10 June 2017

ළමුන් ශ්‍රමිකයින් ලෙස යොදා ගතහොත් නීති තද වෙයි

කුඩා ළමුන් ශ්‍රමිකයින් ලෙස යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් වන පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ඉදිරිපත් කළ හැකි අතර එම පැමිණිලි කම්කරු දෙපාර්තමේන්තුව සහ පොලීසිය එක්ව විමර්ශනය කරන බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි ළඟම ඇති පොලීස් ස්ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය ඇමතීමෙන් ලබාදිය හැකි බව ඇය වැඩිදුරටත් පැවසීය.

ළමා ශ්‍රමිකත්වය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් දැයේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදාකරදීම සඳහා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළ යුතු බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය මෙහිදි ප්‍රකාශ කළේය.

'ජෝන් කළේ පහත් වැඩක්‌' රන්ජන් රාමනායක

පරිණත දේශපාලනඥයකු විදිහට ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ට ඉතා පහත් අන්දමින් බැණ තර්ජනය කරමින්. හැසිරුණු ආකාරය කෙසේවත් අනුමත කළ නොහැකි බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මාධ්‍යට ඊයේ (9 වැනිදා) පැවැසීය.

කඳානේ පිහිටි පක්‍ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් පිරිසක්‌ කළ ප්‍රශ්න කිරීම් හමුවේ කෝපයට පත්වූ ජෝන් අමරතුංග මහතා හැසිරුණු ආකාරය පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී රාමනායක මහතා මෙසේ කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රන්ජන් රාමනායක මහතා මෙසේද පැවැසීය.

පසුගිය ආණ්‌ඩු කාලේ මාධ්‍යවේදීන් 26 දෙනෙක්‌ ඝාතනයට ලක්‌වුණා. ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදියෝ මහ පාරේදී ඝාතනය වුණා.

මහජනතාව පසුගිය ආණ්‌ඩුව ප්‍රතික්‍ෂේප කරලා යහපාලන ආණ්‌ඩුවක්‌ පත්කර ගත්තේ වෙනසක්‌ දකින්න.

පසුගිය රජය පෙරළා යහපාලන ආණ්‌ඩුව පත් කරන්න මේ මාධ්‍ය ගොඩක්‌ උදව් කළා. එහෙම කරපු මාධ්‍යවේදීන්ට මේ විදිහට පහත් විදිහට බැණ වැදී තර්ජනය කරන එක බොහොම පහත් වැඩක්‌.

ජෝන් අමරතුංග කියන්නේ පරිණත දේශපාලනඥයෙක්‌. ඒ වගේම එයා දිස්‌ත්‍රික්‌ සංවිධායක. අමරතුංග මහත්තයා මගෙත් හොඳම යාළුවෙක්‌.

ඒ මොහොතේ වුණත් ජෝන් අමරතුංග මහත්තයා මාධ්‍යවේදීන් ඉදිරියේ හැසිරිච්ච ආකාරය ඉතාම නින්දිතයි. මේ වගේ වැඩ නිසා ආණ්‌ඩුවත් මහජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක්‌වෙනවා.

ජෝන් කියන්නේ වයසට ගියත් මද කිපුණ අලියෙක් වගේ

වර්තමාන ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරු ජනවාරි 8 වන දාට පෙර පැවති දේශපාලන සංස්කෘතිය නැවතත් ගෙන ගිය හැකි බව සිතා සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වන ජෝන් අමරතුංග මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳ රජයට යම් ප්‍රකාශයක් සිදු කිරීමට වගකීමක් තිබෙන බවත් වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

 (09) පැවති වමේ කේන්ද්‍රයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා පවසා සිටියේ ඊයේ (08) දිනයේ දී මාධ්‍යෙවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයක් හමුවේ ජෝන් අමරතුංග මහතාගේ හැසීරීම වයසට ගොස් මද කිපුණු අලියෙකුට සමාන බවයි.

කෙසේ වෙතත් මාධ්‍ය නිදහස රැක ගැනීමේ සටන ඇත්තේ මාධ්‍යවෙදීන්ටත් හා තමන්ට බවත් එය කිසි විටෙකත් දේශපාලඥයින්ගෙන් බලාපොරොත්තු විය නොහැකි බව ද චමීර පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනාසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රජයට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවත් රට තුළ පොලිස් ස්ථාන 400කට අධික සංඛ්‍යාවක් තිබිය දීත් නිරායුද පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් පැවසු චමීර පෙරේරා මහතා පවසා සිටියේ කම්කරුවන්ට දක්වන විරෝධය පොලීසිය අන්තවාදීන්ට නොදක්වන්නේ මන්ද යන්න පිළිබඳ මේ වන විට ගැටළුවක් පැන නැඟී ඇති බවයි.

