04 July 2017

කැලෑව විනාශ කොට ඉදිකළ සූරියවැව ක්‍රීඩාංගනයේ වනඅලි බලෙන් පදිංචි වෙලා

 කැලෑව විනාශ කොට ඉදිකළ සූරියවැව ක්‍රීඩාංගනයේ වනඅලි බලෙන් පදිංචි වෙලා !  
inShare
submit to reddit
සිම්බාබ්වේ-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ ඉතිරි තරග 3 පැවැත්වීමට නියමිත සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අලින්ගේ නවාතැනක් බවට පත්ව තිබේ. මේ වනවිට වාර්තා වන්නේ වන අලින්ගෙන් ක්‍රීඩාංගනයේ තනතීරුව ආරක්ෂා කරගැනීම සඳහා ආරක්ෂක නිළධාරීන් 10 ක් පමණ යොදවා ඇති බවයි.
පසුගිය රාජපක්ෂ පාලන සමයේ 2009 වසරේදී මෙම ක්‍රීඩාංගනය ඉදිකළ අතර මෙම ක්‍රීඩාංගනය පිහිටා ඇත්තේ තරග පැවැත්වීම සඳහා කිසිසේත් සුදුසු ප්‍රදේශයක නොවේ. හුදෙක් හිටපු ජනාධිපතිවරයා තමන්ගේ දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය මත පමණක් පදනම්ව මෙම ක්‍රීඩාංගනය ඉදිකළ අතර පසුගියදා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙය ක්‍රිකට් ආයතනයට නඩත්තු කරගත නොහැකි සුදු අලියෙකු බවට පත්ව ඇති බවයි.

සූරියවැව ප්‍රදේශය කිසිසේත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට අවශ්‍ය අවම පහසුකම් හෝ සහිත ප්‍රදේශයක් නොවේ. ජාත්‍යන්තර තරග පැවැත්වීමට නම් ක්‍රීඩාංගනය ආසන්නයේ තරු පංතියේ හෝටල් තිබිය යුතු වුවත් එවැනි පහසුකම් සූරියවැව ක්‍රීඩාංගනය ආසන්නයේ නොමැත. එසේම ක්‍රීඩා පිටිය නඩත්තුවට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා ද විශාල වියදමක් දැරීමට සිදුව තිබේ.

බරපතලම ගැටලුව වන්නේ මෙම ක්‍රීඩාංගනය ඉදිකර ඇත්තේ වනඅලින්ගේ පෝෂක වනාන්තර විනාශ කරමිනි. මේ නිසා එහි සිටි වන අලින්ට යන-එන මං නොමැති වූ අතර එහි ප්‍රතිවිපාක විඳින්නට සිදුව ඇත්තේ වන අලින්ට හා අවට ප්‍රදේශයේ ජීවත් වන අහිංසක ජනතාවටයි.

ක්‍රීඩාංගනයේ සිටි මීටර් 100 ක් ඈතින් ඇත්තේ කැලෑව නිසා තමන්ගේ පෝෂණ කලාප අහිමි කර ඉදිකළ ක්‍රීඩාංංගනය බලෙන් අත්පත් කරගැනීමට මේ වනවිට වනඅලින් සමත් වී තිබේ. ඉදිරියේදී තරග පැවැත්වෙන හෙයින් වන අලින්ගෙන් ක්‍රීඩාංගනය හා තනතිල්ල ආරක්ෂා කරගැනීමට අමතර වියදමක් දැරීමට ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ.

දේශපාලනඥයන් හිතුමතේ කටයුතු කරමින් පරිසරයට සහ වන සතුන්ට හානි සිදුකරමින් ඉදිකළ මෙවැනි අසාර්ථක ව්‍යාපෘති නිසා අවසානයේ කරදර විඳින්නට සිදුව ඇත්තේ මේ කිසිවක් නොදන්නා අසරණ සතුන් හා  අහිංසක ජනතාවයි.

lanka news web

ආණ්ඩුවේ දූෂණ මර්දනය අහෝසි වෙයි – අගමැති තවමත් නිහඬයි

පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගැනීමෙන් පසු අගමැති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා තිබූ වංචා දූෂණ විමර්ෂණය කිරීමේ කමිටු ලේකම් කාර්යාලය පසුගිය ජුනි 30වනදායින් අවසන් වූ නමුත් එම ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍යවරයා මෙතෙක් කටයුතු කර නැත.

වංචා දූෂණ විමර්ෂණය කිරීමේ කමිටු ලේකම් කාර්යාලයේ කාලය පසුගිය දෙසැම්ර් 30වනදායින් අවසන්වීමට නියමිතව තිබියදී එයට එරෙහිව විවිධ පාර්ශව විසින් මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ තවත් මස 06කින් එහි කාලය දීර්ඝ කළ අතර ඊට අමතරව අගමැතිවරයා විසින් මෙම ආයතනය සම්බන්ධයෙන් ගන්නා ඉදිරිපියවර සම්බන්ධයෙන් තීරණය කිරිම සඳහා කමිටුවක් පත් කළ බවද මාධ්‍ය නිවේදනයක් හරහා මාධ්‍ය දැනුවත් කර තිබිණි. එවැනි කමිටුවක් පත් කර නැතැයි එකළ විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තාද පල විය.

කෙසේ නමුත් මේ වනවිට වංචා දූෂණ විමර්ෂණය කිරීමේ කමිටු ලේකම් කාර්යාලය වසා දමා දින 03ක් ගතව ඇතත් අගමැතිවරයා විසින් පත් කළ කමිටුවේ තීරණ කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.

අගමැතිවරයා යටතේ පවතින එම ආයතනය ස්වභාවිකවම වැසීයන තත්වයට පත්වීමට පෙර එහි කටයුතු නිළ ලෙස අවසන් කිරීමේ හෝ පවත්වාගෙන යාමමේ අවශ්‍යතාවය පෙන්නුම් කරණ කුමණ හෝ තීරණයක් අදාල කමිටුව විසින් ගතයුතුව තිබූ නමුත් මෙතෙක් එවැනි තීරණයක් ප්‍රකාශයට පත් නොවීම තුළින් අනාවරණය වන්නේ මීට පෙර මාධ්‍ය වාර්තා පල වූ ආකාරයට එවැනි කමිටුවක් අගමැතිවරයා විසින් පත් කළ බවට ප්‍රකාශ කිරීම ජනතා විරෝධය මැඩ පැවැත්වීමට අරභයා සිදු කර ඇති කූඨ උපක්‍රමයක් විය.

වංචා දූෂණ විමර්ෂණය කිරීමේ කමිටු ලේකම් කාර්යාලය ජුනි මස අවසන් වනවිට වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු සම්න්ධයෙන් ලැබුණු පැමිණිලි ගැන විමර්ෂණ කටයුතු සිදු කරමින් පැවති අතර පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්න්ධයෙන් පැමිණි පැමිණිලි  මූලික විමර්ශණ අවසන් කර අදාළ අංශ වෙත යොමු කර තිබිණි.

පොලිස් මූල්‍ය අපරාධ විර්ශණ කොට්ඨාශය, වංචා හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව, වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම ආදී අංශවෙත යොමු කර ඇත.

මේ වනවිට වත්මන් ආණ්ඩුවට හිතවාදීව අදාළ මූලික විමර්ශන සිදු කළහැකි ආකාරයට විශේෂයෙන් වත්මන් ආණ්ඩුවට හිතවත් පිරිසක් සමග නව මුහුණුවරකින් එම ආයතනය ආරම්භ කිරීමේ උත්සාහක, අගමැතිවරයා නිරතව ඇතැයිද වාර්තා වේ.

විදේශ රැකියා නියෝජිත ආයතන 67ක් අසාදු ලේඛනයට

ගත වු මාස 6ක කාලය තුළ විදේශ රැකියා නියෝජිත ආයතන 67ක් අසාදු ලේඛන ගත කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පසුගිය වසරේ දී විදේශ රැකියා නියෝජිත ආයතන 61ක් අසාදු ලේඛන ගත කර තිබෙන අතර පැමිණිලි විසඳීම සඳහා ප්‍රමාණවත් සහයක් නොදැක්වීම කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයථා ක්‍රම මඟින් පුද්ගලයින් විදේශගත කිරීම, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, මුල්‍ය වංචා සිදුකිරීම ඇතුළු කරුණු හේතුවෙන් එම පියවර ගත් බව කාර්යාංශය සඳහන් කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 702ක් පවතින අතර ඉන් 355ක් කොළඹ දිස්ත්‍රික්කයේම බව සඳහන්.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කළේ ඇතැම් ආයතන කුඩා දරුවන් සිටින මව්වරුන් පවා කූට ලේඛන උපයෝගි කරගනිමින් විදෙස් ගත කරවීමට කටයුතු කර ඇති බවය.

ඉන්දියාවේ කාන්තාවන් පිරිසක් එක්වී දූෂකයෙකුට අමතක නොවන පාඩමක් උගන්වයි | VIDEO

කාන්තාවන් පිරිසක් විසින් කුඩා දරුවෙකු දූෂණය කරන ලදැයි පැවසෙන පුද්ගලයෙකුට පොලු මුගුරු වලින් පහරදී තිබෙනවා.

මෙම පුවත වාර්තාවන්නේ ඉන්දියාවෙන් ගම්බද ප්‍රදේශකින්.

සිද්ධිය බලාසිටි පුද්ගලයෙකු මෙම පුද්ගලයාට පහර දෙන අයුරු වීඩියෝගත කර ඇති අතර පසුව ඔහු එය අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

මෙහිදී දෙඅත් බැඳ තිබෙන මෙම පුද්ගලයාව එක් කාන්තාවක් විසින් අල්ලාගෙන සිටින අතර තවත් පොලු මුගුරු රැගත් කාන්තාවන් පිරිසක් පහරදෙනවා.

බොහෝ පිරිසක් ඒ අවට රැස්ව සිටින අයුරුද වීඩියෝවේ දක්නට ලැබෙනවා.

පාසල් සිසුන්ට නව තාක්ෂණ විෂයන් තුනක්

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ වැඩපිළිවෙළක් ලෙස පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අභ්‍යවකාශ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, සන්නිවේදන තාක්ෂණය හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

ප්‍රථමයෙන් මෙම විෂයයන් ද්විතීයීක මට්ටමේ පාසල්වලට හඳුන්වා දීමට නියමිත අතර, මෙම විෂයන්වල ප්‍රායෝගික දැනුම කාර්මික තාක්ෂණ ආයතනය, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතන යන ආයතන හරහා ලබාදීමට නියමිතය.

තාක්ෂණික සංවර්ධනය ඉහළ දැමීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එංගලන්තයේ සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තෝරනා ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෙක් නිසා බුකිය ඇවිළේ

විදෙස් රටක ජීවත්ව සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම් කරනා ක්‍රීඩක කළමණාකරුවෙක් සමාජජාලා මාධ්‍ය වල අතිශය කතාබහට ලක්ව තිබෙනවා. චාලි ඔස්ටින් නම් එම කළමණාකරුවා වර්තමානයේ ක්‍රීකට් ක්‍රීඩකයන් 20ක් සමග ඔහුන්ගේ කළමණාකරුවා ලෙස ගිවිසුම් ගතව සිටි.

මේ කළමණාකරුවා පිළිබද බොහො දෙනා අදහස් දැක්වීමට ආරම්භ කර ඇත්තේ ඔහු විසින් තමන් සමග ගිවිසුම් ගත වන ලෙස කියා , එය ප්‍රතික්ෂේප කල ලක්ෂාන් සදකැන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට උත්සාහ ගත් බවට පලවන පුවතක් නිසා.

කෙසේ නමුත් කණ්ඩායම් කළමණාකරු සහ තේරීම් කමිටු සභාපතිවරයා ලක්ෂාන් සදකැන් කණ්ඩායමට ඇතුලත් කර තිබෙන බව වාර්තා උනා.  දෙවන තරගයට ක්‍රීඩා කල ලක්ෂාන් සදකැන් තරගයේ වීරයා බවටද පත් වීම විශේෂ්ත්වයකි.

කෙසේ නමුත් චාලි ඔස්ටින් නම් මෙම කළමණාකරුවා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සමගද ඔහුන්ගේ කළමණාකරුවා ලෙස ගිවිසුම් ගතව සිටි අතර වත්මන් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිවුස් , තිසර පෙරේරා , නිරෝෂන් දික්වැල්ල ඇතුලු ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුගේද කළමණාකරු ලෙස කටයුතු කරනවා.

කණ්ඩායමේ තමන් පාලනයේ සිටිනා ක්‍රීඩකයන් හරහා කණ්ඩායම තේරීමට සහ කණ්ඩායමේ වෙනස්කම් කිරීමට මොහු බලපෑම් කරන බවට සමාජජාලා වෙබ් අඩවි වලින් චෝදනා එල්ල වී තිබුනා.

මෙම කළමණාකරුවා තමන් කළමනාකරනය කරනා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සමාජ ජාලා මාධ්‍ය ගිණුම්ද ඔහු පාලනය කරනා බවද වාර්තා වනවා.

ක්‍රීඩකයෙකු සමග ගිවිසුම් ගත වූ පසු එම ක්‍රීඩකයා උපයන මුදලින් 10%ක මුදලක් මෙම කළමණාකරුවා අය කරන බවද , එම මුදලට සරිලන ලෙස ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය හා නායකත්වය වැනි දේවල් ඔහුගේ බලපෑමෙන් ලබා දෙන බවද චෝදනා එල්ලව තිබෙනවා.

ක්‍රිකට් ආයතන‍ය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගිවිසුම් වරප්‍රසාද වෙනස් කිරීමට උත්සාහ කල අවස්තාවේ ක්‍රීඩකයන් ගිවිසුම් අත්සන් කිරීම වැලැක්වූයේද මෙම කළමණාකරුවා විසින් බව සදහන්.

කෙසේ නමුත් චාලි ඔස්ටින් සම්බන්ධ මෙම පුවත් හුදෙක් කටකතා පමනක් බව මහේල ජයවර්දන ඔහුගේ නිළ ට්විටර් ගිණුමේ සදහන් කර තිබෙනවා.

මෙම කළමනාකරුවා පිළිබදව සමාජජාලා මාධ්‍ය වල පලවූ දේ කිහිපයක් පහතින්





මහේල චෝදනාව ප්‍රතික්ෂේ කල අයුරු


සංගා මහේල සමග එම කළමනාකරු චාලි ඔස්ටින්


චාලි ඔස්ටින්

2016 දී ලොතරැයි පත් මුද්‍රණයේදී සිදුවූ මහා දූෂණයක් ගැන තොරතුරු මෙන්න

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලික අරමුණුවල ඇතුළත් අවශ්‍යතාවන් ඉටුවන පරිදි 2016 වර්ෂය තුළ සිදු කළ ලොතරැයිපත් ගණනාවක මුද්‍රණය හා භාරදීම යන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජාතික ලොතරැයි මණ්‌ඩලය විසින් මෙහෙයවා නොමැති බව රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විශේෂ විගණන පරීක්‍ෂණයකදී අනාවරණය වී ඇත.

මේ අනුව 2016 වර්ෂය තුළ සිදු කළ ගොවිසෙත, වාසනා සම්පත, සුපිරි වාසනා සම්පත, ජාතික සම්පත හා සුපිරි දෙලක්‌ෂපති ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම යන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවා නොමැති බවට රජයේ විගණකාධිපතිවරයා නිගමනය කර ඇත.

මේ නිගමනය ඇතුළත් 2016 වර්ෂය තුළදී ජාතික ලොතරැයි මණ්‌ඩලයට පරිගණකාශ්‍රිත දිනුම් ඇදීම සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම පිළිබඳ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව මේ වන විට රජයේ විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.

අදාළ විමර්ශනය සිදු කරන ලෙස කෝප් කමිටුව විසින් රජයේ විගණකාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම විශේෂ විගණනය සිදු කර අදාළ වාර්තාව රජයේ විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුවට භාරදී ඇත.

