05 July 2017

ස්විස් ගිණුම්වල ලාංකිකයින්ගේ කෝටි 5000 ක්

2016 වසරේ ස්විට්සර්ලන්ත ජාතික බැංකුව විසින් ඉදිරිපත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛන අනුව සුවිස් බැංකු ගිණුම් වල ලාංකිකයින් විසින් තැන්පත් කළ රුපියල් කෝටි 5000 ක් පවතින බව අනාවරණ කර තිඛෙනවා.

ඒ අනුව ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 307ක් පමණ ලාංකිකයින් විසින් එහි තැන්පත් කර ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

බොහෝ විට ස්විස් බැංකුවල තැන්පත් කරන බොහෝ මුදල් කලු සල්ලි ලෙස සැලකෙන අතර ඒවා වංචනික ලෙස උපයාගත් මුදල් ලෙසටද සැලකිය හැකිවනවා.

එහෙත් නීත්‍යානුකූල ලෙස එම ගිණුම් පවත්වාගෙන යන මහ බැංකුවේ ලියාපදිංචි සීමිත පිරිසක්ද සිටින බවයි මීට පෙර අනාවරණ කෙරුණේ.

ඒ අනුව සුවිස් බැංකු ගිණුම් වල ශ්‍රී ලාංකියන් මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකාවට හිමි වන්නේ ලෝකයෙන් 150 වන ස්ථානයයි.

බංගලාදේශය 89වන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව පසුවන්නේ 88 වන තැනයි.

පකිස්ථානය 71 වන තැනත් නේපාලය 150වන ස්ථානයේත් පසුවන අතර භූතානය පසුවන්නේ 282 වන ස්ථානයේයි.

සංවර්ධිත රට වල ස්විස් ෆ්‍රෑන්ක් බිලියන 824ක මුදලක් පමණ එම ගිණුම් වලට බැර වී ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 208ක් පමණ බැර වී ඇති බව එම සංඛ්‍යාලේඛන අනාවරණ කළා.

මේ අතරින් බහුතරය කලු මුදල් ලෙස සැලකෙන අතර ඉන්දියාව පසුගිය වසරේ ක්‍රියාත්මක කළ කලු මුදල් එරෙහි වැඩපිලිවෙල හේතුවෙන් ඉන්දියානුවන්ගේ ස්විස් බැංකු ගිණුම් සැලකිය යුතු පරිදි පහතවැටී තිඛෙනවා.

අපරාධ පුවත් වාර්තා කිරීම අපරාධ රැල්ලට හේතුවක්



එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව බැහැර කරන ක්‍රියාවකි. නමුත් එවැනි අතිශය ම්ලේච්ඡ සාහසික ක්‍රියාවන්ට ජාතික මට්ටමේ අගයක් වටිනාකමක් ලබාදීම එම බිහිසුණු සාපරාධී කාරියට‍ අනුරූප වන තවත් ම්ලේච්ඡ ක්‍රියාවකි.

නමුත් අප සමාජයේ කිනම් තැනක හෝ එවැනි කුරිරු ම්ලේච්ඡ සිදුවීමක් වූ සැනින් මෙරට ජාතික යැයි කියාගන්නා පුවත්පත් මගින් එම කුරිරු ම්ලේච්ඡ අපරාධය ප්‍රධාන සිරස්තලය වශයෙන් හුවාදැක්වීම තවමත් නිරතුරුවම සිදුවන්නකි. ඕනෑම සමාජයකින් දුරින් දුරුකළ යුතු මෙබඳු කුරිරු ම්ලේච්ඡ ක්‍රියාවන් සඳහා කිනම් හෝ අයුරකින් ජාතික මට්ටමේ අගැයුමක් වැදගත්කමක් ලබාදීම සහ ජනසමාජය ඊට අනුගත වීම එම ජනසමාජයේ පවත්නා ආකල්පමය ම්ලේච්ඡ බව මැනවින් ප්‍රදර්ශනය කරන්නකි.

අපරාධ, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, දේපල ගිනිබීම්, මංකොල්ල කෑම් ඇතුළු සාපරාධී ක්‍රියාවන් සහ දිවිනසා ගැනීම් වාර්තාකරනයේ දී ඒ සම්බන්ධ විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කිරීම ‍ලොව පුරා බොහෝ ජනමාධ්‍යයන් හි දක්නට ලැබෙන දෙයකි.

අප රටේ වුව ඉංග්‍රීසි පුවත්පත් වලින් ද ඒ පිළිබඳ විනයක්, සංවරයක් සහ සංයමයක් ප්‍රකට කෙරේ. එහෙත් ඒ සම්බන්ධයෙන් අපරටේ සිංහල ජනමාධ්‍ය අදත් පසුවනුයේ අතිශයින් නොදුයුණු තත්ත්වයකය.

සමාජයෙන් දුරින්දුරු කළයුතු එබඳු සිදුවීම් සහ ක්‍රයාදාමයන් සම්බන්ධයෙන් සමාජය දැනුවත් විය යුත්තේ මන්ද? ඒ කුමනාකාරයෙන් ද යන්න පිළිබඳව ලෝකයේ දියුණු රටවල පොදු මාධ්‍ය කථිකාවක් ඇති වී තිබේ. අපට ආසන්නතම රට වන ඉන්දියාවේ ද මෙම කථිකාව ප්‍රබල ලෙසින් ක්‍රියාත්මක වන බව පෙනේ. කිසියම් සිද්ධියක ඇති බිහිසුණු බව අනුව එය එලෙසින්ම ජනතාව හමුවේ ප්‍රචාරය කිරීම පිළිබඳව කිහිපවරක් සිතා බැලීම ලොව සම්භාවිත මාධ්‍ය කලාවේ; පුවත් ප්‍රචාරණයේ වැදගත්ම අංගයක් වී තිබේ. ඒ අනුව එවන් සිද්ධියක් වාර්තා කරනුයේ පළමුකොට එයින් ජනතාවට අත්කරගත හැකි සාධනීය ප්‍රතිඵල පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුවය. නමුත් විද්‍යා තාක්ෂණික අතින් මෙතරම් දියුණු තත්ත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ පවත්නා මෙම අවිචාරශීලී බව පිළිබඳව මේ දක්වා ප්‍රබල සමාජ කතිකාවක් හටගෙන නැත.

කිසියම් මානසික රෝගියෙකු ; කාමෝන්මාදයකින් පෙළෙන කිසියම් පුද්ගලයෙකු විසින් එකම පවුලේ කාන්තාවන් කිහිපදෙනෙකු දූෂණය කළ හොත් ඒ කාන්තවශයෙන්ම එය අපරටේ ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්තලය බවට පත්වනු ඇත. එය අපගේ සිංහල මාධ්‍ය කරුවන් සිතන අන්දමට එය ජාතික වශයෙන් වැදගත් පුවතක් නිසා විය හැක. එසේ නැතිනම් එය හුදෙක් අප ජනසමාජයේ ලිංගිකත්වය, ප්‍රචන්ඩත්වය සහ භීතිය යන මූලික ආවේග කුළුගැන්වීම තුළින් එම ප්‍රවෘත්තියට වෙළඳ වටිනාකමක් ලබා දීමට ඇති හැකියාව ඒ මාධ්‍යකරුවා දන්නා නිසා වැය හැකිය.

එහෙත් එබඳු අපරාධ දිවිනසාගැනීම් පිළිබඳව ප්‍රවෘත්තීන් නිතර දෙවේලේ අසන සමාජය තුළ ඒ පිළිබඳව ඇති පිළිකුල, ජුගුප්සාව සහ විරෝධය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම වැලැක්විය නොහැක.

මුලදී එබඳු සිදුවීම් කෙරෙහි අතිශයින් සංවේදී වන ජනසමාජය පසුව එවන් සාපරාධී පුවත් කෙරෙහි විසංවේදී කරනය (Desensitization) නම් තත්ත්වයට පත්වීම සාමාන්‍ය දෙයකි. පියා විසින් තම දියණිය කෙලෙසූ පුවත් අතීත ජනසමාජයට එක්තරා අරුමයක් විය. එබැවින් ඒවා වරින් වර ජනමාධ්‍ය වලින් ද ප්‍රචාරය කෙ‍රිණ. නමුත් එබඳු පුවත් සඳහා පුවත් පතකින් වුව සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් හිමිනොවනුයේ එවන් පුවත්වල හිඟතාවය නිසා නොවන බවත් එබඳු ප්‍රවෘත්තීන් සුලබ වීම මත පියා දියණිය කෙළෙසීම සාමාන්‍ය දෙයක් ලෙස පොදු ජනතාව තුළ ආකල්ප ගොඩනැගී ඇති නිසා බවත් මගේ ‍හිතවත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් මා හා කීය.

ජනසමාජයක් වශයෙන් මෙය කෙතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අපම සිතා බැලිය යුතුය.

පසුගිය තිස්වසරක යුද සමයේ බිහිසුණු ප්‍රචණ්ඩ කාරී පුවත් මුළු මහත් සමාජය පුරා දෝරේ ගලන්නට විය. නමුත් යුද්ධය හමාරවීමත් සමඟ එවන් පුවත් හිඟයක් මතු වුවද එනිසාම එවන් පුවත් කෙරෙහි ඇති ජන අවධානය අඩුවූයේ නැත.

මේ තත්ත්වය මත කුමනාකාරයේ හෝ බිහිසුණු ප්‍රචණ්ඩ කාරී පුවතක් දුටු සැණින් එය පුවත්පත් සිරස්තලයෙහිම තබා එයට වෙළඳ වටිනාකමක් ලබාදීමට අපේ රටේ බොහෝ මාධ්‍යවේදීහූ කටයුතු කරති. එහෙත් ඒ තුළින් ඇතිවන බිහිසුණු, ම්ලේච්ඡ අපරාධ කෙරෙහි ඇති සංවේදීතාවය පොදු ජනමාජයෙන් ඉවත් වී රට පුරා අපරාධ සහ දිවිනසා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති වීමට පවතින හැකියාව පිළිබඳ ඔවුන් සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ. ඒ අනුව මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ අපරාධ පිළිබඳ පුවත් කවර මාධ්‍යයකින් හෝ ජනතාව හමුවට ගෙන එන්නේ නම් එමගින් තම මාධ්‍යය ඊනියා ජනප්‍රිත්වයකට පත් කිරීමට වඩා ඉන් ජනසමාජයට ඇතිවිය හැකි සාධනීය බලපෑම පිළිබඳව මාධ්‍යකරුවන් සිතා බැලිය යුතුය. ඔවුන් එසේ ක්‍රියා නොකළහොත් රටෙහි පැතිරයන එම බිහිසුණු අපරාධ සහ දිවිනසා ගැනීම් රැල්ල සම්බන්ධයෙන් එම මාධ්‍යකරුවන් ද ‘සම වගඋත්තර කරුවන්’ ලෙස සමාජය විසින් හඳුනාගන්නා දිනය වැඩි ඈතක වීමට බැරි නැත.

මහාචාර්ය දයා අමරසේකර – සමාජවිද්‍යා අධ්‍යයන අංශය පේරාදෙනිය විශ්වවිද්‍යාලය


කොන්දේසිවලට කටාරය බෑ කියයි

නිර්මාණය වුණු අර්බුදය අවසන් කිරීමට, සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් කටාර් රාජ්‍යයට ලබා දුන් කාල සීමාව හෙට (6) අවසන් වීමට නියමිත අතර, කටාරය දිගින් දිගටම පවසා ඇත්තේ, සෞදිය ප්‍රමුඛ රටවල් පැනැවූ කොන්දේසි පිළිගැනීමට සූදානම් නොමැති බවය.

තමන් ඉදිරිපත් කර ඇති කොන්දේසි 13 ට කැමැත්ත පළ නොකරන්නේ නම්, තව තවත් සම්බාධක පනවා, කටාරය හුදෙකලා කිරීමට පියවර ගන්නවා යැයි සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීරය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යයට දැනුම් දී ඇත.

තමන් කටාරයට මෙසේ කොන්දේසි පැනැවූයේ, කටාරය සමඟ පවතින අර්බුදය අවසන් කිරීමේ අරමුණින් යැයි සෞදිය, බහරේනය සහ එක්සත් අරාබි එමීරය පවසා ඇත.

කටාර් අර්බුදයේ දී මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ කුවේට් රාජ්‍යයයි. තමන් සෞදිය ප්‍රමුඛ රටවල කොන්දේසිවලට හිස නොනමන බව කටාර් රාජ්‍යය කුවේටයට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. කටාරය දිගින් දිගටම පවසා ඇත්තේ සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් ඉදිරිපත් කළ එම කොන්දේසි ‘යථාර්ථවාදී’ නොවන බවය.

