26 June 2017

වචනවලින් හෝ ක්‍රියාවෙන් බුදු දහම අන්තවාදී දහමක් බව ඔප්පු වීමට ඉඩ නොදිය යුතුයි – රනිල් වික්‍රමසිංහ

අද අමරපුර නිකායේ සාමනේරයන් වහන්සේලා 300 නමක් උපසම්පදාව ලබා ගන්නවා. අමරපුර නිකායේ ඉතිහාසය මම විශේෂයෙන් කිව යුතු නැහැ. අතීතයේදී පහත රට බෞද්ධ ප්‍රබෝධයට රුකුලක් ලෙස අමරපුර නිකාය කටයුතු කළා. 19 වන ශත වර්ෂයේ බෞද්ධ ප්‍රබෝධය සදහා අමරපුර නිකාය කටයුතු කළා. එය අප කවුරුත් අමතක නොකළ යුතුයි. අමරපුර නිකායේ එම ගෞරවය ආරක්ෂා කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. පුජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස හිමියන් අමරපුර නිකායේ නව මහා නායක ලෙස සහභාගි වන මෙම පළමු උත්සවයේදී මම උන් වහන්සේට සුභ ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

මම මහා නායක ස්වාමීන් වහන්සේ සමඟ දශක ගණනාවක් තිස්සේ ආශ්‍රය කරනවා. අපි බෞද්ධ කටයුතු ජාතික කටයුතු ආදී වැඩ කටයුතු ගණනාවක් පිළිබදව සාකච්ඡා කර තිබෙනවා. එමනිසා මෙම අමරපුර නිකාය උන්වහන්සේගේ නායකත්වයෙන් තවත් ඉදිරියට දියුණු වේවා කියා මම සුභ පතනවා.

මෙහි පැමිණෙන විට මට එක් සිද්ධියක් මතකයට නැගුණා. පසුගිය දිනක මා නිව්යෝක් නගරයේ සිටින විට මගේ මිත්‍රයෙකු මා හමුවීමට පැමිණියා. අබලන් වී ගිය පැරණි පල්ලියක ගොඩනැගිල්ලක් ඔහු මිලදී ගත් බවත් එය දැන් බෞද්ධ කටයුතු, ධර්ම දේශනා ආදිය සදහා යොදවන බවත් එහිදී ඔහු පැවසුවා. එවිට අවශ්‍ය කරන මුදල් සොයා ගත්තේ කෙසේදැයි මා විමසුවා. මා දන්නා තරමින් එම ප්‍රදේශයේ එතුමාත් ඇතුළුව තව එක් ශ්‍රී ලාංකිකයෙක් පමණයි ජීවත්ව සිටියේ. නමුත් එම ප්‍රදේශයේ සියල්ලන් එකට එක්වී අවශ්‍ය මුදල සොයා දුන් බව ඔහු පැවසුවා. නගරයේ ජීවත් වන  බෞද්ධ නොවන සුදු මිනිසුන්ගේ එකතුවෙන් එම මුදල් සොයා දුන්නේ දැයි මා විමසුවා. එවිට එම නගරයේ බොහෝ පුද්ගලයන්ට බුද්ධ ධර්මය පිළිබද අවබෝධයක් ඇති බවත් අනෙක් පුද්ගලයන් බුද්ධ ධර්මය පිළිබදව දැනගැනීමට කැමැත්තක් දක්වන බවත් මීට පෙර ධර්ම දේශනාවකට සංඝයා වහන්සේ වැඩම කළ අවස්ථාවකදී ඔවුන්ද ඊට සහභාගි වූ බවත් ඔහු මා සමග පැවසුවා.

එමෙන්ම මෙම පැරණි පල්ලියේ ශාලාව බෞද්ධ ධර්ම දේශනා සදහාත් අනෙකුත් වැඩ කටයුතු සදහාත් ගැලපෙනම ස්ථානය බව ඔවුන් සියල්ලන්ගේම එකතුවෙන් තීරණය කර තිබෙනවා. එය එම ප්‍රදේශයේ සමස්ත ප්‍රජාව විසින් එකමුතුව ගත් තීරණයක්. අද ලෝකයේ බුදු දහම පිළිබදව අළුත් උනන්දුවක් ඇති වී තිබෙනවා. වෙනත් භක්තිකයන් වුවත්  මේ ධර්මය කුමක්ද,  බුදුන් වහන්සේ යනු කවුද ආදිය පිළිබදව දැන ගැනීමට කැමැත්තක් දක්වනවා.

ඇමෙරිකානු ජනතාව පළමුවෙන්ම බෞද්ධ ධර්මය පිළිබදව දැන ගත්තේ චීනය, කොරියාව ආදී මහායන බෞද්ධ ධර්මය ඇති රටවල් හරහායි. අප ශ්‍රී ලංකාවේදී ඕල්කට් මැතිතුමා පිළිබදව කරුණු අධ්‍යයනය කළත් ඉන් බොහෝ දෙනෙක් චීනය, ජපානය, කොරියාව, තායිවානය ආදි රටවල් සමගත් සම්බන්ධතා පවත්වා තිබුණා. ඉන් ඇතැම් අය වියට්නාමයටත් ඇතමුන් කාම්බෝජියාවටත් පැමිණියා. අද ලෝකයේ විශ්ව විද්‍යාල තුළ ආසියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව බෞද්ධ ධර්මය ආදිය පිළිබදව පාඨමාලා ද පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ඇතිව තිබෙනවා. එය පුදුමයට කරුණක්. බටහිර ලෝකය වර්තමානයේ තරම් දියුණුව පැවති යුගයක් තවත් නැහැ. තාක්ෂණයෙන්, තොරතුරු තාක්ෂණයෙන් ආදි සියල්ලන්ගෙන් බටහිර ලෝකය ඉදිරියෙන් පසුවනවා. මේ වනවිට ඔවුන් මනස කුමක්දැයි දියුණු යන්ත්‍ර යොදාගෙන පරීක්ෂණ පවා සිදු කරනවා.

මීට පෙර නොතිබූ ධනයක් බටහිර ලෝකය තුළ වර්තමානයේ තිබෙනවා. එය ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල සිදුවෙනවා. නමුත් මේ වනවිට ඇතැම් අයට ලෞකික ජීවිතය පිළිබද ගැටළු මතුවී තිබෙනවා.  බලවත් රාජ්‍යයන් ලෙස යුද්ධ කිරීමේ අවසානය කුමක්ද, ලෞකික සැප සම්පත්වල අවසානය කුමක්ද, එවැනි ගැටළු ඔවුන්ට මතුව තිබෙනවා. මීට විකල්පය කුමක්දැයි ඔවුන් කල්පනා කරනවා. බුද්ධ ධර්මය පිළිබද ක්‍රමානුකූල නැඹුරුවක් ඇතිවන්නේ එවිටයි. එංගලන්තයේත් මේ වන විට බෞද්ධාගමිකයන් විශාල වශයෙන් සිටිනවා. එහි විහාරස්ථාන පාලනය වන්නේත් ඉංග්‍රිසි බෞද්ධයන්ගේ සහයෝගයෙන්. බුද්ධ ධර්මයට වැඩි වශයෙන් නැඹුරු වන්නේ ජර්මන් ජාතිකයන්.

වර්තමානයේ දී ඔවුන් වැඩි වශයෙන් ථෙරවාදී බුද්ධ ධර්මය පිළිබද අවධානය යොමු කරනවා. බුද්ධ ධර්මය පිළිබදව පුවත්පත් සඟරා ආදියෙන් දැනුම ලබාගන්නවා. බුද්ධ ධර්මය තුළ තණ්හාව, වෛරය, ක්‍රෝධය, හිංසාව, ප්‍රචන්ඩ ක්‍රියා ආදිය ප්‍රතික්ෂේප කරනවා. ඒ දර්ශනය බටහිර ලෝකය තුළ අවධානයට ලක්වී තිබෙනවා.

අපට මේ අවස්ථාවේ සිදු කිරීමට තිබෙන්නේ මේ ධර්මය තව දුරටත් පැතිරවීමයි. එවිට ඇතැම් පිරිස් බුද්ධ ධර්මය වැළඳ ගනිවි, ඇතැම් අය ධර්ම දේශනා ආදියට සහභාගි වී දැනුම ලබා ගනිවි. කෙසේ හෝ බුද්ධ ධර්මය පැතිරීවීමට ඉඩ සැලසීමට අප කටයුතු කළ යුතුයි. බෞද්ධ පොත් පත් ඉංගි්‍රසි භාෂාවෙන් වැඩි වශයෙන් ලියවී ඇත්තේ  තායිලන්තයේයි. ඉන් දෙවැනි තැන හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි. අපි ඒ තත්වය තවත් දියුණු කළ යුතුයි.