ලොතරැයිපත් මුද්‍රණය කිරීම හා එහි තත්ත්ව පරීක්‍ෂාවන් පිළිබඳ මුද්‍රණකරුවන්ට වගකීම් භාරදීමෙන් පමණක්‌ ඉටුකිරීමට යොමු වීමෙන් ලොතරැයිපත්වල තිබිය යුතු ගුණාත්මකභාවය හා මුද්‍රණයේ දොaෂ සහිත ලොතරැයිපත් විනාශ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක්‌ යොමු කිරීමට මණ්‌ඩලය කටයුතු කර නැති බවට ද රජයේ විගණකාධිපතිවරයා නිගමනය කර ඇති බව එම වාර්තාවේ දැක්‌වේ.

එසේම ජාතික ලොතරැයි මණ්‌ඩලයේ ප්‍රතිරූපයට හානිවන සිදුවීම් වෙනුවෙන් විධිමත් පරීක්‍ෂණ කඩිනමින් පවත්වා අදාළ නිගමනවලට පැමිණ නොමැති බවද මුද්‍රණකරුවන් විසින් උප කොන්ත්‍රාත් ලබාදීම හා සිදුකරනු ලබන ගිවිසුම් කඩකිරීම සම්බන්ධයෙන් අප්‍රමාදව නීතිමය කටයුතු සිදුකර නොමැති බව සහ මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපති සතු බලතල, සම්පත් හා කාලය යන විෂය සීමා තුළ සිදුකරන ලද හෙයින් එහි විෂයපථයෙන් ඔබ්බට ගොස්‌ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්‌ටමේ නීතිවිරෝධී හෝ සාපරාධී කටයුතු සිදුවී ඇත්ද යන්න විගණකාධිපතිගේ පරීක්‍ෂාවට ලක්‌ නොකෙරුණු බැවින් එවැනි පරීක්‍ෂාවක්‌ කළ යුතු යෑයි හැඟී යන්නේනම් ඒ සඳහා විශේෂිත වූ ආයතනයන්හි සහාය ලබා ගැනීම සුදුසු බව ද විගණකාධිපතිවරයා විසින් තවදුරටත් නිගමනය කර ඒ බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවට සිය වාර්තාව මගින් දක්‌වා ඇත.

ape rata

වයග්‍රා නැත්නම් වැඩේ හබක්ද?

පිරිමින්ට තියෙන ලොකුම ගැටලුවට හොඳම විසඳුම හැටියට මෑත කාලයේ සොයා ගැනුණු වයග්‍රා පෙත්ත ගැන සඳහන් කළ හැකියි. නමුත් වයග්‍රා පෙත්ත මගිනුත් අප්‍රාණිකත්වය නැතිකරන්න පුළුවන් සියයට 80ක් වගේ ප්‍රතිශතයකගේ පමණයි. එහෙමනම් ඉතිරි සියයට 20ට මොකද වෙන්නේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ කියන්නේ ඒ අයටත් ප්‍රතිකාර ඇති බවයි. මෙන්න ඒ ප්‍රතිකාර ගැන ඔහුගේ වාර්තාව.

මම මුලින් කිව්වානේ වයග්‍රා එන්න ඉස්සර අප්‍රාණිකත්වයෙන් පෙළුණ අය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුණේ බොහෝම අඩුවෙන් කියලා. ඇත්තටම අප්‍රාණිකත්වයට මුහුණ පෑ අයගෙන් සියයට 5ක් විතර අඩු ප්‍රතිශතයක් තමා එහෙම නිසියාකාර වෛද්‍ය උපදෙස් සොයා ආවේ. අනෙක් අය කළේ යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්. තෙල් බේත් සාත්තු සොයායාම. ඈත කාලයේ ඉඳන්ම මේක දැවෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් තියෙන අය මේ ගැන කතාකර පසුතැවෙමින් උන්නා. මේ නිසා මේ ගැන විසඳුමක් දෙනවාය කියන එක හොඳ ජාවාරමක් වුණා. ඒ කාලේ පත්තර පිටු පුරා මේ ලෙඩේට බේත්හේත් දෙන නොයෙකුත් උපක්‍රම හඳුන්වාදෙන දොස්තරලා වැහිවැහැලා. වයග්‍රා එන්න පෙර තිබූ තත්ත්වයටම නැතත් අදත් ඒ සිල්ලර වෙදකම් නැතිවාම නොවේ. ඉතින් ඔන්න වයග්‍රා ආවා. සියයට 80කටම ප්‍රතිඵල දෙන විශ්මිත පෙත්ත! මේ නිසා අප්‍රාණිකත්වය ගැන කතාබහ වැඩි වුණා. පෙත්ත සොයා එන අය වැඩිවුණා. නමුත් සියයට 20කට විතර පෙත්ත හරි ගියේ නෑ. එහෙනම් ඒ අයට මොකද කරන්නේ.

පෙත්ත වැඩ නොකරන අයට තාමත් වයග්‍රා පෙත්ත එන්න ඉස්සර බහුලව භාවිතා කරපු සාර්ථක ක්‍රම යොදාගන්න පුළුවන්. ඒ කාලේ භාවිතා කළ ශාකසාර ඖෂධ දෙකක් තියෙනවා. ඒවා දැනටත් සාර්ථකයි. එකක් තමා අප්‍රිකාවේ යොහිම්බි (Yohimbine) ශාඛයෙන් ලබාගත් සාරය මගින් නිපදනවන ඖෂධය. ඒ මගින් මොළයේ ලිංගිකත්වයට නැඹුරු ප්‍රදේශ උත්තේජනය කරලා ආශාව වර්ධනය කර ප්‍රාණවත් බව ලබාදෙන බව සොයාගෙන තියෙනවා.