(රොයිටර්)

බ්‍රිතාන්‍ය තුළ ඉස්ලාම් ජිහාඩය වපුරන්නේ සෞදිය බව කියයි

 මහා  බ්‍රිතාන්‍ය  තුළ ඉස්ලාමීය  මූලධර්මවාදය  වැපිරීම සඳහා ප්‍රමුඛ අනුග්‍රහයක් දක්වන්නේ සෞදි අරාබිය බව බ්‍රිතාන්‍යයේදී එළිදැක්වූ නවතම වාර්තාවක් දක්වයි.

ලන්ඩනයේ ක්‍රියාත්මක බුද්ධි මණ්ඩලයක් වන 'ද හෙන්රි ජැක්සන් සොසයටි' විසින් සිදුකරන මෙම අනාවරණයට අනුව බ්‍රිතාන්‍යයේ වර්ධනය වන ඉස්ලාමීය මූලධර්මවාදී ආයතන සඳහා අරමුදල් සැපයීම, වෛරය වපුරන ආගමික පූජකයන් සහ ප්‍රචණ්ඩත්වය වපුරන ජිහාඩ් කණ්ඩායම් සමග සෞදි අරාබියට ඉතා පැහැදිලි හා වර්ධනීය සම්බන්ධයක් පවතින බව බී.බී.සී.ය වාර්තා කරයි.

ඒ අනුව, ඔවුන් යෝජනා කර සිටින්නේ සෞදි අරාබිය හා සෙසු ගල්ෆ් රාජ්‍යයන් පිළිබඳ වහාම පොදු විමර්ශනයක් කළ යුතු බවයි.

මේ අතර, බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන් බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගෙන පවතින ඉස්ලාමීය මූලධර්මවාදී කණ්ඩායම් පිළිබඳ වාර්තාව එළිදැක්වීම සම්බන්ධයෙන් යම් බලපෑමකට යටත්ව සිටින බවද එම වාර්තාවේ දැක්වේ.

ස්වදේශ කටයුතු කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම ජිහාඩ් සංවිධාවල බලපෑම හා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය දක්වන වාර්තාවකට වර්ෂ 2015 දී හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ අධිකාරීත්වය හිමිව තිබුණද, එම වාර්තාව අවසන් නොකිරීමත්, එය මෙතෙක් එළිදැක්වීමට අපොහොසත් වීමත් ප්‍රශ්නකාරී බවද සඳහන් වෙයි.

විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍ය මේ වනවිට සෞදිය ඇතුළු ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් සමග සමීප රාජතාන්ත්‍රික සබඳතා පැවැත්වීම හේතුවෙන් මෙම වාර්තාව හිතාමතා යටගසමින් සිටින බවට චෝදනා නැගෙයි.

තාජුඩීන් මැරුවේ කෘෘර ලෙසයි – රාජිත

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළේ කවුද? එය කළේ  කොතරම් කෘෘර ආකාරයෙන්ද යන්න. තමන් දන්නා බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම තාජුඩීන් ඝාතනය කිරීමට අදාළව දුරකතන සංවාද පිළිබඳව තොරතුරුද හෙළිව ඇති බව ඔහු සඳහන් කළේය.

එසේම ආණ්ඩුව තුළ සිටින හොරුන් ආරක්ෂා කරන පුද්ගලයින් ඉදිරියේදී සමාජගත වෙනු ඇති බවත් ඔහු පැවැසීය.

කිසිම රජයක් වත්කම් උපයන ආර්ථීක ප්‍රතිපත්තියක් සකස් කළේ නෑ

පැවති කිසිඳු රජයක් මෙරට තුළ වත්කම් උපයන ආර්ථීක ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු නොකළ බව. ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවටද ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති අතර ඔවුන් ජනතාවගේ සහන කප්පාදු කරමින් සිටින බවය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ කර්මාන්ත දෙපාර්තමේන්තුව මෙරට ආර්ථිකය ගොඩනැංවීමට කිසිඳ පියවරක් ගෙන නොමැති බවය.

ඩෙංගු නිසා කොට කලිසම් දික්වෙයි ?

