28 June 2017

හැමෝම දන්න ඇපල් අයි ෆොන් වල නොදන්න ඉතිහාසය. පර්පල් - 'ඇපල්' වුන හැටි..!

apple අයි ෆෝන්.. ගැන නොදන්නා කෙනෙක්‌ අද තරුණ පරපුරෙහි නැති තරම්ය. එහෙත් මීට දස වසරකට පෙරාතුව… ඇපල් සමාගමේ අභ්‍යන්තර කාර්ය මණ්‌ඩලයේ පිරිස හැරෙන්නට කිසිවෙකු එවන් දෙයක්‌ ගැන අසා තිබුණේවත් නැත. ඔවුන් පමණක්‌ දැන උන් අයි ෆෝන් හි උත්පත්ති කතාවයි මේ.

අයි ෆෝන් එවකට ඇපල් සමාගම තුළද හඳුන්වනු ලැබුවේ -පර්පල්- නමිනි. මේ ව්‍යාපෘතියට -පර්පල්- නම ලැබුණේ ඇපල් සමාගමේ උන් ඉංජිනේරුවරයෙකු සතුව තිබූ දම් පැහැ සෙල්ලම් කැන්ගරුවෙකු නිසාය.

ඇත්තෙන්ම කිවහොත් අයි ෆෝන් උපතට හේතු වූයේ ඇපල් ආයතනයේ සම ආදිකර්තෘ ස්‌ටීව් ජොබ්ස්‌ හා ඇපල් ආයතනයේ නිර්මාණ ශිල්පියෙකු වූ ජොනී අයිව් ගේ විශිෂ්ට අදහස්‌වල එකතුවෙනි. ඔවුන්ගේ අදහසට අනුව අලුත් දුරකථනයක්‌ නිර්මාණය වීමේ ව්‍යාපෘතිය -පර්පල්- නම් විය. පර්පල් ව්‍යාපෘතිය උවමනාවටත් වැඩියෙන් මහන්සි වෙන්නට සිදුවුණු, විස ගන්නට බැරි තරමින් කාර්මික ගැටලු පැනනැඟුණු, අභ්‍යන්තර දේශපාලන ගැටුම් වලින්ද තොර නොවුණු බියකරු සිහිනයක්‌ බඳු විය.

-කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙන කාලයක්‌, ළඟා කරගන්නට අසීරු ඉලක්‌කයක්‌ එක්‌ක හිරවුණු අති දක්‌ෂ කණ්‌ඩායමක්‌ වුණා.. ඒ මදිවාට මුළු ආයතනයේම අනාගතය රදා පැවතුණේ මේ ව්‍යාපෘතිය මත කියලා කිව්වාම…- පර්පල් ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවෙකු වූ ඇන්ඩි ග්‍රිග්නොව් පැවසීය. -ඒක හරියට තිත්ත හොද්දක්‌ වගේ වුණා..-

පර්පල් ව්‍යාපෘති කණ්‌ඩායමේ මෙහෙයුම යම් දිනක දක්‌ෂ නිර්මාණ ශිල්පියෙකු අතින් අපූරු මාලා නාට්‍යයක්‌ හෝ චිත්‍රපටයක්‌ බවට පත් වනු ඇත.

එසේ නාට්‍යයට නැඟෙනු ඇත්තේ බ්‍රයන් මර්චන්ට්‌ විසින් රචිත අයි ෆෝන්හි ඉතිහාස කතාව පිළිබඳව ලියන ලද -The One Device( The Secret History of the iPhone, ඇසුරින් වනු ඇත. මෙහිදී බ්‍රයන් මර්චන්ට්‌ විසින් අයි ෆෝන් වැඩිදියුණු කිරීම සම්බන්ධව වූ මෙතෙක්‌ කිසිවෙකු විසින් සටහන් කර නොතැබූ අන්දමේ වැදගත් තොරතුරු රැසක්‌ එක්‌ රැස්‌ කොට ඇත.

අයි ෆෝන් මේ වන විට අප අතර වේගයෙන් පැතිරෙමින් වැජඹෙමින් සිටින නමුදු තවමත් අපට දැනෙන්නේ කොහේ හෝ ඉහළ අවකාශයක සිට මේ දැන් අප අතරට පැමිණියාක්‌ මෙනි.

එහි කළු පැහැති මුහුණත හා දිදුලන මතුපිට දකින විට මෙය කවදා කොහේ කවුරුන් විසින් නිමවූවක්‌ද යන්න හිතා ගන්නටවත් සලකුණු ඉතිරි නොකරයි. Pentalobe නම් වූ අති විශේෂ නියනකින් හෝ මෙය විවෘත කරන්නට නොහැකිය.

මෙය අයි ෆෝන්හි භෞතික නිර්මාණයට පමණක්‌ පොදු වූ ලක්‌ෂණයක්‌ නොවේ. ඇපල් සමාගම විසින් නිර්මාණය කරන සියලුම නිෂ්පාදනයන්හි අති විශිෂ්ට බව හා රහසිගත භාවය පිළිබඳ සලකුණකි. අයි ෆෝන් අප ගැන සියල්ල දැන සිටියද අප එය ගැන දන්නේ ඉතාමත් අල්ප වශයෙනි.

