16 May 2017

වතුකරයේ පාසල්වලට ඉන්දීය ගුරුවරු එපා කියයි



වතුකරයේ පාසල් සඳහා ඉන්දීය ගුරුවරුන් බඳවා ගැනීමේ තීරණයට ගුරු සංගම් විරෝධය පළ කරනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ රැකියා විරහිත උපාධිධාරින් බහුතරයක් සිටින විට ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වා ගැනීම අනුමත කළ නොහැකි බවයි.

රටපුරා විවිධ ප‍්‍රදේශවල සිටින ගුරුවරුන්ගෙන් මෙම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

ලන්ඩන් පාසල්වල ශිෂ්‍යයන් අඳින්නේ කාන්තා ඇඳුම්



උතුරු ලන්ඩනයේ පාසල්වල ශිෂ්‍යයන්ට කලිසම් වෙනුවට ගවුම් අඳින්න පාසල් පරිපාලනය ඉඩ දීමට යෝජනා කර ඇති බව වාර්තා වෙනවා.

මෙය ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඇඳිය හැකි ඇඳුමක් සැලසුම්කිරීමේ මුලික අදියර ලෙසද ඔවුන් හඳුන්වනවා. මෙවැනි තීරණයක් ගැනීමට හේතුව එම පාසල්වල ශිෂ්‍යයන් දිගින් දිගටම තමන්ගේ ලිංග භේදය පිලිබඳ ප්‍රශ්න කිරීම හේතුවෙන් බව කියවෙනවා.

එක වාරයකට ඩොලර් 6790 කට ඉහල අයකර ගන්නා පාසැල් පවා ගැහැණු පිරිමි භේදයක් නොමැතිව හැම සිසු සිසුවියකටම සෑම ක්‍රීඩාවක්ම කිරීමට ඉඩ දෙන බව පැවසෙනවා.

 එම පාසල්වල සිසුවියනට දුඹුරු පැහැ කලිසමක්, තද නිල් පැහැ ටී ෂර්ටයක් මෙන්ම ටයි පටියක් පැළඳිය හැකියි. නමුත් තවමත් දුඹුරු පැහැ ස්කර්ට් ඇඳීමට පිරිමි ළමුන්ට අවස්තාව ලබා දී නොමැති බව දැනගන්න ලැබෙනවා .


ඒෂියන් මීරර්

ලොව කුඩාම චන්ද්‍රිකාව ‘කලාම්සැට්’ 18 හැවිරිදි තරුණයෙකුගෙන් | PHOTO



ලොව කුඩාම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට 18 හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකු සමත්වී තිබේ. ඔහු නමින් රිෆාත් ෆාරුක්ය.

නාසා ආයතනය විසින් පැවැත්වූ තරඟයක් වෙනුවෙන් මොහු මෙය නිර්මාණය කර තිබුණ අතර එම තරඟයේ ජයග්‍රාහණය හිමිවී තිබුණේ රිෆාත්ටය. මෙම චන්ද්‍රිකාවේ බර ග්‍රෑම් 64 කි.

එළැඹෙන ජූනි මස 21 වනදා නාසා ආයතනය විසින් මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට නියමිතය. මෙම චන්ද්‍රිකාවට නම් තබා ඇත්තේ ‘කලාම්සැට්‘ ලෙසිනි.

ඒ හිටපු ඉන්දීය ජනපතිවරයෙකු මෙන්ම විද්වතෙකුද වන අබ්දුල් කලාම් මහතාට ගෞරවයක් වශයෙනි.





ශුරයන්ගේ කුසලානයට ලබාදෙන ත්‍යාග මුදල ඉහලට



 එංගලන්තයේ හා වේල්සයේ ආරම්භවීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් කෝටි 33.8ක ත්‍යාග මුදලක් පිරිනැමීමට තරග සංවිධාකයන් කටයුතු කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ 2013 වසරේ තරගාවලිය හා සසඳා බැලීමේදී මෙවර තරගාවලියේ ලබාදෙන ත්‍යාග මුදල් ඩොලර් ලක්ෂ 5කින් වැඩි කර ඇති බවයි.

