19 July 2017

ඩෙංගු බෝ කරන වරදකරුවන්ට මහජන ආරක්ෂක පනතෙන් දඬුවම් දෙයි

ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව මහජන ආරක්ෂක පනතේ රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර රියදුරු බලපත‍්‍රය නිකුත් කිරීමට අදාළ ප‍්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමේ දී සිදුවන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී තිබෙනවා.

මෙම කරුණු අනාවරණ වූයේ අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි

වසරක අාදායම ඩොලර් මිලියන 200යි – ඒත් අම්මටයි තාත්තටයි රුපියලක්වත් දීපු නැති Google CEO | PHOTO


ගූගල් සමාගම කියන්නේ දැවැන්ත සමාගමක්.


මේ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා එහෙමත් නැත්නම් CEO ඉන්දීය ජාතිකයෙක්.
මෙයාගේ නම සුන්දර් පිච්චෙයි.

වයස අවුරුදු 45ක් වන සුන්දර් පිච්චෙයිගේ මාසික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 16කට අධිකයි.
වසරක ආදායම ඩොලර් මිලියන 200යි.

ඉතිං ඔය තරම් සල්ලි කන්දරාවක් තියෙන සුන්දර්ගේ දෙමාපියන් ඉන්න විදිහ දැක්කොත් ඔබ මවිතයට පත්වෙයි.

සුන්දර්ගේ මව සහ පියා චෙන්නායු නුවර ඉතාමත් සරළ ජීවිතයක් ගෙවමින් මහල් නිවාස සංකීර්ණයක පුංචි නිවසක තමයි ජීවත් වෙන්නේ.

දුප්පත් ජීවිතයක් ගතකරන මේ මව්පියන් සුන්දර්ගෙන් කිසිම මුදලක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලයි කියන්නේ.

සුන්දර්ගේ පියා විදුලි කාර්මික ඉංජිනේරුවෙක් විදිහට තමයි සේවය කරලා තියෙන්නේ.

මේ වන විට විශ‍්‍රාමික වැටුපෙන් ඉතාමත් අසීරු විදිහට තමයි සුන්දර්ගේ පියා සහ මව ජීවිතය ගත කරන්නේ.

සුන්දර්ගේ පියා ඔහුගේ පුතාගෙන් කිසිදු මුදලක් ගැනීමට අකමැත්ත ප‍්‍රකාශ කරන්න හේතුව පුතා දියුණු වුන කාලයේ සිට වසර ගණනාවක් තෙක් ඔවුන් ගැන කිසිම සොයාබැලීමක් නොකිරීමයි.

අවසානයේ අපිට කියන්න තියෙන්නේ මුදල් කොතරම් උපැයුවත් තමන්ගේ දෙමාපියන්ට සලකන්න බැරි දරුවන් කවදත් දුප්පත් කියලා පමණයි.







ඩී කේ පී ගේ පරීක්ෂණයේ මුල මැද හෙළිවෙයි

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට පත් පරීක්ෂණය කිරීම මෙහෙයවා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව හෙළිව තිබේ.

සිද්ධියේ මුල් පැමිණිල්ල හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් සිදු කිරීමෙන් පසුව වසර 2009 – 06 – 15 දින හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ (විශ්‍රාමික), ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක (විශ්‍රාමික) හා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී කපිල හෙන්ද්‍රවිතාන යන තිදෙනා සමඟ ගෝඨාභය මහතා සාකච්ඡාවක් පවත්වා ඇත.

පසුව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විමර්ශන කටයුතු සිදුකර වාර්තා කරන ලෙස විජය අමරසිංහ මහතාට නියෝග කළ බවත් ඒ අනුව පරීක්ෂණ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් නියෝගයක් දුන් බවත්, විමර්ශන ගොණු අංක – සි 267/2009 සී.එම්. හි සටහන්ව ඇත.

සිය ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ලුතිනන් කමන්ඩර් සම්පත් මුණසිංහ නැමැති නිලධාරියා එල්ටීටීඊ සංවිධානය සමඟ මුදල් ඉපයීම සඳහා සම්බන්ධතා තිබුණු බවට සැකයක් ඇති බව පවසමින් කරන්නාගොඩ මහතා එවකට නියෝජ්‍ය පොලිස්පති අපරාධ වශයෙන් සිටි අනුර සේනානායක මහතාට 2009 – 05 -28 දින ලිඛිත පැමිණිල්ලක් කර ඇත.

නිලධාරී නිවස්නේ අංක 08 දරණ සම්පත් සිටි කාමරය පරික්ෂා කිරීමේදී එම නිලධාරියාට අත්කරගත හැකි ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමින් යුත් මූල්‍ය ගනුදෙනු සිදුකර ඇති බවත්, විවිධ ආයුදවලට අයත් ජීව උණ්ඩ තිබූ බවත්, එසේම විවිධ පුද්ගලයන්ට අයත් ජාතික හැඳුනුම්පත් කිහියක්ද බැංකු පොත් කිහිපයක්ද සොයාගැනීමට හැකිවූ බැවින් පරීක්ෂණයක් පැවැත්වීම කාලෝචිත බව කියමින් අදාළ පැමිණිල්ල කර තිබේ.

පොලිස්පති හා එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගොඨාභය රාජපක්ෂ මහතාගේ දුරකථන නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි සිසිර මෙන්ඩිස් මහතා විසින් 2009 – 06 – 10 වැනිදා සිට පරීක්ෂණ ඇරඹූ බව පැවසේ.

-Mirrar


ශමින්දගේ පන්දු යැවීම නිවැරදියි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. ඒ අනුව ඔහුට ඉදිරියේදි ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පන්දු යැවිමට අවස්ථාව හිමිවෙයි.

ශමින්දගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඉන්දියාවේ චෙන්නායි නුවර පවතින අයි.සී.සී. පරික්ෂණ මධ්‍යස්ථානයේදී කළ පරීක්ෂණයකින් පසුව ඔහුගේ ඉරියව්ව නිවැරදි බව තහවුරු වී තිබේ.

2016 වසරේ මැයි මාසයේ එංගලන්ත සංචාරයේදී ශමින්දගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට චෝදනා එල්ල විය.


සමුපාකාරයෙන් භාණ්ඩ මිල දී ගැනීමේදි VAT ඉවත් කරන්නැයි දැනුම් දෙයි

සමූපාකාරයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ දී පනවා ඇතැයි කියන වැට් බදු ඉවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා.

ඒ කැබිනට් මණ්ඩලය ඊයේ (18) රැස් වූ අවස්ථාවේදීයි.

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් තීරු බදු නොමැතිව සමූපාකාරය සඳහා ලොරි 88ක් ලබා ගැනීමට අනුමැතිය ඉල්ලා තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ පනවා ඇති බදු මීළඟ අයවැයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඉකුත් ආණ්ඩුව සමයේදී ද මෙලෙසම බදු පනවා තිබූ බවත් ඒවා පසුව ඉවත් කළ බවත් රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් එහි දී ප‍්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

මේ අතර එල් එන් ජී ගෑස් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය සඳහා ඉන්දියාවේ සහ ජපානයේ ඒකාබද්ධ ව්‍යාපෘතියකට අවසර ලබා දීම කෙරෙහි ද කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුව තිබෙනවා.

එහි මූල්‍ය කටයුතු ඉන්දියාව මගින් ද තාක්ෂණික කටයුතු ජපානය මගින් ද සිදු කරනු ඇති. එහි ආදායමෙන් සියයට 15 ක් ශ‍්‍රී ලංකාවට හිමි වනු ඇති බවටයි පැවසෙන්නේ.

අද සිට දුම්කොළ දාපු බුලත් විට තහනම්

දුම්කොළ අඩංගු 'බුලත්විට' හැදීමත් විකිණීමත් අද (19) සිට තහනම් කර තිබෙනවා. එමෙන්ම දුම් රහිත දුම්කොළ හා පුවක් යනාදිය භාවිතයෙන් නිපදවා ඇති 'මාවා', 'ගුට්කා, 'පාම්පරාග්', 'හාන්ස්', 'බාබුල්' සහ 'බීඩා' යනාදිය අලෙවිය නිෂ්පාදනය හා ගෙන්වීමද අද සිට තහනම් බවත් ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ප්‍රකාශ කළේ.

ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරිය පනත යටතේ පාර්ලිමේන්තුව අනුමත කර ඇති නියෝග ප්‍රකාරව මෙම තහනම පනවා තිබෙනවා.

බුලත්විට විකිණීම මෙන්ම දුම්කොළ සහිත 'බුලත්විට විකිණීමට තිබේ' යනුවෙන් සඳහන් දැන්වීමක් පවා ප්‍රදර්ශනය එම නියෝග අනුව තහනම් බවයි අධිකාරිය කියා සිටින්නේ.

දුම් රහිත දුම්කොළ අඩංගු ඉහත ද්‍රව්‍ය අලෙවි කරන්නන් අල්ලා නීතිය හමුවට ඉදිරිපත් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, ආහාර පරීක්ෂකයන්ට, සුරාබදු නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට බලය ඇති බවද ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරියේ නීති නිලධාරී නීතිඥ නීලියා ද සිල්වා මහත්මිය කියා සිටියා.

ජනතාව මුඛ පිළිකාවෙන් බේරා ගැනීම මෙන්ම දුම් රහිත දුම්කොළ හා සම්බන්ධ පිළිකා නිසා වසරකට සිදුවන දහසකට අධික මරණ සංඛ්‍යාව වළකා ගැනීම හා වසරකට වැය වන රුපියල් බිලියන 05ක වියදම අවම කර ගැනීමටයි මේ පියවර ගැනීමේ මුලික අරමුණු වනවා.

හපන දුම්කොළ හෙවත් දුම් රහිත දුම්කොළ සහ පුවක් අඩංගු බුලත්විට හා සෙසු නිෂ්පාදන නිසා ඇතිවන මුඛ පිළිකා හේතුවෙන් ලංකාවේ දිනකට පුද්ගලයන් හතර දෙනකු මියයන බවත් පිරිමින්ට වැලඳෙන පිළිකා අතරින් පළමුවැනි ස්ථානය හිමිවන්නේ මුඛ පිළිකාවලට බවත් මුඛ පිළිකා වැලඳුණු අයගෙන් 85%ක්ම බුලත්විට කන අය බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්න මහතා පවසනවා.

ඉන්දීය ජනාධිපතිවරණයෙන් රාම් නාත් කෝවින්ද් ඉදිරියෙන්

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් දැන් ආරම්භ වී ඇති අතර මෙවර විශේෂත්වය වන්නේ තරඟය පවතින්නේ 'දලිත්' කුල පීඩිත ප්‍රජාව අතරින් මතු වූ නියෝජිතයන් දෙදෙනකු අතර වීමයි.

භාරතීය ජනතා පක්ෂයේ රාම් නාත් කෝවින්ද් සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සහයෝගය ලබන මීරා කුමාර් එම අපේක්ෂකයෝ දෙදෙනා වනවා.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොවෙයි.

එය සිදු කෙරෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකේ මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන් ද ඇතුළත් ඡන්ද පීඨයක් මගින්.

ඉන්දීය ප්‍රාන්ත විසි නවයක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සහ සාංගමික ප්‍රදේශයන්හි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලවල නියෝජිතයෝ ඡන්ද පීඨයට ඇතුළත් වෙනවා.

එම ඡන්ද පීඨය නියෝජිතයන් 4,896 දෙනකුගෙන් සමන්විත වනවා.

මෙවර ඉන්දීය ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයා ලෙස දේශපාලන විචාරකයන් විසින් හඳුන්වනු ලබන 71 හැවිරිදි රාම් නාත් කෝවින්ද් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කරමින් පෙරට පැමිණි නායකයෙක්.

'බිහාර්' ප්‍රාන්තයේ ආණ්ඩුකරු ලෙස කටයුතු කර ඇති රාම් නාත් කෝවින්ද් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ දෙකක් ජයගෙන තිබෙනවා.

මෙම තරඟයෙන් ජයගනු ලැබුනොත් රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ ජනාධිපති පදවියට පත් දෙවන දලිත් පුරවැසියා ලෙස ඉතිහාසයට එක්වනු ඇති.

අධික පොලියට බැඳුම්කර දෙද්දී භාණ්ඩාගාරයේ බිලියන 180ක් තිබුණා

රජයේ මුදල් අවශ්‍යතාවන් කෙළින්ම දන්වනුයේ මහා භාණ්ඩාගාරයට මිස මහ බැංකුවට නොවන බවත්, අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිවරයාගේ ඕනෑකමට ඔහුගේම බෑනාගේ පර්පෙචුවල් සමාගමෙන් අධික පොලියකට රුපියල් බිලියන 15ක් දැඩි කොන්දේසි යටතේ ලබාගත් දිනය වනවිට රුපියල් බිලියන 180යි දශම 08ක මුදල් ප්‍රමාණයක් අත ඉතිරිය වශයෙන් තිබූ බව මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සජිත් ආටිගල මහතා මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේදී ඊයේ (18) හෙළිකර සිටියා.

ආටිගල මහතා එකී තොරතුරු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ කොමිසමේ සභාපති ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී. චිත්‍රසිරි මහතාගේ විමසුමකට ප්‍රතිචාර දක්වමින්.

තම ප්‍රකාශයන් තහවුරු කිරීම සඳහා ආටිගල මහතා 2015 වර්ෂයේ ජනවාරි, පෙබරවාරි මාස සඳහා මහා භාණ්ඩාගාරය විසින් සකසන ලද මුදල් ප්‍රවාහන ලේඛනද කොමිසම හමුවට ඉදිරිපත් කළා.

කොමිසමේ සෙසු කොමසාරිස් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතාගේ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ආටිගල මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ 'මුදල් ප්‍රවාහ ලේඛනය' යනු මහා භාණ්ඩාගාරයේ මෙහෙයුම් කටයුතුවලදී වඩාත්ම වැදගත්ම මෙවලම වන බවයි.

ආටිගල මහතා තවදුරටත් කොමිසම හමුවේ කියා සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට අවශ්‍ය මුදල් සම්පාදනය කරනුයේ මහා භාණ්ඩාගාරය ඉදිරිපත් කරනු ලබන මඟපෙන්වීම් අනුව බවත්, අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය මුදල් ප්‍රමාණයේ යම් අඩුවක් ලුහුඬුවක් ඇති වුවද කාගෙන්වත් අධික පොලී යටතේ බරපතළ පාඩුදායක කොන්දේසි මත මුදල් ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, ඉතාමත්ම අඩු පොලී අනුපාත සහ සහනදායි කොන්දේසි මත ලබාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව හා බද්ධිත අනෙකුත් මුදල් සංචිතයන්හි ඕනෑතරම් මුදල් තිබුණු බවත්ය.

EU ගැන කලකිරී ඉතාලිය සරණාගතයන්ට වීසා දෙයිද?

 වැල නොකැඩී ඉතාලිය වෙත ඇදී එන සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා සෙසු රාජ්‍යයන්ගෙන් කිසිදු සහායක් නොලැබීම හේතුවෙන් කලකිරුණු ඉතාලිය, සංක්‍රමණිකයන් ලක්ෂ 2කට යුරෝපා සංගමය තුළ රැඳී සිටීමේ තාවකාලික වීසාවක් නිකුත් කරන බවට අනතුරු අඟවයි.

ඒ අනුව, ඉතාලිය යම් ලෙසකින් මෙම වීසා නිකුත් කිරීම සිදුකළහොත් එම සංක්‍රමණිකයන්ට කිසිදු අපහසුවකින් තොරව යුරෝපයේ සෙසු රාජ්‍යයන් වෙත ගමන් කිරීමට හැකි වනු ඇති බව කියැවෙයි.

ඉතාලියේ පිහිටීම නිසා යුරෝපයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් පැමිණෙන බොහෝ සංක්‍රමණිකයන් ඉතාලිය තම ගමන් මාර්ගයේ ආරම්භය ලෙස ඉතාලිය වෙත ඇතුළු වෙයි. මේ තත්ත්වය තුළ ඉතාලිය යුරෝපා සංගමයේ සෙසු අසල්වැසි රාජ්‍යයන්ගෙන් මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා විසඳුම් ඉල්ලා සිටියේ අද ඊයේ සිට නොවේ.

නමුත්, ඉතාලිය වෙත කිසිදු විසඳුමක් ලබාදීමට එකී රාජ්‍යයන් අපොහොසත් වීමත් සමග ඉතාලිය මේ වනවිට බලවත් කණස්සල්ලකට හා කලකිරීමකට පත්ව සිටින බව සඳහන් වෙයි.

මෙම වසරේදී පමණක් මධ්‍යධරණී මුහුද තරණය කරමින් අප්‍රිකානු රාජ්‍යයන් හි සිට සංක්‍රමණිකයන් 86,000ක් ඉතාලිය වෙත පැමිණ ඇති අතර, මෙම මහා ජන ගංගාව පාලනය කරගැනීම සම්බන්ධයෙන් ඉතාලිය දැඩි අර්බුදයකට මැදිව සිටින බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

එහිදී, ඉතාලියේ ගම්මාන කිහිපයක් ආශ්‍රිතව පවතින සංක්‍රමණික මධ්‍යස්ථානවල දැඩි තදබදයක් යටතේ මෙම ජනතාව දැනට නවාතැන් දී ඇති බව පැවසෙයි.

ඉතාලියේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා සිටියේ සංක්‍රමණිකයන්ට තාවකාලික වීසා ලබාදීම කෙරෙහි මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි. ‍

යුරෝපා සංගමයේ 2001/55 විධිවිධානය තුළින් ප්‍රයෝජන ගෙන මෙම වීසා නිකුත් කිරීමට කටයුතු කරන බව ඉතාලිය පවසයි. එය යුරෝපා සංගමයට අයත් රටවල ජනතාවට නිදහසේ එකී රාජ්‍යයන් අතර ගමන් කිරීමට ලැබෙන ෂෙන්ගන් වීසා සහනය වැනි සුවිශේෂී සහනයකි.

ඒ අනුව, මෙම වීසා වැඩසටහන ඉතාලිය ක්‍රියාවට නැංවුවහොත් යුරෝපා සංගමයටම මහත් වූ ඵලවිපාක රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයෝ අනතුරු අඟවති.

රෝහල පවරා ගැනීම ව්‍යාජ විසඳුමක් බව GMOA පවසයි

 නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක් යනුවෙන් (17දා) සිදුකෙරුණේ ප්‍රෝඩාවක් බවත්, මෙම රෝහල රජයට පවරා ගන්නා ලෙස මේ ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතු යැයි හඬ නගන කිසිදු බලවේගයක් ඉල්ලීම් කර නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  (18දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව මෙම රෝහල රජයට පවරා ගැනීම තුළින් සැබෑ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවත්, ඒ හරහා සිදුවන්නේ තව දුරටත් සයිටම් පාලනාධිකාරියට ධනය ඉපයීමට අවස්ථාවක් ලබා දීමක් බවත් එම සංගමය පවසයි.

ඊයේ දින ජනපතිවරයා පවා නොමග යවමින් සිදුකෙරුණු මෙම ක්‍රියාවලිය තුළින් ඉදිරියේදි ගැටලු රාශියක් මතුවන බවත්, එම සංගමය සඳහන් කරයි.

එනම්,

01) ඇත්ත වශයෙන්ම මෙම රෝහල රජයට පවරා ගැනීමක් සිදුවූවාද? සිදුව ඇත්තේ බදු ගිවිසුමක් අත්සන් කිරීමක්ද? නෙවිල් ප්‍රනාන්දු මහතාට ඇති අයිතිය කුමක්ද?

02) යෝජිත පරිපාලන ව්‍යුහය කුමක්ද? එහි නෙවිල් ප්‍රනාන්දු මහතාගේ භූමිකාව කුමක්ද?

03) යෝජිත ව්‍යුහය තුළ රෝගී ජනතාවට නොමිලේ ප්‍රතිකාර සේවා ලැබෙන බවට ඇති සහතිකය කුමක්ද? (ඒ අය සන්සන්දනය කරන ජයවර්ධනපුර රෝහලේ ව්‍යුහය අනුව රෝහලේ පැරසිටමෝල් පෙත්තට පවා මුදල් අය කරයි.)

04) රෝහල තුළ දැනට සිටින කාර්යමණ්ඩලය තුළ සුදුසුකම් නොමැති පිරිසක් සිටිනබව අනාවරණය වී ඇත. එම අය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද?

05) අලුතින් කාර්යමණ්ඩලය බඳවා ගැනීමට ඇති නියමිත වැඩපිළිවෙළ කුමක්ද? රෝහල් කාර්යමණ්ඩලයට වැටුප් ගෙවන්නේ කවුරුන්ද?

06) ගිවිසුම සඳහා ලංකා බැංකුව සම්බන්ධ කරගැනීමේ පදනම කුමක්ද?

07) මේ දක්වා පසුගිය වසර ගණනාව තුළ නෙවිල් ප්‍රනාන්දු මහතා ලබාගෙන ඇති ශුද්ධ ලාභය කුමක්ද? ඒ මුදල්වල වටිනාකමට සරිලන සේවාවක් අදාළ ශිෂ්‍යයන්ට ලබා දී ඇත්ද? නොමැති නම් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?

08) සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි ඉදිරි කාලය තුළ වාර්ෂිකව බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 500 දක්වා වැඩි කිරීම පිළිබඳව සිදු කර ඇති ශක්‍යතා අධ්‍යයන වාර්තා මොනවාද?