අනෙක් ඖෂධය චීනයේ පාරම්පරිකව භාවිතා කළ රතු ජීන්සෙන් (Red Ginseng) ඒකත් ප්‍රාණවත් බව සහ ආශාව වර්ධනය කරන්නට සමත්. නමුත් මේවාත් ලබාගන්න ඕනෑ වෛද්‍ය උපදෙස් මත මොකද අනුකරණ සහ ව්‍යාජ බෙහෙත් ඕනෑ තරම්.

ඊළඟට ප්‍රාණවත් බව වර්ධනය කරන සහ එය රඳවා ගන්නා උපකරණ මෙන්ම ශල්‍යකර්මත් දක්වන්න පුළුවන්.

උපත් පාලන කොපුවත් ප්‍රාණවත් බව රදවන එක්තරා උපකරණයක්. හැබැයි මේක මූලික හැකියාව ඇති අයට හරියන උපකරණයක්. ප්‍රාණවත් වූ පසු ධමනි මගින් ගලා එන රුධිරය නැවත ගමන් ගැනීම අවහිර කරන රබර් පටියක් මෙහි කෙළවර තියෙනවා. මේ නිසා ප්‍රාණවත්ව ඉන්න කාලය වැඩියි. නමුත් විනාඩි 30කට එහා මෙය පැළඳ ඉන්න හොඳ නෑ. මොකද අවයවයේ සියුම් පේශි වලට හානිදායක වන නිසා. ඒ වගේම ඉතින් මේ කොපුවේ ප්‍රධාන අරමුණ උපත් පාලනය සහ ලිංගික රෝග වලින් වැලකීම බව අමතක කරන්න හොඳ නෑ.

ඊළඟට තියෙනවා වැක්‍යුම් පොම්පය. මේක 1917 තරම් ඈත හඳුන්වා දුන්න නමුත් 1980දී පමණ වෙළඳපොළට ආ උපකරණයක්. භාවිතය මඳක් අපහසු මේ උපකරණය හදුන්වන්නේ පීනයිල් පම්ප් (Penile Pump) කියලා. හැබැයි වැඩේ අමාරැ වුණාට සියයට 90ක්ම ප්‍රතිඵල සහිතයි.

ඊළඟට ලිංගය දැඩි කරන තැන්පතු සැත්කම් මගින් ඇතුළු කිරීමත් විසඳුමක්. මේ විදිහට තැන්පත් කරන එක් ද්‍රව්‍යයක් වන්නේ දිග ඇදෙන සුළු, නැවෙන සුළු ගතියෙන් යුතු සිලිකන් කූරු. හැබැයි මේ කූරු තැන්පත් කළ පසු ලිංගය සෑම විටම තිබෙන්නේ සූදානම් ශරීරයෙනුයි.

දෙවැනි තැන්පතුව හැඳින්වෙන්නේ හයිඩ්‍රොලික් තැන්පතුව හැටියටයි. මෙහිදි කරන්නේ සේලයින් දියර මගින් පිරීයන ඉතා සියුම් ටියුබ් දෙකක් තැන්පත් කිරීමයි. ලිංගය තුළ ටියුබ් දෙකක් ඒ තුළට සේලයින් පොම්ප කරන කුඩා උපරණයක් වෘෂණ කෝෂ තුළත් අවශ්‍ය සේලයින් දියර බෑගය උදරය තුළත් තැන්පත් කරනවා. වෘෂණ කෝෂය තුළ ඇති පොම්පය මිරිකූ විට ප්‍රාණවත් භාවයක් හා වැල්වය වැසූ විට සාමාන්‍ය මට්ටමට පත්වීමක් සිදුවෙනවා. ඒ වගේම මෙය ඉතා මිල අධික සැත්කමක්. වයග්‍රා වලටත් ප්‍රතිඵල නැති ස්ථිර අප්‍රාණිකත්වයෙන් පෙලෙන අයට පමණයි මෙය වඩාත් සුදුසු.

හැත්තෑ ගණන්වල තවත් සැත්කමක් වන්නේ ලිංගය තුළ ඇති රුධිර වාහිනි ආශ්‍රිත බාධක සිරවීම් අයින් කරන සැත්කම. ඊළඟට 80 දශකයේ ජනප්‍රිය වූ සියයට 94ක් පමණ සාර්ථක වෙච්ච ප්‍රතිකාරයක් ලෙස නික්ෂේපණ විද ගැනීම හඳුන්වන්න පුළුවන්. වයග්‍රාවලට පෙර වැඩිපුරම භාවිතා වූයේ මෙයයි. නික්ෂේපණය ස්ප්‍රේකර විනාඩි කිහිපයක් ඇතුළම ප්‍රතිඵල ලැබෙන බව වාර්තාගතයි.

ඊළඟට වයග්‍රා සමඟ ආපු තවත් ඖෂධ්‍යක් තියෙනවා. ඒකත් සිහින් දිග පෙත්තක්. ඒවා මුත්‍රා මාර්ගයට ඇතුළු කරගත් පසු විනාඩි කිහිපයකින් සාර්ථකත්වය ලැබෙනවා. මේ සියලු ප්‍රතිකාර ඖෂධ ලබාගතයුත්තේ වෛද්‍ය උපදේශ මත බව හොඳට මතක තබාගත යුතුයි. නැතිනම් ඉතින් මොන මොන හෙයියම්මාරැ වලට මුහුණ දෙන්න වෙයිද කවුද දන්නේ!

