28 July 2017

අක්කර පහක ඩොලර් මිලියන 87ක් වටිනා නිවසක්” කොල්ලෙක් නැති ලෝක ධනවතාගේ දියණිය

1996 අවුරුද්දේ උපන් ජෙනිෆර් කැතරීන් ගේට්ස් නම් වන මේ සුරූපී තරුණිය තවම 21 හැවිරිදි වියේ පසු වන අතර ඇගේ පියාගේ වටිනාම වස්තුව බව විශේෂයෙන් පැවසිය යුතු නැහැ. ලෝකයේ සල්ලිකාරම කෙල්ල වුණත් ඇය කාරුණික හදවතක් ඇති තරුණියක බව සනාථ කරන්නේ ඇගේ සත්ව කරුණාවයි.

සුරතල් සතුන් ගණනාවකට නිවහන සලසා ඇති ඇය ඉතාම ආදරයේන් එම සතුන් රැක බලා ගන්නා බව කියැවෙනවා. එමෙන්ම ඇගේ විනෝදාංශය වන්නේ අශ්වයන් පැදවීමයි.

මීට වසර පහකට පෙර බිල් ගේට්ස් සිය ආදරබර දුවට ෆ්ලොරීඩා නගර මධ්‍යයේ අක්කර පහක බිම්කඩක ඩොලර් මිලියන 87ක් වටිනා නිවසක් ඉදි කර දුන් අතර දැන් ඒ නිවසේ පදිංචි කරවීමට දුවට ගැළපෙන සහකරුවෙක් සොයන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා.


 

FCIDය නාමල්ගේ ඩුබායි බැංකු ගිණුමෙන් බිලියන 272ක් සොයා ගනී

මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජීමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ අතිජාත පුත්‍රයා වූ කුප්‍රකට නාමල් රාජපක්ෂ විසින් බවට අනාවරණය කරගෙන තිබේ.

මෙම මුදල මෙරට අයවැය පියවීමට තරම් ප්‍රමාණවත් වූ එකක් බවට අදහසක් පළකරන මූල්‍ය අපරාධ කොට්ඨාසය එතරම් මුදලක් උපයා ගත්තේ කෙසේද යන්න සම්බන්ධවද තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණ පැමිණිල්ලක් මත මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය එම ගිණුමට අදාළව මූල්‍ය තොරතුරු හෙළිකර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ කණ්ඩායමක් එම ඩුබායි බැංකුව වෙත ගොස් ඇතත් එම ‍තොරතුරු එම බැංකුව විසින් පරීක්ෂණ අංශවලට ලබා දී නොමැති බව ද මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ වංචාකාරී ක්‍රියාවලින් උපයා ගන්නා ලද රුපියල් බිලියන ගණන් වූ මුදල් පසුගිය කාලයේදී විදෙස් බැංකුවල තැන්පත් කිරීම සහ විදෙස් ව්‍යාපාරික ආයතන සමඟ ගනුදෙනු කිරීමට අදාළ සිදුවීම් 86 ක් සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබේ. මේ වන විට එම ඉල්ලීම්වලින් පරීක්ෂණ 39 කට ජාත්‍යන්තර සහාය ලැබී තිබේ.

එක්සත් රාජධානිය මඟින් පරීක්ෂණ 13 කට සහාය ලැබී ඇත. සිංගප්පූරුව මඟින් තවත් පරීක්ෂණ 13 කට ද, ඉන්දියාව විසින් තවත් 13 කට ද, අමෙරිකාව විසින් පරීක්ෂණ 8 කට අදාළ මූල්‍ය ගනුදෙනු තහවුරු කර ගැනීම සඳහා සහාය ලබා දී තිබේ.

2015 ජනවාරි 21 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව එම වසරේ පෙබරවාරි මස 13 වැනි දින ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටවනු ලැබිණි. ඊට එදා සිට අද දක්වාම රාජපක්ෂ රෙජීමය සහ එම රෙජීමයේ පාදඩ ගැත්තන් ඇතුළු සොර කල්ලි නිරන්තරයෙන් තම විරෝධය දක්වමින් සිටී.

රනිල් මෛත්‍රී රේල් පාරේ සිට ‘සෙල්ෆි‘ ගැසීම

මෙය, රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කිරීමක් නොව, හෙණ ගහගෙන එන රේල්ලූව ගැන වගේ වගක් නැතිව රේල් පාරේ සිට ‘සෙල්ෆී‘ ගැනීමකි.

කිසි ආණ්ඩුවකට සදාතනික ජනප්‍රියත්වයේ සිටීමට පුලුවන් කමක් නැත. මිනිසුන්ට සේම ආණ්ඩුවලටත්, මැදි වියේ අර්බුදවලට මුහුණදීමට සිදුවෙයි. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව පෙළෙන ඇතැම් රෝග, එසේ ස්වාභාවික හේතු මත ඇති වූ ඒවා ය. එහෙත් සියල්ල එසේ නොවේ. නැතහොත් බොහොමයක් එසේ නොවේ. අසීමිත අකාර්යක්ෂමතාව, විශේෂ ඕනෑ එපාකම් මත චණ්ඩිකම් පාන කණ්ඩායම් ඉදිරියේ කෙලින් සිට ගැනීමට ඇති අකමැත්ත, තමන්ගේම වළ කැපෙන බව අවබෝධ කර ගැනීමට පවා දක්වන නොහැකියාව ආදිය, ස්වාභාවික ආබාධ නොවේ.

තිස් මසක් වැනි කෙටි කාලයක් බලයේ සිටීමෙන් අනතුරුව, ඇනා ආර්හෙන්ඩ්ගේ වචනයෙන් කිවහොත්, ‘සාමාන්‍ය බුද්ධියේ අති-සාමාන්‍ය නියාමයන් පවා‘ තුට්ටුවකට ගණන් නොගන්නා, ‘ස්වාර්ථයේ ආශාව පවා නැති කර ගත්‘ ආණ්ඩුවක් බවට අද එය පත්ව ඇත. ඒ වනාහී, විහින් ඇති කර ගත් දෙයකි. එසේ සිදුවිය යුතුව තිබුණේ නැත. එහෙත් එසේ සිදු වීමට ඉඩ හැරුණි.

අවුල යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. විනාශය ඔස්සේ ගසාගෙන යාමට ඉඩ හැරීම යහපාලනය නොවේ.

ලංකාව, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් සහ (මොන සීමාවන් යටතේ වුවත්) ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් සහිත රටක් විණි නම්, ආණ්ඩුවේ වර්තමාන අර්බුදය, ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් නොවන්ට තිබුණි. එක දේශපාලන පක්ෂයකින් තවත් දේශපාලන පක්ෂයකට සාමකාමීව බලය හුවමාරු වීම සහතික කෙරෙන, පීඩනය මුදවා හරින යාන්ත්‍රණයක් වශයෙන් මැතිවරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක විය හැකිව තිබුණි.

අවාසනාවකට, පශ්චාත්-රාජපක්ෂ ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ඇතත්, ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් නැත්තේය.

රාජපක්ෂ පාලනය පලවා හැරීම සඳහා, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් සමග, පෙර නොවූ විරූ සන්ධානයක් අවැසි විය. (ජනාධිපති සිරිසේන සඳහා ඔහුගේම පක්ෂය තුළ සහ පක්ෂයේ බිම් මට්ටමේ ඇති සහාය කෙතරම් ද යන්න මත්තට දැන ගැනීමට පිළිවන). මේ සන්ධානය විසින්, දකුණේ විපක්ෂ දේශපාලන අවකාශයේ රික්තයක් හෙවත් හිඩැසක් නිර්මාණය කෙළේය. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන ‘දෙමළ ජාතික සන්ධානය‘ ප්‍රජාතන්ත්‍රවාදී වෙතත්. එහි දේශපාලනික-මැතිවරණමය හයිය, පළාත් දෙකකට සීමා වෙයි. ජනතා විමුක්ති පෙරමුණට, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රජාතන්ත්‍ර-සමාජවාදී පක්ෂයක් බවට හෝ පත්විය හැකිව තිබුණි නම්, ඉහත කී හිඩැස පිරැවීමට ඊට හැකියාව තිබුණි. එහෙත් එසේ වෙනස් වීමේ කැමැත්තක්වත්, හැකියාවක්වත් ජනතා විමුක්ති පෙරමුණට නොවුණි. එහි ප්‍රතිඵලය වුණේ, එම හිඩැස, මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පමණක් නොව, රාජපක්ෂවාදි බල කඳවුර යළි ස්ථාපිත කිරීම සඳහා කැප වූ වෛවාරන්න එකතුවක් වන ‘ඒකාබද්ධ විපක්ෂය‘ විසින් පිරැවීමයි.

රාජපක්ෂලා කෙරෙහි ජනාධිපති සිරිසේන තුළ ඇති නොරිස්සීම සහ බිය අව්‍යාජ ය. ඒ අතර, රනිල් වික්‍රමසිංහ විසින් රාජපක්ෂලාට බුරුල දෙනු ලබන්නේ ඒ මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් වළ කැපේ ය යන විශ්වාසයෙනි.

දෑවුරුද්දක් විපක්ෂයේ සිටි කාලය තුළ රාජපක්ෂලා වඩ වඩාත් ප්‍රජාතන්ත්‍ර-වීරෝධී වී ඇත්තාහ. වඩ වඩාත් ප්‍රතිගාමී වී ඇත්තාහ. වඩ වඩාත් අන්තවාදී වී ඇත්තාහ. ස්වයං-විවේචනයක්, ආපසු හැරී බැලීමක්, අලුතින් පටන් ගැනීමක් ගැන හාංකවිසියක්වත් ඔවුන්ට නැත. ස්වකීය පරාජයන්හි වරද ඔවුන් පටවන්නේ සුළු ජාතිකයන් සහ අධිරාජ්‍යවාදීන් මත ය. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව අරභයා 2015 ජනවාරියේ පටන් අත්කර ගත් අල්ප ප්‍රගතිය පවා කාබාසිනියා කර දැමීමෙන් පටන්ගෙන, තමන්ට අහිමි වූ දේවල් යළි අත්පත් කර ගැනීමේ න්‍යාය පත්‍රයක් එහි පෙරමුණට පැමිණ තිබේ. පවුල් පාලනය යළි ස්ථාපිත කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය නැසීම, සෝබනේට සේම නොවැළැක්විය හැකි මහජන අප්‍රසාදයට එරෙහි වේල්ලක් වශයෙන් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී අධි-ව්‍යුහය පාවිච්චියට ගැනීම ආදී, අනාගතේ තමන් කරන්ට යන දේවල්, කිසි කෝලයක් නැතිව ඔවුහූ ප්‍රසිද්ධියේ කියාපාති.

ලංකාවේ මිනිසුන්ට තමන්ගේ දේශපාලඥයන් ගැන කප්පරක් බලාපොරොත්තු නැත. එහෙත් සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව බලයට ගෙන ඒමේදී ඇති කර ගත් අවම ජනතා අපේක්ෂා පවා සාධනය කරලීමට එම ආණ්ඩුව අද අසමත්ව ඇත. එවැනි තත්වයක් තුළ විකල්පයක් සැපයිය හැකි ප්‍රජාතන්ත්‍රීය විපක්ෂයක් නැති වීම හේතුවෙන් ආණ්ඩුවේ අර්බුදය, ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් බවට පත්ව ඇත.

උමා ඔය සිට මීතොටමුල්ල හරහා සයිටම් දක්වා රාජපක්ෂ පව්වලට කර ගැසීම
ඒ සා අපේක්ෂාවකින්, ඒ සා විශ්වසනීයත්වයක් සහ සුජාත භාවයකින් යුතුව ආරම්භ කෙරුණු ආණ්ඩුවක් මාස තිහක් ඇතුළත මෙතරම් පරිහානියට ගියේ කෙසේද? කෙටිම පිළිතුර වන්නේ, පොරොන්දු වූ දේවල් නොකිරීමත්, නොකිරීමට පොරොන්දු වූ දේවල් කිරීමත් ය. යහපාලන ප්‍රතිඥා නොතකා හල මේ ආණ්ඩුව රාජපක්ෂලාගේ වැරදිම හිතුමතේ කෙළේය.

උමා ඔය යනු, ආණ්ඩුවේ පුළුල් අර්බුදයේ ක්ෂුද්‍ර අනුරුවකි.

උමා ඔය ව්‍යාපෘතිය මුලින්ම කරලියට ආවේ 1990 ගණන්වල ය. එහෙත් එයින් ඇති විය හැකි පාරිසරික විපාක ගැන හිතා එය එදා ඉවතලන ලදි. එක් පාරිසරික සාධ්‍යතා අධ්‍යයනයකින් එදා හෙලි කොට තිබූ අනර්ථයන්හි ස්වභාවය ඉදිරියේ ලෝකයේ කිසි නම්බුකාර බැංකුවක් ඊට අත නොගසනු ඇත.

එහෙත් ලෝක පරිමාණ නගරයක් බවට හම්බන්තොට පත් කිරීමේ මනෝන්මාදයෙන් ඉදිමී ගිය රාජපක්ෂලා මේ සැලැස්ම දූවිලි ගසා බසා අතට ගත්තේය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ සහ යෝජිත කාර්මික කලාපය වැනි ඔවුන්ගේ යෝධ සුදු අලි ව්‍යාපෘති සඳහා ජලය අවශ්‍ය කෙරුණි. උමා ඔය ව්‍යාපෘතියේ මූලික අභිලාෂය වුණේ එකී මහා පිපාසය සංසිඳවීමයි. ඒ සැලැස්ම නිසා සාමාන්‍යයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේත්, විශේෂයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේත් ඇති විය හැකි ඝෝර විනාශය එදා රාජපක්ෂලාට ගාණක් නොවුණි.

එකී විනාශකාරී ජාවාරමට කිසි ගෞරවාන්විත බැංකුවක් අත නොගසන තත්වය තුළ ජනාධිපති රාජපක්ෂ ස්වකීය ගජ මිතුරා වූ, එවක ඉරානයේ ජනාධිපති මොහොමඩ් අහම්දිනජාඩ්ගෙන් උපකාර පැතීය. ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා ඉරානයේ ‘එක්සිම් බැංකුවට‘ කතා කෙළේය. අලූත් සාධ්‍යතා අධ්‍යයනයකින් තොරවම ණය අනුමත විය. රාජපක්ෂගේ සරුවපිත්තල චර්යාවට අනුගතව, ඉරාන ජනාධිපති ලංකාවට පැමිණි අවස්ථාවම ව්‍යාපෘතිය ආරම්භ කිරීමටත් යොදා ගැනුණි.

ව්‍යාපෘතියේ නරක පල විපාක, 2015 ජනවාරි වන විටම පැහැදිළිව දැක ගත හැකි විය. ගෙවල් දොරවල් ඉරි තැලීය. ලිං සිඳී ගියේය. ජනතාව විරෝධය පෑහ. ජනාධිපති සිරිසේන ව්‍යාපෘතිය නතර කිරීමට නියෝග කෙළේය. එහෙත් ගත වුණේ මාස කිහිපයකි. ක්‍රියාවලියේ කිසි වෙනසකින් තොරව, ඇති විය හැකි අතුරු පල විපාක කිසිත් සැලකිල්ලට නොගෙන, ව්‍යපෘතිය නැවත පටන් ගැනුණි. වර්තමාන අර්බුදය එකී විනාශකාරී තීරණයේ විපාකයකි.

අබමල් රේණුවක හෝ නිවැරදි කර ගැනීමකින් තොරව එම ව්‍යාපෘතිය නැවත පටන් ගත්තේ ඇයි? ‘කොළඹ වරාය නගරය‘ වෙනුවෙන් මෙන් ජාත්‍යන්තර තෙරපීමක් ඒ සඳහා තිබුණේ නැත. ඒ වන විට ඉරානයෙන් සැපයුණු ණය සේවා අවසන්ව තිබුණි. ව්‍යාපෘතියේ ඉතිරිය මුළුමණින් භාර වුණේ ශ්‍රී ලංකා ආණ්ඩුවටයි. එසේ තිබියදී මෙය නැවත ආරම්භ කිරීමට උපදෙස් දුන්නේ කවුරුන් ද යන්නත්, එසේ කෙළේ මොන පදනමක් මත ද යන්නත් සොයා බැලීම වැදගත් ය. එම තොරතුරු, මේ ආණ්ඩුව සිතන පතන ආකාරය සහ වැඩ කරන ආකාරය පිළිබද යම් අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වනු ඇත.

දැන් මේ ව්‍යාපෘතියෙන් සියයට 80 ක් අවසන්ව තිබේ. පරිසර හානිය නොසිතූ විරූ පරිමාණයකින් උග්‍ර වී ඇත. ඒ අනුව නැවත වරක් මෙය අත්හිටුවා ඇති අතර, විදේශ විශේෂඥ දැනුම දැන් සොයමින් සිටී. එය 2015 දී නොකෙළේ ඇයි? ඉදිරිපත්ව ඇති විසඳුම් වන්නේ, ඌව-වෙල්ලස්සට ව්‍යාපෘතිය සීමා කිරීමත්, පොළොව හෑරීම සඳහා (හානිය අඩු යැයි සැළකෙන) වඩාත් දියුණු යන්ත්‍රසූත්‍ර භාවිත කිරීමත් ය. මෙම විසඳුම් 2015 දී ක්‍රියාත්මක නොකෙළේ මන්ද? ප්‍රශ්නය පුපුරා යන තෙක් ආණ්ඩුව බලා සිටියේ ඇයි?
කුණු ප්‍රශ්නයේදී දැක ගත හැක්කේ ද එවැනිම ගමන් මාර්ගයකි.

කුණු ප්‍රශ්ණය, එහි ආරම්භයේදී (ඇතැම් ප්ලාස්ටික් ද්‍රව්‍ය තහනම් කිරීම), කුණු එක්කාසු කිරීමේදී (කුණු වර්ගීකරණය කොට භාර ගැනීම) සහ ඒවා බැහැර කිරීමේදී (කුණු විදුලිය බවට පරිවර්තනය කිරීම) යම් විධිමත් පරිපාටියක් ආණ්ඩුවෙන් අනුගමනය කෙරේ. 2015 දී එසේ නොකෙළේ ඇයි? කළ යුතු දේ සහ කළ හැකි දේ කිරීමට මීතොටමුල්ල කඩා වැටෙන තෙක් ආණ්ඩුව බලා සිටියේ ඇයි? අධිකරණ නියෝග ගණනාවක් සහ මහජන උද්ඝෝෂණ නොවන්නට, මීතොටමුල්ලෙන් පසුව පවා, එසේ කළ හැකි සහ කළ යුතු දේවල් නොකර සිටීමට ඉඩ තිබුණි. එම මැදිහත් වීම් නොවන්නට ආණ්ඩුව කරනු ඇත්තේ, මීතොටමුල්ලේ කුණු කන්ද වෙනුවට කරදියානේ හෝ මුතුරාජවෙල කුණු කන්දක් නිර්මාණය කිරීමයි.

පොදු අර්බුදය උග්‍ර කිරීමට දායක වුණු, වැළැක්විය හැකිව තිබූ අනේක අතෝර අතරින් ඉතා පහසුවෙන්ම වළක්වා ගත හැකිව තිබුණේ සයිටම් අර්බුදයයි.

උමා ඔය ව්‍යාපෘතිය සේම සයිටමයත්, සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව විසින් හදාවඩා ගත්, රාජපක්ෂ විසින් ජාතක කරන ලද දරුවෙකි. සයිටම් විශ්ව විද්‍යාලය ආරම්භ කෙරුණේ රාජපක්ෂගේ ආශීර්වාදය සහ සක්‍රීය උපකාරය මත ය. 2011 අගෝස්තු 30 වැනි දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්, සයිටම් විශ්ව විද්‍යාලය උපාධි පිරිනැමීමේ ආයතනයක් වශයෙන් ස්ථාපනය කෙරුණි. ඒ මාසයේම ජනාධිපති රාජපක්ෂ මෙම ආයතනයට තවත් තල්ලූවක් දුන්නේය. ඒ, එකක් රුපියල් ලක්ෂ 70 ක් වටිනා ආණ්ඩුවේ ශිෂ්‍යත්ව 10 ක් වෛද්‍ය අධ්‍යාපනය හදාරණ ශිෂ්‍යයන් 10 දෙනෙකුට මේ ආයතනය තුළ පිරිනැමීමෙනි.
එදා ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය‘ සිටියේ කොහේද?

(නොදියුණු යැයි සැළකෙන දිස්ත්‍රික්කවලට විශේෂ සහන සැලසෙන) ‘දිස්ත්‍රික් කෝටා ක්‍රමය‘ නිසා, දියුණු යැයි සැළකෙන දිස්ත්‍රික්කවලින් ඉහළ ලකුණු ලබා ගන්නා සෑහෙන ශිෂ්‍ය පිරිසකට හැම අවුරුද්දකම රජයේ වෛද්‍ය පීඨවල දොර වැසේ. එසේ හෙයින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල වාස්තවික අවශ්‍යතාවක් ඉබේම ඇති වන්නේය. සයිටම් ආයතනය සමග ඇති ප්‍රශ්නය වන්නේ එහි අයිතිය කාගේද යන්න නොව, ඊට සිසුන් ඇතුළත් කර ගන්නා ප්‍රමිතිය ගැන ඇති ප්‍රශ්නත්, ඉන් සැපයෙන පුහුණුවේ ගුණාත්මක භාවය ගැන ඇති සැක සාංකාවනුත් ය. මේ කරුණු ගැන ආණ්ඩුව 2015 දී සළකා බැලිය යුතුව තිබුණි. ඊට නිසි විසඳුම් යෝජනා කොට, ක්‍රියාත්මක කළ යුතුව තිබුණි. උදාහරණයක් වශයෙන්, සයිටම් උපාධියට වලංගු භාවය ලබා දීම සඳහා, එම උපාධියෙන් අනතුරුව ‘ශ්‍රී ලංකා වෛද්‍ය සභාව‘ මගින් පවත්වනු ලබන අවසාන පරීක්ෂණයකින් සමත් වීමේ අවශ්‍යතාව නිර්දේශ කළ හැකිව තිබුණි.

සයිටම් ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට හැකියාව තිබුණි. එහෙත් එය එසේ කෙළේ නැත. එම අසමත් භාවය විසින් මෙම ප්‍රශ්නය අවියක් වශයෙන් පාවිච්චියට ගැනීමට ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට‘ අවස්ථාව සලසා දී තිබේ. බොහෝ විට එම සංගමය එසේ කරනු ඇත්තේත්, හැකි තාක් ඉක්මණින් යළි බලය ඩැහැ ගැනීමේ රාජපක්ෂ ව්‍යාපෘතියට අනුගතව විය හැකිය.
ප්‍රජාතන්ත්‍රවාදය අවජාතක කිරීම සහ ඒකාධිපතිවාදය යළි සවිබල ගැන්වීම

මැතිවරණ තීන්දු කෙරෙනු ලැබෙන්නේ මිනිසුන් විසිනි. සංඛ්‍යාවන් විසිනි. ආණ්ඩුව එය අමතක කොට තිබේ. රාජපක්ෂ ගිය මාර්ගයේම නොනැවතී ගමන් ගනිමින් වර්තමාන සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව කරන්නේ, 2015 ජනවාරියේ රාජපක්ෂ ගල් රෝල පරාජය කිරීමටත්, අනතුරුව යළි හිස එසැවූ රාජපක්ෂ කල්ලියේ අභියෝගය 2015 අගෝස්තුවේදී දමනය කිරීමටත් මේ ආණ්ඩුවට ජවය සැපයූ ජන කොටස් හතුරු කර ගැනීමයි.

‘බොදුබල සේනා‘ සහ ගලගොඩඅත්තේ ඥානසාර වැනි අධම භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන් ඉවසීමෙන් මේ ආණ්ඩුව කරන්නේ සුළුජන ප්‍රජාවන්ගේ හොඳ හිත අහිමි කර ගැනීමයි. ශ්‍රී ලංකාවත් සෞදි අරාබිය සහ ඉරානය වන් දේවතන්ත්‍රවාදී රාජ්‍යයක් සේ සළකමින්දෝ, රට කැරැවිය යුත්තේ කෙසේද යන්න තීන්දු කිරීමත් අන්තවාදී භික්ෂු කල්ලිවලට අද වන විට භාර කොට තිබේ. ඇත්තෙන්ම ආණ්ඩුව කහ සිවුරේ ගර්ජනයට මෙසේ යට වීම පුදුමයකුත් නොවේ. මන්ද යත් මේ ආණ්ඩුව, දැඩි මතධාරී මුස්ලිම් පූජකයන්ගේ ඝෝෂාව ඉදිරියේ, ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතිනුත්‘ අත හෝදා ගත් බැවිනි.

මේ සියල්ලට අමතරව, යුද්ධයෙන් විනාශයට පත් ප්‍රදේශවල ආර්ථීක දුෂ්කරතා නිවාරණය කිරීම සඳහා හරිහමන් යමක් කෙරී ඇති බවක් ද පෙනෙන්ට නැත. යම් ආර්ථික සහනයක් අපේක්ෂාවෙන් මේ ආණ්ඩුව බලයට පත් කළ සිංහල ජනයාගේ ආර්ථීක ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමට පවා ආණ්ඩුව අපොහොසත්ව ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය යහතින් වැජඹෙන්නේ, සමාජයක් බහුත්වවාදී වන විටයි. කිසි පක්ෂයක් දීර්ඝ කාලයක් තිස්සේ බලයේ නොසිටින විටයි. සාමාන්‍ය තත්වයකදී නම් මේ ආණ්ඩුව පරාජය කිරීම වටී. එහෙත් එසේ පරාජය කොට අත්පත් කර ගත හැකි විකල්පය වන්නේ, විවෘතවම සහ ලජ්ජාවක් නැතිවම ප්‍රජාතන්ත්‍ර-විරෝධී වන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්තවාදී වන, අඩු වශයෙන් ආර්ථීක ජනප්‍රියවාදයවත් නැති දේශපාලනික සංයුතියක් නම්? ඊටත් වඩා, ඊළඟ ජනාධිපතිවරණයේ එක් තරගකරුවෙකු වන්නේ ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකු නම්?

රාජපක්ෂලා කෙරෙහි ජනාධිපති සිරිසේන තුළ ඇති නොරිස්සීම සහ බිය අව්‍යාජ ය. ඒ අතර, රනිල් වික්‍රමසිංහ විසින් රාජපක්ෂලාට බුරුල දෙනු ලබන්නේ ඒ මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් වළ කැපේ ය යන විශ්වාසයෙනි.

අර්බුදය මෝරමින් පුපුරා යන තැනකට පැමිණියොත්, රාජපක්ෂලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමක් අවශ්‍ය නොවනු ඇත. කුට්ටිය පිටින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ගේ ග්‍රහණයට නතු වන අතර, තුන් හතර දෙනෙකු මෛත්‍රීපාල සිරිසේනට ඉතිරි වනු ඇත. එහෙත් එතැනින් නතර නොවන රාජපක්ෂලා එක්සත් ජාතික පක්ෂය තුළත් භේද අවුලුවනු ඇත. ඒ සඳහා වන බිම් මට්ටමේ වැඩ දැනටත් සිදුවෙමින් තිබේ. එක්සත් ජාතික පක්ෂය තුළ ‘දේශප්‍රේමී‘ සහ ‘දේශප්‍රේම-විරෝධී‘ කල්ලි දැන් එහෙන් මෙහෙන් ගොඩනැගෙනු පෙනෙන්නේ එබැවිනි. ඒ පෙළගැසීම තුළ, ‘දේශප්‍රේමියෝ‘ සිංහල-බෞද්ධ අන්තවාදය කෙරෙහි ආශක්ත වෙති. දේශපාලනික සහ සමාජයීය වශයෙන් ගතානුගතික වන මොවුහූ, ප්‍රජාතන්ත්‍රීයකරණයේ බොහෝ අංගවලට හතුරු වෙති. ඔවුන් ශක්තිමත් ආණ්ඩුවක් යනුවෙන් හඳුනාගන්නේ, ක්‍රියාශීලී ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආණ්ඩුවක් නොව, අධික අධිකාරීවාදී මාත්‍රාවක් සහිත ආණ්ඩුවක් ය. අර්බුදය පුපුරා යන මොහොතේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩැහැගෙන, එක්සත් ජාතික පක්ෂය පුපුරුවා හැර, ඊනියා දේශප්‍රේමීන්ව තමන් වෙතට ආකර්ශනය කර ගනිමින් රනිල් වික්‍රමසිංහට හපයක් ඉතිරි කර දෙන බව නම් සහතික ය. එසේ හෙයින් පරදුවට වැටී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ මෛත්‍රීපාල සිරිසේනගේ ඉරණම පමණක් නොව, එක්සත් ජාතික පක්ෂයේ සහ රනිල් වික්‍රමසිංහගේත් ඉරණමයි.

වර්තමාන පාලනය අරක්ගෙන ඇති ප්‍රශ්නය වන්නේ, ඇතැමුන් කියන පරිදි, ලැබී ඇති අධිකතර ප්‍රජාතන්ත්‍රවාදය නොව, සතුරාගෙන් මිතුරා වෙන් කර ගැනීමට එය දක්වන ස්ව-ප්‍රාණ නාශක නොහැකියාවත්, වර්තමාන දේශපාලනික මොහොතේ සුවිශේෂී ස්වභාවය වටහා ගැනීමට අසමත් වීමත් ය. ආණ්ඩුව කරන සෑම වරදක්ම පාර කපනු ඇත්තේ, සාමාන්‍ය විපක්ෂයක ප්‍රවර්ධනයකට නොව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර විපක්ෂයක හිස එසැවීමට ය.

තිසරණී ගුණසේකර විසිනි.

(2017 ජුලි 15 වැනි දා ‘දි අයිලන්ඩ්‘ පුවත්පතේ පළවූ From A Government in Crisis to A Crisis of Democracy හෙවත් ‘අර්බුදයේ ගිලුණු ආණ්ඩුවක සිට ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් කරා‘ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ විසිනි)

මහින්ද කොළඹ ඉඩම් විදේශිකයින්ට සින්නක්කර විකුණු හැටි (ඔප්පු ගිවිසුම් සහිතයි)

මහා දේශප්‍රේමියෙකු සහ වීරයෙකු ලෙස පෙනීසිටින හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ තම පාලන කාලය තුළ අප මාතෲ භූමියේ ඉඩම් සින්නක්කර ඔප්පු මඟින් චීනය ඇතුළු විවිධ රටවල සමාගම්වලට විකුණූ බව ප්‍රසිද්ධ රහසකි.

එලෙස මහින්ද රාජපක්ෂ විසින් තම අත්සනින්ම විකුණන ලද මිළ කළ නොහැකි සුප්‍රසිද්ධ ඉඩමකි. ඒ කොළඹ ගාලුමුවදොර පිටිය ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව පිහිටි හෙක්ටයාර් දෙකයි දශම හතරයි තුනයි හයයි එකක භූමි ප්‍රමාණයකින් යුත් එම ඉඩම එවක ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපති වරයා වූ මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයටත් හොර රහසේ ඇමරිකානු ඩොලර් මිලියන 75 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 8250 ක් වැනි සොච්චම් මුදලකට චීනයේ ෂැංග්‍රීලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත සින්නකරව විකුණා දමා ඇත. මහින්ද මෙලෙස මෙම ඉඩම විකුණා දමා තිබෙන්නේ යුද්ධය නිමවී වසර එක හමාරක් ගතවෙද්දී, 2010 ක්වූ දෙසැම්බර් මස 28 වනදාය.

රාජපක්ෂලාගේ දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරේ..

මෙම භූමිය ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානයක් පමණක් නොව ආරක්ෂක මර්මස්ථානයක් වන්නේය. අද මහා දේශප්‍රේමයෙන් මුසපත්ව මඟ කියමින්, සමුළු පවත්වමින් යන එවක රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියාව සිටි ගෝඨාභය රාජපක්ෂද නිහඬව තම පවුල් සමාගමේ ප්‍රධානියා වූ මහින්ද රාජපක්ෂ රටේ ඉඩම් කුණු කොල්ලයට විදේශිකයින්ට විකුණා දමද්දී ඔහු ඊට එහා ගිය ජාවාරම් සිදුකළ බවද නොරහසකි.

මෙම විකුණුම් ඔප්පුවේ විකුණුම් මිල ඇමරිකානු ඩොලර් මිලියන 75ක් හෙවත් රුපියල් මිලියන 8250 ක් ලෙස සඳහන් වුවද මෙම මුදල් ප්‍රමාණයට එහා ගිය මුදල් ප්‍රමාණයක් රාජපක්ෂ රෙජීමයේ කළු සල්ලි ගිණුම්වලට තැන්පත් වන්නට ඇති බවට යළි අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැත. තම රටේ වටිනාම ඉඩම් විදේශිකයින්ට කුණු කොල්ලයට විකුණු රාජපක්ෂලාගේ ඊනියා දේශප්‍රේමීත්වය ගැන කියන්නට මීට වඩා තවත් සාක්ෂි සහිත හෙළිදරව් අප ඉදිරියේදී තවත් අනාවරණය කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

සාක්ෂි සහිත හෙළිදරව්ව

පිළිකාව පරදන්න රාජිත පුස්කොල පොත් 600ක් පෙරළයි

පිළිකා රෝගය මර්ධනය කිරීම සදහා වන දේශීය ෙඖෂධ පවතින පුස්කොල පොත් 600ක් සිංහල භාෂාවට පරිවර්තනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිතච සෙනාරත්න මහතා ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ  වෙදගම සරත්චන්ද්‍ර රාජකරුණා අනුස්‌මරණ පාරම්පරික පර්යේෂණ ආයුර්වේද රෝහලට මුල්ගල තැබීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් .

මේ එහිදී අමාත්‍යවරයා පල කළ අදහස්.

පිළිකාවට තවම අවසන් විසදුමක්‌ බටහිර වෛද්‍ය විද්‍යාවෙත් නෑ. මේ පිළිබඳව පර්යේෂණ කරන්නට පුස්‌කොළ පොත් 600 ක්‌ මං සොයාගත්තා. මේවා කාටත් කියවන්න පුලුවන් ආකාරයට සිංහලෙන් ග්‍රන්ථාරූඪ කරගෙන යනවා.

බටහිර වෛද්‍ය විද්‍යාවෙන් කරන්න බැරි දේවල් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් කරලා තිබෙනවා. මේකේ විද්‍යාත්ම ස්‌වභාවය අපි සොයාගන්න ඕනෑ. ඒකට තමයි මේ පර්යේෂණ රෝහල ආරම්භ කරන්නේ.

සමහරු හිතනවා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් තමයි මේ සියලු දේ කෙරෙන්නේ කියලා. දේශීය වෛද්‍ය විද්‍යාවේ වුණත් සොයාගත්ත වෛද්‍යක්‍රම ග්‍රන්ථාරූඪ වුණේ නෑ. ගුරුමුෂ්ටි තියාගත්තා.

අනුරාධපුර පර්යේෂණ රෝහලක්‌ මඩකලපුවේ තවත් පර්යේෂණ රෝහලක්‌ හදනවා. මේ වගේ විශාල වැඩකොටසක්‌ හැම තැනකම කරනවා. අපිට එක පැත්තකින් දේශීය වෛද්‍ය විද්‍යාව දියුණු කරන්න පුලුවන්. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයත් මං දියුණුකරගෙන යනවා. සියලුම වෛද්‍ය ක්‍රම එකතැනකට ගෙනැල්ලා ගෝලීය වෛද්‍ය ක්‍රමයක්‌ හැදිය යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය බොහොම අභියෝගාත්මකයි. රජකම තිබුණත් වැඩක්‌ නෑ ලෙඩෙක්‌ නම්. නිරෝගීකම තමයි පරම සැපත. මේ පර්යේෂණ රෝහල් හදන්නේ ලෝකයේ හැමෝම මෙතනට ගෙන්න ගන්න.

අධ්‍යාපනයට සියයට 1.75 වියදම් කළේ. අපි කිව්වා ඒක සියයට හයක්‌ කරන්න කියලා. සියලුම සරසවි ශිෂ්‍යයන්ට නේවාසිකාගාර හදන්න මුදල් වෙන්කර තිබෙනවා.

කළුතර මං හදනවා දෙවැනි මාතෘ ළමා රෝහල. මේවාගේ දැවැන්ත රෝහල් ගණනාවක්‌ අපි ලංකාවේ හදනවා. සයිටම් රෝහලේ වටිනාකම මිලියන 3500 යි. මෙච්චර මුදලක්‌ වියදම් කළේ වෛද්‍යවරයෙක්‌ නිසා. ඒක ඉල්ලන කොට දෙන්නෙත් වෛද්‍යවරයෙක්‌ නිසා. මේක දෙන්න ඔළුව හදාගන්න එකත් පුදුමයක්‌.

අද සියයට පහළවක්‌ දක්‌වා සිගරට්‌ බීම පහළ වැටිලා තියෙනවා. ස්‌කෝලවටේ මීටර් 500 ක්‌ යනතුරු සිගරට්‌ විකිණීම තහනම් කළා. අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩුකළා. අක්‍ෂි කාචයක්‌ රුපියල් 30000 යි. ඒක අපි 8000 ට අඩුකළා. අපි රුපියල් සතවලින් නෙවෙයි මිනිසුන්ගේ ජීවිත මනින්නේ.

ඇමසෝන් හි ජෙෆ් බෙසෝස් ලොව ධනවත්ම මිනිසා වෙයි

 ලොව ධනවත් ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටි මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් අබිබවමින් අංක එකට පැමිණීමට ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් සමත්ව තිබේ.

ඉ-වාණිජ ක්ෂේත්‍රයේ හා ක්ලවුඩ් පරිගණක සමාගමක් ලෙස ප්‍රකට ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ වත්කම් ඇ.ඩො.බිලියන 90 ඉක්මවා යෑමත් සමග ඔහු ලොව අංක එකේ ධනවතා බවට පත්ව ඇති බව ෆෝබ්ස් සහ බ්ලූම්බර්ග් වාර්තා පවසයි.

විශේෂයෙන්ම ඇමසෝන් සමාගමේ කොටසක අගය ඇ.ඩො.15කින් ක්ෂණික ඉහළ යෑමක් බදාදා දිනයේ කොටස් ගනුදෙනු අවසන් වනවිට පෙන්වීම තුළ ඔහුගේ වත්කම් වර්ධනය වී ඇති බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත්, ජෙෆ් යනු දශක දෙකකට අධික කාලයක් ලෝකයේ ධනවතුන් ලැයිස්තුවේ ඉහළින්ම වැජඹුණු අයෙකු වන අතර, පසුගිය වසර දෙකක කාලය තුළ ඔහුගේ වත්කම්වල කැපීපෙනෙන වර්ධනයක් පෙන්වීය.

2016 වසරේ මේ කාලය වනවිට ලොව තෙවැනි ධනවතා ලෙස සිටි ජෙෆ්, එවකට ඔහුව අබිබවමින් සිටි බිල් ගේට්ස් සහ සාරා ආදි කර්තෘ ඇමනෝසිසෝ ඔර්ටේගා යන දෙදෙනාම මේ වනවිට පසු කරමින් අතිශය සුවිශේෂී තත්ත්වයක පසුවෙයි.

තාජුඩීන් ගමන්ගත් රථය පිටුපස ගමන් ගත් රථයක් පිළිබඳ පරීක්ෂණ

 සිය මෝටර් රථය තුළ අබිරහස් අන්දමින් පිළිස්සී මියගොස් සිටි හිටපු රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් නමැත්තාගේ මරණය සිදුවීමට පෙර ඔහු ගමන්ගත් මොටර් රථයට පිටුපසින් ගමන් කළ මෝටර් රථයක ගමන් කළ බව කියන පුද්ගලයන්ගේ ඡායාරූප රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමුකොට වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා රහස් පොලීසියට නියම කළේය.

ඒ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල  (27දා) කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීමකට අවසර දෙමින් මහේස්ත‍්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙහි සැකකරුවන් ලෙස නම් කරි සිටින දැනට ඇප මත මුදාහැර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙන්ම නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් නිශ්ශංක මහතා අධිකරණයේ පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කරුණු ඉදිරිපත් කරමින් වසීම් තාජුඩීන් නමැත්තාගේ මෘත ශරීරයෙන් ඉවත් කළ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්‍ෂණයෙන් අනතුරුව නිකුත් කරන ලද පරීක්‍ෂණ වාර්තාව මේ වනවිට මෙම අධිකරණයට බාරදී ඇතැයි දැනුම් දුන්නේය.

ඉදිරිපත් වු සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කළ අතර, මෙම පැමිණිල්ල ලබන මස 24 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

මෙම සී.ඩී. තැටි කැනඩාවට රැගෙන යෑමට අවසර දෙන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත‍්‍රාත්වරයා ඊට අවසර ලබා දුන්නේය.

මෙම සී.ඩී. තැටි මගින් විසඳාගත යුතු ප‍්‍රශ්න 36ක් අඩංගු වාර්තාවක්ද ඉදිරිපත් කරන බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල නාය යෑමේ අවදානමක

මාස ගණනාවක් පැවැති නියං තත්වයෙන් පසුව අද (27) පස්වරුවේ පැය එකහමාරකට වැඩි වේලාවක් බණ්ඩාරවෙල ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණු අතර බහු විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගිලා බැසීමට හා පුපුරා ඇති කඳු කිහිපයක් දැඩි නාය යෑමේ අවධානමක පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

උමා ඔය ව්‍යාපෘතියෙන් විනාශයට පත්ව ඇති දික්අරාව ප්‍රදේශයේ නිවාස හා ස්ථාන පරීක්ෂා කිරීම සඳහා අද පස්වරුවේ එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි සංවිධානයේ පිරිසක් සහභාගී වෙමින් සිටින අවස්ථාවේදී දැඩි වර්ෂාවක් එම ප්‍රදේශයට ඇද හැළී තිබේ. දික්අරාව  කන්ද මීට සති දෙකකට පමණ පෙර ස්ථාන රැසකින් පුපුරා ගොස් ඇති බවත් අද ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවේ ජලය පුපුරා ඇති විවර තුළින් කඳු අභ්‍යන්තරයට ගමන් කළ ආකාරය තමන් ඇතුළු පිරිස සියැසින් දුටු බවත් සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ල දිස්ත්‍රීක් ආපදා කළමණාකරන අධ්‍යක්ෂකවරයා, බදුල්ල දිස්ත්‍රීක් ලේකම්වරයා, පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා යන නිලධාරීන්ද මහින්ද අමරවීර අමාත්‍යවරයාටද මෙම අවධානම පිළිබඳව දැනුවත් කළ බවත් ඇමතිවරයා ඉතා ඉක්මනින් මේ පිළිබඳව සොයා බලා මැදිහත්වන බවත් පවසා තිබේ.

දික්අරාව කන්ද පහළ බෑවුමේ නිවාස 200ක් පමණත් ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක්ද පවතින බැවින් ඔවුන්ගේ ජීවිත අවධානම ගැන සැළකිල්ලට ලක් කර ඉතා ඉක්මනින් ඔවුන් ගලවාගැනීම සඳහා මැදිහත් විය යුතු බව සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මේ වනවිට පහළ ප්‍රදේශයේ පදිංචි ජනතාවට එම ස්ථාන වලින් ඉවත් වන ලෙස දැනුවත් කරමින් සිටින බවයි.

දික්අරාව කන්ද පහළ බෑවුමේ පිහිටි නිවාසයක ටයිල් කරන ලද ගෙබිමේ පුපුරා ඇති ස්ථානයකින් විශාල ජල පහරක් මතුපිටට ගලා ආ බවත් වර්ෂාව නැවතීමත් සමග එම ජල පහර ගලා යෑමද නතර වී ඇති බවයි. මේ තත්වය පිළිබඳව සමන්ත විද්‍යාරත්න මහතා  භූ ගර්භ විද්‍යාඥයින්ද දැනුවත් කළ බවත් ඔවුන්ද පවසා සිටියේ මේ තත්වය දැඩි නාය යෑම් අවධානමක ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය හේතුවෙන් දික්අරාව කඳුවැටිය පමණක් නොව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කීනගම, වලස්බැද්ද කන්දත් පුපුරා ගොස් දැඩි අවධානමක ලකුණු පහළ කර ඇති බව සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

චමරිට එංගලන්තයෙන් ඇරයුමක්

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා චමරි අතපත්තුට එංගලන්ත පළමු පෙළ විස්සයි විස්ස කාන්තා ක‍්‍රිකට් තරගාවලියකට එක්වීමේ අවස්ථාව උදා වී තිබෙනවා. ඒ, ඉකුත් ලෝක කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලියේ දී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ඇය දැක්වූ පිතිකරණ දක්ෂතාව හේතුවෙන්.

චමරි අතපත්තු එම තරගයේ දී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවා. එම ලකුණු සංඛ්‍යාව වාර්තා වූයේ ක‍්‍රීඩිකාවක් එක්දින තරගයක රැස් කළ තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

මෙවර එංගලන්ත පළමු පෙළ කාන්තා ක‍්‍රිකට් තරගාවලියේදී චමරි අතපත්තු යෝකෂයර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවකට එවැනි අවස්ථාවක් හිමි වූ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ. තවත් රටවල් කිහිපයකින් ද තමන්ට ඇරයුම් ලැබී ඇති බවයි ඇය නෙත් ස්පෝ්ර්ට්ස්මන් වෙත කියා සිටියේ.

ඩෙංගු රෝගය ගෙදරදීම හඳුන ගන්න උපකරණයක්

ඩෙංගු රෝගය හඳුනා ගැනීම සඳහා නිවසේ දී භාවිත කළ හැකි සරල පරීක්ෂණ කට්ටලයක් හඳුන්වා දීමට කාර්මික තාක්ෂණ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

එම ආයතනය වෙනුවෙන් කරුණු දැක්වූ ආචාර්ය මහේෂි අතපත්තු සඳහන් කළේ “දැන් අපි දන්නවා මේ වෙන කොටත් අපිට ගෙදරදීම රැධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර ගැනීමේ උපකරණ තියෙනවා… ඒ වගේම රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීමේ උපකරණ තියෙනවා..ඒ වගේ තමයි මේකත් ගෙදරදීම ඩෙංගු පරීක්ෂා කර ගැනීමට පහසුව ලබා දෙන උපකරණයක්.” යනුවෙනි.

මෙවැනි පරීක්ෂණ කට්ටලයක් මගින් ඩෙංගු රෝගය කල් ඇතිව හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

අදාල පරීක්ෂණ කට්ටලය මෙම වසර තුළ භාවිතයට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික තාක්ෂණ ආයතනය කියා සිටියා.