26 July 2017

අනුන්ගේ යුද්ධවලට ඇමෙරිකාව අත‍පොවන ආකාරය ගැන කියන වෝ මෙෂීන් | VIDEO

සුපිරි නළු බ්‍රැඩ් පිට් යුද සෙනෙවියෙකු ලෙස රඟපාන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන වෝ මෙෂින් වෙනුවෙන් පූර්විකාවක් බි.බි.සි. වබේ අඩවියට ලියන ප්‍රකට පාකිස්තානු මාධ්‍යවේදි අහමඩ් රෂීඩ් යුදමය පසුබිමක් සහිත මෙම චිත්‍රපටය හඳුන්වා ඇත්තේ සියලු දෙනා විසින් නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙසිනි.

මෙයට පසුබිම් වන්නේ ඇමෙරිකාව වෙනත් රටක අර්බුදයකට මැදිව යුද ආධාර ලබාදුන් දීර්ඝතම අවස්ථාව වන වසර දහසයක් පවතින ඇෆ්ගනිස්ථානයේ යුද්ධයයි. වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තවත් හමුදා ඛන්ඩයක් ඇෆ්ගනිස්ථානය වෙත පිටත්කර යැව්වේ මේ යුද්ධයට තව දුරටත් ඇමෙරිකාව මැදිහත් වන බව සනිටුහන් කරමිනි.

ඇෆ්ගනිස්ථානයට ඇ ෙමරිකානු භටයින් පිටත්කර යැවීම ඇරඹුණේ හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ගේ කාලයේදීය. නිව්යෝක් ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්ථානයට ඇමෙරිකාව මැදිහත් වූ ආකාරය දැක්වෙන චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වාර්තාමය චිත්‍රපට කෙතරම් නිර්මාණය වුවද විචාරකයන්ට අනුව වෝ මෙෂින් තරම් මේ මැදිහත්වීම, එහි අතුරුඵල සහ තවමත් ඇෆ්ගනිස්ථානයෙන් ජිහාද් ක්‍රියාකාරකම් තුරන්කිරීමට ඇමෙරිකාව අ‍පොහොසත්වීම ග්‍රහනය කරගැනීමට වෙනත් නිර්මාණයක් සමත්වී නැත.

මීට පෙර යාන්තමින් හෝ එතැනට ළංවූ නිර්මාණයක් ලෙස ඔවුන් සලකන්නේ 2008 වසරේ තිරගත වූ හා ඔස්කාර් සම්මාන කිහිපයක් දිනූ ද හර්ට් ලොකර් චිත්‍රපටයයි.

සාම්ප්‍රදායික නමක් තිබිම හේතුවෙන් මුලදී වැඩි අමුත්තක් නොපෙනෙන වෝ මෙෂින් පසුගිය වසර දහසයටම නොවුනු ලෙස ඇමෙරිකාව තමා වැඩි යමක් නොදන්නා රටවල්වල යුද්ධයට මැදිහත් විය යුතුද යන්න ප්‍රශ්න කරන අතර අදාල රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රසාදය දිනාගන්නා ආකාරය, යුද්ධය නොව මෙහිදී ඇමෙරිකාව උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම බව දේශීය ජනතාවට ඒත්තු ගැන්විය යුතු ආකාරය මෙන්ම දේශීය ජන සමාජය තුවක්කු කටවල් හරහා වටහාගැනීමට ඇමෙරිකාවට කිසි දිනකත් හැකිවෙයිද යන කරුණු ප්‍රබල ලෙස සාකච්ඡා කරයි.

වෝ මෙෂින් අධ්‍යක්ෂක හා තිර රචකයා වන්නේ ඔස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් මිචොඩ් ය. ඇමෙරිකානු ඩොලර් මිලියන හැටක වියදමින් යුතු චිත්‍රපටය මයිකල් හේස්ටින්ග්ස්ගේ ද ඔපරේටර්ස් නම් නවකතාව ඇසුරින් නිර්මාණය වී තිබේ.

විටෙක අඳුරු හා විටෙක පැහැපත් චිත්‍රපටය විටෙක සංවේදී වන අතර විටෙක හාස්‍යය උපදවයි. මේ සියල්ල අතරේ ඇමෙරිකාව අනුන්ගේ රටවලට හා යුද්ධවලට අත‍පොවන ආකාරය ගැන රසිකයාට මනා අවබෝධයක් ලබාදෙයි.

වෝ මෙෂීන් චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් පසුබිම් වන්නේ ඇෆ්ගනිස්ථාන යුද්ධයේ සැබෑ තත්ත්වය අනාවරණය කරමින් අමරිකානු හමුදාවේ එවකට ඇෆ්ගනිස්ථානය භාර යුද හමුදා ජනරාල්වරයා වූ ස්ටැන්ලි මැක්ක්‍රිස්ටල් එවකට ජනපති බරාක් ඔබාමා දැඩි ලෙස විවේචනය කරමින් සුප්‍රකට රෝලින් ස්ටෝන් සඟරාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවය. මහත් ආන්දෝලනයට ලක්වූ එම සම්මුඛ සාකච්ඡාව ඇසුරින්ම ලියැවුණු මයිකල් හේස්ටින්ග්ස්ගේ ‍පොතෙහි මෙම අමිහිරි යුද්ධයේ තවත් කතා අඩංගු වෙයි.

චිත්‍රපටය සඳහා සම්මුඛ සාකච්ඡාව මෙන්ම ‍පොතද උපයෝගි කොටගෙන තිබේ. ජනරාල් මැක්ක්‍රිස්ටල්ට ගෙදර යන්නට මගපෑදු සිදුවීම් දාමය චිත්‍රපටයෙන් දිගහැරෙයි. බ්‍රැඩ්පිට් මෙහි රඟපාන්නේ චිත්‍රපටයේදි ජනරාල් ග්ලෙන් මැක්මැහොන් ලෙස හැඳින්වෙන සැබෑ ජිවිතයේ ජනරාල් මැක්ක්‍රිස්ටල්ගේ චරිතයයි. තමා යටතේ සිටි සෙබළුන්ගේ දැඩි ආදරයට ලක්වූ ජනරාල් මැක්ක්‍රිස්ටල්ගේ විශේෂත්වය වූයේ නිතර විහිළුවෙන් සිටින ඔහු සැබැවින්ම අතිශුර යුද සෙනෙවියෙකු වුවද ඒ බව ඔහුගේ හැසිරීමෙන් නොපෙනීමය.

නිතර විහිළු තහළුවෙන් කල් යවන නමුත් නූතන යුද්ධයන් ජයගත හැකි හා නොහැකි ක්‍රම ගැන තියුණු අවබෝධයක් ඇති ජනරාල්වරයාගේ චරිතය පිට් තිරයට ගෙන එන්නේ අතිදක්ෂ ලෙසය.

චිත්‍රපටයට අනුව ජනරාල් මැක්මැහෝන් කාබුල් බලා එන්නේ ඔහුට පෙර ඇෆ්ගනිස්ථාන යුද බිම භාරව සිටි ජනරාල්වරයා අසාර්ථක වූ විටය. අපි ගිහිල්ලා මේ යුද්ධෙ දිනමු. ඔළුවටම වදින්න දෙමු.” යනුවෙන් තම සගයන්ට පවසමින් එහි එන ජනරාල්වරයා ලෙස රඟපාන පිට් මෙන්ම උප ප්‍රධාන චරිත හා ආරාධිත රංගනයන්හි යෙදෙන නළු නිළියන් සියලු දෙනාම එකිනෙකා පරයමින් දක්ෂතා පෙන්වති. මෙහි විශේෂයෙන් කැපී පෙනෙන චරිතයක් වන ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති හමීඩ් කර්සායිගේ චරිතයට පණ‍පොවන්නේ සම්මානනීය නළු බෙන් කිංස්ලි ය.

තමාටද කිරීමට සිදුව ඇත්තේ තමාට පෙර මෙම යුදබිම භාරව සිටි සෙනෙවියන් කිරීමට උත්සාහ කළ හා ඔවුන්ට කිරීමට නොහැකිවූ කාර්යයම බව ක්‍රමයෙන් වටහා ගන්නා ජනරාල් මැක්මෝහන්ගේ චරිතයට ඒ වටහාගැනීම මනා ලෙස තිරයේ දැක්වීමට සෙසු චරිතවලින් ලැබෙන්නේ ප්‍රබල සහයකි. යුද්ධය ජය ගැනීමට අවශ්‍ය තරම් සෙබළ මුළු ගෙන්වාගැනීමට ජනරාල්වරයා අසමත්වන්නේ එවකට ජනපති බරාක් ඔබාමා ඊට අකමැති වන නිසාය.

ඇෆ්ගනිස්ථාන ගොවීන් ‍පොපි වැවීම නතර කරවීමට ජනරාල් මැක්මැමොන්ට නොහැකිවන්නේ ඔවුන් ‍පොපි වැවීම නවත්වා පුළුන් වවන්නට පටන්ගතහොත් එය ඇමෙරිකාවේ පුළුන් වෙළෙඳපලට බලපෑ හැකි බවට ඇමෙරිකානු පාලන තන්ත්‍රයෙන් උපදෙස් ලැබෙන නිසාය.

මේ සියල්ල අතරේ ජනරාල්වරයා වටහාගන්නා යථාර්ථය වන්නේ “රටක් තුවක්කුව පෙන්වා ගොඩ නැංවිය නොහැකි බව හා “රටක විශ්වාසය ඒ රට ආක්‍රමණය කිරීමෙන් දිනාගත නොහැකි” බවය.

මෙහි එන එක් දර්ශනයක හිටපු ජනපති කර්සායිගේ සියලු ඉඟිබිඟි චරිතය තුළ අකුරටම අනුකරණය කරන බෙන් කිංස්ලි වෙත එන ජනරාල් මැක්මැමොන් කියන්නේ තමා ඇෆ්ගනිස්ථානය නව දිශාවකට ගෙනයන බවකි.ඇෆ්ගනිස්ථානය නිදහස් හා සමෘද්ධිමත් රටක් කරන බවද ඔහු කියයි. ඊට සවන්දෙන ජනපතිවරයා මඳ සිනහවකින් යුතුව මෙසේ කියයි. පරණ දිශාවම වගෙයි ඔය කියන විදිහට මට නම් තේරෙන්නෙ.”

ක්‍රමයෙන් ඇෆ්ගනිස්ථාන යුද්ධයේ අඳුරු පැතිකඩ අවබෝධකරගන්නා ජනරාල් මැක්මැමොන් හමුවට එන කෝපයට හා නොරිස්සුමට පත් ඇමෙරිකානු නාවික සෙබලෙක් ප්‍රතිවිරෝධී උපායමාර්ගයන් තුළ යුද්ධය ජයගන්නා ආකාරය ප්‍රශ්න කරන්නේ ඝාතනය සඳහා හුරුකරනු ලැබූ ඔහුට ඇමෙරිකානු රජය මේ වනවිට ධෛර්යමත් ලෙස පසුබා සිටිය යුතු බව පවසා ඇති හෙයිනි. සාමාන්‍ය ජනතාව සහ හතුරා අතර වෙනස තමාට හඳුනාගත නොහැකි බව පවසන නාවික සෙබළා ඒ සියල්ලන් තමාට එකම ස්වරූපයෙන් දිස්වන බවද කියයි.

“ඔවුන්ට උදව්කරන අතරේම ඔවුන් මරාදාන්න බැහැ. මගේ ඔලුව අවුල් වෙලා.”ඔහු කියයි.

මේ යුද්ධයේ යථාර්ථය ජනරාල්වරයාට වටහාදෙන තවත් චරිතයක් වන්නේ ජනප්‍රිය නිළි ටිල්ඩා ස්වින්ටන් පන‍පොවන ජර්මානු දේශපාලනඥවරියගේ චරිතයයි. රට පුරාම විසිරිලා ඉන්න ඔබලා ස්වදේශික ජනතාව එක්ක යුද්ධ දාහක් විතර කරනවා. ඔවුන්ට තමන්ගෙ පළාතට ඔබලා අවශ්‍ය නැහැ. අන්න එතැනදී තමයි ඔබලාට මේ යුද්ධය දිනන්න බැරිවෙන්නෙ.” ඇය ජනරාල්වරයා නිරුත්තර කරමින් කියයි.

ඇතැම් විචාරකයන්ට අනුව වෝ මෙෂීන් යනු සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමෙන් නොනවත්වා විශ්වවිද්‍යාල හා පාසල් තුළද ප්‍රදර්ශනය කොට තරුණ හා මහළු දෙපිරිස අතරම සංවාදයට ලක්කළයුතු චිත්‍රපටයකි.කැරළිකරුවන් සමග කරන සටන්වලදී රජයේ හමුදාවන් පරාජය වීමට, ත්‍රස්තවාදය ව්‍යාප්තවීමට, හා යුද්ධය විසින් මේ නිසා රටවල් ප්‍රමාණයක් විනාශ කිරීමට හේතුව මෙම චිත්‍රපටය අපට පැහැදිලි කරදෙයි.වසර දහසයකට පසුවද ඇෆ්ගනිස්ථානයට එවිය යුතු සෙබළුන් ගණන ගැන වාද කිරීමට වොෂින්ටනය පෙළැඹී ඇති හේතුවද එය අපට පැහැදිලි කරයි.  


ඩෙංගිට අලුත් පෙම්වතෙක් - කපුකම ගූගල්ගෙන්

 
ඩෙංගු, සීකා, චිකුන්ගුන්යා වැනි රෝග බෝකරන මදුරු ගහනය මර්දනය කිරීම සඳහා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ ප‍්‍රදේශයට මදුරුවන් මිලියන 20ක් මුදාහැර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය අරඹා ඇත්තේ ගූග්ල්හි මව් සමාගම වන ඇල්ෆබට් බහුජාතික සමාගමට අයත් වෙරිලි ජීව විද්‍යා පර්යේෂණ හා සමීක්ෂණ සංවිධානය මගින්.

‘අයිඞීස් අයිජෙප්ටි’ නමැති මෙම මදුරු විශේෂය පැටවුන් බෝ කිරීමේ හැකියාවක් නොමැති වඳ මදුරු විශේෂයක් බව විද්‍යාඥයෝ පෙන්වා දී තිබෙනවා.

රෝගකාරක ගැහැනු මදුරුවන් හා සංවාසයේ යෙදුණ ද පැටවුන් බිහිනොකිරීම නිසා මදුරු ගහනය අවම කිරීමට හා තවදුරටත් රෝගකාරක මදුරුවන් බෝවීම මෙමගින් සාර්ථකව වළක්වා ගතහැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි.

ගිම්හාන ඍතුවේදී ඩෙංගු ආදී රෝග බෝවීම ඇමෙරිකාවට ද බරපතළ තර්ජනයක් වී ඇති බැවින් මෙවර ගිම්හාන සමය ඉලක්ක කරගනිමින් මෙම මදුරුවන් මුදාහැරීමට නියමිතයි.

අධික ජනගහනයක් වෙසෙන ෆ්‍රෙස්නෝ ප‍්‍රදේශයේ මදුරුවන් මුදාහැරීමේ මෙම ව්‍යාපෘතිය නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙරිලි ජීව විද්‍යා පර්යේෂණ හා සමීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ලිනස් අස්පොන් පවසා ඇත්තේ පෙර කරන ලද පර්යේෂණ ගණනාවකින් සාර්ථක ප‍්‍රතිඵල ලැබීමත් සමග ඇමෙරිකාවේ වසංගතයක් ලෙස බරපතළ තර්ජනයක් බවට පත්ව ඇති සීකා සහ ඩෙංගු රෝග මර්දනය සඳහා මෙම ප‍්‍රදේශයෙන් ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.

ඉදිරි කාලයේදී ඇමෙරිකාව පුරා මෙන්ම ලොව සෙසු රටවලට ද මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීමට වෙරිලි ජීව විද්‍යා පර්යේෂණ හා සමීක්ෂණ සංවිධානය අපේක්ෂා කරනවා.

මේ සඳහා වැයවන මුදල සාමාන්‍යයෙන් ඩෙංගු මර්දන ව්‍යාපෘතියකට වැය වන පිරිවැයට වඩා ඉතා අඩු බව ද ඔවුහු පෙන්වා දෙනවා.

රෝග බෝකරන මදුරු මර්දනය කරනු ලබන මෙම පිරිමි මදුරු විශේෂය මීට වසර 15කට පෙර සොයාගන්නා ලද්දේ ස්ටීවන් ඩොබ්සන් නමැති විද්‍යාඥයා විසින්.

මෙම පිරිමි මදුරු විශේෂය සතුව පවතින එක්තරා ජානමය බැක්ටීරියා කාරකයක් හේතුවෙන් ඔවුන් රෝගකාරක මදුරුවන් හා සංවාසයේදී ගැහැනු මදුරුවාගේ රෝග කාරක නැසීමේ හැකියාවක් සහජයෙන්ම මෙම මදුරු විශේෂය සතු බවට ද ඔහු විසින් සොයාගෙන තිබෙනවා.

එ් අනුව මෙම මදුරුවා හා සංවාසයේ යෙදුණු ගැහැනු මදුරුවන් මිනිසුන්ට දෂ්ට කළද රෝගකාරක බැක්ටීරියා මිනිසාට සම්පේ‍්‍රෂණය නොවේ.

එමෙන්ම මෙම මදුරුවා වඳ බවට පත්කිරීමෙන් මදුරු ගහනය අවම කිරීමේ හැකියාවක් පවතින බවට ඔහු පසුව සොයාගෙන ඇති බව වාර්තා වනවා.

වීදි සුනඛයින් ඇති දැඩි කරන්නැයි සනී ලියොන් ඉල්ලයි | VIDEO

ඉන්දියාවේ ක්‍රියාත්මක සත්ව අවිහිංසාවාදී Peta නමැති රාජ්‍ය නොවන සංවිධානයේ වීදි සුනඛයින්
රැකගැනීමේ වැඩසටහනට දායකවූ සරාගී බොලිවුඩ් නිළි සනී ලියොන් මේ දිනවල ඉන්දියාවේ සඟරා පුවත්පත් හා රූපවාහිනී දැන්වීම් වලට පෙනී සිටිමින් වීදි සුනඛයින් හා වීදි බළලුන් ඇති දැඩි කිරීමේ වැදගත්කම පැහැදිලි කරමින් සිටී.

ඇයද වීදි සුනඛයෙකු හදාගන්නට පටන්ගත් බව ඇය එහිදී කියා තිබේග ඉන්දියාවේ මිලියන 25 ක් වීදි සුනඛයින් සිටින බවත් උන්ගේ ජීවිත වෙනුවෙන් පිහිටක්වීමට මනුස්සකම පෙන්වන ලෙසත් ඇය ඉල්ලා සිටී.

VIDEO>>

“අපේ ගමට පැමිණි සී.ටී.බී. බස් රථයේ සිට රයන් ජයලත් පැහැර ගැනීමට පැමිණි සුදු වෑන් රථය දක්වා…!” – “1977” හා ඉන් පසු කාලය ගැන කෙටි ආවර්ජනයක්

අපේ ගමට රතු සහ නිල් පැහැති සී.ටී.බී. බස් රථයක් පැමිණෙනු මා මුල්ම වරට දැක්කේ හරියටම මීට අවුරුදු 40 කට පෙර අද වැනි දිනක යි. ඒ 1977 මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පසු කොල පැහැති තොප්පි සහ ඇඳුම් ඇඳි මැරවරයින් පුරවාගෙන අපේ ගමට පහර දීමට පැමිණි බස් රථය යි. අපේ ගමේ ශ්‍රීලනිප නායකයා ගමේ යූඇන්පී නායකයා ගේ වැඩි මහල් සහෝදරයා වූ බැවින් මැරයෝ ගම් වැසියන්ට කිසිදු අතවරයක් නො කොට ආපසු හැරී ගිය හ. එහෙත් සියළුම ගම්වල වැසියෝ අපේ ගමේ වැසියන් තරම් වාසනාවන්ත නොවූහ. ඉන් හරියටම වසර හතලිහක් පිරීමට දින දෙකක් තිබිය දී මා ද රැකියාව කරන කොළඹ විශ්වවිද්‍යාල භූමිය අසල පිහිටි විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ මූලස්ථානයට, වෛද්‍ය ශිෂ්‍යයින්ගේ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමට පැමිණි පිරිස මහ දවාලේ පැමිණියේ සුදු වෑන් රථයකිනි. මේ සිදු වීම් දෙක අතර සම්බන්ධය කුමක් ද? මේ කෙටි සටහන ඒ පිළිබඳව කෙටි පැහැදිළි කිරීමක් සඳහා ය.

1977 ජූලි 21 වන දා පැවැති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මීට පෙර මැතිවරණයකින් කිසිඳු දේශපාලන පක්ෂයක් නොලැබූ ආකාරයේ ජයග්‍රහණයක් ලැබී ය. ඒ ජය එජාපයට හිමිවූයේ මන්ද? ඒ ජය ලැබූයේ කුමක් ද?

1948 දී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිදහස් වූ අවස්ථාවේ ලංකාව තුළ යහපත් පශ්චාත් යටත් විජිත සමාජයක් ගොඩ නැංවීම සඳහා සිහිනයක් තිබිණි. මේ සිහිනය විවිධ දේශපාලන පක්ෂ විසින් දකිනු ලැබූ යේ එක් ආකාරයකට නොවේ. නමුත් සැමටම පොදුවේ ලඟා කරගැනීමට අවශ්‍ය වූ ඉලක්ක තිබුණි. එයින් ප්‍රධාන දෙකක් වූයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනයේ අවශ්‍යතා ඉෂ්ට කළ හැකි ආර්ථික වර්ධනයක් අත් පත් කර ගැනීමත්, කිසියම් ආකාරයකට වර්ධනය වෙමින් පැවැති ජනවාර්ගික ජාතිකවාදය ඉක්මවා ගොස් නවීන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍යයක් ගොඩ නැංවීමත් ය. කෙසේ වෙතත් මේ ඉලක්ක සපුරා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව පැවැතියේ බෙහෙවින්ම බෙදුණු මති මතාන්තර ය. කෙසේ වෙතත් දේශපාලන පක්ෂවල තිබූ ඒ මති මතාන්තර වලට “උඩින්” සහ “යටින්” පැවැති යථාර්ථයන් නිසා ඒ සිහින සාක්ෂාත් කර ගැනීමට නොහැකි විය. ආර්ථික වර්ධනය පිළිබඳ සිහිනය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ දේශපාලන පක්ෂ වල අභිලාෂයන්ට “උඩින්” පැවැති ගෝලීය මට්ටමේ යථාර්ථයන් ය. දෙවෙනි සිහිනය, එනම් එක්සත් ජාතික රාජ්‍යයක් ගොඩ නැංවීමේ සිහිනය සාක්ෂාත් කරගැනීමට නොහැකි වූ යේ දේශපාලන පක්ෂවල සිහිනයන්ට “යටින්” වර්ධනය වූ ජනවාර්ගික ජාතිකවාදයන් ට දේශපාලන ක්‍රියාවලියට බලපෑම් කිරීමට තිබූ හැකියාව පිළිබඳ යථාර්ථයන් ය.

මේ සිහිනය අවසාන වශයෙන් පුපුරා යාම ආරම්භ වූයේ 1970 ගණන් වල දී ය. එහි ආරම්භක පුපුරා යාම 1971 අප්‍රෙල් මාසයේ දී සිදුවි ය. ඒ කිසිවෙක් නොසිතූ විරූ ලෙස කොතැනකින් මතු වූවා දැයි කිසිවෙකුටත් සිතා ගත නො හැකි ලෙස ගම්බද තරුණ තරුණියන් දසදහස් ගණනින් ඒක්තරා රාත්‍රියක රටපුරා පොලිස් ස්ථාන වලට පහර දීමට පටන් ගැනීමත් සමග යි. ගුණදාස අමරසේකරගේ කෙටි කතාවල අපූරුවට නිරූපනය කර ඇති ආකාරයට, මේ පොලිස් ස්ථාන වලට පහර ගැසූ තරුණ තරුණියන් අති බහුතරයක් වනාහී ගම්බදව ජීවත් වූ, කිසිවකුගේ අවධානයට ලක් නොවූ කිසිවෙකු විසින් බැරෑරුම් ලෙස භාර ගනු නොලැබූ, ගම්බද අන්ත දිළින්දන්ගේ දූ පුතුන් ය. ඉතාම ගුප්ත නාමකරණයක් වූ “චේගුවේරාකාරයින්” යන පදයෙන් ජනයා විසින් හඳුන්වනු ලැබූ මොවුහු සමාජයෙන් මුළුමනින්ම පිටමං කර සිටි පිරිසකි. ලංකාවේ පශ්චාත් යටත් විජිත (වාමාංශික හා දක්ෂිණාංශික) දේශපාලන ප්‍රභූතන්ත්‍රය විසින් දක්නා ලද අළුත් ලංකාවක් පිළිබඳ සිහිනය මේ පිරිසට මුළුමනින් ම දුරස්ථ සහ ආගන්තුක එකක් වී ය.

දෙවන සිදු වීම ද ඊට සමාන වුව ද පළමු වැන්න තරම් එක් වරම එක්තරා රාත්‍රියක හටගත් සිදු වීමක් නොවී ය. එය සෙමින් එහෙත් ස්ථිර සාර ලෙස වර්ධනය විය. ඒ උතුරේ තරුණයින්ගේ කැරළි කාරිත්වයයි. ප්‍රශ්න විසඳීම සදහා දකුණේ සිංහල දේශපාලන ප්‍රභූන් සමඟ කේවෙල් කරමින් සහ ඔවුන්ට බලපෑම් කරමින් උතුරේ දේශපාලන ප්‍රභූතන්ත්‍රය පසු වෙද්දී මේ තරුණයින් අතර අසහනය මෝරා යමින් පැවැතිණි. 1976 මැයි 14 වන දා, කේවෙල් කිරීමෙන් හති වැටී සිටි ප්‍රභූ තන්ත්‍රය විකල්පයක් සඳහා තමන් අතර ඒකාබද්ධතාවයක් ඇති කර ගැනීමට යාපන අර්ධද්වීපයේ වඩුක්කොඩෙයි ග්‍රාමයට රැස් වූ අවස්ථාවේ ඔවුනට මෙ අසහනයෙන් දැවෙන තරුණයින්ගේ රස්නයෙන් ගැලවීමට හැකියාවක් නොතිබුණි.

ලංකාවේ නූතන ඉතිහාසය පිළිබඳ, බොහෝ දෙනෙකුගේ අවධානය දිනා නොගත් නමුදු, විශිෂ්ට වූ කෘතියක් (Society and Space, Colonialism, Nationalism and Postcolonial Identity in Sri Lanka – 1998) රචනා කළ නිහාල් පෙරේරා මේ සිදුවෙමින් පැවැති විපර්යාසය කදිමට ග්‍රහණය කරගනී. ඔහු නිවැරදිව ප්‍රකාශ කරන ආකාරයට, “පශ්චාත්-යටත්විජිත” යැයි හැඳින්විය හැකි සමය අවසන් වී, “දේශපාලන සහමන්ත්‍රණයේ” (political negotiation) කේන්ද්‍රය කොළඹ නගරයෙන් දුරබැහැර ගම්වලට විතැන් වීම ආරම්භ වී තිබිණ.

ලංකාවේ පශ්චාත් යටත් විජිත වකවානුවේ පැවැති සාපේක්ෂ වශයෙන් වඩාත්ම ජනහිතකාමී සහ ස්ථිර දැක්මක් සහිත ආණ්ඩු කාලය ලෙස සැලකිය හැකි 1970-1975 සමගි පෙරමුණු ආණ්ඩවේ අත්හදා බැලීම ඛේදජනක ලෙස අසාර්ථක වන්නේ මේ සංදර්භය තුළ යි. සම සමාජ පක්ෂය සමගි පෙරමුණෙන් ඉවත් වීමත් සමඟ ඒ අත්හදා බැලීම අවසන් වේ. එය පශ්චාත්-යටත්විජිත සිහිනයේ අභාවය ලෙස නම් කිරීමට පුළුවන. 1977 ජූලි මාසයේ 21 වනදා සිදු වූයේ එසේ අභාවයට පත්ව තවත් වසර දෙකක් හොල්මන් කරමින් සිටි මළකුණ අවසානයේ මිහිදන් කර දැමීම යි.

ඉන්පසුව සිදු වූයේ ඉතා අපූරු දෙයකි. ධනවාදයේ ඉතාම නග්න ස්වරූපය ක්‍රියාවට පෙරළුනේ ලංකාව “ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීය සමාජවාදී සමූහාණ්ඩුව” යනුවෙන් නිල වශයෙන් නම් කිරීම මගිනි. 1948 නිදහස ලබන විට මෙන්ම ඉන් දශක දෙක පමණ කාලය තුළ ද ප්‍රජාතනත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ තෙවන ලොව ආදර්ශය ලෙසින් විරුදාවලි ලබා තිබූ ලංකාවේ ප්‍රජාතනත්‍රවාදී දේශපාලන ක්‍රමය අර්බුදයට යමින් තිබුණි. 1975 දී පැවැත්වය යුතුව තිබූ මැතිවරණය වසර දෙකකික් කල් දමා තිබූ අතර මැතිවරණ ක්‍රියාවලිය දැඩි ලෙස ප්‍රචණ්ඩකාරී බවට පත් වෙමින් තිබිණි. රාජ්‍ය බලය කුඩා කල්ලියක් අත සංකේන්ද්‍රණය වෙමින් පැවැතිණි. (මේ සංද්ධිය ගාමිණී ෆොන්සේකාගේ, ලංකාවේ “ඩොක්ටර් ෂිවාගෝ” ලෙස එක්තරා ආකාරයකින් සැලකිය හැකි, “සාගරයක් මැද” සිනමා කෘතිය තුළ, තරමක් ප්‍රභූවාදී ලෙස වුව ද, කදිමට නිරූපනය කර තිබුණි.)

අතිශයින්ම අධර්මිෂ්ට වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් ද, තරමක් දුරට හෝ ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ වලින් යුක්ත වූ සමාජ-දේශපාලන දේහය තුළ වර්ධනය වෙමින් පැවැති රාජ්‍යය අතිශයින්ම කෘරත්වයට පත් කිරීමේ (brutalization of the state) දේශපාලන අධිකාරවාදය ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කරනු ලැබීමේ ක්‍රියාවලියකින් ද සමන්විත වූ ව්‍යාපෘතිය “ධර්මිෂ්ට සමාජය” ලෙස බෞතීස්ම කෙරිණි. 1982 දී එදිරිවීර සරච්චන්ද්‍ර විසින් තරමක් ජනප්‍රියවාදී ආකාරයට හෝ සිය “ධර්මිෂ්ට සමාජය” කෘතිය මගින් ග්‍රහණය කර ගැනීමට උත්සාහ දරණ ලද්දේ මේ යථාර්ථය යි. ඉතාම උත්ප්‍රාසජනක ලෙස, රාජ්‍ය බලය හොබවනු ලැබූ දේශපාලන නායකත්වය විසින් උසිගන්වන ලද මැරයෝ සරච්චන්ද්‍රට ද කාණු පල්ලේ දමාගෙන පහර දුන්නෝ ය. ඒ ක්‍රෑරත්වය ම ඊට වඩා සිය දහස් ගුණයකින් 1983 දී මෙවැනි ම මාසයක (සහ ඉන්පසුව සංවිධානාත්මක යුධ මෙහෙයුමක් ලෙස දිගින් දිගටම) දෙමළ ජනයාට විරුද්ධව ද, 1987-89 කාලයේ සිංහල ග්‍රාමීය තරුණයින්ට විරුද්ධව ද නොමසුරු ලෙස මුදා හැරිණි.

ඉන්පසු ආපසු හැරීමක් නොතිබිණි. 1994 දී මේ ගමන ආපසු හැරවීමට ගන්නා ලද උත්සාහය ඛේදජනක ලෙස අසාර්ථක වූ කල් හී, 1997 දී සී.ඒ. චන්ද්‍රප්‍රේම සිය, උචිත ලෙසම “කොලපාට සමාජය” ලෙස නම් කර තිබූ, කෘතිය මගින් මේ මාවතේ අපසු හැරවිය නොහැකි ස්වභාවය උත්කර්ශයට නැංවීය. නැවතත් ඒ මාවත ආපසු හැරවීම සඳහා, වඩාත් අවාසිදායක කොන්දේසි යටතේ, 2015 දී ගනු ගන්නා ලද උත්සාහය (තරමක් භයානක) ප්‍රහසනයක් බවට පත් වී තිබේ. එක්තරා ආකාරයකට දින දෙකකට පෙර විද්වත් වෘත්තිකයින්ගේ සංවිධාන මූලස්ථාන භූමියේ රඟ දැක්වුනේ එම ප්‍රහසනයේ එක් ජුගුත්සාජනක ජවනිකාවක් යැයි කිව හැකිය.

දිනෙන් දින වර්ධනය වන ඇති නැති පරතරය, රාජ්‍යය මගින් පවත්වාගෙන යන පොදු සුභ සාධන සේවාවන් දුර්වල කොට ඒවා වෙළඳපොළ කරණය කිරීම, ප්‍රජාතන්ත්‍රීය අවකාශය හැකිලීම රාජ්‍යයේ මර්ධනකාරී ශඛ්‍යතාවය වැඩි වීම, රාජ්‍ය දේපළ හා මහජන අරමුදල් නින්දිත ලෙස අවභාවිතය, රාජ්‍ය බලය ඉහළ තලයේ දී සමාජයට වග නොකියන සීමිත ප්‍රභූ කල්ලියක් අත ද, බිම් මට්ටමේ දී සමාන්‍ය ජනයා මත නව-වැඩවසම් ආකෘතියක ආධිපත්‍යයක් පවත්වාගෙන යන පාදඩ කල්ලි අත ද සංකේන්ද්‍රණය වීම මේ ඊනියා “ධර්මිෂ්ට” “කොලපාට සමාජයේ” සැබෑ ස්වරූපය යී. වඩාත් උත්ප්‍රාසජනක වන්නේ ඊට ඇති විකල්පය ලෙස ඉදිරිපත් වන්නේ (1977 ජූලි 22වන දා අපේ ගමට කොල පැහැති මැරයන් රැගෙන පැමිණි සී.ටී.බී. බස්රථය මෙන්) මතුපිටින් නිල් හා රතු පැහැ ගන්වා, “මාතෘභූමිය රැකගනිමු” වැනි වසඟකාරී වාග් පාඨ අලවා ඒ “ධර්මිෂ්ට කොලපාට” සමාජය ම වීම යි. කෙසේ වෙතත් නැවතත් ඒ මායාවේ සරණ යාම හැර වෙනත් විකල්පයක් පොදු ජනයාට තිබේවි ද?
 
| අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි


පුරුෂ ශුක්‍රාණු ප්‍රතිශතය පහළට අනාගත තර්ජනයක් බව කියයි

පුරුෂයන්ගේ ශුක්‍රාණු ප්‍රතිශතය දැනට පවතින සීමාවේ තවදුරටත් අඩුවෙමින් පැවතියහොත් අනාගත මනුෂ්‍ය සංහතියේ අභාවය වැඩි ඈතක නොවන බව විද්‍යාඥයෝ පවසති.

උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සිද්ධීන් 200ක් පමණ ඇසුරෙන් දීර්ඝ කාලයක් පුරාවට සිදුකළ පර්යේෂණ ප්‍රතිඵලයකට අනුව වසර 40ක කාලය තුළ ඔවුන්ගේ ශුක්‍රාණු ප්‍රතිශතය අඩකින් පමණ පහළ බැස ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පර්යේෂණ කණ්ඩාමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වෛද්‍ය හගායි ලෙවින් පවසන්නේ අනාගතයේ සිදුවිය හැකි අනතුර සම්බන්ධයෙන් අප වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

වර්ෂ 1973 සහ 2011 යන දීර්ඝ කාලයක් පුරා සිදුකළ දැවැන්ත පර්යේෂණ ප්‍රතිඵලයක් බැවින් මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව ඉහළ බවද පර්යේෂකයෝ පවසති.

වසංගත තත්ත්වයන් සම්බන්ධ විශේෂඥයෙකු වූ වෛද්‍ය ලෙවින් පවසන්නේ මේ තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් අනාගතයේ මනුෂ්‍ය සංහතිය ක්‍රමයෙන් හීනවී යනු ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම පර්යේෂණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් සැක උපදවන පිරිස්ද සිටින අතර, මෙය සමස්ත ලෝකයටම බලපාන තත්ත්වයක් නොවන බව ඔවුහු පවසති.

















රවීට ආපු චෝදනා මට ආවනම් මම අස්වෙලා

ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වූ චෝදනාව තමාට එල්ල වුණා නම් ඇමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්‌වන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවැසීය.

යහපාලන ආණ්‌ඩුවේ සොරුන් සිටින බව අනාවරණය කළ විට තමන්ට ආණ්‌ඩුවෙන් ඉවත්වන ලෙස ඇතැම් පාර්ශ්ව සඳහන් කළ බවත් දැන් එල්ල වී තිබෙන චෝදනා හමුවේ ඉවත් වන්නේ කවුරුන්ද කියා තමා බලා සිටින බවත් හෙතෙම කීය. මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සාක්‌ෂි මඟින් ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා මෙසේ ද කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ රජය සමයේ මේ වාගේ ජනාධිපති කොමිෂන් තිබ්බේ නැහැ. අද මේ රජය ස්‌වාධීනව ක්‍රියාකරනවා. පසුගිය රජයේ කොච්චර හොරු හිටිය ද? අද ජනාධිපති කොමිසම යටතේ ඕනෑම කෙනෙක්‌ පිළිබඳව පරීක්‌ෂණ පවත්වනවා. මෙම පරීක්‌ෂණවලින් හෙළිවෙන තොරතුරු අනුව කවුද අයින්වෙන්නේ කියලා මං බලාගෙන ඉන්නවා.

පෞද්ගලික ඉන්ධන බවුසරවලටත් ඉන්ධන නොදෙයි


    සංස්ථා සේවකයන් සේවයට වාර්තා කරනතුරු පෞද්ගලික ඉන්ධන බවුසරවලට ඉන්ධන පිරවීම සිදු නොකරන බව තෙල්ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

වර්ජනයට තම සංගමය කිසිදු සහයෝගයක් ලබානොදෙන බවත්, එහෙත් හමුදා සාමාජිකයන් රථවලට ඉන්ධන ලබාදුන්නත් ප්‍රවාහනයේදී ඇතිවන අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් එම සංගමයේ නියෝජිතයෙක් සඳහන් කළේය.


දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාරගෙ පැටිකිරිය මෙන්න

මැද : දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර
මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට එරෙහිව දූෂණ වීරෝධී හඬ සංවිධානය විසින් අංක ACC/FC/2015/51 යටතේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ එම කාර්යාලය ඒ පිළිබඳ විමර්ශණ අවසන්කර අධ්‍යන වාර්තාවක් සහිතව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාර දී ඇත. මෙම පැමිණිල්ල මගින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර වෙත චෝදනා ගණනාවක් එල්ල වී ඇත. එම චෝදනා අතර

01. මහනුවර ශ්‍රී දළදා මාලිගාව සතු ඉඩමක් වන “උඩගෙදරවත්ත” අක්කර 2.5ක් බැගින් කැබලිකර පර්චස් එකක් රුපියල් 65,000 බැගින් විකුණා එම මුදල වංචා කිරීම.

02. දළදා මාලිගාව සඳහා විවිධ පුද්ගලයන් හා දානපතියන් විසින් පූජා කරන ලද ස්වර්ණාභරණ ඇතුළු අනෙකුත් භාණ්ඩ සොරා ගැනීම.

03. දළදා මාලිගාව සතු මුදල් 2015 ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම.

04. දළදා මාලිගාව නමින් තීරබදු රහිත භාණ්ඩ ගෙන්වා එම භාණ්ඩ පෞද්ගලික පරිහරණය සඳහා ගැනීම.

05. දියවඩන නිළමේවරයාට අයත් PND CONSTRUCTION නැමති ආයතනය දළදා මාලිගාවේ මුදල්වලින් නඩත්තු කිරීම හා එම ආයතනයේ බැංකු ගිණුමට රුපියල් කෝටි එකහමාරක මුදලක් තැන්පත් කිරීම.

06. දළදා මාලිගාවේ වියදමින් Mini Jhon Cooper වර්ගයේ වාහන අලුත්වැඩියාකිරීම හා ඒ හරහා වංචා සිදු කිරීම.

07. දළදා මාලිගාව සතු මුදල් යොදවා සී.ඩී. තැටි නිපදවිමේ කොන්ත්‍රාත්තුවක් Onasta International සමාගමට ලබාදී එමගින් මුදල් වංචා කිරීම  ප්‍රධාන තැනක් ගනියි.

නිලංග දෑල බණ්ඩාරට අදාළව ඉදිරිපත්වී ඇති මෙම චෝදනා විමර්ශනය කිරීමේදී දළදා මාලිගාව සතු ඉම් කොටස් කර විකිණිමෙන් රුපියල් 26,000,00.00 මුදලක් දළදා මාලිගාවේ බැංකු ගිණුමට බැර නොකර වංචා කර ඇති බව කරුණු සහිතව සනාත වී ඇත. මීට අමතරව 2015 ජනාධිපතිවරණ සමයේදී දළදා මාලිගාව සතු රණ්පත්‍ර, පුන්කළස්, කෙණ්ඩි යනාදී කෞතුක වටිනාකමක් සහිත භාණ්ඩ අතුරුදහන් වී ඇති අතර එම වකවානුවේදී අනුරාධපුර දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් ඡන්ද දායකයින් හට මුදල් හා භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලියක්ද ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර විසින් සිදු කර ඇති බව පෙනී යයි.

ඉහත චෝදනාවන්ට අදාළව විමර්ශන අවසන් කර නීතිපතිවරයා වෙත අදාල ලිපි ගොනුව යොමු කොට ඇති අතර මහනුවර අධිකරණයට ම/උ 34983/15 යටතේ කරුණු වාර්තා කර ඇත. මීට අමතරව 2015.09.01වන දින CR 5/27/2015 යටතේ නිලංග දෑල බණ්ඩාරට එරෙහිව ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වාර්තාව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා යොමුකර ඇත.

කරුණු මෙසේ වුවද නීතිපති උපදෙස් සඳහා යොමුකොට දැනට වසර දෙකක් ගෙවී ගියද යහපාලන ආණ්ඩුවේ ඉහලම ප්‍රබලයින්ගේ මැදිහත්වීම මත දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට අදාළ ඉහත සනාත කළ හැකි චෝදනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැත. මීට අමතරව මහනුවර අධිකරණයට කරුණු වාර්තාකර ඇති නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නඩුපැවරීමක් සිදු කොට නොමැත.

තුර්කි ජනපති කටාරයේ

තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගොන්, අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල සම්බාධක මැද හුදෙකලා කරනු ලැබ සිටින කටාර් රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා පැමිණියේය.

කටාර් අර්බුදයේදී තුර්කියේ සහාය නොඅඩුව ලැබෙන්නේ කටාර් රාජ්‍යයටය. කටාර් රාජ්‍යයේ තුර්කි හමුදා කඳවුරක් ද පිහිටුවා ඇත. කටාරයේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ඕනෑම විටෙක, කටාර් රජයට සහාය දැක්වීමට එම කඳවුරේ සිටින තුර්කි සෙබළු සූදානමින් සිටිති.

තුර්කි ජනාධිපති කටාර් රාජ්‍යයේ දෝහා නුවරට පැමිණියේ බිරිඳ එමීන් ද සමඟය.

තුර්කි ජනාධිපතිවරයා සහ බිරිඳට කටාර් එමීර් කටාර් එමීර් තමීම් බින් හමාද් අල් තානීගෙන් ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

කටාර් රාජ්‍යය සමීපතම මිතුරකු බවත්, ඕනෑම අවස්ථාවක කටාර් රාජ්‍යයේ සහායට තුර්කිය සූදානමින් සිටින බවත් තුර්කි ජනපති රිසෙප් ටයිප් එර්ඩොගොන් පැවැසීය.

කටාර් අර්බුදය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපතිවරයා සහ කටාර් එමීර් තමීම් බින් හමාද් අල් තානී අතරේ ද්වී පාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණි.

කටාර් රාජ්‍යයට සම්බාධක පනවා ඇත්තේ අසල්වැසි සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුවය. ඒ, කටාරයේ විදෙස් ප්‍රතිපත්තිවලට විරෝධය දක්වමිනි.

කටාර් රාජ්‍යය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන බවටත් අන්දවාදීන්ට උඩගෙඩි දෙන බවටත් සෞදිය ප්‍රමුඛ මෙම ගල්ෆ් කලාපීය රටවල් චෝදනා කරයි.

සම්බාධක ඉවත් කිරීමට සෞදිය ප්‍රමුඛ රටවල් කටාර් රාජ්‍යයට කොන්දේසි පනවා ඇත. එම කොන්දේසිවලට එකඟවීම කටාර් රජය ප්‍රතික්ෂේප කර ඇතැයි ද පැවැසෙයි. එම කොන්දේසිවලින් එකක් වන්නේ තුර්කිය සමඟ කටාර් රාජ්‍යය පවත්වන සබඳතා අඩු කළ යුතුයි කියාය.

(ඒ.එෆ්.පී.)

රංගන මිය ගිය බවට වාර්තා වූ තොරතුරු ගැන අවුරුදු 4ට පසු හෙළිකරයි

 2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඔස්ට්‍රේලියාවේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය බවට සමාජ මාධ්‍ය හරහා තොරතුරු වාර්තා විය. මේ පිළිබඳව අවුරුදු හතරකට පමණ පසුව රංගන හේරත් සිය අත්දැකීම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ඔහු පවසන්නේ එදින ඔස්ට්‍රේලියානු වේලාවෙන් පාන්දර 3.30ට පමණ තම දුරකතනය නාද වෙන්න පටන් ගත් බවත් අඛණ්ඩව දුරකතනය නාද වෙන විට කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව හැඟුණු බව රංගන පවසයි.

“ඒ හිමිදිරි පාන්දර, මම හිතන්නේ පෙ.ව. 3.30ට පමණ ඇති. මගේ දුරකතන නාද වෙන්න පටන් ගත්තා. බොහෝ මිත්‍රයින් ලංකාවේ සිට කතා කළා. මට හිතුණා මොකක් හෝ දෙයක් වෙන බව. මම එක් දුරකතන ඇමතුමකට පිළිතුරු දුන් විට සිදුව ඇති දේ තේරුම් ගත්තා. රාත්‍රිය පුරාම දුරකතනය නාද වෙන්න පටන්ගත්තා.

මට දුරකතනය ක්‍රියා විරහිත කරන්න අවශ්‍ය වුනේ නෑ. එතකොට ඔවුන් හිතනවා සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය කතාව ඇත්තක් බව. ඒ වන විට මට ලැබෙන හැම දුරකතන ඇමතුමකටම මම පිළිතුරු ලබාදෙමින් හිටියේ. මට කතා කරපු හැම දෙනෙකුටම මම කීවේ මට කිසිම ගැටලුවක් නෑ.මම තාමත් පනපිටින් ඉන්නවා. මම තරගය ක්‍රීඩා කිරීමට  සූදානම් බවයි.” යනුවෙනි.

මේ අතර 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත ක්‍රීඩා කිරීමට  කැමතිදැයි තමන්ගෙන් දුරකතනයේ විමසා සිටියේ කුමාර් සංගක්කාර බවද හේරත් සඳහන් කළේය. මුත්තයියා මුරලිදරන් අබාධයට පත්වීම හේතුවෙන් හේරත්ට නැවතත් ක්‍රිකට් පිටියට පැමිණීමට අවස්ථාව ලැබුණි.

"ඒ වන විට මම එංගලන්තයේ ලීග ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩාකරමින් සිටියේ. එක්වරම මට ශ්‍රී ලංකාවෙන් දුරකතන පණිවිඩයක් ලැබුණා. කුමාර් සංගක්කාර මට කතා කර කීවේ මුරලි ආබාධයකට ලක්වුණා. ඔබ ක්‍රීඩා කරන්න ලෑස්තිද කියලයි. මම කීවා ඔව් කියලා. ඉන් පසුව ඔවුන් නැවතත් මට මගේ ගෙදරට එන්න සියලු දේ ලෑස්ති කළා.

සංගා මට දුරකතන ඇමතුම ලබාදුන්නත් මම දන්නවා ඒ ක්‍රියාවලිය පසුපස බොහෝ දෙනෙකු සිටි බව. මුරලි, කළමනාකරණය, තේරීම් කමිටුව විශේෂයෙන්ම චන්දික හතුරුසිංහ. ඔහු ඒ වන විට ශ්‍රී ලංකවේ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටියා. ”

සරාගී වැඩි නිසා රඟපෑම තහනම් වූ නිළියක් මෙන්න

සරාගී කම වැඩි වීම හේතුවෙන් නිළියකට රඟපෑම තහනම් කළා යැයි පැවසුවොත් එය විමතියට කරුණක්. එවැනි රඟපෑම තහනම් වූ නිළියක් ගැන පසුගියදා කාම්බෝජයෙන් අසන්නට ලැබුණා.

මෙසේ වාරණයට ලක්ව සිටින්නේ 24 හැවිරිදි ඩෙනී ක්වාන් (Denny Kwan) නමැති නිළියයි, අඟ පසඟ පෙනෙන ලෙස ඇඳුම් ඇඳීම සහ සරාගී ලෙසට ඡායාරූපවලට පෙනී සිටීම නිසා වසරක කාලයක් ඇයට රඟපෑම තහනම් කොට තිඛෙන බවයි වාර්තා වෙන්නේ. මේ තහනම පනවා ඇත්තේ කාම්බෝජයේ සංස්කෘතික හා ලලිත කලා අමාත්‍යාංශයේ විනය සභාවේ ක්‍රියාකාරීන් විසිනුයි.

මීට වසරකට පෙරද ඇයව විනය සභාවේ ක්‍රියාකාරීන් විසින් සංවරව ඇඳුම් ඇඳීම පිළිබඳව අධ්‍යයන පාඨමාලවකට යොමුකර තිබුණා. සංස්කෘතික හා ලලිත කලා අමාත්‍යංශයේ ප්‍රධාන උපදේශක Chamroeun Vantha ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, අපි ඇයට කිහිප වතාවකදීම දුවකට සේ අවවාද කළා, එසේම පසු ගිය මැයි මාසයේ සිට ඇය අප සමග ලිඛිත ගිවිසුමකට අත්සන් කර තිබුණා. නමුත් ඇය ඒ පොරොන්දුවට ගරු කිරීමට අපොහොසත් වුණා. ඒ නිසයි අපට මේ තීරණය ගන්න සිදු වුණේ. ඩෙනීට තමන්ට කැමැති ඕනෑම දෙයක් අඳින්න බැහැ. ඇය අපගේ සංස්කෘතික වටිනාකම්වලට ගරු කළ යුතුය.

කාම්බෝජියාවේ සිටින සියලූ කලාකරුවන් අමාත්‍යාංශයෙන් පනවා ඇති චර්යා ධර්මවලට යටත් විය යුතුයි. කලාකරුවන් ලෙස පෞද්ගලික ගරුත්වය සහ ජාතික අනන්‍යතාව රැක ගැනීම ඉතා වැදගත්. කිසිවකුටත් කාම්බෝජියානු සංස්කෘතිය හාස්‍යට ලක්වන පරිදි ක්‍රියා කළ නොහැකියි. නිතර පළ කරන සරාගී සෙල්ෆි ජායාරූප නිසාම කාම්බෝජයේ පමණක් නොව ලෝකය පුරාම ඇයට සිටින ෆේස් බුක් අනුගාමිකයින් (followers) සංඛ්‍යාව ලක්ෂ හතරකට ආසන්නයි. මේ සුරූපිනිය තමන්ගේ රූ සපුව ඔප් නංවා ගන්න ප්ලාස්ටික් සැත්කම් රැසක් කළ කෙනෙක්. ඒ වගේම සම සුදු කරගන්නත් ඇය විශාල වශයෙන් ප්‍රතිකර්ම කළ කෙනෙක් බව සඳහන්. මේ රඟපෑම් තහනම පිළිබඳව ඇය කාම්බෝජියානු පුවත්පතකට මෙසේ අදහස් දක්වා තිබුණා.

කාම්බෝජියාවේ බොහෝ සරාගී කලාකරුවන් ඉන්නවා. බොහෝ අය රංගනයේදී මටත් වඩා බොහෝ ශෘංගාරාත්මක ලෙස රඟපානව. විශේෂයෙන් සිප ගැනීමේ දර්ශන වලදී. මම කැමැති විදියට ඇඳුම් ඇඳීම මට ඇති අයිතියක්, මම කලාකාරියක් නිසා මගේ නිර්මාණවලට අනිවාර්යයෙන් සාධාරණයක් ඉටු කළ යුතුයි. ඒ වගේම මට ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම වැදගත්. මගේ රසිකයන් මගේ ඇඳුම් නිර්මාණ විලාසිතාවලට ප්‍රිය කළත් අපේ සංස්කෘතිය, කාම්බෝජියානු ජනතාවට, එය පිළිගත නොහැකියි. අතිශය සරාගී ඡායාරූප මගේ ෆේස් බුක් ගිණුමේ පළ නොකිරීමට මම හැම විටම උත්සහ කරනවා. මම මේ වාරණයෙන් කලබලයට පත් වෙන්නේ නෑ. නමුත් මගේ රුපලාවණ්‍ය කටයුතු සඳහා අධික මුදලක් වැය වෙනවා. මට රඟපාන්න බැරි වීම නිසා ඉදිරියේදී ඒ මුදල සොයා ගන්න එකනම් මට ප්‍රශ්නයක් වෙයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වාරණය අවසන් වෙනකොට නම් මම තව තවත් සරාගී ශෘංගාරාත්මක නිළියක් වෙයි කියන එකයි.

ඩෙංගු මැඩලන්න නව එන්නතක්

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ක්‍රියාත්මක ඩෙංගු පර්යේෂණ ඒකකය විසින් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කලහැකි ඖෂධයක් ඉතාමත් සාර්ථකව අත්හදාබලා තිබෙනවා.

මේ වනතෙක් අංගොඩ IDH රෝහලේදී සිදුකල සායනික පරීක්ෂණවලදී ඉතා හොද ප්‍රථිඵල මේ ඖෂධයෙන් ලැබී ඇති අතර ඉදිරි සායනික් පරීක්ෂණවලදිත් ඒ ආකාරයෙන් හොද ප්‍රථිඵල අත්වුවහොත් මේ වන විට මාරාන්තික රෝගයක් වී ඇති ඩෙංගු රෝගය පැතිරීම පාලනය කිරීමට හැකි වනු ඇතැයි එම ඒකකයේ පරීක්ෂණ කණ්ඩායම පවසනවා.

ඒ අනුව ආසාත්මිකතාවයන්ට ප්‍රතිකාර කිරීම සදහා ලොව පුරා බහුලව භාවිතයට ගැනෙන Rupatadine නම් ඖෂධය ඒ සදහා සුදුසු බව අනාවරණය කර ගැනීමට මේ කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය ඇතිව Rupatadine ඖෂධය රෝගීන්ට පළමුව IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට ලබාදී සායනික පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී මේ ඖෂධය ලබාදුන් රෝගීන්ගේ තරල කන්දුවීම අඩුවී ඇති අතර රෝගය සුවවීමේ වේගයවැඩි වීමත්,රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහල යාම හා රෝගය නිසා අක්මාවට සිදුවන හානිය අවමවීමත් සිදුවී තිබෙනවා. එම නිසා මේ ඖෂධය භාවිතා කොට ඉදිරියේදී තවත් රෝහල් වලත් සායනික පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි මේ පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ.

එම පරීක්ෂණවලින්ද මේ ඖෂධය සාර්ථක බව ඔප්පුවුවහොත් ඉදිරියේදී ඩෙංගු රොගය පාලනය කිරීමෙහිලා මේ සොයාගැනීම ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති.

රටටම හොරෙන් විනාශ වෙන තවත් මහා වනාන්තරයක් මෙන්න | PHOTO

විල්පත්තු රක්ෂිතය ලෙසම ‍රටට රහසේ සිදුවන තවත්  මහා විනාශයක් පිළිබදව වාර්තා වෙනවා.

මෙම වන විනාශය සිදුවන්නේනේ උතුරු පළාතේ මුලතිව් මහා වනාන්තරය තුලයි. ජනාවාසකරණය සදහා සිදුවන මෙම මහා වන විනාශයට චෝදනා එල්ල වන්නේ විල්පත්තු වන විනාශයට චෝදනා එල්ල වූ රීෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාටමයි. මුලු රටටම රහසේ සිදුවූ මෙම මහා වන විනාශය පිළිබදව රටට හෙළි කර සිටියේ බැලුම්ගල කණ්ඩායමයි.

යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමට යැයි පවසා සිදුවන මෙම මහා විනාශය සදහා අරමුදල් සපයන්නේ අරාබිකරයේ NGO ආයතන බව රටට හෙළි කර සිටියා.

මුලතිව් වනය විනාශ කර සාදා ගන්නා ඉඩම් එක් අයෙකුට පර්චස් 40 බැගින්ද ‍රිෂාබ් බදියුදීන් ඇමතිවරයාගේ හිතවතුන්ට විශාල ඉඩම් කොටස් බැගින්ද ලබා දෙන බවද හෙළි කිරීමට බැලුම්ගල කණ්ඩායම මුලතිව් ප්‍රදේශයට ගොස් සිදු කළ ගවේෂණයේදී හැකි උනා.

මෙම වන විනාශයේ ඉතිහාසය සොයා ගිය බැලුම්ගල කණ්ඩායම පවසන්නේ 2013 වසරේ යුද්ධ‍යෙන් අවතැන් වූ දෙමළ ජනතාව පදිංචි කරවීමට යැයි කියා මුලතිව් කැලය එලි කිරීමට අමාත්‍ය රිෂාඩ් අවසර ඉල්ලා ඇති අතර එහිදි එවකට රජය පරිසර ශක්‍යතා වාර්තාවක් ලබා ගන්නා ලෙසට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ට නියෝග කර තිබෙන බවද එම පරිසර ශක්‍යතා වාර්තාව තවමත් ලැබි නොමැති බවයි. පරිසර ශක්‍යතා වාර්තාව පවා නොමැතිව මෙම වන විනාශ‍ය සිදු වීම විශේෂත්වයකි.

මුලතිවු වනය විනාශ කරමින් සිදුවන මෙම මහා වන විනාශයෙදී සිඳලා තිබෙන මවා වෘක්ෂකයන් ජවාරම්කරුවන් දැව ලෙස පැහැර ගෙන තිබෙන බවද බැලුම්ගල කණ්ඩායම නිරීක්ෂණය කර තිබෙනවා.
සෙසු කුඩා වෘක්ෂ සහ පඳුරු වන විනාශකරුවන් විසින් ගිණි තබා තිබෙන අයුරු දැක ගත හැකි උනා.
ප්‍රධාන මාර්ගයට කිලෝමීටර දහයක් පමණ ඇතුලතින් මුලතිව් වනයේ සිදු වන මෙම මහා විනාශයේදි එම ඉඩම් වලට ගමන් කිරීමට මාර්ග පවා සකස් කර තිබෙනු දැක ගත හැකි උනා.

දැනටමත් මෙම ඉඩම්වල ස්ථි‍ර ගොඩනැගිල්ලක් ලෙස මුස්ලිම් පල්ලියක් ඉදිකර තිබෙනවා. මීට අමතරව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ හිතවතෙකුට සත්ව ගොවිපලක් සදහා ඉඩම් ද ලබා දී තිබෙන බවත් හෙළිදරවු කර ගැනීමට නෙත් බැලුම්ගල කණ්ඩායමට හැකිව තිබෙනවා.

මෙම ඉඩම් වලට තෙකලා විදුලිය පවා ලබා ගෙන ඇති අතර වන විනාශය සිදු කරනා පුද්ගලයන් කෙතරම් සංවිධාණාත්මකව සහ කොතරම් ඉක්මනින් මෙම ක්‍රියාව සිදු කරනවාදැයි ඉන් පැහැදිලි වේ.

මෙම වන විනාශය පිළිබදව මුලතිව් ජනයාගෙන් සෘජු චෝදනා එල්ල වන රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බැලුම්ගල කණ්ඩායම සමත් වූ අතර එහිදි අමාත්‍යවරයා කියා සිටියේ අරාබියෙන් හෝ මුදල් රැගෙන යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට ඉඩම් ලබා දීම අමාත්‍යවරයෙකු ලෙස තමන්ගේ වගකීම බවයි.

කෙසේ නමුත් මුලතිව් වනාන්තරය විනාශ කරන්නෙ තමන් යැයි එල්ලවන චෝදනා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර සිටියා.

දැනටමත් දැඩි නියගයෙන් පීඩා විඳින උතුරු පළාතේ ඉතිරිව ඇති වනාන්තර විනාශ කිරීමෙන් පරිසරයට සිදුවන හානියට වග කියන්නේ කවුද..?

\