27 June 2017

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අද (27) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

මීට පෙර සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ යෝජනාවලදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බව ප්‍රකාශයට පත්වුණා.

‘සංහිඳියාව යනු’ මැයෙන් පැවැත්වෙන ඡායාරූප තරගාවලියට අයැදුම්පත් කැඳවේ


ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් දූත කාර්යාලය හා එක්ව එළඹෙන සැප්තැම්බර් මාසයේදී ‘අපේක්ෂා’ (Hope) නමින් විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකාව නිදහස ලබා  70 වසරක් ගෙවී යන මේ මොහොතේදී සාධාරණ හා සමානාත්මතාවයෙන් යුත් සමාජයක් සඳහා මඟපෑදීමට, තමන් සංහිඳියාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබිඹුවන ආකාරයේ ඡායාරූප ලබාගැනීමටත් ඒවා ඔස්සේ තම අදහස් ප්‍රකාශ කිරීමටත් ශ්‍රී ලාංකික ජනතාවට වේදිකාවක් නිර්මාණය කරදීම මෙම ඡායාරූප ප්‍රදර්ශනයෙන් අරමුණු කෙරේ.

ඒ අනුව ආධුනික හා ප්‍රවීණ යන කාණ්ඩ දෙක ඔස්සේ ඕනෑම අයෙකුට ‘සංහිඳියාව යනු...’ මාතෘකාව යටතේ ඡායාරූප ලබාගෙන මේ සඳහා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතී. ඒ අතුරින් අත්දැකීම් බහුල විනිසුරු මඬුල්ලක් විසින් තෝරාගැනෙන හොඳම ඡායාරූප 70, ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ප්‍රදර්ශනයට එක්කෙරෙනු ඇත. තවද යුරෝපා සංගම් දූත කාර්යාලයේ 2018 වාර්ෂික දින කැලැන්ඩරය නිර්මාණය කිරීමේදීත් මේ ඡායාරූප භාවිත කිරීමට නියමිත අතර ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය එම සේයා රූ යොදා පොත් පිංචක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙයි.

ආධුනික ඡායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වය වඩාත් දිරිගන්වමින් තමන්ගේ ස්මාට් ජංගම දුරකතන ඔස්සේ ලබාගන්නා ඡායාරූප පවා මෙයට ඉදිරිපත් කළ හැකි බව සංවිධායකයින් පෙන්වා දෙයි. ආධුනික සහ ප්‍රවීණ යන කාණ්ඩ දෙකේම ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හිමිවේ.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේ පැවසුවාය. “ජාතික සමගිය හා සංහිඳියාව ඉදිරියට ගෙනයාම වෙනුවෙන් අප කාර්යාංශය සිසුන්, විද්වතුන්, විශ්ව විද්‍යාල, ප්‍රතිපත්ති සම්පාදකයින්, සිවිල් සමාජය හා පූජ්‍ය පක්ෂය ආදී සමාජයේ විවිධ පිරිස් සමඟ සමීපව කටයුතු කරනවා. වර්තමාන රජයේ ප්‍රමුඛතාවන් හා අනුගත වෙමින් සංවිධානය කෙරෙන මෙම ඡායාරූප ප්‍රදර්ශනය ඔස්සේ සංහිඳියාව තමන්ට දැනෙන ආකාරය නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජනතාවට උදාවෙනවා”.

“ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය වෙනුවෙන් සහාය දැක්වීම යුරෝපා සංගමයේ ඉහළ ප්‍රමුඛතාවයක් ලෙස සැලකිය හැකියි. ඒ නිසා ශ්‍රී ලාංකිකයින් සතුව රටේ අනාගතය ගැන තිබෙන සුබවාදී අපේක්ෂාවන් පිළිබිඹු කිරීමට ජාතික සමගිය හා සංහිඳියාව කාර්යාංශයත් සමඟ එක්වී මෙම වැඩසටහන අපි ඉදිරිපත් කළා. මේ ඡායාරූප ප්‍රදර්ශනය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ, ජාතික සංහිඳියාවේ අවශ්‍යතාව වෙනුවෙන් සෙසු ශ්‍රී ලාංකිකයන් සමඟ හැඟීම් හුවමාරු කරගැනීමට කතිකාවතක් නිර්මාණය කරදීමයි. සංහිඳියාව ක්‍රියාදාමය තුළින් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවගේත් ඔවුන්ගේ සංස්කෘතික විවිධත්වයේත් වටිනාකම අගය කිරීමට ලක්කරන අනන්‍යතාවයන් රැසක් බිහිවනු ඇත යන්න අපේ විශ්වාසයයි” යනුවෙන් මෙරට යුරෝපා සංගම් දූත කාර්යාලයේ උපදේශක පෝල් ගොඩ්ෆ්‍රි මහතා පැවසීය.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු ආකාරය:

නිර්මාණයේ පැහැදිලිතාව (resolution): උපරිම පැහැදිලිතාවයෙන් හා ඡායාරූපයේ මුල් ස්වරූපය ආරක්ෂාවන පරිදි ඉදිරිපත් කළ යුතුය.

නිර්මාණයේ ලිපිගොනු ධාරිතාව: මෙගා බයිට් 25ට අඩු

සඳහන් කළයුතු තොරතුරු: ඡායාරූප ශිල්පියාගේ නම, ඡායාරූපය ගනු ලැබූ ස්ථානය, ඡායාරූපයට ඔබින පාඨයක් (ඇත්නම්)

නිර්මාණ එවිය යුතු විද්‍යුත් ලිපිනය - hope.exhibition2017@gmail.com

වැඩිදුර තොරතුරු පුවත්පත් සහ පහත වෙබ් අඩවි හරහා ලබාගත හැක.

ONUR ෆේස්බුක් පිටුව: www.facebook.com/ONURgovLK

යුරෝපා සංගම් දූත කාර්යායේ ෆේස්බුක් පිටුව: www.facebook.com/EUDel.Srilanka.Maldives

ඡායාරූප ප්‍රදර්ශනයේ නිල ලාංඡනය මේ සමඟ අමුණා තිබේ.

වැඩිදුර තොරතුරු සඳහා:

 දේශපාලන, වෙළෙඳ හා සන්නිවේදන අංශය
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත කාර්යාලය
දුරකතන: + 94 11 2674413
විද්‍යුත් ලිපිනය: delegation-sri-lanka-press-and-information@eeas.europa.eu
වෙබ්: www.eeas.europa.eu/delegations/sri_lanka
ෆේස්බුක්: www.facebook.com/EUDel.Srilanka.Maldives
ට්විටර්: @EU_in_Sri_Lanka

 සන්නිවේදන හා සබඳතා අංශය
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය
දුරකතනය: + 94 11 2343501
විද්‍යුත් ලිපිනය: ad.cod@onur.gov.lk ;
වෙබ්: www.onur.gov.lk
ෆේස්බුක්: www.facebook.com/ONURgovLK
ට්විටර්: @ONURgo

අමාත්‍යංශ ගෙවල්කුලී වසරකට කෝටි 180ක්..!

අමාත්‍යාංශ 46න් 24ක් හා තවත් අමාත්‍යංශ 16ක කොටස් කුලී ගොඩනැගිලිවල පවත්වා ගෙනයාම නිසා වර්ෂයකට රුපියල් කෝටි 180ක මුදලක් කුලී ගෙවීම සඳහා වැය කිරීමට රජයට සිදු වී ඇත. අමාත්‍යංශ පවත්වා ගෙන යාමට කුලී පදනම මත ලබා ගෙන ඇති ගොඩනැගිලි සඳහා මාසයකට ගෙවන කුලී මුදල රුපියල් කෝටි 15ක් පමණ වී ඇත. මෙම ගොඩනැගිලි සඳහා ගෙවා ඇති අත්තිකාරම් මුදල කෝටි 100කට අධිකය.

මීට අමතරව රාජ්‍ය ආයතන ගණනාවක්ම කුලී ගොඩනැගිලිවල පවත්වා ගෙන යයි. මෙයට හොඳම උදාහරණය සිවිල් ගුවන් සේවා අධිකාරියයි. වසර 15ක කාලයක් තිස්සේ මෙම ආයතනය කුලී ගොඩනැගිල්ලක පවත්වා ගෙන යාමයි. එහි කුලිය වශයෙන් රුපියල් කෝටි 1306ක පමණ මුදලක් ගෙවා ඇති බව විශ්වාස කරයි. මෙම ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය රුපියල් ලක්‍ෂ 60කි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය ලබන ලාභයෙන් කෝටි 70ක් බැගින් මුදලක් විටින් විට මහාභාණ්ඩාගාරයට ලබාදීමයි. මෙම කෝටි 70ක මුදල වැයකර ගුවන් සේවා අධිකාරියට තට්ටු හත අටක ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමට අවස්ථාව ඇත. එකම ගොඩනැගිල්ලක් ඉදිකර ගත්තා නම් මසකට ලක්‍ෂ 60ක මුදලක් ආයතනයට ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.

මීට අමතරව අමාත්‍යංශ සඳහා ද කුලී පදනම මත ගොඩනැගිලි ලබාගෙන ඇත. එම ගොඩනැගිලි සඳහා ගෙවනු ලබන කුලිය මෙසේය.

තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 4.23කි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 1.586කි. නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 2.401කි. විශේෂ කා්යභාර අමාත්‍යංශය සඳහා මිලියන 1.1114කි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සඳහා මිලියන 2.847කි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහා මිලියන 1.700ක් ගෙවනු ලැබයි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 1.719ක්ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහා මිලියන 4.896ක්ද, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 2.909ක්ද, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 3.347ක්ද, විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා මිලියන 3.278ක්ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංයෙ සඳහා රුපියල් ලක්‍ෂ 4ක්ද, විදේශ රැකියා අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 2.060ක්, විදේශ රැකියා අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා මිලියන 1.278ක්ද, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා මිලියන 24.570ක්ද, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 2.062ක්ද ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා රුපියල් ලක්‍ෂ 6.22ක්ද ගෙවනු ලබයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 1.081ක්, එම අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා රුපියල් 70,000ක්, අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 3.940ක්, එම අමාත්‍යංශයේ තව කොටසක් සඳහා මිලියන 1.233ක්, එම අමාතංශයේ තවත් කොටසක් සඳහා රුපියල් ලක්‍ෂ 8ක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 3.432ක් ගෙවනු ලබයි.

වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහා මිලියන 1.669ක්, ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශය සඳහා මිලියන 1.610ක්, සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශය සඳහා මිලියන 11.958ක්, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය සඳහා මිලියන 1.924ක්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සඳහා මිලියන 1.405ක්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සඳහා මිලියන 4.544ක් ගෙවනු ලබති.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය සඳහා මිලියන 1.25ක්, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 11.331ක්, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහා ගෙන ඇති ගොඩනැගිලි දෙක සඳහා මිලියන 3.954ක්, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 1.930ක්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහා මිලියන 9.900ක්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය සඳහා මිලියන 1.412ක්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ කොටසක් සඳහා රුපියල් 8,95000ක්, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ කොටසක් සඳහා රුපියල් 9,25000ක් ගෙවනු ලබති.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහා මිලියන 7.075ක්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහා රුපියල් 5,91,048ක් මාසිකව ගෙවනු ලබති.

මෙයින් වැඩිම කුලිය ගෙවනු ලබන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙනි. එහි කුලිය මාසයකට රුපියල් ලක්‍ෂ 245කි.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක  රජයේ ගොඩනැගිලිවල අමාත්‍යංශ 25ක් හා රාජ්‍ය අමාත්‍යංශ 11ක් පවත්වා ගෙන යන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කීය.
එම අමාත්‍යංශ සඳහන් කරමින් ඇමැතිවරයා මෙසේ ද කීය.