උදාහරණයක්‌ ලෙස ගත හොත් අයි ෆෝන් හි ස්‌පර්ශක තිරය විසින් එක වර ඇඟිලි සලකුණු කිහිපයකට සංවේදී වන බහුස්‌පර්ශක තාක්‌ෂණය සහිතය. මෙම බහු ස්‌පර්ශක තාක්‌ෂණය සොයා ගනු ලැබුවේ ඇපල් සමාගමෙන් යෑයි ජොබ්ස්‌ විසින් නිරන්තරව හුවා දැක්‌වුවද එය එසේ නොවන බව බ්‍රයන් මර්චන්ට්‌ පෙන්වා දෙයි.

ඔහු විසින් -The One Device ග්‍රන්ථයේ විස්‌තර කරන පරිද්දෙන් මෙම බහු ස්‌පර්ශක තාක්‌ෂණය 1960 දශකයේදී එංගලන්තයේ Royal Radar Establishment ආයතනයෙන්ද 1970 දශකයේදී CERN ආයතනයෙන්ද භාවිතයට ගෙන ඇත. මෙම බහුස්‌පර්ශක තාක්‌ෂණය වෙනුවෙන් වැඩ කරන ලද්දේ ඔබ කිසිදිනක අසා නැති, එහෙත් අතිදක්‌ෂ ඉංජිනේරුවකු වූ වෙයින් වෙස්‌ටර්මන්ය.

වෙස්‌ටර්මන්ගේ Finger Works නම්වූ ආයතනය 2005 දී ඇපල් සමාගම විසින් ලබා ගත් අතර ඉන්පසු වෙස්‌ටර්මන් මෙන්ම ඔහුගේ ආයතනයද ඇපල් සමාගමේ ටයිටේනියම් තිරය පසුපස වැසී සැඟවී ගියේය. -The One Device ග්‍රන්ථය වෙනුවෙන් වෙස්‌ටර්මන් සමඟ හෝ එම සමාගමේ කිසිදු වත්මන් සේවකයෙකු සමඟ සාකච්ඡාවකට ඇපල් සමාගම විසින් බ්‍රයන් මර්චන්ට්‌ ට අවසර ලබා දුන්නේ නැත.

අයි ෆෝන් නිර්මාණය කර තිබෙන්නේ උපරිම කාර්යක්‌ෂමතාව හා සංයුක්‌ත භාවය සැලකීමට ලක්‌කරමිනි. එහෙත් The One Device හි ඇති පරිදි එය එසේ නොවේ. පොතෙහි පළමු පරිච්ඡේද තුන අයි ෆෝන් නිපදවීම පිළිබඳව විස්‌තර කෙරෙන අතර ඇපල් සමාගම මේ වෙනුවෙන් යොදා ගන්නා ලද අමුද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය කරමින් බ්‍රයන් මර්චන්ට්‌ ගිය දුෂ්කර සංචාරය ගැනද සඳහන් වෙයි.

බොලීවියානු ටින් ලෝහ ආකර වලද, චිලීන් කාන්තාරයේ ඇති ලිතියම් ආකරයකද, බොහෝ අයි ෆෝන් වල අවසන් නවාතැන වන නයිරෝබියේ විද්යුත් උපකරණ කසළ කන්දකද කළ ගවේෂණාත්මක සංචාරය ගැන මෙයින් අනාවරණය වෙයි.

එසේම අයි ෆෝන්හි අනෙකුත් අංගෝපාංගයන් සඳහා යොදා ගන්නා ලද තාක්‌ෂණයන්හි ආරම්භක කතා මර්චන්ට්‌ විසින් විස්‌තර කරයි. අයි ෆෝන් යනු බොහෝ මිනිසුන්ගේ ශ්‍රමයත් දැනුමත් එක්‌ තැන් කොට සැදූ උපකරණයක්‌ මිස තනි ආයතනයක නිර්මාණයක්‌ නොවන බව මර්චන්ට්‌ කියා සිටියි.

ටියි.
aperata

ශ‍්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග‍්‍ර කඩාවැටීම

ශ‍්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග‍්‍ර කඩා වැටීමේ කතාන්තරය, මේ සතියේ දිග හැරුණු සිදුවීම් තුළින් පුරෝකථනය වෙයි. එක් බෞද්ධ භික්ෂුවකට එරෙහිව නිකුත් කළ අධිකරණ වරෙන්තු කිහිපයකට අදාළව ගොඩනැගුණු අති-නාටකයක් වටා ඒ සිදුවීම් පෙළ ගැසුණත්, එම භික්ෂුව විසින් කරන ලද අපරාධ පිළිබඳ පොලිසියේ චෝදනා මත නිකුත් කෙරුණු එම වරෙන්තු ක‍්‍රියාත්මක කිරීමට පවා ශ‍්‍රී ලංකා රජය අසමත් වූ බව අවසානයේ ඔප්පු කෙරුණි. අනතුරුව, රටේ බුද්ධ ශාසන ඇමතිවරයා ද වන අධිකරණ ඇමතිවරයා, කිතුණු පල්ලිවලට එල්ල කළ පහරදීම් ගණනාවක් සම්බන්ධයෙන් නීතිඥවරයෙකු කළ ප‍්‍රකාශයකට එරෙහිව එම නීතිඥයවරයාගේ ලෝගුව ගලවන බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කෙළේය. අවසානයේ මේ නාටකය මස්තකප‍්‍රාප්ත වුණේ, අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම පාර්ශ්වයේ සංඝ කාරක සභාව ඉහත සඳහන් භික්ෂුවගේ ක‍්‍රියා කලාපය අළලා මතු වූ චෝදනාවන්හි හරි වැරැුද්ද පිළිබඳ ස්වකීය විනිශ්චය ප‍්‍රකාශයට පත්කරමින්, ඇතැම් පුද්ගලයන්ව නම් කොට හෙළාදකිමින් සහ ඔවුන්ට අනතුරු අඟවමින්, අවශ්‍ය වෙතොත්, ස්වකීය අරමුණු ජය ගැනීම සඳහා ආණ්ඩුවට එරෙහිව ජනතාව බලමුළු ගන්වන බවට ද තර්ජනය කරමිනි.

