20 April 2017

ලසන්ත ඝාතනය ගැන හමුදාවේ ඉහළම ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි



සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරීන් තිදෙනකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID)  (18 දා) ප්‍රශ්න කර ඇත.

මෙසේ ප්‍රශ්න කරනු ලැබූ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයාව සිටි මේජර් ජෙනරාල් කුමාර හේරත්, හිටපු බස්‌නාහිර පළාත් ආඥපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා යන නිලධාරීන් ද සිටින බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්‌ථාවේ සිදු වූ බව කියන සැක කටයුතු දුරකථන සංවාද කිහිපයක්‌ සම්බන්ධයෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මෙම නිලධාරීන්ට දැනුම් දී තිබිණි.

ඒ අනුව ඊයේ පෙරවරු 10.00 ට පමණ මෙම හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර සවස 2.00 පමණ වනතුරු පැය 4 ක්‌ මොවුන්ගෙන් ප්‍රශ්න කර තිබිණි.

මෙහිදී ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වූ බව ද පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්



බෙලරූස් වෛද්‍ය විද්‍යාලය විසින් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම ව්‍යාපෘතිය 2018 වන විට ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටින බවත් මේ වන විට ඒ සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතින බවත් ඒ පිළිබඳව ඉදිරි කටයුතු සඳහා ලංකාවට කණ්ඩායමක් එවීමට සුදානම් කර ඇති බවත්  බෙලරූස් නිව්ස් පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ වුවද මේ පිළිබඳ අප කළ විමසීමකදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කළේ මේ පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් නොමැති බවයි.

තාජුඩීන් ඝාතනය යට ගසන්න PSDය වාර්තා පොත්වල පිටුත් ගලවලා



රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය වූ කාල පරාසය තුළ දී හිටපු ජනපති ආරක්ෂක සේනාංකය මඟින් දෛනිකව පවත්වාගෙන ගිය රාජකාරි සම්බන්ධ සටහන් ලේඛනයේ වර්ෂ 2012/5/16 දින සිට 2012/5/22 දක්වා කාලයට අදාළව කොළ කඩා හෝ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් එම ලේඛනය භාරව සිටි යුද හමුදා නිලධාරීන් දෙදෙනා රහස් පොලිසිය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රකාශ ලබා ගත් බවට රහස් පොලිසිය  (18) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙරාම් ට්‍රොස්කි මහතා වෙත දැනුම් දුන්නේය.

මීට අමතරව මරණකරු වූ තාජුඩීන් ‍මිය යාමට ආසන්න අවස්ථාවේ දී ඔහු සමඟ පිළිස්සීමට ලක් වූ කාර් රථයේ ගමන් ගත් චමින්ද ජයප්‍රකාශ් නැමැත්තාගේ ජංගම දුරකථනයට ලැබී ඇති සැක සහිත ඇමතුමකට අදාළව ද යුද හමුදා සමාජිකයන් දෙදෙනකු ද රහස් පොලිසිය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රකාශ ලබා ගත් බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.

ඔවුන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතා තහවුරු කර ගැනීම සඳහා ඔවුන් භාවිත කරන ලද දුරකථන අංකවලට අදාළ ඇමතුම් වාර්තා ලබා ගෙන සූක්ෂමව විශ්ලේෂණාත්මක විමර්ශනයක් පවත්වන බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දැන්වීය.

මේ සිද්ධියට අදාළව රහස් පොලිසියට පුද්ගලික ඔත්තුකරුවන් ලබා දෙන තොරතුරු ඔස්සේ ද සිය විමර්ශන ආරම්භ කර ඇති බව පවසන රහස් පොලිසිය ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇති බවට අධිකරණයේ දී කරුණු අනාවරණය විය.

බන්ධනාගාර අධිකාරිවරයා විසින්  (18) සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති තෝල්කමුදලිගේ අනුර සේනානායක මහතා අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අතර, ඔහු තවදුරටත් මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා මෙහි දී නියෝග නිකුත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි නාරාහේන්පිට පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපති අංගොඩගේ දොන් සුමිත් චම්පික පෙ‍රේරා මහතා දැනට මහාධිකරණ ඇප මත සිටින අතර, ඔහු මේ මස 27 අධිකරණයේ පෙනී සිටීමට ද නි‍යෝග නිකුත් කර ඇත.

