11 June 2017

මිටි දරුවන්ට විසඳුම බිත්තරද?

අඩු ආදායම් ලාභීන්ට බිත්තර වැඩි වියදමකින් තොරව ලබාගත හැකි ආහාරයක් බව පර්යේෂකයෝ පවසති.

ඌන පෝෂණය සහිත බාල දරුවන්ට දිනකට බිත්තරය මගින් කැවීමෙන් වයසට සරිලන උසක් ලබාදිය හැකි බව හයමාසයක් තිස්සේ සිදු කරන ලද අධ්‍යනයකින් හෙළිවී ඇත.

මෘදු හෝ බාගයට තම්බන ලද එසේත් නැත්නම් බදින ලද ඔම්ලට් මගින් දරුවන්ට බිත්තර කැවීමෙන් වර්ධනය අතින් ප්‍රගතියක් ලැබෙන බව එක්වදෝරයේ සිදු කරන ලද එම පරීක්ෂණය පෙන්වා දෙයි.

අදාළ පර්යේෂණ වාර්තාව "Pediatrics" ළමා සෞඛ්‍ය පිළිබඳ සඟරාවේ පළ කරනු ලැබ ඇති අතර බිත්තර මගින් වැඩි වියදමකින් තොරව ඌන පෝෂණය පිටු දැකිය හැකි බව එමගින් පෙන්වා දෙයි.

ළමා ජීවිතයක පළමු අවුරුදු දෙක ඔවුන්ගේ වර්ධනයේ දී ඉතා වැදගත් බව පෙන්වා දෙන පර්යේෂකයෝ, ඕනෑම ඌන පෝෂණ තත්වයක් ආපසු යථා තත්වයකට ගෙන ඒම අසීරු බවත් කියා සිටිති.

ඌන පෝෂණයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් පෝෂණ පදාර්ථ නොලැබීම යයි පවසන පර්යේෂකයෝ බාල වියේදී ආසාදනයන්ට ලක්වීම මෙන්ම අසනීප තත්වයන් ද ඊට මුල්වෙන බව පවසති.
 "පුංචි බඩවල් සහිත දරුවන්ට බිත්තර හොඳ ආහාරයක් " ලෝරා ඉයනොටි පවසයි .

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වයස අවරුදු පහට අඩු පහළොස් කෝටි පනස් ලක්ෂයක් පමණ දරුවන් ඌන පෝෂණයට ගොදුරුව සිටිති.

පහළ සහ මධ්‍යම ආදායම් ලබන ජනතාව සහ සෞඛ්‍ය විශේෂඥයන් මේ ප්‍රශ්නය පාලනය කර ගැනීමේ මාවත් සෙවීමේ ප්‍රයත්නයක නිරත වෙති.

ලෝරා ඉයනොටි (Lora Iannotti) සහ ඇයගේ කාර්ය මණ්ඩලයේ සගයන් එක්වදෝරයේ ග්‍රාමීය කඳුකර පලාත්වල ක්ෂේත්‍ර පර්යේෂණයක් ආරම්භ කර ඇති අතර මාස හයත් නවයත් අතර බිළිඳුන්ට නොමිළේ බිත්තර සැපයීම මගින් ඔවුන්ගේ ඌන පෝෂණය මගහැර ගත හැකිදැයි නිරීක්ෂණය කරමින් සිටිති.

අහඹු ලෙස තෝරා ගත් බිළිඳුන් 160 කින් අඩකට දිනකට බිත්තරය බැගින් මාස හයක කාලයක් කවන ලද අතර එම දරුවන් බිත්තර නොදුන් සෙසු දරුවන් සමඟ සසඳා බැලීම පර්යේෂණ විධික්‍රමය විය.

පර්යේෂකයෝ සතියකට දවසක් එම දරුවන්ගේ නිවෙස්වලට ගොස් තත්වය නිරීක්ෂණය කර ඇති අතර ළමුන්ට බිත්තර දීම දෛනිකව සිදු වන්නේද ? බිත්තර දීමෙන් දරුවන්ට ආසාත්මිකතා හෝ අතුරු ආබාධ ඇති වන්නේද? යන්නත් පිරික්සා ඇත.
ත්තර දෙන ලද ළමුන් අතර ඌන පෝෂණය අඩු මට්ටමක පවතින බව හෙළි වූ බව පර්යේෂකයෝ නිගමනය කරති.

එම නිරීක්ෂණයේ දී හෙළි වූ කරුණු වලින් තමන් පුදුමයට පත් වූ බව ප්‍රධාන පර්යේෂිකා ලෝරා ඉයනොටි (Lora Iannotti) පවසන්නීය.

"බිත්තර පහසුවෙන් ලබා ගන්න පුළුවන් ආහාරයක්. විශේෂයෙන්ම සැඟවුන කුසගින්නෙන් සහ පෝෂණ ඌනතා සහිත ජනතාවට ආහාරයක් හැටියට බිත්තර ලබා ගැනීම එතරම් අමාරු නැහැ" ලෝරා ඉයනොටි සඳහන් කළාය.