දිවයිනේ වැඩි වශයෙන් ඩෙංගු වැළඳී ඇති පාසල් ළමුන් අතරින් බහුතරය ශිෂ්‍යාවන් හා කොට කලිසම් අඳින. ශිෂ්‍යයන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රටේ ඩෙංගු උවඳුර බහුලව පවතින ප්‍රදේශයන්හි තාවකාලික විසඳුමක් ලෙස විධිමත් පාසල් නිලඇඳුමක් එම සිසුන්ට නිම කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව අදාළ ප්‍රදේශවල කොට කලිසම් අඳින පිරිමි දරුවන් සඳහා දික් කලිසම් හා ගැහැණු දරුවන් සඳහා විධිමත් ඇඳුමක් යොජනා කර ඇති බවත් ඒ සඳහා අදාළ චක්‍ර ලේඛනය ඉදිරියේදී පාසල් වෙත යොමු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාසල් ජල හා සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ වැඩසටහන සඳහා මුදල් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ වන විට දිවයිනේ පාසල් 10163 ක් ඇති බවත් ඒ සෑම පාසලකම සනීපාරක්ෂක ගැටළු පවතින අතර රජය මේ වන විට බිලියන 8කට වැඩි මුදලක් පාසල් සනීපාරක්ෂක වැඩසටහන් වෙනුවෙන් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඒ අනුව පාසල් 1633ක් සඳහා රුපියල් මිලියන 1869 ක මුදලක් ඊයේ(04) දිනයේත් අද(05) දිනයේත් බෙදා දීමට නියමිත බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ලොම් මැමතකුට පණදෙන්න බිලියනපතියෙක් පෙරට

බිලියනපතියකු මෙන්ම papyal සමාගමේ නිර්මාතෘ පීටර් තීල් විසින් යෝධ ලොම් සහිත මැමතකුට පණදීමේ ව්‍යාපෘතියට මුදල් යෙදවීමට බලාපොරොත්තු වේ.

ග්ලැසියර් ආශ‍්‍රිතව සොයාගත් මැමත් සිරුරුවලින් වෙන්කරගත් DNA වලින් හයිබි‍්‍රඞ් ඇතෙකු නිර්මාණය කෙරන ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් 100,000 ක මුදලක් පීටර් විසින් ලබාදී දැනටමත් තිබේ.

මීට වසර 45,000 ත් 120,000 ත් අතර කාලයකට පෙර පෘථිවියේ ජීවත්වූ මැමත් දැවැන්තයන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වී හෝ දේශගුණික විපර්යාස හේතුවෙන් වඳවී යන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

ආසියානු ඇතින්නකගේ ඞී.එන්.ඒ. හා දැනට සොයාගෙන තිබෙන මැමත් ඞී.එන්.ඒ. කෘත‍්‍රිම ගර්භාෂයක සංසේචනය කර හයිබි‍්‍රඞ් ඇතෙකු මෙලොවට බිහිකිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.


පොලිතින් සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජයේ අවධානය

ලන්ච්ෂීට්, ටොෆි කොළ හාපොලිතින් රටතුළ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබෙනවා.

කැළි කසළ විධිමත්ව බැහැර කිරීමේදී මෙම ද්‍රව්‍ය හරහා විශාල බලපෑමක් එල්ලවී තිබෙන හෙයින් සහ ජලය ගලා යන ස්ථානවලට බාධා එල්ලවීම වැනි කරුණු හේතුවෙන් මෙම තීරණය ගැනීමටයි රජය තීරණය කර ඇත්තේ.

මෙම ද්‍රව්‍ය තහනම් කළ පසු ඒ සඳහා විකල්ප ද්‍රව්‍ය හඳුන්වාදීමටත්, අදාළ ද්‍රව්‍ය සුළු කාලයක් තුළ දිරාපත්වන ආකාරයට සකස් කිරීමටත් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 03 වැනිදා රාත්‍රියේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත් මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

දැනට භාවිත වන පොලිතින් ලන්ච්ෂීට් සහ ටොෆි කොළ දිරාපත් වීමට කාලයක් ගතවීම නිසා කැළි කසළ කඳු ඇතිවීමට හේතුවී ඇති බවද වාර්තා වනවා.

පලතුරු අතර හොඳම පලතුර

පලතුරු අතර හොඳම පලතුරක් ලෙස කිවි පලතුර හැඳින්වේ.

මන්ද මිනිස් සිරුරේ DNA රැක දෙන එකම පලතර මෙයයි.  සාමාන්‍ය දොඩම් ගෙඩියක තිබෙන විටමින් c ප්‍රමාණයට වඩා වැඩි විටමින් ප්‍රතිශතයක් අඩංගු පලතුරකි.

