06 July 2017

ශ්‍රී ලංකාවේ කුණු ගඳ බව ජාත්‍යන්තරයෙනුත් කියයි | PHOTO

ශ‍්‍රී ලංකාව මෙතෙක් මහජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණය අතින් කළාපයේ ඉදිරියෙන්ම සිටියද අද වන විට එම කීර්ති නාමය අහෝසි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශ‍්‍රී ලංකාවට දැනටමත් ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඉන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් ඉන්දියාවේ ‘ද හින්දු’ වෙබ් අඩවිය සදහන් කර තිබෙනවා.

අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ අගනුවර කුණු ප‍්‍රශ්ණය සීමාව ඉක්මවා ගිය අර්බුදයක් වී ඇති බවත් තත්ත්වයන් පාලනයට බලධාරීන් අසමත් බවත්ය.



අස්ගිරි තර්ජනාංගුලිය රජයට ද? සසුනට ද?

අස්ගිරියෙන් ඇරඹී නිකායත්‍රයේම​ සහයෝගයෝගය ලබා ගනිමින් පෙරට එන බුදුසසුන රැුකගැනීම සඳහා වූ නවතම ව්‍යායාමය බුදුසසුනට ලැදි කාගේත් අවධානයට යොමු විය යුත්තකි. එය සැබවින් ම අවංකව බුදුසසුන ආරක්‍ෂා කර ගැනීම අරමුණු කරගත්තක් ද යන්න ගැන විමසා බැලීම බෞද්ධ ගිහිපැවිදි හැමගේ වගකීමකි. මන්ද යත් බුදුසසුන රැුක ගැනීම යන තේමාව යටතේ වුවත් බුදුසසුනට හානිකර ව්‍යාපාර ඇති විය හැකි බැවිනි.

අස්ගිරි නිවේදනයට මෙන් ම ඒ සඳහා වූ නිකායත්‍රයේ අනුකූලතාවට ද පදනම් වී ඇත්තේ අන් කවර කලෙකටත් වඩා භික්‍ෂූන් වහන්සේලාට අපවාද හා අපහාස නැගෙතැයි යන උපකල්පනය බව පැහැදිළිව දක්නට ලැබේ. නිවේදනයන්හි දැක්වෙන විහාර දේපල වලට හානි කිරීම, පුරාවිද්‍යාත්මක නටබුන් වැනසීම, බෞද්ධ උරුමයන් අනාරක්‍ෂිත වීම වැනි අනෙක් කරුණු භික්‍ෂූන්ට සිදුවන අපහාසය යන ප‍්‍රධාන තේමාව උද්දීපනය කිරීමට යොදාගත් ඒවා බවට සැක​යක් නැත. එසේ කීමට අපට සිදුවන්නේ එබඳු කරුණු මීට බොහෝ කලකට පෙර සිට ද මේ අන්දමින් ම සිදු වෙමින් පවතින දේ නිසාය.

වෙහෙර විහාර කඩා බිඳ දැමීම, ඇතැම් භික්‍ෂූන් විසින් ම බුදුපිළිම කඩා බිඳ දමා ඒවායේ නිධන් වස්තු සොරා ගැනීම, පුරාවිද්‍යාස්ථාන විනාශ කිරීම, බෞද්ධ උරුමයන් තුළ පවතින නිධන් අනවසරයෙන් සාරා ඒවා සොරා ගැනීම ආදී දේ අපි කලක සිටම අත් දකිමු. එහෙත් ඒවාට එරෙහිව සාම්ප‍්‍රදායික නිකාය සංඝ සභාවන්ගෙන් විරෝධතා එල්ල වූ බවට සාධක නැත.

එසේ තිබියදී මෙවර නැගී ආ සංඝ සභා විරෝධයට වෙනත් අරමුණක් පැවතිය යුතුය. ඒ වූ කලි අන් කිසිවක් නොව භික්‍ෂූන්ට තබා ගිහියන්ට ද නොගැලපෙන අන්දමින් අලජ්ජීව හැසුරුණු ඇතැම් භික්‍ෂූන්ට එරෙහිව පසුගිය දිනවල සමාජ මාධ්‍යජාලා ඔස්සේ ප‍්‍රකට වූ ජනතා අප‍්‍රසාදයයි. එය භික්‍ෂූන්ට එරෙහිව අපවාද නැගීමක් ලෙස සැළකීම සංඝසභා කැළඹී යාමට හේතුවක් වූවාට නිසැකය. සංඝ නිවේදනයන්ට ප‍්‍රතිචාරයන් වශයෙන් භික්‍ෂූන්වහන්සේලාට කරන අපහාස තරයේ හෙළා දකින බවට ජනාධිපති තුමා කළ ප‍්‍රකාශයෙන් ද ඒ බව තවදුරටත් තහවුරු වෙයි.

සැරියුත් මහමුගලන් පරපරෙන් පවතින ආර්ය සංඝරත්නයට අපහාස කිරීම ආර්යොපවාදය නමින් ගැනෙන පාපකර්මයකි. එය කවරකු විසින් හෝ නොකළ යුත්තකි. එහෙත් අද ආර්ය සංඝරත්නයට අයත් වන්නන් අතැඟිලිවලින් ගිනිය හැකි තරම්වත් වෙසෙද්දැයි සැක සහිතය.

භික්‍ෂූන්වහන්සේ වුවද කාලයට හා දේශයට අනුව වෙනස් වනු නොවැළැක්විය හැකිය. කවර අන්දමින් වෙනස් වුවත් මූලික විනය රාමුවෙන් හා ධර්මානුධර්ම ප‍්‍රතිපත්තියෙන් වෙනස් වීමට භික්‍ෂුවකැයි ප‍්‍රතිඥා කරන්නෙකුට කිසිදු හැකියාවක් නැත. එපමණකින් හෝ රැුකෙන භික්‍ෂූන් වහන්සේ සුපෙසල සම්මුති මහා සංඝරත්නය වශයෙන් අපි හඳුනා ගනිමු. උන්වහන්සේලාගේ පැවැත්ම වුව ද ජනතාවට භාග්‍යයක් වන්නේ උන්වහන්සේලා තමන් ද ආදර්ශයක් වෙමින් ශාස්තෘන්වහන්සේ පෙන්වා දුන් යහමගට ජනතාව ද පොළඹවන බැවිනි.

මේ රටේ බෞද්ධ හෝ අබෞද්ධ ජනතාව සුපෙශල ශික්‍ෂාකාමි භික්‍ෂූන්වහන්සේව අපහාසයෙන් හෙළා දකිතැයි පැවසීම ඇදහිය නොහැක්කකි. එසේ කරන්නේ නම් ඒ බේබද්දකු හෝ උන්දත්තකයකු මිස සිහිබුද්ධිය ඇත්තෙක් නොවේ. අපහාසයට බඳුන් වන්නෝ භික්‍ෂු වේශධාරීව සිටිමින් භික්‍ෂුත්වයට නොගැලපෙන නොපනත්කම් කරන්නන් මිස නියම භික්‍ෂූහු නොවෙති.

පසුගිය කාලය පුරාවට කොතරම් භික්‍ෂුවෙශධාරී කණ්ඩායම් ජාතිය හා සසුන රැුක ගන්නා මුවාවෙන් සැහැසි ලෙස ප‍්‍රචණ්ඩකාරීව හැසිරිණි ද යන්න මහ ජනතාවට රහසක් නොචේ. ජනතාව ප‍්‍රවෙගකාරිත්වයට හා පළි ගැනීම්වලට පොළඹවන ඔවුන්ගේ හැසිරීම් ඔවුන් ම දෙසන,

අක්කොච්ඡී මං අවධි මං – අජිනි මං අහාසි මෙ

යෙ ච නං උපනය්හන්ති – වෙරං කෙසං න සම්මති යන බුදු වදනට කෙතරම් නොගැලපේදැයි ඔවුහු නොදන්නහුද?

සියලු සත්වයෝ නිදුක් වෙත්වා (සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා) යනුවෙන් අනුනට මෙත් වැඞීමට උගන්වන ඔවුන් තමන් ගන්නා කවර හෝ මතයකින් උන්මත්තකව සතර අගතියෙන් ම මුසපත්ව දාමරිකයන් ලෙස හැසිරෙත් නම් ඒ තමන්ගේ පුණ්‍යක්‍ෂේත‍්‍ර වූ මහා සංඝයා වහන්සේලායයි පිළිගෙන දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කිරීමට මහ ජනතාව පෙළඹෙද්දැයි සිතා බැලිය යුතුය.

ඉවක් බවක් නැති ජනතාවක් දාමරිකත්වයට හා ප‍්‍රචණ්ඩත්වයට යොමු කරමින් හැසිරෙන ඇතමුන්ට එබඳු පිරිස විසින් ම සිංහලේ සඟ රජුයයි හංවඩු ගැසෙන විට සුපෙශල ශික්‍ෂාකාමී භික්‍ෂූන්ට එය ගෞරවයක් විය හැකිද? දඬුමුගුරු අමෝරා ගෙන සිවුරු කඩා හැලෙමින් පොලිසියට හා හමුදාවට සිවුරේ හය්ය පෙන්වන තරුණ භික්‍ෂු පිරිස් අනාගත ලක් බුදු සසුන බබුළුවන්නට පෙරහුරු වෙතැයි ත්‍රෛනිකායික මහ සඟරුවන සිතන සේක්දැයි අපි නොදනිමු.

මේ වූ කලි සමාජය ඉදිරියට පැමිණ ප‍්‍රසිද්ධියේ භික්‍ෂුත්වයේ තරම මුළු ලොවටම විදහා පාන ඇතැමුන්ගේ කි‍්‍රයා කලාපයයි. මේහැර සමාජයෙන් සැඟවී සිට සිවුරට මුවා වී සිවුරේම අශුචි තවරන භික්‍ෂුප‍්‍රතිරූපකයන් ගැන කියනුම කිම? සැදැහැවතුන් මිථ්‍යා විශ්වාසයන්හි ගිල්වමින් විහාර දේවාලයන්ට පුද කරවා ගන්නා අසීමිත ධනස්කන්ධයන් අවභාවිත කරන විහාරාධිපතිවරුන් ගැන අපට වඩා ත්‍රෛනිකායික මහ නාහිමිවරු ම දනිති. දේවාලයට ලැබුණු පඬුරු මුදලින් රුපියල් දස කෝටියක් පොලියට ව්‍යාපාරිකයකුට දන් දී ඇති බවට වාර්තා වන්නේ උපාසක භවතකු සම්බන්ධයෙන් නොවේ.

සැදැහැවතුන් විසින් පුදන දේ අවභාවිතයෙහි යොදවා (සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා) අඹුදරුවන් පෝෂණය කරමින් විවිධ අකටයුතුකම් කළ ශ‍්‍රමණබ‍්‍රාහ්මණයන් ගැන බුදුන්වහන්සේ සාමඤ්ඤඵල සූත‍්‍රයේදී අවමානයෙන් සදහන් කරති. සසුනේ දියුණුව කැමති රජවරුන් පිදූ විහාර නින්දගම්වලින් මෙන් ම ප‍්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානවලට සැදැහැවතුන්ගෙන් ලැබෙන කෝටිප‍්‍රකෝටි ගණනින් වූ ආදායම් සසුනේ අභිවර්ධනය සඳහා උපයෝගී වේද නැද්දැයි ඒවායේ භාරකරුවෝම පමණක් දනිති. සිද්ධස්ථානවල ඇති පිංකැටවලින් මහා පරිමාණයෙන් ලැබෙන මුදල් කිසිදු විගණන කි‍්‍රයාවලියකින් මෙන්ම පාරදෘෂ්‍ය භාවයකින් තොරව පිල්ලි ගැසෙන හැටි මහජනතාවට රහසක් නොවේ.

ජනතාවගේ ගැරහුමට ලක් වන්නේ භික්‍ෂු නාමයෙන් පෙනී සිටිමින් සසුනටත් ජනතාවටත් වින කටින ඇතමුන්ගේ විනය විරොධී මෙන් ම ජනතා විරොධී කි‍්‍රයාකාරකම්වලට මිස සුපෙශල ශික්‍ෂාකාමී භික්‍ෂූන්වහන්සේලාට නොවේ. එබඳු භික්‍ෂුවෙශධාරීන්ට ජනතාවගෙන් නැගෙන අවලාදයන් හා අපහාසයන් සමස්ත භික්‍ෂුසංඝයාට ආරොපනය කර දැක්වීමට අස්ගිරිය ප‍්‍රමුඛ සංඝසභාවන් උත්සාහයක් ගෙන නැද්දැයි විචක්‍ෂණශීලීව බලන්නකුට වටහා ගැනීම අපහසු නොවේ.

