16 June 2017

උණ රෝහලේ ඩෙංගු රෝගීන් පිරෙයි / වැඩි රෝගීන් වෙනත් රෝහල්වලට

අයිඩීඑච් ජාතික බෝවන රෝග විද්‍යායතනය ඩෙංගු රෝගීන්ගෙන් පිරී පැවතීම හේතුවෙන් මින් ඉදිරියට ඩෙංගු රෝගීන් වෙනත් රෝහල් වෙත යොමු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිඛෙනවා.

ඒ අනුව එම රෝගීන් තලංගම, වෑතර, පිළියන්දල, කොළඹ ජාතික, දකුණු කොළඹ ශික්‍ෂණ, සහ උතුරු කොළඹ ශික්‍ෂණ යන රෝහල්වලට ඇතුළත් කිරීමට නියමිතයි.

බස්‌නාහිර පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන තලංගම, පිළියන්දල සහ වෑතර යන ප්‍රාදේශීය රෝහල් අයිඩීඑච් ජාතික බෝවන රෝග විද්‍යායතනයට සහ කොළඹ දකුණ ශික්‍ෂණ රෝහලට තාවකාලිකව අනුබද්ධ කරන ලෙසට ඇමැතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්‌ඩාර මහතාට උපදෙස්‌ දී තිඛෙනවා.

අයිඩීඑච් රෝහලට අනුබද්ධ කරනු ලබන රෝහල් සඳහා ඇඳන් 200 ක්‌ කඩිනමින් මිලදී ගැනීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම රෝහල් සඳහා වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු අනිකුත් කාර්ය මණ්‌ඩලය ද කඩිනමින් අනුයුක්‌ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජිත සේනාරත්න මහතා උපදෙස්‌ ලබාදුන්නා.

මේ වන විට අයිඩීඑච් රෝහලේ ඩෙංගු රෝගීන් 450 ක්‌ ප්‍රතිකාර ලබන බව ද, එම රෝගීන්ගෙන් බහුතරය බස්‌නාහිර පළාතෙන් පිටත රෝගීන් වීම විශේෂත්වයක්‌ බවද අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඉවතලන පොත් එකතුකර පුස්තකාලයක් ගොඩනැගූ කසළ එකතුකරන්නා

ප්‍රාථමික අධ්‍යාපනයෙන් ඔබ්බට යාමට වරම් නොලද කසල එකතු කිරීම ජීවිකාව කර ගත් කොලොම්බියානු ජාතිකයෙක් ඉවතලන පොත්පත් එකතු කර පුස්තකාලයක් නිර්මාණය කිරීමේ පුවතක් බොගෝටා අගනුවරින් වාර්තා වේ.

ජොසේ ඇල්බර්ටෝ ගුටියරස්ගේ පුස්තකාලය තුළ ඇති පොත් එකතුව විසි දහසකට අධිකය. ජොසේ පොත් එකතු කිරීම ආරම්භ කළේ ලියෝ තොල්ස්තෝයි විසින් රචිත ‘ඇනා කැරනිනා’ නවකතාවේ ඉවතලු පිටපතක් හමුවීමෙන් අනතුරුවයි.

ජොසේ සිය ප්‍රජා පුස්තකාලය සතු පොත් සෙසු පුද්ගලයන් වෙත නොමිලේ ලබා දෙයි. “මට පෙනුණා මිනිස්සු පොත්පත් කැලිකසල සමග විසි කර දමන බව. මම ඒ පොත් බේර ගත්තා” යනුවෙන් ඔහු කියා සිටියේය.

“පොත් රජු”


 සිය රැකියාවේ යෙදෙන ජොසේ අගනුවර ධනවතුන් වෙසෙන ප්‍රදේශවල ඇති කැලිකසල බහාලන තුළ වූ පොත්පත් එකතු කිරීම ආරම්භ කළ ජොසේට “පොත් රජු” ලෙස අන්වර්ථ නමක් ද පටබැඳිණි. එසේ තමන් එකතු කළ පොත් දුගී ජනතාව වෙසෙන ප්‍රදේශ වෙත ගොස් බෙදා දීමට තරම් ඔහු කාරුණික විය.

ඔහුගේ ප්‍රජා පුස්තකාලය හඳුන්වනු ලබන්නේ “වචනවල ශක්තිය” නමිනි. සිය දරුවන්ගේ පාඩම් කටයුතු සඳහා උපකාර කිරීමට අවශ්‍ය මව්පියන් ජොසේගේ පුස්තකාලය ප්‍රයෝජනයට ගනිති.

ඔහුගේ නිවස පොත්වලින් පිරී ඇති බැවින් දුගී ප්‍රදේශ හෝ පුස්තකාල පහසුකම් නොමැති දුරබැහැර ප්‍රදේශ වෙත ද එම පොත් ගෙන ගොස් දෙයි. “පොත් දෙන්න දෙන්න අප වෙත පැමිණෙන පිරිසත් වැඩි වෙනවා”

‘සාමයේ සංකේතයක්’


කොලොම්බියාවේ සාම ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග සටන් බිමෙන් ඉවත්වන කැරලිකරුවන් වෙත ද ජොසේ පොත් ලබා දෙයි. සාමාන්‍ය ජන ජීවිතයට හුරු වූ පසු රැකියාවක් සොයා ගැනීම සඳහා උපකාරී වන පොත්පත් ලබා ගැනීමට ෆාක් ගරිල්ලා සංවිධානයේ සාමාජිකයෙක් ඔහුගේ සහාය පතා තිබේ. “පොත් මාව වෙනස් කළා. මම හිතනවා පොත් කියන්නේ බලාපොරොත්තුවේ සංකේතයක්. පොත් කියන්නේ සාමයේ සංකේතයක්” ජොසේ පවසයි.

