07 July 2017

එ.ජා.ආරක්ෂක මණ්ඩලයේදී කොරියානු අර්බුදය කරළියට

 අත්‍යවශ්‍යතාවක් මතු වුවහොත් උතුරු කොරියාව සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමේ හමුදා බලයක් යෙදවීමට පසුබට නොවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනී නිකී හේලී පවසා සිටියේ ප්යොන්ග්යැන්ග් පාලනයට එරෙහිව එරට ආරක්ෂක මණ්ඩලය වෙත නව යෝජනාවක් ගෙනඒමටද කටයුතු කරන බවයි.

උතුරු කොරියාව විසින් පසුගියදා සිය නවතම අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය අත්හදා බැලීම පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපතිනිය මෙසේ පවසා ඇත.

මෙම නවතම මිසයිල අත්හදා බැලීම වර්තමානයේ ඇතිවී තිබෙන යුද උණුසුම තවදුරටත් තීව්‍ර කළ අවස්ථාවක් බව පවසා සිටි තානාපතිනිය, තවදුරටත් උතුරු කොරියාව වෙත වෙළෙඳ සම්බාධක පනවන බවටද අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

මේ අතර, ඇමෙරිකානු තානාපතිනියගේ අදහස් දැක්වීමෙන් පැය කිහිපයකට පසුව ඇමෙරිකාව හා දකුණු කොරියාව සිය ඒකාබද්ධ යුද අභ්‍යාසවල කොටසක් ලෙස ජපාන මුහුද වෙත මිසයිල කිහිපයක් අත්හදා බැලීමද විශේෂත්වයක් ගෙන ඇත.

කෙසේ වෙතත්, ඇමෙරිකාව විසින් උතුරු කොරියාව දෙස සතුරු රාජ්‍යයක කෝණයෙන් බලන තාක් තමන් කිසිවෙකු සමග එකඟතාවකට පැමිණීමට සූදානම් නොමැති බව උතුරු කොරියාව පවසා තිබේ. මේ අතර උතුරු කොරියාව වෙත හමුදා බලය යෙදවීමක් පිළිබඳව චීනය හා රුසියාවද සිය විරෝධය පළ කර ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තහනමද නොතකමින් උතුරු කොරියාව පසුගිය කාලය පුරාවට තමන්ට අවශ්‍ය පරිදි මිසයිල අත්හදා බැලීම් සිදුකරනු ලැබීය. එමෙන්ම, ඔවුන්ගේ නවතම හ්වාසොං-14 අන්තර්මහද්වීපික මිසයිලය කිලෝමීටර් 2,802ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී කිලෝ මීටර් 933ක් ඈතින් පිහිටි ජපාන මුහුදේ ඉලක්කයක් වෙත පතිත වූ බව උතුරු කොරියාව පවසනු ලැබීය.

කොරියානු අර්ධද්වීපයේ මෙම උණුසුම ජපානය වෙතද තදින් දැනී ඇති අතර, මෙම මිසයිල අත්හදා බැලීම අනුමත කළ නොහැකි හා කෝපගන්වන ක්‍රියාවක් බව ජපාන ආරක්ෂක අමාත්‍ය ටොමෝමි ඉනාදා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, කොරියානු අර්ධද්විපයේ යුද උණුසුමට මුවාවී උතුරු කොරියාව වෙත හමුදා බලය යෙදවීම කිසිසේත්ම අනුමත නොකරන බව එක්සත් ජාතීන්ගේ චීන තානාපතිවරයා ආරක්ෂක මණ්ඩල හදිසි රැස්වීම අමතමින් සඳහන් කර තිබේ. ඒ අනුව, දකුණු කොරියාව සහ ඇමරිකාව යුද අභ්‍යාස සිදුකිරීම අත්හිටුවීම සහ උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීම යන කාරණා මත පදනම්ව සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස චීනය සහ රුසියාව මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියි.