යුරෝපයේ බුද්ධි ප‍්‍රබෝධ යුගය සේ ගැනෙන කාල පරිච්ඡේදය​ වනාහී, රාජ්‍යයන්හි ලෞකික කටයුතුවලට පූජ්‍ය පක්ෂය විසින් කෙරෙමින් තිබූ අතපෙවීම්වලට එරෙහිව ගෙන ගිය අරගලයකි. එම අරගලයේ විශිෂ්ඨතම ජයග‍්‍රහණයක් වුණේ රාජ්‍යයෙන් පල්ලිය ඉවත් කිරීමයි. 18 වැනි සහ 19 වැනි සියවසේ යුරෝපය ලද ප‍්‍රගතියේ විශාල කොටසක් සමන්විත වන්නේ, සියවස් ගණනාවක් තිස්සේ පැවති පල්ලියේ බල පරාක‍්‍රමයට එරෙහිව ගොඩනැගුණු ප‍්‍රබුද්ධ යුගයේ සාර්ථකත්වයන්ගෙනි.

පල්ලියේ බලධාරීන් ලෞකික කටයුතුවලට ඇඟිලි ගැසීම්වල ඇති මුග්ධත්වය මැනවින් ප‍්‍රකාශයට පත්වුණේ පල්ලිය විසින් ගැලීලියෝව දණ්ඩනයට ලක්කිරීමේදී ය. පෘථුවිය කේන්ද්‍ර කර ගත් පල්ලියේ මතවාදය ප‍්‍රතික්ෂේප කරමින්, ඒ වෙනුවට විද්‍යාව මත පදනම්ව සූර්යා වටා භ‍්‍රමණය වන පෘථුවියක් ගැන ස්වකීය නිරීක්ෂණ ඉදිරිපත් කිරීම, ගැලීලියෝව පල්ලියේ උදහසට ලක්කළ හේතුවයි. මෙහිදී ගැලීලියෝ වැරදිකරු බවට පල්ලිය තීන්දු කළ අතර, අන්ධ භක්තියෙන් එම මතය පිළිගැනීමට සියල්ලන්ට බල කෙරුණි. ඒ බල සබඳතාව අවසානයකට පත්කරමින් නිදහසේ නව යුගයක් උදා කිරීමට සමත් වුණේ ප‍්‍රබුද්ධ යුගයේ අනුහසිනි.

නිදහසේ මූලික සංඝටකය වන්නේ, චින්තනමය කාරණා සම්බන්ධයෙන් තීරණාත්මක විය යුත්තේ විචාරශීලී හේතුවාදය මිස පල්ලිය ඇතුලූ කිසිවෙකුගේ බලාධිකාරයක් නොවිය යුතු බවයි. පාප් වහන්සේ යනු කිසිවක් නොවරදින සුළු මහ බලවතා වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරුණත්, ලෞකික ලෝකය එය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළහ. මේ සියලූ අරගලවල අවසාන සාධනීය ප‍්‍රතිඵලය වුණේ, ලෞකික කාරණා සම්බන්ධයෙන් පල්ලියේ අදහස් උදහස් සහ නිගමන වැදගත් නොවන බව පිළිගැනීමට පල්ලියට සිදුවීමයි.

ප‍්‍රබුද්ධ යුගයේ සාර්ථකත්වයන් තවත් තීව‍්‍ර කෙරුණේ, මුලින් බි‍්‍රතාන්‍යයේ සහ ප‍්‍රංශයේ බිහි වී, පසුව සමස්ත යුරෝපයටත් ඇමරිකාවටත් ව්‍යාප්ත වූ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයන් ය. බලතල බෙදීමේ සිද්ධාන්තය මත පදනම්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ප‍්‍රවර්ධනය වීම, ප‍්‍රබුද්ධ යුගයේ දීර්ඝ අරගල සහ දස ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ජීවිතයෙන් වන්දි ගෙවූ, නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ අරගලවල ප‍්‍රතිඵලයකි. නිදහස යනු ඕනෑම මිලක් ගෙවා අත්පත් කර ගත යුතු දෙයකැයි මේ මිනිස්සු තරයේ ඇදවූහ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෞකික රාජ්‍යයක් පිළිබඳ සංකල්පයේ වර්ධනය තුළින් බිහි වූ එක් මූලධර්මයක් වන්නේ, නීතිය රජ විය යුතු බවයි. රජ කෙනෙකුවත්, පල්ලියවත්, නීතියට ඉහළින් තිබිය යුතු නැත. සමාජ ස්ථාවරත්වය ගොඩනැගුණේ, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අදහස් මත ය. නීතිය පිළිබඳ අවසාන විනිශ්චයකරුවා විය යුත්තේ, නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයේ එක් ප‍්‍රධාන කුළුණක් වන, නීතිය සහ හේතුවාදය මතම පදනම්ව ආරාවුල් නිරාකරණය කරන, අධිකරණ බලාධිකාරයයි.

ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ ප‍්‍රබුද්ධ යුගයේ මෙවැනි අදහස් ය. ඒ අනුව, නිදහස් ස්වෛරී ලංකාවට ලැබුණු ප‍්‍රථම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළ ලෞකික රාජ්‍යයක් පිළිබඳ සංකල්පය අන්තර්ගත විය. එසේම, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සංකල්පත් ඒ නූතන ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ප‍්‍රධාන කුළුණු වශයෙන් පිළිගැනුණි.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇති කරගන්නා තෙක් මේ තත්වය ස්ථාපිතව තිබුණි. එහෙත් 1978 ව්‍යවස්ථාව තුළින් ඉහත කී ප‍්‍රබුද්ධ යුගයේ සංකල්ප බොහොමයක් වෙනත් රාජ්‍ය ව්‍යුහයක් වෙනුවෙන් පසෙක ලන ලදි. මේ අලූත් ව්‍යුහය, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හැඳින්වූ පරිදි, මධ්‍යම අප‍්‍රිකානු රාජ්‍ය නායක ජොන් බෙදෙස් බොකාසා ගේ අදහස් මත පදනම් වූවකි. එහි අවසන් ප‍්‍රතිඵලය වුණේ, ප‍්‍රජාතන්ත‍්‍රීය රාජ්‍යයේ කඩා වැටීමත්, අරාජිකත්වය කරා රට ක‍්‍රමයෙන් පල්ලම් බැසීමත් ය.

ප‍්‍රජාතන්ත‍්‍රීය රාජ්‍යය කඩා වැටුණු තරම සහ අරාජිකත්වයේ තරම, මේ ප‍්‍රකාශනය ආරම්භයේ සටහන් කරන ලද, ගිය සතියේ ඇති වු සිදුවීම් තුළින් මනාව නිරූපණය විය.

දැන් අස්ගිරියේ උත්තරීතර සංඝ සභාව, නීතියට ඉහළින් සිටී. අධිකරණයට සහ අධිකරණ ක‍්‍රියාවලියට නියෝග නිකුත් කිරීමට ඊට හැකිය. අත්අඩංගුවට ගත යුත්තේ කවුරුන්ද, නොගත යුත්තේ කවුරුන්ද යන වග කියා දීමටත් ඊට පිළිවන. ඇතැමුන් වැරදිකරුවන් වශයෙන් හඳුන්වමින්, එවැනි පුද්ගලයන්ව යටපත් නොකිරීමට එරෙහිව රාජ්‍යය හෙළාදැකීමටත් ඊට පිළිවන.

මේ සතිය, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, නීතියේ ආධිපත්‍යයේ සහ අධිකරණයේ ස්වාධීනත්වයේ අනාගතය සම්බන්ධයෙන් පමණක් නොව, ශ‍්‍රී ලාංකීය ලෞකික රාජ්‍යයේමත් අනාගතය පිළිබඳ ඉතා බියකරු සතියක් සනිටුහන් කෙළේය. මේ ක‍්‍රියාවලියට හවුල් වූ බෞද්ධ පැවිදි නායකයෝ තමන් දේශපේ‍්‍රමයෙන් සජ්ජිතව මේ කටයුතු සිද්ධ කරන්නේ යැයි කියත්. ඇත්ත වශයෙන්ම, මේ වනාහී අතිශය දේශද්‍රෝහී ක‍්‍රියාවකි. එහි ප‍්‍රතිවිපාක වර්තමාන පරම්පරාවට මෙන්ම අනාගතයේ බිහිවන පරම්පරාවන්ට ද භුක්ති විඳීමට සිදුවනු ඇත. මේ සතියේ ශ‍්‍රී ලංකාව දීර්ඝ පියවරක් තැබුවේ, අඳුරු යුගයක් දිසාවටයි.

තමන් කරන ලද මේ ක‍්‍රියාව පිළිබඳව නැවත වරක් බරසාරව සළකා බැලිය යුතු බවට අස්ගිරි පාර්ශ්වයේ සංඝ කාරක සභාවෙන් අපි උදක්ම ඉල්ලා සිටිමු. එසේම රට ඇද වැටෙමින් පවතින මේ යෝධ අවදානම ගැන සිහිබුද්ධිය ඇති සියලූ දෙනා එළැඹුණු සිහියෙන් යුතුව කල්පනා කර බැලිය යුතු බවත් අපි කියා සිටිමු.

*2017 ජුනි 23 වැනි දා ‘ආසියානු මානව හිමිකම් කොමිසම’ මගින් නිකුත් කළ “Sri Lanka/World: Rapid Collapse of the Secular State” නැමැති ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

කටාරයට දැමූ කොන්දේසි හෙළා දකී

සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් වන බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව එක් වී, කටාර් රාජ්‍යයට පැනැවූ කොන්දේසි කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ඇතැම් කොන්දේසි කටාරයේ ස්වෛරීත්වයට හානිකර බවත් ජර්මන් විදේශ ඇමැති කියයි.