ඒ අනුව සමස්ත තරගාවලිය පුරා ලබාදීමට නියමිත ත්‍යාග මුදල ඩොලර් මිලියන 4.5කි. තරගාවලියේ අනුශූරයන් වෙනුවෙන් රුපියල් කෝටි 16.9ක මුදලක් ලබාදීමට නියමිතය.

එසේම තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණෙන කණ්ඩායමක් වෙනුවෙන් ලබාදෙන ත්‍යාග මුදල රුපියල් කෝටි 6.93කි.

සිය කාණ්ඩායන්හි තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායමට ඩොලර් 90000ක ත්‍යාග මුදලක් හා අවසන් ස්ථානයට පත්වන කණ්ඩායමට ඩොලර් 60,000 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතය.

ඊ නිව්ස් කතෘ ඉන්න තැන සොයා දෙන්න



ලංකා ඊ නිව්ස් කතෘ සඳරුවන් සේනාධීර පදිංචි නිවස සොයා අධිකරණයට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල, අදාළ නඩුව ගොනු කළ නීතිඥ මධුර විතානගේට අද(16) නියෝග කළා.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අසත්‍ය පුවත් පළ කර අධිකරණයට හා අධිකරණ විනිසුරුවන්ට අපහාස කළ බවට මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

අද(16) පෙත්සම කැඳවූ විට පෙත්සම්කුගේ නීතිඥවරයා කියා සිටියේ සඳරුවන් සේනාධීර පිටරටක පදිංචිව සිටියද ස්ථිර ලිපිනයක් සොයාගත නොහැකි වූ බවයි.

පෙත්සම සැප්තැම්බර් 28 යළි කැඳවීමටයි සිසිර ද අබෘ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා තීරණය කළේ.

ඉන්දියාවේ සමූහ දූෂණ සිදුවීම් ද්විත්වයකින් යළි රට කැළඹේ

 ඉන්දියාව යළිත් සලිත කරමින් උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ සිදුවූ ම්ලේච්ඡ සමූහ දූෂණ ද්විත්වයක් සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.

පොලීසිය පවසන පරිදි මින් එක් සමූහ දූෂණයකට ලක්ව ඇත්තේ 23 හැවිරිදි කාන්තාවකි. රොහ්ටාක් දිස්ත්‍රික්කයේදී පසුගිය සතියේ සමූහ දූෂණයකට ලක්කර මරා දමා තිබූ මෙම කාන්තාවගේ සිරුර දින කිහිපයකට පසුව සොයාගෙන තිබුණි. මරණ පරීක්ෂණයේදී ඇයගේ හිස් කබල කැඩී තිබූ බවද අනාවරණය විය.

මේ අතර, පසුගිය සෙනසුරාදා 22 හැවිරිදි තරුණියක් සමූහ දූෂණයට ලක්ව තිබුණ් දිල්ලියේ, ගුර්ගෝන් හි ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් තුළදීය.

මෙම සමූහ දූෂණ සිද්ධීන් දෙකෙහිදීම ඉන්දියාව තුළ කාන්තාවන්ට අනාරක්ෂිත තත්ත්වයක් ප්‍රකට කර ඇති බව ක්‍රියාධරයන් අවධාරණය කරයි.

මුලින්ම සිදුවූ සමූහ දූෂණයේදී ඝාතනයට ලක්වූ කාන්තාවට මත් ද්‍රව්‍යයක් බීමට ලබාදී ඇති බවත්, ඇයගේ සමූහ දූෂකයන්ගෙන් අයෙක් ඇයව දන්නා හඳුනන අයෙකු විය හැකි බවත් පොලීසිය සැක කරයි. කෙසේ වෙතත්, ඇයගේ හිසට පහරදීමකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව කියැවෙයි.

