21 May 2017

තරුණ මනසට වැඩිම හානිය Instagram බව හෙළි වෙයි



ලොව වඩාත් ප්‍රකට සමාජ මාධ්‍ය ජාල අතරින් තරුණ මානසික සෞඛ්‍යයට අහිතකරම සමාජ මාධ්‍ය ජාලය Instagram බව සමීක්ෂණයකින් හෙළිවී වී තිබේ.

වයස අවුරුදු 14 - 24ත් අතර තරුණ තරුණියන් 1,479 දෙනෙකුගේ මතය විමසා බලමින් මහා බ්‍රිතාන්‍යයේදී සිදුකළ මෙම සමීක්ෂණයේදී සාංකාව, විෂාදය, තනිකම සහ මානසික හිරිහැර වැනි ගැටලු ඇතිකර වන ඔවුන් භාවිත කරන සමාජ මාධ්‍ය ජාල අනුපිළිවෙළින් සඳහන් කරන ලෙස ඉල්ලා තිබේ.

අන්තර්ජාලය ඔස්සේම සිදුකළ මෙම මත විමසීමේදී දැනට වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාල වන YouTube, Facebook, Instagram, Twitter සහ Snapchat වැනි සමාජ ජාල මගින් තරුණ මනසට ඇති කරන ධනාත්මක මෙන්ම සෘණාත්මක බලපෑම් නිරීක්ෂණය කර තිබේ.

එකී සමාජ ජාල භාවිත කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යයට හෝ යහපැවැත්මට යම් හානියක් සිදුවී ඇත්දැයි සෞඛ්‍ය ගැටලු 14ක ලැයිස්තුවක් ඔස්සේ මෙම සමීක්ෂණයේදී තවදුරටත් තරුණ තරුණියන්ගෙන් කරුණු විමසීමක් කර ඇත.

මෙහි සමස්ත ප්‍රතිඵලයේදී ඊට ලැබුණු ප්‍රතිචාර සහ ඇගයීම් තක්සේරු කළවිට පෙනීගොස් ඇත්තේ මානසික සෞඛ්‍යයට වැඩිම ධනාත්මක බලපෑමක් ඇතිවන්නේ YouTube සමාජ මාධ්‍යය තුළින් බවයි. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් Twitter සහ Facebook වෙත හිමිවී තිබේ.

කෙසේ වෙතත්, මේ අතරින් වැඩිම සෘණාත්මක මානසික බලපෑම සිදුවන සමාජ මාධ්‍ය ජාලය Instagram බව බහුතරයගේ මතය වී ඇති අතර, එහි දෙවැනි තැනට Snapchat මාධ්‍ය ජාලය පත්ව තිබේ.

දුෂණ වංචා විමර්ශනයට පිහිටුවන අධිකරණය වහා පිහිටුවන්න

දුෂණ වංචා විමර්ශනය විමසීම  සඳහා පිහිටුවන බවට පොරොන්දු වූ විශේෂ අධිකරණය වහා පිහිටුවන්නැයි දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි.

එම පෙරමුණ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා රාජගිරිය දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම විශේෂ අධිකරණය පිහිටුවා දැන්වත් මහා පරිමාණ දුෂිතයින්, වංචාකරුවන්, අපරාධකරුවන්ට දඩුවම් කරන්නැයි තමන් ජනපති-අගමැති ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට බල කරන බවය.

එහිදී අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා,

“යහපාලන රජය මුලින්ම මහා පරිමාණ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලැසිල් ද සිල්වා ඉවත් කළා. අද ඒ කොමිසම බෝඩ් ලෑල්ලක් විතරයි. අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්වුණා. අපිත් විමර්ශන පරක්කු වෙනවා කියා ඇයට චෝදනා කළ අවස්ථා තිබුණා. නමුත්, වික්‍රමසිංහ මහත්මිය ගියාට පස්සේ අල්ලස් කොමිෂන් සභාව 'මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු බෝඩ් ලෑලි කොමිෂන් සභාව' බවටම පත් වුණා.  දැන් මහා පරිමාණ දුෂණ විමර්ශන ලේකම් කාර්යාලයට දුන්න පහසුකම් කප්පාදු කරමින් යනවා. තව ටික දවසකින් එයත් බෝඩ් ලෑල්ලක් විතරයි.

වංචා දුෂණ විමර්ශනය සඳහා තිබුණු සියළුම ව්‍යවස්ථාපිත ආයතන අද අඹරලා, මිරිකලා, තටු කපලා ඉවරයි. ඒවායේ තිබුණ ජීව ගුණය ඉවරයි. වංචා දුෂණ විමර්ශන නඩු ලිපි ගොනු අධිකරණයේ, නීතිපති ලග ගොඩ ගැහිලා.  ඒවා එකක් වත් ඉදිරියට යන්නේ නෑ.  මේ ආණ්ඩුව වංචා විමර්ශනය සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවනවා කිව්වා.  දැන් ඒ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සම්මත වෙලා අවුරුදු දෙකකට වැඩියි.  තවමත් ප්‍රමාද නෑ.  මහින්ද ගේ ආණ්ඩුවෙත්, යහපාලන ආණ්ඩුවෙත් දෙකේම හොරු අල්ලන්න වංචා දුෂණ නඩු සදහා විශේෂිත අධිකරණය පිහිටුවන්න.  එහෙම නැතිව, ඊළග මැතිවරණයටත් හොරු අල්ලන්ඩ බලය දෙන්න කිය කියා ඡන්දේ ඉල්ලන්න ගියොත් යහපාලන ආණ්ඩුවේ මෛත්‍රී ටීම් එකටයි, රනිල් ටීම් එකටයි, ජවිපෙ ටීම් එකටයි තුන් ගොල්ලන්ටම ජනතාව මඩු වලිගෙන්ම ගහන බව ස්ථිරයි යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