කෙසේ වුවද ජනවාරි 8 වන දා ජනතාව බලාපොරොත්තු වු දේශපාලන අපේක්ෂාව ඉටු කිරීමට නම් මේ සම්බන්ධයෙන් අදාළ නීතිය වහාම ක්‍රියාත්මක විය යුතු බවද ඔහු කියා සිටියේය.

IS ත්‍රස්තවාදීන් විසින් පාකිස්තානයේදී පැහැරගනු ලැබූ චීන ජාතිකයන් දෙදෙනා මරා දැමේ

පාකිස්තානයේදී පසුගිය මැයි මස තමන් විසින් පැහැරගනු ලැබුණු චීන ජාතිකයන් දෙදෙනා මරා දැමූ බව ඉස්ලාම් රාජ්‍යයේ IS සංවිධානය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට අයත් පුවත් වාර්තාවල මෙය තහවුරු කර ඇති අතර, ඔවුන්ගේ ටෙලිග්‍රෑම් පුවත් ඇප් වැඩසටහන හරහාද මෙය තහවුරු කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ තමන් මෙම පුවත සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන අතරම, එය තහවුරු කරගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

පාකිස්තානයේ ක්වෙට්ටා නගරයේ භාෂා මධ්‍යස්ථානයක උර්දු භාෂාව හදාරමින් සිටියදී මොවුන් පැහැරගනු ලැබ ඇති අතර, එම අවස්ථාවේදී තවත් චීන කාන්තාවක් එහි සිට ඇතත් ඇය ත්‍රස්තයන්ගෙන් බේරී පළාගොස් තිබේ. කෙසේ වෙතත්, මොවුන් පැහැරගනු ලැබූ අවස්ථාවේදී එය කවුරුන් විසින් සිදුකළේද යන්න ඉස්ලාම් රාජ්‍ය හෝ වෙනත් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් භාරනොගන්නා ලදී.

පාකිස්තානයේ බලුකිස්ථාන් පළාත විදෙශිකයන් පැහැර ගන්නා පාරාදීසයක් බවට පත්ව ඇති අතර, පසුගිය වසර කිහිපය තුළ ආයුධ සන්නද්ධ ඉස්ලාමීය අන්තවාදීන් විසින් කප්පම් මුදල් ලබාගැනීම සඳහා විදේශිකයන් පැහැරගනු ලැබීය. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඇෆ්ගනිස්ථානය තුළ යම් කොටසක බලය පතුරුවන අතර, 2015 සිට ඔවුන් පාකිස්ථානය තුළද බලවත් වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, චීනය පාකිස්ථානයට ආධාර සපයන ප්‍රධාන රාජ්‍යයක් වන බැවින් මෙය චීනයේ හොඳ හිත පළුදු වන අවස්ථාවක් ලෙසද විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානයෙන් මුරලි පිදුම් ලබයි | VIDEO

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිඳුම් ලැබුවේය. ඒ, (08) පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඉන්දු – ශ්‍රී ලංකා තරගය අතරතුරදීයි.

ඒ අනුව ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිඳුම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් ඉතිහාසයට එක්විය.

මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800 ක් ලබාගත් ලොව ප්‍රථම සහ එකම පන්දු යවන්නා ද වේ.

මීට අමතරව මුරලිදරන් එක්දින ක්‍රිකට් තරගවලදී කඩුලු 534 ක් දවා ගෙන තිබේ.

පන්දුවාර 20 යි 20 තරගවලදී ලබාගෙන ඇති කඩුලු ගණන 13 කි.

ඒ අනුව ඔහු ජාත්‍යන්තර පිටියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20යි 20 තරගවලදී බිඳදමා ඇති මුළු කඩුලු ගණන 1,347 කි.

දඟ පන්දු යවන්නෙකු ලෙස විශිෂ්ට සේවයක් ඉටු කළ මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වසර 19 ක් සිය දායකත්වය ලබා දුන්නේය. ලෝක ක්‍රිකට් වංශ කතාව තුළ එදා මෙදා බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස ජාත්‍යන්තර විස්තර විචාරකයින් මුත්තයියා මුරලිදරන්ව හඳුන්වනු ලැබේ.





දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක පාඩුව කෝටි 2යි

දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වස‍රේදී රුපියල් ‍කෝටි 680ක පාඩුවක් ලබා ඇති බව අනාවරණවී තිඛෙනවා.  මහ බැංකුව වාර්තාව පෙන්වා දෙන්නේ පසුගිය වසරේදී 2015 වසරට වඩා ආදායම වැඩි වී ඇතත් දෙපාර්තමේන්තුවේ පාඩුව ඉහළ අගයක් ගන්නා බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ග පද්ධතිය පාලම් මෙන්ම වර්ණ සංඥා ඇතුළු සියල්ල නඩත්තු කිරීම් සහ ස්ථාපිත කිරීම් සියල්ල සිදු කළ යුතු හෙයින් මේ අතිවිශාල අලාභය ‍සිදුවන බව එහි දැක්වෙනවා. ප්‍රවාහන විශේෂඥයන් පෙන්වා දෙන්නේ දුම්රිය මඟී ප්‍රවාහනයෙන් ආදායම් ඉපැයීම නොව ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමත් දුම්රිය ස්ථාන පිහිටා ඇති අධි නාගරික ප්‍රදේශවල මහල් ගොඩනැගිලි ආයෝජකයන් හරහා ඉඳි කිරීමත් සිදුවිය යුතු බවයි.