වර්ෂ 2012 /5/16 සිට 2012/5/17 දක්වා කාලයේ දී මොහොමඩ් වසීම් තාජුඩීන් වන මරණකරු භාවිත කළ ණය කාඩ්පත් සම්බන්ධ තොරතුරු කැඳවුවද මෙතෙක් බැංකු මඟින් නිකුත් කරන ලද විස්තර අනුව ලංකා බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, නේෂන්ට්‍රස්ට් බැංකුව , එන්.ඩී.බී බැංකුව හා ෆෑන් ඒෂියා බැංකු වල ගිණුම් ඔහු විසින් පවත්වාගෙන නොගිය බවට වාර්තා කර ඇතැයි ද රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මීතොටමුල්ලට ඩයලොග් ටී වී දෙන්න යයි / අඩුවුණේ එච්චරයි



මීතොටමුල්ල කසල කන්දේ ඛේදවාචකයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් අපූරු ආකාරයේ සහනයක් සැලසීමට ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මීතොටමුල්ල විපතින් පීඩාවට පත් ජනතාව රදවා සිටින කොලොන්නාව ටෙරන්ස් එන්ද සිල්වා විද්‍යාලයට පැමිණෙන බැවින් ඒ සදහා මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙසයි.

එහිදී ක්‍රීඩකයින් විසින් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඩයලොග් ටී වී සබදතාවයක් සහිත රූපවාහිනියක් පරිත්‍යාග කරන බවයි නිවේදනයේ දක්වා ඇත්තේ.

ක්‍රිකට් ආයතනය හෝ සමාගම් මෙම ඛේදවාචකයේ තරම නොදන්නා තරම් ලාමක පුද්ගලයින් වෙසෙන තැනක් බව අප නොසිතන්නෙමු. මීතොටමුල්ලේ ඛේදචාවකයෙන් සිය දෙමාපියන් / දරුවන් / සමීපතමයන් මෙන්ම සියලු දේපල අහිමිව අසරණව සිටින ජනතාවට අවශ්‍ය වන්නේ රූපවාහිනී සබදතාවයන්ද නැතහොත් වෙනත් කවර අවශ්‍යතාවයක්දැයි නොදන්නා තරමට ඔවුන් පහතට ඇදවැටීම කණගාටුවකි. අසරණ මිනිසුන්ගේ දුක වේදනාව පවා වෙළද අවශ්‍යතා වෙනුවෙන් මාර්කට් කර ගන්නේ නම් ඔවුන්ට කෙසේ වෙතත් අසරණ ජනතාවට අත්වන්නේ බුදු සරණ පමණකි. කෙටියෙන් පවසන්නේ නම් කියන්නට ඇත්තේ මෙපමණකි. ලැජ්ජයි…

Dear All,
National team members along with President Sri Lanka Cricket visiting the affected area at Meethotamulla to donate 4 x 40 inch television with Dialog TV connection from CricketAid to help the effected families.
Date:           19th April 2017
Time:          9:30 AM
Venue:        Camp at the Kolonnawa Terrance N de Silva Vidyalaya.

පාසල් අවට 500m සීමාවේ දුම්වැටි අළෙවි කිරීමට බෑ



පාසල් අවට මීටර් 500ක් ඇතුළත දූම්වැටි විකිණීමත් තහනම් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා කැබිනට්. මණ්ඩලයට යොමුකර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. මීට අමතරව තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවද කැබිනට් මණ්ඩලයට යොමු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

වත්මන් රජය තරම් දුම්වැටි නිවාරණය සඳහා කටයුතු කළ වෙනත් රජයක් නොමැති බවත්, දුම්බීම අවම කිරීම සඳහා 90%ක් දක්වා බදු වැඩිකිරීමේ සිට රූපමය අවවාද 80%ක් දක්වා ඉහළ දැමීම කටයුතු කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

එසේම ශ්‍රී ලංකාව තුළ දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට රජය සූදානම් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවද ඔහු පැවැසීය.

පසුගිය රජය සමයේදී දුම්වැටි අසුරණවල රූප රාමු ඇතුළත් කිරීම 80% සිට 60% දක්වා පහළ දමද්දී රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ පිරිස් නිහඬව සිටි බවත්, වත්මන් රජය කිසිදු අවස්ථාවක තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට ඉඩ නොදෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

කසල බැහැර කිරීමට ස්ථානයක් නෑ



කොළඹ නගරයේ එකතුවන කසළරැගෙන යෑමට ස්ථානයක් නොමැතිකමින් මතුව ඇති ගැටලුවට රජයෙන් විසඳුමක් ලැබෙනතුරු කොළඹ මහ නගර සභාව බලා සිටින බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

කසළ දැමීමට ස්ථානයක් සොයාගත නොහැකි වුවහොත් කසළ එකතුකිරීමේ වගකීමෙන් නගර සභාවට ඉවත්වීමට සිදුවනු  ඇති බවද ඔහු කීය.

කසළ රැගෙන යෑමට ස්ථානයක් නොමැතිව කසළ එකතුකළ නොහැකි බවත්,එසේ වුවහොත් තවත් පරිසර ගැටලුවක් නිර්මාණය විය හැකි බවත්,නගරයේ අලංකරණයටද එය බලපානු ඇති බවත්,ඊට පෙර රජයෙන් ස්ථිර තීරණයක් අපේක්ෂා කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

නගර සභාවේ සහ පෞද්ගලික අංශයේ ලොරිවලින් මේ දිනවල කසළ එක්රැස්කිරීමේ කටයුතු සිදුකරන බවත්,දිරාපත්  නොවන කසළ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන විවෘත කිරීමට නගර සභාව කටයුතු කරමින් සිටින බවත් හෙතෙම  කියා සිටියේය.

මේ අතර දෛනිකව එක්රැස්වන කසළ තොග රඳවාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර, නගර සභාවේ ප්‍රාදේශිය කාර්යාලවල කුණු ලොරි නතර කර තිබෙන අන්දමද දැකගතහැකි විය.

සමහර ස්ථානවලින් කසළ ඉවත් නොකළ බවට නගර සීමාවේ පදිංචි ජනතාවගෙන්  චෝදනාවක්ද  එල්ලවිය.

e-mail වෛරසයක් - අවධානයෙන් ඉන්න



ඉ-තැපෑලක (emails) ස්වරූපයෙන් මේ වනවිට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

ඔබ වෙත ලැබෙන සැක සහිත ඉ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‍ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

මෙම වෛරසය රැන්සොම්වෙයාර් (Ransomware) වෛරසය ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඔබේ පරිගණකයට ලැබෙන ඉ-මේල් පණිවිඩයක ඇමුණුමක් (attachment) විවෘත කරන්නට යෑමේදී, එම පරිගණකය වෛරසයට ගොදුරු විය හැකි බව චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සදහන් කරයි.

ප්‍රවෘත්ති, ශ්‍රව්‍ය දෘශ්‍යය පට, පීඩීෆ් ගොණු ආදී ලෙස තිබෙන ඕනෑම ඇමුණුමක් වශයෙන් ලැබෙන ව්‍යාජ ඉ-මේල් පණිවිඩයක් ඇතැම් විට මෙම වෛරසය විය හැකි බව සංසදය පවසයි.

පරිගණකය ‍මෙම වෛරසයට ගොදුරු වුවහොත් පරිගණකයේ තිබෙන සියලු ලිපි ගොණු තොරතුරු දත්ත ජායාරූප ඉ-මේල් පණිවිඩ ආදී සමස්තයම යළි පරිශීලනය කිරීමට නොහැකි කේතයන්  (encrypt) බවට දැක්වෙන බව චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් පවසයි.

එබැවින් ඔබේ පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොණු පිංතූර දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීම (backup) වඩාත් ආරක්‍ෂාකාරී උපක්‍රමයක් බවත් එසේම ඔබේ පරිගණකයේ ස්ථාපිත කර තිබෙන වෛරස් ගාඩය නිරන්තරයෙන් යාවත්කාලීන කරගැනීම උචිත වන බවත් සංසදය සඳහන් කරයි.

මේ වනවිට පරිගණක මෙම වෛරසයට ලක්වීම පිළිබදව පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවද සංසදය පවසයි.

තවත් සිගරැට් සමාගමක් ලියාපදිංචි කිරීමේ සූදානමක්



ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි නිෂ්පාදන සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වන බැවින් මේ පිළිබඳ සොයා බලා ඒ පිටුපස සිටින ජාවාරම්කරුවන් රටට හෙළිකිරීමට ක්‍රියා කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

රට තුළ දුම්කොළ හා දුම්වැටි නිවාරණය සඳහා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග සඳහා තම සංගමය කොන්දේසි විරහිතව සහයෝගය ලබාදුන් බව වෛද්‍ය සොයිසා මහතා සඳහන් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස, මේ වන විට දුම්වැටි පාලනය සඳහා සාධනීය පියවර කිහිපයක් ගැනීමට හැකිව ඇතැයිද ජනාධිපතිවරයා පවා දුම්වැටි පාලනය සඳහා ක්‍රියා කරමින් සිටියදී මෙසේ තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට යෑම බරපතළ වැරැද්දක් බවත් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දුන්නේය.