පනස් හැවිරිදි වියේ පසු වන “පොත් රජු” කලකට පෙර තමන්ට අතපසු වූ පාසල හැර යාමේ විභාගයට පෙනී සිටීමට නියමිත බවද වාර්තා වේ.

(උපුටාගැනීම – බීබීසී)

ලොතරැයි මණ්ඩලය එක් නිෂ්චිත අමාත්‍යාංශයකට අයත් විය යුතු බවට නියමයක් නැහැ- අමාත්‍ය රාජිත

ලොතරැයි මණ්ඩලය එක් නිෂ්චිත අමාත්‍යාංශයකට අයත් විය යුතු බවට නියමයක් නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අතීතයේ සිටම විවිධ අමාත්‍යාංශ මඟින් ලොතරැයි නිකුත් කළ බවත්,වෙළෙඳ අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ද එසේ ලොතරැයි අයත්ව තිබූ බවත් සඳහන් කරන ඇමැතිවරයා, එහෙයින් විදේශ අමාත්‍යාංශයේ විෂය පථයට ලොතරැයි මණ්ඩලය අයත්වීම ගැටලුවක් විය නොහැකි බවද කියයි. එසේම ලොතරැයිය කුමන අමාත්‍යාංශයට ගැලපේදැයි කිව නොහැකි බවද ඇමැතිවරයා සඳහන් කරයි.

ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් මතු කැරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


ටැංකි සුද්දා තහනම් කරයි

විසිතුරු මසුන් සමග ඇතිකරන ටැංකි සුද්දා නමැති මත්ස්‍යයා තහනම් කිරීමට නාරා ආයතනය පියවර ගෙන තිබෙනවා. මෙම මත්ස්‍යයා මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට බරපතල තර්ජනයක් වී ඇති අතර මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ව්‍යාප්ත කිරීමට දිරිදීමක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි එම ආයතනය පවසන්නේ.

විසිතුරු මසුන් ඇතිකරන සෑම නිවසකම පාහේ ඇති කරන ටැංකි සුද්දා ප්‍රමාණයෙන් විශාල වනවිට ඇල මාර්ගවලට හෝ ජලාශවලට මුදා හැරීමටයි බොහෝ දෙනා කටයුතු කරනවා.ටැංකි සුද්දා මිරිදිය මත්ස්‍ය පැටවුන් මෙන්ම බිත්තර ද සම්පූර්ණයෙන්ම විනාශකර දමනවා. මෙම සත්ත්වයා ජලජ ජීවින්ගේ පරිසර සමතුලිතතාව බිඳදැමීමට සෘජුව බලපා තිබෙනවා. අනෙකුත් ජලජ ජීවීන්ගේ පැවැත්මට ද මෙම මත්ස්‍යයාගෙන් එල්ලවී ඇත්තේ බරපතල තර්ජනයක්. එම කරුණු සැළකිල්ලට ගනිමින් මෙම මත්ස්‍යයා ඇතිකිරීම තහනම් කිරීමටයි නාරා ආයතනය තීරණයකර තිබෙනවා.

බලය ලබා ගන්න ජාතිවාදය අවුස්සනවා

බලය ගිලිහුණු ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය ලබා ගැනිම සඳහා ජාතිවාදය යොදා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

අනුරාධපුරය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ජාතිවාදයට හසු නොවන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර ඇතැම් ආගමික ස්ථාන කඩ සාප්පු ව්‍යාපාරික ආයතන සහ නිවාස ඉලක්ක කරගෙන මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ සිදුවිම් පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ප්‍රණ්ඩත්ව වැපිරිමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් සිදු කරන වෛරී ප්‍රකාශන සහ හිංසාකාරි ක්‍රියා තරයේ හෙළා දකින බව කැබිනට් මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා ප්‍රකාශ කළේය.

ඕනෑම ආගමික හා ජනවාර්ගික කොටසක් ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලවිමට කටයුතු කරන පුද්ගලයින්ට රටේ නීතිය අනුව කටයුතු කිරිමට පියවර ගන්නා ලෙස බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ දැක් වෙයි.

මෙම අවස්ථාවේදී සන්සුන්ව සහ සාමකාමිව කටයුතු කිරිම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හා ආගමික නායකයින්ට කෘතවේදීත්වය පල කරන බවද කැබිනට් මණ්ඩලය පවසයි.

ශ්‍රී ලාංකීය ජාතිය කිසිවිටෙකත් යළි ගැටුම්කාරී අතීතයකට පිවිසිමට ඉඩ නොතබන බවට සහතික වන බව කැබිනට් මණ්ඩලය අවධාරණය කර ඇත.

රුසියානු ගුවන් ප්‍රහාරකින් ISSI නායකයා අවසන් ගමන් යයි?

රුසියාව ඒල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අයි. එස්. අයි. එස්. සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මේ පිළිබඳව තොරතුරු පරීක්ෂා කරන බවයි. රුසියාව සිරියාවේදි එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්තවාදී නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිරියාවේ රඛා ප්‍රදේශයට පසුගිය මැයි 28 දා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්ත නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාවේ ස්පුට්නික් පුවත් සේවයද මේ බව තහවුරු කර තිබෙනවා.

