකි.

මෙම දැවැන්ත ජයග්‍රහණය සැමරීම සඳහා මැක්‍රෝන්ගේ ආධාරකරුවන් පැරිස් නගරයට එක්රැස්ව සිටියහ.

"බලාපොරොත්තුවේ සහ විශ්වාසයේ නව පරිච්ඡේදයක් විවර වූ බව සිය ජයග්‍රහනයෙන් පසුව ප්‍රංශ පුවත් සේවයට අදහස් දක්වමින් මැක්‍රොන් පවසා සිටියේය.

එමෙන්ම, ඔහු සිය ප්‍රතිවාදී ල-පෙන් සමග සුහද දුරකථන සංවාදයකටද එක්වූ බව මැක්‍රෝන්ගේ මැතිවරණ ව්‍යාපාරය පවසයි.

එහිදී, අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකා මරීන් ල-පෙන් සිය ආධරකරුවන් අමතමින් ප්‍රකාශ කළේ තමා වෙත ඡන්දය ප්‍රකාශ කළ එක්කෝටි දස ලක්ෂයක ප්‍රංශ ජනතාවට ස්තූතිය ප්‍රකාශ කරන බවයි.

දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන 39 හැවිරිදි එම්මානුවෙල් මැක්‍රෝන් හිටපු බැංකුකරුවෙකි.

ඔහු ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක සහාය ද නොමැතිවය.

එමෙන්ම, ඔහු විවාහ වී සිටින්නේ ඔහුට වඩා බොහෝ වයසින් වැඩි, තමාගේ ගුරුවරියක වූ අයෙකු සමග වීමද විදෙස් මාධ්‍යවල බොහෝ කතාබහට ලක්විය. මැක්‍රෝන්ට සිය වත්මන් බිරිඳ ප්‍රථම වරට හමුවන විට ඔහුගේ වයස අවුරුදු 15කි. ඒ වර්ෂ 1992 වසරයි. ඇය ඔහුගේ නාට්‍ය ගුරුවරිය විය.

මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය ගැන පැපරල් තොරතුරු ඉල්ලයි



පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයන්ට ද්විත්ව පුරවැසිභාවය තිබේද යන්න සොයාගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් (09දා) දිනයේදී තොරතුරු ඉල්ලා සිටින බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාගේ නම් වෙන වෙනම යවමින් මෙම ඉල්ලීම සිදුකරන බවත්, දැනට ලැබී තිබෙන තොරතුරුවලට අනුව ගීතා කුමාරසිංහ මහත්මියට අමතරව තවත් කිහිපදෙනෙකුටම ද්විත්ව පුරවැසිභාවය ඇතැයි වාර්තා වන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මේ නිසා සියලුදෙනාටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්, තොරතුරු දැන ගැනීම යටතේ මෙම තොරතුරු ලබාගැනීමට හැකියාව ලැබුණහොත් එමගින් අදාළ මහජන නියෝජිතවරයා පත් කළ ඡන්ද දායකයන්ට විශේෂ වාසියක් සැලසෙන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

යම් මහජන නියෝජිතයෙකු ඇමරිකාවේ හා මෙරට පුරවැසිභාවය ලබා සිටියදී ඇමරිකාවේ ප්‍රශ්නයක් ඇතිවුවහොත් ඔහු පෙනී සිටින්නේ කුමන රට වෙනුවෙන්ද යන ප්‍රශ්නය ඇතිවන බවත්, මේ නිසා ඡන්ද දායකයන් රැවටීම යටතේ අවශ්‍ය නම් ඡන්ද දායකයන්ට නීති මගින් කටයුතු කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.