"පුංචි බඩවල් සහිත දරුවන්ට බිත්තර හොඳ ආහාරයක් " ලෝරා ඉයනොටි පවසයි .


රඩ්යාර්ඩ් කිප්ලිං ලොව පුරා පාඨකයන්ට ආලෝකයක්

දහනව වැනි සියවස අගභාගයේදී සහ විසි වැනි සියවස මුල් භාගයේදී ගද්‍ය මෙන් ම පද්‍ය සාහිත්‍යට ද අගනා නිර්මාණ ගණනාවක් දායාද කළ විශිෂ්ට ලේඛකයකු ලෙස රඩ්යාඩ් කිප්ලිං ඉතිහාසයට එක්වේ. ඔහු අතින් ලියැවුණු ද ‘ජන්ගල් බුක්’, ‘ද මෑන් හූ වුඩ් බී කිංග්’, ‘කිම්’, ‘ගුංගාඩින්’, ‘ඉෆ්’ වැනි ගද්‍ය පද්‍ය නිර්මාණ අතිශයින් ම පාඨක ආකර්ෂණයට ලක් විය. මේ නිර්මාණ බොහොමයක් අදට ද ජනප්‍රියය. 1907 දී කිප්ලිං සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ එය දිනාගත් ළාබාලතම ලේඛකයා ද වශයෙනි. එමෙන් ම ඉංගිරිසි සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පිරිනැමුණු පළමු අවස්ථාව ද එයය.

ජෝෂප් රඩ්යාඩ් කිප්ලිං 1865 දී ඉන්දියාවේ, බොම්බායේ දී උපත ලැබී ය.‍ ලේඛකයකු ලෙස ඔහු ප්‍රකට වූයේ රඩ්යාඩ් කිප්ලිං යනුවෙනි. ජෝෂප් යන මුල් නම ඔහු භාවිත කළේ නැත. ඔහුගේ දෙමවුපියන් ‘රඩ්යාඩ්’ විලේ සුන්දරත්වයට පෙම් බැඳි අය වීම එනම් ඔහුට ලැබීමට හේතුව ය. කිප්ලිං උපන් නිවස මුම්බායි නගරයේදී අදටත් දැකිය හැකි ය. පසුකාලීනව එය J.J කලා සරසවියේ පීඨාධිපති නිල නිවස වශයෙන් ද කාලයක් යොදා ගැනිණි. කිප්ලිංගේ පියා ජෝන් ලොක්වුඩ් කිප්ලිං ද දක්ෂ මූර්ති හා මැටි බඳුන් නිර්මාණ ශිල්පියෙකි‍. ඔහු J.J කලා සරසවියේ මහාචාර්යවරයකු මෙන් ම එහි ප්‍රධානියා ද විය. ඉන්දියාවේ උපත ලැබුව ද ඔහු හැදී වැඩුණේ බ්‍රිතාන්‍යයේ ය. අධ්‍යාපනය වෙනුවෙන් පස් හැවිරිදි වියේදීම ඔහු එරටට රැගෙන යාමට දෙමවුපියන් ගත් තීරණය ඊට‍ හේතු විණි. කෙසේ වුව ද ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළුවීම සඳහා ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට තරම් ඔහු අධ්‍යාපනයේ දස්කම් නොපෙන්වීය. එබැවින් වර්ෂ 1882 දී පන්ජාබයේ, ලාහෝර් නගරයට පැමිණියේ මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරැඹීමට ය. The Civil and Military Gasette නම් කුඩා ප්‍රාදේශීය පුවත්පතක සහාය සංස්කාරක වශයෙන් ඔහු කලක් කටයුතු කළේ ය.

කිප්ලිංගේ කෘතීන් අතර ලොකු කුඩා කා අතරත් අතිශයින් ම ජනප්‍රිය වූ ‘ද ජන්ගල් බුක්’ ප්‍රකාශයට පත්වූයේ 1894 දී ය. එය 1893 - 1894 වකවානුවේ සඟරාවල ප්‍රකාශයට පත් වූ කතා එකතුවකි.

‘ද ජන්ගල් බුක්’ කෘතිය පෝතක බාලදක්ෂයන් අභිප්‍රේරණය කිරීම සඳහා ද භාවිතා වේ. සුප්‍රකට ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් පවසන පරිදි, මේ කෘතිය මඟින් ඉන්දියානුවාගේ මනසට වඩා හොඳින් වනසතුන්ගේ සිතුම් - පැතුම් වටහාගැනීමට තමාට හැකි බව කිප්ලිං පිළිබිඹු කර තිබේ. කෙසේ වුව ද මෙහි එන ඇතැම් කාරණා තමා විසින් කොපි කර ඇති බව 1895 දී කිප්ලිං පිළිගත්තේ ය.

‘ද ජන්ගල් බුක්’ එනමින් ම සිනමාවට ද නැගිණි. වෝල්ට් ඩිස්නි නිෂ්පාදනය අතිශයින් ම ජනප්‍රිය විය. එය ඇසුරින් නිර්මාණය වූ කාටුන් කතා මාලාව ද එලෙසින් ම ජනප්‍රිය ය. ගණන් කළ නොහැකි තරම් නිර්මාණ මේ කෘතිය ඇසුරින් කෙරී තිබේ.