මැයි මාසයේදී රුසියානු ගුවන් හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තයින් 330ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඒ අතර එම සංවිධානයේ ඉහළ පෙළේ නායකයින්ද සිටින බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනු ලැබුවා.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැති ස්ථානයක් ඉල්ලක කර ගනිමින් ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

ආන්දෝලනාත්මක ප්‍රේමවතී මනම්පේරි නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු මියයයි

මෙරට ඉතිහාසයේ ආන්දෝලනාත්මක නඩුවක් වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂිකරුවකු සහ වනජීවී  දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ක්ෂේත්‍ර නිලධාරියකු වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා ඊයේ (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.

කතරගම රූමතිය යන නමින් හැඳින්වු ප්‍රේමවතී මනම්පේරී ඝාතනය සියැසින් දුටු කිහිපදෙනාගෙන් අයකු ලෙස සැලකෙන එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා මියයනවිට 86 වැනි වියේ පසුවිය.

තෙවැනි ශ්‍රේණියේ නිලධාරියකු ලෙස වසර 1956 දී වනජීවි සංරක්ෂණ දෙපාර්මේන්තුවේ සේවයට එක් වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා විශ්‍රාම යනවිට වනජීවි සංරක්ෂණ දෙපාර්මේන්තුවේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙක් විය.

ප්‍රේමවතී මනම්පේරිගේ පියා එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා යටතේ සේවය කළ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයකු බව ද වාර්තා වනවා.

70 සහ 80 දශකවලදී යාල වන උද්‍යාන භාරකරු ලෙස දෙවරක් කටයුතු කර තිබෙන එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා ඔලිම්පික් පදක්කම්ලාභී ඩන්කන් වයිට් මහතාගේ ඥාති සොහොයුරෙක් ද වනවා.

ට්‍ර‍ම්ප්ට වැඩේ දෙන්න ‘රොක්‘ 2020දී රෙස්ලිං පිටියෙන් දේශපාලන පිටියට ?

සුපිරි හොලිවුඩ් නලු ඩ්වේන් ජොන්සන් හෙවත් බොහෝ දෙනා දන්නා ‘රොක්‘ මීලඟ ඇමරිකානු ජනාධිපතිවරණය ඉදිරිපත්වීමේ සූදානමක් පිළිබඳව විදෙස් මාධ්‍ය අණාවරණය කරනවා.

ඔහු පසුගිය සතියේ කළ ප්‍ර‍කාශයක් නිසාවෙන් බොහෝ දෙනා ඒ පිළිබඳව සැක සංකා මතුකරගෙන තිබෙනවා.

මේ පුවතෙහි සත්‍ය අසත්‍යතාව තවමත් නිශ්චිතව තහවුරු කළ නොහැකි වුවත් පසුගිය සතියේ මේ සුපිරි තරුව ප්‍රකාශකර ඇති කාරණාව පිළිබඳව බොහෝදෙනාගේ අවධාන යොමුව තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ නැවත ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2020දී වන අතර, ඒ සඳහා තව අවුරුදු 03 ½ කාලයක් ඇති බවයි.

ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ඔහු සඳහන් කර තිබේ. මේ ප්‍රකාශයෙන් පසු බොහෝදෙනා සඳහන් කර ඇත්තේ, ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව පරාජය කළ හැකි බවයි. එවැනි මත අද පළ වුවත්, 2020 දී කුමක් සිදුවේදැයි අනාවැකි කිව නොහැකි බවයි තවත් සමහරුන් ප්‍රකාශ කරන්නේ.

ව්‍යාජ සිවුරට, රණවිරු ලේබලයට, දූෂිත රාජ්‍ය නිලධාරි මාෆියාවට බිය නම් ඒ යහපාලකයන් දෙන්නේ රාජපක්ෂලාට තල්ලුවකි


යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංගය වන්නේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයත් සමග සසඳන විට, බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ බිහි වී තිබීමයි. එහෙත් රටක් වශයෙන් පොදුවේ ලබා ගත් එම සමස්ත ජයග්‍රහණය තුළ, විශේෂිත ආගමික සහ වාර්ගික ප්‍රජාවකගේ නිදහස අහිමිව යන සැටි බලා සිටීමට අද සිදුව තිබීම උත්ප්‍රාසාත්මක ය.

දැන් සුදු වෑන් නැති බව ඇත්තය. එසේම, මහ මගදී “නන්නාඳුනන්නෙකු“ විසින් ඝාතනය වීමේ හෝ පැහැරගෙන යනු ලැබීමේ අවදානමක් නැති බවත් ඇත්තය. ඒ නිසා, ආණ්ඩුව කෙරෙහි වන ඕනෑම විවේචනයක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමේ නිදහසක් සහ හැකියාවක් අද ඕනෑම කෙනෙකුට තිබේ. එහෙත් ඒ අතර, විශේෂිත ආගමික ප්‍රජාවක් මේ යහපාලන කාලයේ ජීවත් වන්නේ බියෙන් සහ සැකෙන් නම්, අප ලබා ගත්තේ යැයි කියන ඉහත සඳහන් නිදහසේ අරුතක් තිබේද?

ගලගොඩඅත්තේ ඥානසාර කලක් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ ආශීර්වාදය සහ අනුග්‍රහය යටතේ මේ රට ගිනි තිබ්බේය. එදා පොලීසිය සහ අධිකරණය වැනි, නීතියට අදාළ අංශ රාජපක්ෂලාගේ බලය ඉදිරියේ නිරුත්තර වූහ. අසරණ වූහ. ඒ ගින්න ඉදිරියේ මුළු රටම දැවී යාමට මත්තෙන්, රටේ වාසනාවට බුද්ධිමත් ජනතාව මහින්ද රාජපක්ෂට යස පාඩමක් උගන්වමින් ඔහුව ගෙදර යැවූහ. එසේ නොවන්නට, ගලගොඩඅත්තේ ඥානසාර වැනි ෆැසිස්ට් උන්මත්තකයන්ගේ උසිගැන්වීම් මත දඬුවමට ලක්විය හැකිව තිබුණේ මුළු මහත් රටම ය.