අමරණීය ජෝති සමුගෙන අදට වසර 30 යි



හෙළ සිනමාවේ වැඩිම චිත්‍රපට පසුබිම් ගීත ගායනා කළ ගායන ශිල්පියා වන එච්.ආර් ජෝතිපාල කලාකරුවා දිවි ගමනින් සමුගෙන අදට වසර 30ක් සපිරෙනවා. අභාවප්‍රාප්ත වන විට 51 වැනි වියේ පසු වූ ඔහුව සිහි කරමින් එච්.ආර් ජෝතිපාල පදනම සහ කලා ලංකා පදනම අද දිනයේදී වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිඛෙනවා.

මේ වෙනුවෙන් එච්.ආර් ජෝතිපාල පදනම මගින් සංවිධානය කළ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානාධිපති පූජ්‍ය පණ්ඩිත දර්ශනපති වතුරවිල සිරිසුමන මාහිමිපාණන්ගේ ධර්ම දේශනයක් සහ මල්පහන් සපිරි බුද්ධ පූජා පිංකමක් ඊයේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්වුණා.

එම විහාරස්ථානයේදීම අද සංඝයා වහන්සේලාට දහවල දානය පිළිගැන්වීමෙන් අනතුරුව සවස 3.30ට බොරැල්ල සුසාන භූමියේ ඇති ජෝතිපාල සමරු ස්ථම්භය අසල පුෂ්පෝපහාරයක්ද සංවිධානය කර තිඛෙනවා.

මෙම කටයුතු සඳහා පැමිණ සහභාගී වන ලෙස ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලට හිතවත් රසික මිතුරු කැළට එච්.ආර්. ජෝතිපාල පදනමේ සභාපතිනිය වන ඔහුගේ දියණිය ක්‍රිෂ්ණි නර්මදා ජෝතිපාල මහත්මිය ගෞරවයෙන් ආරාධනා කරන බව මෙහි මාධ්‍ය සම්බන්ධීකාරක සිරිල් ආරියපාල මහතා සදහන් කළා.

මීට අමතරව එච්.ආර් ජෝතිපාල පදනමේ සාමාජික සාමාජිකාවන් ජෝතිගේ ගීත ගයන සංගීත ප්‍රසංගයක් බොරැල්ල මැගසින් පාරේ ප්‍රජා ශාලාව අසල ඇති භූමියේ අනිද්දා සවස 6ට පැවැත්වෙනවා.

එච්.ආර්. ජෝතිපාල පදනමේ උප සභාපති ප්‍රියන්ත විජයකුමාර මහතා සමග එහි සාමාජික වීරසිංහ පතිරාජ මහතා සංවිධානය කරනු ලබන මෙම සංගීත සන්ධ්‍යාවේ සංගීත අධ්‍යක්ෂණය සංගීත ශිල්පී තිළිණ තුෂාරගෙනි.

කලා ලංකා පදනමේ සභාපති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ උපදේශකත්වයෙන්, විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක, ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ‘සිරියමේ සාරා’ ගී ප්‍රසංගයද අද පස්වරු 6.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

1956 වසරේ තිරයට පැමිණි සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය කළ ‘සුරතලී’ චිත්‍රපටයට ‘සිරියාමේ සාරා’ ගීතය ගයමින් තම සිනමා ගායන දිවිය ඇරඹූ ජෝති, ‘කස්තුරි සුවඳ’, ‘තුෂාරා’, ‘ස්විප් ටිකට්’, ‘කවුද රජා’, ‘හොඳට හොඳයි’, ‘වාසනා’, ‘සංගීතා’ ඇතුළු චිත්‍රපට රැසක එඩී ජයමාන්න, බොනිෆස් ප්‍රනාන්දු, බැප්ටිස්ට් ප්‍රනාන්දු, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, රෝයි ද සිල්වා, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, ඔස්වල්ඩ් ජයසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර, ජයන්ත දාස් පෙරේරා ඇතුළු නළුවන් වෙනුවෙන් තම කටහඬ පසුබිම් ගායකයෙකු ලෙස ලබා දී තිබුණා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘සංදේශය’ චිත්‍රපටයට ‘පෘතුගීසිකාරයා’ ගීතය ගැයීමට ඔහුට අවස්ථාව ලද අතර, එහි පද රචනය කළේ අභාවප්‍රාප්ත අරියසෙන් අහුබුදු සූරීන්ය. සංගීත අධ්‍යක්ෂණ කළේ සංගීතවේදී සුනිල් ශාන්තයන්ය.

