18 April 2017

කුණු කන්ද ප්‍රතිචක්‍රීයකරණය ගැන කියල දෙන සුදු කෙල්ල | VIDEO


මීතොටමුල්ල කුණු කන්ද නායයාම නිසා කසළ ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ අලුත් කතාබහක් සමාජය පුරා ඇති වී තිබේ. දැනට 30 දෙනෙකුට පමණ කුණුකන්ද නායයාමෙන් ජීවිත අහිමි වී ඇති අතර 50 කට වැඩි පිරිසක් අතුරුදහන් වී තිබේ.

කුණු ශ්‍රී ලංකාවට මෙතරම්ම ප්‍රශ්ණයක් වී තිබෙන්නේ ඒවා නිසිලෙස බැහැර නොකිරීම සහ කසල ප්‍රතිචක්‍රීයකරණයට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම නිසි පරිදි සිදු නොවීමයි.

ලුරේන් සින්ගර්(Lauren Singer), එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වන සුරූපී තරුණියක්. මීතොටමුල්ල කුණු කන්දෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමට පුලුවන් එකම කෙනා ඇය කිව්වොත් ඔබ පුදුම වෙයි.

ඇය කසළ රහිත කෙල්ල – zero trash girl ලෙස තමයි නිව්යෝර් නගරවාසීන් ලුරේන්ව හදුන්වන්නේ. එයට හේතුව පසුගිය වසර දෙක පුරාම ඇය විසින් බැහැර කරන ලද කසල ප්‍රමාණය කුඩා ජෑම් බෝතලයක බහාලීමට හැකිවීම.

ඇය සම්පූර්ණයෙන්ම කසල බැහැර කිරීම සඳහා ස්වයං විනයක් පවත්වාගෙන යන කාන්තාවක්. පොලීතීන් සහ දිරා යාමට කල්ගතවන දේ පරිභෝජනය කිරීම අවම කරගෙන ඇති ඇය ප්‍රතිචක්‍රීයකරණය කල හැකි සියලු දේ ඒ සඳහා විධිමත්ව යොමු කරනවා.

අපිටත් පුලුවන්නම් කසළ බැහැර කිරීම පිළිබඳව ඇයගෙන් ඉගෙන ගන්න, මේ ඇතිවෙලා තියන ජාතික ආපදාවෙන් ගැලවෙන්න අපේ වගකීම අපිට ඉටුකරන්න පුලුවන් වෙයි.

දේශපාලකයෝ මේ ප්‍රශ්ණයට විසඳුමක් ගේන තුරු අපේ හිත හදාගන්න හරි කසල ටික විධිමත්ව, බුද්ධිමත්ව, වගකීම් සහගතව බැහැර කරමු.

පහත වීඩියෝව නරඹා Lauren Singerගේ zero trash සංකල්පය ඉගෙන ගන්න.


ජැමෙයිකාවේ ඔලිම්පික් ශුරයාවත් පරදා ලංකාවේ හිමාෂ ඒෂාන් නව වාර්තාවක් තියපු හැටි | VIDEO



මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන හිමාෂ ඒෂාන් මෙම වසරේ වේගවත් ම කාලය වාර්තා කිරීමට සමත්විය.

ජැමෙයිකාවේ පුහුණුවීම් කරන හිමාෂ ඊයේ(16) පැවති යූටෙක් ක්ලැසික් ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් 6 වන ස්ථානයට පත්වූයේ තත්පර 10.29 ක කාලයක් වැය කරමිනි.

මෙම තරගයට ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් ද සහභාගී වුවත් ඔහුට හිමිවූයේ 8 වන ස්ථානයයි.

සාර්නෙල් හියුස් 10.08 ක කාලයකින් ජය වාර්තා කිරීමට සමත්විය.