නව බද්දට විරෝධය පා තමිල්නාඩුවේ සිනමාහල් වසයි

ජුලි 01 වන දා සිට ක්‍රියාත්මක ජී.එස්.ටී. හෙවත් නව භාණ්ඩ හා සේවා බද්දට විරෝධය පා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ 1100 ඉක්ම වූ සිනමා ශාලා ඊයේ  සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා.

නව බදු ක්‍රමය අනුව සිනමා ශාලාවලට සියයට 18ක ජී.එස්.ටී. බද්දක් සහ සියයට 30ක නගර සභා බද්දක් ද ගෙවීමට සිදුවන අතර, එය ඉසිලිය නොහැකි පිරිවැයක් ලෙසයි සිනමා ශාලා හිමියන් ප්‍රකාශ කළේ.

මේ නිසා ප්‍රවේශපත්‍ර මිල ඉහළ නැංවීමට සිදුවන බවත්, එය තමිල්නාඩුවේ සිනමා කර්මාන්තයට තර්ජනයක් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

නව බදු ක්‍රමයට එරෙහිව තමිල්නාඩු සිනමා ශිල්පීන් ද ඊයේ (3) විරෝධතාවන්හි නිරත වී තිබෙනවා.

බෑනාගේ සමාගමට අධික ලාභ ලැබෙන සේ අර්ජුන් තීන්දු තීරණ වෙනස් කළා

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා වුවද ඔහු වෙන්දේසියක් පැවැත්වෙන අවස්ථාවේ එහි පැමිණ තම බෑනාගේ සමාගමට අදහාගත නොහැකි අධික ලාභ ලැබෙන සේ එහි තීන්දු තීරණ වෙනස් කරවීම කිසිසේත්ම සාධාරණ සිද්ධියක් නොවන බවද එය එදින සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය පුරා ළැව්ගින්නක් සේ පැතිර ගිය අතිමහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවයි අර්ජුන් මහේන්ද්‍රන් පාර්ශ්වයේ නීතිඥවරයාට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේ‍යෂ්ඨ අතිරේක අධ්‍යක්ෂිකා ස්ටෙෆානි ප්‍රනාන්දු ඊයේ (3) බැඳුම්කර කොමිසම හමුවේ කියා සිටියා.

එක්වරක් නොව එම ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සිදුවූ 2015 පෙබරවාරි 27දා උදේවරුවේ දෙවරක්ම අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිවරයා වෙන්දේසිය මෙහෙයවූ රාජ්‍ය ණය දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණි බවද ඇය වැඩිදුරටත් අර්ජුන් පාර්ශ්වයේ ජේ‍යෂ්ඨ නීතිඥ ජනාධිපති නීතිඥ චානක ද සිල්වා පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ.

ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මියගේ මෙහෙයවීමෙන් සාක්ෂි දෙමින් ස්ටෙෆානි ප්‍රනාන්දු මහත්මිය කොමිසම හමුවේ සැලකරන ලද කරුණු නිශේධනය කිරීම සඳහා ජනාධිපති නීතිඥවරයා ඇයගෙන් දිගින් දිගටම හරස් ප්‍රශ්න නඟද්දී ඇය එලෙස තම ප්‍රකාශ තවදුරටත් තහවුරු කරමින් පිළිතුරු ලබා දුන්නා.

කොමිසම එහි සභාපති ජේ‍යෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා සෙසු කොමසාරිස්වරුන් වන ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේලුපිල්ලේ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස් වුනේ.

දෙවැනි දිනටත් කොමිසමේ කැඳවීම පරිදි කොමිසම හමුවේ පෙනී සිටි ස්ටෙෆානි ප්‍රනාන්දු අර්ජුන් මහේන්ද්‍රන් පාර්ශ්වයේ නීතිඥවරයාට පිළිතුරු දෙමින් මෙසේද කියා සිටියාය.

සාක්ෂිකාරිය - අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දෙවැනි වරටත් වෙන්දේසිය මෙහෙය වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණි බව මා ඉතා පැහැදිලිවම දුටුවා. දෙවැනි වර ඔහු පැමිණියේ මධ්‍යාහ්න 12ට ආසන්නව තිබියදීය.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා - අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිවරයා එහි පැමිණ සිටින බව සියැසින්ම දුටු බවද ඔබ ප්‍රකාශ කරන්නේ?

පි. - ඔව්. ස්වාමීනි. මා සියැසින්ම දුටුවා.
ප්‍ර. - ඔහු තනිවමද පැමිණ සිටියේ?
පි. - නැහැ. ස්වාමීනි දෙවැනි වර ඔහු පැමිණ සිටියේ තනිවම නොවේ.
ප්‍ර. - එසේ නම් කා සමඟද?
පි. - නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය වීරසිංහ හා ආනන්ද සිල්වා මහත්වරුන් සමඟයි.
ප්‍ර. - ඊට අමතරවත් තවත් නිලධාරීන් එහි සිටියාද?
පි. - ඔව් ස්වාමීනි. ආචාර්ය ආසිම් මහතාත් සෙනවිරත්න මහත්මියත් මගේ අංශ ප්‍රධානී ශ්‍රී මාලි ප්‍රනාන්දු මහත්මියත් සිටියා.
ප්‍ර. - මුතුගල මහත්මියත් සිටියද?
පි. - ඇයද සිටියා වගේ මතකයි. හරියටම මතක නැහැ.
ප්‍ර. - ඔවුන් එතැනට වී මොනවද කළේ?
පි. - ඔවුන් වට කරගෙන මහේන්ද්‍රන් මහතා යමක් පැහැදිලි කළා.
ප්‍ර. - කොපමණ කාලයක් ඔවුන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ රැඳී සිටියද?
පි. - මිනිත්තු 5ක් 10ක් තරම් කාලයක් සිටියා. ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්.