අනෙක් අතට, කලහකාරීව හා අලජ්ජීව හැසිරෙන විනය විරෝධීන්ට හා ශාසන විරෝධීන්ට නැගෙන අපහාස හා අවමාන සංඝසභාවන් විසින් හෙළා දැකීම එබඳු පුද්ගලයන්ට උඩගෙඩි දීමක් නොවන්නේද? එය සංඝසභා තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටීන බවට ඔවුනට දෙන සහතිකයක් නොවන්නේද? එමගින් ඔවුන් තවතවත් දිරිමත්ව එබඳු භික්‍ෂුසාරුප්‍ය නොවන කි‍්‍රයාවන්හි නොබියව නියැලෙන්නේ නම් එය කෙතරම් දුරට ශාසනයට හිතකර වන්නේද? සසුනට අලූතින් ඇතුළුවන නවක භික්‍ෂූන් එබඳු භික්‍ෂූන්ගේ අවකල්කිරියාවන් වීරකි‍්‍රයාවන් මෙන් ආදර්ශයට ගැනීමට ඇති ඉඩකඩ වැඩි නොවන්නේදැයි මහ තෙරවරුන් වශයෙන් සිතා නොබැලිය යුතුද? ගුරා හිටගෙන කරන විට ගෝලයා දුවදුවා කරතැයි අපි අසා ඇත්තෙමු.

ප‍්‍රචණ්ඩකාරී භික්‍ෂුවකගේ හැසිරීම ප‍්‍රතිෙක්‍ෂප කරන නමුත් මතවාදය බැහැර කළ නොහැකියයි කෙරෙන අස්ගිරි ප‍්‍රකාශය ද පුදුම සහගතය. කෙනෙකුගේ හැසිරීම හැඩගැසෙන්නේ ඔහුගේ මතවාදය අනුව බව අස්ගිරි ධර්මධරයන් වහන්සේලා නොදන්නහුද? නොදන්නහු නම් තමන් අනුගමනය කරන බුදුන් වහන්සේ පෙන්වා දුන් මූලිකම ධර්මයක් වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවන තුන්වන හා සතරවන අංගයන් යළි මනාව උගත යුතු බව අපි අවධාරණය කරමු. නිවැරදි මතය (සම්මා සංකප්ප) අනුව ඇති වන නිවැරදි වචනයෙන් හා නිවැරදි කි‍්‍රයාවෙන් කෙනෙකුගේ නිවැරදි හැසිරීම සැකසෙන අයුරුත් වැරදි මතයන් (මිච්ඡා සංකප්ප) අනුව වැරදි කායික වාචික හැසිරීම් ඇතිවන අයුරුත් එමගින් පැහැදිලි වෙයි. එබැවින් කෙනෙකුගේ හැසිරීම ප‍්‍රතිෙක්‍ෂප කරන්නේ නම් ඔහුගේ මතවාදයද අනිවාර්යයෙන් ම ප‍්‍රතිෙක්‍ෂප කළ යුතුය. ඒ දෙක අතර අවිචල සම්බන්ධයක් ඇති බැවිනි.

ලක්දිව පවතින්නේ ථේරවාද බෞද්ධසම්ප‍්‍රදායයි. එය පිරිසුදු බුද්ධධර්මය ආරක්‍ෂා කරගත් සම්ප‍්‍රදාය වශයෙන් ගෙන අපි උදම් අනමු. ථෙරවාදය දාර්ශනික සම්ප‍්‍රදායකට වඩා විනය සම්ප‍්‍රදායයක් වශයෙන් පැවත ආවකි. භික්‍ෂූන් කැමති නම් තමා පැනවූ කුඩා අනුකුඩා සිකපද නොසලකා හැරිය හැකැයි ශාස්තෘන් වහන්සේ විසින් පවසා තිබියදීත් අප එසේ නොකළ යුතුයයි නිගමනය කළේත් ධර්මයට ද ඉහලින් විනය පිළි ගෙන මුලින්ම විනය සංගායනා කළේත් ථේරවාදයේ පුරෝගාමීහු වෙති. එසේ තිබියදී භික්‍ෂූන්වහන්සේගේ විනයානුකූල හැසිරීම අවධාරණය කිරීම සංඝ සභාවල ප‍්‍රමුඛ කාර්යය විය යුතුබව නොකිවමනාය.

ශාසනය වෙනුවෙන් පෙනී සිටින වගකිවයුතු සංඝසභා ශාසන විලෝපනයන්හි යෙදෙන්නන් ආරක්‍ෂා කරගැනීමට දරන උත්සාහයන් රජයකට කෙරෙන තර්ජනයන් නොව ඇත්තෙන් ම සසුනට එරෙහිව නැගෙන තර්ජනයන් බව ඉඳුරාම කිව යුතුය.

කාලිංග යුද්ධයෙන් පසු අශොක අධිරාජයන්ගේ පාලනයෙහි මුල් අවධියෙහි භාරතීය සංඝ සමාජයේ පැවැත්මද වර්තමාන ලාංකික සංඝ සමාජයේ පැවැත්මට බෙහෙවින් සමාන වූවක් විය. එහි වෙනසකට සිදුවූයේ මිසදිටුවන් සසුනට වැදී භික්‍ෂුවෙශධාරීව මිසදිටු අදහස් ජනතාව තුළ වපුරුවමින් භික්‍ෂුසාරුප්‍ය නොවන කි‍්‍රයාවල නිරත වීමයි. ශික්‍ෂාකාමී භික්‍ෂූන්ට සත් අවුරුද්දක් පුරා උපොෂත කර්මය නොකළ හැකි තරමට සසුන දූෂණය වී පැවතිණ. මේ තත්වය යටතේ සත් වසරක් අහෝ ගංගාවෙහි හුදෙකළාව විසූ මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ අශොක රජුගේ ඇරයුමෙන් යළි සංඝයා අතරට පැමිණ රජුගේ සහයෝගයෙන් කරවන ලද ශාසන සංශොධනයෙන් පසු ශාසනය යථාතත්වයට ගනු ලැබිණ.

අස්ගිරිය ප‍්‍රමුඛ සංඝ සභාවලින් ඇරඹුණු නව ආන්දෝලනය වෙස් වළා පැමිණි ආශීර්වාදයක් කරගැනීමට බුදුසසුන ආරක්‍ෂා කොට පොෂණය කිරීමට ව්‍යවස්ථාවෙන් බලය පැවරුණු රජයක වග කීම නොවන්නේදැයි විමසා බැලිය යුතුය. අශෝකගෙන් පටන් ගෙන විවිධ වකවානුවල සිංහල රජදරුවන් විසින් ද ශාසන සංශොධන සිදු කරනලද බව අපි දනිමු.

සංඝ සංශෝධනයක් කෙසේ වෙතත් අඩුම තරමීන් කතිකාවතක් මගින් හෝ භික්‍ෂූන් වහන්සේලාගේ මනා හැසිරීමත් මනා පැවැත්මත් තහවුරු කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම් සසුනේ පැවැත්ම දැඩි අනතුරක පවතින බව නොකිවමනාය. සංඝසභා එක්ව රජයේ ද සහයෝගය ලබා ගනිමින් අවම මට්ටමින් නිකායත‍්‍රයටම පිළිගත හැකි කතිකාවතක අවශ්‍යතාව මේ යුගයෙහි ඉහලින්ම කැපී පෙනෙන බව ශාසනමාමක කවුරුත් පිළිගනු නියතය.

විනය ශික්‍ෂා මාලාවක් භික්‍ෂූන් සඳහා බුදුන් වහන්සේ විසින් පැනවී තිබියදී කතිකාවතකින් කළහැකි දේ කුමක්දැයි කෙනෙකුට ඇසිය හැකිය. විනය නීතිමාලාවේ බලාත්මක බව ඇත්තේ එය ස්වෙච්ඡාවෙන් පිළිපදින​ තෙක් හෝ කිසියම් ආයතනයක් මගින් බලගන්වන තෙක් හෝ පමණි. භික්‍ෂූන් ස්වෙච්ඡාවෙන් විනය නො පිළිපදින විට සංඝසභා වැනි ශාසනික ආයතන මගින් බලාත්මක කරවිය යුතූය. වර්තමානයේ සංඝසභාවලින් එබඳු කටයුත්තක් සිදුවනු දක්නට නැත. කතිකාවතක අවශ්‍යතාව පැනනගින්නේ මෙබඳු තත්වයක් යටතේයි.

භික්‍ෂූන්ගේ විනයානුකුල හැසිරීමට පමණක් නොව සංඝ සංස්ථාවේ මනා පැවැත්මට ද කතිකාවතකින් කළ හැකි දෑ බොහෝය. රාජ රාජමහාමාත්‍යාදීන් සසුනට සම්පත් පවරා ඇත්තේ සසුනේ මනා පැවැත්ම සඳහායි. අද පෞද්ගලික බූදල් ලෙස සළකා අවභාවිත වන එම සම්පත් කතිකාවතක් මගින් වූ පොදු එකඟතාවකින් සමස්ත ශාසනයේ යහපත සඳහා යොදාගත හැකිව තිබේ.

ලැබෙන සම්පත් පොදු පරිහරණයට ගැනීම බුදුන් වහන්සේ හඳුන්වා දුන් සංඝික ක‍්‍රමයයි. මෙම ක‍්‍රමය යටතේ පවත්නා බෞද්ධ සිද්ධස්ථාන වලට ලැබෙන සියලු වත්කම් කිසියම් සංවිධානාත්මක ක‍්‍රමයක් මගින් විමධ්‍යගත වීමක් නොකෙරෙන්නේ නම් ඒවා අවභාවිත වීම නෙවැළැක්විය හැකිය. දඹුලු විහාරයට ලැබෙන ආදායම් පිළිබඳව මේ දිනවල ජනමාධ්‍යවල පළ වෙමින් තිබේ. මෙසේ කෝටි ගණනින් අදායම් ලැබෙන සිද්ධස්ථාන රාශියක් සඟසතුව පවතියි. මේ තැන්වලින් අවුරුදු පතා ලැබෙන විශාල ධනස්කන්ධය ශාසනයේ දියුණුවට තබා ඒ ස්ථාන සංරක්‍ෂණය හා සංවර්ධනය සඳහාවත් නිසි සේ යෙදවෙනවාදැයි සොයා බැලීමට කිසිවෙක් නැත.

ධනය මහා පරිමාණයෙන් රොක් වන ස්ථාන කිහිපයක ආදායම් අවභාවිත වෙද්දී හරිහැටි සිච්පසයවත් සරි කරගත නොහැකි භික්‍ෂූන් වහන්සේලා වෙසෙන විහාරස්ථාන කෙතරම් දිවයිනේ දුෂ්කර ප‍්‍රදේශවල පවතීද. ඒවායේ විහාරාංග සම්පූර්ණ කර ගැනීම සඳහා මොන තරම් වෙහෙසක් දැරීමට දායකකාරකාදීන්ට සිදුවී තිබේදැයි විමසීමට කිසිවෙක් නැත. වයෝවෘද්ධව රෝගාතූර වී අසරණ වන භික්‍ෂූන්ට නිසි ප‍්‍රතිකාර ගැනීම සඳහා අංග සම්පූර්ණ ආරෝග්‍ය ශාලාවක් ගැන සිතීමටවත් පෙළඹෙන කෙනෙක් නැත. දුප්පත් පන්සල්වල තම පතපොතවත් සොයාගත නොහැකිව ලත වන තරුණ භික්‍ෂූන්ගේ අධ්‍යාපන කටයුතූවලට අතහිත දෙන්නට කිසිවෙක් නැතත් තම දෙශපාලනික හෝ වෙනත් අරමුණු ඉටු කරගනු සඳහා එබඳු තරුණ භික්‍ෂූන් උද්ඝොෂණවගට රැුගෙන යන්නෝ නම් කොතෙකූත් සිටිති.

ධනවත් සිද්ධස්ථානවලින් ලැබෙන අසීමිත ධනය නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් ශාසනයේ අභිවර්ධනය සඳහා ඒවා යොදාගත හැකි වෙයි. එබැවින් මේ උදාවූ ස්වර්ණමය අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන ශාසනයේ උන්නතිය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මහා සංඝරත්නයත් රජයත් බෞද්ධ මහ ජනතාවත් කැප වන්නේ නම් එය ෙඓතිහාසික සද්කාර්යයක් වනු නියතය.

| මහාචාර්ය කපිල අභයවංස

විද්‍යා ඝාතනය සිදුවූ අයුරු හෙළිවෙයි

විද්‍යා ඝාතනය සිදුවී ඇත්තේ හිස පිටුපසට සිදුකළ පහරදීමක් හේතුවෙන් මොළය අභ්‍යන්තරයට ලේ ගැලීම ‍නිසාවෙන් හා ගෙල සිරකොට තිබීමෙන් යන කාරණාවන්ගෙන් වන බව යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා විද්‍යා ඝාතන නඩු විභාගය වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා තිබෙනවා.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා ඉදිරියේදී ඊයේ (05) නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේදි අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා එලෙස පවසා ඇත්තේ.

ආරුමුගම් රගුපති පිල්ලේ මහතා ද, 04, 07, 08 සහ 09 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සින්නරාසා කේදීස්වරනුත් මහතා ද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ රජයේ නීතීඥ විග්නරාජා ජයන්තා මහතා ද පෙනී සිටියා.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වන දින පාසල් ඇඳුමින් සැරසී පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබුණා.

ඝාතනය සැළසුම් සහගතව සිදුකොට ඇති බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් සඳහන් කරනු ලබන්නේ.

නීතිපති දෙපාර්තමේන්තු නියමයන් අනුව ඉතිහාසයේ පළමු වරට යාපනය මහාධිකරණය තුළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාගය කැඳවා තිබෙනවා.

ඩෙංගු රෝගයෙන් ගැලවෙන්න විශේෂ උපදෙස් මෙන්න

මේ වන විට වේගයෙන් පැතිර යන ඩෙංගු වසංගතයෙන් ආරක්ෂා වීමට හා ප්‍රතිකාර ලබාගැනීමට අදාළ උපදෙස් මාලාවක් වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රකාශයට පත් කර තිඛෙනවා.

මේ රෝගීන්ට ඉතා වැදගත් වන එම උපදෙස් මාලාවයි.  


උසස් පෙළට සහ පහේ ශිෂ්‍යත්ව විභාගය පැවත්වෙන කාල සටහන

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 8දා සිට සැප්තැම්බර් 2දා දක්වාත් පස්වන ශ්‍රේණියේ ශීෂ්‍යත්ව විභාගය අගෝස්තු 20දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තිරණය කර ඇත.

විභාග මධ්‍යස්ථාන 2230කදී පැවැත්වෙන විභාගය සඳහා පාසල් අයඳුම් කරුවන් 237943ක් හා පෞද්ගලික් අයදුම් කරුවන් 77284 වශයෙන් මෙවර උසස් පෙළ සඳහා අයදුම් කරුවන් 315227ක් පෙනී සිටිනු ඇත.

විභාග මධ්‍යස්ථාන 3014කදි පැවැත්වෙන පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා 356728 පෙනී සිටිමට නියමිතය

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා හා ජනාධිපතිවරයා අතර හමුවක් මහනුවර ජනාධිපති මන්දිරයේදී  අද (06) පැවැත්වෙනවා. ඒ වර්ථමානයේ රටේ පවතින තත්ත්වයන් සම්බන්ධයෙනි.

එම අවස්ථාවේදී මහනායක හිමිවරුන් සහ ජනාධිපතිවරයා අතර පවතින් සාකච්ඡාවට බඳුන්වන විශේෂ කරුණු කිහිපයක් ඇතුළත් පිටපතක් අපවෙත ලැබී තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී විධායක බලතල අහෝසි කිරීමටත් නව ව්‍යවස්ථාවක් සැකසීමට නායකත්වය දීමට පොරොන්දුවූ අතර ලිච්ඡවී  පාලනයක් ඇති කළ හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  පිළිබඳව අගමැතිවරයා මහ මැතිවරණයේදී සඳහන් කළ බවයි එම යෝජනාවලියේ  සඳහන් වන්නේ.

ඒ සඳහා අගමැතිවරයාට බහුතර බලයක් නොලැබුණු බවද උන් වහන්සේලා යෝජනාවලියේ සඳහන් කර තිබෙනවා.

එසේ තිබියදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට උත්සහ කිරීමෙන් මෙතෙක් නොතිබුණු අනවශ්‍ය ගැටළු ඇතිවන ලකුණු පෙනෙන බවයි උන් වහන්සේලා පෙන්වා දෙන්නේ.

එම නිසා නව ව්‍යවස්ථාවක් මෙම අවස්ථාවේ සැකසීම අනවශ්‍ය බව එම යෝජනා අතර සඳහන් වනවා.





කඩුලු 8කින් ලංකාව ජය ගනී

ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ අතර  අද (06) පැවැත්වෙන තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේදී  ශ්‍රී ලංකාව කඩුලු 8ක ජයක් අත්කර ගත්තා.

සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 දැවී ලකුණු 310 ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව කඩුලු දෙකක් පමණක් දැවී ජය වාර්තා කළා.

එහිදී ආරම්භක පිතිකරුවන්  ශතක ලබා ගත්තා.

ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන දෙදෙනාම මෙහිදී ලබා ගත්තේ සිය මංගල ශතකයි.

 

ශ්‍රී ලංකාවේ විශාලම සූර්ය විදුලි ව්‍යාපෘතිය පුනිරින් ප්‍රදේශයට

 මෙගාවොට් 800ක විදුලි ධාරිතාවයක් උත්පාදනය කරන සූර්යබල විදුලි ව්‍යාපෘතියක් ඉතා කඩිනමින් පුනරීන්හිදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (06දා) පෙරවරුවේ අදාළ ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජිත භූමියේ, ස්ථානීය පරීක්ෂාවකට සහභාගි වෙමිනි.මෙම ව්‍යාපෘතියට සමගාමීව මෙගාවොට් 240 ක ධාරිතාවයකින් යුත් සුළංබල ව්‍යාපෘතියක්ද යෝජිත භූමියේ ආරම්භ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘති හරහා විකල්ප බලශක්තීන් වෙනුවෙන් මෙරටින් විදේශයන්ට ඇදීයන මුදලින් රු. බිලියන 03 ක් පමණ වසරකට ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බව වැඩිදුරටත් ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා පැවසුවේ, ලබන අගෝස්තු මාසයේදී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන බවයි.

ඉන්දියාවට එරෙහිව ගේල් නැවත 20-20 පිටියට

බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස්‌ ගේල්ව ඉන්දියාව සමග පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගය සඳහා නම් කිරීමට එරට ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා තිබේ.

එංගලන්තය සමග පැවැති 2016 විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් තරගයෙන් අනතුරුව මෙලෙස ගේල්ව කණ්‌ඩායමට කැඳවා තිබීමද විශේෂත්වයක්‌ බවට පත්ව තිබේ. ඒ අනුව ඉන්දියාව සමග පැවත්වෙන විස්‌සයි විස්‌ස තරගය එළැඹෙන 9 දා පැවත්වීමට නියමිතය.

ගල්ෆ් ඉල්ලීම් පිළිනොගත් කටාරයට තවත් සම්බාධක

 කටාරය වෙත සෞදි අරාබිය ඇතුළු අරාබි රාජ්‍යයන් හතරක් විසින් ලබාදුන් ඉල්ලීම් එකතුව ඔවුන් ප්‍රතික්ෂේප කිරීම නිසා කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක පැනවෙනු ඇති බව සෞදිය පවසයි.

කයිරෝ නුවරට රැස්වූ සෞදිය ප්‍රමුඛ අරාබි රාජ්‍යයන් හතරේ විදේශ අමාත්‍යවරුන් පවසා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම් 13 ඇතුළත් යෝජනාවලිය සම්බන්ධයෙන් කටාරය සෘණෘත්මක ප්‍රතිචාරයක් දැක්වීම සම්බන්ධයෙන් කණගාටුවන බවයි.

සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පසුගිය මාසයේ සිට කටාර් රාජ්‍ය සමග පවතින සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ආර්ථික සබඳතා අත්හරිමින් එරටට සම්බධක පැනවීය.

කටාර් රාජ්‍ය ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන් වෙත අරමුදල් සපයන බවට චෝදනා කරමින් හා ඔවුන් ඉරානය සමග පවතින සමීප සබඳතාව ඇතුළු තම රටේ ප්‍රමුඛ ප්‍රතිපත්තිවල වෙනසක් සිදුකළ යුතු බව පවසමින් මෙම සම්බාධක පැනවීම සිදුවිය.

ඒ අනුව, කටාර් රාජ්‍ය මේ වනවිට මුහුණදී සිටින තත්ත්වයේ බරපතළකම සම්බන්ධයෙන් ඔවුන්ට පවතින්නේ අවම අවබෝධයක් බව අරාබි රාජතාන්ත්‍රිකයෝ පවසති.

මේ අතර, සෞදි විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ කටාරයට එරෙහිව තවදුරටත් කටයුතු කිරීම අවශ්‍ය මොහොතේ සිදුවන බවයි. මේ සියලු දෑ ජාත්‍යන්තර නීතිය යටතේ සිදුවනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

අපි මෙය කරන්නෙ අපිට කටාරයට රිදවීමට අවශ්‍ය නිසා නොවෙයි. අපි මෙය කරන්නේ කටාරයට උදව් කිරීමට අවශ්‍ය නිසයි යනුවෙන් සෞදි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙම අරාබි රාජ්‍යයන් හතර විසින් ලබාදී තිබූ ඉල්ලීම් 13 පිළිබඳව එකඟත්වයට පැමිණීමට කටාරය වෙත මුලින් ලබාදුන් දින 10ක කාල සීමාවෙන් පසුව, තවත් පැය 48ක අමතර කාලයක්ද පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණත්, එයද මේ වනවිට ඉක්ම යෑමත් සමග අදාළ රාජ්‍යයන් මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

අපට හානිවන තරමට සමාගමේ ලාභය ඉහළයි - රවීන්ද්‍ර කාරියවසම්

උමා ඔය ව්‍යාපෘතියෙන් ඇතිවන විනාශය වැඩිවන තරමට එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වූ ෆරබ් නම් ඉරාන සමාගමට රක්ෂණායතන මගින් මුදල් ලැබෙන බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.

ව්‍යාපෘතිය විනාශකාරීව සිදු කරන නිසා මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජල උල්පත් රැසක් සිඳී ගොස් තිබෙන බව ද ඔහු පවසයි.

‘‘ජලය නොමැති කමින් ඉඩම් අක්කර දහස් ගණනක වගා කටයුතු අතහැර දැමීමට ගොවීන්ට සිදුව තිබෙනවා.   බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැගිල්ල,  කුමාරි ගොඩනැගිල්ල සහ අලුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැගිල්ල ආශ්‍රිත කලාපය දැඩි ගිලාබැසීම්වලට ලක්වෙලා. ඉදිරියේදි දැවැන්ත ගිලා බැසීමක ලකුණු දැනටමත් මෙම ප්‍රදේශයේ පෙනෙන්නට තිබෙනවා.

බණ්ඩාරවෙළ  උඩ පේරුව,  පහළ පෙරුව, මැද පේරුව,  අම්පිටිය,  පල්ලේපේරුව,  කරගහවෙල,  බොරලන්ද, රජ කොටුව,  පුහුල්පොල,  දික්පිටිය,  ඉහළකොටවර,  පහළ කොටවර,  මඩුවේ ගෙදර,  අඔ දණ්ඩා ගම,  අභයපුර,  කන්දේකැටිය ආදි ප්‍රදේශ රැසක ජනතාවට බීමට දිය පොදක් නොමැති තරමට ළිං හිඳිලා.  දැනට මෙම ප්‍රදේශවලට වතුර ලීටර් 180000 ක් දිනකට සපයනු ලබන්නේ  බණ්ඩාරවෙල ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ මැදිහත් වීමෙනි. යහමින් ජලය තිබූ මධ්‍යම කදුකරයේ දැනට දැවැන්ත ජල හිඟයක් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය විසින් අත්පත් කර දී තිබෙනවා.  ෆරාබ් ඉරාන සමාගම  උමා ඔයේ කැණිම් කිරීම හා භූගත ජල නළය කණින විට විටින් විට සිදු වූ ජල කාන්දුවීම් නිසා මධ්‍යම කදුකරයේ ජල උල්පත් දහස් ගණනක් මේ වනවිට සිදී ගොස් අවසන්.