අද පොලීසිය සහ අධිකරණය පාලක බලධාරීන් විසින් මෙහෙයවනු ලබන බවට නිශ්චිත සාක්ෂි නැත. එහෙත් මේ රජයේ ඇතැම් පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් විවිධ අවස්ථාවල පොලීසියට ඇඟිලි ගසන බවට ආරංචි තිබේ. හිටපු රජයේ අකටයුතුකම් පිළිබඳව පොලිස් විමර්ශන අවසන් කොට ඇති සිදුවීම් දුසිම් ගණනාවක් වසරකටත් වැඩි කාලයක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වී තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදී කළා සේම දැනුත් ප්‍රසිද්ධියේ නීතිය උල්ලංඝණය කරයි. පුලූවන් නම් තමන්ව අත්අඩංගුවට ගන්නැයි පොලීසියට ප්‍රසිද්ධියේ අභියෝග කරයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත විභාග වන නඩුවකට පැමිණීම හිතාමතාම ඔහු මගහරිනවා පමණක් නොව, මුළු රටම හිනස්සවන තරමේ නිදහසට කරුණු අධිකරණයට නොපැමිණ සිටීම සඳහා ඉදිරිපත් කරයි. වෛරී භාෂණය සහ වර්ගවාදී උසිගැන්වීම් මත අත්අඩංගුවට පත්වීම මගහරිමින් හැංගී සිටින අතරේ, අසනීපයෙන් රෝහල්ගතව සිටිතැයි වරක් ඔහු අධිකරණයට දන්වා එව්වේය. අධිකරණයට පැමිණීමට නොහැකි තරමට ඔහු පෙලූණු රෝගය කුමක්ද, ඒ සඳහා පැය කීයක් රෝහල්ගතව සිටියේද, ප්‍රතිකාර ලබනවා යැයි කියන රෝහල කුමක්ද ආදී කිසි තොරතුරක් පිළිබඳ පෙරලා එහිදී ප්‍රශ්න නොකෙරුණි. ඊළඟට, ජීවිත තර්ජනයක් ඇති නිසා අධිකරණයට නොපැමිණෙමැයි ඔහු අධිකරණයට දන්වා සිටියේය. බන්ධනාගාරයේදී තමාව ඝාතනය කිරීමේ අවදානමක් ඇති බවට වන ප්‍රබන්ධය මාධ්‍යය හරහා විසිරුවා හැර, බන්ධනාගාරගත වීමෙන් වැළැකී සිටීමේ සෑම උපාමාරුවක්ම යොදා ගැනීම අනිත් පැත්තෙන් ඔහු යුක්ති සහගත කර ගනී.

ව්‍යාජ සිවුරට ඇති බිය

මේ කියන හේතු මත මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට කිසි දවසක අධිකරණය මගහැර සිටිය හැකි වේද? සාමාන්‍ය පුරවැසියෙකු සම්බන්ධයෙන් අධිකරණය එක දිගටම මෙවැනි හේතුවාචකයන්ට අවසර දේවිද? සාමාන්‍ය පුරවැසියෙකු අත්අඩංගුවට ගැනීම ලංකාවේ පොලීසියට මෙතරම් කල් යන තරමේ අසීරු කටයුත්තක් විය හැකි තත්වයක් ඇත්තෙන්ම තිබිය හැකිද?

පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය වැනි මහජන ආයතනවලට, යම් අදිසි හස්තයක පාලනය යටතේ කටයුතු කිරීමට තවමත් බල කෙරෙමින් ඇති බව පැහැදිළි ය. අල්ලස් හෝ දූෂණ කොමිසම අද වන විට වසා දමා ඇත්දැ යි සැක සිතෙන තරමට නිශ්ශබ්ද ය. මේ රජය මගින් විශේෂයෙන් පිහිටුවන ලද දූෂණ විරෝධී කමිටු කාර්යාංශය වසා දැමීමට නියමිත බව කියැවේ. ආණ්ඩුවට දැන් වසර දෙකකට වැඩි කාලයක් ගතව ඇතත්, පැවති පාලන සමයේ චෝදනාවට ලක් වූ කිසි සොරකමක්, දූෂණයක් හෝ අපරාධයක් සම්බන්ධයෙන් එක් කෙනෙකු හෝ හිරේකට ගොස් නැත. එසේ වීමට බලපාන අවශේෂ හේතු සියල්ලට අමතරව, ඊට ප්‍රධාන වශයෙන් බලපාන තුන් බියක් ද තිබේ. එනම්, සිවුර, හමුදා නිල ඇඳුම සහ රාජ්‍ය සේවය කෙරෙහි මේ ආණ්ඩුව දක්වන අනියත බියයි.