කිප්ලිං, ‘ද ජන්ගල් බුක්’ රචනා කළේ එක්සත් ජනපදයේ සිටිමිනි. ඇමෙරිකානු ලේඛක වොල්කොට් බැලස්ටියර් කිප්ලිං ගේ සමීප මිතුරෙකි. එකී මිතුදම කොතෙක්ද යත් කිප්ලිං විවාහ කර ගත්තේ ද වොල්කොට්ගේ සහෝදරිය වන කැරොලින් ය. නව යුවළ කැරොලින් ගේ තවත් සහෝදරයකු වූ බෙටී ට අයත් වර් වොන්ට් හි පිහිටි ඉඩමක් මිලදී ගෙන සිය සිහින නිවහන එහි ඉදි කළහ. මේ නිවස ඔවුන් හැඳින්වූයේ මුදලට වඩා අගනා මැණිකක් යන තේරුම දෙන The Naulahka වශයෙනි. Naulahka හින්දි වදනකි.

නව යුවළ පළමු දරු සම්පත අපේක්ෂා කරමින් සිටියදී ම කිප්ලිං ‘ද ජන්ගල් බුක්’ ලිවීම ඇරැඹීය. ඔවුනගේ පළමු දරුවා දියණියකි. ඇය 1892 දී උපත ලැබූ ජොසපින් ය. 1894 මැයි මාසයේදී කිප්ලිං ‘ජන්ගල් බුක්’ කෘතියේ පිටපතක් සිය දියණියට පිරිනැමුවේ එහි විශේෂ සටහනක් ද තබමිනි. ජොසපින්ට පසුව එල්සි නමින් තවත් දියණියක ද ‍‍ජෝන් නමින් පුතකු ද ඊළඟ වසර කිහිපයේදී කිප්ලිං පවුලට එක් විය. එහෙත්, ජොසපින්ට අවුරුදු 6 ක් වනවිට ඇය අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේ නිව්මෝනියාව වැලැඳීමෙනි. කිප්ලිං ද එම රෝගී තත්ත්වයෙන් පීඩා වින්දේ ය. සිය වැඩිමහල් දියණියගේ අභාවය කිප්ලිං බලවත් සේ කම්පනයට පත් කළේ ය. එම තත්ත්වයෙන් මුළුමනින් ම මිදීමට ඔහුට නොහැකි විණි.

‘ද ජන්ගල් බුක්’ හි නිරූපිත සියොන් වනාන්තරයට කිප්ලිං සැබැවින් ම කිසිදා ගොස් නොතිබීම සිත්ගන්නා සුලු අප්‍රකට කාරණයකි. ඔහු සිය මිතුරන් ලවා එම වනාන්තරයේ ඡායාරූප ගෙන්වා ගෙන ඒවා නිරීක්ෂණය කළේ ය. රොබට් අමිටේජ් වැනි අයගේ කෘතීන් කියවමින් ඔහු සතුන් ගැන දැනුම ලැබුවේ ය. ඉන්දියාවේ වන සතුන් ගැන කිප්ලිංගේ පියා ඇඳ තිබූ අගනා චිත්‍රසටහන් ද ඔහුට විශාල ලෙස ප්‍රයෝජනවත් විය. ඉන් සමහරක් එහි නිරූපිත ය. අනෙක් චිත්‍ර සටහන් කිප්ලිං විසින් ම ඇඳ තිබේ. කිප්ලිංගේ ‘කිම්’ කෘතියේ චිත්‍ර සටහන් ද ඔහුගේ පියා අඳින ලද ඒවා ය. තමා අතිශයින් ම ප්‍රිය කරන කෘතිය ‘කිම්’ බව ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු වරින් වර ප්‍රකාශ කර තිබේ.

කිප්ලිංගේ පද්‍ය නිර්මාණ අතර විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙන ‘If’ බ්‍රිතාන්‍යයේ ප්‍රියතම කවි පෙළ ලෙස ද පිළිගැනේ. බ්‍රිතාන්‍යයන් අතර පමණක් නොව ඉංගිරිසි සාහිත්‍ය ඇසුරු කරන ලොව පුරා පාඨකයන් අතර එය අතිශයින් ම ජනප්‍රිය ය. විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයන්ට එය ආලෝකයක් වූ බව ද ප්‍රකාශ වී තිබේ. ‘If’ කවි පන්තිය කිප්ලිං ලියන ලද්දේ සිය පුතුට උපදෙස් දීම සඳහා ය. එහෙත් එය ඔහුගේ පුතුට උපදෙස් දීම සඳහා ය. එහෙත් එය ඔහුගේ පුතුට පමණක් නොව ලොව පුරා පුතුනට ලියූ අනගිතම උපදේශ කාව්‍යක් විණි. 1909 දී ලියූ මේ කවි පෙළ සියවසකට පසු අදට ද බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ආභාසයක් ගෙන දේ. ඇත්නම් පියවරු එය තම පුතුනට ත්‍යාගයක් ලෙස අදටත් පිරිනමති. මේ කවි පෙළ පිටුපස ඇති කතාව නම් බ්‍රිතාන්‍යයට හිතකර නොවේ. එමෙන් ම එය බොහෝ දුරට අප්‍රකට ය. කිප්ලිං ‘If’ ලියා ඇත්තේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් ද්‍රෝහියකු ලෙස සලකා අත්අඩංගුවට ගත් ඉන්දියානු සම්භවයක් ඇති වෛද්‍ය ජේම්සන් අරමුණු කරමිනි.