දුම්වැටි නිවාරණ ක්‍රියාවලිය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේදීත් දැඩිව පෙනී සිටින බවද හෙතෙම අවධාරණය කෙළේය.

IPL උන්මාදය හැදුන නිවේදිකාවගේ අඩ නිරුවත අන්තර්ජාලය පුරා පැතිරුණ හැටි | PHOTOS



ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝකයේ වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ 20-20 තරඟ.

මේ 20-20 තරඟවලට පිස්සු වැ‍ටුණු මිනිස්සු ගොඩක් ඉන්නේ ඉන්දියාවේ.

IPL තරඟාවලිය කියන්නේ මිනිස්සු තවත් කුල්මත් කරවන තරඟාවලියක්. මේ IPL තරඟවලදී ක්‍රිකට් ක්‍රිඩයො මෙන්ම සමහර නිවේදක නිවේදිකාවොත් මිනිස්සු අතරට යන්නේ ඔවුන්ගේ හදවත් තුළ මතකයන් සටහන් කරමින්. ශිබානි ඩැන්ඩෙකර් කියනෙත් ඒ වගේ ප්‍රසිද්ධ වුණු නිවේදිකාවක්.

ඇය මෑතකදී අන්තර්ජාලය වෙත මුදාහැර තිබූ සරාගී ඡායාරූප පෙලක් නිසා ඇයගේ ජනප්‍රියත්වය තවත් වැඩි වුණා.

එම ඡායාරූප පෙළ පහතින්.











මත්ද්‍රව්‍ය දඬුවම් සංශෝධනයට පියවර



හෙරොයින්, ගංජා, අබිං, කොකේන් යන මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් ලබා දෙනු ලබන දඬුවම් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා 1929 අංක 17 දරණ විෂ වර්ග, අබිං හා අන්තරායදායක ඖෂධ ආඥා පනත සහ 1984 අංක 13 දරන විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධනය) පනත සංශෝධනය කිරීමට නියමිතය.

නීතිපති දෙපාර්තමේන්තුව, ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල දායකත්වය ඇතිව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අනුකමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාද සැලකිල්ලට ගෙන මෙම සංශෝධනය සිදු කිරීමට නියමිතය.

එළැඹෙන 2021 වර්ෂය වන විට මත්ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම හා සැපයුම සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉතා අවම මට්ටමකට ගෙන ඒමේ අරමුණින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම නව සංශෝධන සිදු කරනු ලබයි.

ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන විදේශිකයින්ට රැකියා තහනමක්



ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රියාත්මක ‘‘ෆෝ ෆයිව් සෙවන්‘‘ වීසා ක‍්‍රමය අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ මෙම ක‍්‍රමය වෙනුවට විශේෂිත තාවකාලික වීසා ක‍්‍රමයක් හඳුන්වාදෙන බවයි.

ක‍්‍රියාත්මක වූ ඔස්ටේ‍්‍රලියානු ‘‘ෆෝ ෆයිව් සෙවන්‘‘ වීසා ක‍්‍රමයට අනුව එරටට පැමිණෙන විදේශිකයින්ට රැකියා සඳහා අවස්ථාව හිමිවුණා.

කෙසේ වෙතත් ඕස්ටේ‍්‍රලියානුවන්ට වැඩි වශයෙන් එරට රැකියා ලබා දීම සඳහා කාලය එළඹ ඇති බවයි ඕස්ටේ‍්‍රලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පැවසුවේ.

සේවා පළපුරුද්ද, ඉංග‍්‍රීසි දැනුම සහ ශ‍්‍රම වෙළඳපොළේ තත්ත්වය මත විශේෂිත තාවකාලික වීසා ක‍්‍රමය හරහා එරටට පැමිණෙන වැසියන්ට රැකියා ලබාදීමට කටයුතු කරන බවද ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

මීතොටමුල්ල අවට රෝග බෝවීමේ අවදානමක්



මීතොටමුල්ල කසල කන්ද නායයෑම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව අතර දීර්ඝ කාලීන සහ කෙටිකාලීන රෝග තත්ත්වයන් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ චර්ම රෝග, පාචන රෝග වැනි රෝග තත්ත්වයන් කෙටිකාලීනව හටගත හැකි බවය.

පවතින තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය ලෙප්ටොස් පයිරසීස් හෙවත් මී උණ රෝගී තත්ත්වයන් හා ප්‍රජනක පද්ධති ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයන් ඇති විය හැකි බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර කසල කන්ද නායයැමට ලක්වු ස්ථානයේ සිට කිලෝමීටර් පහක පමණ දුරින් පිහිටි එළවළු පළතුරු හෝ පළා වර්ග වගා කෙරෙන ගොවිබිම්වල ඵලදාව වෙළෙඳපලට එවීමෙන් වළකින ලෙස ද උපුල් රෝහණ මහතා ඉල්ලීමක් කර තිබේ.

වෙසක් සමරන්න මෝඩි දිවයිනට එයි



මේ වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගිවීම. සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දිවයිනට පැමිණීමට තීරණය කර ඇති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

මැයි 12 වන දා සිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සහ ජාත්‍යන්තර බෞද්ධ සමුළුව සඳහා රටවල් රැසකට ආරාධනා කර ඇති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

ඒ සඳහා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකින් බෞද්ධ හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් මහනායක හිමිවරුන්, සංඝරාජ හිමිවරුන්, ජාත්‍යන්තර බෞද්ධ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු නියෝජිතයන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය.

ඉන්දියාව, චීනය, ජපානය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, මියන්මාරය, ලා ඕසය, භූතානය, ටිබෙටය ඇතුළු බුදුදහම පවතින රටවල් රැසක් ඊට ඇතුළත්ය.

ක‍්‍රිස් ගේල්ගෙන් ලෝක වාර්තාවක්



පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක‍්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් ඊයේ වාර්තා පොත් අතරට එක්වුණා.

ඒ, අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 44ක දී ලකුණු 72ක් රැස් කිරීමත් සමඟයි.

මෙම තරගයෙන් ලකුණු 21ක ජයක් හිමිකර ගත්තේ ද ක‍්‍රිස් ගේල් නියෝජනය කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

මේ දක්වා පන්දුවාර 20 ඉණිම් 285කට එක් වූ ක‍්‍රිස් ගේල් රැස් කර ඇති ශතක සංඛ්‍යාව 18ක්.

අර්ධ ශතක 79ක් ද ක‍්‍රිස් ගේල් පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ දී වාර්තා කර තිබෙනවා.

ක‍්‍රිස් ගේල් පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 743ක්.


විශ්වවිද්‍යාල 17 සහ අනුබද්ධ ආයතන 34ක වයිෆයි කලාප



රාජ්‍ය විශ්වවිද්‍යාල 17 සහ අනුබද්ධ ආයතන 34 ක් වයිෆයි කලාප බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් හා ආචාර්යවරුන්ට නොමිලේ වයිෆයි පහසුකම් ලබා දීමත්, මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර මට්ටමට ගෙන යෑමේ අරමුණ ඉටු කර ගැනීම සඳහාත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන අතර මේ වසරේදී රජය මේ සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් වෙන් කර තිබේ.

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හොරණ ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනය කොහුවල පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය පරිශ්‍රයන් පහ පළමු අදියරේදී වයිෆයි කලාප බවට පත් කෙරෙන අතර මැයි මස අවසානයේදී එම කටයුතු නිම කිරීමට නියමිතය.

දෙවැනි අදියර යටතේ රුහුණු විශ්වවිද්‍යාලය. කැළණිය විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලය, නැඟෙනහිර විශ්වවිද්‍යාලය, ත්‍රීකුණාමල මණ්ඩපය, වව්නියා මණ්ඩපය හා කිලිනොච්චිය ඉංජිනේරු පීඨය පරිශ්‍ර තුළ වයිෆයි කලාප ඇති කිරීමට නියමිතය.

එම අදියර අගෝස්තු මස දී ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට නියමිතය.

නිදහස් වයිෆයි කලාප ඇති කිරීමෙන් සිසුන්ට සිය පැවරුම් හා අධ්‍යාපනික කටයුතු පහසුවෙන් කර ගැනීමටත් ආචාර්යවරුන්ට එම පැවරුම් පහසුවෙන් අධීක්ෂණය කිරීමටත් ඉඩ කඩ ලැබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තලයට ගෙන ඒමට නම් මෙවැනි නවීන තාක්ෂණික ක්‍රම විශ්වවිද්‍යාල තුළ සිසුන් හා ආචාර්යවරුන් භාවිතා කළ යුතු බවත් එම අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.