මේ රටේ සංඝයා වහන්සේලා පහළොස් දහසක් පමණ සිටිතැයි කියැවේ. ඒ අතරින්, ගලගොඩඅත්තේ ඥානසාර මෙන් බුද්ධ ධර්මයට සහ බුදුන් වහන්සේටත් නිගා දෙමින් අශීලාචාර ලෙස හැසිරෙන භික්ෂුන් සංඛ්‍යාව අතලොස්සක් බව අවිවාදිත ය. එසේම මෙවැනි අල්පයක් භික්ෂූන් ගැන සමස්ත සංඝ සාසනය පොදුවේ ගත් විට සිටින්නේ බලවත් සංවේගයෙනි. මොවුන්ගේ නොසැබි ක්‍රියාකාරකම් නිසා සංඝ සමාජයට පොදුවේ එල්ල වන අපවාදය ගැන ඔවුහු හොඳාකාරව දනිති. ඇත්ත වශයෙන්ම, ගලගොඩඅත්තේ ඥානසාර වැන්නෙකුට එරෙහිව බෞද්ධයන් මේ අවස්ථාවේ පෙනී සිටිය යුත්තේ, හුදෙක් මේ රටේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාව ආරක්ෂා කර ගැනීමටත් වඩා, විශේෂයෙන් බුද්ධ ධර්මය සහ සාසනය මෙවැනි අලජ්ජි භික්ෂූන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ය. අන්‍ය මත ඉවසීමට සහ අන්‍යාගම්වලට ගරු කිරීම ප්‍රමුඛ තන්හි ලා බුදුන් වහන්සේ දේශනා කොට ඇති මූලික ධර්මයම මෙවැනි අසංවර නොසන්ඩාල ක්‍රියා නිසා හෑල්ලූවට ලක්වෙයි. එබැවින්, හුදෙක් “සිවුර“ නැමැති සංකේතය ඉදිරියේ එවැන්නන් දමනය කිරීමට යමෙකු පස්ස ගැසීම යනු, එම සංකේතය අර්ථවත් කරන දහමට පස්ස හැරවීමක් වන බව බලධාරීන් අවබෝධ කර ගත යුතුව තිබේ.

සිවුර වරෙක එල්ලූම් ගස් ගොස් තිබේ. ඒ, තල්දුවේ සෝමාරාම නැමැත්තාව, බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු කිරීමෙනි. තවත් වරෙක සිවුර ජීවිතාන්තය දක්වා හිරේට යවා තිබේ. ඒ, මාපිටිගම බුද්ධරක්ඛිත නැමැත්තා බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු කිරීමෙනි. මේ රටේ සංඝ සාසනය හෝ බෞද්ධයන් එවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම ගැන එදා පාරට බැස්සේ හෝ කැරලි ගැසුවේ හෝ නැත. හේතුව, යුක්තිය සහ අයුක්තිය අතර වෙනස, ධර්මය සහ අධර්මය අතර වෙනස හඳුනා ගැනීමට තරම් මුහුකුරා ගිය සමාජයක් අද මෙන්ම එදාත් ලංකාවේ පැවති බැවිනි.

රණවිරු ලේබලයට ඇති බිය

ලංකාවේ ත්‍රිවිධ හමුදාව තුන් ලක්ෂයකට ආසන්න වෙයි. එම ලක්ෂ සංඛ්‍යාත සාමාජිකයන් අතරින් සැබෑ රණ විරුවා බිහි වන්නේ, රටේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලද අසහාය මෙහෙවරක් තුළිනි. මේ වන විට, අපරාධ සහ වෙනත් නොපනත්කම් මත චෝදනාවන්ට ලක්ව ඇති හමුදා සාමාජික සංඛ්‍යාව උපරිම වශයෙන් තිහ හතළිහකට වැඩි නැත. ත්‍රිවිධ හමුදාවේ අති බහුතරය, නීතියෙන් තමන් වෙත පැවරී ඇති රාජකාරි ඉටු කළ සහ ඉටු කරන පිරිසකි. එහෙත් අතලොස්සක් අපරාධකරුවන්, නිල ඇඳුමක් ලා ගත් පමණින් ආරක්ෂා කරනු ලැබීම, ලක්ෂ සංඛ්‍යාත සැබෑ රණ විරුවන්ගේ නාමයට කරන අවමානයකි.

1971 දී හමුදා නිලධාරියෙක් එල්ලූම් ගස් ගියේය. ඒ, ප්‍රේමවති මනම්පේරි නැමැති තරුණියව දූෂණය කොට මරා දැමීම නිසා ය. ‘රණවිරු‘ ලේබලයක් ලෙලවා අපරාධකරුවාව එදා ආරක්ෂා කෙරුණේ නැත. ඊට වඩා බොහෝ මෑතකදී, එනම් 1990 දශකයේ දී, ක්‍රිෂාන්ති කුමාරස්වාමි නැමැති දෙමළ ජාතික පාසල් දැරිය පැහැරගෙන ගොස්, දූෂණය කොට, මරා දැමීම ගැන හමුදා නිලධාරීහූ ගණනාවක් එල්ලූම් ගස් ගියහ. එදා පාලකයන් හෝ නීතිය, මේ අපරාධ ඉදිරියේ ‘රණවිරු‘ ලේබලය එසැවූයේ නැත. ඔවුන් එල්ලූම් ගස් ගියා කියා මහජනතාව ‘රණවිරුවන්‘ ආරක්ෂා කර ගැනීමට කියා පාරට බැස්සේ ද නැත. 
 
මේ නුදුරු ඉතිහාසයෙන් පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නොව, නීතිය සහ අධිකරණය, සරම සහ කලිසම ඉදිරියේ සේම, සිවුර සහ හමුදා නිල ඇඳුම ඉදිරියේත් කෙලින් සිටීමට සමත්ව ඇති බවයි.