ඉතාම තද කොළ වර්ණයක් ඇති කිවි පලතුර ඇතුළේ ඇති සියුම් කුඩා කලු ඇටය නිසා ඕනෑම වර්ගයේ සලාදයක් වුව වර්ණවත් කිරීමට සමත් වේ.

අවුන්ස 04ක් බරැති අඟල් 03ත් දිගැති මෙම පලතුර ක්‍රීම් රසය, ස්ට්‍රෝබෙරි, අඹ, කෙසෙල් රසය ඇති පලතුරු කිහිපයක රස මිශ්‍රණයක් පවතී. ලංකාවේ නොවැවුණද වෙළෙඳපොලේදී දක්නට හැකිය.



පවතින පෝෂණ ගුණය

විටමින්  c   - 120%

කෙඳි          -  8%

පොටෑසියම් - 6.4 %

කැලරි         -  2 %

'කිවි' ගුණ-

ඔක්සිජන් අඩු වැඩි වීම් ආශ්‍රිතව සිදු වන මිනිස් සෛලවල අනතුරු වලක්වා ලීමට කිවි උපකාර වේ.

DNA සෛල ආරක්ෂා කිරීමේ ගුණය

මේ පිළිබඳව වෛද්‍යවරුන් කළ පරීක්ෂණයකින් හෙළි වූයේ පලතුරෙහි අඩංගු ෆ්ලෙවනොයිඩ්, බෙටා කැරටින්, විටමින් c සහ කාටිනෝයිඩ්ස් නිසා DNA ඉතා හොඳින් ආරක්ෂා වේ.

එසේම එදිනෙදා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන පලතුරකි.

'කිවි ' ගුණ දෙන ලෙඩ රෝග

හුස්ම ගැනීමේ අපහසුවට, රාත්‍රියේදී ඇති වන කැස්ස ගතියට, විසහරණය කිරීමේ ගුණය වැඩි නිසා විටමින් c ප්‍රමාණයද වැඩියි. ශරීරයේ හිතකර ශෛල වනසන ඉදිමුව සහ දැවිල්ලට, පිළිකා වැනි භයානක රෝග හට ගැනීම ඇති කරවන ශෛල නිෂ්පාදනය දුරු කිරීමට හොඳයි.

ඔස්ටියෝ ආතරයිටිස්, රුමටොයිඩ් ආතරයිටිස්, ඇදුම, මහ බඩ වැල ආශ්‍රිතව හටගන්නා පිළිකා, ආතෘස්කොලරෝයිස්, වෙරිකෝස්, දියවැඩියාව, රුධිර පීඩනය, හෘදය අමාරු, හෘදය වස්තුවේ බිඳවැටීම්, වකුගඩු ආශ්‍රිත රෝග, අක්මාවේ පිරිසුදු කිරීම් සඳහා මෙන්ම  ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීමට කිවි පලතුර කුඩා, වැඩිහිටි,ගර්භණී සැමටම ඉතා සුදුසුයි. කෙඳිවල ඇති ගුණය නිසා රුධිර පීඩනය පාලනය කිරීමටත්, කොලෙස්ට්‍රෝල් අඩු කිරීමටත් කිවි කදිමය.

තවද මාංශ පේශීවල අලුත් එකතු කිරීම් සඳහාවන වර්ධනයටත් මෙය ගුණදායී වේ. හෘදය වස්තුව ආශ්‍රිතව ඇති වන අපහසුතාවලදී නොයෙක් වර්ගයේ බෙහෙත් බොන අය සඳහා සුදුසුය.

පලතුරක් වුවද සලාදයක්, පිපාසය නිවාලන බීමක්, රස අතුරුපසක්, සලාද කාරකයක් වශයෙන්ද කල් තබා ගත හැකියි.

- ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

- සටහන - මාධවී ධර්මරත්න

ධර්මසිරිට ලොකු වගකීමක්

කලා කීර්ති ධර්මසිරි බණ්ඩාරනායක මහතා ජනාධිපති කාර්යාලයේ සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඊයේ (04) පත් කර තිබෙනවා.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම තිර රචකයකුද වන බණ්ඩාරනායක මහතා හංසවිලක්, සුද්දිලාගේ කතාව, තුන්වැනියාමය, බව දුක, බව කර්ම ඇතුළු චිත්‍රපට රැසක් මෙන්ම ඒකාධිපති, මකරාක්ෂ, ධවල භීෂණ, ට්‍රෝජන් කාන්තාවෝ යන නාට්‍ය රැසක්ද අධ්‍යක්ෂණය කර ඇති අතර සම්මාන රැසකින්ද පිදුම් ලැබුවෙකි.

