17 July 2017

රොෂේන් චානක මියයාම ගැන විමර්ශන වාර්තාව එළි දකී

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර 2011 වසරේදී වෙඩි ප්‍රහාරයකින් රොෂේන් චානක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාවේ ඇතුලත් කරුණු අද (17) එළිදැක්වුණා.

මෙම වාර්තාව වසර 06කට පසු මියගිය රොෂේන් චානකගේ මවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පසුගිය 13 වනදා ලබාදී ඇත්තේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සේවක අර්ථ සාධක අරමුදල් කොල්ලකෑමේ උත්සහයක් පවතින බවට පවසමින් නිදහස් වෙළඳ කලාප සේවකයින් පිරිසක් විරෝධතාවයේ නිරතවූයේ 2011 වසරේ මැයි මස 30 වැනිදායි.

එහිදී පොලිස් වෙඩි පහරින්  රොෂේන් චානක ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබුවා.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලිමට හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදීම  හිටපු මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළ අතර එම වාර්තාවේ අඩංගු කරනු ප්‍රසිද්ධ කර තිබුණේ නැහැ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ දත්ත සහිත නව වෙබ් අඩවියක්


ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ දත්ත සම්බන්ධයෙන් කාලීනව පවත්නා ඉල්ලුම හේතු කොටගනිමින්ද, එම දත්ත භාවිත කරන්නන්ගේ පහසුව සලකා බලමින්ද, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි Gender Statistics නමින් නව වෙබ් පිටුවක් නිර්මාණය කර තිඛෙනවා.

එමගින් ප්‍රධාන ක්ෂේත්‍ර 6ක් යටතේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ දත්ත පරිශීලනය කිරීමට මෙන්ම, දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ දත්ත ඇතුළත් ප්‍රකාශනවල මෘදු පිටපත්ද පරිශීලනය කිරීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂ 1995 සිට මේ දක්වා විවිධ ක්ෂේත්‍ර තුළ ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් වෙන්ව රැස්කර ඇති තොරතුරු පහසුවෙන් ලබාගැනීමට ඉඩ අවකාශය සැලසීම මෙම නව වෙබ් පිටුව නිර්මාණය කිරීම තුළින් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

අන්තර්ජාලය අවභාවිතාව ගැන පැමිණිලි 1600ක්

අන්තර්ජාලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් 2017 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුල පැමිණිලි 1600 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පවසයි.

මෙයින් සියයට අසුවක් පමණ පැමිණිලි ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස් බුක් ගිණුම්වලට අදාළව බව සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අ‍ලෙවි කිරීමේ කිරීමේ නිරත ආයතන ලෙස පෙනී සිටිමින් කූට ලෙස මුදල් වංචා කිරීම් සම්බන්ධ පැමිණිලි කිහිපයක් ද ලැබී ඇතැයිද ඒ මහතා පවසයි.

අන්තර්ජාලය ඔස්සේ සේවා ලබා ගැනීමට යොමු වීමේදී තමන් ගණුදෙණු කරන්නේ ව්‍යාජ පුද්ගලයින් සහ ආයතන සමග නොවන බවට මුලින්ම තහවුරු කර ගන්නා ලෙසද චන්ද්‍රගුප්ත මහතා ඉල්ලීමක් කරයි. මීට සති කිහිපයකට ඉහතදී බ්‍රිතාන්‍යය යුක්රේනය ඇතුළු රටවල් කිහිපයකට එල්ල වු පරිගණක වෛරසයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් වු බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයිද චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් එවැනි තත්ත්වයන් ගැන තම සංසදය නිරතුරු අවධානයෙන් සිටින බවද චන්ද්‍රගුප්ත මහතා පවසයි.

සැක සහිත ඉ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම මෙන්ම තම පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොණු පිංතූර දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීමත් (backup) වඩාත් ආරක්‍ෂාකාරී උපක්‍රමයක් බවත් එසේම තම පරිගණකයේ ස්ථාපිත කර තිබෙන ප්‍රති වෛරස මෘදුකාංගය (Virus Guard) නිරන්තරයෙන් යාවත්කාලීන කර ගැනීමෙනුත් පරිගණකය වෛරස වලට ලක්වීම බෝහෝවිට වළකා ගැනීමට හැකිවන බවත් සංසදය සඳහන් කරයි.

www.cert.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගත හැකි වේ.

අස්විය යුත්තේ නායකයා පමණද? එතකොට අනික් ලොක්කෝ?

නායකයා වෙනස් වූ පමණින් ජයග‍්‍රහණය කළ හැකිද? යන ප‍්‍රශ්නය ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ට පසුගිය බදාදා යොමු කළද එයට පිළිතුරක් නොලැබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල ඇද වැටී තිබෙන තත්ත්වය නායකයා පිටින් යවා ක‍්‍රිකට් ලොක්කන්ට, තේරීම් කමිටුවට සහ ක‍්‍රීඩා අමාත්‍යවරයාට වගකීමෙන් ගැලවිය නොහැක.

සිම්බාබ්වේ හමුවේ ලැබූ පරාජය සම්බන්ධයෙන් ලැජ්ජාවට හෝ කළකිරීමට පත්ව ඉල්ලා අස්වීමට ඇන්ජලෝ මැතිව්ස්ට කොන්දක් තිබීම පිළිබඳව ගරුකළ යුතුය. ක‍්‍රිකට් ලොක්කන් තේරීම්වලට බලපෑම් කරන බව කළින්ම පැවසුවේ අප නොව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියමය.

දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකයා සහ උපුල් තරංග එක්දින සහ විස්සයි20 නායකයා ලෙස පත්කිරීමත් සමඟ ශ්‍රී ලංකා පිල ගොඩගත හැකියැයි කවුරුන් හෝ සිතන්නේ නම් එය මිත්‍යාවකි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල ගොඩගැනීමට නම් දේශපාලකයන් සහ ක‍්‍රිකට් ලොක්කන් ඇඟිලි නොගසන තේරීම් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය. එවැනි පරිසරයක් නිර්මාණය කිරීමට තේරීම් කමිටුවට කොන්දක් තිබීමද අවශ්‍යය.

සිම්බාබ්වේ සංචාරයේ පරාජයන් පිළිබඳව බොහෝ දෙනා අතර සැකයක්ද මතු වී තිබුණි. සැකය කුමක්දැයි ක‍්‍රීඩා ලෝලීන්ට අමුතුවෙන් කියයුතු නැත.

සූරියවැවදී පැවැති සිවුවැනි තරගයට ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන්නා වන නුවන් කුලසේකර සහ ළහිරු කුමාර සිටියදී අසිත ප‍්‍රනාන්දු වැනි ආධුනිකයකු ක‍්‍රීඩා කළේ කුමන හේතුවක් මතද යන්න කිසිවකු නිවැරදිව ප‍්‍රකාශ කර නොමැත.

නුවන් කුලසේකර, ළහිරු කුමාර, තිසර පෙරේරා සහ විකුම් සංජය එක්දින තරගාවලිය වෙනුවෙන් කොළඹදී සුදු පන්දුවෙන් පුහුණුවීම් කරමින් සිටියහ. එම ක‍්‍රීඩකයන් සිවුදෙනාම පැත්තකට විසිකර රතු පන්දුවෙන් පුහුණුවීම් කළ අසිත ප‍්‍රනාන්දු තරගයට ක‍්‍රීඩා කිරීම ක‍්‍රීඩකයන් ද විශ්මයට පත්කළ බව වාර්තා වේ. කණ්ඩායම් දෙකම පෙර තරග තුනම ජයගත්තේ හඹා ගොසිනි.

එසේ ජය ලබා තිබියදී සූරියවැවදී සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ලැබූ මැතිව්ස් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. කෙසේ වෙතත් සිම්බාබ්වේ පිල ඉනිම ආරම්භයේ සිටම වේගයෙන් ලකුණු රැස්කරමින් ජයග‍්‍රහණයට පසුබිම සකස් කරගැනීමෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්විය. මැතිව්ස් පරාජයෙන් පසුව පෙරදින වැස්සේ දැයි මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටීමද ගැටලුවකි.

එම තරගයේදී ලකුණු 209 ක ආරම්භක සම්බන්ධතාවක් ලැබී තිබියදී කුසල් මෙන්ඩිස් හයවැනි ස්ථානයට තල්ලු කරමින් ඇන්ජලෝ මැතිව්ස් අංක තුන ස්ථානයේ පන්දුවට පහර දුන් අතර ඒ හේතුවෙන් ලකුණු 340 ක් පමණ රැස්කිරීමට තිබූ අවස්ථාව මඟ හැරී ගියේය.

පස්වැනි තරගයට දඟ කැවෙන තණතීරුවක් සකස් කර තිබුණද ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ වේගපන්දු යවන්නන් තිදෙනකු සහ එක දඟපන්දු යවන්නකුගෙනි. මේ පිළිබඳව කථා කිරීමට කිසිවක් නැත. එහිදී අකිල ධනංජයට සහයට පා දඟ පන්දු යවන්නකු හිටියේ නම් ශ්‍රී ලංකාවට ලකුණු 203 ආරක්‍ෂා කර ගැනීමටද හැකියාව තිබූ බව ඉතාම පැහැදිලිය.

පා දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර එක්දින සංචිතයත් සමඟ කොළඹ පුහුණුවීම් කරමින් සිටි අතර ඔහු කැඳවා තරගයට සහභාගි කරවූයේ නම් ඇතැම් විට ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය උද්ගත නොවීමට ද ඉඩ තිබුණි.

ඇන්ජලෝ මැතිව්ස්ට පෙර අස්විය යුතුව තිබුණේ මෙම ඔලමොට්ටල තීරණ ගත් නිලධාරීන්ය. නමුත් එවැනි දෙයක් සිදුවී නොමැත.

ක‍්‍රිකට් ලොක්කන් තම හිතවතුන්ගේ ක‍්‍රීඩා සමාජවල ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමට ජාතික කණ්ඩායම පරදුවට තැබීම කනගාටුවට කරුණකි.

අසිත ප‍්‍රනාන්දුගේ සංප‍්‍රාප්තිය ද එවැනි එකක් බවට ද කථා පැතිර ගියේය. කලිසම් ගැලවිය යුත්තේ කවර අදින සේවකයන්ගේ නොවේ යැයි ක‍්‍රිකට් ලෝලීන් පවසන්නේ නිකම්ම නොවේ.

(පුවත්පතකින් උපුටගැනිමකි)

දූෂණ මර්දන කාර්යාලය වැසීම ගැන විවාදයක් ඕනෑ

දූෂණ මර්දන කමිටු ‍ලේකම් කාර්යාලය ආණ්ඩුව විසින් වසා දැමීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ වැදගත් සාකච්ඡාවක් ඇති. විය යුතු බැවින්, මේ තත්ත්වය සම්බන්ධයෙන් එක් දින විවාදයක් ලබාදෙන ලෙසට සිය පක්ෂය කථානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ අනුව ජූලි මස දෙවන පාර්ලිමේන්තු සතිය තුළදී මේ පිළිබඳ එක්දින විවාදයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමින්, කථානායකවරයාට ලිඛිත ඉල්ලීමක් කිරීමටද එම පක්ෂය පියවර ගෙන තිබේ.
පසුගිය පාලනය පෙරළා දමමින් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදි ජනතාව හමුවේ තබන ලද ප්‍රධානතම ‍පොරොන්දුවලින් එකක් වූයේ වංචාවලට සහ දූෂණවලට එරෙහිව ක්‍රියාත්මක වීමට තමන් සූදානම් බව යැයි ද එසේ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වූ දින සියය යෝජනාවලටද පසුගිය කාලයේ සිදුව ඇති මහ පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා විනිශ්චය සභා පත්කරන බවට ‍පොරොන්දුවක් ඇතුළත්ව තිබුණේද මේ තත්ත්වය තුළ යැයි කථානායකවරයා වෙත යවා ඇති එම ලිපියේ අවධාරණය කර ඇත.

එහි අවම පියවරක් ලෙස 2015 පෙබරවාරි 19 දින ආරම්භ කරන ලද, දූෂණ මර්දන කමිටු ‍ලේකම් කාර්යාලය ආණ්ඩුව විසින් 2017 ජුනි 30 දින සිට වසා දමා ඇත. මෙය රටේ දූෂණයට එරෙහි සටන හිතාමතා අඩපණ කරදැමීමේ පියවරක් බව ජනතාවගේ අදහස් යැයිද ඒ මහතා පවසයි.

මෙම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ වැදගත් සාකච්ඡාවක් ඇතිවිය යුතු යැයි සිය පක්ෂය විශ්වාස කරන අතර ඒ අනුව ජූලි මස දෙවන පාර්ලිමේන්තු සතිය තුළදී අදාළ එක් දින විවාදයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

දකුණු පැසිෆ්ක් සාගරයේ දැවැන්ත ප්ලාස්ටික් දූපතක්

 දකුණු පැසිෆික් සාගරයේ වර්ග කිලෝමීටර් මිලියන 2.5ක පමණ විශාල කුණු දූපතක් නිර්මාණය වී ඇති බව විද්‍යාඥයෝ අනාවරණය කරති.

වර්ෂ 1997 දී උතුරු පැසිෆික් සාගරයේ මෙවැනිම දැවැන්ත කුණු දූපතක් පිළිබඳ පර්යේෂණ සිදුකළ කපිතාන් චාල්ස් මූර් මෙම අනාවරණය සිදුකර තිබේ.

සාගර විද්‍යාඥයෙකු වන ආචාර්ය එරික් වෑන් සෙබිල් පවසන පරිදි සාගරයේ පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපට විශ්වාස කළ නොහැකි තරමේ වර්ධනයක් පෙන්වා ඇත. ආරම්භයේදී උතුරු පැසිෆික් කලාපයේ පමණක් මෙවැනි කුණු දූපත් දැකගත හැකි වුවත්, මේ වනවිට දකුණු පැසිෆික්, ආක්ටික් සහ මධ්‍යධරණී මුහුදු කලාපයේද මේවා පවතී.

එහිදී, සාගරයට එකතු වන මේ දැවැන්ත ප්ලාස්ටික් තොගය පිළිබඳ නිසි අවබෝධයක් හෝ හඳුනාගැනීමක් කිරීමට මිනිසා අපොහොසත් වුවහොත්, ඒ තුළින් පෘථිවි වාසීන්ට ඇති කෙරෙන බලපෑමද හඳුනාගත නොහැකි වනු ඇති බව විද්‍යාඥ මතයයි.

ලෝකයේ කුණු ප්‍රශ්නය බලපා ඇත්තේ අප ජීවත්වන ගොඩබිමට පමණක් නොව, මේ වනවිට සාගරයද කුණු ප්‍රශ්නයෙන් දැඩිව බැටකෑමට සාගරයට එකතුව වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතු වන බව නොරහසකි.

රාජපක්‌ෂ ආණ්‌ඩුවේ මිග් යානා ගනුදෙනුව සිදු වූ හැටි මෙන්න

රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයට පැමිණි අලුත, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තිබුණු මිග් ප්‍රහාරක යානා හතරක්‌ අලුත්වැඩියා කිරීමේදී හා තවත් මිග් – 27 ගුවන්යානා හතරක්‌ යුක්‌රේනයෙන් මිලදී ගැනීමේදී සිදුවූවා යෑයි කියන මහා වංචාවක්‌ ගැන මුලින්ම හෙළිදරව් වූයේ 2006 දී ඉංග්‍රීසි පුවත්පත් දෙකක පළ වූ වාර්තා වලිනි. 2015 ජනවාරියේදී සිදුවූ ආණ්‌ඩු වෙනසින් පසු මේ මිග් ගනුදෙනුව විමර්ශනය කිරීමට අලුත් ආණ්‌ඩුව උනන්දුවක්‌ දක්‌වා ඇත. එම විමර්ශනයේ ප්‍රගතිය ගැන ඉඳහිට මාධ්‍ය වාර්තා ද පළ වේ. වසර 2000 දී ගුවන් හමුදාව මුල්වරට මිග් – 27 යානා හතරක්‌ මිලදීගත් අවස්‌ථාවේදී ඒවා නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ, විශේෂ වාහන හා අමතර කොටස්‌ ද සහිතව එක යානාවක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක්‌ විය. එම වසරේදීම මාස කීපයකට පසු තවත් මිග් – 27 යානා දෙකක්‌ මිලදී ගනු ලැබූ අතර ඉන් එකක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක්‌ විය. එයත් සමඟ මිග් – 23 වර්ගයේ පුහුණු කිරීමේ යානාවක්‌ ද ඇමෙරිකානු ඩොලර් ලක්‌ෂ නවයකට මිලදී ගනු ලැබිණි. මේ සියල්ලම ලංකාවට ගෙන ඒමට ප්‍රවාහන ගාස්‌තුව ඇමෙරිකානු ඩොලර් 845,000 ක්‌ විය.

නමුත් 2006 රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ තවත් මිග් යානා හතරක්‌ මිලදී ගන්නා විට එක ප්‍රහාරක යානාවක මිල ඇමෙරිකානු ඩොලර් 2,462,000 ක්‌ වූ අතර ප්‍රවාහන ගාස්‌තුව ඇමෙරිකානු ඩොලර් 460,000 ක්‌ විය. මෙයත් සමඟ 2000 වසරේදී මිලදී ගනු ලැබූ මිග් යානාවලින් ඉතිරිව තිබූ යානා හතරක්‌ අලුත්වැඩියා කරනු ලැබූ අතර මෙය ද අධික මිලට කරනු ලැබූ බවට චෝදනාවක්‌ විය. 2000 දී ඇ. ඩො. ලක්‌ෂ නවයකට මිලදී ගනු ලැබූ මිග් – 23 වර්ගයේ පුහුණු කිරීමේ යානය 2006 දී ඇ. ඩො. ලක්‌ෂ 11 කට – එය මිලදීගත් මුදලටත් වඩා – වැයකරමින් අලුත්වැඩියා කිරීම මීට උදාහරණයක්‌ වශයෙන් දක්‌වා තිබුණි. 2006 මිග් ගනුදෙනුවට සම්බන්ධ අනෙක්‌ චෝදනාව වූයේ මිග් – 27 යානා හතරක්‌ මිලදී ගැනීම සඳහාත් ගුවන් හමුදාවට තිබුණු මිග් යානා 4 අලුත්වැඩියා කිරීම සඳහාත් ගෙවනු ලැබූ මුදල සැපයුම්කරු වන යුක්‌රේනයේ “යුක්‌රීන්මාෂ්” සමාගමට නොගෙවා බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ සමාගම නමැති සැකසහිත තුන්වැනි පාර්ශ්වයකට ගෙවා තිබීමයි. මේ බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ සමාගම සැබෑ ව්‍යාපාරික සමාගමක්‌ නොව හොර ගනුදෙනු සඳහා පවත්වාගෙන යනු ලැබූ රූකඩ සමාගමක්‌ බවට ද 2006 දී පෙර කී ඉංග්‍රීසි පුවත්පත් දෙකේ පළ වූ වාර්තාවල සඳහන් විය. 2006 මහා මිග් මගඩිය වශයෙන් අදහස්‌ වන්නේ මේ චෝදනා දෙකය.


2000 දීත් 2006 දීත් මිලදී ගනු ලැබූ මිග් ගුවන්යානාවල මිලෙහි සැලකිය යුතු වෙනසක්‌ තිබීමට හේතුව අදාළ මිලදීගැනීමේ ගිවිසුම් හා වෙනත් ලියෑවිලි කියවා බැලීමෙන් පැහැදිලි වේ. මෙකී මිග් ප්‍රහාරක යානා ගනුදෙනුවට අදාළ සියලුම ලියෑවිලි ගල්කිස්‌ස දිස්‌ත්‍රික්‌ උසාවියේ නඩුවකට අදාළ ලිපි ලේඛන හැටියට තැන්පත් වී ඇත. 2006 දී රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයට එන විට 2000 වසරේදී මිලදී ගන්නා ලද මිග් යානා හතෙන් තුනක්‌ 2001 ජූලි 24, 2001 අගෝස්‌තු 18 හා 2004 ජූලි 09 යන දිනවලදී විනාශ වී තිබුණි. ඉතිරි මිග් යානා හතරේ සේවා කාලය ඉකුත් වී තිබීම හේතුවෙන් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක විය. එවක සිටි ගුවන් හමුදාපතිවරයා තවත් මිග් යානා හතරක්‌ මිලදී ගත යුතු යෑයි එකල පැවති එජාප ආණ්‌ඩුවට 2003 මාර්තු 12 දින ඇති ලිපියකින් නිර්දේශ කරනු ලැබූ අතර එම වසරේදීම ඒ සඳහා ලන්සු කැඳවීමක්‌ ද සිදුවිය. 2003 අප්‍රේල් 22 වැනිදා යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගම මිග් – 27 යානා හතරක්‌ සැපයීම සඳහා ඉදිරිපත් කළ ලංසුව පිළිගත යුතු යෑයි ගුවන් හමුදාපතිවරයා එජාප ආණ්‌ඩුවට නිර්දේශ කර තිබුණි. නමුත් 2003 දී මේ මිලදී ගැනීම සිදුවූයේ නැත.

2004 අප්‍රේල් මාසයේදී එජාප ආණ්‌ඩුව පරාජය වී නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් ආණ්‌ඩුවක්‌ පිහිටුවනු ලැබූ අතර ඒ ආණ්‌ඩුව යටතේ ද මේ මිලදීගැනීම සිදුනොවුණි. 2006 ජනවාරි 25 වැනිදා අලුතෙන් ආරක්‌ෂක ලේකම් ධුරයට පත්වී සිටි ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ද ලිපියක්‌ ලියමින්, ගුවන් හමුදාපතිවරයා විසින් මේ මිග් ප්‍රහාරක යානා හතර මිලදී ගැනීමේ කාරණය නැවතත් ඉදිරිපත් කරනු ලැබීය. අලුත් ආණ්‌ඩුව එම ඉල්ලීමට කන් දුන්නේය.

2006 වන විට ලෝකයේ කොතැනකවත් අලුත් මිග් යානා නොතිබුණි. මේ ප්‍රහාරක යානා මොඩලය අභිබවමින් මිග් – 29, මිග් – 31 යනාදී වශයෙන් වෙනත් නවීන මොඩල වෙළෙඳපොළට පැමිණ බොහෝ කලක්‌ ගතවී තිබුණි. නමුත් ඒ නවීන මිග් ප්‍රහාරක යානාවල මිල ඉතාමත් අධික විය. එමෙන්ම එතරම් ප්‍රබල ප්‍රහාරක යානා ලංකාවේ කාර්යයට අවශ්‍ය ද නොවීය. 2000 දී මුල්වරට මිග් – 27 යානා ගෙන්වීමෙන් පසු ඒවා ක්‍ෂණිකවම ගුවන් හමුදාව වඩාත් ප්‍රියකරන මොඩලය බවට පත්විය. වෙළෙඳපොළේ පැවති සියලුම මිග් – 27 යානා පැරැණි ඒවා වූ අතර ඉන් එක්‌ එක්‌ යානාවක පවතින සේවා කාලය අනුව මිල වෙනස්‌ විය. ඉතිරි වී ඇති සේවා කාලය වැඩි නම් මිල වැඩිය. එය අඩු නම් මිලත් අඩුය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අංශයේ අධ්‍යක්‌ෂ ජයනාත් කුමාරසිංහ මහතා ගල්කිස්‌ස දිස්‌ත්‍රික්‌ උසාවියේ සාක්‌ෂි දෙමින් පවසා සිටියේ 2000 වසරේදී මිලදීගන්නා ලද සියලුම ගුවන් යානා මිලදීගෙන තිබුණේ ‘පැවතුන තත්ත්වයෙන්ම’ මිස අලුත්වැඩියා කිරීමකින් පසුව නොවන බවයි. ගුවන්යානයක සේවා කාලය තීන්දු කරනු ලබන්නේ යානයේ කඳ සහ එන්ජිම සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමකට යොමුකිරීම සඳහා ඉතිරි වී ඇති කාලය අනුවයි.

මිග් – 27 ප්‍රහාරක යානාවකට තිබිය හැකි උපරිම සේවා කාලය ගුවන් යානාවේ කඳ සඳහා පියාසර පැය 850/ අවුරුදු 8 ක්‌ හා එන්ජිම සඳහා පියාසර පැය 550/අවුරුදු 7 ත් වේ. මෙහිදී පියාසර කරන පැය ගණන මෙන්ම අලුත්වැඩියාවකින් පසු ගතවන කාලය ද එක ලෙස වැදගත් වේ. ගුවන් යානාවක්‌ අලුත්වැඩියා කිරීමෙන් පසු පියාසර නොකෙරුවත් කාලය ගතවීමෙන් පමණක්‌ ඇතිවන පිරිහීමක්‌ ද වේ. ගුවන් යානාවක සේවා කාලය පියාසර කරන පැය ගණන මෙන්ම අවුරුදු ගණනක්‌ වශයෙන් ද ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. පියාසර පැය ගණන ඉකුත් වී නොතිබුණත් අදාළ අවුරුදු ගණන ඉක්‌මවා තිබේ නම් එම ගුවන්යානය අලුත්වැඩියාවකට යොමුකළ යුතුවේ. එම නිසා මිග් – 27 යානා මිලදීගැනීමේදී වැදගත් වන කාරණය වන්නේ විකුණුම්කරුවා අදාළ ගුවන්යානා සඳහා ලබාදෙන සේවා කාලය පිළිබඳ සහතිකයයි. 2000 දී මිලදීගත් මිග් යානා 7 සඳහා ලබාදී තිබුණු උපරිම සේවා කාල සහතිකය අවුරුදු 2 කි. නමුත් 2006 දී මිලදී ගනු ලැබූ හා අලුත්වැඩියා කරනු ලැබූ සියලුම මිග් – 27 යානා සඳහා යුක්‌රින්මාෂ් සමාගම ගුවන්යානා කඳ සඳහා පියාසර පැය 850/ අවුරුදු 8 හා එන්ජිම සඳහා පියාසර පැය 550/අවුරුදු 7 වශයෙන් සහතික කොට තිබුණි. මිග් 23 යානයේ එන්ජිමේ සේවා කාලය පමණක්‌ එම මොඩලයට ආවේණික ආකාරයට පියාසර පැය 400/අවුරුදු 7 වශයෙන් සහතික කොට තිබුණි. මේ කාරණා 2006 ජූලි 26 වැනිදා අත්සන් කරන ලද ගිවිසුමෙන් පැහැදිලි වේ.

මේ අනුව අපට පෙනීයන්නේ 2006 දී මිලදී ගනු ලැබූ මිග් – 27 යානාවක මිල ඇ. ඩො. 2,462,000 ක්‌ වශයෙන් සඳහන් වූයේ ඒවාට අලුත් ගුවන්යානාවලට සමාන සේවා කාල සහතික තිබුණු නිසා බවයි. 2000 දී ගත් මිග් යානාවල සේවා කාලය ඉකුත් වූ පසු ගුවන් හමුදාව මේවා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන් හා යුක්‌රේනයෙන් ලංසු කැඳවා තිබුණි. 2004 දී සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම ගුවන් හමුදාව සතු මිග් – 27 යානා තුන හා මිග් – 23 පුහුණු කිරීමේ යානය අලුත්වැඩියා කිරීමට ඇමෙරිකානු ඩොලර් 4,949,380 ක්‌ ඉල්ලා තිබුණි. මේ ගුවන්යානා ලංකාවෙන් ගෙනගොස්‌ ආපසු ගෙන ඒමට ප්‍රවාහන ගාස්‌තු වෙනම ගෙවිය යුතු විය. ඩී. එස්‌. එලායන්ස්‌ යනු 2000 දී මේ ගුවන්යානා මුලින්ම ලංකාවට විකුණූ ආයතනයයි. එමෙන්ම 2006 දී මෙකී මිග් යානා 4 අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවේ හින්දුස්‌තාන් එරොනොටික්‌ස්‌ සමාගම ද ලංසු ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් ඒ සඳහා ඇ. ඩො. 6,578,660 ක්‌ හා ප්‍රවාහන ගාස්‌තු හැටියට තවත් ඇ. ඩො. 650,216 ක්‌ ඉල්ලා තිබුණි. ඒ කාලයේම යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගමත් මේ අලුත්වැඩියාව සඳහා ලංසුවක්‌ ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් අලුත්වැඩියාවට ඇ. ඩො. 4,520,000 ක්‌ හා ප්‍රවාහන ගාස්‌තු වශයෙන් ඇ. ඩො. 240,000 ක්‌ ඉල්ලා තිබුණි. වෙනම මිලදීගන්නා මිග් – 27 යානා හතරේ ප්‍රවාහනයත් සමඟ මේවා එකට යන එන නිසා ප්‍රවාහන ගාස්‌තුව සෑහෙන ගණනකින් අඩුවිය. ගුවන් හමුදාව සතුව තිබුණු මිග් යානා හතර අලුත්වැඩියා කිරීමට මේ ආකාරයට රටවල් තුනකින් ඉදිරිපත් කර තිබූ ලංසු අනුව අඩුම මිල යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගම ඉදිරිපත් කර තිබූ බව පැහැදිලිය.

2006 දී මේ මිග් ගනුදෙනුව ගැන පෙරකී ඉංග්‍රීසි පුවත්පත් දෙකේ අසා තිබුණු ප්‍රශ්නයක්‌ වූයේ 2000 දී ඇ. ඩො. ලක්‌ෂ 9 කට මිලදීගත් මිග් 23 ගුවන්යානය අලුත්වැඩියා කිරීමට රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ ඇ. ඩො. 1,160,000 ක්‌ වැය වූයේ කෙසේ ද යන්නයි. නමුත් ඉහත සඳහන් කරන ලද ලංසු වලදී මේ මිග් – 23 ගුවන්යානය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම ඇ. ඩො. 1,299,045 ක්‌ ඉල්ලා තිබුණු අතර ඉන්දියාවේ හින්දුස්‌තාන් එරොනොටික්‌ස්‌ සමාගම ඇ. ඩො. 1,951,351 ක්‌ ඉල්ලා තිබුණි. ඒ අනුව මේ සඳහා අඩුම ලංසුව ඉදිරිපත් කර තිබුණේ යුක්‌රින්මාෂ් සමාගම විසිනි.

2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ඒ කාලයේ නඟනු ලැබූ ඊළඟ ප්‍රශ්නය වූයේ 2000 දී මිග් යානා මිලදී ගැනීමට ගිය මුදල අදාළ විකුණුම්කාර සමාගමට ගෙවා තිබුණ ද 2006 දී මිග් – 27 යානා හතරක්‌ මිලදීගැනීම හා තවත් මිග් යානා හතරක්‌ අලුත්වැඩියා කිරීම සඳහා ගිය මුදල සැපයුම්කරු වූ යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගමට නොගෙවා සැක සහිත තුන්වැනි පාර්ශ්වයක්‌ වූ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ නමැති සමාගමකට ගෙවා තිබුණේ මන්ද යන්නයි. 2006 පෙබරවාරි 6 වැනිදා යුක්‌රින්මාෂ්a සමාගම අදාළ ලංසුව ශ්‍රී ලංකා ආණ්‌ඩුවට ඉදිරිපත් කළ ලියෑවිල්ලේම සඳහන් කර තිබෙන පරිදි මේ ගනුදෙනුව සඳහා යුක්‌රින්මාෂ් සමාගමට මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සිදුවන්නේ මූල්‍ය සමාගමක්‌ විසින්ය. එමනිසා සියලු ගෙවීම් සිදුකළ යුත්තේ ඒ සමාගමට බව එම ලියෑවිල්ලේ පැහැදිලිවම සඳහන් විය.

යුක්‌රින්මාෂ් සමාගමේ අධ්‍යක්‌ෂ ඩී. ඒ. පෙරුගුඩොව් පසුව ශ්‍රී ලංකා ආරක්‌ෂක අමාත්‍යාංශය වෙත ලිපියකින් දන්වා සිටියේ යුක්‌රින්මාෂ්a සමාගම යුක්‌රේන් රජයට සම්පූර්ණයෙන්ම අයිති සමාගමක්‌ බවත්, ඔවුන්ගේ නීතියට අනුව ලංකාවේ ආණ්‌ඩුවෙන් ඉල්ලා තිබෙන ආකාරයට ණයට භාණ්‌ඩ සැපයිය නොහැකි බවත්, ඒ හේතුවෙන් බාහිර සමාගමක්‌ හරහා අදාළ පහසු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි. මෙය ලීසිං සමාගමක මැදිහත්වීමෙන් වාහනයක්‌ මිලදී ගැනීම වැනි ක්‍රියාදාමයක්‌ විය. ඊට කලින් පැවති එජාප ආණ්‌ඩුව ද මිග් යානා මිලදී ගැනීමට ලංසු කැඳවූ අවස්‌ථාවේදී යුක්‌රින්මාෂ් සමාගම 2003 අප්‍රේල් 22 එවක ආරක්‌ෂක ඇමැති තිලක්‌ මාරපන මහතා වෙත එවා තිබූ ලංසුවේ ද ඔවුන් සඳහන් කර තිබුණේ අදාළ මිලදී ගැනීම සඳහා මූල්‍ය පහසුකම් වෙනත් සමාගමක්‌ විසින් සපයන බවත් සියලු ගෙවීම් සිදුකළ යුත්තේ ඒ අදාළ සමාගමට බවත්ය. 2003 දීත් 2006 දීත් යුක්‌රින්මාෂ් සමාගම ලංකාවට මිග් යානා සැපයීමට ඉදිරිපත් වී සිටියේ ගෙවීම් තුන්වැනි පාර්ශ්වයකට කළ යුතු බවට කොන්දේසියක්‌ ද සහිතවය.

2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව විසින් මිග් යානා මිලදී ගන්නා විට මෙවන් කොන්දේසි නොතිබුණේ ඒ අවස්‌ථාවේදී විකුණුම්කාර පාර්ශ්වය වූ සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම විසින්ම අදාළ මූල්‍ය පහසුකම් ලංකා ආණ්‌ඩුවට සපයා තිබීම නිසාය. 2000 දී ලංකාවට මිග් යානා විකිණුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම විසින් වුවත් ඒ අවස්‌ථාවේදී ද සැබෑ සැපයුම්කරු වූයේ යුක්‌රින්මාෂ් සමාගමයි. ඩී. එස්‌. එලයන්ස්‌ හුදෙක්‌ම අතරමැදියෙක්‌ පමණක්‌ම විය. 2006 ජූලි 26 වැනිදා මිග් යානා හතරක්‌ මිලදීගැනීමට හා තවත් මිග් යානා හතරක්‌ අලුත්වැඩියා කිරීමට ගිවිසුම අත්සන් කරන අවස්‌ථාවේදී එයට පාර්ශ්වකරුවන් තුනක්‌ සිටියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැනුම්කරුවා වූ අතර යුක්‌රින්මාෂ් සමාගම විකුණුම්කරුවා විය. බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම ගෙවීම් ලබන මූල්‍ය සමාගම හැටියට එම ගිවිසුමට අත්සන් කරන ලදී. මේ ගනුදෙනුවට මූල්‍ය පහසුකම් සපයන්නේ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම බව විකුණුම්කාර පාර්ශ්වයත් ගැනුම්කාර පාර්ශ්වයත් අවබෝධයෙන් සිටින බවත්a, ප්‍රවාහන ගාස්‌තුව ද ඇතුළුව සියලු ගෙවීම් කළ යුත්තේ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගමට බව දෙපාර්ශ්වයෙන්ම පිළිගන්නා බවත්, එම ගිවිසුමේ 23.1 වගන්තියේ සඳහන් විය. 2006 ජූලි 31 වැනිදා යුක්‌රින්මාෂ් සමාගම මේ ගනුදෙනුවට අදාළ ඉන්වොයිසිය ගුවන් හමුදාවට එවූ අවස්‌ථාවේදී ද ලංකා බැංකුව විසින් මේ ගනුදෙනුවට අදාළ ණයවර විවෘත කළ යුත්තේ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගමේ නමින් බව සඳහන් විය.

ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අවි මිලදීගන්නා විට අදාළ අවි භාවිත වන්නේ කුමන රටේ ද යන්න පෙන්වන “භාවිතා කරන්නාගේ සහතිකයක්‌” (එන්ඩ් යූසර් සර්ටිෆිකේට්‌) නිකුත් කරනු ලැබේ. 2006 ජූලි 15 වැනිදා මිලදීගන්නා ලද මිග් – 27 යානා හතර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත් කර තිබූ “භාවිත කරන්නාගේ සහතිකයේ” ද සඳහන් වී තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම විසින් මිග් – 27 ගුවන්යානා හතරක්‌ මිලදීගන්නා බවත් එම ගුවන්යානා භාවිතා වන්නේ ලංකාවේ පමණක්‌ බවත්, යුක්‌රේනයේ බලධාරීන්ට දන්වන්නේ නැතිව ඒවා විකිණීම හෝ අන්සතු කිරීම නොකරන බවත්ය. මේ සියල්ල සලකා බලන විට මෙම ගනුදෙනුවට බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම සහභාගි වූයේ විවෘත පාර්ශ්වකරුවකු හැටියට මිස හොර රහසේ නොවන බව පැහැදිලිය. එමෙන්ම මේ ගනුදෙනුව ලංකාවේ නීතියත් යුක්‌රේනයේ නීතියත් ජාත්‍යන්තර නීතියත් හමුවේ වලංගු ගිවිසුමක්‌ මත පදනම් වූවකි. හැම විටම ගැනුම්කරුවකු යම් මිලදීගැනීමක්‌ සම්බන්ධයෙන් ගෙවීම් සිදුකළ යුත්තේ විකුණුම්කරුවන් නිර්දේශ කරන ආකාරයටය.

මේ ගනුදෙනුව ආණ්‌ඩුවේ පුද්ගලයන් කීපදෙනකු එකතු වී කළ හොර මගඩියක්‌ හැටියට හුවා දැක්‌වීමට උත්සාහයක්‌ තිබුණ ද එය නිසිආකාරව සිදුකෙරුණු ආණ්‌ඩුවේ ප්‍රසම්පාදනයක්‌ විය. මුළු ගනුදෙනුවම අධීක්‌ෂණය කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුවක්‌ විය. එහි සභාපති ජාතිය ගොඩනැඟීමේ හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එස්‌. ජයසිංහ මහතා වූ අතර සෙසු සාමාජිකයෝ වූයේ ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ හා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් එස්‌. බී. දිවාරත්න යන මහත්වරුන්ය. එයට අමතරව ජාතික ප්‍රසම්පාදන ආයතනය විසින් පත්කරනු ලැබූ ‘තාක්‌ෂණික ඇගයීම් කමිටුවක්‌’ ද විය. එහි සභාපති එයාර් වයිස්‌ මාර්ෂල් රොෂාන් ගුණතිලක වූ අතර ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‌ෂ ගුවන් කොමදොaරු ඊ. ජී. අයි. පී. ද සිල්වා, ආරක්‌ෂක අමාත්‍යාංශයේ ගණකාධිකාරී එච්. ඩී. වීරසිරි, මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඩී. පී. ටී. නානායක්‌කාර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ෙ-. වී. ප්‍රේමරත්න හා මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය එහි සෙසු සාමාජිකයන් විය. මෙයට අමතරව මෙම ගනුදෙනුවේ අවසන් මිල ගණන් සාකච්ඡා කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් මහා භාණ්‌ඩාගාරයේ පී. ඒ. ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්‌ පත්කර තිබූ අතර මෙකී කමිටුව යුක්‌රින්මාෂ් සමාගමෙන් ඉල්ලා සිටියේ මෙය ආණ්‌ඩු දෙකක්‌ අතර සිදුවන ගනුදෙනුවක්‌ නිසාත් ලංකාවත් යුක්‌රින්මාෂ් සමාගමත් අතර සෑහෙන කලක සිට තිබුණු සම්බන්ධතාවය නිසාත් මුළු ගනුදෙනු මිලෙන් 0.27% කට සමාන වට්‌ටමක්‌ වෙනුවට සමස්‌ත මිලෙන් 0.84% කට සමාන වැඩි වට්‌ටමක්‌ ලබාදෙන ලෙසත්, පහසු ගෙවීම් ක්‍රමයට අදාළ පොලී අනුපාතය 1.5% සිට 0.75% දක්‌වා අඩුකරන ලෙසත් ය.

2000 දීත් 2006 දීත් මිලදීගන්නා ලද මිග් යානාවල මිල ගණන්වල වෙනස හා බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගමට කරන ලද ගෙවීම් පිළිබඳව සියලු කරුණු මේ ගනුදෙනුවට අදාළ ලියකියවිලි පරිශීලනය කිරීමෙන් දැනගත හැක. 2006 මේ ගනුදෙනුව ගැන සැක පහළ වන ආකාරයට වාර්තා පළ කළ ඉංග්‍රීසි පුවත්පත් සතුව මේ ගනුදෙනුවට අදාළ සියලු ලියෑකියවිලි නොතිබුණු බව පැහැදිලිය.

මා මේ ලිපියේ සඳහන් කර තිබෙන කාරණා කියවා බලන අයෙකුට එසේ නම් මේ ආණ්‌ඩුව මිග් ගනුදෙනුව ගැන විමර්ශනය කරනවා යෑයි කියමින් කරන්නේ කුමක්‌ ද යන්න ගැන ප්‍රශ්නයක්‌ මතුවනු ඇත. 2006 දී මිග් ප්‍රහාරක යානා මිලදීගැනීමට හා අලුත්වැඩියා කිරීමට ගෙවූ මුදල ගැන හෝ බෙලිමීසා සමාගමට කළ ගෙවීම් ගැන විමර්ශනය කිරීමට නිමිත්තක්‌ නැත. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ භූමිකාව වැදගත් වන්නේ මෙතැනදීය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම


රිමාන්ඩ් භාරයේ සිටින සිසුන් නිදහස්‌ නොකළොත් දෙමාපිය කමිටුව ජිනීවා යයි

සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියට ඇතුළුවී පොදු දේපළවලට හානි කළේ යෑයි කියමින් රිමාන්ඩ් භාරයට පත්කර සිටින. විශ්වවිද්‍යාල සිසුන් වහා නිදොස්‌ කර නිදහස්‌ නොකළොත් ඊට එරෙහි සියලු සාක්‍ෂි රැගෙන ජිනීවාහි අන්තර් ජාතික මානව හිමිකම් කොමිසම වෙත යාමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය කමිටුව තීරණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සහ වෛද්‍ය පීඨ හිටපු ක්‍රියාකාරි කමිටුව සමග ඊයේ (16 දා) පැවැති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් නීතිඥ ගාමිණී ඒකනායක සහ උප සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි යන මහත්වරු මේ බව සඳහන් කළහ.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය වහා අහෝසි කරන ලෙස හෝ ජනසතු කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය පීඨවල ඉගෙන ගන්නා හත්දහසකට ආසන්න ශිෂ්‍ය පිරිසක්‌ සිය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සාධාරණය හා යුක්‌තිය ඉල්ලා මේ අවස්‌ථාවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවද අනෙකුත් සරසවි සිසුන්ද ඔවුන් සමග එක්‌ව ඇති බවද නීතිඥ ගාමිණී ඒකනායක මහතා පවසයි.

ශිෂ්‍යයින් අත්අඩංගුවට ගැනීම, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර සිරගත කිරීම, සරසවි සිසුන්ට අමානුෂික ලෙස පහරදීම, ඇතුළු ශිෂ්‍ය මර්දන ක්‍රියාවන් සඳහා රජය උපරිමයෙන් මැදිහත්ව සිටින බව ඒකනායක මහතා ප්‍රකාශ කරයි.

තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා හමුවීම සඳහා අමාත්‍යාංශයට පැමිණ සරසවි සිසුන් කවර හෝ රජයේ දේපළකට හානි කිරීම පිළිබඳව සීසීටීවී කැමරා, ජංගම දුරකථන, රූපමය සාක්‍ෂි කිසිවක්‌ නැතැයි පැවැසූ ඒකනායක මහතා එදින සියලු සිදුවීම් සටහන්ව ඇති සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ ඇති සීසීටීවී කැමරා දර්ශන මාධ්‍ය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා සිටී.

සරසවි සිසුන්ට අමානුෂික ලෙස හිසට බැටන් ප්‍රහාර එල්ල කිරීම ඇතුළු වධ හිංසාවන්ට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය දායක වූ ආකාරය සහිත රූපමය හා කැමරාමය සාක්‍ෂි තමන් සතුව ඇතැයිද විශ්වවිද්‍යාල සිසුන් වහා නිදොස්‌ කර නිදහස්‌ නොකළොත් එම සාක්‍ෂි රැගෙන ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යාමට තීරණය කළ බවද වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම්වරයා කියා සිටී.

ලබන වෙසක් පොහොය අප්‍රේල් මාසයේ

ලබන වසරේ පොහොය 13ක් පවතින බැවින් වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අප්‍රේල් මාසයට යෙදී ඇති බව අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමි පවසයි.

1971 අංක 29 දරන නිවාඩු පනතට අනුව ස්වදේශ කටයුතු අමාත්ය වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුතුව ලබන වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් පිළිබඳ ගැසට් පත්‍රය පසුගියදා නිකුත් කරනු ලැබීය.

එම ගැසට් පත්‍රයට අනුව වෙසක් පොහොය දිනය අප්‍රේල් මස 29 වන ඉරිදා දිනට යෙදී තිබේ.

මේ පිළිබඳව දේශපාලන පක්ෂ නියෝජිතයින් ද විවිධ අදහස් පළ කළ අතර එය මේ වන විට කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.

ඩෙංගු රෝගීන් 90865 – වැඩිම කොළඹින්

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් 90865ක් වාර්තා වී ඇති බව වසංගත රෝග නිවාරණ ඒකකය සඳහන් කරයි. ජූලි 14 වන දින සිට මෙම රෝගීන්ගේ ප්‍රමාණය වාර්තා වී තිබෙන අතර, ජූලි මාසයේ පළමු දෙසතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 6868ක් වාර්තා වී තිබේ.

මේ වනවිට වැඩිම ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ප්‍රමාණය 20010කි.

පසුගිය වසර පුරාම වාර්තා වී තිබෙන්නේ ඩෙංගු රෝගීන් 55150ක් වන අතර, ගෙවීගිය වසරේ ජූලි මාසය වනවිට වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 34529කි.

 ඩෙංගු මරණ 272ක්‌

ගතවූ මාස හයහමාරක කාලය ඇතුළත ඩෙංගු වැළඳී පුද්ගලයන් 272 දෙනකු මරුමුවට පත් වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එසේම මෙම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 91,000 ක්‌ පමණ වාර්තා වන බව ද එහි ප්‍රකාශකයෙක්‌ පැවසීය.

තම තමන්ගේ නිවාස, පරිශ්‍ර නිරන්තරයෙන්ම සුද්ධ පවිත්‍ර කරගැනීමෙන් ඩෙංගු ව්‍යාප්තිය අඩුකරගත හැකි බව ද ඔහු කියා සිටී.


මදුරුවන්ගෙන් බේරෙන්න පාසල් ඇඳුම වෙනස්‌ කිරීමට විදුහල්පතීන්ට උපදෙස්‌

මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා පාසල් සිසුන්ගේ නිල ඇඳුම වෙනස්‌ කිරීමට අදාළ උපදෙස්‌ මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ.

මේ යටතේ පාසල් සිසුන්ට ශරීරය ආවරණය වන පරිදි දිග කලිසමක්‌ සහ ටී ෂර්ටයක්‌ හෝ අත්දිග කමිසයක්‌ භාවිත කළ හැකි බව අමාත්‍යාංශය කියයි.

ඇඳුමේ වර්ණය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා තිබේ.

වාර්තා වූ ඩෙංගු රෝගීන් අතුරින් සියයට 30 ක්‌ම පාසල් සිසුන් වන අතර මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන්ගේ නිල ඇඳුම වෙනුවට මදුරුවන්ගෙන් ආරක්‍ෂා විය හැකි ඇඳුමක්‌ භාවිත කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.