2012 වසරේදී වෛද්‍ය ශිෂ්‍යාවක දිල්ලියේදී අමානුෂික දූෂණයකට ලක්ව මිය යෑමේ සිදුවීමෙන් පසුව ඉන්දියාව තුළ කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති විය. එමෙන්ම, මෙම දූෂකයන්ට ලබාදී තිබූ මරණ දඬුවම පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යළිත් තහවුරු කළේය.

කසළ බැහැර කරන්න නව ව්‍යාපෘති 7ක්



කසළ බැහැර කිරීම සඳහා දිස්ත්‍රික්ක 07ක නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න මහතා සඳහන් කළේ 2020 වසර වන විට දිස්ත්‍රීක් 4ක ඊට අදාළ ව්‍යාපෘති අවසන් කිරීමට නියමිත බවය.

දිවයින පුරා ගැටළුවක් වී ඇති කසළ බැහැර කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් සෑම දිස්ත්‍රික්කයකටම හඳුන්වා දෙන බව උපාලි ඉන්ද්‍රරත්න මහතා සඳහන් කළේය.

අධ්‍යාපන ඇමතිගේ අලුත්ම නියෝගය



අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් පාසල්වලට ඇතුළත් වීමේදී සිසුන්ට. සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු ලබාදීමේ ක්‍රමවේදයන්  හා පාසල මගින් සිසුන්ගෙන් අයකරගන්නා මුදල් පිළිබඳ සවිස්තර වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

ඇතැම් පාසල්වල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ආකාරය හා සිසුන්ගෙන් මුදල් අයකරගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම වාර්තාව නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

පාසල් මට්ටමින් අනුමත කරවාගත් පහසුකම් ගාස්තුවලට අමතරව පාසලේ සංවර්ධන කටයුතු සඳහා යම් මුදලක් අය කරගන්නේ නම් එය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හෝ පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් අනුමත කරවාගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේ නොමැතිව පාසල් සිසුන්ගෙන් මුදල් එක් රැස් කිරීමට කිසිදු බලයක් පාසල් බලධාරීන්ට නොමැති බවත්, ඒ පිළිබඳ 1988 ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

'ලෝකයේ වැදගත්ම වෛද්‍ය විද්‍යාල පාලනය කරන්නේ' පෞද්ගලික අංශයෙන් : නි. අමාත්‍ය එරාන් වික්‍රමරත්න

 පෞද්ගලික අංශයේ වෛද්‍ය පීඨ ඇතිවුවහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ වෛද්‍ය වෘත්තිකවේදීන් මෙරටට පැමිණීමට ආකාර්ෂණයක් ලැබෙනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

"රජයේ නොවන අංශයේ පෞද්ගලික අංයේ වෛද්‍ය පීඨ ඇතිවුණාම විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් වෛද්‍ය වෘත්තිකවේදීන් මෙරටට පැමිණීමට ආකාර්ෂණයක් ලැබේවි. සමහර අය රාජ්‍ය ආංශය තෝරාගනිවි. නමුත් සමහර අය රාජ්‍ය නොවන අංශය තෝරාගන්න කැමතියි. ලෝකයේ වැදගත්ම වෛද්‍ය විද්‍යාල පාලනය කරන්නේ රජය නෙවෙයි" යැයි අමාත්‍යවරයා පැවසීය.

කොළඹදී අද (15දා) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

රජයේ තීන්දුව විශ්වාස කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි



වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් සහ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය නිවේදනය කළ ප්‍රතිපත්ති තීරණ විශ්වාස කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා කියා සිටියේ රජය මෙවැනි ආකාරයේ දැන්වීම් අවස්ථා කිහිපයකදී පළ කළ බවයි.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රමිතීන් සහ අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව පුවත්පත් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබුණා.