රාජ්‍ය සේවයේ දූෂිතයාට ඇති බිය
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, මීට පෙර නොපැවති තවත් බියක් සමාජගත කොට තිබේ. එය, රාජ්‍ය නිලධාරියා පිළිබඳ මිථ්‍යාව වටා ගොඩනගා ඇත. මහින්ද රාජපක්ෂ පාලනය එතරම් දූෂිත වුණේ රාජපක්ෂ පවුලේ සහ හෙංචයියන්ගේ දූෂිත භාවය නිසා පමණක්ම නොව. ඔවුන්ට යහතින් දූෂණයේ යෙදීමට හැම අතකින්ම පහසුකම් සැපයූ රාජ්‍ය සේවයක් ද එදා පැවති නිසා ය. එබැවින් රාජපක්ෂ දූෂිත තන්ත්‍රයට එරෙහිව අද ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් තුළ මේ කියන ඉහළ රාජ්‍ය නිලධර තන්ත්‍රයේ යම් පිරිසක් චුදිතයන් බවට පත්වෙති. එහෙත් එය ද, පහළොස් ලක්ෂයක් වන රාජ්‍ය සේවයේ සාමාජික සංඛ්‍යාවෙන් ඉතා අතලොස්සකි. මොවුන්ව නීතිය ඉදිරියට පැමිණවීම තුළින් රාජ්‍ය සේවය අඩපණ වෙතැයි යන මහා බොරුව ගොඩනගා ඇත්තේ ඒ අතලොස්ස විසිනි. යහපාලන නායකයන් අද වන විට ඒ භීතියේත් ගොදුරක් බවට පත්ව ඇත.

ගලගොඩඅත්තේ ඥානසාර වැනි භික්ෂූන්, රාජපක්ෂ කාලයේ නොයෙක් අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය සේවයේ දූෂිත ඉහළ නිලධාරීන් යන මේ පාර්ශව තුනම එක දිගටම මෙහෙයවනු ලැබූයේ රාජපක්ෂවාදීන් විසිනි. ඔවුන් සියල්ලන්ව මොන අවසරයක් යටතේ හෝ ආරක්ෂා කිරීමට යහපාලන නායකයන් ඉදිරිපත් වීම යනු, රාජපක්ෂලාගේ අනාගත දේශපාලනික ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අගනා තල්ලුවක් දීමට මෙහා දෙයක් නොවේ.

| ගාමිණී වියන්ගොඩ


පසු සටහන :

මෙහි භාවිතා කර ඇති සේයාරුවේ අයිතිය ප්‍රකට මාධ්‍ය ඡායාරූපවේදී (Photo Journalist) ඉෂාර කොඩිකාර මහතා සතුය. එය මෙහි පළකර ඇත්තේ ඔහුට කිසිදු ගෙවීමක් සිදුනොකර ඔහුගේ ලිඛිත අවසරයක් නොමැතිව බවද ඒ මහතාට ගෞරව පිණිස සඳහන් කරමු. 

ඩෙංගු මර්ධනයට වෙලාවක් නියම කෙරෙයි

ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (16) සිට සතියේ සෑම සිකුරාදා දිනකම පැයක කාලයක් රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වනවා. ඒ, ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේයි.

උදෑසන 9 යි 30 සිට 10යි 30 දක්වා වූ පැයක කාල සීමාව තුළ මෙම ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. එලෙස පිරිසිදු කෙරෙන නිවාස, රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත‍්‍රිවිධ හමුදා සාමාජික කණ්ඩායම් පැමිණෙනු ඇති. ඩෙංගු මදුරු කීටයන් හමුවන පරිශ‍්‍ර දුමායනය කිරීම ද මේ යටතේ සිදු කෙරෙනවා.

මීට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි තුන් මාසික ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කෙරෙනවා.

කටාර් අර්බුදය අතරමැද F-15 ඇමෙරිකානු යානා ගිවිසුමක්

 කටාර් රාජ්‍යය F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇ.ඩො.බිලියන 12ක (රු.බිලියන 1800ක පමණ) දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා තිබේ.

සාමාන්‍යයෙන් ප්‍රහාරක යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙවැනි ගනුදෙනු ලෝකයේ කොතෙකුත් සිදුවෙතත්, මෙම ගනුදෙනුව වඩාත් විශේෂ වී ඇත්තේ සෞදිය හා ඇමෙරිකාව ප්‍රමුඛව ගල්ෆ් කලාපය තුළින් පසුගියදා කොන්කරනු ලැබූ කටාර් රාජ්‍යය සමග ඇමෙරිකාවම ගිවිසුමකට එලඹ ඇති බැවිනි.

එහිදී, අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානී ජිම් මාටිස් සහ කටාර් රාජ්‍යයේ නියෝජිතයා වොෂිංටන් නුවරදී හමුවී සාකච්ඡා කිරීමෙන් පසුව ගනුදෙනුව පිළිබඳ අවසන් නිගමනයකට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.

විශේෂයෙන්ම, කටාර් රාජ්‍යය ත්‍රස්තවාදීන්ට ඉතා ඉහළ මට්ටමින් අනුග්‍රහය දක්වන රාජ්‍යයක් ලෙසත්, ඔවුන් ඉරානය සමග සබඳතා පවත්වමින් කලාපය අස්ථාවර කරන බවත් හුවා දක්වමින් සෞදිය ප්‍රමුඛව ගල්ෆ් කලපයේ රටවල් කිහිපයක් කටාරය සමග වූ සියලු සබඳතා අත්හරිනු ලැබීය.

මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද කටාරය වෙත ඇඟිල්ල දිගු කළ බව නොරහසකි. කෙසේ වෙතත්, එම සිදුවීමෙන් දින කිහිපයකට පසුව යළිත් මෙවැනි අවි ආයුද ගිවිසුමක් පිළිබඳ කතාව ලෝක පුවත් සේවාවල උණුසුම් පුවතක් බවට පත්ව තිබේ.