මාදුරුඔය වනයත් චීනයට විකුණන්න සැරසෙයි



මාදුරුඔය ජාතික උද්‍යානයෙන් අක්කර 54,250 ක භූමි ප‍්‍රමාණයක් චිනයට දිමට කටයුතු කරමින් සිටින බව ප‍්‍රදේශවාසිහු කියති. දේශිය කාර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති ඇති කිරිම සදහා මෙම ඉඩම් චිනයට ලබා දිමට කටයුතු කර ඇති බවත් අක්කර 43,250 ක් උක් වගාව සඳහාත් ඉතිරිය ගව පාලනය සඳහාත් වෙන් කර ඇතැයි කියති.

ප‍්‍රදේශයේ ගොවි ජනතාවගේ ගවයින් තණකොළ කැවිමටවත් මාදුරුඔය ජාතික උද්‍යානයට ඇතුළු කිරිමට අවසර නොදෙන වනජිවි දෙපාර්තමේන්තුව උද්‍යානයෙන් විශාල ප‍්‍රමාණයක් චිනයට ලබා දිමට එරෙහිව මුණිවත රකින්නේ රජය සෘජුවම මැදිවත්ව සිටින නිසා බවද ප‍්‍රදේශවාසිහු පෙන්වා දෙති.

තොරතුරු දැනගැනිමේ පනත අනුව මෙම ව්‍යාපෘතිය පිළිබද කරුණු 172ක් ඇතුළත් කර ඒ සඳහා තොරතුරු ලබා දෙන ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියත් ඔහුන් විසින් කරුණු 15 ක් සඳහා පමණක් පිළිතුරු ලබා දුන් බව ප්‍රදේශවාසීහු කියති.

මේ සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් එක්ව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති අතර එය මේ මස 27 වැනිදා කොළඹ අධිකරණයේ දී විභාගයට ගැනිමට නියමිතය.

නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු දැමීම තහනම්



නාගරික සංවර්ධන අධිකාරියට අයත් කිසිදු රජයේ ඉඩමකට මැයි පළමු වැනිදා සිට කසළ බැහැර කිරීම තහනම්. කිරීමට එම අධිකාරිය තීරණය කර ඇත.මේ අතර යම් නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කසළ බැහැර කිරීමට අවශ්‍ය වන්නේ නම් එම ආයතන සතු ප්‍රතිපාදනවලින් විසඳුම් සපයා ගැනීමට සිදුවන බව එම අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා ඊයේ (17 ) මාධ්‍යට සඳහන් කළේය.

මීතොටමුල්ල කුණු කන්ද හා අවට ප්‍රදේශ විධිමත් ලෙස පුනරුත්ථාපනය සඳහා යුද හමුදා සහාය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වී සිටින බවත් මුණසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

මීතොටමුල්ලේ ජීවිත හානියකට ලක්‍ෂයක්‌ වන්දි දේපළ හානියකට ලක්‍ෂ 25 තෙක්‌ වන්දියක්‌



මීතොටමුල්ල කුණුකන්ද නාය යැමෙන් සිදුවූ ජීවිත හානියකට රු. ලක්‍ෂයක්‌ සහ දේපළ හානියකට උපරිම වශයෙන් රු. ලක්‍ෂ 25 දක්‌වා වන්දි ගෙවීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මේ වන්දි මුදල් වහාම ගෙවීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය කියයි.

මෙම ආපදාවෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණයකට අනුව මේ වන්දි ලබාදීමට මුදල් අමාත්‍යාංශය දැනටමත් කටයුතු කර ඇත.

මීතොටමුල්ල විපතෙන් පසු අවතැන්ව සිටින ජනතාවට පිසූ ආහාර ලබාදීම සඳහා මහා භාණ්‌ඩාගාරයෙන් මුදල් ලබා දී ඇත. එසේම අවදානම් තත්ත්වයේ පවතින නිවාස නැවත සාදා දීමට හෝ විකල්ප ස්‌ථානවල පදිංචි කරවීමට ද රජය කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය කියයි.

මුළුමනින්ම විනාශ වූ නිවාස වෙනුවෙන් එම නිවාස හිමියන්ගේ කැමැත්ත අනුව කොළඹ නගරයේ මහල් නිවාස ව්‍යාපෘතියේ නිවාස ලබාදීමට හැකි යෑයි මහා නගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවද එම අමාත්‍යාංශය කියයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2016 වසරේදී ස්‌වාභාවික විපත් හේතුවෙන් ආපදාවට ලක්‌වන ජීවිත හා දේපොළ හානිවලට වන්දි ලබාදීමේ පියවරක්‌ ලෙස ජාතික රක්‍ෂණ භාර අරමුදල හරහා මුළු රටම ආවරණය වන පරිදි රක්‍ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දෙන ලද බැවින් විපතට පත්වූවන්ට පහසුවෙන් වන්දි දීමට හැකිවී ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.

මීතොටමුල්ල ඛේදවාචකය-මරණ 30 දක්වා ඉහළට-තවත් 30ක් අතුරුදන්



මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිද හමුදාව, පොලිස් නිලධාරීන් මෙන්ම කොළඹ දිසාපතිවරයා, කොළොන්නාව ප්‍රාදේශීය මහ ලේකම්වරයා, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර  නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ද යොදවා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, විපතින් ජීවිත අහිමිවූවන්ගේ අවමඟුල් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට ජනාධිපතිවරයා හා අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේවෙතත් විපතට පත්වූවන්ට සම්පූර්ණ වන්දි ගෙවීමට හා ඔවුන්ගේ ජීවිත පෙර තිබූ තත්වයට වඩා යහපත් තත්වයට ගෙන ඒමට කටයුතු කරන බව ඊයේ(16)  දිනයේදී ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආපදාවට ලක්වූ දේපළ තක්සේරු කිරීමේ කටයුතු අද (17) දින සිදුකිරීමට නියමිත අතර අවදානම් කලාපවල සිටින ජනතාව හඳුනාගෙන ඔවුන් සඳහා ද සුරක්ෂිත ස්ථාන පිළියෙළ කිරීමේ කටයුතු ද සිදුකිරීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළොන්නාව ප්‍රදේශයේ ඉදි කරන ඇති නිවාස සංකීර්ණවලින් විපතට පත් ජනතාවට නිවාස ලබාදීම පිළිබඳ සොයා බලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත උපදෙස් ලැබී ඇති බව වාර්තා වෙයි

කොළඹ ප්‍රදේශයේ කසළ බැහැර කිරීම පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව යළිත් වරක් ලෝකයෙන්ම අංක 01ට


වඩාත්ම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනා බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. අමෙරිකාවේ ගැලප් සමාගම විසින් 2008, 2009 සහ 2015 යන වසර වල ලොව පුරා රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල සැලකිල්ලට ගෙන ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරන්නේ සමීක්ෂණයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් 99% ක් ම ආගමික නැඹුරුවක් සහිත පුද්ගලයන් බවට කරුණු හෙළිව ඇති බවය.

ඒ ඒ රටවල තෝරාගත් වැසියන් පිරිසකගෙන් ආගමික නැඹුරුව සම්බන්ධයෙන් විමසා බලා එක්රැස් කරගත් තොරතුරු වලට අනුව එම වාර්තාව සකස් කොට ඇති අතර ශ්‍රී ලංකාව, ඉතියෝපියාව, මලාවි, නයිජර් සහ යේමනය 99% ක ඉතාමත් ඉහල ආගමික නැඹුරුවක් ඇති රටවල් වශයෙන් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.

ඒ අතර බුරුන්දි, සෝමාලියාව, ජිබූටි සහ මුරුතේනියාව ආගමික නැඹුරුව 98%ක ප්‍රතිශතයක් පෙන්නුම් කළ රටවල් වශයෙන් වාර්තාගතව තිබෙනවා. ආගමික නැඹුරුව අතින් දකුණු දිග යුරෝපයේ ඉතාලිය 74% සහ ග්‍රීසිය 71% වශයෙන් වාර්තා වී ඇති නමුත් බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ආගමික නැඹුරුවක් පෙන්නුම් කර තිබෙන්නේ 30%ක් පමණි.

ලොව පහලම ආගමික නැඹුරුවක් දක්වන රට වශයෙන් චීනය හඳුනාගෙන ඇති අතර චීන ප්‍රජාවෙන් ආගම වෙනුවෙන් නැඹුරුවක් ප්‍රදර්ශනය කොට ඇත්තේ 7%ක ප්‍රතිශතයකි. ඊට අමතරව ජපානය, එස්තෝනියාව, ස්වීඩනය, නොර්වේ සහ චෙක් ජනරජය ලොව පහලම ආගමික නැඹුරුවක් පෙන්නුම් කරන රටවල් බවත් එම සමීක්ෂණයෙන් හෙළි වේ.

කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් ලෝකයේ තරුණ පරපුර ආගමික නැඹුරුව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බව පෙන්වාදෙන සමීක්ෂණ වාර්තාව, අනාගතයේ රටවල ආගමික නැඹුරුවක් දක්වන ප්‍රතිශතය ඉහල යා හැකි බවට අනාවැකියක් ද පළ කරතිබෙනවා.

මළල ක‍්‍රීඩා සංගමයේ මුල් පුටුවට තුන් කොන් සටනක්



ශ‍්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමයේ නිළවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද පස්වරුවෙන් අවසන් වුණා.

ඒ අනුව මෙවර සභාපති තනතුර සඳහා නාම යෝජනා 03ක් ඉදිරිපත් වී තිබෙනවා.

එම අපේක්ෂකයන් වන්නේ සුගත් තිලකරත්න, මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු සහ ජී එල් එස් පෙරේරායි.

ලේකම් තනුර සඳහා නාම යෝජනාභාර දී ඇත්තේ පේ‍්‍රමා පින්නවල පමණයි.

ඒ අනුව ඔහු නිතරගයෙන් එම තනතුරට පත් වනු ඇති.

උප සභාපති තනතුරු 07 සඳහා අපේක්ෂකයන් 17 දෙනෙකු නාම යෝජනා භාර දී තිබෙනවා.

ඊට අමතරව සහකාර ලේකම් තනතුර සඳහා අපේකෂ්කයන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටින බවයි වාර්තා වුණේ.

නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් පහතින්.

President - Maj. Gen Palitha Fernando, GLS Perera, Sugath Thilakaratne

Secretary - Prema Pinnawela

Treasure - Shantha Silva

Assistant Secretary - Bernad Perera (Rejected), Elaberen(Rejected)  

Assistant Treasure - HA Upali , Sampath Jayasena (Rejected) ,K.Sundararajan (Rejected)

Recorder - Saman Kumara Guanawardane

Vice Presidents (7 post) - GLS Perera, Sugath Thilakaratne , Lal Chandrakumara, HW Nimalsiri , Anil Weerasinghe, AM Akmal , Udeni Kanchanamala ,Irangani Rupasinghe, Nayanthi Kumari, AR Arfat, Upali Kumarasiri, Prashan Indika, NG Wimaladasa, Col Manjula Perera (Rejected) , Col.Sudath Madugalle(Rejected), Col. Chandana Ranaweera (Rejected), S.Jegeneethan (Rejected), S.Wijeneethan (Rejected)

ඇමෙරිකාවේ අනතුරු ඇඟවීමකට උතුරු කොරියාවෙන් ප‍්‍රතිචාර



තවදුරටත් මිසයිල අත්හදා බැලීමේ ක‍්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව උතුරු කොරියාව පවසනවා.

එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හැන් සොන් යොල් බී බී සී ලෝක සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ කර ඇත්තේ සතිපතා, මාසිකව සහ වාර්ෂික පදනම් යටතේ සිය මිසයිල අත්හදා බැලීම් ඉදිරියටත් ක‍්‍රියාත්මක කරන බවයි.

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අමෙරිකාව ඉකුත්දා අනතුරු ඇඟවීමක් සිදු කළා.

අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ප‍්‍රකාශ කළේ අමෙරිකාවේ ඉවසීමේ යුගය අවසන්ව ඇති බවයි.

ඊට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය සිදු කර තිබෙනවා.

බුදු පිළිම, දන්සැල් සඳහා නව චක‍්‍රලේඛයක් ගෙන ඒමට සූදානම්



බුදු පිළිම, දන්සැල් සහ වෙසක් සුභ පැතුම්පත් සම්බන්ධයෙන් නව චක‍්‍රලේඛයක් ගෙන ඒමට බෞද්ධ. කටයුතු දෙපාර්තමේන්තුව සූදානම් වනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර පැවසුවේ බුදු දහමට නොගැළපෙන ඇතැම් ක‍්‍රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් නව චක‍්‍රලේඛය ගෙන එන බවයි.

බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය කිරීමට අදාළ ප‍්‍රමිතීන්ද එහි ඇතුළත් බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

දන්සැල් පැවැත්වීමේ දී සහ ඒ සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ද නියාමනයක් සිදු කිරීමට ද අවධානය යොමු කෙරෙන බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

බෞද්ධ ආගමික කටයුතු සඳහා සංගීතය යොදා ගැනීම, වෙසක් සුභ පැතුම්පත් සඳහා යොදා ගන්නා ඡායාරූප සම්බන්ධයෙන් ද නව නීති ගෙන එන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මහනුවරත් අවදානම් කසල කන්දක්



මහනුවර ප‍්‍රදේශයේ එක් රැස් වන කසළ බැහැර කෙරෙන ගුහාගොඩ තේක්කවත්ත කසළ කන්ද ද අවදානම් තත්ත්වයකට පත් වෙමින් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ එම ස්ථානය කසළ බැහැර කළ හැකි උපරිම සීමාවට ළඟා වී ඇති බවයි.

මීතොටමුල්ල කසළ කන්ද පිහිටි ස්ථානයේ පාංශු ස්ථරය ශක්තිමත් නොවන බව තමන් මීට පෙර අදාළ අංශ වෙත දැනුවත් කර තිබූ බවද ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළා.

ලංගම, දුම්රිය සහ අධිවේගයේ ආදයම් ඉහළට



දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනකදි ඉපැයූ වූ වැඩිම ආදායම ඉකුත් ඉරිදා දිනයේ වාර්තා වී තිබෙනවා.

එම ආදායම රුපියල් මිලියන විසි එකයි දශම පහක්.

එම දිනයේදි වාහන හැත්තෑඑක් දහස් පන්සියයක ප‍්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කර තිබෙනවා.

මේ අතර, ඉකුත් අපේ‍්‍රල් මස 07 වනදා සිට අපේ‍්‍රල් 16 වනදා දක්වා වාහන හත්ලක්ෂ පනස්දාහක් අධිවේගී මාර්ගය භාවිත කර තිබෙනවා.

එහි ආදායම රුපියල් මිලියන 230ක් බවයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමණාකරණ අධ්‍යක්ෂ එස් ඕපනායක සඳහන් කළේ.

එම ආදායම ඉකුත් වසරේ උත්සව සමය හා සැසඳිමේදී සියයට 25ක වැඩිවීමක් බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, උත්සව සමයේ දී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායමද ඉකුත් වසරට සාපේක්ෂව සියයට 25කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

උත්සව සමයේ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම ද ඉකුත් වසරට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

පී එච් ආර් ඞී චන්ද්‍රසිරි පැවසුවේ අපේ‍්‍රල් මස 06 වනදා සිට අපේ‍්‍රල් 16 දක්වා කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 721ක ආදායමක් උපයා ඇති බවයි.