ඒ අනුව සයිටම් ආයතනය ඇතුළු වෛද්‍ය අධ්‍යාපනයට ආයෝජනය කරන ආයතන කොටස් වෙළදපොළේ ලැයිස්තුගත කිරීම, මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම හා සයිටම් ආයතනයට අදාළ රජයේ තීරණ ක්‍රියාත්මක වන තෙක් එම ආයතනයට නවක සිසුන් බදවා ගැනීම අත්හිටුවීම ද මෙම ප්‍රතිපත්තිවලට ඇතුළත්.

රජය බදවා ගැනීම් නතර කරන බවට දැනුම්දීමක් සිදුකර තිබියදීත් ඊයේ දිනයේදීත් මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය වෙත නවක සිසුන් බදවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියා සිටියේ සයිටම් ගැටළුවේ එකම කොටස්කරු වෛද්‍ය සභාව නොවන බවයි.

20 දා සිට කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි


එළැඹෙන 20 දා සිට දිවයිනේ නිරත දිග කොටසේ වැසි තතත්වයේ වර්ධනයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පෙර මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවතීම මේ සඳහා හේතුව බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම මධ්‍යම කඳුකරයේ බටහිට බෑවුම් සඳහා මෙන් දිවයිනේ උතුරු හා දකුණු මුහුදු ප්‍රදේශවල වල විටින් විට හමන  තද සුළං අපෙක්ෂා කළ හැකි බවද එම නිවේදනයේදී දැක්වෙයි.

හෙට දිනය සඳහා වන කාලගුණ විද්‍යා නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක් ඉක්ම වූ වැසි බලාපොරොත්තුවිය හැකි බවත් පවසයි.








ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරු ගැන සොයා බලනවා

පාර්ලිමේන්තුව තුළ සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව. අභ්‍යන්තර කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි.නාවින්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඒ පිළිබදව තොරතුරු රැස්කරමින් සිටින බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එස්.බි.නාවින්න අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

2020 ට පෙර සෞඛ්‍ය නිවාස ගැටළුව අවසන් කරනවා : අමාත්‍ය රාජිත සේනාරත්න

විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුළු සියළුම සෞඛ්‍ය සේවකයින්ගේ නිල නිවාස ගැටළුව 2020 වසරට පෙර අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එහි පළමු අදියර යටතේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු සඳහා නිල නිවාස ඉඳි කිරීමට නියමිතව තිබේ.

පළමු අදියරයේ නිවාස ඉඳි කිරීමෙන් පසු හෙද, අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් සඳහා මෙන්ම සෙසු සෞඛ්‍ය සේවකයින් සඳහා ද නිවාස ඉඳි කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

සුඛෝපභෝගී නිවාස ලෙස එම නිවාස සකස් කෙරෙන අතර ඒ සඳහා දෙස් විදෙස් සහයෝගය ලබා ගැනීමටද නියමිතය.

සෞඛ්‍ය සේවකයින්ගේ නිල නිවාස ගැටළු හේතුවෙන් රෝහල්වල සෞඛ්‍ය සේවා සඳහා බාධා සිදුවීම පිළිබඳ අවධානය යොමු කර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම නිවාස ඉඳි කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ගාලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්


ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක එල්ල වී තිබේ.

කෙසේ වෙතත් මෙම හැකර් ප්‍රහාරය මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති වොන්නක්‍රයි රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරයට අයත් නොවන බව වාර්තා වෙයි.

පාකිස්තානයට ජයවේවා!, මුස්ලිම්වරුන්ට ජයවේවා! පාකිස්තාන හමුදාවට ජයවේවා! පාකිස්තාන අයි.එස්.අයි. ජයවේවා! යනුවෙන් මෙන්ම, කාශ්මීරය නිදහස් කරනු, පලස්තීනය නිදහස් කරනු, සිරියාව නිදහස් කරනු යනුවෙන් ඔවුන් සිය සයිබර් ප්‍රහාරය එල්ල කරමින් සඳහන් කරයි.