ජර්මන් විදේශ ඇමැති සිග්මා ගේබියල් මෙසේ කියා සිටියේ, බර්ලීන් නුවරදී, ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් හමුවුණු අවස්ථාවේදීය.

ඉරානය කටාරයේ මිතුරෙකි. මේ වනවිට කටාරයට ආහාර සහ අවශ්‍ය පහසුකම් සැපැයීම සිදු කරන්නේ ඉරානයයි.

සෞදිය ප්‍රමුඛ සෙසු රටවල් කටාරයට කොන්දේසි ඉදිරිපත් කළේ, කටාරය ඒවාට එකඟ වන්නේ නම්, කටාරය සමඟ පවතින නොහොඳ නෝක්කඩු අවසන් කරන කියමිනි. කෙසේ නමුත්, කටාරය එම කොන්දේසිවලට එකඟ නොවිණි.

(ප්‍රෙස් ටීවී)

තමාවම ප්‍රවර්ධනය කරගෙන Google දඩකයි

ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කිරීමේදී තම සමාගම් ජාලයට අයත් වෙළෙඳ පොළ සැසඳුම් සේවා වෙත මුල්තැනක් ලබාදෙමින් සෙවුම් ප්‍රතිඵල ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසම විසින් ඇ.ඩො.බිලියන 2.7ක දඩයක් ගූගල් සමාගම වෙත නියම කර තිබේ.

යුරෝපා කොමිසම විසින් වෙළෙඳ පොළ තත්ත්වයන් විකෘති කිරීමට කටයුතු කළ සමාගමකට එදාමෙදා තුර නියම කරනු ලැබූ ඉහළම දඩ මුදලද මෙය බව කියැවෙයි.

ඒ අනුව, ඉදිරි දින 90ක කාලය තුළ මෙම ක්‍රියාවලිය වහාම නවතා දැමිය යුතු ලෙස ගූගල් සමාගමට අවවාද කර ඇති අතර, එසේ නොකළහොත් ඔවුන්ට තවදුරටත් දඩමුදල්වලට යටත්වීමට සිදුවනු ඇති බවද යුරෝපා කොමිසම අනතුරු අඟවා තිබේ.








ලෝක සම්මතය විනාශ කරමින් රෝගී ජීවිත බිලිගන්නා ඇමති වියරුව..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර සිටී.

මෙම කුප්‍රකට ඇමතිවරයාගේ වියරුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්වේ.

වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය නියාමනය කිරීම වෛද්‍ය සභාවේ කාර්යය බව ලෝක සම්මතයයි. රජයක පරම වගකීම ලෝක සම්මතය ආරක්ෂා කිරීමයි. නමුත් ශ්‍රී ලංකාව තුළ අද “සයිටම් අර්බුදය” ඇතිවීමේ මූලිකම හේතුව මෙම ලෝක සම්මතය බිඳ වැටීමයි. එම බිඳවැටීම තුලින් සිදුවනුයේ රෝගී ජීවිත අනතුරේ වැටීමයි. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හා අනෙකුත් වෘත්තීය සමිති, දෙමවුපියන්, සිවිල් සංවිධාන, ශිෂ්‍ය ප්‍රජාව මෙම ලෝක සම්මතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියි. එහි මුඛ්‍ය පරමාර්ථය රෝගී ජීවිත ආරක්ෂා කර දීමයි.

ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, බහුතර ඇමතිවරුන් පිරිසක්, පක්ෂ විපක්ෂ දේශපාලඥයින් බහුතරයක් මෙම ලෝක සම්මතය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටී. ඒ නිසාම මෙම අර්බුදය රෝගීන්ට අගතියක් නොවන ආකාරයට විසඳීමට උත්සහයක් ගනිමින් සිටී. ඒ සඳහා වෘත්තීය සමිති හා සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.

නමුත් මේ සියළු උත්සහයන් බිඳ දැමීම සඳහා වියරු වැටුණු ඇමතිවරයෙක් කටයුතු කරමින් සිටී. ඒ සඳහා ක්‍රමානුකූලව සම්මතය ආරක්ෂා කරන පිරිස අසම්මත ලෙස මර්දනය කරමින් සිටී. ඇමතිබලය සහ ජාවාරම්කරුවන්ගේ මුදල් බලය යොදාගෙන සූක්ෂමව ක්‍රියාත්මක කළ සංවිධානාත්මක වැඩපිළිවෙලක් වියරු ලෙස ක්‍රියාත්මක කරමින් සිටියි.

මේ සියළු ක්‍රියාමාර්ග අනුගමනය කරනුයේ ලෝක සම්මතය බිඳ දමා සයිටම් නීතිගත කර රජයේ මතය, මහජන මතය පරදවා තම පෞද්ගලික අරමුණු ඉටුකරගැනීම පැහැදිලිය.

ලෝක සම්මතය ආරක්ෂාකර ගනිමින් රෝගී අයිතිවාසිකම් රැකගැනීමේ අරගලය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනටමත් තීරණය කර අවසන්ය. ඒ නිසා ඇමති වියරුව හමුවේ අපි නොනැමෙන බව අපි දැඩිව අවධාරණය කරමු.

