10 July 2017

ලංකාවේ වර්ග ප්‍රශ්නය සහ මුස්ලිම්වරු

 ලංකාව නිදහස ලබාගත්තේ ජාතික රාජ්‍ය සඳහා අවශ්‍ය නූතන ජාතිය ගොඩනගා ගැනීමකින් තොරවය. ජාතිය ගොඩනගා නොගන්නා තත්ත්වයක් තුළ ඇතිවිය හැකි ගැටුම් ගැන හෝ ගැටුම් ඇතිවන අවස්ථාවලදී ඒවා දුරදිග යන්නට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට අවශ්‍ය කරන අධිෂ්ඨානය හෝ ඒ සඳහා තිබිය යුතු මැදිහත් බව අපේ ජාතික නායකයන්ට නොතිබුණි. සමහරවිට වර්ග අතර ගැටුම් ඇති කිරීමට මුල් වූයේද ජාතික නායකයන්මය. එය ඔවුන් අතින් සිදු නොවී වෙනත් අය අතින් සිදු කෙරුණු අවස්ථාවලදී පවා වර්ගවාදී ආකල්ප නිසා හෝ එම ගැටුම්වලින් ලබාගත හැකි පටු දේශපාලන වාසි සලකා ඒවා මර්දනය කරන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම නිසා පාලනය කළ හැකි සුළු ගැටුම් පවා දුරදිග ගොස් මහා විනාශයන් ඇති කිරීමට හේතුවිය. වාර්ගික මුහුණුවරකින් ඇතිවූ මෙම ගැටුම් තුළ දක්නට තිබුණු තවත් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ එක සුළු වර්ගයක් ඉලක්ක කොටගෙන පහරදීම් ඇතිවූ විට අනෙක් සුළු වර්ග පහරදීමට ලක්වන සුළු වර්ගය කෙරෙහි අනුකම්පාසහගතව ක්‍රියාකරනවා වෙනුවට පහර දෙන්නා ලෙස ක්‍රියාකරන වර්ගයට ඍජු ලෙස හෝ අනියම් ලෙස ආධාර කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. එවැනි ගැටුම්වලට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ සිංහල හා දෙමළ සමාජයේ පීඩිත කුල එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් එම ගැටුම් වර්ධනය කරන සැඟවුණු බලවේගයක් ලෙස ක්‍රියා කිරීමය.

සුළු ජන වර්ගවල හැසිරීම

1948 සෝල්බරි ව්‍යවස්ථාව සම්මත කරගත් පසුව එම ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පෙර එම ව්‍යවස්ථාවේ පිළිගත් ප්‍රතිපත්තිවලට පටහැනිව යමින් ඉන්දීය වතු කම්කරුවන්ගේ ප්‍රජා අයිතිය අහිමි කරන ලදි. එසේ කිරීමට අගමැති ඩී.එස්. සේනානායකට අවශ්‍ය වූයේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඉන්දියානු වතු කම්කරුවන්ගේ ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ප්‍රමාණවත් තරමේ ලොකු ජයග්‍රහණයක් හිමිකර ගෙන නොසිටි ඩී.එස්. සේනානායකට ආණ්ඩුවක් පිහිටුවීමට ආධාර නොකොට (එම මැතිවරණයෙන් එජාපයට හිමිකර ගැනීමට හැකිවී තිබුණේ ආසන 95කින් ආසන 42ක් පමණය.) වාමාංශික පක්ෂවලට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කිරීම නිසාය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපක්ෂය බවට පත්ව සිටියේ වාමාංශික ව්‍යාපාරයයි. දෙමළ වතු කම්කරුවන් ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නියෝජිතයන් තරග නොකරන ආසනවලදී ඡන්දය දී තිබුණේ වාමාංශික පක්ෂවල අපේක්ෂකයන්ටය. වාමාංශික පක්ෂවල වර්ධනය වන ශක්තිය කෙරෙහි ඉන්දියානු වතු කම්කරුවන්ද වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. ඒ නිසා ඒ මගින් වාමාංශික ව්‍යාපාරය දුර්වල කිරීමටද ඩී.එස්. සේනානායක අපේක්ෂා කළේය.

ඉන්දියානු වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහිමි කිරීම පිළිබඳ ප්‍රශ්නයේදී එකල ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය වී තිබූ ජී.ජී. පොන්නම්බලම්ගේ දෙමළ කොංග්‍රස් පක්ෂයට ඒ ගැන පැහැදිලි ස්ථාවරයක් නොවීය. ඊට විරුද්ධ වූයේ එම පක්ෂයේ එස්.ජී. චෙල්වනායගම් පමණය. අන් නියෝජිතයෝ සියලුදෙනා එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට එම වැඩසටහනට සහාය දුන්නෝය. පාර්ලිමේන්තුවේ මුස්ලිම් නියෝජිතයන් සේ ම බර්ගර් නියෝජිතයා ද ඊට සහාය දුන්නේය.

ඉන්පසු සිංහල රාජ්‍ය භාෂා ප්‍රශ්නයේදී පාර්ලිමේන්තුවේ මුස්ලිම් නියෝජිතයන් දෙදෙනෙකු (සී.ඒ.එස්. මරික්කාර් හා රසික් ෆරීඞ්) එම පනතට පක්ෂ වන විට තවත් මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයන් තිදෙනෙකු (ඒ.එච්. මාකන් මාකර්, එම්.ඊ.එච් මොහොමඞ් අලි හා එම්.එම්. මුස්තාපා) පනතට විරුද්ධ වුවද, බදුදීන් මොහොමඞ් මහතා සිංහල රාජ්‍ය භාෂා පනතට මුස්ලිම් ජනයා පක්ෂපාත බවට ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම නිසා මහජනයාට පෙනුණේ එම ප්‍රශ්නයේදී රටේ මුස්ලිම් ජනතාවද සිටින්නේ සිංහලයන් සමඟ බවය.

දෙමළ එක්සත් පෙරමුණ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින අවස්ථාව දක්වාම වතු කම්කරුවන්ගේ නායකයා හා ඔවුන්ගේ එකම පාර්ලිමේන්තු නියෝජිතයා වූ එස්. තොණ්ඩමන් මහතා පෙනී සිටියේ දෙමළ එක්සත් පෙරමුණ වෙනුවෙන් එම පෙරමුණ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින තැනකට ගිය පසු තොණ්ඩමන් මහතා එම ව්‍යාපාරයෙන් ඉවත් වූවා පමණක් නොව, ඉන්පසු වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ඇතිවූ පසු වතු කම්කරුවන්ට නැවත පුරවැසි අයිතිවාසිකම් ලබාගැනීමේ අරමුණ දිනාගැනීම සඳහා උතුරේ පවතින කැරලිකාරීත්වය තුරුම්පුවක් වශයෙන් පාවිච්චි කළේය. අවසානයේ මුස්ලිම් ජනයාටද තමන්ගේ ආරක්ෂාව සහතික කරගැනීම සඳහා තමන් වෙනම දෙමළ රාජ්‍යයකට එකඟ නොවන බව ප්‍රකාශ කරන්නට සිදුවූ අතර ඒ නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ඔවුන් එල්ටීටීඊයෙන් පහර කන ජනවර්ගයක් බවට පත්විය. සිංහල දකුණෙත් දෙමළ උතුරෙත් ඇතිවූ සන්නද්ධ කැරලිවලදී පීඩිත කුලවල තරුණ තරුණයින් කැරලි ප්‍රවර්ධනය කරන බලවේගයක් ලෙස ක්‍රියා කළේය.

සුළු ජන වර්ග පෙලීම

ලංකාවේ බර්ගර් ජනයා තමන්ට අනාගත ශ්‍රී ලංකාවේ කිසිදු පිළිගැනීමක් නොලැබෙනු ඇතැයි සලකා පහරදීමකට ලක්වීමට පෙරම කල් තියා ශ්‍රී ලංකාව අතැර ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වූ ජනවර්ගයක් ලෙස සැලකිය හැකිය. ඔවුහු නිදහස ලැබීමට පෙර ලංකාවේ ජනවර්ග අතර සිටි දියුණුම චින්තනයක් හිමිකරගෙන සිටි ජනවර්ගය ලෙසද සැලකිය හැකිය. ලිබරල් ආභාසය හිමිකරගෙන සිටි එකම ජනවර්ගයද බර්ගර්වරු වූහ. සියලුම දේශීය ජනවර්ග ආශ්‍රයෙන් ලාංකේය ජාතිය තනාගත යුතුය කියන අදහස පළමුවෙන්ම පළ කළ පුද්ගලයා වූයේද ලංකාවේ බර්ගර්වරුන් අතර සිටි ලිබරල් චින්තකයකු ලෙස සැලකිය හැකි චාල්ස් ලොරෙන්ස් (1829-71) ය. ඔහු එකවිට සංගීතඥයෙකු, නළුවකු, පත්‍ර කලාවේදියෙකු හා නීතිවේදියෙක් විය.
එකල රාජ්‍ය සේවයේ කොඳුනාරටිය ලෙස සැලකුණේ බර්ගර්වරුය. 1911 වනවිට ලංකාවේ බර්ගර් ජන සංඛ්‍යාව 27000ක් වූ අතර දිවයිනේ සාක්ෂරතා අනුපාතිකය පිරිමින් සඳහා සියයට 40ක්ද, ගැහැනුන් සඳහා සියයට 11ක්ද වනවිට බර්ගර්වරුන්ගේ සාක්ෂරතා අනුපාතිකය පිරිමින් සඳහා සියයට 70ක්ද ගැහැනුන් සඳහා සියයට 67ක්ද විය. මෙම ජනවර්ගය හිමිකරගෙන සිටි උසස් සමාජ තත්ත්වය නිසාත්, ඔවුන්ගේ හමේ පැහැය සුදුවීම හා ඔවුන් කතා කළ භාෂාව ඉංග්‍රීසි වීම නිසාත් වෙනත් ස්වදේශීය ජනවර්ග අතර බර්ගර්වරුන් කෙරෙහි සැඟවුණු ඊර්ෂ්‍යාවක් සේ ම විරෝධයක් ද විය. ඔවුන් හැඳින්වුණේ තුප්පහියන් ලෙස හෝ කැරපොතු ලන්සින් වශයෙනි. නිදහසින් පසු තමන්ට ලංකාවේ නිසි පිළිගැනීමක් නොලැබෙන බව කල්තියා තේරුම් ගත් බර්ගර්වරු නිදහසට ආසන්න කාලයේ සිටම කාණ්ඩ වශයෙන් ලංකාව අතහැර ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වන්නන් බවට පත්වූහ. ඔවුන් ශ්‍රී ලාංකික ජාතියට අන්තර්ග්‍රහණය කරගැනීමට සමත් වී නම් දෘෂ්ටිමය අර්ථයෙන් ලංකාව මීට වඩා දියුණු තත්ත්වයක සිටින්නට ඉඩ තිබුණා සේ ම ලංකාවේ ඉංග්‍රීසි භාෂා දැනුම මීට වඩා දියුණු තත්ත්වයකට තිබෙන්නටද ඉඩ තිබුණි.

ඉන්පසු අයිතිවාසිකම් අහිමි කිරීමට ලක්වූ ඊළඟ ජනවර්ගය වූයේ වතුකරයේ වැඩ කළ ඉන්දියානු වතු කම්කරුවන්ය. ලංකාවේ දෙමළ ජනයා පවා ඔවුන් තමන්ගේම පිරිසක් ලෙස නොසැලකීය. ඉන්පසු අයිතිවාසිකම් අහිමි කිරීම්වලට හා පහරදීම්වලට ලක්වූ ජනවර්ගය වූයේ දෙමළ ජනයාය. 1956දී ඔවුන්ගේ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීම ඔවුන් අන්දමන්ද තත්ත්වයකට පත්කිරීමට හේතුවූ අතර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී දෙමළ සහභාගිත්වය අඩු කිරීමට හේතුවන ලෙස 70 දශකයේ ක්‍රියාවට නගන ලද ප්‍රමිති කරන නීිති දෙමළ තරුණ පරපුර කෝපයෙන් ක්‍රියාකරන තැනකට තල්ලු කිරීමට හේතුවිය. 83 කළු ජූලිය ඇති කරන ලද විනාශය අතිවිශාලය. ඒ නිසා දෙමළ තරුණ පරපුර යක්ෂාවේශ වී වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා ක්‍රෑර ලෙස සටන් කරන තැනකට තල්ලු කිරීමට හේතුවිය. ඒ නිසා ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් විසින් මුදාහරින ලද ක්‍රෑරත්වය පොදුවේ රට කෙරෙහි පමණක් නොව දෙමළ ජනතාව කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑවේය.

කොටි සංවිධානය යුද්ධයෙන් පරාජය කිරීමට සමත්වීම සිංහල අන්තවාදීන් දකින්නේ දමිළයන්ට උගන්වන ලද හොඳ පාඩමක් ලෙසය. එවැනි පාඩමක් මුස්ලිම්වරුන්ටද ඉගැන්විය යුතු යැයි ඔවුන් දැන් කල්පනා කරන බවක් පෙනෙන්නට තිබේ. 2014 වසරේදී අලුත්ගම හා බේරුවලදී මුස්ලිම් කඩසාප්පු නිවාස ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු බිහිසුණු ප්‍රහාරය එම අරමුණ වෙනුවෙන් දියත් කෙරුණු දුෂ්ට වැඩසටහනක් ලෙස සැලකිය හැකි අතර එය රට පුරා පැතිරුණු ව්‍යාපාරයක් නොවීම හේතු කොටගෙන ඉන් සිදුවූ හානියෙන් සෑහීමට පත් නොවී වඩා විශාල විනාශයක් ඇති කිරීමේ අරමුණින් එම අන්තවාදී බලවේගයන් මුස්ලිම් ජනයා කෙරෙහි සිංහල ජනතාව තුළ වෛරසහගත ආකල්පයක් ඇති කිරීමට හේතුවන මතවාදී ව්‍යාපාරයක් සංවිධානාත්මක ආකාරයකින් මේ මොහොතේ පවත්වාගෙන යමින් සිටින බවද පෙනෙන්නට තිබේ. මෙය එකකට පසු එකක් වශයෙන් දිගින් දිගට සිදුවන ක්‍රියාදාමයක් ලෙස සැලකිය හැකි ඒ මගින් සුළු වාර්ගිකයන්ට පමණක් නොව මහා වර්ගය ලෙස සැලකිය හැකි සිංහලයන්ට හා පොදුවේ රටට සිදුවී තිබෙන විනාශය අතිවිශාල වුවත් ඉතාමත් සුළු පිරිසක් කරන අන්තවාදී ක්‍රියා කෙරෙහි ප්‍රබල මහජන විරෝධයක් ඇති කිරීමට තවමත් හේතු වී නැත. මේ තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ මහා විනාශයක් ඇතිවීමෙන් පසුත් ශ්‍රී ලංකාව අද දක්වාම ජාතික රාජ්‍ය සඳහා අවශ්‍ය ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම හා එවැනි අවුල් ඇතිවන අවස්ථාවලදී ඍජු ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමට අවශ්‍ය ධෛර්යය හා ශික්ෂණය ලංකාවේ රාජ්‍ය නායකයන්ට නොතිබීමය.

අනගාරික ධර්මපාල

වර්ග භේදවාදය පූර්ව නූතන යුගයේ නොතිබුණු නූතන යුගයේදී ඇතිවූ දෙයක් ලෙස සැලකිය හැකිය. අනගාරික ධර්මපාලතුමා එම භේදකාරී ආකල්ප සිංහලයන්ට උරුම කළ ප්‍රධාන චින්තකයා ලෙස සැලකිය හැකිය. අනගාරික ධර්මපාල ඒ යුගයේ ලංකාවේ ජීවත් වූ නිර්භීතම හා ප්‍රබලතම බි්‍රතාන්‍ය විරෝධියා ලෙස සැලකිය හැකි වුවත් ඔහුගේ විරෝධය ලංකාවේ ආධිපත්‍යය හිමිකරගෙන සිටි බි්‍රතාන්‍යයන්ට සීමා කෙරුණු දෙයක් නොවීය. ඔහු ලංකාවේ ජීවත් වූ සුළු වර්ගවලට එරෙහිවද සිංහලයන් තුළ වෛරසහගත හැඟීමක් ඇති කරන වර්ග භේදවාදී මතවාදයක් දේශනා කළේය. ඔහු සිංහල වර්ගයා සලකන ලද්දේ ලෝකයේ උතුම්ම හා ලෝකයේ අන් සියලුදෙනාට වඩා දියුණු පැරණි ශිෂ්ටාචාරයකට හිමිකම් කියන විශේෂිත ජනවර්ගයක් ලෙසය. ඔහු සිංහල නොවන ලංකාවේ අන් සියලු ජනවර්ග සලකන ලද්දේ ලංකාවට කිසිම හිමිකමක් නැති පරයන් ලෙසය. අනගාරික ධර්මපාලතුමා මුස්ලිම්වරුන් ගැන කියන ලද ප්‍රසිද්ධ කියමනක් මෙසේය. 

“බි්‍රතාන්‍යයන්ට ජර්මානුවා යම් සේද, සිංහලයාට මහමදිකයාද එසේමය. ඔහු ආගමෙන් ජාතියෙන් සේ ම භාෂාවෙන්ද විජාතිකයෙකි.” ඔහුගේ තවත් එවැනි කියමනක් මෙසේය. “විදේශ සුද්දා මෙරටට පා තැබූදා සිට සිංහලයන්ගේ කර්මාන්තද ගති පැවතුම් හා සිරිත් විරිත් ද අභාවයට යාමට පටන් ගත්තේය. දැන් සිංහලයාට මරක්කලයන්ගේ හා දෙමළුන්ගේ පාමුල වැටීමට සිදුවී තිබේ.”ධර්මපාලතුමා බි්‍රතාන්‍ය පාලනයද නිර්දය ලෙස විවේචනයට ලක් කළේය. බටහිර සිරිත් විරිත් අනුගමනය කිරීම ගැනත් ඉංග්‍රීසීන් කෙරෙහි දක්වන බියසුලුකම ගැනත් ඔහු සිංහලයන් විවේචනයට ලක් කළේය. අසික්කිත සුද්දන් දුටු විට ජෝන් කොතලාවල මෙන් ඔවුන්ට නොබියව පහර දෙන ලෙස ඉල්ලා සිටි ඔහු හැම ගෙයක් ඉදිරිපිටම සුද්දකුගේ පඹයකු තනා ඒ පඹයාට කලිසන් අන්දවා ඌ සුද්දකු ලෙස සලකා දරුවන්ට පෙනෙන ලෙස ඒ පඹයාට තලන ලෙස ඉල්ලා සිටි අතර එවිට ඒ දරුවන් ලොකු මහත් වූ පසු ඔවුන් සුද්දන්ට පහර දෙනු ඇති බවත් කීවේය.

ධර්මපාලතුමා හරක් මස් කන සිංලයන් හැඳින්වූයේ වසලයන් ලෙසය. සිංහල බෞද්ධයන් උම්බලකඩ කනවාට පවා ඔහු විරුද්ධ විය. විදේශ නම් භාවිතයට ඔහු තරයේ විරුද්ධ විය. “රට හෝ ජාතිය නොහඳුනන වර්තමාන සුදු සිංහලයකු (කළු සුද්දකු) දේශප්‍රේමියකුගේ රුධිරය අවමානයෙන් කැකෑරෙයි. විජයගෙන් පැවත එන්නන් පෙරේරා, සිල්වා, අල්මේදා, ඩයස්, ලිවේරා, දොන්, දෝන, රුබේරු, බොතේජු, රුද්‍රිගෝ වැනි සමහර නම්වලින් හැඳින්වීම ගැන සිතා බලන්න. මෙවැනි නමක් ඇත්තෙකු සිංහලයෙකු යැයි විශ්වාස කිරීමට විදේශිකයෙකුට නොහැකිය. “ඔහු වෙළෙඳාම අගේ කළේය. හම්බයන් (මුස්ලිම්වරුන්) අතට ගොස් තිබෙන වෙළෙඳාම සිංහලයන් අතට ගත යුතු බවත්, ධනය ඉපැයීමට වෙහෙසෙන තැනැත්තාට ලක්ෂ්මී දේවිය උපකාර කරන” බවත් කීවේය.

ධර්මපාලතුමාගේ වේගවත් හා නිර්භීත කථා සිංහල බෞද්ධයන් කුල්මත් කිරීමට හේතුවිය. ඔහුගේ වේගවත් කතා අසා සමහර සිංහල බෞද්ධයන් ඔහු නරක ලෙස හඳුන්වන ලද පුරුදු අත්හළේය. ඇතැමුන් තමන්ට තිබෙන විදේශ නම් සිංහල නම්වලට වෙනස් කර ගත්තේය. එහෙත් උත්ප්‍රාසජනක දේ වනුයේ ධර්මපාලතුමාගේ පවුලේ ව්‍යාපාරයක් වශයෙන් පැවති ‘දොන් කරෝලිස් සමාගමේ’ ඇති ‘දොන්’ යන නම වෙනස් නොකිරීමය.

කුමාරි ජයවර්ධන නිවැරදි ලෙස කියා ඇති පරිදි “බයෙන් හැකිළෙමින් නිවට ලෙස ජීවත් වූ යටහත් පහත් ලාංකිකයන් අතර හිස කෙළින් තබාගෙන ගමන් ගත් එකම වංශවතා” එතුමා විය. එහෙත් එතුමා සිංහලයන්ට උරුම කරදෙන ලද චින්තනය භේදකාරී සේ ම ඉතාමත් පසුගාමීද විය. ඔහු ජීවත් වූයේ ලංකාවේ අකුරු උගත්කම පැතිරී සමාජය පුවත්පත් හා පොත්පත් කියවන්නට යොමුවී තිබූ යුගයකදීය. ඒ යුගයේ ජීවත් වූ සියලු පත්තරකාරයන් සේ ම පොත්පත් ලියූ සිංහල ලේඛකයන්ද අනගාරික ධර්මපාලතුමාගේ ගෝලබාලයන් වී යැයි කිව හැකිය. ඒ යුගයේ ජීවත් වූ සියලු සිංහල දේශපාලනඥයන්ද ධර්මපාලතුමාගේ බැතිමත් ගෝලබාලයෝ වූහ. 1915දී ඇතිවූ සිංහල මුස්ලිම් කෝලාහලය අනගාරික ධර්මපාලතුමා විසින් හා දේශපාලන තලයේ රජ කළ ඔහුගේ ගෝලබාලයන් විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව වපුරන ලද වෛරසහගත ආකල්පයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

වර්තමාන සිංහල වර්ගවාදයේ දක්නට ලැබෙන සියලුම ප්‍රධාන ලක්ෂණ ධර්මපාලතුමාගේ චින්තනය තුළ දැකිය හැකි අතර ඒ අර්ථයෙන් සිංහල වර්ගවාදය ධර්මපාලතුමා විසින් සිංහලයන්ට උරුම කර දෙන ලද දෙයක් ලෙස සැලකිය හැකිය.