“මහාමාර්ග හා උසස් අධ්‍යාපන, වාරිමාර්ග හා ජල සම්පත්, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු, ඉඩම්, පරිසර හා මහවැලි, ධීවර හා ජලජ සම්පත්, කර්මාන්ත හා වාණිජ, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා, ආරක්‍ෂක, අධිකරණ, ආපදා කළමනාකරණ, අධ්‍යාපන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන, මුදල්, බුද්ධ ශාසන, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය, පළාත් සභා හා පළාත් පාලන, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, ස්වදේශ කටයුතු, ක්‍රීඩා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, විදේශ කටයුතු, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් යන අමාත්‍යංශ රජයේ ගොනැගිලිවල පවත්වනවා. මේවායින් කුලියට ලබාගත් කොටස්වල අමාත්‍යංශ පවත්වා ගෙන යනවා. මහාමාර්ග, ඉඩම්, මුදල්, අධ්‍යාපන, ධීවර හා ජලජ සම්පත්, ආරක්‍ෂක, උසස් අධ්‍යාපන, කර්මාන්ත හා වාණිජ, වාරිමාර්ග හා ජලසම්පත්, නගර සැලසුම් හා ජල සම්පාදන, වෘත්තීය පුහුණු යන රාජ්‍ය අමාත්‍යංශ රජයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යනවා.

මෑතක පිහිටුවන ලද අමාත්‍යංශ තුනක් සඳහා ද කුලී ගොඩනැගිලි ලබාගැනීමට සිදුවී තිබේ. මේ පිළිබඳව මහ නගර සභා, බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ සියලු රාජ්‍ය ආයතන ඉදිරියේදී බත්තරමුල්ලට ගෙන ඒමට සැළසුම් කර ඇති බවයි.  ඒ සඳහා දැනටමත් සෙත්සිරි පාය – 1, සෙත්සිරිපාය – 2, සුහුරුපාය යන ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන පවත්වාගෙන යන අතර මෙම වැඩපිළිවෙළ තවදුරටත් සංවර්ධනය කර කුලී ගොඩනැගිලවලට යන අතිවිශාල වියදම අවම කර ගැනීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා කීය. රජයේ ගොඩනැගිලිවලින් ද කුලියක් අයකරන අවස්ථා ඇතත්, එය මේ තරම් විශාල මුදලක් නොවනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ape rata

දිවි නසා ගැනීමට තොණ්ඩු සපයන අපේ රටේ මාධ්‍ය භාවිතය

“මේ මරණය පෙම් සබඳතාවක් හේතුවෙන් සිදු කරගෙන ඇතැයි ද පැවසේ”

උක්ත වැකිය උපුටා ගනු ලැබුවේ ජාතික පුවත්පතක පළවූ වාර්තාවකිනි. ඊට පසුබිම් වී තිබුණේ කෑගල්ල ප්‍රදේශයේ සිසුවියක් දුම්රියට පැන දිවි නසා ගැනීම ය. සිසුවියගේ ඡායාරූපයක් ද සහිත ව සියලු තොරතුරු පළ කර තිබුණේ මිය ගිය තැනැත්තිය මෙන් ම ජීවතුන් අතර සිටින ඇගේ පියා ඇතුළු ඥාතීන් ද අසීරුතාවට හා ලැජ්ජාවට පත් වන පරිද්දෙනි.

පසුගිය දිනවල දුම්රියට ගෙල තබාගෙන සිය දිවි හානි කරගත් සිදුවීම් රැසක් පුවත්පත් ඔස්සේ වාර්තා කර තිබිණ‍. ඇතැම් දිනපතා පුවත්පත් ඒවා ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්කරගත් අයුරු ද පෙනේ.

මහනුවර දී තරුණියක් දුම්රියට ගෙල තබා ගෙන මිය යෑමේ සිදුවීම වාර්තා කිරීම සඳහා පුවත්පත් විශාල ඉඩක් වෙන් කළේ ය. ප්‍රධාන පුවත බවට පත්කර ගැනීමට අමතර ව තරුණියගේ මළ සිරුරේ ඡායාරූප සහ ජීවතුන් අතර සිටියදී ගනු ලැබූ ඡායාරූප ද කැපී පෙනෙන අයුරින් පළ කර තිබිණි.

ඇගේ රූමත් බව ද පෙම් සබඳතාවක් තිබී ඇති බව ද ප්‍රවෘත්ති වාර්තා ලියන්නන් හා විශේෂාංග ලියන්නන්ගේ අවධානයට ලක්ව තිබිණ. එම තොරතුරු පළව තිබුණේ ද ජීවතුන් අතර සිටින ඇගේ පවුලේ අය අසීරුතාවට හා ලැජ්ජාවට ලක් වන පරිද්දෙනි.

මිය ගිය තැනැත්තියගේ ජීවිතයේ සැඟවුණු රහස් සොයා බැලීමේ නීච කුතුහලය පාඨක සිත්හි ඇවිස්සීම ලේඛකයන්ගේ අරමුණ වී ඇති බව පෙනේ.

සිය දිවි නසා ගැනීමේ පුවත් වාර්තා කරන්නෝ අඩු වැඩි වශයෙන් මේ පිළිවෙත අනුගමනය කරති.

සෙල්පි ඡායාරූප ගැනීමට ය‍ෑමෙන් ද දුම්රියට ගෙල තබා ගැනීමෙන් ද මියගිය පුද්ගලයන් පිළිබඳ පුවත් බහුල සමයක අපි ජීවත්වෙමු. මේ සියලු සිදුවීම් එසැණින් වාර්තා වන මට්ටමට ජනමාධ්‍ය ප්‍රබල ය. සියදිවි නසා ගැනීම, මිනිස් ඝාතන, ළමා හා කාන්තා අපයෝජන යනාදී සිදුවීම් වාර්තා කිරීමේ දී පුවත්පත් කලාවේදීන් තම මාධ්‍යයට අදාළ ආචාර ධර්ම තඹේකට මායිම් නොකර කටයුතු කිරීම පොදු යථාර්ථයක් බවට පත්ව ඇත.