දඹුල්ලේ පිංකැට කඩා ආදායම් ගන්න රජයට ඕනෑ නෑ : ඇමැති අකිල විරාඡ්

දඹුලු රජමහා විහාරස්‌ථානයේ පිංකැට කඩා ආදායම ලබාගැනීමට රජයට අවශ්‍ය නොවන බවත්. එහි පැමිණෙන විදෙස්‌ සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කර ලැබෙන ආදායමෙන් පුරාවිද්‍යාත්මක ස්‌ථාන ගොඩනැංවීම රජයේ අරමුණ බවත් අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවසීය.

1996 න් පසුව පුරාවිද්‍යා නිලධාරීන්ට දඹුලු රජමහා විහාරස්‌ථානයට ඇතුළුවීමට ඉඩ ලැබී නොමැති බව ද ඒ නිසා මේ වන විට සියලු පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති බිතුසිතුවම් හා පිළිම විනාශයට ලක්‌වෙමින් පවතින බව ද ඊයේ (04 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කීය.

මෙම විහාරස්‌ථානයේ තනිකරම ඇත්තේ මාෆියාවක්‌ යෑයි ද සමහර රාජ්‍ය නිලධාරීන් ද මීට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි ද පැවසූ ඇමැතිවරයා විහාරස්‌ථානයේ දිනක ආදායම රුපියල් ලක්‍ෂ 20 ඉක්‌මවන බව ද සමහර දිනවල රුපියල් කෝටිය ඉක්‌මවන බව ද කියා සිsටියේය. මාසික ආදායම කෝටි 20 ඉක්‌මවන අවස්‌ථා ඇති බවට තමන් කළ සොයාබැලීමකදී අනාවරණය වූ බව ද හෙතෙම සඳහන් කළේය.

දඹුලු රජමහා විහාරයේ 2000 වසරේ වාර්ෂික ආදායම රුපියල් 29,19,900 ක්‌ බවට ද 2015 වර්ෂයේ ආදායම 2,97,100 ක්‌ බවට ද සඳහන් වුවත් එදා විදෙස්‌ සංචාරකයන්ගෙන් අය කළේ ඩොලර් 2 ක්‌ පමණක්‌ බවත් අද රුපියල් 1500 ක්‌ එක්‌ විදේශිකයකුගෙන් අය කළත් ආදායම වැඩි වී නැතැයි ද කියා සිටියේය.

ලෝක උරුම ලෙස නම් වූ විහාරස්‌ථාන ඇතුළු පුරාවිද්‍යා ස්‌ථාන හා තවත් ප්‍රධාන විහාරස්‌ථාන කිහිපයකින් පමණක්‌ පුරාවිද්‍යා ගැසට්‌ නිවේදනයට අනුව විදෙස්‌ සංචාරකයන්ගෙන් ටිකට්‌පත් අලෙවි කර ආදායම් ලැබීමට රජයට හැකි බව ද ඇමැතිවරයා කීය.

ඡන්දෙට පෙර පළාත් පාලන ආයතන ස්ථාපනය කල යුතුයි

පළාත් පාලන ඡන්දයට පෙර පළාත් පාලන ආයතන ස්ථාපනය කළ යුතු යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසල් මුස්තාෆා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර මෙම පළාත් පාලන ආයතනවල ධූර කාලය සළකා බැලිය යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

තාක්ෂණික සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙන බවත් පනත් කෙටුම්පත සම්මත කළ හොත් ඡන්දයක් පැවැත්විය හැකි වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

තුන් රියේ උපරිම වේගය පැය පැයට කිලෝ මීටර 40ක් වෙයි

ඉදිරියේදී ත්‍රී රෝද රථ සඳහා උපරිම වේගය පැයට කිලෝ මීටර 40ක් වනු ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.

එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය විෂයභාර අමාත්‍යවරයා විසින් එළඹෙන සතිය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවය.