25 July 2017

නියඟයෙන් වව්නියාවේ පවුල් 25515කට පීඩා

උතුරු පළාතට මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් වවුනියාවේ පවුල් 25515කට අයත් පුද්ගලයන් 85800ක් පමණ විපතට පත්ව ඇති අතර, ඇතම් ප්‍රදේශ වෙතට පානීය ජලය නොමැති වීමෙන් එම වැසියෝ දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

වව්නියාවේ පිහිටි පාදේශීය ලේකම් කොට්ඨාස හතරට අයත් ග්‍රාම සේවා වසම් 102ක වැසියන් මෙම නියං කාලගුණයට ගොදුරුව සිටින අතර, ඉන් වැඩි වශයෙන්ම පීඩාවට පත්ව සිටින පවුල් 670කට අයත් පුද්ගලයන් 2600කට ආසන්න පිරිසකට වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇති බව වව්නියාව දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා කියා සිටියේය.

මේ පිළිබඳව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ වවුනියාවේ පානීය ජලය නොමැති ප්‍රදේශ කිහියක වැසියන්ට ජල ටැංකි 300ක් පමණ යොදවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පානීය ජලය ලබා දීමට පියවර ගන්නා බවත්, මේ වනවිට දුෂ්කර ගම්මාන කිහිපයකට පානීය ජලය ලබා දීමේ වැඩපිළිවළක් ආරම්භ කර ඇති බවත්ය.

50% කින් ඩෙංගු රෝගීන් අඩුකරගත හැකියි

ඩෙංගු වෛරසය ශරීරගතව රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කර වෙන් කර තබා ගන්නේ නම් සියයට 50 කින් රෝගීන් වාර්තා වීම අවම කර ගත හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ උපායමාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ පුහුණු උපදේශක, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ගැමුණු සාලිය මහතා පවසයි.

රෝහල්වල වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ඩෙංගු රෝගයට ගොදුරු වන්නේ රෝගීන් ආරක්ෂිතව වෙන් කර නොතැබීම නිසා බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් රෝගීන් අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ මහතා පැවැසුවේය.

ඩෙංගු මදුරුවන් ලක්ෂයක් ගතහොත් ඔවුන්ගෙන් සිය දෙනකුගේ ශරීරය තුළ පමණක් මේ වෛරසය ශරීරගතව තිබෙන අතර සෙසු මදුරුවන්ට වෛරසය ආසාදනය වනුයේ රෝගියකුට දෂ්ට කිරීමෙන් බවත් රෝගීන් මදුරු දෂ්ටනයෙන් වළක්වා ගන්නේ නම් රෝගය ව්‍යාප්ත වීම අවම කර ගත හැකි බවත් ඔහු කීය.

රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් මදුරු දැලකින් ආවරණය කර හෝ මදුරු විකර්ශක ගල්වා තැබීමෙන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් වළක්වා ගත හැකි යැයි ද, මේ වෛරසය ශරීරගත වූ පුද්ගලයකුගේ සිරුරෙහි වෛරසය වැඩි වන අවස්ථාවේ මදුරුවන් දෂ්ට කළහොත් මදුරුවාගේ සිරුර තුළට වෛරසය ශරීරගතව සෙසු පුද්ගලයන් වෙත රෝගය ව්‍යාප්ත වන්නේ යැයි ද ඒ මහතා පැවැසුවේය.

ඩෙංගු රෝගය වසංගතයක් බවට පත්ව ඇති මේ අවස්ථාවේ මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට අපහසු වුවත් මීළගට පැමිණෙන ඩෙංගු අවදානම් කාලයේදි මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ නම් රෝගය වසංගතයක් වීම වළක්වා ගත හැකි යැයි ද හෙතෙම පැවැසීය.

වසුරිය, මහාමාරිය වැනි බෝ වන රෝග වළක්වා ගැනීම සදහා එකල රෝග ස්පර්ශකයින් වෙන් කර තැබීමේ ආඥා පනත ක්‍රියාත්මක වූ අතර එම රෝග වළක්වා ගැනීමට එය මහගු අවස්ථාවක් වූ බවත් එම ක්‍රමය ඩෙංගු රෝගීන්ට ද අනුගමනය කිරීම වැදගත් බවත් ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකන් හිටපු සභාපතිට නිල නිවාස 3 ක්‌! ජංගම දුරකථන හයක බිල් රජයෙන් ගෙවලා

ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපතිවරයා නිල නිවාස තුනක්‌ භාවිත කර ඇති බවත්, ඔහුගේ ජංගම දුරකථන හයක බිල් ගෙවීම් රජයෙන් සිදුකර ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පැවැසීය.

ශ්‍රී ලංකන් ආයතනයට අයත් කටුනායක සේවා අංශ සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනය නිරීක්‍ෂණය සඳහා පසුගියදා (19 දා) එක්‌වෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය. හිටපු සභාපතිවරයා පාලනය කළ කාලය තුළ ශ්‍රී ලංකන් ආයතනය ලැබූ පාඩුව ඩොලර් මිලියන 3202 යි. එම පාඩුව දකුණු අධිවේගී මාර්ගයට වැය වූ මුදල හා සලකද්දී එවැනි මාර්ග 05 ක්‌ සෑදීමට යන මුදලට සමානයි.

මේ ආයතනය සම්බන්ධයෙන් මගෙන් කැබිනට්‌ මණ්‌ඩලයේදී විමසීමේදී මේ ආයතනය වළ දමන්න විතරයි තියෙන්නේ කියලා මම කිව්වා. නමුත් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස්‌ මත රජයේ වියදමෙන් මෙය තවදුරටත් පවත්වා ගෙන යන්න තීරණය කර තිබෙනවා.

ලාංකේය තුන් ඉරියව් ක්‍රිකට් තරුව අමෙරිකානු ජාතික ක්‍රිකට් පිළට නම් කෙරේ | PHOTOS

ශ්‍රී ලංකාවේ සී.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කළ රෝයි ප්‍රසංග සිල්වා අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නම් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු තුන් ඉරියව්වෙන් දක්ෂ ක්‍රීඩකයෙකු වනවා.

පළමු පෙළ තරග 87කදී ලකුණු 3176ක් ලබා ඇති ඔහු පන්දු යවමින් කඩුලු 86ක් ද දවාගෙන තිබෙනවා.

බැඳුම්කර කොමිසමේදී හෙළිවූ 'නිවස ගැන' ඇමති රවීගෙන් විශේෂ ප්‍රකාශයක් (EXCLUSIVE)

තමන්ට සුපිරි මහල් නිවාස ඒකකයක් ලබාදුන් බවට  ඊයේ (24 ) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ කරන ලද සාක්‍ෂි දීම පිළිබඳව හිටපු මුදල් ඇමැති සහ වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක අද (25) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ තමන් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය සිදු කරන බවයි.

රවි කරුණානායකගේ නිවස අලුත්වැඩියා කරන තෙක්‌ තමාට අයත් මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකය බද්දට දුන් අතර ඒ සඳහා බදු මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස්‌ විසින් ඔහුට සම්බන්ධ සමාගමක්‌ හරහා බවද ඉන් මාස අටකට පමණ පසු එම නිවස මිලියන 165 කට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධ්‍යක්‍ෂ ධුර දරන සමාගමක්‌ හරහා මිලදී ගත් බවද එම නිවාස ඒකකයේ හිමිකාරිය වූ එම්. විනෝදනී  ඊයේ (24) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් සඳහන් කළා.


ජෙරුසෙලම උණුසුම් කළ ලෝහ හඳුනාගැනීම් යන්ත්‍රය ඉවත් කරයි

 ජෙරුසෙලම ආශ්‍රිතව ඊශ්‍රායලය විසින් තැන්පත් කරනලද ලෝහ හඳුනාගැනීමේ යන්ත්‍රය ඉවත්කිරීමට එරට බලධාරීහු කටයුතු කර තිබේ.

ඒ වෙනුවට ජනතාවට පීඩා ගෙන නොදෙන යන්ත්‍රයක් එහි ස්ථාපිත කරන බවද ඊශ්‍රායලය පවසා ඇත. මේ සඳහා ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය පෙන්ජමින් නෙතන්යාහුගේ ආරක්ෂක මණ්ඩලය කැමැත්තක පළ කර තිබේ.

යුදෙව්වන් විසින් කන්දේ දේවාලය ලෙසත්, මුස්ලිම්වරුන් විසින් හරාම් අල්-ෂරීෆ් ලෙසත් සලකන මෙම පූජනීය ස්ථානය ආසන්නයේ අදාළ උපකරණය සවිකිරීමත් සමග ඇති වූ විරෝධතා හේතුවෙන් ජූලි 14දා ඊශ්‍රායල් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

මේ සමගම මැදපෙරදිග කලාපයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අනතුරු අඟවා සිටියේ මෙම ඓතිහාසික නගරය තුළ උණුසුම් තත්ත්වය පාලනය කළ නොහැකි බැරෑරුම් තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

ඒ අනුව, ඊශ්‍රායලය මෙම පියවර ගෙන තිබූ අතර, ලෝහ හඳුනාගැනීමේ යන්ත්‍රය ඉවත්කර ඒ වෙනුවට අධි තාක්ෂණික හා වැඩි පහසුවක් ගෙනදෙන ආරක්ෂක උපාංගයක් එහි සවිකරන බව එරට ජනපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

අර්ජුනගේ අධි සුඛෝපබෝගී මහල් නිවාසය ඇමති පවුලේ පදිංචියට දීලා

අර්ජුන් ඇලෝෂියස් මහතා විසින් කොළඹ අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබා ගෙන රජයේ අමාත්‍යවරයෙකු ඇතුළු ඔහුලේ පවුලේ පදිංචිය සඳහා භාරදී ඇති බව බැදුම්කර කොමිසම හමුවේ අද(24) අනාවරණය වී තිබේ.

ඒ බව අනාවරණය වූයේ එම සුඛෝපබෝගී මහල් නිවාසය අර්ජුන් ඇලෝෂියස් මහතාට කුලී පදනම මත ලබා දුන් ව්‍යාපාරික කාන්තාව අද බැදුම්කර කොමිසමට ලබා දුන් සාක්ෂිවලට අනුවය.

තමන් එම සුඛෝපබෝගී නිවස කූලී පදනම මත ලබා දෙන බවට වූ  තොරතුරු මත අදාළ අමාත්‍යවරයාගේ බිරිද එම නිවස පරික්ෂා කිරීමට පැමිණි බවත්, ඒ මොහොතේදී ඇය ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව අර්ජුන් ඇලෝෂියස් මහතා ද නිවස පරීක්ෂා කිරීමට පැමිණි බවත් ඇය කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.

එහිදී අදාළ ව්‍යාපාරික කාන්තාවගේ පාසල් මිතුරෙක් ද වූ අර්ජුන් ඇලෝෂියස්  මහතා එම නිවස කුලී පදනම මත ලබා ගන්නේ තමන් බව ඇයට පවසා ඇති බව සඳහන්ය.

එමෙන්ම මසකට රුපියල් ලක්ෂ 14ක මුදලකට මෙම නිවස කූලී පදනම මත ලබා ගැනීමට අර්ජුන් ඇලෝෂියස් මහතා එකඟ වූ බවත්, මාස 06ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 72ක මුදලක් තමන් ලබා දුන් බවත් සාක්ෂිකාරිනිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඇමති රාජිතගේ උද්දච්චකම ආණ්ඩුව අරාජික කරයි; රට පුරා වෛද්‍ය වර්ජන

වත්මන් යහපාලන රජයේ සෞඛ්‍යය අමාත්‍යවරයා වන රාජිත සේනාරත්න විසින් ‘සයිටම් ප්‍රශ්නය’ විසඳනු වෙනුවට එය දිගින් දිගටම අවුල්කරමින් කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩුව අරාජිකත්වයට පත්වෙමින් තිබෙන අතර එහි පීඩනය සහ අපහසුතාවයට ජනතාව මුහුණදෙමින් තිබේ. මේ හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25 වැනිදා) දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් පැහැර ගැනීමට උත්සාහ දැරූ වෑන් රථයේ තොරතුරු, ඒ සමඟ පැමිණි පිරිස කවුරුන්ද? පැහැර ගැනීමට උත්සාහ කළේ කාගේ නියෝග අනුවද, චෝදනා නිශ්චිතව ගොනු නොකර අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් ඊයේ (24 දා) නිදහස්‌ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පිළිගත හැකි සභාපතිවරයකු පත් කිරීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට්‌ කිරීමට අදාළ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීම, සයිටම් ආයතනයට තවදුරටත් ශිෂ්‍යයන් බඳවා ගැනීම නතර කිරීම හා උපාධි ප්‍රදානය නතර කිරීමට අදාළ නීතිමය ලියවිල්ලක්‌ ප්‍රකාශ කිරීම ඊයේ දිනය ඇතුළත ඉටුවිය යුතු බවට ද එම සංගමය ඉල්ලීම් කර තිබිණි.

වර්ජනය පැවතියද ළමා රෝහල්, ගැබිනි වාට්‌ටු, ඩෙංගු වාට්‌ටු, වකුගඩු වාට්‌ටු සහ වෙනත් හදිසි ප්‍රතිකාර සේවා නියමිත පරිදි සිදු කෙරෙන බවත් බාහිර හා සායන සේවා පමණක්‌ අත්හිටුවන බවත් ලේකම්වරයා කියා සිටියේය. රජය මේ පෙළගැසීම් නොසලකා තවදුරටත් කටයුතු කළහොත් අඛණ්‌ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවත් එය වැළැක්‌විය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු ගැන බලපෑම් කරනවා – Paul Scully

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු සම්බන්‍ධයෙන් බලපෑම් එල්ල කරන බව බ්‍රිතාන්‍ය දෙමළ ජනතාව සඳහා වූ සමස්ත පාර්ලිමෙන්තු කණ්ඩායම් නායක පෝල් ස්කැලි Paul Scully මහතා පවසා තිබේ.

ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ල කරන බවත්, ශ්‍රී ලංකාවේ ජීවත් වෙන දෙමළ ජනතාවට සහාය ලබා දෙන බවද හෙතෙම පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු පිළිබඳව රජය මන්දගාමීව ක්‍රියාත්මක වන බව එක්සත් ජාතීන් සංවිධානය පිළිගෙන ඇති බවත්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ විවාදයක් පැවැත්විය යුතු යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.