ගායනයට අමතරව ‘ඇතුල්වීම තහනම්’, ‘සුලලිත සෝභනී’, ‘සුජීවා’, ‘සුකිරි කෙල්ල’, ‘අභිරහස’, ‘සුමිතුරෝ’ වැනි චිත්‍රපට වලින් ඔහු සිනමා නළුවෙකු බවටද පත්වුණා.

එච්.ආර් ජෝතිපාලයන්ගේ ඇති සුවිශේෂී බව වන්නේ දිවිගමනින් සමුගෙන වරස 30ක් (දශක තුනක්) ඉකුත් වීමෙන් අනතුරුවත් අදටත් ජනතාව ආදරයෙන් වැලඳගත් ගායකයෙකු බවට පත්වීමට ලැබූ වාසනාවයි. මේ හේතුව නිසාම ඔහු අමරණීය ගායක ජෝති යන විරුධාවලියද ලබා තිඛෙනවා.


ඇමෙරිකාවෙන් ලෙඩ සනීප කරන ‘ජාන තාක්ෂණය’ ලංකාවට ගේන්න යයි

ජාන තාක්‍ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් දෙසතියක් තුළ සකස් කර ලබාදෙන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දෝස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක ජාන තාක්‍ෂණයෙන් මෙරට රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේ.

මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමටද නියමිත ඇති අතර මේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ පුහුණුව ලැබූ වෛද්‍යවරු 11ක් ශ්‍රී ලංකාවේ සිටින අතර ඔවුන්ගෙන් දෙදෙනකු විදේශගතවී ඇති බවයි වාර්තා වන්නේ.

සෙසු වෛද්‍යවරු මෙම සාකච්ඡාවට පැමිණ සිටි අතර මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහයෝගය ලබාදෙන බව එම වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු වී තිබෙනවා.

මෙම ප්‍රතිකාර ක්‍රමයේදී රෝගය ඇතිවීමට බලපාන සෛලවලට සහ වයිරසවලට ප්‍රතිකාර කරනු ලබනවා. මෙම වෛද්‍යවරුන් සඳහා ඇමෙරිකාවේ බෙලර්, රයිස් සහ හුස්ටන් යන විශ්වවිද්‍යාලවල පුහුණුවක් ලබාදීමටද නියමිතයි.

මෙම ප්‍රතිකාර ක්‍රමය එම විශ්වවිද්‍යාලවල දැනට භාවිත කරනු ලබන අතර පිළිකා ඇතුළු රෝග රැසකට ජාන තාක්‍ෂණයෙන් ප්‍රතිකාර කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

මැති ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීමට හා නිවාස අලුත්වැඩියවට මුදල් වෙන් කළ තවත් පරිපූරක ඇස්තමේන්තුවක් | VIDEO

මැති ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීමට හා නිවාස අලුත්වැඩියවට මුදල් වෙන් කළ තවත් පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙම ඇස්තමේන්තුව යටතේ අමාත්‍යංශ කිහිපයකට වාහන මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කෙරේ.විදේශ කටයුතු අමාත්‍යවරයාට පරිවාර ආරක්ෂක රථ සඳහා මෙමගින් රුපියල් ලක්ෂ 90ක මුදලක් වෙන් කර ඇති අතර මහවැලි සංවර්ධන අමාත්‍යවරයාට සහ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා හාරකෝටි තිස් ලක්ෂයක මුදලකුත් වෙන් කෙරේ.