ජේම්සන් කිප්ලිංගේ මිතුරෙකි. ‘If’ පිටුපස ඇති කතාව කිප්ලිං සිය ජීවිත කතාව ලෙස ලියූ Something of My self හි සටහන් කර තිබේ. ඔහුගේ අභාවයෙන් වසරකට පසු 1937 දී එය කෘතියක් ලෙස ප්‍රකාශයට පත් විය. යටත් විජිතවාදී පීඩනය සහ ඊට එරෙහිවීමේ වුවමනාව ද මේ කවි පෙළින් ම පිළිබිඹු වේ. අත්අඩංගුවෙන් නිදහස්ව ආපසු දකුණු අප්‍රිකවට යන ජේම්සන් දේශපාලනඥයකු ලෙස කැපී පෙනිණි. කිප්ලිංට මේ සිදුවීම් කොපමණ බලපෑවේ ද යත් බ්‍රිතාන්‍යයෙන් පිරිනැමුණු ‘නයිට්’ නාමය හෝ වෙනත් සම්මාන ඔහු ප්‍රතික්ෂේප කළේ ය. කිප්ලිං ජේම්සන්ගේ චරිතය ඇසුරින් සිය පුතුට උපදෙස් දීමට ලියූ ‘If’ 1915 දී ප්‍රකාශයට පත්වනු දැකීමට ඔහුගේ පුතු ලුතිනන් ජෝන් කිප්ලිං ජීවත් නොවීම අවාසනාවන්ත මෙන් ම දුක්මුසු සිදුවීමකි. ඔහු පළමු ලෝක සංග්‍රාම භූමියේ දී ජීවිතක්ෂයට පත් විය. දේහය පවා සොයාගත නොහැකි විණි. පුතුගේ අභාවය කිප්ලිං බෙහෙවින් ම කම්පනයට පත් කළ සිදුවීමකි. එහෙත් ජෙම්සන්ට මෙන් ම ජෝන් කිප්ලිංට ද උපහාරයක් වෙමින් රඩ්යාඩ් කිප්ලිං ගේ ‘If’ කවිපෙළ අදටත් සුවහසක් මිනිසුන් ගේ දිවිමඟ ආලෝකවත් කරන්නේ ය.

| ධම්මික සෙනෙවිරත්න

“කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ” කවියෙන් කියවෙන්නේ ගඟ පිටාර ගැලීමද ප‍්‍රභුවරයෙකුගේ ලිංගික සූරාකෑමක්ද?


පසුගිය දිනවල ඇති වූ ගංවතුරින් කැලණි ගඟ පිටාර ගැලීම නිසා කැලණිය, බියගම, දොම්පේ, වත්තල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට බරපතල ආපදා තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය. වත්මන් ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් සියනෑ සහ අලූත්කූරු කෝරල මායිමෙන් ගලා බසින කැලණි නදිය නිතර නිතර පිටාර ගැලීම නිසා ගංවතුර අවදානමක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එනිසාම බියගම, මල්වාන, පහළ මාපිටිගම, උඩමාපිටිගම, පුගොඩ, තරාල, රන්වල, දංගල්ල ආදී ප‍්‍රදේශ මුල්කොට කැලණි ගඟේ ගංවතුර පිටාර කලාප කිහිපයක් ද ස්ථාපිත වී තිබේ. කැලණි නදියේ මෙම පිටාර ගැලීමේ ස්වභාවය මුල්කොට ප‍්‍රකට ජන කවියක් ද ඇත.

‘‘කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ

කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ

මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ

ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ ’’

සියනෑ කෝරළයේ හෝ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණක් නොව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැඩිදෙනෙකු අසා පුරුදු මේ ජන කවිය අප රටේ සිටි සිවිල්සේවා නිලධාරියෙකු සහ විශිෂ්ට ජනශ‍්‍රැති පර්යේෂකයෙකු වූ නි.බ.මා. සෙනෙවිරත්නයන් විසින් 1964 වසරේ සම්පාදනය කළ ‘‘සිංහල කාව්‍ය සංග‍්‍රහය – මාතර යුගය’’ කෘතියෙහි (පිටුව 200) ද සඳහන් ය. මෙය ජාතික කෞතුකාගාර ප‍්‍රකාශනයකි.

මාතර (සාහිත්‍ය) යුගය ක‍්‍රි.ව. 1720 – 1830 දක්වා වන වසර 110ක කාල පරිච්ඡේදයක් පුරා දිව යන්නකි.

ඉහත සඳහන් ජන කවියෙහි මතුපිට අරුත වනුයේ වරින් වර පිටාර ගලන කැලණි ගඟ නිසා ගඟ දෙපස ඇති කෙටල පඳුරු වරින් වර දියෙන් යටවී යළිත් මතු වී පෙනෙන බව ය. මේ අතර ගඟ ආසන්නයේ බැඳ සිටින මී ගවයන් හිස වනන අයුරුත් ඇටිකිත්තන් යනුවෙන් හැඳින්වෙන ජලාශ‍්‍රිත කුඩා මැඬි විශේෂය නිතර හඬනගන අයුරුත් ඉන් පැවසේ.

නමුත් පසුගිය කාලයේ සියනෑ කෝරළයේ ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ ගවේෂණයක යෙදුණු මට එම ජන කවියෙන් මතුවන ඊට වඩා ගැඹුරු ද්වනිතාර්ථයක් පිළිබඳව අනාවරණය කර ගත හැකි විය. ඉන් පැවසී ඇත්තේ සියනෑ කෝරළයේ විසූ මහා ධනකුවේරයෙකුගේ ලිංගික ජීවිතය පිළිබඳව බව එහිදි අනාවරණය කර ගැනීමට මට හැකි විය.

ඔහු දහඅටවන සියවසේ අග භාගයේ හෝ දහනව වන සියවසේ මුල් භාගයේ දී සියනෑ කෝරළයෙහි විසූ බව සාධාරණ ලෙස අනුමාන කළ හැක. අක්කර සිය ගණනක පොල්වතු ඇතුළු සුවිසල් දේපළකට හිමිකරුවෙකු වූ මොහු තමන් යටතේ වැඩකරන සේවකකාරකාදීන්ගේ රූමත් අඹුවන් සොයා ගොස් ඔවුන් සමඟ අයථා සබඳතා පැවැත් වූ අයෙකි. ඔහුගේ ප‍්‍රතාපය නිසා මෙම සංසිද්ධිය සෘජුව කීමට නොහැකි වූ ජන කවියා ‘‘කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ’’ යනුවෙන් පවසා ඇත්තේ ඔහුගේ එම ලිංගික චර්යාවයි.

එහි දෙවන පදයෙන් පැවසෙන ‘‘කෙටල පටානෝ නිතරම උඩයට යානෝ’’ යනුවෙන් පැවසෙනුයේ ඔහුගේ ලිංගික ආධිපත්‍යයට නතු වූ එම කාන්තාවන් පිළිබඳව ය. මෙහිදී ‘‘වතුර ගැලීම’’ සහ ‘‘උඩ යට යාම’’ යන්නෙන් ලිංගිකත්වය පිළිබඳ සියුම් ඉඟි පළ කෙරන අතර ඇතැම් විට වරින් වර හිමිවන ඔහුගේ ඇසුර නිසා එම කතුන්ගේ උඩඟු බව අඩුවැඩි වීම ද ජනකවියා එලෙසින් දකින්නට ඇත. යමෙකුගේ උඩඟු බව දැක්වීම පිණිස ‘‘දැන් එයා සෑහෙන්න උඩ ගිහින්’’ යනුවෙන් සමාජයේ පොදු වහරක් ඇති බව අපි කවුරුත් දනිමු.

මෙහි ඊළඟ පදයෙන් පැවසෙන ‘‘මීහරකානෝ නිතරම ඔලුව වනානෝ’’ යන්නෙන් එම බිරියන්ගේ සැමියන් පිළිබඳව පැවසෙන බව මෙහිදී අනාවරණය කර ගැනීමට මට හැකිවිය. මක්නිසාද යත් එම ප‍්‍රභූවරයාගේ දාසකාරකාදීන් වන ඔවුනට තමන්ට සිදුවන කිනම් අසාධාරණයක් හෝ ‘‘ඔලුව වනා’’ අනුමත කිරීම හැරුණු කොට ඊට එරෙහිව නැඟීසිටීමේ හැකියාවක් එකල සමාජයේ නොතිබූ බැවිනි.

මෙහි වඩාත්ම උපහාසයක් ද්වනිත කරවනුයේ එහි ‘‘ඇටිකිති ජානෝ නිතරම ජෙග ජෙග ගානෝ’’ යන්නෙනි. මෙහි ඇටිකිත්තන් යනු කුඩා මැඬිවිශේෂයක් බව මම ඉහත සඳහන් කළෙමි. එහෙත් ඒ සමඟම යෙදෙන ‘‘ජානෝ’’ යන වචනයෙන් හැඟවෙනුයේ ජනතාව යන්න ය. ඒ අනුව එම ‘‘ඇටිකිති ජානෝ’’ යන්න අවශේෂ ජනයා ලෙස අර්ථකතනය කිරීමේ නොහැකියාවක් නැත.

සමාජයේ ප‍්‍රභූවරයෙකු විසින් ප‍්‍රසිද්ධියේ සිදුකරන මෙම සදාචාර විරෝධී ක‍්‍රියාවට, ලිංගික සූරාකෑමට ප‍්‍රසිද්ධියේ විරුද්ධ වීමට හෝ අභියෝග කිරීමට හැකි සමාජ පරිසරයක් මෙකල නොතිබුණි. එබැවින් අවශේෂ ජනයාට හැකි වූයේ ඒ පිළිබඳව නිරතුරුවම ඔවුනොවුන් අතරේ රහස් කතිකාවක් ගොඩනංවා ගැනීමට පමණි. කවියෙහි එය හැඳින්වෙනුයේ ‘‘ජෙග ජෙඟ’’ ගෑම ලෙසිනි.

මෙහි මා දුටු තවත් විශේෂත්වයක් තිබේ. අරාබි බසින් ලිංගික ක‍්‍රියාව හඳුන්වන පහත් ඕලාරික වදනක් වනුයේ ‘‘ජිගි ජිගි’’ යන්න ය. මෙය ජිගි යන්න ඉංග‍්‍රීසි ශබ්දකෝෂවල සඳහන් වන්නේ Haveing Sex යන්නෙහි අවියත් වදනක් ලෙසිනි.

තම ප‍්‍රදේශයේ ප‍්‍රභුවරයෙකුගෙන් සිදුවන ලිංගික සූරාකෑමක් පිළිබඳව කැලණි ගඟ මුල්කොට මෙසේ උපහාසාත්මක යටි අරුතක් පළ කළ ඒ අප‍්‍රකට ජන කවියාගේ චින්තනය, සෞන්දර්යාත්මක ප්‍රතිභාව කැලණි ගඟටත් වඩා ගැඹුරු බව නම් නොකියාම බැරිය.

| තිලක් සේනාසිංහ

හමුදා භූමිය ෂැංග්‍රිලාට දීමෙන් රජයට කෝටි 750ක පාඩුවක්


යුද හමුදා මූලස්ථානය පිහිටි කොළඹ ගාලු මු‍වදොර ආසන්නයේ භූමි භාගය ෂැංග්‍රිලා හෝටල් සමූහයට ලබා දීම උදෙසා යුද හමුදා මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පසුගිය රජය සමයේ ගත් තීරණයක් නිසා මේ වන විට රජයට කෝටි 750ක පමණ මුදලක් අහිමිව ඇතැයි වාර්තා වේ.

යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේ‍‍ගොඩට ගෙන යෑම පිණිස සියලු පිඹුරුපත් සකසා පළමුව සිදු කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටල් සමූහයට භූමි භාගය ලබා දීම වන අතර, මේ නිසා යුද හමුදාපතිවරයාගේ කාර්යාලය සහ තවත් අධ්‍යක්ෂවරුන්ගේ කාර්යාල කිහිපයක් හැර අනෙකුත් කාර්යාල සියල්ල ක්‍රමයෙන් එම ස්ථානයෙන් ඉවත් කර කැලණිය, නාරාහේන්පිට, කොම්පඤ්ඤවිදිය‍, තුම්මුල්ල, ආර්ඒ ද මැල් මාවත ඇතුළු ස්ථාන රැසක අධික කුලී පදනමක් යටතේ ස්ථාපිත කිරීමට සිදුව ඇත.

2011 වසරේදී ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී සිදු කරන ලද මේ ක්‍රියාවලිය නිසා මසකට රුපියල් කෝටි 10කට අධික මුදලක් කාර්යාල උදෙසා ගෙවන්නට යුද හමුදාවට සිදුව ඇත.

මේ සම්බන්ධව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ 2011 වසරේ සිට මේ තත්ත්වය උද්ගතව තිබීම සැබෑවක් බවත් මේ වන විට බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේ වැඩ කටයුතු කඩිනමින් සිදු කරන්නට උපදෙස් ලැබී ඇති අතර ලබන වසරේ අප්‍රේල් මාසය වන විට යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ලට ගෙන යෑමට හැකි වනු ඇති බවයි.

කටාර් ත්‍රස්තවාදය ලොවට හඳුන්වා දුන් රාජ්‍යයක්- ට්‍රම්ප්

 අවාසනාවන්ත ලෙස ඓතිහාසිකවම කටාර් රාජ්‍ය යනු ඉතා ඉහළින්ම ත්‍රස්තවාදය ලොවට හඳුන්වා දුන් රාජ්‍යයක් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවේ මෙසේ පවසා සිටියේය.