ඇතැම් විදේශිකයන් වෙහෙර විහාරස්ථාන වෙත ගොස් මල් පහන් පුජා කරනවා. ඇතැමුන් ඊට වඩා ගැඹුරින් බෞද්ධ ධර්මය අධ්‍යයනය කිරීමට මෙහි පැමිණෙනවා.  එමනිසා අද මෙලෙස උපසම්පදා ලබන ස්වාමීන් වහන්සේලාත් ඇතුළුව අප සියළු දෙනාම එම තත්වය වර්ධනය කර ගැනීමට කටයුතු කළයුතුයි. ඒ සඳහා විදේශ භාෂා පිළිබද දැනුම අත්‍යවශ්‍යයි. බුද්ධ ධර්මය නොමැති රටවල ජනතාවට බුද්ධ ධර්මය පිළිබදව සාමාන්‍ය අවබෝධයක් ලබා දීමට නම් විදේශ භාෂා පිළිබද දැනුම අවශ්‍ය වෙනවා.

පසුගියදා අප ජාත්‍යන්තර වෙසක් සමුළුව සාර්ථකව පැවැත්වුවා. බෞද්ධාගමික රටක් ලෙස ඉන් අපට විශාල කීර්තියක් ප්‍රසිද්ධියක් හිමි වුණා. එවැනි දේ සිදු කරන අතර තුර අප විශේෂයෙන් බුදු දහම ආරක්ෂා කළ යුතුයි. බුදු දහම පිළිබද වැරදි මත ඇතිවීමට ඉඩ නොදිය යුතුයි. පැවිදි හෝ ගිහි වේවා අප භාවිතා කරන වචනවලින් හෝ ක්‍රියාවෙන් බුදු දහම අන්තවාදී දහමක් බව ඔප්පු වීමට ඉඩ නොදිය යුතුයි. අන්තවාදයට බුද්ධ ධර්මය තුල ඉඩක් නැහැ. බුද්ධ ධර්මය තුළ පමණක් නොව කිසිදු ආගමක් තුල අන්තවාදයට ඉඩක් නැහැ. නමුත් ඇතැම් ආගම් තුලට අන්තවාදය පැතිරීමෙන් සිදුව ඇති හානිය අප දැක තිබෙනවා. බටහිර ලෝකයේත් බුදු දහම පිළිබද උනන්දුවක් ඇති මේ අවස්ථාවේ අප අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතුයි.

*2017 ජුනි මස 25 වන දින කළුතර බෝධි පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව


ආණ්ඩුව ඇතුළේ අලුත්ම දෙදරිල්ල

පසුගිය විසි වැනිදා හදිසි ආණ්ඩු පක්‍ෂ රැස්වීමක් කැඳවා තිබිණි. සාමාන්‍යයෙන් එය මෙහෙයැවන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ය. එහෙත්, එදා ජනාධිපති මෛත්‍රී ද එයට සහභාගී විය. ඔහුගේ පැමිණීම කාටත් කුතුහලයක් ගෙන දෙන්නක් ම විය. කුතුහලයකට එහා ගිය ආන්දෝලනයක් ද ඇති කරවන්නක් විය. කෙසේ නමුදු, මෛත‍්‍රී මූලාසනය ගත් පසු අමුතු ම කතාවක් කළේ ය.

“මම ඉතා ම වැදගත් දෙයක් කතා කරන්න ආවේ. ඒත් ඇමතිවරුන් විසිඅටක් ම ඇවිත් නැහැ. ඒ හින්දා ඒ ගැන කතා කරන එක තේරුමක් නැහැ. ඊ ළඟ දවසේ ඒ ගැන කතා කරන්නම්…” යැයි කිව්වේ ය.

මේ කතාවෙන් කවුරුත් තක්කුමුක්කු වී ගියේ ය. මොකක් ද මේ කියන්න හදන අමුතු කතාව. හැමෝ ම කසුකුසු ගාන්න පටන් ගත්තා. ඒත් කිසිවෙක් ඒ ගැන මෛත්‍රීගෙන් හෝ රනිල්ගෙන් හෝ අහන්න ගියේ නැත. ආරංචියේ හැටියට ඇමතිමාරුවත් එක්ක ඇතුළේ ලොකු අවුලක් ය. ඇමති මාරුවටත් වඩා විෂයයන් බෙදිල්ලෙන් අවුල තව ලොකු අවුලක් ම වී ඇත. මුදල් ඇමති රවී මාරු කළේ ඔහුට විරුද්ධව තිබූ ඇතුළේ විරෝධය හා ජනතා විරෝධය යන දෙක නිසා ය. ඒත් විදේශ ඇමති ලෙස රවීට මුදල් අමාත්‍යාංශයේ ප‍්‍රධාන ආයතන දෙකක් ලබා දීමෙන් අලුත් ප‍්‍රශ්නයක් ඇති කරපු තත්ත්වයක් නිර්මාණය කොට ඇත. ‘එකක් කඩතොලු මකා ගන්නට ගොස් ගොඩක් කඩතොලු ඇති කළේයා’ වැනි තත්ත්වයක් ඇති වී ඇත. පුදුමයට කරුණ නම් විදේශ අමාත්‍යාංශය භාර ගන්න නම් ආයතන දහසයක් තමන්ට ඕනෑ යැයි කොන්දේසියක් පනවා තිබීම ය. ඒ කියන්නේ රවී ආයතන දහසයක් නම් කර ඉල්ලා ඇත. එය නොදෙන්නේ නම්, පසු පෙළ මන්ත්‍රී කෙනෙකු ලෙස වාඩි වී සිටින බවට තර්ජනයක් ද කර ඇත.

මේ ඉල්ලා ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ හොඳ ම ආයතන ටික ය. කෙසේ වෙතත්, අන්තිමේ දී ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය රවීට දී ඇත. ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ සල්ලි උල්පතක් ය. පසුගිය රාජපක්‍ෂ  පාලන කාලයේ දී මේකෙ සල්ලි විවිධ අයථා වැඩවලට යොදා ගත්තේ ය. ඒ නිසා ම එහි හිටපු සභාපතිට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිසමේ පැමිණිල්ලක් ද දැම්මේ ය. ඊට අනුව උසාවියේ නඩුවක් ඇසෙමින් පවතී. එවන් ආයතනයක් විදේශ ඇමති ම ඉල්ලන්නේ ඇයි ද යන්න මුළු රටට ම හිතා ගත හැකි ය. හොරකම කරන්නට එළිපිට ම ලයිෂන් ඉල්ලා ගැනීමක් බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

මේ ඉල්ලපු ඉල්ලීමට රනිල් එකඟ වී ඇත. රනිල් රවීට බය ය. බය වෙන මොකකටවත් නොවේ, එකට කරපු දේවල් එළියට එන එකට ය. මහ බැංකු බැඳුම්කර වංචාව ගැන හරියට ම දන්නේ හතර දෙනෙක් ය. රවී, රනිල්, මලික්, අර්ජුන් යන හතර දෙනා ය. රවී තරහා කර ගත්තොත්. කොහෙන් කෙළවර වෙනවා ද යන්න සැකසහිත ය. ඒ නිසා ම කොච්චර නොගැලපෙනවා ද යන්න දැන දැනත් රවීට ලොතරැයි මණ්ඩලය ලබා දීමට රනිල් ඉදිරිපත් වී ඇත. ජාතික ලොතරැයි මණ්ඩල පනතේ ඉතා පැහැදිලිව ම එම ආයතනය මුදල් විෂයභාර ඇමතිවරයා යටතේ පවතින බව සඳහන් ය. එසේ තිබිය දී, නීතිය පවා නොසලකමින්, රවීට එය ලබා දුන්නේ ය. අමාත්‍ය මණ්ඩල ඉතිහාසයේ සිදු වූ බරපතළම වැරැද්ද දැන් සිදු වී අවසන් ය.

ආණ්ඩුව ඇතුළේ ඇමතිවරු, මන්ත්‍රීවරු විශාල පිරිසක් මේකට විරුද්ධ ය. සමහරු එළිපිට ම ඒ ගැන අදහස් පළ කළහ. තවත් බොහෝ යූ.එන්.පී.යේ ම පිරිසක් තැන්තැන්වල විරුද්ධව කතා කරති. ඒ හැමෝ ම ජනතාවට උත්තර දී ගන්න බැරි අන්තිම අමාරු තත්ත්වයකට පත් වී ඇත. ඇමති මාරුව සිද්ධ වෙච්ච වෙලාවේ අලකලංචි ගොඩක් සිදුව ඇත. මොනරාගල රංජිත් මද්දුමබණ්ඩාර ඉල්ලා තිබුණේ ඉඩම් ඇමතිකම ය. ඔහුට ඉඩම් දීලා ගයන්තට රාජ්‍ය පරිපාලනය දෙන්නට ලෑස්ති වුණේ ය. එහෙත්, ගයන්ත ඒකට කැමති වුණේ නැත. ගයන්ත කොච්චර නැහැ කීවත්, රවී වගේ ම ආයතන කීපයක් ඉල්ලා ඇත. ලැජ්ජාව වහ ගන්න එහෙ ම ඉල්ලූවේ නැහැ කීවාට ආණ්ඩුව ඇතුළේ හැමෝ ම ඒ ගැන හොඳින් දනිති.

විදේශ නියෝජ්‍ය ඇමතිකම දී ඇත්තේ, අනෝමා ගමගේට ය. වසන්ත සේනානායකට පෙට්‍රෝලියම් නියෝජ්‍ය ඇමතිකම දී ඇත. එහෙත්, වසන්ත තමන්ගේ සහතිකයේ “මම මෙය භාර නොගනිමි.” යැයි ලියා ආපසු භාර දී ඇත. එතැනින් ම ලොකු අර්බුදයක් මතු වී ඇත. සහතික පත් ලබා දීමෙන් පසු මෛත්‍රී ඔහු සමඟ කතා කර යම්තම් ප‍්‍රශ්නය විසඳාගෙන ඇත. පැය භාගයකට පසු ඇමතිකම් නැවත වෙනස් කොට ඇත. අනෝමා ගමගේට ආපහු පෙට්‍රෝලියම් එක දී වසන්තට විදේශ නියෝජ්‍ය ඇමතිකම භාර දී ඇත. ලසන්ත අලගියවන්නට මුදල් හා මාධ්‍ය ලැබී ඇත්තේ, අමුතු ම විදියකට ය. මංගල එක්ක ලක්‍ෂ්මන් යාපා එකට තියන්නට බැරි නිසා වෙනස් කරන්නත් ඕනෑ විය. එසේ වෙනස් කර කරුණාරත්න පරණවිතාන මාධ්‍ය එකේ ම තියන්න මුලින් අදහස් කොට ඇත. ඒත්, ශ්‍රී.ල.නි.ප.යේ අය කියා ඇත්තේ, මුදල් හා මාධ්‍ය නියෝජ්‍ය එක තමන්ගේ පක්‍ෂයට අයිති එකක් කියා ය. පරණවිතාන පත් වුණේ එ.ජා.ප.යෙන් නිසා ඔහුට එය දෙන්නට නොහැකි බව ය. ඒ නිසා ම එකපාරට ම පැත්තක හිටපු අලගියවන්නට මුදල් හා මාධ්‍ය ලැබී ඇත.

මේ කතා ඇහෙන කොට ඇමති මණ්ඩලය මහා විකාරයක් බව හරි පැහැදිලි ය. විද්‍යාත්මක කිව්වට මෙහි ඇති කිසි විද්‍යාවක් නැත. අවිද්‍යාවටත් එහා ගිය පටු පෞද්ගලික බඩගෝස්තරය මෙහි පදනම වී ඇත. දැන් ඇමති මාරුව අවසන් ය. මේ දිනවල සිදු වන්නේ ආයතනවල සභාපතිලා, ලේකම්ලා, අධ්‍යක්‍ෂවරු වෙනස් කිරීම ය. මාධ්‍ය අමාත්‍යාංශයේ ආයතන කිහිපයක තනතුරු මාරු වෙමින් පවතී. ගුවන්විදුලියේ, ස්වාධීන රූපවාහිනියේ හා තවත් ආයතනවල වෙනස්කම් සිදු වෙමින් පවතී. එක ම ආණ්ඩුවේ ඇමති වෙනස් වෙන කොට පහළ තනතුරු ද වෙනස් වේ. එහෙ ම ගත්තා ම ඒ ආයතනවල මුල ඉඳලා ආයේ වැඩ පටන් ගන්න තත්ත්වයක් අනිවාර්යයෙන් ම ඇති වේ. මේ පුටු මාරු කිරිල්ලත් එක්ක ඇතුළේ මහා අවුල් ජාලාවක් නිර්මාණය වෙමින් පවතී. රටේ ඇති වෙච්ච ආණ්ඩු විරෝධය සමහන් කරගන්න ගිහින් ප‍්‍රශ්න වැලක පැටලිලා ඉන්න බව හරි පැහැදිලි ය.

මේත් එක්ක ම නුවරඑළිය නගරයේ තිබුණු ඉතා ම අලංකාර වටිනා සම්පතක් වන ප‍්‍රධාන තැපැල්කාර්යාලය හෝටලයකට විකුණා දැම්මේ ය. නුවරඑළිය නගරයේ සංකේතය වගේ සුද්දාගේ කාලයේ ඉඳන් තිබුණු තැපැල් කාර්යාලය දැන් පෞද්ගලික හෝටලයක් ය. ඒ විදියට රට පුරා ම ඇති හොඳම සම්පත් ටික විකුණා දමන්නේ ය. හොරු අල්ලනවා වෙනුවට තවමත් හොරු හුරතල් කරන්නේ ය. අලුත් හොරු බිහි වන්නේ ය. දැන් ඇත්තේ පරණ හොරු වෙනුවට අලුත් හොරු වැඩ පටන් ගැනීම ය.

ඒ මඳිවාට රට පුරා ම ජාතිවාදය, ආගම්වාදය මෝදු වෙමින් පවතී. අවුරුදු දෙකහමාරක් ගිහිල්ලා, ආණ්ඩුවට අඩු ම ගාණේ ජාතිවාදය අවුස්සන මූලිකයාව හඳුනා ගන්නවත් බැරි විය. ඒ නිසා ම නියපොත්තෙන් කඩන්න තිබුණු ප‍්‍රශ්නයක් පොරොවෙන් කපන්නවත් බැරි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඇමතිවරු හිටපු ගමන් එක එක දේවල් කියති. ඒ කියපු කටින් ම ආපහු සමාව ගනිති. ආණ්ඩුව බලයට පත් කරන්න මහන්සි වුණු හැම බලවේගයක් ම මේ තත්ත්වය ගැන කලකිරී ඇත. නීතිය, පොලිසිය සාධාරණ යැයි කීවාට මේ සතියේ සිද්ධ වෙච්ච සිදුවීම් සියල්ල අන්තිම අසාධාරණ ය. එක පැත්තකින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ උපාධිය කැප කරලා සටන් කරන ශිෂ්‍යයන්ට අන්තිම අමානුෂික, ම්ලේච්ඡ ප‍්‍රහාරයන්දියත් කරති. අනෙක් පැත්තෙන් යම් යම් බලවේගයන්ගේ මැදිහත් වීමෙන් ඥානසාර හාමුදුරුවන්ට ඇප ලබා දෙන්න පොලිසිය එකඟ වෙයි. විනිශ්චයකාරවරයා “ඇයි මෙහෙ ම ඇපවලට විරුද්ධ නොවෙන්නේ…” යැයි ප‍්‍රශ්න අහද්දී පවා නියෝජ්‍ය පොලිස්පතිවරයකු ම මැදිහත් වී විරුද්ධ නොවන බව පවසයි. හරි පැහැදිලිව ම උසාවි ක්‍රියාවලියට දේශපාලන මැදිහත්වීමක් තිබූ බව මුළු රටට ම පෙන්නුම් කළේ ය.

එහෙත්, ඒ මැදිහත් වීම දුප්පත් දෙමව්පියන්ගේ සරසවි දරුවන්ට ලැබෙන්නේ නැත. ඔවුන් සාධාරණත්වය, යුක්තිය ඉල්ලා කොතරම් සටන් කළත්, ඇමතිවරු ඔවුන්ව මායිම් කරන්නේ නැත. අස්ගිරි පාර්ශ්වයෙන් සමාව ගන්නා එස්.බී. සයිටම් එක ලියාපදිංචි කරන්න ගෝඨාභය උදවු කළා යැයි කිසි හිරිකිතයක් නැතිව ප‍්‍රකාශ කරයි.

මෙවන් තත්ත්වයක් තුළ රට පුරා ම හා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයෝ පවා මේ ආණ්ඩුවට එරෙහිව කතා කරති. එය වේගයෙන් වර්ධනය වෙමින් පවතියි. ඇමති මාරුවත් එක්ක අභ්‍යන්තරයට ද එය ගලා ආවේ ය. එනිසා ම මෛත්‍රීගේ වෙන දවසක කියන්නම් කියපු කතාව සරල එකක් නොවේ ය. එය බරපතළ එකක් බව පැහැදිලි ය. බුර බුරා නැගෙන ආණ්ඩු විරෝධයත් එක්ක ශ්‍රී.ල.නි.ප.යේ ඇමතිවරු විස්සකට වැඩි ප‍්‍රමාණයක් කුලප්පු වී ඇති බව ආරංචි ය. ඔවුන් කියන්නේ දැන් ඉක්මනට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න  ඕනෑ බවක් ය. ඔවුන් ගම්වලට ගියා ම පාක්‍ෂිකයන්ගේ පැත්තෙන් එන්නේ එකී යෝජනාව ය. රට ඉස්සරහා මොන මොනවා කීවත්, ගමේ දී තමන් මුහුණ දෙන තත්ත්වය ලැජ්ජාසහගත ය.

යූ.එන්.පී.යේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ද මේ තත්ත්වය ඇත. ඔවුන් ද ඉන්නේ හොඳටෝ ම කලකිරිලා ය. එහෙත්, ඔවුන්ට ඉවත් වීමේ තීරණයක් ගන්නට බැරි ය. ශ්‍රී.ල.නි.ප.යේ අයගේ තත්ත්වය ඊට වෙනස් ය. ඔවුන් ඉන්නේ අනුන්ගේ ආණ්ඩුවක එල්ලිලා ය. ඒ නිසා ම එවැනි තැනකට තල්ලු වීම ස්වාභාවික ය. එක පැත්තකින් එය ආණ්ඩුව ඇතුළේ කේවල් කිරීමට පාවිච්චි කළ හැකි ය. අනෙක් පැත්තෙන් ජනතා විරෝධයෙන් ගැලවීමට පාවිච්චි කළ හැකි ය. කොහොම වුණත් ඇතුළේ දැන් එහෙ ම තත්ත්වයක් වර්ධනය වී අවසන් ය. දෙපාර්ශ්වයේ ගිවිසුම ඇත්තේ, ලබන සැප්තැම්බරය දක්වා පමණි. තීරණයක් ගන්නවා නම්, ඒ වෙන කොට තීරණයක් ගත යුතු ය. එවන් තීරණයක් ගන්නවා ද නැද් ද යන්න කෙසේ වෙතත්, ආණ්ඩුව ඇතුළේ දෙගොල්ලන්ගේ හැප්පිල්ල නම් හොඳට ම වර්ධනය වෙලා ය.