එසේම නගරාසන්න දුම්රිය ගාස්තුවද බස් රථ ගාස්තුවෙන් අඩක් පමණ වන බවත් දුම්රිය මඟීන්ගෙන් 70%ක් පමණ නගරාසන්න මඟීන් වන නිසා ගාස්තු අඩුවීමද බෙහෙවින් බලපා ඇති බවත් විශේෂඥයෝ පෙන්වා දී තිඛෙනවා.

ජනතාව බියකරන ජ්‍යොතිෂ්‍ය වසලයන්ට දඩුවම් දෙන්නේ කවදාද ?

සුනාමි අවධානමක් හටගන්නා බවට ජ්‍යොතිෂ්‍යවේදියකු ලෙස පෙනී සිටින කෛරාටිකයකු අනාවැකි පල කිරීමත් සමග ඊයේ දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසක ගැටලුකාරී තත්ත්වයක් හටගත්තා. ඒ ජනතාව අනියත බියකට පත්වීම හේතුවෙනුයි. මේ හේතුවෙන් කතරගම පූජාභූමියට පැමිණි බැතිමතුන් ප්‍රමාණයද පහත වැටුණු අතර ගාල්ල නගරයද පාලු ස්වාභාවයකිනුයි දැකගන්නට ලැබුණේ. මෙම ව්‍යාජ අනාවැකිය පළ කළ ජ්‍යොතිර්වේදියෙකු යැයි කියා ගන්නා පුද්ගලයාම 2013 සැප්තැම්බර් 17 වෙනි දින කතරගම දෙවියන් සියැසින් දැක ගැනීමේ වරමක් හිමිවන බැව් පැවසීම නිසා ලක්ෂ දහයකට අධික පිරිසක් කතරගම පුදබිම වෙත පැමිණ සිටියා. ජ්‍යොතිෂ්‍යයේ නාමයෙන් මෙවන් ආකාරයට ජනතාව මුලා කරන පුද්ගලයින්ගේ හැසිරීම නීති විරෝධී වන අතර එවන් පුද්ගලයින් නීතියේ රැහනට කොටු කර ගැනීමට බලධාරීන් වහා පියවර නොගන්නේ ඇයි දැයි පවතින්නේ ගැටලුවක්.

මේ මෙම ව්‍යාජ අනාවැකි පිළිබද අදහස් දක්වන පාර්ශව කිහිපයක්.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ.අරුලානන්දන් මහතා

“පුර පසොලොස්වක දිනයක් හෝ වෙනත් නිශ්චිත දිනයක් මුල් කර ගෙන සුනාමියක් පැමිණිය හැකි බව පැවසීම මුළුමනින්ම අසත්‍යක්.එක් වරක් පසලොස්වක ‍පෝ දිනයක සුනාමි පැමිණි නිසා නැවත පසලොස්වක පෝය දිනයකම සුනාමියක් පැමිණෙන බව පැවසීම ‘පුහු තර්කයක්’ (Fallacy)විතරයි. අනික සුනාමි තත්ත්වයන් පිළිබඳව දින ගණන් සති ගණන් පෙර සිට අනාවැකි කියන්න කාටවත් බැහැ. අප රටේ සුනාමි අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් කළ හැක්කේ පැය තුනක පමණ කෙටි කාලයක් තුළදී පමණයි. දැනට අප රටේ එවැනි සුනාමි අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමියෝ

“අප රටේ විද්‍යුත් මාධ්‍ය ප්‍රබල වීමත් සමඟම වසර සිය දහස් ගණනක් පැරණි ජ්‍යොතිර්වේදය කුණු කාණු පල්ලට වැටී තිබෙනවා. ජ්‍යොතිෂ පිළිබඳ ශාස්ත්‍රීය දැනීමක් ඇති පුද්ගලයන් පසෙකට ලා ජ්‍යොතිෂ පිළිබඳ කිසිදු දැනීමක් නැති කපටි කයිරාටික පුද්ගලයන් විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ‘සුපර්ස්ටාර්ලා’ බවට පත් වී තිබෙනවා.