අද හොර පොල් කඩන අය අල්ලනවා. කසිප්පු බීපු අය, විකුණන අය අල්ලනවා.  නමුත්, සංවේදී ලේඛන හෙළි කරන මහ බැංකුවේ නිලධාරීන්, විගණන විමසුම් සගවා තබන නිලධාරීන් බැදුම්කර වංචාවට පහසුකම් සැපයූ මහ මොළය තවමත් දේශීය ණය අංශයේ ප්‍රධානියා ලෙස රස්සාව කරනවා.   ලංකාවේ දුෂිතම අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ ට ලබන සතියේ උසස්වීමක් ලැබෙනවාලු.

වංචා දුෂණ විමර්ශන ගැන අපිට තිබුණ බලාපෙරොත්තු අද එකින්එක බිද වැටෙමින් තියෙනවා.  බැදුම්කර කොමිසම අදහන්නට බැරි තොරතුරු දිනපතා එළියට දානවා.  නමුත්, මේ කොමිසම තවම එක බැදුම්කරේක විමර්ශන විතරයි අත ගහලා තියෙන්නේ.  දෙවැනි මහ බැදුම්කරේට තවම අත තියලා වත් නෑ.

මහින්ද ආණ්ඩුවේ හොරුන්ට හැමදාම විමර්ශන විතරයි.  ආණ්ඩුවට එකතු වූ දුෂිතයින් ගැන දැන් කථාවක් වත් නෑ.  යහපාලන ආණ්ඩුවට රෙද්දක් ඇදන් පාරට බහින්න ආසාවක් තියෙනවා නම් දැන්වත් රටට පොරොන්දු වුණ විශේෂ අධිකරණය පිහිටුවලා එදා හොරුත්-මෙදා හොරුත් එකම හිර ගෙදරට දක්කන්නට ඕනි යැයි ද කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.“

මහා පරිමාන වංචා විමර්ශණ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, ලංකා බැංකු හිටපු සභාපති රැසිරුපාල තෙන්නකෝන්, පුජ්‍ය උලපනේ සුමංගල, නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි විය.


පුද්ගලයින් 100 කට ජංගම දුරකථන සබඳතා 123.7 ක්

පෙර වසරට සාපේක්ෂව 2016 වසර අවසාන වන විට ජංගම දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව මිලියන 26.2 ක් දක්වා සියයට 7.6 කින් වර්ධනය වී ඇති බව 2016 මහ බැංකු වාර්තාව පවසයි. මේ අතර 2015 වසරේ මිලියන 1.1 ක්වූ රැහැන් සහිත ස්ථාවර දුරකථන සම්බන්ධතා ප්‍රමාණය මිලියන 1.2 ක් දක්වා සියයට 3.4 කින් ඉහළ ගොස් තිබේ.

මේ අනුව 2016 වසර අවසානයේ දී දුරකථන සම්බන්ධතා ඝනත්වය පුද්ගලයින් 100 කට ස්ථාවර 12.0 ක් සහ ජංගම 123.7 ක් ලෙසින් වාර්තා වේ.

2016 වසර අවසන් වන විට අන්තර්ජාල ඝනත්වය 23.2 ක් දක්වා ඉහළ නංවමින් වසර තුළ දී මුළු අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව 4,920.554 ක් දක්වා සියයට 20.3 කින් වර්ධනය වී ඇත.

2016 වසර තුළ දී සියයට 36.1 ක සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වර්ධනය, සමස්ත අන්තර්ජාල සමබන්ධතා වර්ධනය කෙරෙහි බෙහෙවින් ඉවහල් වී ඇති බවත්, 2016 වසර අවසාන වන විට ජංගම අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව පෙර වසරේ වාර්තා වූ 3,408,408 ට සාපේක්ෂව 3,991,465 දක්වා සියයට 17.1 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් 2016 මහ බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ.
Telecommunication-Sector
Telephone-Penetration-2016

විදුහල්පතිවරුන්ගේ වැඩි වුණු දීමනා මෙතෙක් ලබාදී නෑ : ලංකා ගුරු සංගමය

2017 – 16 යන චක්‍රලේඛයට අනුව විදුහල්පතිවරුන්ට වැඩි වුණු දීමනා මෙතෙක් ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර නැතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ දීමනා වැඩිකරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් එය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

කොළඹ කලාපයේ ජාතික පාසල් විදුහල්පතිවරුන්ට එක් මසක් පමණක් එම දීමනාව ලබාදීමට පියවර ගෙන ඇතත් පසුව එය කප්පාදු කර ඇති බව ඔහු සඳහන් කළේය.

අදාළ චක්‍රලේඛය අනුව වැඩි කළ දීමනා දිවයිනේ පාසල් වල සියලුම විදුහල්පතිවරුන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේය.