27 July 2017

බැඳුම්කර කොමිසම අවුල් කරන්න රාජපක්ෂලාගේ සහචරියක්!

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය ගැන සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පත්කරන ලද ‘ජනාධිපති බැඳුම්කර විමර්ශන කොමිසම’ ට සාක්ෂි දීම සඳහා පෙරේදා(24) කැඳවන ලද සාක්ෂිකාරියක් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ සහචරියක් වන මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය ජනාධිපති බැඳුම්කර කොමිසම සමච්චලයට ලක්කරමින් එම විමර්ශනය නොමඟ යැවීම සඳහා සිදුකර ඇතිබවට මේ වන අනාවරණය වෙමින් තිබේ.

බැඳුම්කර කොමිසමේ මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි සුරූපී තරුණ කාන්තාවක් වන මැය තමාගේ සුපුරුදු නාමය වෙනුවට ව්‍යාජ නාමයකින් පෙනී සිටිම සිදුකර ඇති අතර සාක්ෂි ලබා දීමට කොමිසම වෙත පැමිණීමේදී ද තමාගේ සාක්ෂි විස්තරාදිය මාධ්‍ය වල පලවීම වලක්වන්නැයි ඇය ඉල්ලිමක් කර ඇත. එහෙත් එය ප්‍රතික්ෂේප වී ඇත. මෙලෙස මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටියද ඇගේ සත්‍ය නාමය අනිකා විජේසූරිය බවත් මැය දැවන්ත ව්‍යාපාරික ජාලයක් නඩත්තු කරන නහිල් විජේසූරියගේ එකම දියණිය බවත් හෙළිදරව් වී ඇත.

අනිකා විජේසූරියගේ පියා වන නහීල් විජේසුරිය මහතා දක්ෂ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අතර මෙරටට පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රථම රූපවාහිනී නාලිකාව වූ ඊ.ටී.වී. නාලිකාව හඳුන්වා දුන්නේද ඔහුය. කොළඹ සිලෝන් ඉන්ටකොන්ටිනල් හෝටලය ද ඔහු සතු වූවකි. ඔහුගේ එකම දියණිය වන අනිකා විජේසුරිය බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් ආයතනයේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරමින් තිබේ. එසේම ඇයගේ එම සමාගම යටතේ අති සුඛෝපභෝගී හෝටල්, අල්ට්‍රාටෙක් සිමෙන්ති සහ රාජපක්ෂලාගේ ව්‍යාපෘතියක් වු “e-wis” පරිගණක සමාගම ඇතුළු ව්‍යාපාර ක්‍රියාත්මකය.

අනිකා විජේසුරිය, අර්ජුන් ඇලෝසියස්ගේ හිටපු පෙම්වතියක මෙන්ම රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපති මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට පුත්‍රයෙකු වන නාමල් රාජපක්ෂගේ අතිශය සමීපතමියක් බවටද තොරතුරු අනාවරණයවේ. එවක රාජපක්ෂ රෙජීමයේ දැවැන්ත ව්‍යාපෘතියක් වන ශ්‍රී ලංකාවේ පරිගණක නිෂ්පාදනාගාරය ලෙස ජනතාව මුලා අරඹන ලදුව චීනයේ පරිගණක කොටස් එකලස් කොට රාජ්‍ය ආයතනවලට තත්වයෙන් බාල පරිගණක පුවරා රුපියල් බිලියන ගණනක මහජන මුදල් කොල්ල කෑ ව්‍යාපෘතිය පිටුපස නාමල් සමඟ අනිකා සිටින බව මින් පැහැදිලිය.

රාජපක්ෂ රෙජීම පාලන සමයේ අතිදැවැන්ත වරප්‍රසාද තුලින් ලාභ උපයා ඇති කුප්‍රකට අනිකා බැඳුම්කර කොමිසමේ සාක්ෂී දීමට ලද අවස්ථාවෙන් සත්‍ය වෙනුවට රාජපක්ෂලාගේ දේශපාලන කොන්ත්‍රාතුවක් ඉටුකිරීමට අර අදින බවක් පැහැදිලිව ඇය සාක්ෂි දීමට ගත් මොහොතේ පටන් හැසීරී ඇති ආකාරයෙන් පෙනී යයි.

01. ජනාධිපති කොමිසමක් හමුවේ සාක්ෂී දීමට පැමිණෙන සාක්ෂිකරුවකු තම සත්‍ය නම වෙනුවට වෙනත් නමකින් පෙනීසිටින්නට උත්සහ ගන්නේ ඇයි..?

02. තමාගේ සාක්ෂි විස්තරාදිය මාධ්‍ය වල පලවීම වලක්වන්නැයි ඉල්ලන්නේ ඇයි..?

03. තමාගේ සමාගමට අයත් නිවසක් පාරිභෝගිකයෙකු විසින් නීත්‍යානුකූල ලෙස මිලදී ගත්විට, ‘ඊට අදාළ ලියකියවිලි ඉරා දමන ලෙස තමන්ට දුරකතනයෙන් කතා කොට පැවසූවා’ වැනි මන්ද මානසික කතා මෙවැනි ජනාධිපති කොමිසමක් ඉදිරියේ කියන්නේ ඇයි..? ඒ තුළින් මැය ඊළඟ සැලසුම් සහගතව ගෙතීමට යන කෙබරය කුමක්ද..??

04. තමා ජනාධිපති කොමිසමක් හමුවේ පවසන්නේ සත්‍ය නම් සාක්ෂි දීමට පැමිණීමට පෙර තමාගේ සියලු සමාජජාල ගිණුම් අක්‍රීය කොට සැඟවෙන්නේ කුමටද..?

රාජපක්ෂ රෙජීමයේ සමීපතම සහචරියක් වන අනිකා විජේසුරියගේ මෙම සැලසුම් සහගත හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ විශේෂ අවධානය යොමුවිය යුතු අතර මැයගේ සාක්ෂිවල ඇති පදනම් විරහිත භාවය සහ පරස්පර කරුණු ගැන විශේෂ විමර්ශනයක් සිදුකිරීමට වනු ඇති.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදමට මාසිකව මිලියන 200ක්

 රජයට පවරාගත් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ මෙහෙයුම් වියදම් ලෙස රුපියල් මිලියන 200 ක් මුදලක් අගෝස්තු මාසයේ සිට මාසිකව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම රෝහල් සේවා සඳහා අවශ්‍ය ඖෂධ සහ සැපයුම් වෙනුවෙන් අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා රුපියල් මිලියන 50 ක් මාසිකව ලබාදීමටද කැබිනට් මණ්ඩලය අනුමකනර ඇත.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ  පාලක මණ්ඩල සභාපති ලෙස  වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කිරීමටද, එමෙන්ම පාලක මණ්ඩලයට දෙළොස් දෙනෙකුගෙන් සමන්විත සාමාජිකයන් පිරිසක් පත්කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

සූර්යකෝෂ නිපදවීමට ශ්‍රී ලංකාවේ අවධානය

වර්තමානයේදී ලෝකය භාවිතා කරන තුනි පටල මත පදනම් වූ සූර්ය කෝෂ හා පැනල නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය හරහා මෙම තාක්ෂණය හඳුන්වා දීමට නියමිත අතර, මෙම තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ චීනය විසිනි.

මේ අනුව චීනයේ හෑන්ග් සූ හි පිහිටි Advanced Solar Power ආයතනය භාවිතා කරන තාක්ෂණය ශ්‍රී ලාංකිකයින්ට හඳුන්වාදීමටත් සැලසුම් කර ඇත.

අදාළ තාක්ෂණය හඳුන්වා දීමේ මූලික සැලසුම් යටතේ කොළඹ, යාපනය, රුහුණු විශ්වවිද්‍යාලය වල සූර්යකෝෂ ව්‍යාපෘති ස්ථාපිත කිරීමටත් එම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

අදාළ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ජාතික විද්‍යා පදනමේ නිලධාරීන් හා ජාතික මූලික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් චීනයේ සංචාරයක නිරත වී සිටිති.















මිනී පෙට්ටියක සුරැකිව නිදන සුරංගනාවියක් කැල්ෆෝනියාවෙන් හමුවෙයි | VIDEO

සුරංගනාවියක් හැබැවින් දැකලා තියෙනවද ? මරණයට පත්වෙලා අවුරුදු 140 ක් ගත වූවත්, තවමත් සුරැකිව සිය මිනී පෙට්ටියේ නිදන ලස්සන පුංචි දැරියකගේ මළ සිරුරක් ඇමෙරිකාවේ කැළිෆෝනියාවෙන් වාර්තා වෙනවා. මේ සිඟිති මළ සිරුර ඉතාමත් හොඳින් සුරැකිව පැවතීම විස්මයට කරුණක්.

ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් විසින් පැරණි ගොඩනැගිල්ලක් නවීකරණය කිරීමේ කටයුතු සිද්ධ වන අතරතුරදී තමයි මේ දැරියගේ මළ සිරුර හමු වී තිබෙන්නේ. එම දැරිය ඔවුන් විසින් මිරැන්ඩා ලෙසින් නම් තබා තිබෙනවා. මෙම දැරිය මීට වසර 140 කට පෙර වල දමා ඇති බව සඳහන්.

සුදුමැලි සමකින් හා රැලි වැටුනු කොණ්ඩයකින් යුතු මිරැන්ඩා දැරිය බෝනික්කෙක් මෙන් - නැත්නම් පුංචි සුරංගනාවියක් මෙන් මිනී පෙට්ටිය තුළ නිදා සිටි බව මේ අරුම පුදුම දසුන මුලින් දුටු කම්කරු පිරිස පවසා තිබුණා. කෙසේ වුවත් පසුව සිදු කරන ලද සොයා බැලීම් මගින් මේ දැරියගේ අනන්‍යතාවය තහවුරු කරගන්නට හැකිවුණා. ඒ සඳහා DNA පරික්ෂාවන් ද සිදු කරනු ලැබූ බව සඳහන්. ඒ අනුව මේ දැරියගේ නම ඊඩිත් හොවාඩ් කුක් බවත්, ඇය අවුරුදු 02 යි, මාස 10 ½ ක වයසේදී අවාසනාවන්ත ලෙස මරුවාට ගොදුරු වී ඇති බවත් සොයා ගැනුණා. එමෙන්ම ඇය ඇගේ දෙමාපියන්ගේ පළමු දරුවා බවත් සඳහන් වෙනවා.

ඊඩිත් දැරිය වසර 140 කට පෙර මියගියත්, තවමත් ඇගේ මළසිරුර නොදිරා පැවතීම නම් විශ්මයට කරුණක්. මේ ගැන කරුණු දක්වන කැල්ෆෝනියා බලධාරින් දක්වා සිටින්නේ ඇගේ මිනී පෙට්ටිය ඉතා තදින් වැසී තිබුණු බවයි. මේ නිසා වායු මුද්‍රික වීම මගින් ඇගේ සිරුර සුරැකිව තිබෙන්නට ඇතැයි ඔවුන් අදහස් පළ කරනවා. "ඇය අපිට පෙනුනේ ඇගේ අම්මා විසින් ඊයේ මිනී පෙට්ටිය මත සතපා තැබුවා වගෙයි. ඇගේ ඇසි පිහාටු පවා තවම තියෙනවා. ඇගේ සම පවා හොඳින් සුරැකිව තිබීම පුදුමයට කරුණක්..." යැයි ඊඩිත් දැරිය නැවත භූමදාන කල සමාජ සංවිධානයේ සාමාජිකාවක් පවසා සිටියා.



තක්කාලි ආරක්ෂාවට ආයුද සන්නද්ධ භටයන් යොදවයි


 ඉන්දියාව පුරා තක්කාලි මිල අහස උසට ඉහළ යෑමත් සමග ඇතැම් ප්‍රාන්තවල තක්කාලිවලට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තොග වෙළෙඳුන් කටයුතු කර තිබේ.

හින්දුස්ථාන් පුවත්පත වාර්තා කරන ආකාරයට, එරට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්ඩෝර් නගරයේ තොග වෙළෙඳුන් තම තක්කාලි තොග ආරක්ෂාවට ආයුද සමග ආරක්ෂක භටයන් යෙදවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

මේ වනවිට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දේවි අහිලියා බායි වෙළෙඳ සංකීර්ණයේ තක්කාලි තොග ආරක්ෂාවට ආයුද සන්නද්ධ ආරක්ෂක භටයන් 6 දෙනෙකු යොදවා ඇති බවත්, බොහෝවිට තක්කාලි තොග බෑමේදී සිදුවන සොරකම් වැළැක්වීම ඔවුන්ගේ කාර්යභාරය බවත් තොග වෙළෙන්දෝ පවසති.

දැනටමත් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම තක්කාලි තොග සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වී ඇති බව පෙන්වාදෙන වෙළෙන්ඳෝ, මේ තත්ත්වය තුළ තක්කාලි රන් මෙන් ආරක්ෂා කිරීමට සිදුව ඇති බවද සඳහන් කරයි.

අවාරය මෙන්ම, අයහපත් කාලගුණය යන හේතු සාධක අනුව ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල තක්කාලි මිලෙහි යම් වෙනසක් පැවතියත්, සාමාන්‍යයක් ලෙස තක්කාලි කි.ග්‍රෑ 01කට ඉන්දීය රු.100/- ක් හෙවත් පැවති මිල මෙන් දෙගුණයක් ගෙවීමට සිදුව ඇති බවද වෙළෙන්ඳෝ වැඩිදුරටත් පවසති.

උඩපන්දුව අත්හැරීමේ අලාභය අපට ගෙවන්න වුණා - ගුරුසිංහ

“අපිට ඇත්ත වශයෙන්ම පිළිගන්න වෙනවා අපි හොඳින් පන්දු යැවීම සිදු නොකළ බව” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා සඳහන් කළේය. ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා හා ඉන්දියා ටෙස්ට් තරගයේ පළමු දිනයේ නිමාවත් සමග ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවේදී  ඔහු මේ බව සඳහන් කළේය. “

එක් දිනයක් තුළ ප්‍රතිවාදීන් ලකුණු 400ක් රැස්කරයි නම් ඔබට කණ්ඩායම ඇගයීම අපහසු කරුණක්. අපි දවාන්ගේ උඩපන්දුව අත්හැරියා. ඒ නිසා අපිට අලාභය ගෙවන්න වුණා. ඒ වගේම අසේලත් අපිට අහිමිවුණා.”

“ මම හිතන්නේ නෑ අපි හරි ස්ථානයට පන්දුව යොමු කළ කියලා. අපි ලකුණු 400ක් ලබාදුන් අවස්ථාවේදි තවත් කඩුල්ලක් දවාගත්තානම් තරමක් එය හොඳ තත්ත්වයක් වෙන්න තිබුණා.”

ගාල්ලේදී ලකුණු 600ක් කණ්ඩායමක් රැස්කරයි නම් ප්‍රතිවාදීන්ට එය ඉක්මවා යෑම අපහසු බව ගුරුසිංහ පවසයි.

“මේ ගාල්ල. ප්‍රතිවාදීන් ලකුණු 600ක් රැස්කිරීමෙන් පසුව ඔවුන් තරගය ජයගැනීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. අපේ පිතිකරුවන් අනිවාර්යයෙන්ම හොඳින් ක්‍රීඩා කළ යුතු වෙනවා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. අවසන් දින දෙකේදී එය පිතිකරුවන්ට හොඳ විකට්ටුවක් ලෙසයි පෙනුණේ.  අපිට මුලින්ම හෙට දිනයේදී ඔවුන්ව දවාගත යුතු වෙනවා. අපිට හෙට දිනයේදී පිතකරණයේ යෙදෙන්න අවස්ථාවක් ලැබේවි. නමුත් එය අපි කළමනාකරණය කරගත යුතු වෙනවා.”

තජුඩීන් ඝාතනය ගැන ප්‍රශ්න කිරීමට ශිරන්ති සහ යෝෂිත CIDයට

රාජපක්ෂ රෙජීම පාලන සමයේදී සැලසුම් සහගතව ඝාතනය කළ බවට සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ශිරන්ති රාජපක්ෂට අද (27) උදේ 9.30 ට පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර යෝෂිත රාජපක්ෂට හෙට (28) උදේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

තජුඩීන් ඝාතනය සඳහා පැහැර ගැනීමට ආ වාහනය රතු කුරුස සංවිධානය විසින් ශිරන්ති රාජපක්ෂට පරිත්‍යාග කළ එකක් බවත් ඒ වන විට වාහනය තිබුනේ ශිරන්ති රාජපක්ෂ භාරයේ බවත් මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණ.

තජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් ලෙස යට ගැසීමට ක්‍රියා කළ හිටපු ජ්‍යෙ.නි.පොලිස්පති අනුර සේනානායක වසරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවූ අතර පසුගියදා ඇප මත නිදහස් කෙරිණ. ඊට පෙර අධිකරණයේ දී ප්‍රකාශයක් කළ අනුර සේනානායක කියා සිටියේ තජුඩීන්ගේ සැබෑ ඝාතකයන් නිදැල්ලේ සිටින බවයි.

LTTE සංවිධානය ත්‍රස්ථ සංවිධානයක් නොවන බවට සහතිකයක්

යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය ඉවත් කිරීමට යුරෝපා සංගම් අධිකරණයක් තීරණය කර තිබේ.

පලස්තීනයේ ඉස්ලාමීය සංවිධානයක් වන හමාස් සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී ලැයිස්තුවේ තැබීමට ඔවුන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් වු එල්. ටී. ටී. ඊය පරාජය කිරීමෙන් පසු ඔවුන්ගේ කිසිඳු ත්‍රස්තවාදී ක්‍රියාවක් වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව යුරෝපා සංගම් අධිකරණය පෙන්වාදී තිබේ.

තවදුරටත් අදාළ ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය රඳවා තැබීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද සඳහන්ය.

යුරෝපා සංගම් අධිකරණයේ මෙම තීරණයත් සමග එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත් අරමුදල් තහනම් කිරීම ද නතරවනු ඇත.

යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවක් නිර්මාණය කරනු ලැබුවේ 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා පෙන්ටගනයට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයත් සමගය.

එය අවසන් වරට පසුගිය ජනවාරි මාසයේදී යාවත්කාලීන කර තිබේ.

එම ත්‍රස්තවාදී ලැයිස්තුවට මේවන විට ත්‍රස්තවාදීන් 13 දෙනෙකු සහ සංවිධාන 22 ක් ඇතුළත්ය.

පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂය මෙන්ම පේරු රාජ්‍යයේ මාවෝ සංවිධානය ද ඊට ඇතුළත් වෙයි.

හමාස් සංවිධානය යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවේ 2003 වසරේදීය.

එල්. ටී. ටී. ඊ. සංවිධානය 2006 වසරේදී ත්‍රස්තවාදී ලැයිස්තුවට එක්කර තිබේ.

අධික වටිනාකමකින් යුත් පිළිම 6 ක් | PHOTO

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දුෂණ මර්ධන ඒකකයට අනුයුක්ත නිලධාරින් එක්ව වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගත්තා.

මෙම භාණ්ඩ තොගය විකිණිමට සුදානම් කර තිබියදී වැටලීම සිදු කර තිබෙනවා.

ඒ අනුව දේව ප්‍රතිමා 02ක්, හංස යුවල් 01ක්, සිංහ මුද්‍රාවන් 02ක් සොයා ගැනිමට හැකි වු අතර, ඒවා අධික වටිනාකමකින් යුක්ත බවටයි මේ වන විට හඳුනාගෙන ඇත්තේ.

තවද, මෙම භාණ්ඩ සමග පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයින් හංවැල්ල, මිගමුව, වටිනපහ සහ මත්තමගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වනවා.