ඔවුන් සජීවී වැඩසටහන් වල පෙනී සිටින අතරේ රූපවාහිනී නරඹන්නන් ලෙසින් දුරකතන ඇමතුම් දෙන පුද්ගලයන් ඔවුන් විසින්ම මෙහෙයවන ලද ‘ඒජන්ත වරු’ බවත් ඉහත කී පුද්ගලයාගේ ජ්‍යොතිෂ හැකියාවන් පිළිබඳව ඔවුන් දුරකතන මගින් පවසන කරුණු පට්ට පල් බොරු බවත් මේ වන විට අනාවරණය වී තිබේනවා. ඒ වගේම තමන් මේ වැඩ සටහන් වලට සහභාගී කර ගැනීම වෙනුවෙන් ඔවුන් ඒ මාධ්‍ය වල විවිධ පාර්ශවයන්ට අල්ලස් ප්‍රදානය කරන බවත් දැන් දැන් අනාවරණය වී තිබෙනවා. මෙයින් සිදුවන්නේ අපේ රටේ අසරණ මහජනතාව තවත් අසරණ බවට පත් කිරීමක් විතරයි.

ඒ අනුව ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීම සම්බන්ධයෙන් මෙම කපටි කයිරාටිකයන් සේම බාල ජනප්‍රියත්වයක් තකා ඔවුන්ගේ බොරු බේගල් මාධ්‍ය මගින් ජනතාව අතරට ගේන මාධ්‍ය කරුවන්ද වගකිව යුතුයි.”

ඈපා පංචාංග ලිතේ ප්‍රධාන කර්තෘ සහ ප්‍රකාශක ජ්‍යොතිර්වේදී ඉන්දික ඈපා සෙනවිරත්න මහතා

“ගින්න, ජලය, පස, වායුව යන සතර මහා භූත කොටස් නිසා ඇතිවන ස්වභාවික ආපදා පිළිබඳව යම් යම් ඉඟි ජ්‍යොතිෂ මගින් පළ කළ හැකි වුණත් කාලගුණික, දේශගුණික, භූවිද්‍යාත්මක හෝ සාගර විද්‍යාත්මක වශයෙන් ඒවා වෙන්කොට දැක්වීමේ හැකියාවක් ජ්‍යොතිර්වේදයට නැහැ. ඒ වගේම පැය 24, 48,72, ආදී වශයෙන් නිශ්චිතව ඉලක්ක කොට කීමේ හැකියාවකුත් නැහැ. ස්වභාවික ආපදා සම්බන්ධයෙන් එක් ජ්‍යොතිර්වේදියෙකුට පෙනෙන දේ පමණක් සෘජුවම ජනතාව හමුවට ඉදිරිපත් කිරීම කිසිසේත් නොකළ යුත්තක්. ඒ එම ග්‍රහචාරය තුළ ඇති ඊට වඩා ඉදුරාම වෙනස් තත්ත්වයක් වෙනත් ජ්‍යොතිර්වේදියකුට පෙනී යා හැකි නිසයි. ඒ අනුව එකම ග්‍රහචාරයක් මුල්කොට ජ්‍යොතිර්වේදීන් දසදෙනෙකු විවිධ සිද්ධාන්ත ඇසුරින් කරන විමසුම් මඟින් ප්‍රථිපල දහයක් ලැබෙන්නටත් පුළුවන්. ඒ වගේම වගකිවයුතු ජ්‍යොතිර්වේදීන් තමන් ඉදිරිපත් කරන අනාවැකිය සමඟ ඊට අදාල ග්‍රහපිහිටීමත් අනිවාර්යෙන් විස්තර කරනවා. එවිට ඒ ග්‍රහ පිහිටීම සහ ප්‍රථිපලය සංසන්දනය කොට එය අභියෝගයකට ලක් කිරීමට වෙනත් ජ්‍යොතිර්වේදියෙකුට හැකියාව ලැබෙනවා.

නමුත් මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ අද මාධ්‍ය මගින් අනාවැකි පළ කරන ජ්‍යොතිර්වේදීන් යැයි කියා ගන්නා බොහෝ පුද්ගලයන් ඊට අදාල ග්‍රහ පිහිටීමවත් ඉදිරිපත් නොකොට ‘නිරුවත්’ අනාවැකි පළ කිරීමයි. එය කූට ජාවාරම් කරුවන් අතට පත් වීම තුළින් ජ්‍යොතිර්වේදය බරපතල අවභාවිතාවකට ලක්වීමක් ලෙස හඳුන්වා දීමට සිදුවී තිබෙනවා. ඒ නිසා මෙවන් පදනමක් නොමැති අදහස් ජනතාව අතරට පත් කරන කූට පුද්ගලයන් මාධ්‍ය මගින් ජනතාව හමුවට ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින ලෙස මාධ්‍ය කරුවන්ගෙන් ද මා ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිනවා.