මේ අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමට අතිරේක ප්‍රතිපාදන වශයෙන් එක්කෝටි හතලිස් අට ලක්ෂ අනූදහසකුත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමට අතිරේක ප්‍රතිපාදන වශයෙන් රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකුත් වෙන් කර තිබේ.



නව ව්‍යවස්ථාව ගැන ජනපතිගෙන් මහනාහිමිවරුන්ට ප්‍රතිඥාවක්



නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබඳව ගරුතර මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ  මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය සමග මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදීයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කිසිදු අවසන් ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බව අවධාරණය කළ ජනාධිපතිතුමා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් අද රට තුළ මතුව තිබුණ ද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේනම් එය රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් සිදුකරන්නක් බව ද සඳහන් කළා.

රටේ දේශපාලන, සමාජ, ආර්ථික හා ආගමික කරුණු රැසක් පිළිබඳව ද මෙම හමුවේදී මහා සංඝරත්නය සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර ඊට අදාළ යෝජනාවලියක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සාකච්ඡාවට සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහා නා හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රි ඥානරතන මහා නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියන් ප‍්‍රමුඛ අනු නා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කර සිටියහ.

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ද මීට සහභාගී වුණා.


කැනඩා රැකියා පෙන්වා මුදල් ගැරීමේ ජාවාරමක්


ශ‍්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර, ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් මඟින් රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචාකිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත් වී තිබේ.

විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම ජාවාරමේ ප‍්‍රධාන සැකකාරිනිය කොල්ලුපිටිය ලිබර්ටි සාප්පු සංකීරණයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කාන්තාව ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර, ඇය දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින්ට ශ‍්‍රී ලංකා රජයට කැනඩා රජයෙන් රැකියා ලැබී ඇති බව පවසමින් එක් අයෙකුගෙන් මූලික ගාස්තු ලෙස රුපියල් ලක්‍ෂ 4 බැගින් ලබාගෙන තිබේ. මෙසේ පුද්ගලයින් තිදෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇති අතර, ඔවුන් කාර්යාංශයට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

"ශ්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් මඟින් ලාංකිකයින්ට කැනඩාවේ රැකියා අවස්ථා ලැබී තිබෙන බව කියමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පසුගියදා හැකිවුණා. මට විශේෂයෙන් දැනුම් දෙන්න තියෙන්නේ කිසිම අවබෝධතා ගිවිසුමක් කැනඩා රජය සමඟින් නෑ. මේ වගේ බොරු දේවල්වලට අහුවෙන්න එපා. මේ වගේ දේවල් ගැන දැනුවත්නම්, විදෙස්ගත ශ‍්‍රමිකයින් හැටියට යන අය කරුණාකරලා බත්තරමුල්ලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිත් තොරතුරු දැනගන්න. මේ වගේ විශාල වශයෙන් මුදල් නාස්ති කරගෙන වංචාකරුවන්ට අහුවෙන එක අපිට බරපතල ගැටළුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ අයට අහුවෙන්න එපා කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ" යනුවෙන් විදේශ රැකියා අමාත්‍යවරිය මේ පිළිබඳ ව අඳහස් දක්වමින් සඳහන් කරයි.

සිම්බාබ්වේට එරෙහිව අසිත ප‍්‍රනාන්දු කැඳවයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ඉදිරි තරග දෙකට සහභාගී වීමේ අවස්ථාව වේගපන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප්ට අහිමි වී තිබෙනවා. ඒ, ඊයේ පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයේ දී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. ඊයේ තරගයේ දී නුවන් ප‍්‍රදීප්ට යැවීමට හැකි වූයේ පන්දුවාර 06ක් පමණයි.