"අවාසනාවන්ත ලෙස ඓතිහාසිකවම කටාර් රාජ්‍ය යනු ඉතා ඉහළින්ම ත්‍රස්තවාදය ලොවට හඳුන්වා දුන් රාජ්‍යයක්. මේ අවස්ථාවේදී අපට තීරණයක් ගැනීමට සිදුවෙනවා. එක්කෝ අපි පහසු මාර්ගයක් යොදා ගන්නවා. එසේ නැත්නම් අවසානයේදී ඉතා දුෂ්කර නමුත්, වඩාත් අත්‍යවශ්‍ය මාර්ගය තෝරා ගන්නවා. මේ අවස්ථාවේදී ත්‍රස්තවාදීනට අරමුදල් සැපයෙන මාර්ග වසා දැමිය යුතුයි. මම තීරණය කළේ, කටාර් රාජ්‍ය ත්‍රස්තවාදීන් සඳහා අරමුදල් සැපයීම නවතා දැමීමට කාලය පැමිණ තිබෙනවා" යැයි ට්‍රම්ප් පැවසීය.

පසුගියදා සෞදියේ සංචාරයක නිතර වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදී මැදපෙරදිග කලාපයේ මුස්ලිම් නායකයන් හමුවී සාකච්ඡා කළ අතර, එහිදී ඔවුන් විශේෂ සමුම්තියකටද පැමිණ තිබුණි.

පසුගියදා සෞදිය ඇතුළු මැදපෙරදිග රාජ්‍යයන් කිහිපයක්ම කටාර් රාජ්‍ය සමග පවතින සියලු සබඳතා අත්හැරීමට ගත් තීරණයත් සමග ලෝක දේශපාලනයේ කටාර් අර්බුදය කරළියට පැමිණියේය.

කෙසේ වෙතත්, මේ වනවිට කටාර් අර්බුදය විසඳීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ද මැදහත්කරුවෙකු ලෙස පෙනී සිටිනඅ තර, ඔහු පවසන්නේ මේ සඳහා සියලු දෙනාගේ මැදිහත් වීමෙන් විසඳුමකට පැමිණිය යුතු බවයි. එහිදී, සියලු රාජ්‍යයන් ත්‍රස්තවාදයට එරෙහි පියවර ගත යුතු බව පෙන්වාදෙන ටිලර්සන්, කටාර් පමණක් නොව සියලු මැදපෙරදිග රාජ්‍යයන් තම යුතුකම ඉටුකළ යුතු බව අවධාරණය කරයි.  

ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වසරේ

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු ආසාදනය වීමෙන් පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති නජිත් සුමනසේන සදහන් කළේ ඉදිරියේදී මදුරු කීට ඝණත්වය ඉහළ යා හැකි බවයි.   වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු බවට සැකකෙරෙන රෝගීන් 59,760 ක් වාර්තා වන බවයි.

ඉන් සියයට 42 යි දශම 3 ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැයි මාසයේදී බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ.මේ වසරේ මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉතිහාසයේ වාර්තා වී ඇති වැඩිම රෝගීන් සංඛ්‍යාවද වනවා.

ඇමති ජෝන්ට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය

මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිත පාරිසරික ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ජුනි 08 වන දා සංචාරක ප්‍රවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හමු වී කරුණු පැහැදිළි කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එම මාධ්‍යවේදීන් වෙත අමාත්‍යවරයාගෙන් එල්ල වූ තර්ජනාත්මක ප්‍රතිචාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකී. එබඳු අපරිණත සහ ප්‍රචණ්ඩකාරී හැසිරීමක් මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියකට මෙන්ම නිරෝගිමත් ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයකට ද කිසිසේත් හිතකර නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි.

ජනමාධ්‍ය වෘත්තියෙහි ප්‍රධාන මෙහෙවරක් වන තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජනමාධ්‍යවේදියා තම ප්‍රධාන මෙවලම ලෙස යොදා ගන්නේ ප්‍රශ්න නැගීමයි. එබඳු සාධාරණ හා වෘත්තියමය වටිනාකමකින් හෙබි ප්‍රශ්න මතු කිරීමේ දී කුපිතව ජනමාධ්‍යවේදියා නිහඬ කිරීමට බලවතුන් කරනු ලබන උත්සාහය අප දකින්නේ නිදහසේ තොරතුරු ගලා යාමේ ක්‍රියාවලියට එල්ල කරනු ලබන තර්ජනයක් ලෙස ය.

මෙහිදී අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ ආධාරකරුවන් ද විශේෂයෙන් එහි සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ද මෙම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය කටයුතුවලට බාධා කිරීම සඳහා තර්ජනාත්මකව මැදිහත් වන ආකාරය වාර්තා වී තිබේ. පහත් යෙදුම් සහ අසභ්‍ය වචන භාවිතා කරමින් තම ගේට්ටුවෙන් ඇතුළට නොඑන ලෙස අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන්ට තර්ජනය කරයි.

මහජන සුභසිද්ධියට ඉවහල් වන සිදුවීම් වාර්තාකරණයෙහි නියැලෙන මාධ්‍යවේදීන්ට මෙසේ බාධා කිරීම මහජන සුභසිද්ධියට බාධා කිරීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි.

මෙබඳු සිදුවීම් කිහිපයක්ම පසුගිය කාලය තුළ වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් නීතිය ඉටු නොවීම තවදුරටත් එම තත්ත්වය වර්ධනය වීමට හේතු වන බව පෙනෙන්නට තිබේ. එබැවින් මෙම සිදුවීමේ දී අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ ආධාරකරුවන් ද, එහි සේවයේ නියැළුණු පොලිස් නිලධාරීන් ද ක්‍රියා කළ ආකාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් සහ ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

සී. දොඩාවත්ත — කැඳවුම්කරු
දිලීෂා අබේසුන්දර — ලේකම්

නාගරීකරණය නිසා ඩෙංගු ව්‍යාප්ත්‍ය වැඩි වෙලා

ගං වතුරෙන් පීඩාවට පත් දිස්ත්‍රීක්කවල ඩෙංගු රෝගය පැතිරගියහොත් ඊට මුහුණදීමට සූදානම් බව. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නාගරීකරණය හේතුවෙන් මේ වන විට ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බස්නාහිර පළාත තුළ මෙවැනි තත්ත්වයක් දක්නට ලැබෙන බව ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.

ඩෙංගු මර්දන කටයුතු සඳහා රුපියල් කෝටි 07ක පමණ වටිකමින් යුත් ලොරි රථ 50ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා ගෙන ඒවා බෙදාහැරිම (10) පෙරවරුවේ සිදු කෙරුණු අතර ඊට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඩෙංගු රෝග මර්දනය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සිදු කළ නොහැකි කටයුත්තක් බවය.

ඩෙංගු මර්දනය සඳහා ජනතාවගේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගය ද අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

NLB හා DLB රවී යටතට

මුදල් අමාත්‍යාංශයට අයත්ව තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය (DLB) හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය. (NLB) මුදල් අමාත්‍යාංශයෙන් ඉවත්කර විදේශ කටයුතු අමාත්‍යාංශයට පවරා තිබේ. මෑතකදී සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාළව ආයතන ගැසට් කිරිමේදි මෙම වෙනද සිදුකර තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එයින් ඉවත්කර ඔහුට විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අතර එහිදි ඔහු ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලූ බව වාර්තා විය.

ළමුන් යොදා සිඟමන් යෙදිමේ වර්ධනයක්

ළමුන් යොදවා සිඟමන් යදින තත්ත්වයේ වර්ධනයක් පවතින බවත් එසේ නීතිවිරෝධීව කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවත් පොලීසිය පවසයි. ඒ අනුව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ මූලස්ථානය මගින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමතිය.

එසේම එම කාර්යාංශය 2017 මාර්තු මස සිට මැයි මාසය දක්වා ළමුන් යොදවා සිඟමන් යදින තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් 14ක් ක්‍රියාත්මක කර තිබුණි. එහිදී සිඟමන් යදින පිරිමි ළමුන් 11ක්, ගැහැණු ළමුන් 07ක් ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිත් කර තිබේ. එයින් 04 දෙනෙකු පරිවාස භාරයටත් 14 දෙනෙකු බැඳුම්කර මත දෙමාපියන්ටත් ලබා දී ඇත.

මේ අතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ 42ක් ඉදිරියේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එංගලන්ත ක්‍රීඩකයන් කැංගරුවන්ගේ සහ බංගලියන්ගේ ඉරණම විසදූ හැටි

ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ඔස්ටේ‍්‍රලියාවට ඊයේ (10) අහිමි වුණා.

ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 40කින් පරාජය වීමත් සමගයි.

ඒ අනුව “A” කාණ්ඩයේ බංග්ලාදේශය සහ එංගලන්තය මෙවර ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුකම් ලබා ගත්තා.

බංග්ලාදේශය ICC තරගාවලියක අවසන් පූර්ව වටයකට පිවිසි පළමු අවස්ථාව මෙයයි.

ඊයේ පැවති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දුවාර පනහේදී කඩුලු 09ක් දැවී ලකුණු 277ක් රැස් කළා.

මෙම තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ ජය තීරණය කෙරුණේ ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුවයි.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එංගලන්තය පන්දුවාර 40 යි පන්දු 02ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 240 ක් ලබා සිටියා.

ඒ අනූව එංගලන්තයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 40ක ජයක් හිමි වුණා. එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 102ක් රැස් කළ අතර ඔයින් මෝර්ගන් ලකුණු 87ක් රැස් කළා.

ඒ අනූව මෙවර “A” කාණ්ඩයෙන් තරග වැදුණු එංගලන්තය සහ බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුකම් ලබා ගත් අතර ඔස්ටේ‍්‍රලියාවට සහ නවසීලන්තයට මෙම අවස්ථාව අහිමි වීම කැපී පෙණුනා.

ඔස්ටේ‍්‍රලියාව මෙවර තරගාවලියේ දී මූලික වටයේ සහභාගි වූ තරග දෙකක්ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම විශේෂත්වයක්.

ඒ අනුව ඉකුත් 2015 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන්ට මෙවර ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීම කැපී පෙණුනා.

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුකම් ලැබීමේ තවත් තීරණාත්මක තරගයක් ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර අද (11) පැවැත්වෙනවා. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මෙවර ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුකම් ලබනු ඇති.