මෛත්‍රී ද ඉන්නේ ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩියක් ගාණට පත් වෙලා ය. මොන සෙල්ලම් දැම්මත්, ගොඩ ගන්න බැරි තත්ත්වයක ඉන්න බව පැහැදිලි ය. ඊ ළඟ ආණ්ඩුපක්‍ෂ රැස්වීමේ දී මෛත්‍රී කියන්න හදපු දේ මොකක් ද කියලා දැනගන්න පුළුවන් ය.

මොකක් වුණත් කියන්න තියෙන්නේ සුභ ආරංචියක් නොවේ ය. එය පැහැදිලිව ම ආණ්ඩුවේ අයට නම්, අසුභ ආරංචියක් ම ය.

ලංකා ඉරිදා සංග්‍රහය

රජ පවුලේ ඕනෑවට ඩයනා මරා දැමූ බවට කී පුදගලයාගේ කතාව බොරුවක් බව හෙලිවෙයි

පසුගිය 2017 ජුනි 19 වනදා, එංගලන්තයේ පළවන ‘යුවර් නිව්ස් වයර්‘ නමැති වෙබ් අඩවියක් මගින් මුල්වරට ප්‍රචාරය කර හරින ලද පුවතක් මේ වනවිට ප්‍රධාන ධාරාවේ නොවන වෙබ් අඩවි රාශියක් මගින් හා මුද්‍රිත ටැබ්ලොයිඩ් මාධ්‍යයේ ඇත්තක් ලෙස සලකා පතුරුවා හැර තිබේ.

එහි දැක්වෙන්නේ ලෝකයම කම්පාවට පත් කරමින් 1997 දී ඩයනා කුමරිය හදිසි අනතුරකින් මියගිය සිද්ධිය ඝාතනයක් බවත් ඒ කාර්යය කිරීමට රාජකීය පවුලෙන් තමන්ට අණක් ලැබුණ බව කියන ජෝන් හොප්කින්ස් නමැති 80 හැවිරිදි විශ්‍රාමික MI5 ඒජන්තවරයෙකු ගැනත්ය.

විශ්‍රාමික බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නියෝජිතයෙකු බව කියන ජෝන් හොප්කින්ස් මහතා ලන්ඩනයේ රෝහලක කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා ඉන් ඉවත්ව ගොස් සති කිහිපයක් ගතවීමෙන් පසු මෙම කාරණා හෙළිදරව් කර ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

1973 සිට 1999 දක්වා පාලකයින් බ්‍රිතාන්‍ය බුද්ධි අංශය ලවා කරවූ ඝාතන 23 ක් සම්බන්ධව හොප්කින්ස් චෝදනා කරන බවත් ඉන් එකම කාන්තා ඝාතන නියෝගය වූයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවත් එහි සඳහන් කර ඇත. දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් සහ වෘත්තීය සමිති නායකයන්ද මේ ඝාතන ලැයිස්තුවේ සිටින බව ඔහු හෙළි කර ඇතැයි වෙබ් අඩවියේ සඳහන්ව ඇත.

ඩයනා යනු ලස්සන, කරුණාවන්ත කාන්තාවක් වන නමුත් එකල බ්‍රිතාන්‍ය කිරීටය ඇය නිසා අවදානමට ලක්ව සිටි බැවින් මෙම ඝාතන නියෝගය නිකුත්වූ බවද ඔහු පවසා ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත් මෙම පුවත සත්‍යයෙන් තොර ව්‍යාජ එකක් බව දැන් තහවුරුවී තිබේ.

පසුගිය කාලය පුරාම බ්‍රිතාන්‍යය තුළ ව්‍යාජ පුවත් ඇසුරින් ජනප්‍රිය රැල්ලක් නිර්මාණය කිරීමට උත්සාහ කරන ලද YourNewsWire වෙබ් අඩවිය මෙම පුවත පළකර ඇති අතර එය පළ කළ පසුව අවශේෂ වෙනත් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය මෙම පුවත නැවත නැවත පතුරුවා අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දී ඇත.



මෙම සම්පූර්ණ ප්‍රවෘත්තියම ව්‍යාජ එකක් බව බ්‍රිතාන්‍ය තොරතුරු සේවා උපුටා දක්වමින් ‘ස්නෝප්ස්‘ වෙබ් අඩවිය පැහැදිලි කර තිබේ.

මෙම හොප්කින්ස් සිටින්නේ කොහේද එවැන්නක් ඔහු කියන්නේ කවදාද සහ කොහිදීද ආදී තොරතුරු කිසිවක් හෝ එම පුවත සමග පළවී නැත. එක්තරා වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් පමණක් එහි අන්තර් ගත කර ඇති අතර ඒ ජොන් හොප්කින්ස්ද වෙනත් කිසිවෙක්ද යන්න කවුරුවත් හඳුනා නැත.

ඇතැම් වෙබ් අඩවි මෙම පුවත සමග වයෝවෘද්ධ අයෙකු කතාකරන වීඩියෝවක් අමුණා තිබෙන නමුත් එම වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා අදාළ පුවත කොලයක් බලා කියවනවා මිස ජෝන් හොප්කින්ස් ඔහු නොවේ.

ඩයනාගේ මරණය වැනි ජනප්‍රිය මාතෘකාවකට අදාළව මෙතරම් ආකර්ෂණිය පුවතක් ඇත්තක් වේ නම් ඒ ගැන බොහෝ තැන්වල කථාබහ විය යුතු නමුත් මෙම පුවත බ්‍රිතාන්‍යයේ හෝ වෙනත් රටක ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යයක පළ කර නැත.

මෙම ව්‍යාජ ලිපිය හා එය සමග ඇතැම් මාධ්‍ය පළ කළ වීඩියෝව පහතින්..










මිනිස්‌ හමින් හැදූ සපත්තු

ලස්‌සන හම් සපත්තු, හම් බෑග් දැකල තියනව, පාවිච්චි- කරල තියනව නේද..? ඒත්.. මිනිස්‌ හමින් හදපු සපත්තු.. බෑග්..? අහලවත් තියනවද..? මේ සපත්තු දෙක හදලා තියෙන්නෙ මිනිස්‌ හමින්.. ජෝර්ඡ් පැරොට්‌ කියන මං පහරන්නාගේ හමින්.. ජෝර්ඡ් පැරොට්‌.. 19 වැනි ශතවර්ශයෙ අන්තිම කාලෙ බටහිර ඇමරිකාවෙ හිටපු ප්‍රසිද්ධ මංපහරන්නෙක්‌.. ජෝර්ඡ්  පැරෝට්‌ට ලොකු නහයක්‌ තිබුණ. ඒ නිසා ජෝර්ඡ්  පැරොට්‌ව හැදින්වුණේ -බිග් නෝස්‌ කියන අන්වර්ථ නාමයෙන්..

ජෝර්ඡ්ට තවත් මංපහරන්නන් කල්ලියක්‌ම හිටියා.. මේ මංපහරන්නෝ වැඩිපුරම කොල්ලකෑවේ මගීනුත් බඩු භාණ්‌ඩත් ප්‍රවාහනය කරන වාහන. ඒ දවස්‌වල දැන් තරමට චෙක්‌පත් භාවිතයක්‌ තිබුණෙ නැහැනෙ.. ඒ නිසා හැම ව්‍යාපාරික ගනුදෙනුවක්‌ම වගේ කෙරුණේ මුදල් හුවමාරු කරගෙනමයි.. ඒ හින්දා දුම්රිය මඟින් මුදල් ගෙනියන එක නිතරම කෙරුණා.. මිනිස්‌සුන්ට වැටුප් ගෙවන දවස්‌වලට දුම්රියෙන් මුදල් නෝට්‌ටු සෑහෙන ප්‍රමාණයක්‌ ගෙනිච්චා.

1878 අවුරුද්දේ ඒ වගේ එක වැටුප් දිනයකදී ජෝර්ඡ් පැරොට්‌ තීරණය කළා තමන්ගේ වාසනාව අත්හදා බලන්න.. මිනිසුන්ගේ වැටුප් මුදල් ගෙනියන යූනියන් පැසිෆික්‌ දුම්රිය කොල්ලකන්න.. ඒ ගොල්ලෝ ඒකට තෝරගත්තේ ව්යෝමින්ග්වල මෙඩිසින් බෝ කියන ගංගාව අසබඩ තැනක්‌.. මෙතන හරි පාළු තැනක්‌.. ඒ හරියෙන් රේල් පාරේ කූඤ්ඤයක්‌ බුරුල් කරලා ජෝර්- පැරට්‌ එයාගේ කණ්‌ඩායමත් එක්‌ක කෝච්චිය ඒ හරියට එනකල් බලාගෙන හිටියා.. ඒත් එක පරීක්‍ෂාකාරී දුම්රිය මාර්ග සේවකයෙක්‌ මේ බුරුල් වුණු රේල් පීල්ල දැක්‌කා. එයා ඒ රේල් පීල්ල කෝච්චිය එන්න කලින් ඉක්‌මනින් පිළිසකර කළා.. බිග් නෝස්‌ ජෝර්ඡ් ගේ මංකොල්ල කෑම් තැත එළිදරව් වුණා..

ඒ කොල්ලකෑම අසාර්ථක වුණ හින්දා බිග්නෝස්‌ ජෝර්ඡ් එයාගේ කල්ලියත් එක්‌ක එතනින් එල්ක්‌ කඳු යාය පාමුල තියෙන රැට්‌ල්ස්‌නේක්‌ කැන්යොන්වලට පැනල ගියා. මේ මංපහරන්නො කණ්‌ඩායම පිටිපස්‌සෙන් තවත් දෙන්නෙක්‌ ආවා.. ව්යෝමින්ග් වල නියෝජ්‍ය ෂෙරිෆ් ඒ කියන්නෙ නියෝජ්‍ය පළාත් භාර නිලධාරියා රොබට්‌ විඩෝෆීල්ඩ්.. අනිත් කෙනා යූනියන් පැසෆික්‌ පොලිසියේ රහස්‌ පරීක්‌ෂක ටිප් වින්සන්ට්‌..

මේ නිලධාරීන් දෙන්නා හොර කල්ලිය හොයන්න රැට්‌ල්ස්‌නේක්‌ කැන්යොන්වලට ආපුවාම රැට්‌ල්ස්‌නේක්‌ කැන්යොන්වල ලඳු කැලෑ බිමක තිබුණ නිවුන ගිනි මැලයක සලකුණු දැක්‌කා.. ව්ග්නෝස්‌ ජෝර්-ගේ කල්ලිය නවාතැන් ගන්න ඇත්තේ මෙතන තමයි.. කියලා අනුමාන කරපු රොබට්‌ විඩෝෆීල්ඩ් ඒ ගිනිමැලයෙ අලු තාමත් උණුසුම්ද කියලා බලන්න එතනට යනකොටම.. ලඳු කැලෑවේ පඳුරු අතරේ හැංගිලා හිටපු බිග් නෝස්‌ ජෝර්-ගේ කල්ලිය රොබට්‌ විඩෝෆීල්ඩ්ට වෙඩි තිබ්බා. විඩෝෆීල්ඩ්ගේ ජීවිතේ එතනින්ම කෙළවර වුණා.. රහස්‌ පරීක්‌ෂක නිලධාරියා ටිප් වින්සන්ට්‌ ඒ සැණින් ආපහු හැරිලා දුවන්න හැදුවත් එයාටත් අයිති වුණේ විඩෆීල්ඩ්ට අයිති වුණ ඉරණමමයි.

මේ නිලධාරීන් දෙන්නාගේ මරණය ලොකු ආන්දෝළනයක්‌ වුණා.. යුනියන් පැසිෆික්‌ පොලිසියෙන් ව්ග්නෝස්‌ ජෝර්ගේ හිස ගෙනවිත් දෙන කෙනකුට ඇමරිකන් ඩොලර් දහ දාහක තෑග්ගක්‌ දෙනවා කියලා නිවේදනයක්‌ නිකුත් කළා.. තවත් ටික කාලයක්‌ යනකොට ව්ග්නෝස්‌ ජෝර්ඡ් ගේ හිසේ වටිනාකම ඩොලර් විසිදාහට ඉහළ ගියා.

ඒත් අවුරුදු දෙකක්‌ යනතුරුම බිග් නෝස්‌ ජෝරඡ්වවත් එයාගේ කල්ලියවත් අල්ලගන්න පුළුවන් වුණේ නෑ. මොන්ටානාවල අවන්හලකදී බිග් නෝස්‌ ජෝරඡ් බීමතින් තමන් කරපු මිනීමැරුම් ගැන පුරසාරම් දොඩවන කල්ම ව්ග්නෝස්‌ ජෝර්ඡ් ව අත් අඩංගුවට ගන්නවත් හොයා ගන්නවත් පුළුවන් වුණේ නෑ. ඒ පුරසාරම් දෙඩවිල්ලෙන් පස්‌සේ බිග් නෝස්‌ ජෝර්ඡ් ව අත්අඩංගුවට ගැනුණා. ජෝර්ඡ් ට විරුද්ධව නඩු පවරලා ඒ නඩුවේ තීන්දුවෙන් ජෝර්ඡ් ව එල්ලා මරන්න තීන්දු වුණා..

බිග්නෝස්‌ ජෝර්ඡ් ව එල්ලා මරන්න තීන්දු වෙලා තිබුණේ 1881 මාර්තු 22 වැනිදට. ඒත් ඊට දවස්‌ දහයකට කළින් බිග් නෝස්‌ ජෝර්ඡ්  හිරෙන් පැනල යන්න උත්සාහ කළා. කකුල්වලට දාලා තිබුණ බර යකඩ මාංචු සාක්‌කු පිහියකින් බුරුල් කරගෙන, බිග් නෝස්‌ ජෝර්- තමන්ගේ ආරක්‌ෂාවට තියලා තිබුණ බන්ධනාගාර නිලධාරියාගේ ඔලුවට පහර දුන්නා. ඒ බන්ධනාගාර නිලධාරියා ඡේලර් රොබට්‌ රැන්කින්.. හිස්‌ කබල පුපුරලා තුවාල වෙලා තියෙද්දීම බිග් නෝස්‌ ජෝර්ඡ් එක්‌ක පොර බදමින් කෑ ගැහුවා. ඒ වෙලාවේ එතනට දුවගෙන ආවේ බන්ධනාගාර නිලධාරියාගේ බිරිඳ රෝස්‌.. රෝස්‌ මේ දෙන්නගේ පොරබැදීම මැදින් බන්ධනාගාර නිලධාරියගේ පිස්‌තෝලය අරන් බිග්නෝස්‌ ජෝරඡ්ට එල්ල කළා. ඒ සැණින් එතනට ආපු තවත් අයගේ උදව් ඇතිව බිග්නෝස්‌ ජෝර්ඡ්ව ආපහු හිර කුටියට ගෙනියන්න පුළුවන් වුණා..

බිග් නෝස්‌ ජෝර්ඡ් බන්ධනාගාර නිලධාරියාට පහර දීලා හිරෙන් පැන යන්න හදපු කතාව හැම තැනම පැතිරුණා.. හොඳටම කිපුණු ඒ නගරයේ මිනිස්‌සු බිග්නෝස්‌ ජෝර්ඡ්ව හොයාගෙන බන්ධනාගාරයට කඩා වැදුනා. බලහත්කාරයෙන්ම බිග්නෝස්‌ ජෝර්ඡ්ව තමන් අතට ගත්තු මිනිස්‌සු නගරයේ ටෙලිග්‍රාප් කණුවක ජෝර්ඡ්ව එල්ලුවා.

ජෝර්ඡ්ගේ මළසිරුර භාරගන්න නෑදෑයෝ කවුරුවත් හිටියේ නෑ. ඒ නිසා තෝමස්‌ මැගී, ජෝන් එවුජින් කියන වෛද්‍යවරු දෙන්නා බිග්නෝස්‌ ජෝර්-ගේ මළසිරුර භාරගත්තා. ඒ දෙන්නා මළසිරුර භාර ගත්තේ මේ දරුණු අපරාධකාරයාගේ මොළයේ ස්‌වභාවය ගැන පරීක්‌ෂණයක්‌ කරන්නයි.

මේ වෛද්‍යවරු දෙන්නා බිග්නෝස්‌ ජෝර්-ගේ හිස්‌කබලේ ඉහළ කොටස ඉවත් කරලා මොළේ අරන් පර්යේෂණ කළා.. ඒත් බිග් නෝස්‌ගේ මොළයේ ස්‌වභාවය සාමාන්‍ය මිනිසෙකුගේ මොළයේ ස්‌වභාවයට වඩා වෙනසක්‌ නෑ කියලා ඔවුන්ට තහවුරු වුණා.

එතැනින් එහාට පර්යේෂණවලට වෛද්‍ය තෝමස්‌ මැගී සම්බන්ධ වුණේ නෑ.. පර්යේෂණ කළේ වෛද්‍ය ජෝන් ඔස්‌බර්න් විතරයි.. එතන ඉඳන් වෛද්‍ය ජෝන් ඔස්‌බර්න් කළේ හරිම අරුම පුදුම පර්යේෂණ.. වෛද්‍ය ඔස්‌බර්න් පළමුවෙන්ම කළේ ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌ යොදා ගනිමින් බිග්නෝස්‌ ජෝර්-ගේ මුහුණේ අච්චුවක්‌ හදා ගත්ත එකයි. ඊට පස්‌සේ ඔහු බිග්නෝස්‌ ජෝර්-ගේ මළසිරුරේ පපුවෙත් කලවා වලත් හම ඉවත් කරගත්තා. ඉන් පස්‌සේ ඔහු මේ සමේ කොටස්‌ අති විශේෂ උපදෙස්‌ මාලාවකුත් එක්‌ක ඩෙන්වර් හි සම් පදම් කරන ආයතනයකට යෑව්වා. ඒ උපදෙස්‌ අනුව සම් පදම් කරලා මේ සමේ කොටස්‌ වලින් හම් බෑගයකුත් සපත්තු දෙකකුත් හැදුවා. ඒ සපත්තු දෙක වෛද්‍ය ඔස්‌බර්න්ට ලැබුණාම ඔහු ඒ ගැන හිතපු තරම් සතුටු වුණේ නෑ.. ඔහු දීපු උපදෙස්‌ වලින් සමහරක්‌ සම් පදම් කරන ආයතනයෙන් නොසලකා හැරලා තිබුණු නිසා.. ඒත් වෛද්‍ය ඔස්‌බර්න් ඒ සපත්තු දෙක පාවිච්චි- නොකර හිටියේ නෑ..

බිග්නෝස්‌ ජෝරඡ්ගේ සිරුරේ ඉතිරි කොටස්‌ ටික විශේෂ ලුණු ද්‍රdවණයක්‌ මිශ්‍ර කරපු විස්‌කි බැරල් එකක දාලා සංරක්‌ෂණය කළා.. ඒ සිරුරේ කොටස්‌ වරින් වර අරගෙන වෛද්‍ය ඔස්‌බර්න් දිගටම එක එක පර්යේෂණවලට යොදා ගත්තා.

පස්‌සෙ කාලෙක මේ සිරුරු කොටස්‌ එක්‌කම මේ විස්‌කි බැරල් එක වෛද්‍ය තෝමස්‌ මැගීගේ කාර්යාලය පිටුපසවල දැම්මා.

කාලය ගෙවිල ගියා. වෛද්‍ය ඔස්‌බර්න් දේශපාලනයට ආවා. ව්යෝමින්ග්වල පළමුවැනි ප්‍රජාතාන්ත්‍රික ආණ්‌ඩුකාරයා බවටත් පත් වුණා.. පස්‌සෙ කාලෙක ජනාධිපති විල්සන් යටතේ ඇමරිකා එක්‌සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා බවටත් පත් වුණා.

1893 දී ආණ්‌ඩුකාරයා විදිහට වැඩ භාරගත්තු වෛද්‍ය ඔස්‌බර්න් පවත්වපු පළමුවැනි සාදයේදී එයාගේ මේ අරුම පුදුම මිනී හම් සපත්තු දෙක පැළඳගෙන හිටි බවයි කියවෙන්නේ..

බිග්නෝස්‌ ජෝර්-ගේ හිස්‌ කබලේ මතුපිටින් ඉවත් කරපු කොටස පර්යේෂණය ඉවර වෙලා වෛද්‍ය ඔස්‌බර්න්ගේ 15 හැවිරිදි සහායිකාව ලිලියන් හීත්ට දුන්නා.. පස්‌සෙ කාලෙක ව්යෝමින්ග් ප්‍රාන්තයේ පළමුවැනි කාන්තා වෛද්‍යවරිය වුණේ ඇය තමයි.. ඊට පස්‌සේ වෛද්‍ය ලිලියන් ගාව තිබුණ හිස්‌කබල් කොටස අලු බඳුනක්‌ විදිහට පාවිච්චි- කළා.. ඊටත් පස්‌සෙ ඒක දොරට අඩ තියන ලී කැබැල්ලක්‌ වගේ පාවිච්චි කළා කියලා කියවෙනවා.

ඊට පස්‌සෙ 1950 විතර වෙනකල් බිග්නෝස්‌ ජෝර්- ගැන කතන්දර කාලයත් එක්‌ක මිනිස්‌සුන්ට අමතක වෙලාම ගියා.. ඒත් 1950 අවුරුද්දේ දවසක අලුත් ගොඩනැඟිල්ලක්‌ හදන්න බිම් කැණීම් කරමින් හිටපු ගොඩනැඟිලි කම්කරුවන් පිරිසකට පොලව යට තිබුණු විස්‌කි බැරල් එකක්‌ හම්බ වුණා.. ඒ විස්‌කි බැරල් එක ඇතුලේ උඩ කොටස ඉවත් කරපු හිස්‌ කබලකුත්, මිනී ඇටකටු වගයකුත්, එළවලු මිශ්‍රණයක්‌ අඩංගු බෝතලයකුත්, හම් සපත්තු දෙකකුත් තිබුණා.

මේ හිස්‌කබල, සපත්තු.. මේවා කාට අයිති ඒවද කියලා ඒ පළාතේ අය නම් හොඳින් දැනගෙන හිටියා. ඒ වෙනකොටත් වෛද්‍ය ලිලියන් හීත් ජීවතුන් අතර හිටියා. එතකොට වෛද්‍ය ලිලියන් හීත්ට වයස අවුරුදු අසූවත් පහු වෙලානේ.. සිදුවීම මතක අය වෛද්‍ය ලිලියන් හීත්ට පණිවිඩය යෑව්වා. එතනට ආපු වෛද්‍ය ලිලියම් හීත් හිස්‌කබලත් සපත්තුත් අඳුන ගත්තා. ඒත් ඉතින් හරියටම තහවුරු කරගන්න ඕනනේ.. ඒ නිසා ඩී. එන්. ඒ. පරීක්‌ෂණයක්‌ මඟින් මේ හිස්‌කබලේත් සපත්තු දෙකේත් කතාව තහවුරු කරගත්තා.

අද වෙනකොට මිනිස්‌ හමින් හදපු ඒ සපත්තු දෙකත්, බිග්නෝස්‌ ජෝර්-ගේ හිස්‌ කබලේ පහත කොටසත් ව්යෝමින් හි රෝලින්ස්‌වල කාබන් ජනපද කෞතුකාගාරයේ තැන්පත් කරලා තියනවා. හිස්‌කබලේ ඉහළ කොටස නෙබ්‍රස්‌කාවල ඔමහා යූනියන් පැසෆික්‌ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියනවා. ඒත් ව්ග්නෝස්‌ ජෝර්-ගේ හමින් හදපු හම් බෑග් එකනම් අදටත් හමු වෙලා නෑ.

| නිම්මි මුදිතා හේරත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ස්මාර්ට්ෆෝන් සහකරු හුවාවි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  ස්මාර්ට්ෆෝන් සන්නාමය වන   ‘හුවාවි‘ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලලත් ස්මාර්ට්ෆෝන් සහකරු බවට පත්වෙයි.

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ලබාදීමට  ‘හුවාවි‘ එකඟ වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමෙන් සිය සන්නාමය  ක්‍රිකට් තරමට ශ්‍රී ලාකේය හදවත් වෙත සමීප කරවීමට  ‘හුවාවි‘ අපේක්ෂා කරයි.

‘හුවාවි‘ ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් සහ  ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් අතර මෙම ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වයට අත්සන් තැබීම සහ එම ගිවිසුම් හුවමාරු කරගැනීම පසුගියදා සිදුකෙරිණ.

මෙම අවස්ථාවට එක්වෙමින්  ‘හුවාවි‘  ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා සඳහන් කළේ  මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයුම්කරු මෙන්ම ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන ‘හුවාවි‘ ශ්‍රී ලංකා  ක්‍රිකට් හා අත්වැල් බැඳ ගැනීම සුවිශේෂි අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට්  වෙත සහයෝගය දැක්වීමට අවස්ථාවක් හිමිවීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද හෙතෙම සඳහන් කළේය.  ප්‍රජාවට සිය සිහිනයේ  බලය  අවබෝධ කර ගැනීමට  ඉඩ සැලසීම ‘හුවාවි‘ හි අරමුණ බවද හෙතෙම සඳහන් කලේය.

සන්නාමය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වර්ධනය කිරීම මෙන්ම  ලොව විවිධ සංස්කෘතින් වල විවිධ ජන කොටස් වලට අයත් පාරිභෝගිකයා  වෙත සමීප වීමට  ‘හුවාවි‘ සමත් වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.   විවිධ ජන සමාජ වල විවිධ ශක්‍යතා හඳුනා ගනිමින් ඒවාට අනුග්‍රහය ලබාදීමට ඉදිරියේදී ‘හුවාවි‘ සැලසුම් කර ඇති බවද  ‘හුවාවි‘ ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

‘හුවාවි‘ ඉතා කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත්වූ සන්නාමයක් වන අතර ‘හුවාවි‘ හි ජාත්‍යන්තර සන්නාම තානාපති වරයා වන්නේ ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී  ය.

‘හුවාවි‘ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සබඳියාව වසර 2014 දී සවිමත් වූයේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා අනුග්‍රහය දැක්වීමෙනි.  තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ලොව ප්‍රකට හා ප්‍රමුඛ සමාගමක් වන ‘හුවාවි‘ යුරෝපය, ආසියාව, අප්‍රිකාව, ඇමරිකාව සහ ශාන්තිකර  ආදී කලාපවල රටවල්  සඳහා විවිධාකාරයෙන් අනුග්‍රාහකත්වය සපයයි.

‘හුවාවි‘ ලොව ප්‍රමුඛ  විවිධ ක්‍රීඩා ඉසව් සඳහා  විවිධ අවස්ථාවල අනුග්‍රහය දක්වා ඇති ජාත්‍යන්තර සමාගමකි. ආසනල් පාපන්දු සමාජය, ඒ.සී.මිලාන්, සහ අයි.පී.එල්. ක්‍රිකට් තරඟාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීම ඉන් කිහිපයකි. මීට අමතරව ඇමරිකාවේ ප්‍රථම ක්‍රීඩා සමාජය වන වොෂිංටන් රෙඩ් ස්කින් කණ්ඩායම සමඟ ද ‘හුවාවි‘ අත්වැල් බැඳගෙන සිටින අතර  වසර 2012 සිට ඕස්ට්‍රෙිලියාවේ කැන්බරා රයිඩර්ස්  කණ්ඩායම වෙත ද ‘හුවාවි‘ සිය දායකත්වය දී තිබේ.




වැසිකිළි ප්‍රේම කතාවට අගමැතිගෙන් ප්‍රශංසා | VIDEO

අක්ෂේ කුමාර්ගේ නවතම සිනමා නිර්මාණය Toilet: Ek Prem Katha හි පූර්ව ප්‍රචාරකපටය පසුගියදා නිකුත් කෙරුණා. එය නිකුත් කෙරුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නිරේන්ද්‍ර සිං මෝදිගේ ප්‍රධානත්වයෙන්. මේ චිත්‍රපටයට අගමැති මෝදිගේ ප්‍රශංසාව හිමි වුණා.

අගමැතිතුමා කිව්වේ එය පිරිසිදුකම ගැන හිතලා නිර්මාණය කළ සිනමා නිර්මාණයක් බවයි. එයින් හොඳ පණිඩුවයක් ලැබෙන බවත් එතුමා පවසනවා. කෝටි 125ක් ජනතාව එකතු වෙලා පිරිසිදු ඉන්දියාවක් හදන්න මේ කතාව හොඳ ආදර්ශයක් බව අගමැති මෝදි තම ට්විටර් පිටුවේ සටහන් කළා. “බොහොම ස්තූතියි අගමැතිතුමනි. මේ ඔස්සේ යහපත් දේ වෙනුවෙන් ජනතාවගේ මනස වෙනස් කරන්න හැකි වේවි යැයි හිතනවා ” යනුවෙන් අක්ෂේද එයට පිළිතුරක් සටහන් කළා.

ශ්‍රී නාරායන් සිං අධ්‍යක්ෂණය කරන Toilet: Ek Prem Katha චිත්‍රපටයේ අක්ෂේ සමඟින් භූමි පෙඩ්නෙකර්, අනූපම් කේර්, සානා ඛාන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ඉන්දීය රජයේ වැඩපිලිවෙලක් වන මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද මෙයට උපයෝගි කරගෙන තිබීම විශේෂත්වයක්. ලබන අගෝස්තු 11 වැනිදා එය ලොවපුරා තිරගත කරන්න නියමිතයි.


කොළඹට අධි අවදානම් තත්වයක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 න් 14 ක්ම ඩෙංගු රෝගය පැතිරයාමේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා පවසනවා.

ඔහු කියා සිටියේ මේ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් පසුගිය සෙනසුරාදා සිට ආරම්භ කළ බවයි.

වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 69,380 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ඩෙංගු වැළදීමෙන් මියගිය සංඛ්‍යාව 210 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඩෙංගු වැළඳුණු පිරිසෙන් සියයට 20 ක් පමණ පාසල් ළමයින් වනවා.

විශේෂයෙන් ඩෙංගු වාහක මදුරුවන් පෙරවරු 6 සිට 9 දක්වා කාලය තුළ සක්‍රීයව සිටීම ඊට හේතුවයි.

මේ නිසා පාසල්වල දිනපතා පෙරවරු 11 සිට 12 දක්වා පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම ඩෙංගු මදුරු ඝණත්වය පාලනය කිරීම සඳහා එම මදුරු කීටයන් අනුභව කරන ශාකභක්ෂක මදුරු විශේෂ දෙකක් හඳුන්වාදීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගත්තා.

මෙම මදුරුවා අනුවර්තනය වී ඇත්තේ ග්‍රාමීය පරිසරයට වන අතර, ගැහැණු සහ පිරිමි සතුන් දෙවර්ගයම මල් පැණි සහ ශාක සාරයන් අනුභව කිරීමට හැඩ ගැසී තිබීම විශේෂත්වයක්.

පෞද්ගලික අධ්‍යාපනය ගැන ලියනගේ අමරකීර්තිගේ අදහස

“පෞද්ගලික අංශයේ මැදිහත් වීමකින් තොරව රාජ්‍ය අංශයට මේ සියල්ල දරාගත හැකිද? ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආයෝජන ශක්තිය රාජ්‍යයට තියෙනවද?” යනුවෙන් අචාර්ය ලියනගේ අමරකීර්ති මහතාගෙන් ඔහුගේ මිතුරෙකු විසින් විමසා සිටි අවස්ථාවක ඒ මහතා ඊට ලබා දුන් පිළිතුර සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සඳහන් කර තිබේ.

“පෞද්ගලික අධ්‍යාපනය ගැන සංවාදය….

මිතුරෙකු නැගූ වැදගත් ප්‍රශ්නයක්

“පෞද්ගලික අංශයේ මැදිහත් වීමකින් තොරව රාජ්‍ය අංශයට මේ සියල්ල දරාගත හැකිද? ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආයෝජන ශක්තිය රාජ්‍යයට තියෙනවද? සරළ උදාහරණයක් ගත්තොත් මම පාසැල් යන කාලේ කොළඹට දුරකතන ඇමතුමක් ගන්න පේරාදෙණිය තැපැල් කන්තෝරුවට ඇවිත් අවම වශයෙන් විනාඩි 30 – 45ක් අතර කාලයක් බලාපොරොත්තු සහගතව ඉන්න ඕනේ. නමුත් විදුලි සංදේශ ක්ෂේත්‍රයට පෞද්ගලික ආයෝජනය මැදිහත් වුන ගමන් එම ක්ෂේත්‍රය අත්පත් කරගත් දියුණුවේ ප්‍රතිලාභ අද අපි හැමෝම භුක්ති විඳිනවා. අද වැසිකිලියේ ශරීර කෘත්‍ය කරන ගමන් මට ඇමෙරිකාවේ වොෂින්ටන් වලට විනාඩියෙන් කතා කල හැකියි. අද පෞද්ගලික ආයෝජනය අතහැර අපිට පවතින්න පුලුවන් ද? අවශ්‍ය වන්නේ ප්‍රමිතිය සම්බන්ද රාජ්‍ය මැදිහත් වීමක් නේද?”

මගේ පිළිතුර–

“අධ්‍යාපනය සම්බන්ධ කාරණේදී ලෝක පුරවැසි භාවය වර්ධනය කිරීම, මනුෂ්‍යයත්වය වගා කිරීම, මනුෂ්‍ය ජීවිතයෙහි ගුණය ඉහළ දැමීම, මිනිසා සහ පරිසරය අතර සුසංවාදී කල්පැවැත්ම තහවුරු කිරීම, මනුෂ්‍යයන් අතර සාපේක්ෂ සමානතා සහ සාධාරණ තත්ත්ව ඇති කිරීම ආදී පරමාර්ථ වැදගත්. ඒවා ශිෂ්ටාචාරමය අවශ්‍යතා.

ඒවා හුදෙක් පෞද්ගලික ලාභ අපේක්ෂා කරන තනි ව්‍යාපාරිකයෙකුට කරන්න පුළුවන් දේවල් නෙමේ. කරන දේවලුත් නෙමේ. මොකද ඒ වගේ අධ්‍යාපනික අරමුණු පිණිස අවශ්‍යයි ලාබ නොලැබෙන විෂයයන් ඉගැන්වීම.

විශිෂ්ට ගණයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක් ඇති ඇමරිකා එක්සත් ජනපදයේත් ඒවා (හාවර්ඩ්, කෝර්නෙල්, යේල්, වර්ජිනියා යනාදී….) ඇති වුණේ තනි පුද්ගලයෙකුට ධනය උපයන්න නෙමේ. පොදු සමාජ පුනරුද ව්‍යාපාර විදියට. ඒ වැඩේදි පතල් කර්මාන්තය වැනි දේවලින් විශාල ධනවතුන් වුණු අය ඒ ධනය කැප කළා සමාජ ප්‍රගමනය වෙනුවෙන් නියම විශ්වවිද්‍යාල හදන්න. ඒ වගේ තත්ත්වයක් අපේ රටේ හැදෙන්න තියෙන ඉඩ අඩුයි. හැදෙන්න ඉඩ තියෙන්නෙ පෞද්ගලික ලාභ උපයන තනි ව්‍යාපාරිකයො. ව්‍යාපාරික පවුල්. සමාගම්.

ඒ නිසා පෞද්ගලික දුරකථන සේවා වගේ පෞද්ගලික අධ්‍යාපන ආයතන කියන්නෙ සරල වැඩක් නෙමේ. අනික අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ගුණාත්මක වූද සාකල්‍යවාදී වූද අධ්‍යාපනයක් ලබා දෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා ඉතා සමීප වූද දූෂණයෙන් තොර වූද නියාමනයකින් පවා අධ්‍යාපනයෙහි පොදු සමාජමය හරය ආරක්ෂා කරගන්න අමාරුයි. (නියාමන කරන්නෙත් අපි අපිමනෙ. සන්තෝෂම් සංස්කෘතිය අපේ කොටසක්නෙ.!!)

අපේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතියත් ඒ අර්ථයෙන් නියම සාකල්‍යවාදී අධ්‍යාපනයක් රකින්නෙ නැහැ. නිදර්ශනයක් හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය, ඉංජිනේරු. කළමනකරණ ශිෂ්‍යයො මානව ශාස්ත්‍ර විෂයයන් කීපයක් (දර්ශනය, සාහිත්‍යය, තුලනාත්මක සාහිත්‍යය, ඉතිහාසය වගේ)” ඉගෙනීම අනිවාර්යයි. අපේ විශ්වවිද්‍යාල එහෙම කරන්න හැදුවොත් අන්තරේම නායකත්වය දීල උද්ඝෝෂණය කරයි අර විෂයයන්ගෙ තත්ත්වෙ බාල කරනවා කියලා. විස්මෙ ඒක නෙමේ. එහෙම කියන අර විෂයවල මහාචාර්යලත් ඉන්නවා!!)

ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයොත් විද්‍යාත්මක ක්‍රම, විද්‍යාවේ ඉතිහාසය, විද්‍යාවේ දර්ශනය ආදිය ගැන පාඨමාලා කීපයක් ඉගෙනගන්න ඕනෙ. ඒ අය ලංකාවේ ප්‍රධාන ලෙඩ රෝග, ඒවාට අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර, ලංකාවේ වැසියෙකු ලෙස සාමන්‍යයෙන් දැනගත යුතු බෙහෙත් වර්ග ගැන පාඨාමාලාවක් දෙකක් වෛද්‍ය පීඨෙනුත් ඉගෙන ගන්න එක නරක නැහැ. ඒත් එහෙම කළොත් අන්තරේ ළමයි උසිගන්නයි ශිෂ්‍යයන්ගෙ නිදහස සීමා කරනවා හරි මොකක් හරි කියලා!! වෛද්‍ය පීඨෙ ශිෂ්‍යයොත් ඇවිස්සෙයි තමන්ගෙ පරමාධිපත්‍යය නැති වෙන ආකාරයට දැනුම විසරණය වීම ගැන! (ඒක නම් ෂුවර්ම තමයි.)”



ජනපති ලේකම්ගේ නිවේදනයේ ඇතැම් කරුණුවලට GMOA විරෝධය

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් වරයා විසින් නිකුත් කළ නිවේදනයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ විධායක සභාව රැස්වීමෙන් පසු අද(26) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී එම කරුණු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කෙරුණි.

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු කිහිපයක් ඒ ආකාරයෙන්ම අදාළ නිවේදනයේ දක්වා තිබුණ ද  ඇතැම් කරුණු කිසිසේත් එකඟ නොවූ සහ අළුත් කරුණු වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා සහ  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු වෙනස් කළේ කවුරුන්ද යන්න පිළිබදව ජනාධිපති ලේකම්වරයා විසින් පැහැදිළි කළ යුතු බව එම සංගමය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකන් සේවකයෝ 780ක් ඉවතට?

අධික මූල්‍යමය පාඩුවක් පිට පවත්වාගෙන යන ශ්‍රීලන්කන් එයාර් ආයතනය ගොඩගැනීම සඳහා දැනට සිටින අතිරික්ත සේවකයන් 780ක් අනිවාර්ය විශ්‍රාම ක්‍රමය ඔස්සේ ඉවත්කළ යුතු බව පාලනාධිකාරිය රජයට යෝජනා කර ඇතැයි වාර්තා වනවා.

එසේම ශ්‍රී ලන්කන් ගුවන් යානාවලට සැපයෙන ඉන්ධන සඳහා අයකෙරෙන ගාස්තුව ලීටරයකට ඩොලර් ශත 15කින් අඩු කළහොත් පවතින පාඩුව ඉතා ඉක්මණින් පියවාගත හැකි බවද යෝජනා කර තිබෙනවා.

ලොව සෙසු ගුවන් සේවා වාර්ෂිකව ලබන පාඩුවට සාපේක්ෂව ශ්‍රිලන්කන්හි පාඩුව අඩු යැයිද පාලනාධිකාරිය රජයට සැපයූ විශේෂ වාර්තාවක සඳහන් වනවා.

දැනට එමිරේට්ස් සමාගමේ වාර්ෂික පාඩුව 9.4%කි. කැතේ පැසිපික් ගුවන් සමාගමේ පාඩුව 12%කි. කටාර් ගුවන් සේවය 9.8%ක් පාඩු ලබයි. ශ්‍රී ලන්කන් වාර්ෂික පාඩුව 4.7%කි. මේ නිසා සාධනීය පියවර ගෙන ශ්‍රීලන්කන් අනාගතය ලාභදායී තත්ත්වයට පත්කළ හැකි බව මෙම යෝජනාව මගින් රජයට පෙන්වා දී ඇත්තේ.

මන්නාරම ද්‍රොණියේ වසර 60කට ප්‍රමාණවත් බොරතෙල් ඇතැයි හෙලිවේ

මන්නාරම් ද්‍රෝණියේ  තෙල් බැරල් ඝන අඩි බිලියන පහක්‌ සහ ස්‌වාභාවික ගෑස්‌ ඝන අඩි ට්‍රිලියන නවයක්‌ පමණ ඇති බව රජය තහවුරු කර තිඛෙනවා.

පාර්ලිමේන්තුව හමුවේ සභාගත කළ රජයේ ගිණුම් කාරක සභා වාර්තාව තුලයි මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ.

ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතුවල වර්තමාන තත්ත්වය පැහැදිලි කරන මෙම වාර්තාව අනාවරණ කරන්නේ අදාළ ඉන්ධන හා ගෑස් වසර 60 ක කාලයක් සදහා මෙරට භාවිතයට ප්‍රමාණවත් වනු ඇති බවයි.

අටවන පාර්ලිමේන්තුවේ පලමු ගිණුම්කාරක සභා වාර්තාව මේ අයුරින් ඉදිරිපත් කර තිබුණේ එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින්.

මෙම තෙල් ළිඳක කැණීමේ සිට නිෂ්පාදනය දක්‌වා වන ක්‍රියාවලිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන පනහක සිට ඇමරිකානු ඩොලර් බිලියනය දක්‌වා වියදමක්‌ දැරීමට සිදුවීම සම්බන්ධයෙන්ද වාර්තාවෙන් කරුණු දක්වා තිඛෙනවා.

මන්නාරම ද්‍රෝණියේ  එම් 2 කොටස මේ වන විට ගවේෂණ අදියරේ සිට සංවර්ධන අදියර දක්‌වා ළඟාවිය හැකි මට්‌ටමක පවතින බැවින් ගැලපෙන ගවේෂකයකු සම්බන්ධ කර ගනිමින් එම කටයුතු ආරම්භ කළ හැකි බවයි වාර්තාව මගින් දන්වා ඇත්තේ.

රටේම කැළිකසළ ප්‍රශ්නයට 2019 වසරේදී විසදුම්

රටේම කැළි කසළ ප්‍රශ්නය විසඳීම සඳහා පුත්තලම අරුවක්කාලි ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂිත. කසළ රඳවනයක් ඉදි කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

මෙහි වැඩකටයුතු මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.

එම වැඩකටයුතු සාර්ථක වුවහොත් 2019 වසරේ සිට මෙම කසල රඳවනයේ කැළි කසළ  තැන්පත් කළ හැකි බවද අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු ධූරය පිළිබඳ මහේල කතා කරයි

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දීර්ඝ කාලීන කටයුතු කිරීමට තමාට හැකියාවක් නැතැයි මහේල ජයවර්ධන පවසනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට විශ්වාසක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

නමුත් මහේල ජයවර්ධන ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම තුල සටහනක් තබමින් පවසා ඇත්තේ තමන්ට එවැනි අදහසක් නොමැති බවත් තමන්ගේ වැඩි අවධානය මේ වනවිට යොමුව ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සදහා පමණක් බවයි.


සයිටම් ගැන රජයේ ඉදිරි පියවර නිවේදනය කෙරේ | PHOTO

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන පියවර ඇතුලත් නිල නිවේදනයක් අද නිකුත් කෙරුණා.

ඒ ජනාධිපති ලේකම්වරයා විසින්.

වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම ප්‍රමිතිය නීතිගත කිරීම / සයිටම් ආයතනයට සිසුන් බදවා ගැනීම අත්හිටුවීම හා එය කොටස් වෙළදපල ලයිස්තුගත සමාගමක් බවට පත් කිරීම මෙම නිර්දේශ අතරට ඇතුලත් වනවා.
මේ ඒ පිළිබද නිකුත් කළ නිල නිවේදනයයි.

01-1
02-1