මැතිවරණයට සූදානම් වන්න / මැතිවරණ කොමිසම ඉල්ලයි


පළාත් පාලන මැතිවරණයට සූදානම් වන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරනවා. සභාපතිවරයා මෙම අදහස් පල කළේ ඉදිරි මැතිවරණ සූදානම පිළිබද අදහස් දක්වමින්. මේ එහිදී මහින්ද දේශප්‍රිය මහතා පල කළ අදහස්.

මැතිවරණයන්හිදි ඒ ඒ අපේක්ෂකයන් මැතිවරණ සදහා කරන වැය කිරීම් සීමා කිරීමට හැකියාවක් නැහැ.

එහෙත් එලෙස සිදුකරන වැයකිරීම්හි වියදම් වාර්තා ලබා ගැනීම සදහා වැඩපිළවෙළක් මේවන විට යෝජනා වී තිබෙනවා.පාර්ලිමේතුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තේරීම් කම්ටුවක් මගින් මෙම වැඩපිළවෙළ සකස් කළ යුතුයි.1977 ට පෙර මෙවනි ක්‍රමයක් තිබුණා.

වියදම් වාර්තා නිසි ලෙස ලබා නොදුන් විට එදා අතමුන්ගේ මන්ත්‍රී ධූරය පමණක් නොව ඡන්ද අයිතියද අහිමි වුණා.

ඇතැම් පිරිස් කතා කරනවා පරාද වුණු අය කොහොමද පාර්ලිමේන්තු එන්නේ කියා ඒ ඒ පක්ෂ වලට සුදුසු අයගේ නම් යෝජනා කැර එවන ලෙස දැනුම් දෙනවිට පැහැදිළිව සදහන් කැර තිනෙවා යම් කිසි නාමයොජනා පත්‍රයක නම සදහන් කැර තිබිය යුතුයි යන්න ජාතික ලැයිස්තුවෙන් හෝ යම් දිස්ත්‍රික් ලැයිස්තුවකින් එලෙස අපේක්ෂක ලැයිස්තුවක නම තිබිය යුතුය.

දහ නව වන සංශෝධනය අනූව ද්විත්ව පුරවැසියකුට ඡන්ද බලය හිමි වුවත් මැතිවරණයකට තරග කළ නොහැකියි.සමහරුන් අහනවා එය තේරිම් භාර නිළධාරියකුට එය ප්‍රතික්ෂේප කළ නොහැකිද කියලා.

මැතිවරණ පණතේ එලෙස ප්‍රතික්ෂේප කළ හැකි කරුණු හයක් පැහැදිළිව සදහන් කැර තිබෙනවා.මේවා බැලූ බැල්මට විද්‍යාමානවිය යුතු කරුණුය.

නමුත් ද්විත්ව පුරවැසි බාවය පිළිබදව එලෙස සදහනක් නැහැ මේ සදහා අධිකරණයකට යා යුතුයි. උතුරු මැද,සබරගමුව,නැගෙනහිර පළාත් සභාවන්හි නිළ කාළය ලබන සැප්තැම්බර් වලින් අවසන් වෙනවා.ඒ නිසා ඒ මැතිවරණයට අප සූදානම් විය යුතුය.පළාත් පාළන මැතිවරණයට අදාළ සීමා නිර්ණය ගැසට් කැර සභික සංඛ්‍යාව සංස්ථාපනය පිළිබද ගැසට් පත්‍රයද නිකුත් වී තිබෙනවා.

මිනිසුන් සමඟ නොව අදහස් සමඟ සටන් කරන්න

අපේ ජීවිත ඇතුළේ වචනයෙන් කියන්න බැරි තරම් රහස් හැංගිලා තිබුණා. එයයි, මමයි එකට ගතකරපු අවසන් මාසයේ දී පවා ඔහු ළඟින් ඉන්න කියලා මට කතා කරනවා. එයාට බලාපොරොත්තුවේ සේයාවක් වත් දැනෙන්න ඇති. ඒ අවසන් දවස් කීපයේ දී කවදාවත් නොකළ තරමට එයා මට ආදරේ කළා. අපිට කවදාවත් වෙන් වෙන්න උවමනා වුණේ නැහැ. අපි ආදරෙන් ගතකරපු ඒ දවස්..... ඔව්, මම ඒ ගැනත් කතා කරන්න  ඕන. මිනිහෙක් ගෑනියෙක් ළඟට යන විදියට මම එයා ළඟට ගියා. ජීවත් කරවන්න බෙහෙත් විතරක් දෙනවට වඩා තවත් වෙන මොනාද? මට දෙන්න පුළුවන්. එයාට කොහොමටවත් මැරෙන්න  ඕන වුණේ නෑ. ඒත් බලාපොරොත්තුවක් ?........

