17 June 2017

වසර අවසානයේ ඡන්දයක් එන බවට ඉඟියක්


නිල කාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය දෙසැම්බර් මස මුල දී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා.

එලෙස කල් පිරීමට නියමිත පළාත් සභා වන්නේ නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවයි.

නැනෙහිර පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් මස 08 වැනි දා අවසන් වන අතර සබගරමු පළාත් සභාවේ නිල කාලයක සැප්තැම්බර් මස 28 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

උතුරුමැද පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ ඔක්තෝබර් මස පළමු වැනිදායි. පළාත් සභා සම්බන්ධයෙන් වන මැතිවරණ නීති අනූව එය කල් දැමීමේ හැකියාවක් නොමැති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

වසර 17කට පසු ගාල්ලට එක්දින තරඟ ආශ්වාදයක්

වසර 17කට පසු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක්දින තරඟාවලියක් ක්‍රීඩා කිරීම සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ එළැඹෙන සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැත්වෙන එක්දින තරඟමාලාවේදියි. 

මෙම තරඟාවලියේදී මුල් තරඟ 2ක් ගාල්ලේදී පැවැත්වෙනවා. මෙහි අවසන් වරට එක්දින තරඟයක් පැවැත්වුවේ 2000 වසරේ වන අතර ඒ දකුණු අප්‍රිකාවට එරෙහිවයි. එම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 37කැ ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

මේ අතර වසර දෙකකට පමණ පසුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක්දින තරගයක් පැවැත්වෙනවා. ඒ අනුව එක්දින තරග තුනක් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය එළැඹෙන 30 දා ගාල්ලේ එක්දින තරගයෙන් ඇරඹෙන අතර ජුලි 14දා ආර් ප්‍රේමදාස පිටියේදි ආරම්භවීමට නියමිත එකම ටෙස්ට් තරගයෙන් අවසන් වනවා.

හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2015 වසරේදී ජුලි මස 26 දා පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතරයි.

සෙංකෝලෙට අත තිබ්බොත් සති අටක්‌ ගෙදර

පාර්ලිමේන්තු රැස්‌වීම් පවත්වන අවස්‌ථාවේදී කිසියම් මන්ත්‍රීවරයෙක්‌ සෙංකෝලය ස්‌පර්ශ කිරීම හෝ එසවීම. කළහොත් එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති අටක්‌ අත්හිටුවීමේ නීතියක්‌ ගෙන ඒමට තීරණය කර ඇත.

සභා ගර්භය ඇතුළත සෙංකෝලය තබා ඇති අවස්‌ථාවකදී එය ස්‌පර්ශ කිරීම හෝ එසවීම මගින් බරපතළ විනය විරෝධී ක්‍රියාවක්‌ මන්ත්‍රීවරයා විසින් සිදුකරන බවද අදාළ මන්ත්‍රීවරයා එම වරද සිදු කරන්නේ පළමු වරට වුවත් සමාවක්‌ හිමි නොවනු ඇතැයිද පාර්ලිමේන්තුවේ යෝජිත නව ස්‌ථාවර නියෝග පිළිබඳ අවසන් කෙටුම්පතෙහි දැක්‌වේ.

එමෙන්ම යම් මන්ත්‍රීවරයකු සභාව තුළ දිගින් දිගටම අශෝභන ලෙස හැසිරෙමින් ස්‌ථාවර නියෝග උල්ලංඝනය කරන්නේ නම් පාර්ලිමේන්තු සජීවී රූපවාහිනි විකාශනයද වහා අත්හිටුවීමේ නියෝගයක්‌ ලබාදීමට කථානායකවරයාට යෝජිත නව ස්‌ථාවර නියෝග අනුව බලය හිමිව තිබේ.

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

කිලෝමීටරයක් සදහා වන අවම ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ජුලි මස 10 වනදා සිට මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකරන බවයි.

හානි කළ මුදල් නෝට්ටු හුවමාරුව දෙසැ 31න් පසු බෑ – මහ බැංකුව

හානි කළ / විකෘති කළ මුදල් නෝට්ටු දෙසැම්බර් 31වනදායින් පසු ගණුදෙනු කටයුතුවලදී නොපිලිගන්නා බව හා හුවමාරු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ එසේ මුදල් නෝට්ටු විකෘති කිරීම් පිළිබද දැඩි පියවර ගත හැකි බවයි.

 ඒ අනුව විකෘති කළ මුදල් වෙනුවට නව මුදල් නිකුත් කිරීම දෙසැම්බර් 31 වනදා සිට නවතා දමන ලෙසයි වාණිජ බැංකු වෙත උපදෙස් ලබාදී ඇත්තේ.



සෙල්ෆි මානසික රෝගය හදුනාගන්නේ මෙහෙමයි

සෙල්ෆි කලාව අද වන විට විනෝදාංශය යන සීමාව ඉක්මවා මාරක උපද්‍රව ගෙන දෙන බිහිසුණු කර්තව්‍යයක් බවට පත්ව තිබේ. සෙල්ෆි ඡායාරූපයක් ගැනීමෙන් සහ එය ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වෙත එක් කිරීමෙන් යමෙකුට අහිංසක සතුටක් භුක්ති විඳිය හැකි බව ඇත්තකි. නමුත් පමණ ඉක්මවා සෙල්ෆි ඡායාරූප ගැනීම සහ ඒවා සමාජ ජාලවලට එක් කිරීම යමෙකුගේ පෞරුෂ විෂමතාවයන් හුවා දක්වන්නක් බව ඔබ දන්නවා ද? ඒ අනුව යමෙකුගේ ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසෙන ඔබට ඒ තැනැත්තා ඒ සඳහා සෙල්ෆි ඡායාරූප එක්කොට ඇති ආකාරයෙන් ඔහු තමන් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන හෙවත් ආත්මරාගී (Narcissism) පුද්ගලයෙකු ද යන්න පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත.

ඇමරිකානු මනෝ වෛද්‍ය සම්මේලනය (APA) නිල වශයෙන් නිවේදනය කොට ඇති පමණ ඉක්මවා සෙල්ෆි ගැනීම සහ ඒවා සමාජ ජාලවලට එක් කිරීම මානසික රෝගයකි. ඔවුහු එම රෝගය අදියර තුනක් වශයෙන් විස්තර කරති. Selsitis යනුවෙන් හඳුන්වන එම රෝගයේ අවස්ථා තුන මෙසේ ය.

1 – මායිම් සීමා අවස්ථාව :
දිනකට සෙල්ෆි ඡායාරූප 3 කට වඩා ගැනීම හා ඒවා සමාජ ජාලවලට එක් නොකිරීම.

2 – තීව‍්‍ර අවස්ථාව :
දිනකට සෙල්ෆි ඡායාරූප 3 කට වඩා ගැනීම හා ඒවා සමාජ ජාල හා එක් කිරීම.

3 – නිදන්ගත අවස්ථාව :
තමන්ට පාලනය කරගත නොහැකි ආකාරයට සෙල්ෆි ඡායාරූප ගැනීම සහ ඒවා දිනකට හය වරකට වඩා සමාජ ජාලා වෙබ් අඩවි වෙත එක් කිරීම.

ඒ කෙසේ හෝ හුදු විනෝදාංශයක් වශයෙන් වුව සෙල්ෆියක් ගන්නා සෑම අවස්ථාවකම ඔබගේ අවධානය එක් නිමේෂයක් තුළ හෝ බාහිර පරිසරයෙන් මුළුමනින්ම අත්මිදෙන බැවින් එය ජීවිත අවදානමකට ද හේතුවන බව විශේෂයෙන් සිහි තබා ගැනීම වැදගත් ය. මක්නිසාද ලෝකයේ විනෝදාංශ මුල් කොට ගත් අකල් මරණ අතරින් සෙල්ෆි මරණ (Selfie Death) ලොව ශීඝ‍්‍රයෙන් ඉහළ තැනකට පත්ව ඇති බැවිනි.

වෛද්‍ය සුගත් විජේවර්ධන, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල, පේරාදෙණිය

ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙතින් රතු එළියක්

ත්‍රීකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය විදේශ සමාගම්වලට පැවරීමට සිදු කර ඇති සැලසුම්වලට එරෙහිව ඉදිරියේදී වෘත්තිය ක්‍රියා මාර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කර ඩී.ජේ රාජකරුණා කියා සිටියේ එම සංගමයේ විධායක සභාව ලබන සතියේ රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.

අදළ ගැටළුවලට විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස බල කරමින් විෂය බාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ද ලබාදි ඇති බව ඔහු සඳහන් කළේ.

අදාළ වාර්තාව ලබාදි සතියක් ගතවී ඇතැත් රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඩි.ජේ රාජකරුණා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ක‍්‍රිකට් තේරීම් කමිටුවේ වෙනසක් - සනත් ජයසූරිය කමිටුවෙන් එළියට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

සනත් ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් යුත් වත්මන් තේරීම් කමිටුවේ නිල කාලය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතයි.

වත්මන් තේරීම් කමිටුව 2016 වසරේ මැයි මස පළමු වැනිදා සිට වසරක කාලයක් සඳහා පත් කර තිබුණා.

ශූරයන්ගේ කුසලාන තරගාවලිය හේතුවෙන් එහි කාලය ජූනි මස අග දක්වා දීර්ඝ කෙරුණා.