සයිටම් විරෝධය පසුපස සිසුන් මුදලට රට යවන ගොඩ වෙද්දු



සයිටම් විරෝධී ව්‍යාපාරය පසුපස සිසුන් විදෙස් රටවල් වෙත යොමුකරන වෛද්‍යවරුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිටින බවට  සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ චෝදනා එල්ල කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රාජ්‍ය නොවන සංවිධානද මේ අතර වන බවයි.
මේ එහිදී නෙවිල් ප්‍රනාන්දු මහතා පල කළ අදහස්.

අද උදේ මා මුණ ගැසුනේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් වීරවර්ධන මහතායි. ඒ මහතා සමඟ සාකච්ඡා කර මම ලිඛිතව භාර දුන්නා අපේ තත්ත්වය මොකක්ද කියන එක ජනාධිපතිවරයාට දෙන්න කියලා. අපිට විරුද්ධව කටයුතු කරන ජී. එම්. ඕ. එක තුළ සිටිනවා කණ්ඩායමක් ළමයින් පිටරට යවන මම නම් ටික දෙන්නම් සමන්ත ආනන්ද කියලා ඉන්නවා එයාගේ තාත්තා තමයි ජෙම් මුදලාලි සමන්ත ආනන්ද ජී. එම්. ඕ. එකේ නිලධාරියෙක්, තවත් එක්කෙනෙක් ඉන්නවා ප්‍රසන්න රණවීර කියලා ඒ අය ඔක්කොම රුසියාවට ළමයි යවනවා. තවත් එක්කෙනෙක් ඉන්නවා එයාගෙ නම පස්සෙ දෙන්නම් දැන් මගේ ළඟ නැහැ.

මෙඩිකල් කවුන්සිල් එකෙත් වෛද්‍ය සභාවෙත් ඉන්නවා කණ්ඩායමක් මේ ඔක්කොම එකතුවෙලා තමයි මේ සයිටම් එකට විරුද්ධව පෙළපාළි යවන්නේ. ළමයින්ව මුලාවේ දමා ළමයින් එළියට දමා ඔක්කොම උද්ඝෝෂණ කරවන්නේ මේ කණ්ඩායම තමයි. පසුගිය දවස්වල අගමැතිවරයා කිවුවා මේකේ ඒජන්ට්ලා තමයි සල්ලි එකතු කරලා අර දුප්පත් ළමයි පෙළපාළි ගෙනිහින් ‍රිමාන්ඩ් කළාම කෝටියක් දෙනවා එක ළමයකුට. ඒ ළමයි උසිගන්වන්නේ ඒ කට්ටිය. ඒ නිසා ඒ අය වගේම වෛද්‍ය සංගමයේ සිටින මෘගයෝ ටික ආයෙමත් උද්ඝෝෂණ පටන්ගත්තොත් මම හිතන්නේ මහජනයා නිකන් ඉන්නේ නැහැ.

මේ ගොල්ලෝ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් තමයි පටන් ගන්නේ දුප්පත් අම්මලා තාත්තලා කොත්තමල්ලි ටික හාල්‍මැ‍ස්සො ටික ගත්තාම මිරිස්, ලුණු, තේකොළ ගන්න සල්ලිවලින් තමයි මේ ජී. එම්. ඕ. එකේ අයට පඩි ගෙවන්නේ ඒ අයට කාර් දුවන්න සල්ලි දෙන්නේ. ඒ නිසා මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ආයෙමත් වැඩ වර්ජනය කළොත් මේක අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරලා සියලු දෙනාගේම දේපළ රාජසන්තක කරන්න කියලා. ඒක කෙරුවා 1970 ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා අධිකරණ ඇමැති හැටියට ඉන්න කාලයේ වෛද්‍ය සංගමය වැඩ වර්ජනය කරන කොට, අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කළ වහාම හැම දෙනාම වැඩට ආවා. එහෙම නැතුව ආණ්ඩුව මේ යුනියන්වලට ජී. එම්. ඕ. කාරයන්ට රට පාලනය කරන්න දුනහොත්, එදා සෞඛ්‍ය අමාත්‍යාංශය කුඩු පට්ටම් කරයි. ආයෙත් ජනාධිපති කාර්යාලයත් කුඩු පට්ටම් කරයි. ඒ විදියට බලාගෙන ඉන්න බැහැ. ආණ්ඩුවක් නම් හරි විදියට කරන්න ඕන.

රජයේ පාර්ශ්වයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තිබෙනවා ළමයින් බඳවා ගැනීම හා උපාධි ප්‍රදානය තාවකාලිකව නවත්වනවා කියන එකට එකඟ වෙන්න බැහැ. එය ක්‍රමවේදයකින් කරන්න ඕන ගැසට් එකකින් එය කරන්න බැහැ. ඒ නිසා අපි ළමයි බඳවා ගන්න දැනට තාවකාලිකව නවත්වා තිබෙනවා. මේක පෞද්ගලික ආයතනයක් ලෙස ළමයින්ව ගන්න වෙනවා. ලබන මාසේ 05 වැනි දා නඩු තීන්දුවෙන් පස්සෙ අපිට පුළුවන් වෙයි ළමයි බඳවා ගන්න. වැඩවර්ජන කරන්න නොදී තදින්න ඉන්න කියලා ලේකම්වරයාට අපි කිවුවා. ඒක ජනාධිපතිවරයාට දැනුම් දෙන්නම් කිවුවා. කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා කිවුවාට තවම දීලා නැහැ. අපි එයට එකඟ නැහැ. සියයට අනූවක් සයිටම් එකත් එක්ක ඉන්නේ. මේ මෘගයන් පිටුපස්සේ ඒ අය යන්නේ නැහැ ඒකයි ඇත්ත තත්ත්වය. ජී. එම්. ඕ. එක පස්සෙවත් පාරට දුවන ත්‍රස්ත්‍රවාදීන් පස්සෙවත් රටේ ජනතාව යන්නේ නැහැ. සියයට අනූවක් අනුමත කරන්නේ සයිටම් එක නිදහස් අධ්‍යාපනයත් සමඟ යායුතු බවයි. එයයි හරි තත්ත්වය.