මං මේ කිසිදෙයක් මගේ අම්මට කිව්වේ නෑ. කොහොමත් අම්මට මං ගැන තේරුම් ගන්න බැහැ. සමහර විට එයා අපිට සාපකරන්න ඇති. මොකද මේක නිකම්ම නිකං පිළිකාවක් නෙමෙයි. නම ඇහුවත් බය වෙන චර්නොබිල් පිළිකාව. වෛද්‍යවරු කිව්වේ එයාගේ ඇඟ ඇතුළෙම සැරව ගෙඩි පුපුරලා ගියොත් ඉක්මනටම මැරේවි කියලයි.

ඒ වෙනුවට එයාගේ මුහුණේ ඉඳන් ඇඟ පුරාම කළු පාට මොනවදෝ පැතිරිලා ගියා. එයාගේ නිකට වෙන පැත්තකට ගියා. බෙල්ල පේන්නවත් නැහැ. දිව එළියට වැටුණා. ශිරා නාලිකා පුපුරලා ගිහිං බෙල්ල, කම්මුල්, කන් මේ හැමතැනින්ම ලේ ගලන්න පටන් ගත්තා. සීතල වතුරත් එක්ක ලේ ගලන තැන්වලට පාන්කඩ එබුවත් කිසිම දෙයක් වුණේ නැහැ. කොට්ට ලේවලින් නැහැවිලා ගියා. මේ දිහා බලා හිඳීමත් හරිම භයානකයි. මේ ලේ ගංගාවක් වගේ ගලා යන්න පටන් ගත්තා. තාමත් මහ රෑට ඒ ලේ ගලන සද්දේ මට ඇහෙනවා.’

ඒ Voices from Chernobyl කෘතියේ අවසන් කතාවේ සඳහනකි. එහි කතුවරිය විසින්ම මේ කොටස උපුටාගෙන සැබෑ කථකයාගේ නම වෙනුවට වෙනත් නමක් යොදලා අන් තැනක පළකරනවා. දවස් දෙකකට පස්සේ අදාළ කතුවරියට ඇමතුමක් එනවා. ‘මගේ නම වෙනස් කළේ ඇයි?.’ ඔයාගේ ඇත්ත නම යොදලා අපහසුතාවයට පත් කරන්න  ඕන වුණේ නැහැ. ඒකයි. ‘අදාළ කතුවරිය උත්තර දෙනවා.’ මම ගොඩක් විඳෙව්වා, මගේ මනුස්සයා ගොඩක් විඳෙව්වා, ඉතින් ලෝකෙට මේ ගැන තවත් බොරු කියන්න උවමනාවක් මට නැහැ.’

මේ සිද්ධියෙන් වසර ගණනාවක් ගතවී ගිය 2015 වසරේදී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ මේ කතුවරිය Svetlana Alexievich ය. ඇයට නොබෙල් සම්මානය පුද කරන අවස්ථාවේදී පවසන නිර්දේශිත වාක්‍යය වෙන්නේ ‘අපේ කාලයේ විඳවීම් හා ධෛර්යය පිළිබඳව ඇය සටහන් කළ විවිධත්වයෙන් යුතු ලේඛනයන් වෙනුවෙන්, මේ සම්මානය පුද දෙනවා යන්නයි. ජීවත් වන ජනතාව පිළිබඳ රචනා කළ කෘතීන් වෙනුවෙන් නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ එකම තැනැත්තිය වෙන්නෙත් Svetlana.

බෙලොරුසියාවේ ඉපිද හැදී වැඩුණු ලේඛිකාවක් වන Svetlana ගේ කෘතීන් සිය රට තුළදීම තහනමට ලක් කරන්නේ Lukashenko ගේ පාලනයයි. අවසානයේ දී තම ජිවිතය ආරක්ෂා කරගන්නට 2000 වසරේදී ඇය බෙලොරුසියාවෙන් පලා ගියාය. තමන් මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක් වුණේ ඇයිදැයි? යන්න පිළිබඳ අදහස් දක්වන Svetlana පවසන්නේ. ‘මම වඩ වඩාත් උනන්දු වෙන්නේ අපේ යුගයේ දී මිනිස්සුන්ට සිද්ධ වුණේ කුමක්දැයි සොයා යන්නටයි.’ යන්නයි.

මාධ්‍යවේදිනියක ලෙස සිය දිවියේ විඳි සැබෑ අත්දැකීම් ගැන පවසන මිනිස්සුන්ගේ කථනයන් ඇය සිය කෘතීන් තුළ දිගහරින්නෙත් ඇයටම ආවේණික වූ ශෛලියකටයි. ‘මම කාලයක් පුරා මගේ දෑස් හා කන් ජීවිතය දකින, අහන විදිය හොඳින්ම දැනවිය හැකි නිර්මාණාත්මක ශෛලියක් හොය හොයා හිටියා. අවසානයේ දී මිනිස් කටහඬ ඔවුන්වම අමතන ශෛලියක් හොයා ගන්නට මට හැකි වුණා. යුද්ධය, චර්නොබිල් විනාශය, දැවැන්ත අධිරාජ්‍යයන්ගේ බිඳවැටීම ආදිය ගැන මගේ කෘතීන්වල ඉන්න සැබෑ මිනිස්සු කතා කළා. මේ මිනිස්සු ඔවුන්ගේ ජීවිත කතාව වචනවලට පෙරළුවා. ‘යන්න Svetlanaගේ අදහසයි.