පසුගිය සති කිහිපයයෙහි ජනමාධ්‍යවල උණුසුම් මාතෘකා බවට පත්ව තිබුණේ සිය දිවි නසා ගැනීම් ය.

ඇතැම් මාධ්‍ය වාර්තා නිර්දෝෂී පුද්ගලයන් අපරාධකරුවන් බවට පත් කිරීම ඔස්සේ ඔවුන් දිවි නසා ගැනීමේ තීන්දුවට තල්ලු කිරීමට ද බලපා තිබේ.

කොටකෙතන ප්‍රදේශයේ මවක් තම තරුණ පුතා අතින් ඝාතනය වූ බවට පොලීසියේ ප්‍රකාශ අනුව ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේ ය. පොලීසිය සැබෑ අපරාධකරු වසන් කිරීමේ උවමනාවෙන් තරුණයාට පහරදී බලෙන් කටඋත්තර ගත් බව පසුව අනාවරණය විය. තරුණයා නිදහස් වී ගෙදර ගියේ ය; සමාජ අවලාද ඉවසනු නොහැකි ව දිවි නසා ගත්තේ ය. තම මරණයට හේතුව පොල‍ීසිය හා ජනමාධ්‍යය බව ලියා තබමින් ඔහු ගෙල වැල ලා ගත්තේ ය. තරුණයා මිනීමරුවකු කළ ජනමාධ්‍ය ඉන් පසු මුනිවත රැක්කේ ය.

යුද්ධය පැවති අවධියෙහි ආරක්ෂක හමුදාවන්හි රණශූරත්වය වර්ණනා කරමින් මිය ගිය ත්‍රස්තවාදීන්ගේ මස් වැදලි ප්‍රදර්ශනය කිරීම මාධ්‍යයෙහි ප්‍රධාන කටයුත්ත විය. එල්ටීටීඊ බෝම්බ පිපිරීම්වලින් දකුණේ මිය ගිය පුද්ගලයන් පිළිබඳ වාර්තාකරණයේ දී ද මළ සිරුරු ප්‍රදර්ශනය කිරීම මාධ්‍යයේ ප්‍රමුඛ කාර්යය බවට පත් විය. ළමා හා කාන්තා අප‍යෝජන සිදුවිමක දී ප්‍රධාන මාතෘකාව වන්නේ එම අපරාධය සිදුවූ ආකාරයයි‍.

ආසන්න උදාහරණ දෙකක් හැටියට යාපනයේ සිසුවියක් සමූහ අපයෝජනයට ලක් කර මරා දැමීම හා කොටදෙණියාව ප්‍රදේශයේ දැරියක් අපයෝජනය කර මරා දැමීම ගෙන හැර දැක්විය හැකි ය.‍

මේ සිදුවීම් දෙකේ දී ජනමාධ්‍ය ආචාර ධර්ම තුට්ටු දෙකට දැමූ ඊනියා මාධ්‍යවේදියෝ මිය ගිය දැරියන්ගේ ඡායාරූප, නම් ගම්, ජීවන තොරතුරු හා අපරාධය සිදු වූ ආකාරය සජීවමත් වාර්තා කළහ. මිය ගිය පුද්ගලයා සහ අපරාධකරුවන් අතර ඇති වූ දෙබස් ද ලියුවේ පටි ගත කිරීමේ යන්ත්‍රයක් ළඟ තබාගෙන සිටියා දැයි සැක හිතෙන පරිද්දෙනි. මේ සියල්ල සිදු ක‍ළේ පාඨකයන්ගේ නීච කුතුහලය අවුස්සා පුවත්පත් අලෙවිය වැඩිකර ගැනීම පිණිස ය. පුවත්පත් යන මග අනුව ම ගිය විද්‍යුත් මාධ්‍යය ද ඒ පිළිවෙත ම අනුගමනය කළේ ය.

එක් පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් කොටදෙණියාව දැරියගේ සිරුර විටින් විට ප්‍රදර්ශනය කළේ කිසිදු හිරිකිතයකින් තොරව ය. අපරාධය ඉක්මනින් සොයා ගනු පිණිස මෙවැනි වාර්තා පළ කළ බව පැවසුණත් එහිදී සිදුවී තිබුණේ වෙනත් දෙයකි. එනම් ඊනියා මහජන විරෝධතා සහ මාධ්‍ය බලපෑම් හමුවේ නන්නත්තාර වූ පොලීසිය යන්තම් හෝඩුවාවක් තිබ‍ූ පමණින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පහරදී ප්‍රශ්න කිරීම ය.

ජනමාධ්‍ය තම සීමා ඉක්මවා යමින් කටයුතු කිරීම එහිදී කැපී පෙනිණ. ඕනෑම කුඩා සිදුවීමක් වුව ද ජාතික ප්‍රශ්නයක් බවට පත් ‍කිරීමේ හැකියාව ජනමාධ්‍යයට පවතී. හතර වැනි ආණ්ඩුවේ බල මහිමය එසේ ය.

ඒ බලය අනිසි අයුරින් භාවිත කිරීමෙහි ප්‍රතිඵල නිසා රට පුර‍ා ජාතිවාදය ආගම්වාදය හා අපරාධ තලු මැරීමේ අශිෂ්ට ගුණය වර්ධනය වී තිබේ. පසුගිය සති කිහිපයෙහි සිය දිවි නසා ගැනීම් වාර්තාකරණයෙහි තිබූ වැරදි ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ ජාතික ළමා රක්ෂණ අධිකාරිය ජූනි 19 වැනිදා ජනමාධ්‍යයෙන් ඉල්ලීමක් කළේ ය.