පසුගිය වසරේ හා මේ  වසරේ උමඟ කැනීම් අතරතුර මෙරට ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරා ලීමට හා ගහ කොළ සතා සිව්පාවාගේ ප්‍රයෝජනයට ගැනීමට තිබූ ජල ලීටර් කෝටි ගණනාවක් අපතේ ගියා. උමග විදින විට මෙම ජල උල්පත් හා භූගත ජල තැටි හමුවන බව එම සමාගම දැන සිටිය යුතුයි.   උමඟ කණින මාර්ගය සම්බන්ධව අධ්‍යයන වාර්තා මගින් අදහස් ලබා ගන්න ඕනෑ. නමුත් මෙරට ජල සම්පත පිළිබද තුට්ටුවකට ගණන් නොගත් මෙරට පරිසර අධිකාරිය හා අනෙක් ආයතනත් මැති ඇමැතිවරුනුත්   මධ්‍යම කදුකරයේ ජල උල්පත් හා භූගත ජලය විනාශ කිරීමට   ඉරාන සමාගමට අවසර දුන්නා.  මධ්‍යම කඳුකරයේ ජල උල්පත්  ජලය සැපවූයේ බණ්ඩාරවෙල හා අවට ප්‍රදේශවලට පමණක් නොවෙයි,  මධ්‍යම කදුකරයේන්   ගලන ගංගා එකසිය තුනට හා දියකදුරු දහස් ගණනකටයි.

වැස්සෙන් වැටෙන ජලය පස තුළ ඇති කුහර තුළට හා මව් පාෂාණය හා මතුපිට පාෂාණය අතරත් මව් පාෂණය තුළත් ගබඩා වෙනවා.    එම ජලය පහළ ස්ථානවලින් උල්පත් ලෙස ගංගා ඇළදොළවලටත් ළිංවලටත් එකතු වෙනවා. ජල ගබඩාවන් හරහා උමං හාරන විට ජල ගබඩාව සිදුරු වෙලා  ජලය සියල්ල උමං මාර්ග දිගේ එළියට යනවා.

ස්වභාවයෙන්ම මධ්‍යම කඳුකරය සිදුකරන්නේ වැස්සේන් වැටෙන ජලය   ගබඩාවක් ලෙස ආරක්ෂා කර තබාගන වැසි නෙමැති කාලවල එය ගංගාවන්ට නිදහස් කිරීමයි.   ඒ ආකාරයට නිදහස් කිරීමට තිබූ ජල ගබඩාවන්ගේන් සැලකිය යුතු ප්‍රමාණයක් දැනට සිදුවන ජල කාන්දු නිසා සහ සමස්ත උමා ඔය ව්‍යාපෘතිය නිසාත් විනාශ වුණා.  උමා ඔය ව්‍යාපෘතිය නිසා පැන නගින   ජල හිඟය පළමුව බණ්ඩාරවෙලට බලපෑවත්  දෙවනුව හා තෙවනුව සමස්ත රටටම බලපානවා. මෙය බණ්ඩාර වෙල මිනිසුන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මෙය රටේ සෑම දෙනාගේම ප්‍රශ්නයක්.   .

මාතැටිල්ල ඔය අසලින් ආරම්භ වී රාවණා ඇල්ලට පහළින් මතු වන කිලෝමීටර් 23 දිග උමං මාර්ගය සැකසීම සඳහා මෙරට  උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වු ඉංජිනේරුවන්   ග්‍රිල් ඇන්ඞ් බලාස්ට් ක්‍රමය    හා ග්‍රිලිං  ක්‍රමය යොදාගෙන තිබෙනවා.  කුමන ක්‍රමවේදයක් යොදාගත්ත ද අඩු වැඩි වශයෙන් දෙදරීම් සිදුවෙනවා.  කඳුවල සිදුවන දෙදරීම් නායයෑම්වලට මූලික හේතුවක්.    ලෙව පුරා එවන් අත්දැකීම්  විශාල සංඛ්‍යාවක් තිබෙනවා. කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියේ උමඟ කැනීම ආරම්භ වූ දා පටන් ඩයබරා, මාතැටිල්ල ඔය ඉවුරු හා ඒ ආසන්න ප්‍රදේශවල විශාල වශයෙන් නායයෑම ආරම්භ වුණා.   බණ්ඩාරවෙල ආශ්‍රිත ප්‍රදේශය මේ වනවිට කුඩා නායයෑම්වලට ලක්වෙමින් තිබෙනවා.   තව වසර කිහිපයක් ඇතුළත බණ්ඩාරවෙල අශ්‍රිත ප්‍රදේශ ගණනාවක් නාය ගොස් මිනිස් ජීවීත විනාශ වීම වළකාලිය නොහැකියි. 19 වැනි සියවස  මුල් මුල්භාගයේ කළ මෙවන් ව්‍යාපෘතීන් නිසා ප්‍රංශයේ නැගෙනහිර ප්‍රදේශයේ නායයෑමෙන් මිනිසුන් 450 ට වැඩි ප්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වු අතර ගම්මාන ගණනාවක් විනාශ වී ගියා.  20 වැනි සියවසේ මුල් භාගයේ ඉතාලියේ වාජෝන් ගම්මානයට ආසන්නව සිදුකරමින් තිබුණු උමං හෑරීම සහ ජලාශ්‍රිත ඉදිකිරීම් නිසා නායයෑම්වලින් 2500 ට වැඩි පිරිසක් මිය ගියා.  පැනමා ඇළ කැනීමේ දී ඒ අවට කඳුපන්ති හැටහය වතාවක් නාය ගොස් තිබෙනවා.

ෆරාබ් සමාගම ඉරානයේ විනාශකාරී ව්‍යාපෘති සිදු කළ සමාගමක්. ජලය හා බලශක්තිය සම්බන්ධව සිය ව්‍යාපෘති දියත් කරන මෙම සමාගම   ලෝකයේ රක්ෂණ සමාගම්වල රක්ෂණය කර තිබෙනවා.  එමෙන්ම ෆරාබ්  සමාගමට අයිතිවාසිකම් කියන ඉරානයේ තෙහෙරාන් නුවර   ෆරාබ්  රක්ෂණ සමාගමක් තිබෙනවා. ලොව පුරා උමා ඔය වැනි ව්‍යාපෘති සියල්ල Insurenc Exper Farab රක්ෂණය කර තිබෙනවා. එම රක්ෂණ සමාගම වෙනත් රක්ෂණ සමාගම්වල නැවත රක්ෂණය කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතිය නිසා හානි සිදුවන සෑම මෙහොතක ව්‍යාපෘතියට සිදු වූ හානිය වෙනුවෙන්   වන්දි ලබා ගන්නවා . ඒ  නිසා ලංකාවට    පරිසරයත්, ජනයාට  තම  ජීවිතත් අහිමි වන වාරයක් වාරයක් පාසා තෙහෙරාන් නුවර සාහිද් සාමති අංක 41 පිහිටි ව්‍යාපාරික ස්ථානයට මුදල් ගලා එනවා.  එයින් කෙටසක් ලංකාවේ  විනාශය යට ගැසීමට කොමිස් ලෙස ගෙවනවා.