Svetlanaගේ බොහෝ කෘතීන් ලෝකය තුළ සිදු වූ දැවැන්ත ඛේදවාචකයන් වටා ගොඩනැගී ඇති අතර එම අත්දැකීම්වලට මුහුණ දුන් පිරිස් හමුවී ඔවුන්ගෙන් ලබා ගන්නා සම්මුඛ සාකච්ඡාවන් ඇසුරින් ඇය සිය කෘතීන් රචනා කරයි. චර්නොබිල් ඛේදවාචකය හා ඉන් අනතුරුව මිනිසුන් නැවත  සිය ජීවිතයට මුහුණදුන් අයුරු Voices from Chernobyl: The Oral History of a Nuclear Disaster කෘතියේ තේමාවයි. මෙය රචනා කළ අයුරු පිළිබඳ ඇය පවසන්නේ, ‘මේ කෘතියට මම බොහෝ තොරතුරු ඒකරාශී කළා. සම්මුඛ සාකච්ඡා 500ක් අතරින් 107ක් මේ කෘතියේ  අන්තර්ගත වෙලා තිබෙනවා. එක් එක් පුද්ගලයන්ගෙන් ලබා ගත්ත සම්මුඛ සාකච්ඡා අතරින් රෙකෝඞ් පටි 4ක් එක් වුණා.  මේ එක සම්මුඛ සාකච්ඡාවක් පිටු 100-150කින් මුද්‍රණය කළා. චර්නොබිල්වල පවතින ඇත්ත තත්ත්වය මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. මේ කෘතිය ලියද්දි ඒ ගැන මගේ හිතේ නැගුණු ප‍්‍රශ්නවලටත් උත්තර ලැබුණා.’ යන්නයි.

Svetlana රචනා කළ පළමු කෘතිය වූ  The Unwomanly Face of the War තේමාව වී තිබෙන්නේ දෙවන ලෝක යුද්ධයේ දී කාන්තාවන් දැක්වූ දායකත්වයයි.  මිලියනයකට අධික සෝවියට් කාන්තාවන් පිරිසක් ඉදිරි පෙළ බලමුළුවලට දායක විය. මේ  අතර  වයස අවුරුදු 15 සිට 30 දක්වා වූ පිරිස වූ අතර මොවුහු ගුවන් නැවියන්, යුද ටැංකි රියැදුරන්, මැෂින් තුවක්කු මෙහෙයවන්නන් වැනි විවිධ මට්ටම්වල ව්‍යාප්ත වී සිටියහ. මෙහි දී Svetlana ගෙනහැර දක්වන්නේ යුද ජයග‍්‍රහණයෙන් පසු මිනිසුන් මේ කාන්තාවන් අමතක කර දැමූ ආකාරයත් යුද්ධයෙන් අනතුරුව ඔවුන් මුහුණදුන් අභියෝගත්ය. මිනිස්සු, ගැහැනුන්ගෙන් යුද ජයග‍්‍රහණය හොරාගත් බව Svetlanaගේ අදහසයි.

”ගැහැනු වෙන දෙයක් ගැන කතා කරද්දි මිනිස්සු ඔවුන්ගේ වීර ක‍්‍රියාවන් ගැන කතා කළා. මැරුණු මිනිස්සුන්ගේ සිරුරු අර්තාපල් වගේ පිට්ටනි පුරා තියෙද්දී තරුණ වියේ හිටිය කාන්තාවන්ට මියගිය උන් ගැන දුක හිතුණා. යුද්ධයෙන් පස්සේ ගැහැනුන්ට තවත් යුද්දෙකට සටන් කරන්න වුණා. අතීත තුවාල අතරට එක් වුණු මිලිටරි සහතික ඔවුන් වළලා දමන්නේ නැවත විවාහයක් කරගන්න උවමනා වුණු නිසයි.” යන්න ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

The Last Witnesses: the Book of Unchildlike Stories ඇගේ දෙවැනි කෘතිය වූ අතර මෙහි දී අහිංසක දරුවන්ගේ දෑස් යුද්ධය දුටු ආකාරය ඉදිරිපත්කර ඇත. ඉන්පසු ලියැ වුණු Boys in Zinc කෘතියේ තේමාව වන්නේ වසර 10ක් පුරාවට පැවතුණු සෝවියට් හා ඇෆ්ගන් යුද්ධයයි. මේ යුද්ධයට සම්බන්ධ වුණු සෙබළුන් 100කට අධික පිරිසකගේ කතාවන් මෙහි දී දිගහැරෙන අතර යුද්ධයේ ගොදුරු බවට පත්වුණු වැන්දඹුවන් හා මව්වරුන්ගේ කතාවන් ද මෙහි දී දක්වා ඇත.