ඒ අර්ථයෙන් සිංහලයන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප කෙරෙහි වර්තමානය දක්වාම වැඩියෙන්ම බලපෑ චින්තකයා ලෙස සැලකිය හැක්කේ ධර්මපාලතුමාය. එසේම සිංහලයන්ගේ වර්ග භේදවාදී සිතුම් පැතුම් හා ආකල්ප කෙරෙහි බලපෑ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේද ධර්මපාලතුමාය. එතුමාගේ දෙමළ විරෝධී හා මුස්ලිම් විරෝධී අදහස් අද දක්වාම සිංහල සමාජය කෙරෙහි අඩු වැඩි වශයෙන් බලපෑ ඇතැයිද කිව හැකිය.
මීට සති දෙකකට පමණ ඉහතදී පුනරුද ව්‍යාපාරයට සම්බන්ධ හා ක්‍රියාකාරී තත්ත්වයක සිටින විශ්‍රාම ගිය ගරුකටයුතු නමක් ඇති විදුහල්පතිවරයෙකු දුරකතනයෙන් මා අමතා සිංහල ජනයාගේ ගෞරවයට හේතුවී තිබෙන ප්‍රධාන පෙළේ වීරයෙකු ලෙස සැලකිය හැකි ධර්මපාලතුමා විවේචනය කරන පිළිවෙතක් පුනරුද ව්‍යාපාරයේ යහපතට හේතුවේදැයි මගෙන් ප්‍රශ්න කළේය. සිංහලයන්ගේ භේදකාරී චින්තනය කෙරෙහි වැඩියෙන්ම බලපා තිබෙන චින්තකයා ධර්මපාලතුමා නම් නිසි ගෞරවයකින් යුතුව එතුමාගේ අදහස් විවේචනයට ලක් කිරීමකින් තොරව සිංහලයන්ට පුනරුදය උදා කළ හැක්කේ කෙසේදැයි මම පෙරළා ප්‍රශ්න කළෙමි. එම විශ්‍රාමලත් විදුහල්පතිතුමා මාගේ මතය පිළිගත්තේ දැයි මා දන්නේ නැත. එහෙත් එතුමා මාගේ මතයට විරෝධය පෑමක් සිදුවූයේ නැත.

සිංහල වර්ගයා අතර පමණක් නොව, දෙමළ හා මුස්ලිම් වර්ග අතරද වර්ග භේදවාදී අදහස් දරන්නෝ සිටිති. නිදහසේ සිට අද දක්වා ගොඩ නගා ගැනීමට නොහැකිවී තිබෙන ජාතික රාජ්‍යයේ යහපැවැත්මට අවශ්‍ය කරන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගා ගැනීමට හැකිවනු ඇත්තේ ඒ සියලුදෙනා අතර තිබෙන වර්ගවාදි අදහස්වලට තිබෙන පිළිගැනීම නැති කොට ඒ සියලුදෙනා තර්කානුකූලව සාධාරණව හා බහුත්වවාදීව දේවල් දකින තැනකට ගැනීමෙනි.

ලංකාවේ මුස්ලිම් ජනයා

මේ මොහොතේ සිංහල අන්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව තිබෙන්නේ මුස්ලිම් ජනයාය. මුස්ලිම් ජනයා කෙරෙහි වෛරයක් ඇති කිරීමේ අරමුණින් සමාජ ජාලා මගින් පතුරුවා හැර තිබෙන කිසිදු සත්‍ය පදනමක් නැති කථා ගැන මෙහිදී කරුණු විමසීමක් කරන්නට අපේක්ෂා කරන්නේ නැත. සිංහල කාන්තාවන් අතර පියයුරු පිළිකා ඇති කරන්නට හේතුවන පිළිකා කාරක මුස්ලිම් කඩසාප්පුවල විකුණන බ්‍රෙසියර්වලට දමා ඇතැයි කියන කතා සේ ම සිංහල ගැහැනුන් හා පිරිමි වඳභාවයට පත් කිරීමට හේතුවන රසායන ද්‍රව්‍ය මුස්ලිම් කඩවල විකුණන යට ඇඳුම්වලට දමා ඇතැයි කියන කතා මුස්ලිම් රෙදි සාප්පුවලින් භාණ්ඩ මිලදී ගැනීම වැළකීමේ අරමුණින් කියන කිසිදු සත්‍ය පදනමක් නැති සිහිමොළේ ඇති කිසිවකු විශ්වාස නොකරන අභූත කතා ලෙස සැලකිය හැකිය.

එහෙත් ලංකාවේ මුස්ලිම්වරුන් කව්ද, ලංකාවේ ඔවුන්ගේ ඉතිහාසය කුමක්ද යන්න සලකා බැලීම වැදගත්ය.
අනුරාධපුර යුගයේ අවසාන කාලය වනවිටත් මහාතිත්ථය ආදී මුහුදු තොටවල් අසල මුස්ලිම්වරුන් පදිංචි වී සිටි බව සෙනරත් පරණ විතානගේ මතය වේ. (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය ෂ කාණ්ඩය පිටුව 370) ලංකාව ඉන්දීය සාගරික වෙළෙඳ මාර්ගයක වැදගත් සංධිස්ථානයක පිහිටි හොඳ වරායන් කිහිපයකින් යුතු රටක් වීම හේතු කොටගෙන ලංකාව ඈත අතීතයේ සිටම විදේශීය වෙළෙඳාම පැවති ආනයන අපනයන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස පැවතුණි. මුල්ම වෙළෙඳාම පැවති බව පෙනෙන්නේ ආසන්නයේම පිහිටි ඉන්දියාව සමඟය. ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේදි අනුරාධපුරයේ රාජ්‍ය බලය අල්ලා ගත් සේන හා ගුත්තික හඳුනාගෙන ඇත්තේ ඉන්දියාවේ අශ්ව වෙළෙන්දෙකුගේ පුතුන් දෙදෙනකු වශයෙනි. මුලදී ලංකාවේ භාණ්ඩ (ඇතුන්, ඇත්දත්, මුතු, මැණික්) ග්‍රීක හා රෝම වෙළෙන්දන් මිලදී ගත්තේ ඉන්දියානු වෙළෙන්දන්ගෙනි. හිපලූස් මෝසම් හුළං හමන කාලය එහි විශේෂ ස්වභාවය සොයා ගන්නා ලද්දේ ක්‍රි.ව. 47දීය. එතැන් සිට මුහුද මගින් කෙරෙන වෙළෙඳාමේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවිය. ක්‍රි.ව. 400දී පමණ රෝම අධිරාජ්‍යය දෙකඩවීමෙන් පසු පෙරදිග ලෝකයේ රෝමයට තිබූ වාණිජ සම්බන්ධතා බිඳ වැටුණු අතර ඒ සමඟ බටහිර වෙළෙඳපොළට ආසියනු භාණ්ඩ ගෙන යන අතරමැදියන් බවට පත්වූයේ පර්සියානු වෙළෙඳුන්ය. අරාබියේ ඉස්ලාම් ආගම බිහිවීමෙන් පසු පර්සියාවද ඉස්ලාම් ආගම වැළඳගෙන අරාබි භාෂාව කතා කරන රටක් බවට පත්විය. ඉන්පසු එකම භාෂාවක් කතා කිරීම හා එකම ආගමක් ඇදහීම නිසා අරාබි, පර්සියානු හා ඇබිසීනියානු වෙළෙඳුන් පොදුවේ හඳුන්වන ලද්දේ අරාබි වෙළෙඳුන් වශයෙනි. මාන්තොට වරාය අනුරාධපුර රාජධානියේ ප්‍රධාන වරාය වූ අතර එම වරාය මලබාර් වෙරළ ඔස්සේ අරාබියාව පර්සියාව හරහා ඊජිප්තුව තෙක්ද, කොරමණ්ඩල් වෙරළේ සිට බෙංගාලබොක්ක, මලක්කාව, සුමාත්‍රා, ජාවා දූපත්, මොළොක්කාව හරහා චීනය දක්වාද විහිදෙන මුහුදු මාර්ග දෙකක සංධිස්ථානය විය. මාන්තොට හා ඒ අවට කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් ඒ කාලයේ එහි මුස්ලිම් ජනාවාස තිබී ඇති බව සනාථ වේ. මුස්ලිම් සොහොන් මත ඉදිකරන ලද අරාබි ශිලා ලේඛන තුනක් මේ ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. විද්‍යාත්මක සාක්ෂි අනුව මෙම ශිලා ලේඛන 9 වන හා 10 වන ශතවර්ෂවලට අයත් බවද සොයාගෙන තිබෙන අතර ඉන් පෙනෙන්නේ ඒවනවිටත් මාන්තොට මුස්ලිම් ජනාවාස තිබූ බවය.

ශ්‍රීපාද කන්දේ ඇති පා සලකුණ ආදම්ගේ පා සලකුණ ලෙස සලකා මුස්ලිම්වරුන් ශ්‍රී පාද කන්ද වන්දනා මාන කරන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ 9 වැනි ශතවර්ෂයේදීය. මුස්ලිම්වරුන් තමන්ගේ ආදිතමයා ලෙස සලකන්නේ ආදම්ය. ලංකාවේ මුස්ලිම්වරුන් පමණක් නොව ලෝක මුස්ලිම්වරුන්ද ආදම් පාරාදීසයෙන් එලවා දැමූ පසු ඔහු පෘථිවියේ පළමුවෙන්ම පය ගැසූ ස්ථානය වශයෙන් සලකන්නේ ශ්‍රීපාද කන්දය. මාකෝ පෝලෝ කියා තිබෙන ආකාරයට කඳු මුදුනේ පිහිටි සිරිපතුල හා සිද්ධස්ථානයත්, දිවයිනේ විවිධ ප්‍රදේශවල නිදන් කර ඇති බුදුරදුන්ගේ යයි බෞද්ධයන් විශ්වාස කරන ධාතුන් වහන්සේලාත් ආදම්ගේ දේවල් යැයි මුස්ලිම්වරු විශ්වාස කරති. මෙම පරස්පර විශ්වාසයන් දෙක ඒ කාලේ සිංහලයන් හා මුස්ලිම්වරුන් අතර ගැටුම් ඇති කිරීමට හේතුවූයේ නැත.

12 වන ශතවර්ෂයේදී ත්‍රිකුණාමල වරාය අවට මුස්ලිම් ජනාවාස තිබී ඇති බව ත්‍රිකුණාමලය වරායට ඉහළින් පිහිටි නිකොල්සන් බොක්කෙන් සොයාගත් ගල් දෙකින් පෙනී යයි.

යුරෝපීන් ‘චාලියාස්’ද වශයෙන් සිංහල සමාජය සලාගම වශයෙන්ද හඳුන්වනු ලබන කුලයේ ආදිතමයන් හත්දෙනා ෂෂෂ වැනි විජයබාහු රජු (123-1238) විසින් දකුණු ඉන්දියාවේ සාලිය පට්ටනම් ගමෙන් ගෙන්වා ගෙන ඇත්තේ බේරුවල හොරකඩුවේ පෙරිය මුදලි මරික්කාර් නමින් වන මුස්ලිම් වෙළෙන්දෙකු අතරමැදියකු ලෙස යොදා ගනිමිනි.

නූල් කැටීම හා රෙදි විවීම ලංකාවේ ඈත අතීතයේ සිට පැවත එන කර්මාන්තයක් වී තිබුණද ලංකාව නිපදවමින් තිබූ රෙදි ලංකාවට දකුණු ඉන්දියාවෙන් ආනයනය කෙරෙමින් තිබූ සිනිඳු රෙදි සමඟ සසඳන විට උසස් තත්ත්වයක නොතිබීම නිසා ඒ තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීම සඳහා උසස් තත්ත්වයේ රෙදි වියන්නන් කිහිපදෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට රජුට අවශ්‍ය වී තිබේ. විදේශ රටවල් ගැන දැනුමක් තිබුණේ විදේශ වෙළෙඳාමේ නිරත වූ මුස්ලිම් වෙළෙඳුන්ට නිසා දක්ෂ රෙදි වියන්නන් කිහිපදෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට භාර දුන්නේ ඉහත කී බේරුවල මුස්ලිම් වෙළෙන්දාටය. ඔහු වෙත පවරන ලද එම වගකීම හොඳින් ඉටු කිරීම නිසා රජු එම මුස්ලිම් වෙළෙන්දාට ඉඩකඩම් හා ගරු නම්බු හා විවිධ වරප්‍රසාද පිරිනමන ලද බවත් මරික්කාර්ගෙන් පැවත එන සියලුදෙනාම රජුගේ දෝලා ගෙනයෑමේ රාජකාරියෙන් නිදහස් කොට ඔවුන්ට පල්ලි ගොඩනැගීමට අවශ්‍ය නම් ඒ සඳහා අවසර දිය යුතු බව හා ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබාදිය යුතු බවට රජු නියෝග කළ බවත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් සඳහන් කර තිබේ.

මෙසේ සියුම් රෙදිපිළි සඳහා ලංකාවට ගෙන්වා ගත් සලාගම කුලයේ ආදිතමයන් හත්දෙනාටද ගම්බිම් හා තාන්නමාන්නද භාර්යාවන්ද සලසා දුන් බව සඳහන් වෙතත් පසුකලකදී මොවුන්ගෙන් පැවත එන්නන් උඩරට රජුගේ උදහසට හේතුවීම නිසා ඔවුන් ජීවත් වූ මැදරටින් ඉවත් කොට නිරිතදිග වෙරළෙහි පදිංචිවීමට බලකරන ලද බවත් සියුම් රෙදිපිළි විවීමේ කර්මාන්තයෙන්ද ඔවුන් ඉවත් කොට රජුගේ ගබඩා ඉඩම්වල කුරුඳු තලන්නන් බවට පත් කළ බවත් ආනන්ද කුමාරස්වාමි සඳහන් කර තිබේ. එහෙත් ඔවුන් රජුගේ උදහසට හේතුවූයේ කවර හේතුවක් නිසාද යන්න හෝ එසේ කළ උඩරට රජු කවුද යන්න සඳහන් වන්නේ නැත.

පෘතුගීසි කාලයේ සිට

ලෝනා දේවරාජාට අනුව පෘතුගීසීන් ලංකාවට පැමිණෙන අවස්ථාව වනවිට පුත්තලම, මග්ගොන, පයාගල, අලුත්ගම, බෙන්තොට, ගාල්ල, වැලිගම සහ මාතර යන ප්‍රදේශවල මුස්ලිම් ජනාවාස ගොඩනැගී තිබුණි. කොළඹ මුස්ලිම්වරුන් සංකේන්ද්‍රණය වී සිට ඇත්තේ පසුකලක අලුත් යෝන් වීදිය හා පරණ යෝන් වීදිය වශයෙන් නම්වූ කලාපයේය.

පෘතුගීසීන්ගෙන් වැඩියෙන්ම බැටකන්නන් බවට පත්වූයේ මුස්ලිම්වරුන්ය. පෘතුගීසීන් නිසා මුස්ලිම්වරුන්ට තිබුණු වෙළෙඳ ඒකාධිකාරය අහිමි විය. ඒ නිසා මුස්ලිම්වරුන් තුළ පෘතුගීසීන් කෙරෙහි වෙනත් අයට නැති තරමේ වන විශාල කෝපයක් තිබුණි. පෘතුග ීසීන්ට පළමුවෙන් පහර දෙන තැනකට ගියේද කොළඹ මුස්ලිම්වරුන්ය. පෘතුගීසීන් මුස්ලිම්වරුන් කොළඹින් පලවා හැරීමෙන් පසු ඔවුන්ට සීතාවක රාජධානියේ සරණ සොයා යෑමට සිදුවිය. මුස්ලිම්වරුන් සීතාවක රජුගේ හමුදාවට එකතු වී පෘතුගීසීන්ට එරෙහිව යුද්ධ කළේය. සියවසකටත් අධික කාලයක් පෘතුගීසීන්ට එරෙහිව බලවත් යුද්ධ ව්‍යාපාරයක් ගෙන ගිය සීතාවක රාජධානියේ බිඳ වැටීමෙන් පසු එහි සිටි මුස්ලිම්වරුන්ට ආරක්ෂාව සඳහා උඩරට රාජධානියට යන්නට සිදුවිය. ඔවුන්ගේ පැමිණීම මහනුවර රජුගේ සතුටට හේතුවූ අතර එසේ පැමිණි අයගෙන් 4000ක කණ්ඩායමක් සෙනරත් රජු විසින් මඩකළපුවේ පදිංචි කරවන ලදි. ඒ මගින් ඔවුන් ආරක්ෂක අවශ්‍යතාවන් සඳහා යොදා ගන්නවාට අතිරේකව උඩරට රාජ්‍ය පෘතුග ීසීන්ට එරෙහිව පවත්වාගෙන ගිය යුද ව්‍යාපාරය සඳහා අවශ්‍ය ආහාර ඔවුන් ලවා නිපදවා ගැනීම එම රජුගේ අපේක්ෂාව විය. මෙසේ කලක් වෙළෙඳාමට පමණක් සීමාවී සිටි මුස්ලිම් එහි යවන ලද මුස්ලිම් ජනතාව දක්ෂ වී ගොවීන් බවට පත්වූහ. පසුකලක නැගෙනහිර ප්‍රදේශයේ ලොකු මුස්ලිම් ජනගහනයක් ඇති කිරීමට මහනුවර රජුගේ එම වැඩපිළිවෙළ හේතුවිය.
උඩරට පදිංචියට ගිය මුස්ලිම් මිනිසුන් සම්බන්ධ කර තිබුණේ මඩිහේ හෙවත් ප්‍රවාහන කාර්යාංශයටය. එම කාර්යාංශය සමන්විත වූයේ ධීවර කුලයේ මිනිසුන්ගෙන් හා මුස්ලිම් මිනිසුන්ගෙනි. ඔවුන් ප්‍රවාහන කාර්යයට සම්බන්ධ කරගන්නට ඇත්තේ ඔවුන්ට තවලම් ගොනුන් සිටීම නිසාය. රැල්ෆ් පීරිස්ට අනුව උඩරට ජීවත් වූ මුස්ලිම් මිනිසුන්ට සිංහල කුල ක්‍රමයට සම්බන්ධ කුලයන් බවට පත්වීමට නොහැකි වූයේ ඔවුන් ඔවුන්ගේ ආගම අත්නොහැරීම නිසාය. සිංහල සමාජයට එකතු වූ දකුණු ඉන්දියාවෙන් පැමිණි වෙනත් සමහර සංක්‍රමණික කණ්ඩායම් සේ උඩරට ජීවත් වූ මුස්ලිම්වරුන්ටද බුද්ධාගම වැලඳ ගන්නේ නම් ඔවුන්ටද කුලයක් ලැබී ඔවුන් සිංහලයන් බවට පත්වන්නට ඉඩ තිබුණි.

 උඩරට සමාජයේ මුස්ලිම්වරුන් සිංහලයන් සේ ම විහාර දේවාලගම්වල නිල පංගුකාරයන් ලෙසද සේවය කළේය. විහාර ඉඩම්වල ජීවත් වන මුස්ලිම්වරුන් විහාරයට අදාළ රාජකාරි සේවාවල නිරත විය. කුරුණෑගල රිදී විහාරයට පූජා කළ ගම්වර හතක් තිබුණු අතර එයින් එකක් වූ රඹුකන්දන මුළුමනින් මුස්ලිම් ගමක් බවට පත්ව තිබුණි. එහි විසූ එක් එක් මුස්ලිම්වරුන් විහාරයට කළ යුතු රාජකාරි සේවා රාජකාරි ලේඛනයේ සඳහන් වේ. ඒ රාජකාරි අතර ධාන්‍ය ප්‍රවාහනය කිරීම, විහාර භූමිය අලංකාර කිරීම සඳහා සුදු වැලි ගෙන ඒම, පොල් සහ කරවල සැපයීම හා සුළු සුළු මුදල් ගෙවීම් ඇතුළත්ය.

රිදී විහාරය එහි වෙසෙන මුස්ලිම්වරුන්ට මුස්ලිම් පල්ලියක් ඉදිකර ගැනීම සඳහා විහාරගමෙන් ඉඩමක් ලබාදී ඊට අතිරේකව පල්ලියේ පූජකයාගේ නඩත්තුව පිණිසද ඉඩම් කොටසක් වෙන්කර දී තිබුණි. අදත් ඒ මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙහි දැකිය හැකිය. ලෝනා දේවරාජාට අනුව පංගොල්ලමඩ මුස්ලිම් පල්ලිය ඉදිකර ඇත්තේ දෙගල්දෝරුව විහාරයට අයත් ඉඩමකය. මහනුවර කටු පල්ලිය හා මීරාමක්කම් පල්ලිය ඉදිකර තිබෙන්නේ උඩරට රජවරුන් විසින් තෑගි කර දෙන ලද ඉඩම්වලය. ඇයට අනුව කටු පල්ලිය ගෘහ නිර්මාණ ශිල්පය අතින් දළදා මාලිගාවේ මඟුල් මඩුවට සමාන වන අතර එහි තිබෙන කැටයම් කළ දැව කණු ඇම්බැක්කේ දේවාලයේ ඇති දැව කණුවලට සමානය.

මේ සියලු කරුණු අනුව පෙනීයන්නේ ලංකාවේ උතුරේ දෙමළ ජනතාවට සේ ම මුස්ලිම් ජනයාටද මේ රට තම ජන්ම භූමිය ලෙස සැලකීමට හැම අයිතියක්ම තිබෙන දේශීය ජන වර්ග දෙකක් වන බවය. මේ තුන් පිරිස මිශ්‍රවී තිබෙන තරම පෙන්නුම් කරන ජාන අධ්‍යයන තුනක් ඇතත් ඒ ගැන මේ අවස්ථාවේදී කතා කරන්නට අපේක්ෂා නොකරමි. මේ තුන් වර්ගය කොතරම් මිශ්‍රද කියතොත් ජාන අනුව නම් සිංහලයා කව්ද, දමිළයා කව්ද, මුසල්මානුවා කව්ද කියා වෙන් කොට හඳුනාගත නොහැකිය.

| වික්ටර් අයිවන්

ගෝඨාගේ අපරාධ හවුල්කරු, ප්‍රධාන බොඩිගාඩ් බ්‍රිගේඩියරයා අතුරුදහන්

ගෝඨාභය රාජපක්ෂ විසින් රහසිගතව සිදුකළ අපරාධ රැසක හවුල්කරුවාද ගෝඨාභයගේ අංගාරක්ෂක ප්‍රධානියාද වූ බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.වයි. රත්නායක හෙවත් ජයන්ත රත්නායක නමැත්තා අතුරුදහන්ව ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටියදී ඔහුගේ දකුණු අත සේ කටයුතු කළ අතර රාජපක්ෂ රෙජීමය 2015 ජනාධිපතිවරණයෙන් කුජීත වන බව ඉව වැටීමත් සමග ජනාධිපතිවරණය කටේ තිබියදී එනම් 2014 දී දෙසැම්බරයේදී ඇමරිකාවේ වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිලිටරි ඇටෑචී ලෙස පත්වීමක් හදාගෙන රටින් පැන ගොස් තිබේ.

ඒ වසර දෙකක නිල කාලයක් සඳහා ය. එනම් 2016 දෙසැම්බර් දක්වා ය.

2015 රාජපක්ෂලා පරාජය වීමෙන් පසු ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක ඇමැති වුවද ගෝඨාභය සමග ලයිට් නිවාගෙන රහසිගත සාකච්ඡා කරමින් සිටියා මිස, (සිරිසේන මහතාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක විසින් ඒ බව ඔහුගේ පොතේ හෙළිදරව් කරයි) රාජපක්ෂලා වෙනුවෙන් අපරාධ කළාට ප්‍රතිඋපකාර ලෙස රාජපක්ෂලා විසින් විවිධ තානාපති කාර්යාල වෙත යවා සිටි යුද හමුදාවේ සට්ටැඹියන් යලි සිය රට ගෙන්වා ගැනීමට සත පහක ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. අඩුම ගණනේ රතුපස්වල සමූහ ඝාතන සිදුකළ, දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන හෝ ගෙන්වා ගැනීමට ක්‍රියා නොකළ අතර ඔහු ආවේ තම නිල කාලය සම්පූර්ණයෙන් තුර්කියේ ගෙවා දැමීමෙන් පසුවය. තානාපතිලා සහ තානාපති කාර්යාල වල සිටි මිලිටරි ඇටෑචිලා පත් කිරීම ගෙන්වා ගැනීම ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ඇමැති වූ සිරිසේන මහතා සතු බලයක් මිස විදේශ ඇමැතිවරයා සතු බලයක් නොවේ.

ඒ අනුව වොෂින්ටනයට පැන ගිය ගෝඨාභයගේ අපරාධ රැසක හවුල්කරුවාද, සාක්කිකරුවෙකුද වූ ගෝඨාගේ ප්‍රධාන බොඩිගාඩ් බ්‍රිගේඩියර් ජයන්ත රත්නායකද නිරුපද්‍රිතව ඇමරිකාවට වී සිටියේය. ඔහු නිවාඩුවකටවත් ශ්‍රී ලංකාවට පැමිණියේ නැත.

ගෝඨාභයගේ දූෂණයක් පිළිබඳ පරීක්ෂනයට ඇමරිකාවට ගිය FCID ප්‍රධානීන්ට සහාය නොදී ඔවුන් ඇමරිකානු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට ගියාය කියමින් බොරු වැපිරුවේද වොෂින්ටනයේ තානාපති කාර්යාලයට වී යහපාල ආණ්ඩුවෙන් පඩි කමින් සිටි බ්‍රිගේඩියර් ජයන්ත රත්නායකම ය.

2016 දෙසැම්බර් මාසයෙන් පසු ඔහුගේ නිල කාලය නිමා වී යලි සියරට පැමිණිය යුතු නමුත් ඔහු ලංකාවට පැමිණියේ නැත. ඒ සමගම වොෂින්ටන් තානාපති කාර්යාලයෙන්ද අතුරුදහන් වී තිබේ. අවසන් දිනයේ තානාපති කාර්යාලයට පැමිණි ඔහු පවසා ඇත්තේ තමන් ලංකාවට යන බව නමුත් ඔහු ඇමරිකාවෙන් පිටවූයේ නැත.  ඔහු එතෙක් ඇමරිකාවේ දී භාවිතා කළ ජංගම දුරකථන අංකයද තානාපති කාර්යාලයෙන් අතුරුදහන් වූ දිනයේ සිටම අක්‍රියව පවතී. ඔහු සිටිනා තැනක් ශ්‍රී ලංකාවේ වොෂින්ටන් තානාපති කාර්යාලය නොදනී.

2016 දෙසැම්බරයෙන් පසු බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ඔහු ඒ වන විට සේවය කරමින් සිටි ගජබා රෙජිමේන්තුවට වාර්තා කළ යුතු නමුත් මේ දක්වා වාර්තා නොකිරීම නිසා යුද හමුදාව විසින් බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක සේවය අතහැර හමුදාවෙන් පැන ගිය අයෙකු ලෙස මේ වන විට නම් කර තිබේ. බ්‍රිගේඩියර් වරයෙකු හමුදාවෙන් පැන යෑම දරුණු වරදකි.

මේ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඇමරිකාවට ගිය නිලධාරියෙකු එරටදී ගල් වීම බරපතල රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්ව ඇති නමුත් ඇමරිකාව මේ දිනවල ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි මෘදු ප්‍රතිපත්තියක සිටින බැවින් දැඩි ක්‍රියාමාර්ගයකට ගොස් නැති නමුත් ශ්‍රී ලංකාවේ යුද හමුදා සාමාජිකයන් තානාපති කාර්යාලයට යැවීම කෙරෙහි කණස්සල්ල පළ කර තිබේ. එබැවින් ජයන්ත රත්නායකගෙන් පසු මිලිටරි ඇටෑචී ලෙස වොෂින්ටනයට යැවීමට සිදුව ඇත්තේ නාවික හමුදා නිලධාරියෙකි.

ලංකා ඊ නිව්ස් හි ඇමරිකානු තොරතුරු කරුවන් මගින් බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක පිළිබඳ සෙවීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඔහු දැනට ඇමරිකාවේ පදිංචි ඔහුගේ සොහොයුරියකගේ රැකවරණය යටතේ සිටින බවට තහවුරු නොකළ වාර්තා ලැබී ඇත. 

ගෝඨා අත් අඩංගුවට ගැනීමේ කතාව සහ දංකුඩවීරගේ හිකනල් කතාව

මේ අතර යුද්ධයට බියෙන් ඇමරිකාවට පලා ගොස් වසර 15 ක් හෙවත් යුද්දයෙන් බාගයකම කාලයක් තිස්සේ ලංකාව පැත්ත පලාතකවත් නොපැමිණි ගෝඨාභය රාජපක්ෂ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරගෙදර සමූහ ඝාතනය, මිග් යානා මිලදී ගැනීමේ මහදවල් වංචාව, ඇතුළු අපරාධ රැසකට තමන්ව අත් අඩංගුවට ගනීවි යැයි බිය වී මහනායක හාමුදුරුවරුන්ගේ සිවුර අස්සේ සැඟවීමට උත්සාහ ගනිමින් සිටී.

කාලයක් තිස්සේම මැදමූලන වළව්වේ දංකුඩෙන් ජීවත් වූ මහින්ද අමරවීර හෙවත් හම්බන්තොට දංකුඩවීර තම මුඛය විවෘත කරමින් ගෝඨාභය අත් අඩංගුවට ගතහොත් රටේ කැළඹිල්ලක් ඇතිවෙතැයි පවසා ඇත. රාජපක්ෂලා කළ අපරාධ වලට අත් අඩංගුවට ගත්තත් ඔවුන් කළ සේවය සලකා දඬුවම් ලබා නොදිය යුතුයැයි දංකුඩවීර අධිකරණයේ කාරියත් තම කටට රැගෙන වැඩි දුරටත් පවසා තිබේ. රාජපක්ෂලා උමා ඔයට කළ “සේවය “ නිසා දහස් ගණකට වී ඇති විපත නරඹා පැමිණ දින දෙකක් යෑමටත් පෙර මේ ගොබ්බ දංකුඩවීරයා රාජපක්ෂලා කළ “සේවය“ ගැන කතා කිරීමෙන් මේකාගේ තරම හිතා ගත හැකිය.

ආදියේ සිටි රජෙකු වැරදිලා හෝ රත්තරන් පැළැන්දුවේ හරියට පාට මාරු කළ හැකි කටුස්සෙකුගේ කරේය. අද සිටින ග්‍රාමසේවකලා රත්තරන් පළඳන්නේ පාට මාරු කරනු ඇතැයි සිතා හිකනලුන්ගේ කරේය. උන්ට පාට මාරු කර ගැනීමට නොහැකිවා පමණක් නොව හිකනල් කම නිසා මුඛය ඇරිය සැනින් දිව දෙක පෙනෙන්නේ ය.

lanka e news

ත්‍රෛයි නිකායික භික්ෂූන්ගේ නැගිටීම හා බණ්ඩාරනායක ඝාතනයේ අලුත් පිටපත

පසුගිය දා හිටි හැටියේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අවදිව හඩ නැගීය. ඉන් අනතුරුව මේ ඊයේ පෙරේදා මහනුවරට රැස් වූ ත්‍රෛයි නිකායික මහා සංඝ රත්නය ආණ්ඩුවට තදින් කියා සිටියේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම හෝ අනවශ්‍ය බවයි. පවත්නා ව්‍යවස්ථාව ඒ අයුරින්ම පවත්වාගෙන යෑම සුදුසු බවත් විධායක ජනාධිපති ධූරයේ අවශ්‍යතාව රටට වැදගත් බවත් මහා සංඝරත්නයේ මතය වී තිබේ.

මෙම දේශපාලනික අවදිවීම නිහඩව සිටි භික්ෂූන් පිරිසකගේ ක්ෂණික නන්දෙඩවීමක් ලෙස නිවැරැදි නොවන අර්ථ දැක්වීමකට යෑම පවතින බැරෑරුම් තත්ත්වය නොසලකා හැරීමක් විය හැකිය. පළමුව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවෙන් ද දෙවැනිව ත්‍රෛයි නිකායික භික්ෂූන්ගෙන් ද සමාජය මතු පිටට ආ පණිවුඩය හුදු ආගමික උනන්දුවකින් දැක්වූ සරළ ප්‍රතිචාරයක් නොවේ. මෙරට සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ ඉතිහාසගත මතවාදය ත්‍රෛයි නිකායික භික්ෂූන් විසින් තම කරමතට ගනිමින් එය නියෝජනය කිරීම සදහා පෙරට ඒමක් ලෙස මෙම හැසිරීම අර්ථ දැක්විය හැකිය.

ත්‍රෛයි නිකායික මහා නායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්ගේ මතයට ජන මනසට බලපෑමක් කිරීමේ ප්‍රබල හැකියාවක් පවතින අතර එම සිවිල් බලය ආණ්ඩුවක ජනවරමකට එරෙහිව පාවිච්චි කිරීමේ අප්‍රසන්න උත්සාහයක මේ මොහොත තුළ භික්ෂු සංස්ථාව යෙදී සිටී. එම උත්සාහය වඩා පිළිකුල් වන්නේත් වඩා භයානක වන්නේත් මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගෙන එන පනත් කෙටුම් පතක් සම්මත කර ගැනීම සදහා ද ඔවුන් තම බලය යොදා මැදිහත්වීමයි.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයට තර්ජනය කිරීම

2010 දී පොදු විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අත්තනෝමතිකව අත් අඩංගුවට ගනිමින් ඔහුගේ මිනිස් නිදහසත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවත් අමු අමුවේ උල්ලංඝනය කිරීමට රාජපක්ෂ රෙජීමය විළිලැජ්ජා නැතිව කටයුතු කළේ ය. එවිට ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය ඊට තම විරෝධය හා නොකැමැත්ත ප්‍රකාශ කළහ. එහෙත් රාජපක්ෂවරු එම විරෝධය තඹ සතයකට මායිම් නොකළහ. එසේම සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වය සංඝ සභාවක් කැදවමින් සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍ර විරෝධීව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තදබල විරෝධයක් ප්‍රකාශ කරන්නට සැරසුනි. එවිට කොළඹ අසපු වල ජීවත්වන ආණ්ඩු හිතවාදී භික්ෂූන් ඊට තර්ජනය කළේ සංඝ සභාව දෙකඩ කරන බවටත් මල්වතු විහාරයට බෝම්බ ගසන බවටත් කියමිනි. ඒ පිටුපස රාජපක්ෂලා සිටි බව රහසක් නොවේ. අන්තිමේ දී මල්වතු පාර්ශ්වයට එම සංඝ සභාව අවලංගු කිරීමට සිදුවුණි. සියල්ලෝ කිසිවක් සිදු නොවූ පරිදි වැඩවාසය කළ අතර සරත් ෆොන්සේකාගේ අත් අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් හුදකලාව විරෝධය පාන්නට ගිය මහා සංඝරත්නය රාජපක්ෂ රෙජීමයේ අන පරිදි පොලිසියෙන් ගුටි බැට කෑහ.

මල්වතු පර්ශ්වයට හෝ සියම් නිකායට හෝ අනෙකුත් කිසිම නිකායකට හෝ රාජපක්ෂවරුන්ට දැනෙන විරෝධයක් එල්ල කිරීමට  හැකියාවක් නොවුණි. මහනුවර දළදා මාළිගාව වටා රාත්‍රී කාර් රේස් පැවැත්වීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය පයෙහි පෑගෙන දූවිල්ලක් තරමට ගණන් ගැනීමක් රාජපක්ෂවරුන් විසින් සිදු නොකරන ලදි. භික්ෂූන්ගේ සියළු විරෝධයන් හුදු මහානායක ආරාමයන්හි කෙරෙන රහස් සතර කන් මන්ත්‍රණ වලට සීමා වුණි. අනතුරුව යම් යම් සිද්ධීන් වලට අදාළව මහා සංඝරත්නය නිකායික කාරක සංඝ සභා, නායක හිමිවරු හා පොදුවේ මහා සංඝ රත්නය මට්ටමෙන් කළ කිසිදු ලිඛිත ඉල්ලීමක් රාජපක්ෂවරුන් විසින් සැලකිල්ලට නොගන්නා ලදි. එහෙත් දැන් ලංකාවේ දේශපාලන වටපිටාව හා සංස්කෘතිය වෙනස්වී තිබේ. වෙනදා නොමැති ආණ්ඩු විරෝධයක් කෙතරම් මර්දනීය අවශ්‍යතා තුළ වුවත් ශක්තිමත්ව නැගී සිටී. ඒ අවකාශය දිගු කලක පටන් මහජන අරගල වලින් දිනා ගත් නිදහසකි. එය සියම් නිකාය මෙන්ම මහා සංඝරත්නය ද භුක්ති විදීම සතුටට කරුණකි.

භික්ෂූන් හඩ දෙන්නේ ස්වෝත්තමවාදය වෙනුවෙන්

විධායක ජනාධිපති ක්‍රමය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කරන මූලික මිනිස් නිදහසට තර්ජනක් වන පාලන ක්‍රමයක් බව මුල් වරට විශ්ලේෂණාත්මකව ප්‍රකාශ කළේ ලංකා සමසමාජ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය ඇන් එම් පෙරේරා ය. ඉන් අනතුරුව ඔහු කී දෙය ප්‍රායෝගිකව ඔප්පු කළේ 17 වසරක් තිස්සේ පීඩාවිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂගේ නායකකාරකාදින් ඇතුළු සමස්ත ජනතාවයි. අනතුරුව 1994 දී බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය යොදා ගනිමින් ගෙනගිය පාලනය නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදීන් මෙන්ම සමස්ත ජනතාව පීඩා වින්දහ.

මේ වනවිට විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයත් එහි රස බැලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන ප්‍රධාන පක්ෂ දෙකම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට එකග වී තිබේ. එහෙත් මහින්ද චින්තනය විසින් ශක්තිමත් කළ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී කොටස් තම ආත්මය ලෙස විධායක ජනාධිපති ක්‍රමය තෝරාගෙන තිබේ. රාජපක්ෂ පාලනය තුළ දී මෙන්ම ඉන් අනතුරුව ද මේ ස්වෝත්තමවාදී මතධාරීහු විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතු බවට කියමින් ඒ වෙනුවෙන් පෙනී සිටියහ. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය රැක ගැනීම සදහා  ඒකාධිපති ෆැසිස්ට් පාලනයක් අවශ්‍ය වන අතර විධායක ජනාධිපති ක්‍රමය ඊට මහගු පරිසරයක් නිර්මාණය කරයි.

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය මූලිකවත් ත්‍රෛයි නිකායික භික්ෂූන් මූලිකවත් මේ අවස්ථාවේ දේශපාලන අරමුණු සදහා ඒකාරාශීවීම හුදු සරළ කාරණාවක් නොවන්නේ මේ වපසරිය යටතේ තත්ත්වය විශ්ලේෂණය කරන විට දී ය. ඒ නිසා එම දේශපාලන ප්‍රකාශය හුදු ආගමික නායකයින් රටේ පාලනයට ලබාදුන් තවත් එක් අනුශාසනාත්මක අවවාදයක් ලෙස බැහැර කළ යුතු නොවේ. එම ප්‍රකාශය මේ මොහොත තුළ රට මුහුණ දෙන බරපතල දේශපාලන අර්බූදයට මුළුමනින්ම අදාළ විෂය මූලික කරුණු වලට සමීප සබදතාවක් පෙන්නුම් කරන්නකි. ඒ නිසා ත්‍රෛයි නිකායික මහා සංඝරත්නයේ දේශපාලන ප්‍රකාශය හා දේශපාලනිකව අවදිවීම බරපතල ලෙස සලකා බැලිය යුතුය.

සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ දේශපාලන ප්‍රකාශකයා වූයේ මහින්ද රාජපක්ෂයි

කෝපි කඩේ දේශපාලන විවේචකයන්ගේ හා දිවයින පුවත්පතේ ලිපි වලට සීමා වී තිබූ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අදහස් ශක්තිමත්ව නැගී සිටියේත් ඊට රාජ්‍යයේ මූලික හැඩතල වල ක්‍රියාකාරීත්වය කළමනාකරණය කළ හැකිවූයේත් රාජපක්ෂ රෙජීමය 2005 දී බලයට පත්වූ විට ය. රාජ්‍යයේ න්‍යායාත්මක දේශපාලන හැසිරීම එතෙක් නන්නත්තාරව සිටි දේශපාලන ආන්තික තීරුවක අවශ්‍යතා මත තීරණය වූ අතර රාජ්‍යයේ සියළු ක්‍රියාකාරීත්වයන් ඒ වටා ගොනු වුණි. මේ නිසා සමාජ බෙදුම්කරණයට ලක්වන හැගීම් හා මතවාද සමාජය තුළ වර්ධනය වූයේ පිමි වශයෙනි. යම් මතවාදයකට රාජ්‍ය පිළි ගැනීම ලැබුණ විට එය සමාජය තුළ ශක්තිමත්ව ස්ථාපිතවීම සාමාන්‍ය තත්ත්වයකි. එනිසා එම විශේෂ වරප්‍රසාදය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයටත් උදාවුණි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය විසින් කොටි සංවිධානයට එරෙහිව රජය විසින් ගෙන ගිය යුද්දය ශක්තිමත් කරන්නටත් යුද්දය විසින් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී මතවාදය ශක්තිමත් කරන්නත් එකිනෙක දායකවීම ආකර්ශනීය දේශපාලන භාවිතාවකි. ඒ නිසා සමාජයේ දේශපාලන සංස්කෘතිය, නීතියේ ආධිපත්‍ය ඇතුළු සියළු භාවිතයන් යළි අර්ථදැක්වුණි. එහි සමස්තයක් ලෙස රාජපක්ෂ රෙජීමය ව්‍යුහමය ලෙස සකස් වූ අතර සමාජය තුළ එය ස්ථාවර වීමේ පදනම ද එයයි. ඒ අනුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ දේශපාලන ප්‍රකාශයකයා වූයේ  මහින්ද රාජපක්ෂයි.

රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒමේ තැතක්

2015 ජනවාරී 08 වන දා රාජපක්ෂ රෙජීමය බිද දැමීමට මෙරට ප්‍රජාතන්ත්‍රවාදී කොටස් ශක්තිමත්ව කටයුතු කිරීමෙන් පසුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පසු බැසීමකට ලක්වුණි. එහි මතවාදී ශක්තිමත්භාවය මෙන්ම ක්‍රියාකාරීභාවය ද රුවලක් නැති ඔරුවක් සේ විවිධ දිශානතියන්ට ගමන් කරමින් තිබුණි. යම් මතවාදයකට ඉන්ධන සැපයූ රාජ්‍ය බලය බිද වැටීම එම මතවාදයේ පැවැත්මට බලවත් තර්ජනයකි. රාජපක්ෂවරුන්ට රාජ්‍ය බලය අහිමිවීම සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට බලපෑවේ කනගාටුදායක ලෙස ය.

අළු ගසා දමා රාජපක්ෂ දේශපාලනය කෙළින් කර ගැනීමට කොතෙක් මහන්සි ගත්තත් මහින්ද සුළග වාසුළියක් සේ එතැනම කැරකෙයි. එනිසා උත්සාහය ලත්තැනම ලොප් කරමින් රාජපක්ෂ දේශපාලනය කඩා වැටේ. ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂට තරග කරන්නට නීතිමය හැකියාවක් නොමැත. එහෙත් ඒ වෙනුවට වෙනත් සුදුස්සෙක් නම් කර ගැනීමට පවා රාජපක්ෂ දේශපාලනය අපොහොසත් වී සිටී. ක්‍රමයෙන් වයෝවෘද්ධ වෙමින් සිටින මහින්ද රාජපක්ෂ වෙනුවට අවම වශයෙන් තම සහෝදරයා වන ගෝටාභය රාජපක්ෂ හෝ තෝරා ගැනීමට ඔහු අකැමති ය. පවුලේ අභ්‍යන්තර දේශපාලන තොරතුරු වලට අනුව බැසිල් රාජපක්ෂට හෝ ගෝටාභය රාජපක්ෂට හෝ මහින්ද රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීමට ඉඩකඩක් නොමැත. ඒ තරමට රාජපක්ෂ දේශපාලනය ව්‍යාකූලත්වයෙන් හා අර්බූදයන්ගෙන් පිරී ගොස් ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මේ අර්බූදයට මහින්ද රාජපක්ෂ සතු පිළිතුරයි. එවිට අග්‍රාමාත්‍ය ධූරය සදහා තරග කරන්නට ඔහුට හැකිය. යම් හෙයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් තම වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂට කල් පිරෙන තෙක් අල්ලාගෙන සිටීම ඔහුගේ උපක්‍රමයයි. ඒ උපාය උපක්‍රමයන්ගෙන් පිරි රාජපක්ෂ දේශපාලනය තුළ අනෙකුත් බලවේග ශක්තිමත් වුවද මුළු එකක් ලෙස සමස්ත ව්‍යාපාරය ව්‍යාකූලත්වයෙන් ද ගැටුම්කාරීත්වයෙන් ද පිරී යමින් පවතී.

මේ නිසා මහින්ද රාජපක්ෂ වැටී ඇත්තේ අලි අමාරුවක ය. තමන් වටා ශක්තිමත් ජන කොටසක් සිටිය ද ආත්මාර්ථකාමී දේශපාලන අවශ්‍යතා නිසා එය කළමනාකරණය කර ගැනීමට ඔහු අසමත්ව සිටී. තමන් වටා සිටින ජන පිරිස කුල්මත්ව තබා ගැනීම සදහා වරින් වර උද්යෝගීමත්ව ජන රැළි පැවැත්වීම හැරුණ කොට වෙනත් ඵලදායි දේශපාලනයක යෙදෙන්නට ඔහු කිසිවක් සිදු කරන්නේ නැත. ඔහුගේ එකම අරමුණ වන්නේ කල් ගැනීම පමණ ය.

සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පරාජය කරමු

එහෙත් ජනතාව උසි ගැන්වීම සදහා මහින්ද රාජපක්ෂ අත ප්‍රබල යතුරක් පවතී. ඔහු එය වරින් වර පාවිච්චි කරයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ අල්ලා හිටින එකම උපක්‍රමය වන්නේ ජාතිවාදය ඇවිසීමයි. ලංකාව වැනි සමාජයක ජාතිවාදයට ලොකු ඉල්ලුමක් පවතී. තම්න්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කර ගනිමින් ජාතිවාදය තුළින් දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීම ඔහුගේ හැකියාවයි. එය බිහිසුණු දේශපාලනයකි. එනිසා සමාජය තුළ ඇති කරන්නේ පරිහානිදායි තත්ත්වයකි.

මීට බොහෝ කලකට පෙර සියම් මහා නිකාය විසින් සම්මානයක් පිරිනමමින් මහින්ද රාජපක්ෂ සිංහලබෞද්ධ දේශපාලකක නායකයකු ලෙස ඉහළින් ඔසොවා තැබීම මේ මොහොතේ දී අමතක කළ නොහැක. මෙරට භික්ෂ සමාජය ආධිපත්‍යවාදී ලෙස නියෝජනය කරන්නේ ජාතිවාදයයි. මහාචාර්ය වල්පොල රාහුල වැනි විශිෂ්ට සංඝ නායකයන් සිටි භික්ෂු සංස්ථාව අද දේශපාලන විකටයන්ගේ පාංකඩ බවට පත්ව ඇත. එනිසා කල්යල් බලා සියම් නිකාය තෝරා ගත් සිංහලබෞද්ධ නායකයා අමතක කරන්නට ඔවුනට තවමත් නොහැකිවීම තේරුම් ගන්නට අපහසු කරුණක් නොවේ.

අද දවසේ ලාංකික සමාජය තුළ මුහුණ දී කළමනාකරණය කරගත යුතු ප්‍රබලම අභියෝගය වන්නේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයයි. කලක් ප්‍රබලව රාජ්‍ය බලය දරා එය අහිමිවීම ඔවුන්ව කුලප්පු කිරීමට සමත්ව ඇත. එනිසා කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ රාජ්‍ය බලය යළි ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි. එනිසා සියම් මහා නිකායේත් ත්‍රෛයි නිකායන්ගේත් දේශපාලන මැදිහත්වීම සමාජය විසින් සැලකිය යුත්තේ තමන්ගේ පැවැත්මය එල්ල කළ ප්‍රබලම අභියෝගය ලෙස ය. ඒ අභියෝගය රාජපක්ෂ දේශපාලනයේ ප්‍රකාශයක් ලෙස ද තේරුම් ගත යුතු ය.

මෙම අභියෝගයට මුහුණදීම සදහා ආණ්ඩුවට ශක්තිමත් පිට කොන්දක් තිබිය යුතු අතර ආණ්ඩුව මොන අන්දමින්වත් තමන්ට ලැබුණ ජන වරම අමතක කළ යුතු නැත. අභියෝගය එල්ල කරන පාර්ශ්වයේ සිවිල් බලයට බිය වී පසු බැසීම නිවට කමක් මෙන්ම ජනවරම පාවාදීමකි. මෙවැනි අභියෝගයන් දේශපාලනිකව කළමනාකරණය කර ගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබිය යුතුය. එහෙත් කරු ජයසූරිය වැන්නෙකු කතානායක ධූරයෙහි සිරකර තබා විජේදාස රාජපක්ෂකු වැන්නකු මගින් එම කාර්යය ඉෂ්ඨ කර ගැනීමට උත්සාහ කිරීම උගහට ය.

ආණ්ඩුව මේ තීරණාත්මක මොහොත තුළ කල් බලමින් සම්ප්‍රදායි දේශපාලනයක යෙදෙමින් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ මිලේජකමට එරෙහිව සටන් නොකරන්නේ නම් එය සියතින් ගෙල සිද ගැනීමක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
 
| කේ.ජී.පිලිප් ශාන්ත

කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්

කෝපය අපි සෑමදෙනාටම පොදු සංවේදනයකි. නමුත් කෝපය ඇති වූ විට කලයුත්තේ කුමක් දැයි පිළිබඳ අවබෝධයක් නැත. මේ කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්..

තමාට දැඩි කෝපයක්‌ ඇතිවු වුට එය පාලනය කර ගැනීමට අසීරු නම් ඔබගේ හොඳම මිතුරා, මිතුරිය, පෙම්වතිය, පෙම්වතා, බිරිය, සැමියා සමග මේ ගැන සාකච්ඡා කරන්න. ඔබගේ දරු දැරියන් ඉදිරියේ කෝපය ප්‍රකාශ නොකරන්න. ඔවුන්ගේ පුංචි හිතින් තදින් රිදීමට එය හේතුවක්‌ වනු ඇත. දරුවකුගේ වරදකදී කෝප නොවී කෝපය පාලනය කරමින් වරදා පහදා දෙන්න.

දැඩි තරහක්‌ හිතට ආ විට සතුන් නැරඹීම තවත් හොඳ ක්‍රමයක්. ගෙදර මාළු ටැංකියක්‌ ඇත්නම්  එතනට ගොස්‌ මාළුවන් නිරීක්‌ෂණය කරන්න. ඔබට හැකි නම් ගෙදර සාලයේ පොකුනක්‌ ඉදිකරනන්. එවැනි තැනකට ගියවිටද සිත සැනසේ. ඔබේ ගෙදර සතුන්ට කෑම දෙන කෑම අයිනක්‌ ඇත්නම් එම කෑම කන කුරුල්ලන් ලේනුන් හා වෙනත් සතුන් නිරීක්‌ෂණය යන්න. ඔබ ගෙදර සුරතලයට ඇති කරන සතකු සමඟ ඔබේ තරහ ගැන කීමටද පුළුවන. කවදාවත් තරහ සුරතලා මගින් පහ කරන්නට එපා. අහස් නිරීක්‌ෂණය කිරීමද තරහ අඩු කිරීමේ මගකි.

සංගීතයට සවන් දීම, රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් සරල ක්‍රියාකාරකමක යෙදෙන්න. එවිට තරහ අඩුවේ. කෝපය ක්‍රමයෙන් වැඩි වන්නට ඉඩ දෙන්න එපා. එය අඩු කරවන්නට බලන්න. එහිදී උත්සහ කළ යුතු වන්නේ අතීත වැරදි ගැන චෝදනා නැගීම නොව වර්තමානයේ සිට වැරදි නිවැරදි කරගන්නට උත්සහ ගැනීමය. බොහෝ විට මිනිසුන් කෝපවන්නේ වැඩකට ඇති දෙයට නොවේ.ඔබ කෝප ගත්තේ ඵලදායි දෙයකට දැයි ඔබෙන්ම අසන්න.

සුවඳ ආඝ්‍රාහණයද කෝපය හා කලකිරීම දුරලීමේ මගකි. ඔබ ප්‍රිය කරන සුවඳ වර්ගයක්‌ මේ සඳහා භාවිතාකල හැක. සුවඳ විහිදුවන ඉටිපන්දම් දල්වීමත් සුදුසුයි.

තරහ ගිය විට තරහ පිටකරන්නට ආතති පන්දුවක් (Stress ball එකක්‌) තබා ගන්න. තරහ ආ විට එය මිරිකන්න. ඔබ ආගමට ලැදි අයකු නම් ආගම් කර්තාවරයාගේ පිංතූරයක්‌ හෝ ආගමට සම්බන්ධ වෙනත් පිංතූරයක්‌ තබන්න. එසේම යම් පිරිතක්‌, සූත්‍රයක්‌, යාඥාවක්‌ තබා ගැනීම මානසික සහනයක් හා ආත්ම විහ්වාසයක් ඇති කර දෙනු ඇත.

මෙම අකාරයෙන් ඔබට කෝපය පාලනයකරගත හැකි නම් එදිනෙදා දිවියේ කටයුතු මානසික සහනයෙන් යුතුව පවත්වා ගැනීමට මහත් රුකුලක්වනු ඇත.

smartlady.lk

ට්‍රම්ප්ට සරදම් කළ කාටූන් තරගය

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සරදම් හා උපහාසාත්මක ලෙසින් පැවැත්වූ  අපූරු කාටූන් තරගාවලියක් ගැන ඉරානයේ ටෙහෙරාන් නුවරින් වාර්තාවේ.

ඉරාන සහ විදේශීය කාටූන් ශිල්පීන් 1600 කට අධික පිරිසක් සහභාගී වූ නියමිත මෙම තරගයේ ජයගන්නා කාටූන් ශිල්පියාට ඇමෙරිකා ඩොලර් 1500ක් පිරිනැමීම විශේෂත්වයකි.

ඉකුත් 04 වැනිදායින් අවසන් වූ මෙම ඡායාරෑප තරගයේ අවසානයේදී ජයග්‍රහණය කරනු ලැබුවේ ඉරාන ජාතිකයෙකු වූ හඩී අසීඩි නැමැති කාටූන් ශිල්පියෙකි.ඔහු පැවසූයේ ට්‍රම්ප් ජනාධිපතිගේ මනෝමය මුල්‍ය නැඹුරුතාවය සහ යුද ව්‍යාකූලභාවය පෙන්වීමට තමන්ට අවශ්‍යවූ බවය.මෙම ඉරාන කාටූන් ශිල්පිය ගේ ජයග්‍රාහී කාටූනයේ දැක්වූයේ ට්‍රම්ප්ගේ පින්තූරයක් ලිබර්ටි ප්‍රතිමාව මෙන්ම ඇඳ හිට්ලර් වැනි උඩු රැවුලකින් පින්තාරු කර තිබීමයි.

මෙම කාටූන් තරගය සංවිධානය කරන පුද්ගලයින් විසින් පසුගිය වසරේදී හොලෝකෝස්ට් නමින් කාටූන් තරගයක්ද පැවැත්වූ අතර ඔවුන් කියා සිටියේ නිදහස් කථනය පිළිබඳ ද්විත්ව ප්‍රමිතීන් ඉස්මතු කරවීමත් ,ඔවුන් එම හැසිරීමෙන් නාසි ජන සංහාරය ගැන සැක මතු නොකරන බවය.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි.

ලෝක කුසලානයට නායකයා ලෙස යයිද දන්නේ නෑ

 2019 ලෝක කුසලාන තරගාවලියට තමන් නායකයා ලෙස එක් වෙයිද නොදන්නා බවත් පන්දු යැවීමේ අංශයෙන් කණ්ඩායමේ විශාල ගැටලුවක් තිබෙන බවත් නායක ඇන්ජලෝ මැතිව්ස් සූරියවැවදි  (08දා) පැවැසිය. ඒ සිම්බාබ්වේට එරෙහි තරගය පරාජය වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදීය.

“අවසන් තරගයට යද්දී නායකයෙක් ලෙස මට ලොකු පීඩනයක් තිබෙනවා. හොඳට පිතිකරණයේ යෙදිලා තරග ජයග්‍රහණය කරන්න පුළුවන් කම තිබියදීත් පන්දු යවන්නෝ හොඳට පන්දු යැව්වේ නෑ. මේ තරගයේදීත් පළමු තරගයේදීත්.

සිම්බාබ්වේ කණ්ඩායමත් එක්ක අපි මීට වඩා හොඳට ක්‍රීඩා කරන්න ඕන. ලකුණු 300ක් ගහලා පරිදිනවානම් ලොකු අඩුපාඩුවක් තිබෙනවා.  2019 ලෝක කුසලානයට නායකයා ලෙස මම යයිද දන්නේ නෑ. පන්දු යැවීමේ අංශයෙන් ලොකු ගැටලුවක අපි ඉන්නවා. මේකට ඉක්මනින්ම විසඳුමක් හොයාගන්න වෙනවා.”

මාස 6ක් තුළ එච්.අයි.වී. ආසාධිතයන් 130ක්

මෙම වසරේ ගතවූ කාලය තුළ එච්.අයි.වී. ආසාධිත පුද්ගලයන් 130ක් වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය සඳහන් කරයි.

මේ කාලය තුළ ඒඩ්ස් ආසාධිත රෝගීන් හත් දෙනෙකුද හමුවී ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.

 විශේෂයෙන් පසුගිය 2016 වසරේ එච්.අයි.වී. ආසාධිත රෝගීන් 249ක් වාර්තා වි ඇතැයිද, මීට අමතරව පසුගිය වසර පහක කාලය තුළ ඒඩ්ස් වැලඳුන රෝගීන් 273ක් වාර්තා වී ඇති බවද ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කරයි.








දෙබිඩි දේශපාලන අවතාර අද අතුරුදන් කිරීම් වැළැක්වීමට විරුද්ධ වෙනවා : අමාත්‍ය මංගල සමරවීර

2015 දෙසැම්බර් 10වන දින ශ්‍රී ලංකාව විසින් බලහත්කාරී අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන ලද අතර 2016 මැයි 25වන දින එය රජය විසින් අපරානුමත කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ මෙම සම්මුතියට නෛතික වලංගුභාවය ලබාදීම සඳහා අදාළ පනත් කෙටුම්පත 2017 මැයි 09 වැනි දින ගැසට් කර පසුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකිරීමට තීරණය කරනු ලැබීය.

මෙම පනත් කෙටුම්පත 2017.07.05 දින පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය තිබූ නමුත් එදිනම අල්ලස් පනත සම්බන්ධයෙන් විවාදයක් ද පැවැත්වීමට නියමිතව තිබුණි. මෙම පනත් දෙක සඳහාම කතිකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත්ව සිටීම හේතුවෙන් ඉතාමත් කාලෝචිත වූ අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉදිරි දිනයක විවාදයට ගැනීමට තීන්දු කරන ලදී.

මෙවැනි පනතක් සාධාරණ, නිදහස් සහ ශිෂ්ටසම්පන්න සමාජයක සෑම පුරවැසියකුම හිමි මානව අයිතිවාසිකමකි.

මෙම පනතේ මූලික අරමුණවුයේ ශ්‍රී ලංකාවේ උපදින, ජීවත්වන සෑම මනුස්සයකුටම බලහත්කාරී පැහැර ගැනීමකට, අතුරුදන් කිරීමකට මෙන්ම අයුතු සිරගත කිරීමකට ගොදුරු නොවී ජීවත්වීමේ නිදහස ස්ථාපිත කිරීමයි.

මෙවැනි පනතක් හරහා සුදුවෑන් සංස්කෘතියටත් රාජ්‍ය අනුග්‍රහයෙන් විරුද්ධවාදීන් අතුරුදන් කිරීමේ, පැහැරගැනීමේ කලාවටත් සදහටම නැවතීමේ තිත තැබීමේ ක්‍රියාදාමය පිළිබඳ මේ රටේ සියලු පුරවැසියන් සතුටු විය යුතුය.

නමුත් එදා සුදුවෑන් සංස්කෘතිය අප රටට හඳුන්වා දුන් දේශපාලන අවතාර සුපුරුදු පරිදි අද මේ රටේ ජනතාව නොමග යැවීමේ උත්සාහයේ නිරතව සිටීයි. බලලෝභී චේතනාවෙන් කරනු ලබන එවැනි බොරු බේගල් සමාජගත කිරීමේ නින්දිත උත්සාහයන් අප පිළිකුලෙන් යුතුව හෙළාදකින්නෙමු.

මෙම පනත අනාගතයට පමණක් බලපාන පනත් කෙටුම්පතක් වන බවත් අතීතයට කිසිදු අකාරයක බලපෑමක් සිදු නොකරන බවත් සඳහන් කරමු. එමෙන්ම මෙම පනතින් අනාගතයේ මේ මහපොළොවේ උපදින දූදරුවන්ට පසුගිය යුගයේ සිදු වූවාක්මෙන් ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු නොවීමට වගබලා ගනු ඇත.

එමෙන්ම සුදුවෑන් සංස්කෘතිය සදහටම මේ රටින් තුරන් කර දැමීම, මිනිසත්කමේ ගඳසුවඳ හඳුනන කිසිවකුට හෝ ප්‍රශ්නයක් දැයි අප අසන්නට කැමැත්තෙමු. මෙම පනතට විරුද්ධ වන අය නොකියා කියා සිටින්නේ, අනාගතයේදී පවා මේ රටේ තරුණ ජීවිත අමු අමුවේ බිලිගැනීමට, විනාශ කිරීමට අවස්ථාව තිබිය යුතු බව නොවේද?

එපමණක් නොව මේ පනත තුළින් රණවිරුවන්ට හානියක් සිදුවනවා යැයි පසුගියදා රාජපක්ෂවාදීන් මාධ්‍ය හමුවේ පවසා තිබීම තුළින් ඔවුන් මුළු ලෝකයා හමුවේ කියා සිටින්නේ, ඔවුන්ගේ පාලන කාලයේ දී සිදුකළ අතුරුදන් කිරීම්, පැහැරගැනීම් හා අයුතු ඝාතනයන් සියල්ලට මේ රටේ ආරක්ෂක හමුදාව වගකිවයුතු බව නොවේද? ඒ හරහා රණවිරුවා යුද අපරාදකරුවකු ලෙස හංවඩුගැසීමක් නොවේද? මෙවැනි ජුගුප්සාජනක ක්‍රියා තුළින් මහින්ද රජපක්ෂ මන්ත්‍රීවරයා, ඔහුගේ දෙබිඩි පිළිවෙත නැවත වතාවක් මේ රට හමුවේ හෙළිදරව් කරමින් සිටින අතර සියතින්ම සමාජය ඉදිරියේ නිරුවත් වෙමින්ද සිටීයි.

මෙහි විහිලුසහගත තත්ත්වය වන්නේ බලහත්කාරයෙන් හෝ නොසැලකිලිමත් අතුරුදහන් වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ඉල්ලමින් මෙම සම්මුතිය පිළිබඳව මුල්වතාවට අප රටේ අවධානය යොමුකරවන ලද්දේ 1989 දෙසැම්බර් 04 වැනි දින පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්මය. එසේ මානව හිතවාදීව එදා කටයුතු කළ රාජපක්ෂ මන්ත්‍රීවරයා අද තමන්ගේම අතීතය අමතක කිරීම පිළිබඳ පුදුම විය යුතු නැත. මක්නිසාද යත් දේශපාලන බලලෝභීකමින් මත්වූ ඔහු දේශපාලන දෙබිඩ්ඩෙකු බවට පත්වී ඇති නිසාවෙනි. මෙවැනි දේශපාලන දෙපිටකාට්ටුවන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන තලයෙන් අතුගා දැමීමේ කාලය එළඹ ඇති බව අවසාන වශයෙන් සටහන් කරමු.

ඩෙංගු රෝගීන් 80,000 යි – මරණ 240 යි

යළිත් ඇදහැලෙන කඩින්කඩ වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු ඝනත්වය තුන් ගුණයකින් ඉහළ යා හැකි බවත්, මේ හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

එසේ වුවහොත් මීටත් වඩා වැඩි ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ද කියා සිටී. එම නිසා ඩෙංගු මර්දනය පෞද්ගලික වගකීමක්‌ ලෙස භාරගෙන ක්‍රියා කිරීම කාගේත් යුතුකමක්‌ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වන විටත් අංගොඩ උණ රෝහල, කොළඹ, කළුබෝවිල, මීගමුව, ජයවර්ධනපුර ඇතුළු රෝහල් ද ඩෙංගු රෝගීන්ගෙන් පිරීගොස්‌ තිබේ.

මේ වන විට දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 80,000 කට අධික සංඛ්‍යාවක්‌ වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එසේම මෙම වසරේ මේ දක්‌වා කාලය තුළ ඩෙංගු මරණ සංඛ්‍යාව 240 දක්‌වා ඉහළ නැග තිබේ.

කොළඹ, කළුතර, ගම්පහ, මාතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදී දිස්‌ත්‍රික්‌ක රැසක තවදුරටත් ඩෙංගු උණ තදින් පැතිර යමින් තිබෙන බව ද සෞඛ්‍ය අංශ කියා සිටී.

ප්‍රංශය පෙට්‍රල් - ඩීසල් වාහන තහනම් කිරීමට සැරසේ

වසර 2040 වන විට සියලූම පෙට්‍රල් සහ ඩීසල් වාහන ප්‍රංශය තුළ තහනම් කිරීමට සූදානම් බව එරට පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකොන් සිය පරිසර අමාත්‍යවරයා ලෙස නම් කර ඇත්තේ නිකලස් හුලෝ නමැති පරිසරවේදියෙක්.

ඔහු මෙම නව පියවර හැදින්වූයේ විප්ලවයක් ලෙසයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව පැරිස් කාලගුණ ගිවිසුමෙන් ඉවත් වීම ප්‍රකාශයට පත් කිරීමත් සමගයි ප්‍රංශය මෙම තීරණයට එළඹී ඇත්තේ.

දැනට ප්‍රංශයේ හයිබ්‍රිඩ් සහ විදුලි වාහන ප්‍රතිශතය සියයට 5 කට ආසන්න වන අතර, 2040 වන විට එය සියයට සියය දක්වා ඉහළ නැංවීම එරට රජයේ ඉලක්කයයි.

රුධිර පරීක්ෂණ ගාස්තු අඩු නොකළ පුද්ගලික රෝහල් ගැන විමර්ෂණ

ඩෙංගු වසංගත තත්ත්වය අවසන් වන තෙක් රුධිර පරීක්ෂණ ගාස්තු අඩු කකිරීමට ලබාදුන් නියෝග කඩ කරන පෞද්ගලික රෝහල් හා රසායනාගාර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ තීරණයක් අනුව අදාළ විමර්ශන සිදුකෙරෙන බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සහ පෞද්ගලික වෛද්‍ය සේවා සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ කාන්තා ආරියරත්න මහත්මිය විසින් මේ පිළිබදව පෞද්ගලික රෝහල් සංගමයට දැනුම්දී තිඛෙනවා.

ඩෙංගු රුධිර පරීක්ෂණය රුපියල් දහසකටත් පූර්ණ රුධිර පරීක්ෂණය රුපියල් 250ත් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය මාසයේ සියලු පෞද්ගලික රෝහල් හා රසායනාගාරවලට දැනුම්දීමක් සිදුකරනු ලැබුවා.
කෙසේ වෙතත් එම නියමය ඇතැම් රෝහල්වල ඉටු නොවන බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

ඒ අනුව ඩෙංගු හා පූර්ණ රුධිර පරීක්ෂාවන් සඳහා වැඩි මුදල් අයකරන රෝහල් හා රසායනාගාර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිඛෙනවා.

පාසැල් දරුවන්ට ස්මාර්ට් දුරකථන දෙන්න එපා – ළමා හා කාන්තා කාර්යාංශය

වර්තමානයේ පාසල් යන දුවා දරුවන් ගැන දෙමාපියන් මීට වඩා අවධානය යොමුකරන ලෙසත්, පාසල් ගිය පසු හා පෞද්ගලික උපකාරක පන්ති ගිය පසු ඔවුන් කරන කියන දැ ගැන මාපියන් අවධානය යොමු කළ යුතු බවත්. පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා ලංකා රාජිණි මහත්මිය පැවැසුවාය.

විශේෂයෙන්ම දරුවන්ට ස්‌මාර්ට්‌ ජංගම දුරකථන භාවිත කිරීමට ඉඩ නොදීම ඉතා වැදගත් බවද පැවසූ පොලිස්‌ අධිකාරිණී ලංකා රාජිණි මහත්මිය මෙසේද කීවාය.

අද බොහෝ පාසල් දරු දැරියන් ස්‌මාර්ට්‌ ජංගම දුරකථන භාවිත කරනවා. මේවා මගින් ෆේස්‌බුක්‌ ගිහින් ළමයි නිකන් අමාරුවේ වැටෙනවා. මේවාට දෙමාපියන් වගකිව යුතුයි. විශේෂයෙන් දෙමාපියන්ට කියන්නේ පාසල් වියේ දරුවාට ජංගම දුරකථන දෙන්න එපා කියලයි. එපමණක්‌ නොවෙයි දරුවෙක්‌ දිවි නසා ගන්න වුණත් මේ ජංගම දුරකථනය ඉවහල් විය හැකියි. ඒ නිසා නිරන්තරයෙන්ම දෙමාපියන් තම දරුවන් පාසල් ගියාම මොනවද කරන්නේ කියලා හොයලා බලන්න.

කාලෝ පත් නොකළොත් යළි වර්ජනයක් / වර්ජන සංගමය අනතුරු අගවයි

වෛද්‍ය සභාවේ සභාපති ධූරයට කාලෝ ෆොන්සේකා මහතා හැර වෙනත් පුද්ගලයෙකු පත්කරනු ලැබුවහොත් එදින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රකාශ කළා.

නීත්‍යානුකූලව තවමත් වෛද්‍ය සභාවේ සභාපතිවරයා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා බවත් මේ වසරේ ජනවාරි මාසයේ සිට වසර 05ක් යන තුරු එම තනතුර මහාචාර් කාලෝ ෆොන්සේකා මහතාට හිමිවන බවත් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා 09 කියා සිටියේ කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

කෙසේ වෙතත් තවදුරටත් තමන් එම ධූරය දැරීමේ සූදානමක් නොමැති බවයි මහාචාර්යය කාලෝ ෆොන්සේකා මහතා පසුගියදා සදහන් කළේ.

මේ වන විට වසරේ ගතවී ඇති කාලසීමාව තුල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජන ක්‍රියාමාර්ග 10 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇති අතර තවත් වර්ජන අවස්තා කිහිපයක් ක්‍රියාත්මක කළහොත් එය වර්ෂයක් තුල වැඩිම වර්ජන ක්‍රියාත්මක කළ කණ්ඩායම බවටද පත්වනු ඇති.