එනම් සිය දිවි හානි කර ගැනීම් වාර්තාකරණයෙන් වළකින ලෙස ය. දුම්රියට ගෙල තබාගෙන දිවි නසා ගැනීම් ප්‍රමුඛ සිදුවීම් ලෙස වාර්තා කිරීම ඔස්සේ එබඳු මරණ සුලබ වීමේ ප්‍රවණතාවක් දිස්වීම මීට හේතුව ය. සිය දිවි නසා ගැනීම් හැඟීම් බරව සවිස්තරාත්මක වාර්තා කිරීම දිවි නසා ගැනීමට අනුබල දෙන්නක් බව අධිකාරියෙහි නිරීක්ෂණයයි. ඒ වෙනුවට එම ආයතනය ජනමාධ්‍යයෙන් ඉල්ලීමක් කරයි. එනම් දිවි නසා ගැනීමේ මානසිකත්වයක් ඇති අයට එයින් මිදීම සඳහා ඇති මාර්ග හඳුන්වා දෙන ලෙස ය. ඒ සම්බන්ධයෙන් උපදේශනාත්මක සේවා සහ අවශ්‍ය නම් ප්‍රතිකාර ලබාදිය හැකි ආයතන ඇතත් මහජනතාවට ඒ පිළිබඳ සන්නිවේදනය කිරීමේ වගකීම ද ජනමාධ්‍යය පැහැර හැර තිබේ.

බෝධි පූජා, ධාතු ප්‍රදර්ශන, මිනිස් ඝාතන, අපයෝජන වාර්තාකරන ජනමාධ්‍ය ලාබ ජනප්‍රියත්වය මිස තම අරමුණ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු නො පෙනේ.

මෙහිදී මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ද වැදගත් වන්නේ කුමන ක්‍රමයකින් හෝ තම ආයතනය ජනප්‍රිය මාධ්‍ය ආයතනය බවට පත් කිරීම ය.

දැන්වීම් ආදායම් ලබා ගැනීමේදී අලෙවිය ප්‍රධාන සාධකයකි. එ නිසා ජනමාධ්‍ය ආචාර ධර්ම කඩවීම ඔවුනට වැදගත් නොවන ප්‍රශ්නයකි.

සියදිවි නසා ගැනීම් විෂයයෙහි ලංකාවේ ජනමාධ්‍ය වගකීමකින් කටයුතු කළ යුතු ව ඇත්තේ එක් විශේෂ හේතුවක් නිසා ය. එනම් ලෝක මට්ටමින් ගත් කල ශ්‍රී ලංකාව සිය දිවි නසා ගැනීම් ප්‍රතිශතය අනුව ලොව ඉහළ ම රටවල් කීපය අතර සිටිනා හෙයිනි. මෑතක් වනතුරු ඒ අතින් ප්‍රථමයා වූයේ ද ලංකාව ය.

ඉහළ ම ආගමික ළැදියාව, සිය දිවි හානිකර ගැනීම, සාගරයට අපද්‍රව්‍ය එකතු කිරීම යනාදී අංශ ගණනාවකින් ම ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවීම සමාජ විද්‍යාඥයන්ගේ අවධානයට ලක් විය යුත්තකි!

“1985 – 2000 කාලයේදී යුද්ධය නිසා මිය ගිය සංඛ්‍යාව 50,000 කි. එසේ වුව ද එම කාලයේදී එක් ලක්ෂ හය දාහක සංඛ්‍යාවක් සියදිවි හානි කර ගෙන තිබේ. සිය දිවි හානිකර ගැනීමට දරන ලද උත්සාහය එමෙන් කිහිප ගුණයකි.

මේ සංඛ්‍යාවෙන් 60% ක් තරුණ පිරිස වීම ඛේදනීය තත්ත්වයකි. එසේ නම් ඊට විශේෂ හේතු තිබිය යුතු ය. 1971, 1989, 2009 යනාදී අවස්ථාවලදී රජය විසින් මර්දනය කරන ලද ත්‍රස්තවාදී කැරලිවල දී මිය ගිය තරුණ ජනගහනය ලක්ෂ දෙකකට අධික වන බව මෙහිදී සිහිපත් කළ යුතු ය.

දිවි නසා ගැනීම සහ තරුණ කැරළිකාරිත්වය යන දෙකම දරුණු සමාජ දේශපාලන අර්බුදයක ප්‍රතිඵලයකි. මේ පිළිබඳ ගවේශනය කිරීම විශ්ව විද්‍යාලවල මෙන් ම ජනමාධ්‍යවල ද වගකීමකි.

දිවි නසා ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් ලෝක මට්ටමෙන් ද දේශීය මට්ටමෙන් ද පවතී. මේ පිළිබඳව දැනුවත් ව කටයුතු කිරීම මාධ්‍යවේදීන්ගේ වගකීමකි. 1998 දී ප්‍රකාශයට පත් වූ මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ වූ කොළඹ ප්‍රකාශයෙහි මෙසේ සඳහන් වෙයි.

1. (අ) ප්‍රවෘත්ති නිවැරදි ලෙසත් විෂය මූලික වන ලෙසත් වාර්තා කිරීමට මාධ්‍ය ආයතන බැඳී සිටී.

(ඌ) මාධ්‍යවලින් සමාජ යථාර්ථය ඉදිරිපත් කිරීමේදී මෙහි අන්තර්ගත නානාවිධත්වය, බහුවිධතාව සහ සංකීර්ණතාව සැලකිල්ලට ගත යුතු අතර ස්ත්‍රීන්ගේ සුළු ජාතීන්ගේ සහ ජීවිත සමූහයන්ගේ අපේක්ෂා පිළිබඳ සංවේදී විය යුතු ය.

(ඔ) මාධ්‍ය නිදහස, සමාජ වගකීම හා කර්තෘ මණ්ඩල නිදහස් මූල්‍යමය ලාබ ලබා ගැනීමේ චේතනාවලට යටත් නොවිය යුතු ය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය 2008 දී ප්‍රකාශයට පත් කළ වෘත්තිය ප්‍රතිපත්ති මාලාවෙහි මෙසේ සඳහන් වෙයි.

6.6. සිය දිවි නසා ගැනීම් වාර්තාකරණයේදී ඒ ජීවිත හානිය සඳහා යොදා ගැනුණු උපක්‍රමය පිළිබඳ ව පමණට වැඩි විස්තර ඉදිරිපත් නොකිරීමට පුවත්පත් කලාවේදීහු පරෙස්සම් විය යුත්තෝ ය.

7.3. ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ කරුණු විමසීමේදීත් ඒ සඳහා ඒවාට සමීපවීමේදීත් නිසි සංවේදීතාවෙන් හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් ද කටයුතු කිරීමට පුවත්පත් කලාවේදීහු විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තා හ. වත්මන් අවධියෙහි ජනමාධ්‍යවේදීන් මේ පිළිබඳව අවධියෙන් කටයුතු නොකරන බව කිව යුතු ය. එය කනගාටුදායක තත්වයකි.‍

මිය ගිය තරුණියගේ රූමත් බව, ඇගේ පෙම් සබඳතා වාර්තාකරු සංවේදී භාෂාවකින් විස්තර කරයි. මරණය සිදු වූ ආකාරය ද තමන් දුටුවාක් මෙන් වාර්තා කරති. මේ වාර්තාවල තිබෙන අනුවේදනීය බව හා හැඟීම්බර ගතිය පාඨකයාට කාන්දමක් වෙයි.

දිවි නසා ගැනීමේ චේතනාව ඇති වූ අත්දැක‍ීම් අඩු පුද්ගලයකු මේ වාර්තාව දුටුවිට තමන්ගේ ගැලවීම ද එය ම බව සිතනු ඇත. පුවත්පත් ආචාර ධර්ම කඩකරමින් දිවි නසා ගැනීමේ උපක්‍රමය ද විස්තර කර ඇති නිසා මානසික පීඩාවකට පත්ව පිළිතුරක් නොමැති ව සිටින පුද්ගලයා එය එකම විසඳුම ලෙස පිළිගනු ඇත.

බීමත්ව පවුලේ ආරවුලකට පැටලී ඇතැයි ප්‍රසිද්ධ කර ඇති අනුරාධපුරයේ විශ්‍රාමික හමුදා සෙබළකු බීමතින් බඩගාගෙන ගොස් තිබ‍ුණේ රේල් පීළි මතට ය‍. සිද්ධිය දුටු නීතිඥවරයකුගේ මැදිහත්වීමෙන් තරුණයාගේ දිවි රැකිණ. පසුගිය දිනවල මහත් සංවේගයෙන් සවිස්තරාත්මකව වාර්තා කළ දුම්රියට පැන දිවි නසා ගැනීම් ඔහුගේ මනසට බලපෑවා වන්නට ද පුළුවන.

සියදිවි නසා ගැනීම් වාර්තාකරණයේදී ලේඛකයා විසින් අනුගමනය කළ යුතු පිළිවෙතක් පවතී.

ජනමාධ්‍ය ආචාර ධර්ම අනුව කටයුතු කරන ආයතන මේ පිළිබඳව සැලකිලිමත් වෙයි.

1. දිවි නසා ගැනීමේ සිදුවීම අනුවේදනීය අයුරින් හැඟීම් බරව වාර්තා කිරීමෙන් වැළකීම.

2. ජීවත්වීමේ වටිනාකම හැඟෙන අයුරින් වාර්තා කිරීම.

3. දිවි නසා ගැනීමට යත්න දැරීම මෝඩකමක් බව හැඟෙන අයුරින් වාර්තා කිරීම.‍

4. දිවි නසා ගැනීමේ උපාය මාර්ග, ද්‍රව්‍ය හා උපකරණ යනාදිය හඳුන්වා දීමෙන් වැළකීම.

5. දිවි නසා ගැනීමේ මානසිකත්වය ඇති පුද්ගලයාට විකල්ප මාර්ග හඳුන්වාදීම.

දිවි නසා ගැනීමේ ප්‍රවණතා කැපී පෙනුණු අවධිවල ජනමාධ්‍යයේ භූමිකාව ද කැපී පෙනේ. උදාහරණයක් හැටියට 1990 දශකයේ දී පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් වස බී දිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් ඇති වීම කෙරෙහි ඒ අවධියේ මාධ්‍ය හැසිරීම ද බලපා ඇති බව කොළඹ සරසවියේ සමාජීය අධ්‍යයන ඔස්සේ තහවුරු විය.

ශ්‍රී ලංකාවේ දිවි නසා ගැනීම් පිළිබඳව කරන ලද අධ්‍යයන අනුව පෙනී ‍යනුයේ එයින් සීයට පනහක ප්‍රමාණයක් මානසික අවපාතය නිසා සිදුවී ඇති බව ය. විශාදය, භින්නොන්මාදය, පෞරුෂ විෂමතා සහ මත්ද්‍රව්‍ය භාවිතය යනාදී කරුණු ඒ අතර වේ.

සාම්ප්‍රදායික සමාජය වෙනස් වෙමින් නාගරීකරණයවීම, අධ්‍යාපන තරගය, අවිවේකය, න්‍යෂ්ටික පවුලෙහි අර්බුදය, මානව ශාස්ත්‍ර විෂයයන් අවප්‍රමාණයට ලක් කළ අධ්‍යාපනය, පන්ති විෂමතාව, ආර්ථික පීඩනය, නීතියේ පරිහානිය යනාදී කරුණු ගණනාවක් සියදිවි නසා ගැනීමේ සමාජ දේශපාලන පසුබිමෙහි වෙයි. ජනමාධ්‍යවේදියාගේ වගකීම වනුයේ සිදුවීම් හැඟීම්බර ව වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් එහි සමාජ පසුබිම ගවේෂණය කිරීම ය. අවාසනාවට එවැනි පුහුණුවක් මාධ්‍යවේදියෝ නො ලබති. එබඳු පරිචයක් සහිත මාධ්‍යවේදීන්ට වැඩ කළ හැකි පරිසරයක් තවමත් පවතී. විශේෂයෙන් දේශපාලන අධිකාරවාදයෙන් යම් පමණකට මිදුණු වත්මන් යුගය ඒ සඳහා මාධ්‍යවේදීන්ට කදිම ඉඩක් ලබාදෙයි.