මේ වනවිට සිය දිවියේ 68 වසර සපුරන Svetlana සිය ලේඛනයන්හි දී මෙන්ම සැබෑ දිවියේ දී ද සිය අදහස් නොබියව ප‍්‍රකාශ කළාය. දිනෙක මිහයීල් ගොර්බචොව්ට Svetlana මුණගැසුණු අවස්ථාවකදී ඔහු පවසන්නේ ”මේ තරම් පුංචි කාන්තාවක් වෙලත් ඔබ දැවැන්ත, සාරගර්භ පොත් ලියනවා.” ඊට පෙරළා උත්තර දෙන ඇය ‘ඉතින්’ දැවැන්ත මිනිහෙක් නොවුණත් අධිරාජ්‍යයක් විනාශකර දමන්න තරම් හැකියාවක් ඔබටත් තියෙනවනේ.’ යන්නයි.

සිය දිවියේ දුටු නේක ඛේදවාචකයන් හා එම ඛේදාන්තයන් නැවත සටහන් ගත කළ Svetlana ජීවිතය දෙස නැවත හැරී බලමින් පවසන ප‍්‍රකාශයකින් සටහන නිමා කරන්නම්.“9/11 ඛේදවාචකය තුළින් ලෝකය රැඩිකල් විදියට වෙනස් වෙන අයුරු මිනිස්සු දෑසින්ම දුටුවා. මේකෙන් සිද්ධ වුණේ  ලෝකය ඉදිරියට ගමන් කරනවා වෙනුවට සන්නද්ධ මිනිස්සුත් එක්ක ආපස්සට ගමන් කිරීමයි. මා නිර්මාණය කළ ඇෆ්ගන් යුද්ධයට සම්බන්ධ වුණු  එක් චරිතයක් ප‍්‍රකාශ කරන්නේ, මේ මිනිස්සුන්ට නැවත සටන් කරන්න වුවමනාවක් නැහැ. අපි සටන් කළ යුත්තේ මිනිස්සු සමඟ නොවෙයි, අදහස් සමඟයි. මේ ලෝකය දිවිගෙවන්නට නුසුදුසු හා භයානක තැනක් බවට පත්කර තිබෙන, මිනිස්සු එකිනෙකාගෙන්  හුදකලා කර තිබෙන අදහස් මරා දැමිය යුතුයි.“

| වින්ද්‍යා ගම්ලත්

ආපදා සහන දෙන්න කෝටි 888 ක්

ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සහ නිවාස සම්පූර්ණයෙන්ම හානිවීම යන ආපදා වෙනුවෙන් රුපියල් මිලියන 8886ක මුදලක් ගෙවීමට රජය සූදානම් බව ආපදා කළමණාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

මෙම වන්දි මුදල් සතයක් හෝ අඩු නැතිව ගෙවන බවත් ආබාධ වලට හා නිවාස අර්ධ හානි සිදුවූ අය වෙනුවෙන්ද වන්දි ලබාදීම් සිදුකරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය හා පූර්ණ වශයෙන් නිවාස හානිවූවන් වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් මිලියන 8886න් රුපියල් මිලියන 278ක් මේ වනවිට මුදාහැර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙම වන්දි ගෙවීම් වලට අමතර සහන සැළසීම වෙනුවෙන් රජය මේ වනවිට රුපියල් මිලියන 240ක් වැයකර තිඛෙනවා.

ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දැක්වූ ඇමතිවරයා සඳහන් කළේ පසුගිය වසරේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විනා‍ශ වූ නිවාස 67103ක් වෙනුවෙන් රුපියල් බිලියන 3.135ක වන්දි ගෙවා ඇති බවයි.

වන්දි ගෙවීම සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇතිකර නොගත යුතු බවත් ජාතික රක්ෂණ භාර අරමුදල වන්දි ගෙවීමට සූදානම් බවත් ඇමතිවරයා කියා සිටියා.

සිදුවූ විපත වෙනුවෙන් වන්දි ගෙවනවා සේම නැවත මෙවන් විපතක් සිදුනොවීමට අවශ්‍ය කටයුතු සැළසුම් කරන බවත් ඇමතිවරයා පැවසීය.

නව ඩොප්ලර් යන්ත්‍ර දෙකක් චීනයෙන් හා ජපානයෙන් ලැබෙන බවත් මේ තුළින් ඉදිරියේදි සිදුවන කාලගුණ විපර්යාස හදුනාගැනිමේ හැකියාව ලැබෙන බවද යාපා මහතා මෙහිදී සදහන් කරනු ලැබුවා.