ලෝක දේශපාලනයේ න්‍යාය පත්‍රය බොහෝ කරුණු කාරණා සමග බැඳී පවතින බවත්, එය ලෝකය දෙස මතු පිටින් බැලීමෙන් විග්‍රහ කරගත නොහැකි බවත් තවදුරට පැහැදිලි වන්නේ ඇමෙරිකාව කටාර් රාජ්‍ය සමග මෙම ගිවිසුමට එලඹීමට දින කිහිපයකට පෙර සෞදි අරාබිය වෙත ඇ.ඩො.බිලියන 100කට අධික වටිනාකමකින් යුතු යුද අවි ලබාදීම සඳහා ගිවිසුමකටද එලඹ ඇති බැවිනි.

ඉන්දියාවට කඩුළු 09ක ජයක්

රෝහිත් ශර්මා (නොදැවී 123) සහ විරාට් කෝලිගේ (නොදැවී 96) විශිෂ්ට පිතිහරඹය නිසා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකරගත් ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. මෙම තරගය බර්මින්හැම්හිදී ඊයේ (15 වැනිදා) පැවැත්විණ.

ජයග්‍රහණය සදහා ලකුණු 265 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 40.1 කදී කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. දෙවැනි කඩුල්ල සදහා පන්දු 158 කදී ලකුණු 178 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට රෝහිත් ශර්මා සහ විරාට් කෝලී සමත්වූහ.

බංග්ලාදේශය
ටමීම් ඉක්බාල් – ප.ජාදව් 70
සෞම්‍ය සර්කාර් – ප.කුමාර් 0
සබීර් රහ්මන් – ඇ.ජදේජා ප.කුමාර් 19
මුෂ්ෆීකූර් රහීම් – ඇ.කෝලී ප.ජාදව් 61
ශකීබ් අල් හසන් – ඇ.දෝනී ප.ජදේජා 15
මහමුදුල්ලා – ප.බුම්රා 21
මොසැඩෙක් හුසේන් – ඇ. සහ ප.බුම්රා 15
මෂ්රෆී මොර්ටසා – නොදැවී 30
ටස්කින් අහ්මඞ් – නොදැවී 11
අතිරේක (පා-8 , ව-7 , නි-2 , ද.ල- 5) 22
එකතුව ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 264
කඩුලු වැටීම
1-1 (සෞම්‍ය සර්කාර්), 2-31 (සබීර් රහ්මන්), 3-154 (Tටමීම් ඉක්බාල්), 4-177 (ශකීබ් අල් හසන්), 5-179 (මුෂ්ෆීකූර් රහීම්), 6-218 (මොසැඩෙක් හුසේන්), 7-229 (මහමුදුල්ලා)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
මස්ටෆිසූර් රෙහ්මාන්, රුබෙල් හුසේන්.
පන්දු යැවීම
බුවනේෂ් කුමාර් 10-1-53-2 ව-1
ජස්ප්‍රීට් බුම්රා 10-1-40-2
රවිචන්ද්‍රන් අශ්වින් 10-0-54-0 ව-3
හර්දික් පාණ්ඩ්‍යා 4-0-34-0 ව-2, නි-2
රවින්ද්‍ර ජදේජා 10-0-48-1
කේදර් ජාදව් 6-0-22-2 ව-1
ඉන්දියාව
රෝහිත් ශර්මා – නොදැවී 123
ශිකර් ධාවන් – ඇ.මොසැඩෙක් හුසේන් ප.මෂ්රෆී මොර්ටසා 46
විරාට් කෝලී – නොදැවී 96
අතිරේක 0
එකතුව ඕවර 40.1 කදී කඩුල්ලක් දැවී 265
කඩුලු වැටීම
1-87 (ධාවන්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
යුවරාජ් සිං, හර්දික් පාණ්ඩ්‍යා, මහේන්ද්‍ර සිං දෝනී, කේදර් ජාදව්, රවින්ද්‍ර ජදේජා, බුවනේෂ් කුමාර්, රවිචන්ද්‍රන් අශ්වින්, ජස්ප්‍රීට් බුම්රා.
පන්දු යැවීම
මෂ්රෆී මොර්ටසා 8-0-29-1
මස්ටෆිසූර් රෙහ්මාන් 6-0-53-0
ටස්කින් අහ්මඞ් 7-0-49-0
රුබෙල් හුසේන් 6-0-46-0
ශකීබ් අල් හසන් 9-0-54-0
මොසැඩෙක් හුසේන් 2-0-13-0
මහමුදුල්ලා 1-0-10-0
සබීර් රහ්මන් 1.1-0-11-0
පන්දු 129 කදී හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් නොදැවී ලකුණු 123 ක් රැස්කළ රෝහිත් ශර්මා සිය 11 වැනි එක්දින ශතකය පන්දු 111 කදී වාර්තා කළ අතර විරාට් කෝලී සිය 42 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 42 කදී වාර්තා කිරීමට සමත්විය. ජයග්‍රහණය තහවුරු කරගන්නා තෙක් කඩුල්ලේ රැඳී සිටි කෝලී පන්දු 78 කදී හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 96 ක් ලබාගත් නමුත් ශතකය ලබාගැනිමට උත්සහයක් නොදැරූ අතර තරගය ජයගැනීමට පමණක් අවධානය යොමු කළේය.

මෂ්රෆී මොර්ටසාගේ පන්දුවක් හමුවේ මොසැඩෙක් හුසේන් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 46 කට දැවී ගිය ශිකර් ධාවන් පළමු කඩුල්ල සදහා රෝහිත් ශර්මා සමගින් පන්දු 88 කදී ලකුණු 87 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය. ශිකර් ධාවන් තරග 4 කදී ලකුණු 317 ක් රැස්කරමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්වී ඇත.