ලංකාවේ ව්‍යවස්ථාවට අනුවත් පරිසරය ආරක්ෂා කිරීමට රටක් ලෙස රජය බැඳී සිටිනවා . උමා ඔය ව්‍යාපෘතිය කියන්නේ මෙරට අසාර්ථකම ව්‍යාපෘතියක්.  නමුත් තව දුරටත් පරිසරය හා ජන ජීවිතය විනාශ කරමින් එය ඉදිරියට කරගෙන යාමට ආණ්ඩුව උපකාර කරමින් ඉන්නවා.  සියලු පරිසර නිතී මෙහිදී උල්ලංඝනය කර තිබෙනවා. මෙය පරාජය කරන්න සියලු දෙනාම එකා වගේ එකතු වෙන්න ඕනෑ. ‘‘

lankadeepa

ජනපතිගෙන් මාධ්‍යයට විවේචනයක්

 අද වනවිට මාධ්‍ය මගින් රටේ අර්බුදයක් ඇති බවට පෙන්නුම් කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  (5දා) පැවසීය.

රටේ කිසිදු අර්බුදයක් නොමැති බවත්, රට අර්බුදයට ලක්කිරීමට බලා සිටින අයට ඒ සඳහා ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘විරුසුමිතුරු’ නිවාස වැඩසටහන යටතේ නිවාස අහිමි රණවිරු පවුල් 192කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අද මාධ්‍ය ගත්විට අපේ ආණ්ඩුවට දිගට හරහට ගහනවා. මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ ගමන අවුල් කියලා. මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ රටේ මහ අවුලක් තිබෙනවා කියලා.

මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ රටේ ආණ්ඩුවක් නැහැ කියලා. මාධ්‍ය තුළ තමයි පෙන්නුම් කරන්නේ හෙට ආණ්ඩුව වැටෙවි කියලා. මාධ්‍යට ඒ නිදහස දුන්නේ අපි. ආණ්ඩුවක් විදිහට අපේ දර්ශනය හා ප්‍රතිපත්තිය තුල. අපි බලයට එන්න කලියෙන් මේ රටේ මාධ්‍යවේදීන් කීදෙනෙක් ඝාතනය වුණාද ? මේ රටේ මාධ්‍ය ආයතන කීයකට ගිනි තැබුවාද?

මේ රටේ මාධ්‍යවෙදීන් කීදෙනෙක් අතුරුදහන් වුණාද?මේ රටේ මාධ්‍යවේදීන් කීදෙනෙක් මේ රට අතහැරලා ගියාද? ඒ සියල්ල අපි අනිත් පැත්තට කරකවලා , වෙනස් කරලා මාධ්‍යවේදීයාගේ ජීවිත ආරක්ෂාව ලබාදුන් අපිට ඒ අය පෙන්නුම් කරනවා මහ අවුලක් මේ රටේ තියෙනවා කියලා. මේ රටේ කිසිම අවුලක් නැහැ. මේ රට අවුල්කරන්න හදන අයට අපි අවුල්කරන්න දෙන්නෙත් නෑ.” යනුවෙන් පවසා සිටියේය.

ජනතාව ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකටයි - ඇමැති රාජිත

මේ රටේ ලක්ෂ 62ක ජනතාවක් ආණ්ඩුවට ජනවරමක් ලබා දී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතර කර ගැනීමට යැයි ද, ඒ සඳහා විවිධ සංවිධානවලට බලපෑම් කළ නොහැකි යැයි ද කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තවමත් අවසන් ලියවිල්ලක් ලෙස සකස් කොට නැති බව ද, එවැන්නක් සකස් කළ පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කොට පසුව ජනම විචාරණයක් පවත්වන බව ද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

 ජනමත විචාරණයේදී නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිගැනීම හෝ ජනතාව තීන්දු කරනු ඇතැයි ද ජනතාවගේ තීන්දුව ආණ්ඩුව පිළිගන්නා බව ද ඔහු කීවේය.

ජනමත විචාරණයක දී ඕනෑම සංවිධානයකට පාර්ශ්වයකට ජනතාවට කරුණු තේරුම් කර දීමේ අවස්ථාව තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.

රන්ජන්ගෙන් රජයට චෝදනා

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමෙන් එම පක්ෂයේ සොරුන්ද, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීම තුළ එක්සත් ජාතික පක්ෂයේ සොරුන්ද ආරක්ෂා වී ඇතැයි සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප්‍රති‘ශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත් විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු පවසා සිටියේ, රට තුළ පීඩිත පන්තියේ අයට වෙනම නීතියක් සහ උසස් ප්‍රාන්තිකයන්ට වෙනම නීතියකුත් ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව සොරුන්ට පක්ෂ, පාට නොබලා දඬුවම් ලබාදිය යුතු බවත්, සොරුන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළගැසිය යුතු බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

රාමනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සොරුන් අල්ලන බවට රජය ජනවාරි 08 වැනිදා පොරොන්දුවක් ලබාදුන්නද එය නිසියාකාරව ඉටුව ඇත්දැයි යන්න ගැටලුවක් පවතින බවයි.

කැපුවත් කොළ, කැපුවත් නිල් ජනතාව සිටින ශ්‍රී ලංකාව කිසිදාක යහපත් අතට පත් නොවෙනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

තමන් මේ කතාව කළ පසුව නායකයන් විරසක වෙනු ඇති බවත් නමුත් එය තිත්ත ඇත්ත බවත් ඔහු සඳහන් කළේය.

උසස් පෙළට අයදුම්කරුවන් 315,227ක්

ලබන මස 08 වන දින සිට පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්කරුවන් 315,227ක් සුදුසුකම් ලබා සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අගෝස්තු මස 20 වන දින පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 356,728ක් සුදුසුකම් ලබා ඇත.

උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත පිරිසෙන් 237,943ක් පාසල් අයදුම්කරුවන් වන අතර, 77,284ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.

එම විභාගය අගෝස්තු මස 08 වන දින සිට සැප්තැම්බර් 02 දින දක්වා කාලය තුළදී විභාග මධ්‍යස්ථාන 2230කදී පැවැත්වීමට නියමිතය.