දින්නත් පැරදුනත් කෝටි ගණනින් වැටුප්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනා හැටි !

ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනා අයුරු බොහො දෙනා නොදන්නා කරුණක්.
මෙම සටහන ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනා අයුරු පිළිබදවයි.

ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් ක්‍රීඩකයන් වර්ගීකරණය කොට ගිවිසුම් ගත කරයි.
මෙම ගිවිසුම් A,B,C,D,E ලෙස වේ..

සුපිරි මට්ටමේ ක්‍රීඩකයන් A ඛාණ්ඩයට අයත් වන අතර මීට අමතරව ජාතික කණ්ඩායම වසර පහක් නියෝජනය කරනා ඕනෑම ක්‍රීඩකයෙක් A ඛාණ්ඩයට අයත් වේ.

ඉන්පසු එම ඛාණ්ඩ ගත කර ගිවිසුම් ගත කල ක්‍රීඩකයන්ට වාර්ශිකව මුදලක් ක්‍රීකට් ආයතනය ගෙවයි . මෙම මුදල ක්‍රීඩා කලත් , නැතත් අනිවාර්යෙන්ම ක්‍රීඩකයාට ගෙවයි.

A – එක් කෝටී අසූ හත් ලක්ෂ පනස් දහසයි

B – එක් කෝටි විසි ලක්ෂයයි

C – ලක්ෂ අනූවයි

D – ලක්ෂ හැටයි

E – ලක්ෂ තිහයි

ඉහත ගිවිසුම් මුදල් ක්‍රීඩා කලත් නොකලත් අනිවාර්ය ගෙවීම් ය.

එයට අමතරව තරග ක්‍රීඩා කරනවාට වෙනම වැටුප් ගෙවයි.

තරගය ජය ගත්තත් පරාජය වූවත් මෙම මුදල අනිවාර්යෙන්ම ක්‍රීඩකයාට තරගයක් වෙනුවෙන් ලැබෙයි.

ටෙස්ට් තරගයකට- හත් ලක්ෂ පනස් දහසක්

එක්දින තරගයකට – හාර ලක්ෂ පනස් දහසක්

විස්සයි විස්ස තරගයක් -: ලක්ෂ තුනක්

මීට අමතරව ටෙස්ට් තරගයක් ජය ගත්තොත් තවත් හත් ලක්ෂ පනස් දහසක් බෝනස් ලෙස ලැබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ෂතා වර්ධනය කිරීමට දිරි දීමනා වෙනම ගෙවයි.

ටෙස්ට් ශතකයකට රුපියල් ලක්ෂ හත් ලක්ෂ පනස් දහසක්

ටෙස්ට් කඩුලු පහකට හත් ලක්ෂ පනස් දහසක්

එක්දින තරගයක ශතකයට හත් ලක්ෂ පනස් දහසක්

එක්දින තරගයක කඩුලු පහකට හත් ලක්ෂ පනස් දහසක්

විස්සයි විස්ස ශතකයට තුන් ලක්ෂ හැත්තැ පන්දහසක්

විස්ස විස්ස කඩුලු පහකට තුන් ලක්ෂ හැත්තැපන් දහසක්

අමතර ගෙවීම් කරයි.

මේ ශ්‍රී ලංකා ක්‍රීකට් මගින් ක්‍රීඩකයන්ට ගෙවනා වැටුප් පමණක් වන අතර මීට අමතරවද IPL , BPL , CPL , BBL ආදි තරගාවලි වලට ක්‍රීඩා කිරිමෙන් , වෙළද දැන්වීම් වලට පෙනිසිටීමද ක්‍රීඩකයන්ට ආදායම් ගෙනදේ.



විඩියෝ ක්‍රිඩා ඕමාන වෙළඳපලෙන් ඉවතට

ළමයින්ගේ හිත් දුෂණය වන ආකාරයෙන් නිර්මාණය කර ඇති විඩියෝ ක්‍රිඩා ඕමාන වෙළඳපලෙන් ඉවත් කිරීමට ඕමාන් පාරිභෝගික අධිකාරිය තීරණය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඕමානයේ බුරෙයිමි නගරයේ වෙළදසැල් තුල දරුවන්ට විකිණීමට තබා තිබු අසභ්‍ය පින්තූර සහිත වීඩියෝ ක්‍රීඩා පිටපත් කරන ලද තැටි ඕමාන් පාරිභෝගික අධිකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් පුවත්පත වාර්තා කළේය.

පිටපත් කරන ලද විඩියෝ ක්‍රීඩා සහිත තැටි මිලදී ගත් ඕමාන ජාතිකයෙකු පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරීමෙන් පසු එම තැටි අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය.

නීතිමය කටයුතු සිදු කිරීමට පෙර අසභ්‍ය පින්තූර සහිත විඩියෝ ක්‍රීඩා අඩංගු මුල් පිටපත සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කල බව පාරිභෝගික සේවා අධිකාරියේ වෙළඳපල නියාමනය සහ පාලන අංශයේ ප්‍රධානි, ඉසා බින් සයිඩ් අල්-සයිඩ් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                                

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ආයෝජන පරිසරය වර්ධනයට සකසූ සැලැස්ම එළිදකී

දෙස් විදෙස් නව ආයෝජන සහිතව ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය වර්ධනය කිරීම සඳහා වූ සැලැස්ම. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සවස කොළඹ අරලියගහ මන්දිරයේදී එළිදැක්විණි.

ව්‍යාපාර පවත්වාගෙන යෑමට පහසුකම් හා සේවා සපයන රටවල් වර්ගීකරණයකොට ලෝක බැංකුව විසින් සකස් කැරෙන ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේත් ශ්‍රී ලංකාවට ඉදිරියට ඒමට ක්‍රියා කරන ආකාරය මේ මාර්ග සිතියමින් එළිදැක්විණි.

දැනට ශ්‍රී ලංකාව මේ දර්ශකයේ 110 ස්ථානයේ පසුවේ. වසර 2020දී මේ දර්ශකයෙන් 70 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළයුතු ආකාරය මෙහිදී එළිදැක්විණි.

උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය, ලෝක බැංකුව සහ ඕස්ට්‍රේලියාවේ රජය එකට එක්ව මේ වාර්තාව සකස්කොට තිබේ. මෙම වාර්තාව එළිදැක්වීමේ උත්සවයට එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, වසර 1977දී ශ්‍රී ලංකාවට පසුපසින් සිටි ආසියානු කලාපයේ රටවල් රැසක් අද වනවිට අප රට පසුකොට ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණ ඇතැයි කීය.

අප ඉතා ප්‍රබල රටවල් සමඟ එදා එක මට්ටමේ සිටි බව කී අගමැතිවරයා, අද වනවිට අප පසුබෑමට හේතුවූයේ තරඟකාරීත්වය ජය ගන්නට නිසි අයුරින් ක්‍රියා නොකළ නිසා බව ද කී අගමැතිවරයා, එම තත්ත්වයෙන් මිදී අභියෝග ජයගෙන පෙරට ඒමට සැලසුම් සකස්කොට ඇතැයි ද කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා වත්මන් ජාතික රජයේ ප්‍රතිපත්තිය අපනයන අභිමුඛ ආර්ථික, වෙළෙඳ පරිසරයක් රටේ බිහි කිරීම බව කී අගමැතිවරයා, ඊට අතදෙන ලෝක බැංකුව, ඕස්ට්‍රේලියානු රජයට ස්තුතිය පළකරන බව ද කීය.

මේ උත්සව අවස්ථාවේදී උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ඉඩ්හා – එසෙඩ් – ෆ්රායි මහත්මිය, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ටිම් ගුජින්ස්, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ යන මහත්වරු කථා කළහ.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය අංශවල ඉහළ නිලධාරීහු කිහිපදෙනකු සහභාගිවී සිටියහ.

ශ්‍රී ලංකාව ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයෙන් ඉදිරියට එන මග කියන මාර්ග සිතියම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කොළඹ අරලියගහ මන්දිරයේදී එළිදැක්විණි.

ශ්‍රමිකයින්ට සෞදියෙන් පිටවෙන්න දුන් කාලය දිගු වෙයි

නීති විරෝධි ලෙස සෞදි අරාබියේ රැදි සිටින ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා ලබාදි ඇති පොදු සමා කාලය මේ මස 23 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

මාර්තු මස 21 වන දින සිට ජුනි මස 25 වන දින දක්වා පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර තිබු අතර එම කාලසීමාව තුළ ශ්‍රී ලාංකිකයින් 4500 දෙනෙකු පමණ දිවයිනට පැමිණ ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.

සේවා ගිවිසුම් කාලය ඉක්මවා ගිය පසු තවදුරටත් සෞදි අරාබියේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණිම සඳහා ජුලි 23 වන දින දක්වා කාලය පවතියි.

ඔවුන්ට ඒ සඳහා සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් තොරතුරු ලබාගත හැකියි.

දරුවන් 15කට වඩා සිටින මවුපියන් ගැන තොරතුරු සොයයි

ලබන ඔක්තෝබර් පළමු වැනිදාට යෙදෙන ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් උපහාර පිදීම සඳහා වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් හාදරුවන් 15 දෙනෙකුට වඩා වැඩියෙන් සිටින වයස අවුරුදු 75 ඉක්මවූ මවුපියන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.

මේ අනුව එවැනි වයස 100 ඉක්මවා ජීවත්ව සිටින වැඩිහිටියන් හා දරුවන් 15කට වඩා සිටින වයස 75 ඉක්මවූ වැඩිහිටියන් පිළිබඳ සියලු තොරතුරු වහාම මේ මස 31 වැනිදාට පෙර ළඟම පිහිටි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදෙන ලෙස ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂසුවින්ද සිංගප්පුලි මහතා ඉල්ලා සිටියි.

වැඩිහිටි දින ජාතිකසැමරුම් උත්සවය වැඩිහිටියන් 500කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ලබන ඔක්තෝබර් 01 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

පසුගිය වසරේ මහනුවර පොල්ගොල්ල ජාතික සමූපකාර අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේ පැවැති ජාතික වැඩිහිටි දින සැමරුම් උලෙළෙහිදී වයස අවුරුදු 100 ඉක්මවා සිටි වැඩිහිටියන් 150 දෙනෙකු හා දරුවන් 16 දෙනෙකුට වඩා සිටි මවුපියන් 50 දෙනෙකුට උපහාර පුදකරන ලද බවත්, මෙවර බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වෙනජාතික උත්සවය සඳහා කොළඹ ගාලු මුවදොර සිට විවෘත රථ පෙළපාළියකින් බත්තරමුල්ල දක්වා වැඩිහිටි පිරිස් කැඳවාගෙන ඒමට සැලසුම් කර ඇති බවත් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ සුවින්ද සිංගප්පුලි මහතා ප්‍රකාශ කරයි.