ශූරයන්ගේ කුසලාන තරග 9 කට සහභාගිවී ඇති ධාවන් එහිදි ලකුණු 680 ක් රැස්කරමින් ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කරමින් සවුරව් ගංගුලි තබාතිබූ වාර්තාව බිඳ හෙළිමට සමත් වූයේය. ඊට අමතරව රෝහිත් ශර්මා සමගින් එක්ව ශූරයන්ගේ කුසලාන තරග 9 කදී ශතක සම්බන්ධතා 4 ක් සහ අර්ධ ශතක සම්බන්ධතා 3 ක්ද සමගින් ලකුණු 766 ක් රැස්කරමින් වැඩිම ලකුණු සම්බන්ධතා පැවැත්වූ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමටද ධවාන් සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් රැස්කිරීමට සමත් විය. මැද පෙළ පිතිකරුවන්ගෙන් බංග්ලාදේශ කණ්ඩායමට බලාපොරොත්තු වූ තරමින් ලකුණු එක්නොවීම හේතුවෙන් අටවැනි කඩුල්ල සදහා පන්දුවට පහරදුන් නායක මෂ්රෆී මොර්ටසාට සහ ටස්කින් අහ්මඞ්ට වැඩි බරක් ඇදීමට සිදුවිය. මෂ්රෆී මොර්ටසා සහ ටස්කින් අහ්මඞ් අටවැනි කඩුල්ල සදහා පන්දු 30 කදී ලකුණු 35 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූවද ලකුණු 300 සීමාව වෙත ආසන්න වීමට තරම් පන්දු සංඛ්‍යාවක් ඔවුනට ඉතිරි වී නොතිබිණ.

ටමීම් ඉක්බාල් සිය 38 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 62 කදී වාර්තා කළ අතර කේදර් ජාදව්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවියන විට පන්දු 82 කදී ලකුණු 70 ක් රැස්කර සිටියේය. ටමීම්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර හතක් ඇතුළත්විය. කේදර් ජාදව්ගේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 61 ක් රැස්කර සිටි මුෂ්ෆීකූර් රහීම් දැවී ගියේ විරාට් කෝලී අතට උඩපන්දුවක් දෙමිනි. පන්දු 85 කට මුහුණදුන් මුෂ්ෆීකූර් රහීම්ගේ ඉනිමට හතරේ පහර හතරක් ඇතුළත්වූ අතර සිය 26 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 61 කදී ලබාගැනීමට හෙතෙම සමත් විය.

පළමු කඩුලු දෙක ලකුණු 36 ක් තුළ දැවීයාමත් සමගින් ටමීම් ඉක්බාල් සහ මුෂ්ෆීකූර් රහීම් දෙවැනි කඩුල්ල සදහා පන්දු 127 කදී ලකුණු 123 ක සම්බන්ධතාවයක් ගොඩනැගමින් බංග්ලාදේශ ඉනිම ගොඩනැගීමට සමත් වූහ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය ලබන ඉරිදා (18 වැනිදා) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඔෟෂධ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළට

 ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන ලියාපදිංචි කිරීමේදී අය කරන ගාස්තු (14දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සංශෝධනය කළ බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන ලියාපදිංචි ඉල්ලුම් පත්‍රය ලැබීමෙන් පසු එය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරනතුරු අය කරන ගාස්තු මෙහිදී සංශෝධනය කර ඇති අතර, බාහිර පාර්ශ්වවලින් විශේෂඥ දැනුම ලබාගැනීමේදී ගෙවීමට සිදුවන වියදම්ද ඊට ඇතුළත් කර ඇති බවයි.

ඒ අනුව, ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනයේ යෙදෙන දේශීය සහ විදේශීය සමාගම් අදාළ ගාස්තු ඇමෙරිකානු ඩොලර්වලින් හෝ ඊට අනුරූප ශ්‍රී ලංකා මුදල්වලින් ගෙවිය යුතු බවද පැවසෙයි.

කෙසේවුවද, අදාළ ගාස්තු සංශෝධනය පිළිබඳ 0112695173 යන දුරකථන අංකය ඔස්සේ ජාතික ඖෂධ නියාමනඅධිකාරිය අමතා තොරතුරු ලබාගත හැකි බවත් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

වසර 08කට පසුව සංශෝධනය කර ඇති මෙම ලියාපදිංචි කිරීමේ ගාස්තු මීට පෙර සංශෝධනය කර ඇත්තේ 2009 වසරේදීය.

වැඩිහිටියෙකුට ගැටලුවක් නම් 118ට කියන්න

 වැඩිහිටියන්ට ඇතිවන ගැටලු පිළිබඳව දැන්වීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය යටතේ 24 පැයේම ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. මේ අනුව ඕනෑම දුරකථන ජාලයකින්  118 අංකය ඇමතීමෙන් වැඩිහිටි ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප්‍ර‍චාරක වැඩසටහනක් සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් (15දා) ආරම්භ විය.

 කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළේදී බස් රථවල ප්‍රචාරක ස්ටිකර් ඇලවීම සඳහා ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා එක්වූ ඇමැතිවරයා පසුව මාධ්‍ය  හමුවේ අදහස් පළ කරමින් මෙරට වැඩිහිටියන් සඳහා ගෞරවනීය සමාජයක් ගොඩනැංවීමට ක්‍රියා කරන බවද පැවසුවේය.