Dinamina


බදියුදීන්ගේ අලුත් වැඩෙන් පුල්මුඩේ නැති වෙයි

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශි‍්‍රතව නව ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය. රිෂාඞ් බදියුදීන් සූදානම් වනවා.

ඒ, ඉන්දියානු සමාගමක්ද සමගයි. මෙම ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 96 ක්. අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යන්ත‍්‍රාගාරයක් ති‍්‍රකුණාමලය ආශි‍්‍රතව පිහිටුවීමටයි ඉන්දීය සමාගම තීරණය කර ඇත්තේ.

එම සමාගම, ලංකා ඛනිජ වැලි සමාගමේ හා අනෙකුත් මූලාශ‍්‍රවලින් ඉල්මනයිට් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2 ක්, සර්කෝන් මෙටි‍්‍රක් ටොන් අනූ දහසක් සහ මොනසයිට් මෙටි‍්‍රක් ටොන් නවදහස් පන්සියයක් අපේක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම යන්ත‍්‍රාගාරය ති‍්‍රකුණාමලය වරායේ අක්කර 50 ත් 100 ත් අතර භූමි භාගයක ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඊට යාබද අක්කර සියයක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීමටද අමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා.

අදාළ ඉන්දීය සමාගම මෙම ව්‍යාපෘතියේ පළමු අදියර 2017 වසරේද, දෙවැන්න 2018 දීද ආරම්භ කිරීමටයි සූදානමින් පසුවන්නේ.

ලංකා ඛනිජ වැලි සමාගම, ඛනිජ වැලි කැණීම හා වෙන්කිරීමේ අයිතිය තබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය සඳහා එකගවූ මිළට ඉල්මනයිට්, සර්කෝන් හා මොනසයිට් සැපයීම සිදුකරනු ඇති බවද රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා පවසනවා.

ඒවායෙහි මිළ ටෙන්ඩර් කමිටුවක් මගින් තීරණය කරනු ඇති බවටයි පැවසෙන්නේ.

මෙම ව්‍යාපෘතියට අදාළව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් අමාත්‍ය මණ්ඩලයට සංදේශයක්ද ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් විද්වතුන් පවසන්නේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් වටිනා ඛනිජයන්ගෙන් හෙබි පුල්මුඬේ ඛනිජ වැලි නිධිය රටට අහිමිවීමේ අවදානමක් ඇති බවයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඉල්ලා ඇති ඇතැම් ඛනිජ වර්ගවලින් ඛනිජ තෙල් පවා උත්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි පැවසෙන්නේ.


ෆේස් බුක්වලින් සිදුවන තවත් අපරාධයක් හෙළිවෙයි

මුහුණු පොත ෆේස් බුක් මඟින් හඳුනාගන්නා ලද පුද්ගලයින් රවටා විවිධ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගනිමින් මුදල් වංචා කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිලි 15 කට අධික ප‍්‍රමාණයක් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.

මෙරටට සංචාරක කටයුතු හා අධ්‍යාපන කටයුතු සඳහා පැමිණි විදේශීය ජාතිකයින් විසින් ෆේස් බුක් වැනි සමාජ ඡුාලා වෙබ් අඩවි ඔස්සේ හඳුනාගන්නා ලද මෙරට ජනතාව සමඟ මිතුරු ඇසුරක් පවත්වන අතර පසුව ඔවුන් වෙත විවිධ ත්‍යාග එවනු ලබන බවට දන්වා ඔවුන්ගේ ෆේස් බුක් හා ජංගම දුරකථනවලට ලිඛිත පණිවිඩ යොමු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉන් අනතුරුව එම ත්‍යාගයන් ලබා ගැනීම සඳහා තැපැල් ගාස්තු, රේගු, රක්ෂණ ගාස්තු හා මුදල් අමාත්‍යාංශයට ගෙවිය යුතු මුදල් ගෙවීමට අවශ්‍ය බව පවසා එම මුදල් මෙරට පුද්ගලයින්ගෙන් ලබා ගෙන ත්‍යාග ලබා නොදී මුදල් වංචා සිදු කරනු  ලබන බව පොලීසිය පවසයි.

මෙලෙස මුදල් වංචා කිරීම් සම්බන්ධව විමර්ශන පවත්වා මේ වන විට මෙම අපරාධයට අදාළව නයිජීරියානු හා උගන්ඩා ජාතික සැකකරුවන් 25 කට අධික ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම අපරාධයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදු කරනු ලබයි.

විදේස් ජාතිකයන් විසින් මෙලෙස ලක්ෂ 500 ක පමණ මුදලක් ලාංකීකයින් රවටා  ගිණුම්වල තැන්පත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පිළට සිංහල බෞද්ධ නායකයෙක් ? – ක්‍රිකට් ලොක්කෝ ඊයේ රාත්‍රීයේ හදිසි සාකච්ඡාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිංහල බෞද්ධ නායකයෙකු පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වර්තමානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස්ව එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියේදී විවේක ගන්වා ඒ වෙනුවට සිංහල බෞද්ධ නායකයෙකු පත්කර ගැනීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවක් ඊයේ (26දා) රාත්‍රියේ පවත්වා ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් හා ක්‍රීඩකයන් මුහුණදී ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීමකින් තොරව සිංහල බෞද්ධකම පිළිබඳව අවධානය යොමුකිරීම පිළිබඳව ක්‍රීඩා විචාරකයෝ සිය බලවත් කනගාටුව ප්‍රකාශ කරති.

29 දා සිට රේල් පාරේ ගමන් කළොත් අමාරුවේ..

දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන් වැටලීමේ මෙහෙයුම් මෙම 29 වැනිදා සිට ආරම්භ කරන බව. ශ්‍රී ලංකා දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා මාධ්‍යට පැවසීය.

තමාගේ සහ අන් අයගේ ජීවිතවලට හානියක්‌ වන අයුරින් අනතුරුදායක ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත මෙවැනි වැරදිකරුවන් අධිකරණය වෙත පමුණුවන බවත්, එහිදී ඔවුන්ට රුපියල් තුන් දහසක දඩයකට යටපත් වීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.

ආරක්‍ෂක අංශ සේවා ස්‌ථාන 26 කට අයත් නිලධාරීන් 500 ක්‌ පමණ යොදවා දැනට මුහුදුබඩ දුම්රිය මාර්ගය ඉලක්‌ක කොට මෙම වැටලීම් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට එම අනතුරුදායක තත්ත්වය හා එම වරදේ බරපතළකම පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරගෙන යන බවද ඊට මහජනයාගෙන් විශාල ප්‍රතිචාරයක්‌ ලැබී ඇතැයිද හෙතෙම කීය.

ජංගම දුරකථන භාවිත කරමින් හා සෙල්ෆි ඡායාරූප ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉකුත් දින කීපය තුළ විශාල ලෙස ඉහළ යැම පිළිබඳව සැලකිල්ල යොමු කිරීමෙන් පසු දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ වරද පිළිබඳ නීතිය පසුගිය 14 වැනි දා සිට බලාත්මක කරනු ලැබීය.

බීඑම්ඩබ්ලිව් 1675 ක් ගෙන්වීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

ඉකුත් රජය පැවති 2011 සිට 2014 දක්වා කාලය තුළඳී ව්‍යාජ වාහන බලපත‍්‍ර තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට. බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1675 ක් ගෙන්වීමේදී රජයට බිලියන 16ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙක් අභියාචනාධිකරණය හමුවේ  (27) රිට් පෙත්සමක් ගොනු කළේය.

එකී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කරන ලද රේගු පරීක්ෂණ සටහන් සහ නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙකු වන මුරුගේසු තයාබරන් මහතා මෙම පෙත්සම කර තිබේ.

රේගු අධ්‍යක්ෂක ජනරාල් චූලානන්ද පෙරේරා ,අතිරේක රේගු අධ්‍යක්ෂක ටී.ඩබ්ලිව්.ඒ සේනානායක ,නියෝජ්‍ය අධ්‍යක්ෂක සමන් ද සිල්වා ,ප්‍රෙස්ටීජ් ඔටෝ මොබයිල් පෞද්ගලික සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වන හෙයින්ස් ඇඩෝල්ෆ් රොයිටර් යන මහත්වරු සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකි.

එම කාලය තුළ රජයේ බලපත‍්‍රලාභීන් සඳහා බී.එම්.ඩබ්ලිව් වාහන ආනයනය කළ බව පෙත්සමේ දැක්වේ.මෙහිදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර එමඟින් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

හතරවැනි වගඋත්තරකරු විසින් සිදු කරන ලද මෙය රුපියල් බිලියන 16 කට වැඩි පාඩුවක් ලෙසින් ඇස්තමේන්තු කර ඇති බවද පෙත්සම්කරු කියා සිටී.

ඒ අනුව මේ දක්වා රජයට සිදුවූ ලොකුම පාඩුව වශයෙන් මෙය සැලකිය හැකි බවද පෙත්සම්කරු කියා කියයි.

එම මෝටර් රථ 1675 මෙරටට ගෙන්වීමේදී ව්‍යාජ වටිනාකම් පෙන්වමින් ආනයන බදු සහනයන් ලබා ගෙන ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් මේ සිද්ධිය සම්බන්ධයෙන් රේගු පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසත් ඉල්ලන පෙත්සම්කරු හතරවැනි වගඋත්තරකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය බාරයට ගැනීමට නියෝග කරන ලෙසද ඉල්ලා තිබේ.

එසේම මේ සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ නිලධාරියෙකු පත් කර අධිකරණය නියම කරන කාලයකදී කඩිනම් පරීක්ෂණ කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු‍ ඉල්ලයි.