ඒ අනුව නුවන් ප‍්‍රදීප් වෙනුවට යොවුන් වේගපන්දු යවන ක‍්‍රීඩක අසිත ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකා සංචිතයට කැඳ වූ බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ සඳහන් කළා. ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් නියෝජනය කළ අසිත ප‍්‍රනාන්දු දකුණත් වේග පන්දු යවන්නෙක්.

මේ අතර ඊයේ තරගයේ පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබා ගැනීම හේතුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ‍්‍රී ලංකා කණ්ඩායමට අයි සී සීය විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ අනුව මැතිව්ස්ට තරග මුදලින් සියයට 20ක දඩයක් සහ සෙසු ක‍්‍රීඩකයින්ට සියයට 10ක දඩයක් පැනවීමටයි තීරණය වී ඇත්තේ.

ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ සිව්වන එක්දින ක‍්‍රිකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වෙනවා.

වැලිකඩ රැදවියන් 27 ඝාතනය ගැන පරීක්ෂණ ඉල්ලූ පෙත්සම අද විභාගයේ

2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීස් අධ්‍යක්ෂවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම අද යළි අභියාචනාධිකරණය හමුවේ කැදවෙනවා.

එම ගැටුම ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වූ තිස්සමහාරාමය පදිංචි සුදේශ් නන්දිමාල් සිල්වා නැමැත්තෙකු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , රහස් පොලීසි අධ්‍යක්ෂක , පොලිස්පති ,බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ,පුනරුත්ථාපන ,නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු පිලිබඳ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් ,නීතිපතිවරයා නම් කරනු ලැබ තිඛෙනවා.

විධායක ක්‍රමය නැති ව්‍යවස්ථාවක් අවශ්‍යයි

විධායක ජනාධිපති ක්‍රමයක් නොමැති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් ඒ තුළින් මහජන නියෝජිතයින්ට හා පාර්ලිමේන්තුවට බලය ලැබිය යුතු බවත් ජාතික වෘත්ති සමිති සම්මේලනයේ සභාපති කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසයි.

ඊයේ(06) පොළොන්නරුව ගොවි වෘත්තීය සමිති ඒකාබද්ධ දිසා මහ සමුළුවට සහභාගී වෙමින් ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේය.

විධායක ජනාධිපති ක්‍රමය පවතින තැනක පාර්ලිමේන්තුවෙන් වැඩක් නොමැති බවත් එනිසා නිසැකයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවත් මෙහිදී අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා කියා සිටියේය.

කෙසේ හෝ එළඹෙන 2020 මහ මැතිවරණයක දී ගොවියන්ගේ ආණ්ඩුවක් සෑදීමට සුදානමින් සිටිය යුතු බවත් එදාට ගොවියා රජ කරවන පාලනයක් බිහි වන බවත් ලාල්කාන්ත මහතා පැවසීය.

නිදහසින් පසු බලයට පැමිණි සෑම ආණ්ඩුවක් හා දේශපාලන පක්ෂයක්ම ගොවි ජනතාව එක් තැනකදී අත්හැර දැමූ බවත් එසේ සිදු කරනු ලැබුවේ ගොවිතැනේ සාරය ධනපතියාට අවශ්‍ය ලෙස පාලනයට ගැනීමට අවස්ථාව සලසා දීමට බවත් ලාල්කාන්ත මහතා තව දුරටත් කියා සිටියේය.

රජයේ සේවකයින්ගේ දීමනා මූලික වැටුපට එක් කරන්න

රජයේ සේවකයින්ට දීමනා වශයෙන් සිදු කරන ගෙවීම් මූලික වැටුපට එක් කිරීම සහ විශ්‍රාම වැටුප ලබාදීම තහවුරු කිරීම සඳහා රජයට බලකර සිටින බව ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

ප්‍රගතිශීලි රාජ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ 2015 වසරේදී ලබාදුන් රුපියල් 10,000 දීමනාව මූලික වැටුපට එකතු කිරීමේ අදියර දෙකක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ අතර ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ වරාය විකිණීමේ සූදානම තවදුරටත් පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා ප්‍රකාශ කළේය.