| තිඹිරියාගම බණ්ඩාර

ත්‍රී රෝද රථවලට උපරිම වේග සීමාවක් එයි

තී‍්‍ර රෝද රථ ධාවන වේගය පැයට කිලෝ මීටර් 40ක උපරිම වේග සීමාවකට යටත්ව ධාවනය කළ යුතු බවට නීති ගෙන ඒමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

තී‍්‍ර රෝද රථ සඳහා දැනට පවත්නා වේග සීමාවන්ට වඩා වැඩි වේග සීමාවක් ලබා දෙන ලෙස බොහෝ තී‍්‍ර රෝද රියදුරු සංගම් පසුගිය කාලයේ  ඉල්ලීම් රැසක් කළ බවත් ඒ අනුව අදාල තී‍්‍ර රෝද රථ නිෂ්පාදන සමාගම් වලින් මේ පිළිබදව කළ විමසීමේදී තාක්ෂණික වාර්තාවක් ලබා දීමට එම ආයතන කටයුතු කර ඇති බවත් ඔහු කීවේය.

එම වාර්තාව අනුව තී‍්‍ර රෝද රථයක උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර් 40ට වඩා දැරිය නොහැකි බව තමන්ට දන්වා තිබෙන බැවින් ඉදිරියේදී තී‍්‍ර රෝද රථවල උපරිම ධාවන වේගය පැයට කිලෝ මීටර් 40 ක් දක්වා වන වේග සීමා නීතිය ගැසට් කිරීමට ප‍්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

ඉන්දියාවේ ‘ට්‍රම්ප් ගම’

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී, ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර බලා පිටත්ව ගිය අතර අගමැති මෝදිගේත්, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ගේත් එම හමුවට සතුට පළ කරමින්, ඉන්දියාවේ දිළිඳු ගම්මානයක වැසියන් සිය ගම්මානයේ නම ‘ට්‍රම්ප් ගම්මානය’ යනුවෙන් වෙනස් කර තිබේ.

මෙසේ නම වෙනස් කර ඇත්තේ හරිහැටි විදුලිය හෝ පානීය ජලය හෝ නොමැති හර්යානා ප්‍රාන්තයේ දිළිඳු ගම්මානයකි. මෙම ගම්මානය මීට පෙර ‘මරෝරා’ යනුවෙන් හැඳින්විය.

‘ට්‍රම්ප් ගම්මානයට සාදරනේ පිළිගන්නවා’ යැයි ඉංග්‍රීසි සහ හින්දි බසින් නාම පුවරු සවි කර ඇති අතර, තම ගම ට්‍රම්ප් ගම්මානය යනුවෙන් නම් කිරීම ගැන ගම් වැසියෝ අතිශයින් සතුටට පත් වී සිටිති.

ඔවුන් පවසන්නේ ට්‍රම්ප් සහ අගමැති මෝදිගේ හමුව සංකේතවත් කරමින් මෙසේ ගම්මානයේ නම වෙනස් කළ බවය.

ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් පවසා ඇත්තේ ගම්මානයේ නම මෙසේ වෙනස් කිරීම ගම් වැසියන්ගේ තනි තීරණයක් බවත්, ඉන්දීය මධ්‍යම රජයේ හෝ ප්‍රාන්ත රජයේ හෝ අනුදැනුම මත සිදුවූවක් නොවන බවය.

(එන්.ඩී.ටීවී)

සිසු නායකයන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ උද්ඝෝෂණ

සයිටම් විරෝධී ශිෂ්‍යයන්ට පහරදීමට එරෙහිව සහ මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින සිසුන් නිදහස්‌ කරන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‌ෂු බලමණ්‌ඩලය අද (27) ද වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමාවුපියෝ හෙට (28) ද කොළඹදී විරෝධතා පැවැත්වීමට නියමිතව අැත.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසද මෙම විරෝධතාවන්හිදී ආණ්‌ඩුවට බල කෙරෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළදී සිසුන්ට පහර දුන් පොලිසිය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගන්නා ආණ්‌ඩුව විශ්වවිද්‍යාල සිසුන් අත්අඩංගුවට ගනිමින් සිටින බවද හෙතෙම කීවේය.

පොලිසිය සිසුන්ගේ නිවෙස්‌වලට ගොස්‌ දෙමාවුපියන්ට තර්ජනය කරන බවද සිසුන්ට සිදුවෙමින් පවතින අසාධාරණකම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති බවද මද්දුමගේ සඳහන් කළේය.

ක‍්‍රීඩා ඇමති දැඩි තීරණයක

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයට තමන් අනුමැතිය ලබා නොදෙන බවත්, ඔවුන් කිසිවෙකුත් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා (26) පැවසීය.

එමෙන්ම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව උසස් මට්ටමකට රැගෙන ඒම සඳහා කළ යුතු සියලු දේ අමාත්‍යාංශයෙන් සිදුකරන බවත්, ඒ සඳහා  සියලුම පුහුණුකරුවන්, ක්‍රිකට් ආයතන නිලධාරීන් හා ශාරීරික යෝග්‍යතාව භාරව කටයුතු කරන පුද්ගලයන් ක්‍රිකට් ආයතනයට කැඳවා ඔවුන්ට තිබෙන ගැටලු හා ක්‍රීඩකයන්ගේ ගැටලු සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

“සිම්බාබ්වේ තරග සඳහා නම්කළ සංචිතය මට ලැබිලා තිබෙනවා. (27) මම සවස 3ට තේරීම් කමිටුවට, පුහුණුකරුවන්ට, ක්‍රීඩකයන්ට හා අනෙකුත් සියලු සාමාජිකයන්ට සාකච්ඡාවකට පැමිණෙන්න කියලා තිබෙනවා.

එහිදී මං බලාපොරොත්තු වෙනවා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවේ තිබෙන ගැටලු පෙන්වලා දෙන්න. එකම ක්‍රීඩකයෙක්වත් ශාරීරික යෝග්‍යතාව අනුව ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වල නැහැ.

ශාරීරික යෝග්‍යතාවේත් පවතිනවා ලෝක ශ්‍රේණිගත කිරීමේ මට්ටමක්. අපේ කිසිම ක්‍රීඩකයෙක් ඒ තුළ නැහැ. අපි ක්‍රීඩා කරන්නේ අන්තර්ජාතික තරග. අනිවාර්යියෙන් මම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බලනවා. මට ලැබිලා තිබෙන සංචිතයේ කාවවත් අනුමත කරන්න බැහැ. ඒ නිසා මේ සංචිතයට අනුමැතිය ලබාදෙන්න බැහැ. ලංකාවේ දේශීය තරගයක් ගහනවා නම් මට ඔය කියන සංචිතය අනුමත කරලා දෙන්න පුළුවන්.

නමුත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කරන්න සංචිතයක් සඳහා ඒගොල්ලො දීලා තිබෙන ශාරීරික යෝග්‍යතා නිර්ණායක අනුව නම් අනුමැතියක් දෙන්න බැහැ. ඒ නිසා මේ සියලුම දෙනාට කතා කරලා ඔවුන්ට වගකීමක් ලබාදිය යුතුයි, මේ කාලය ඇතුළත ශාරීරික යෝග්‍යතාව හදාගන්න කියලා. නැත්නම් මම අනුමැතියක් ලබාදෙන්නේ නැහැ” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නව එක්දින තරග වාර්තාවක් බිහිකර තිබෙනවා.

ඒ, වැඩිම තරග සංඛ්‍යාවක දී ලකුණු 300 සීමාවේ පසුකර ගිය කණ්ඩායම බවට පත්වෙමින්.

ඉන්දියාව ලකුණු 300 සීමාව පසුකර ගොස් ඇති තරග සංඛ්‍යාව 96ක්.

ඔවුන් මෙම වාර්තාව බිඳ හෙළුවේ මීට පෙර තරග 95ක දී ලකුණු 300 සීමාව පසුකර ගොස් ඔස්ට්‍රේලියාව පිහිටුවා තිබූ වාර්තාවයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගයේ දී ලකුණු 310ක් රැස් කරගනිමින් ඉන්දියාව මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

ලකුණු 300 සීමාව පසු කළ කණ්ඩායම් ලැයිස්තුවේ තුන්වන ස්ථානය දකුණු අප්‍රිකාවට හිමියි.

ඔවුන්ගේ තරග සංඛ්‍යාව 77ක්.

තරග 63ක දී එම දස්කම දැක්වූ ශ්‍රී ලංකාව පසුවන්නේ ලයිස්තුවේ පස්වන ස්ථානයේයි.

ජාතික චිත්‍රපට සංස්ථාවට නව නිලධාරී මණ්ඩලයක්

ජාතික චිත්‍රපට සංස්ථාව සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීම පිළිබඳ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ. ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධානය යොමුකොට ඇති අතර මේ සතිය ඇතුළත සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට නියමිතය.

පසුගියදා සිදුවුණු අමාත්‍ය මණ්ඩල වෙනස් වීමත් සමඟම ඒ ඒ අමාත්‍යාංශවලට පැවරුණු විෂයයන්ද වෙනස්වී ඇති අතර රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයටද අලුතින් ආයතන තුනක් සිය විෂයය පථයට එක්ව තිබේ. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව හා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව අදාල අමාත්‍යාංශය යටතේ පාලනය වේ.

මෙරට සිනමාවේ අභිවෘද්ධිය ඉලක්ක කොට ගෙන ජාතික චිත්‍රපට සංස්ථාවට නව නිලධාරී මණ්ඩලය පත් කරන අතර දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවීම උදෙසා අවශ්‍ය සාධනීය වෙනස්කම් සිදුකිරීමට අපේක්ෂා කරන බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. මෙම කර්තව්‍යයේදී කර්මාන්තයේ නියැළි ප්‍රවීණයන්ගේ අදහස් මෙන්ම යෝජනා නිරන්තරයෙන් තමන් අපේක්ෂා කරන අතර ඒ මත පදනම්ව සිනමාවේ ප්‍රගමනයට අවශ්‍ය සියලු යෝජනා සකසන බවද ඇමැතිවරයා සඳහන් කළේය. මෙම කටයුත්තේදී සංස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් වේ නම් ඒ සියල්ල ඉදිරියේදී තමාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පැවසූ අතර අභිනවයෙන් පත්කිරීමට අපේක්ෂා කරන නිලධාරී මණ්ඩලයෙන් තමන් අපේක්ෂා කරන්නේ තම රජය හා තමන් සිනමාවේ උන්නතිය වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වන කටයුත්ත පහසුකිරීම සඳහා වූ සහය බවද පැවසීය.

මෙතෙක් කලක් රාජ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන් තම කාලය වෙන්කළ තමන්ට මෙම ආයතන තුනද ලබා දෙමින් කළ අගය කිරීමට තම ස්තූතිය ජනාධිපතිතුමන්ටත් අගමැතිතුමන්ටත් හිමි විය යුතු බවද හෙතෙම පැවසීය. තමන් කෙරේ ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් තැබූ විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිද්දෙන් තමන් මෙම කටයුත්ත සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ඇමැතිවරයා මෙම කටයුත්තේදී ජනමාධ්‍යයෙන්ද උපරිම සහායක් තමන් බලාපොරොත්තු වන බව සඳහන් කළේය. තම ඇමැති ධුරය යටතේ දේශීය සිනමාව නඟාසිටුවීම වෙනුවෙන් දැනෙන යමක් කිරීම තම අරමුණ බව කී ඇමැතිවරයා මෙපරිද්දෙන්ම අනෙක් ආයතන දෙක වන රජයේ මුද්‍රණාලයේ හා මුද්‍රණ නීතිගත සංස්ථාවේද කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි දිනවල ගන්නා බවද කීය.