18 May 2017

ගිලන්රථ සේවයට හෙලිකොප්ටර් යානා 24ක්



දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් ගොඩබිමෙන් සහ ගුවනින් නොමිලේ ක්‍රියාත්මක කිරීම සඳහා. අවශ්‍ය ආයෝජන සිදුකිරිමට ජර්මනියේ බෙන්ස් සමාගම සහ එයාර් බස් සමාගම එකඟත්වය පළකල බව ‍ජර්මනියේ සංචාරයක නිරත සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ පිළිබඳව එම සමාගම් සහ එරට රජයේ ආර්ථික කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බැංකු නියෝජිතයන් මෙන්ම ජර්මන් රජයේ නිලධාරීන් සමග පෙරේදා (16දා) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ සඳහා එකඟත්වය හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව ස්වාභාවික විපත් සහ හදිසි ආපදා තත්ත්වයකදී රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා ජර්මනියේ එයාර් බස් සමාගම හෙලිකොප්ටර් යානා 24 ක ආයෝජනයක් සිදුකිරීමට මෙහිදී පොරොන්දු විය.

දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාව සඳහාද ගිලන් රථ 1050 ක් සහ හදිසි ආපදා රථ 240 ක් ලබාදීමට ඛෙන්ස් සමාගම මෙහිදී පොරොන්දු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම ගිලන් රථ සේවාව සඳහා අවශ්‍ය මානව සම්පත ශ්‍රී ලාංකිකයින්ගෙන් ලබාගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය පුහුණුව ජර්මනියේ දී ලබාදීමටත් බෙන්ස් සමාගම එකඟත්වය පළ කර තිබේ.

විකුණන බව දැන මන්ත්‍රීලාට පර්මිට් දෙන්නේ කප්පමක් හැටියටයි



උද්ඝෝෂණ නිසා ජනතාව පීඩාවට පත්වෙනවා නම් ආණ්ඩුව කළ යුත්තේ උද්ඝෝෂණ ඇතිවීම වැළැක්වීම බවත්, ඒවා. වැළැක්විය යුත්තේ ඕනෑ පහර දී නොව නොව ප‍්‍රශ්න විසඳීමෙන් බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මේ ආණ්ඩුව විසින්ම උද්ඝෝෂණ කැඳවා ගන්නා බවත්, කැඳවා ගන්න ආණ්ඩුවම උද්ඝෝෂකයින්ට වැරැද්ද පැටවීමට උත්සාහ කරන බවත් හෙතෙම කියා සිටියේ අද (18) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

ඊයේ වාහන තදබදය ඇතිවුණේ උද්ඝෝෂණය නිසා නොව උද්ඝෝෂකයින්ට පොලීසිය පන්න පන්නා පහර දීපු නිසයි. පොලීසිය සිසුන්ට එරෙහිව යුද ප‍්‍රකාශ කළ නිසයි. පොලීසිය කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර එල්ල කරපු නිසයි ශිෂ්‍යයින් පාරවල් දිගේ දිව්වේ. පාරේ ගමන් ගත් ජනතාවටත් කඳුළු ගෑස් වැදුණේ. ජනතාව පීඩාවට පත්වුණේ උද්ඝෝෂකයින්ගෙන් නොවේ. ආණ්ඩුවේ පොලීසියෙන්.

ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වෙඩි තියලා උද්ඝෝෂණ මර්දනය කරන්න පුළුවන්කමක් නැහැ කියලා. වෙඩි උණ්ඩයෙන් ජනතාව මර්දනය කරන්න හදපු බොහෝ අය ගෙදර ගියා. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලෙත් උද්ඝෝෂණවලට වෙඩි තියලා රතු පස්වලදී තුන් දෙනෙක් මැරුවා. ධීවරයෙක් ඝාතනය කළා. දැන් මහින්ද ගෙදර ගියාට වෙඩි තියපු පුද්ගලයින් බන්ධනාගාරගත වෙලා.

මේ උද්ඝෝෂණ ආණ්ඩුව පෙරළන්න ආපු ඒවා නෙවෙයි. ආණ්ඩුව කියනවා නම් ආණ්ඩුව පෙරළන්න ආවා කියලා ශිෂ්‍යයින්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කරලා ආණ්ඩුව පෙරළීම වළක්වා ගන්න පුළුවන්. මේ සියලූ දෙනා ඉල්ලන්නේ ජනාධිපතිකමවත්, අගමැතිකමවත් ඇමතිකම්වත් වාහනවත් නෙවෙයි. නීති විරෝධී සයිටම් අහෝසි කරන ලෙසයි. සයිටම් වහල දැම්මා නම් ප‍්‍රශ්නය විසඳෙනවා.

ආණ්ඩුවේ ආයතනයකුත් නොවන සයිටම් වහන්න ආණ්ඩුව මේ තරම් මැළි වෙන්නේ ඇයි? සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් කරන උද්ඝෝෂණ ආණ්ඩුව පෙරළීමේ බිල්ලා පෙන්වලා මර්දනය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
ආණ්ඩුව දීලා තියෙන්නේ ඉල්ලපු දේවල් නෙවෙයි. රෝහල පවරා ගන්න කටයුතු කළාට ඒක ශිෂ්‍යයන්ගේ ඉල්ලීම්වල තිබ්බ එකක් නෙවෙයි. ඒ වගේම සයිටම් ආයතනය තනි අයිතිය වෙනුවට කොටස් වෙළඳපොළට දාන එකත් සිසුන් ඉල්ලපු එකක් නෙවෙයි.

ශිෂ්‍යයින් ඉල්ලන දෙයට අදාළ දේවල් නෙවෙයි ආණ්ඩුව කරන්නේ. රෝහල සමඟ ප‍්‍රශ්නයක් නැහැ. රෝහල පවරා ගත්තහම සයිටම් මුදලාලිට ඒක වාසියක්. ආණඩුවේ සල්ලිිවලින් රෝහල පවත්වාගෙන ගිහින් එයාට ඕන වැඬේ කරගන්න පුළුවන්. සයිටම් ආයතනය කොටස් වෙළඳපොළට දැම්මාම සයිටම් මුදලාලි තමන්ගේ මුදලින් මෙම ආයතනය පවත්වාගෙන යනවා වෙනුවට ජනතාවගේ මුදල්වලට එම ආයතනය පවත්වාගෙන යන්න පුළුවන්. දැන් සිසුන් බඳවා ගැනීම නතර කර තිබෙන්නේ ලැජ්ජාවෙන් බේරෙන්න. මොකද, මේ ආයතනයට එල්ල වූ විරෝධය නිසා සිසුන් බඳවා ගැනීම අඩු වෙලා තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් විකිණීම ජනතාව ගෙවන පවක්. ජනතාව ඡන්දය දීලා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එවන්නේ රට හදන්නයි. පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු මුලින්ම කරන්නේ තමන්ට ලැබෙන පර්මිට් එක ලක්‍ෂ 250-300කට විකුණා ගන්න එකයි. එයින් සිදුවෙන්නේ ආණ්ඩුවට ලැබිය යුතු බදු මුදලක් අනියම් ආකාරයෙන් මන්ත්‍රීවරු අතට ගැනීමයි. එය වංචාකාරී වැඩක්.

ජවිපෙ මන්ත්‍රීවරු ඇරෙන්න අනෙක් සියලූ පක්‍ෂවල මන්ත්‍රීවරුන් වාහන පර්මිට් විකුණනවා. ඒ බව දැන දැනත් ආණ්ඩුව පර්මිට් දෙන්නේ කප්පමක් විදිහටයි. මන්ත්‍රීවරුන්ට දේශපාලනයට ආපුවාම ආර්ථික අමාරුකම් අපහසුතා තියෙනවා නම් ගෙදරට වෙලා හිටියා නම් හරි. සමහරු කියනවා කශේරුකාව ගෙවෙන නිසා හොඳ වාහන ඕන කියලා. ඇත්තටම ඔවුන්ට කශේරුකාවක් නැහැ. මේ අයගේ කශේරුකාව ගෙවෙනවා නම් බස් එකේ ගමන් කරන ජනතාවගේ කශේරුකාවට මොකද වෙන්නේ?

මේ අය දේශපාලනයට එන්නේම සල්ලි හම්බ කරන්නයි. මන්ත්‍රී වැටුපෙන්, දීමනාවලින් හම්බ කරනවා. සමහරු කොමිස් ගහනවා. ඇමති වුණාම කොන්ත‍්‍රාත්වලින් හම්බ කරනවා. එනිසා ඔවුන්ට පාර්ලිමේන්තුව කියන්නේ ආදායම් උපයන ඉල්ලමක්. ඒ නිසා ජනතාවයි තේරුම් ගත යුත්තේ මොවුන් ජනතා මුදල් කාබාසිනියා කරන බව.

මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කාරක සභික, පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල සහෝදරයාද සහභාගි විය.

දින 4 න් මිලියන 31ක් නරඹා ලොවක් මවිත කල සුපිරි ගායිකා කේටි පෙරීගේ සරාගී වීඩියෝව | VIDEO



ඇමරිකානු සුපිරි ගායිකා කේටි පෙරී පසුගිය දා වෙනස්ම අත්දැකීමකට මුහුණ දුන්නා. ඇය නිරුවතින් සිටිය දී පැමිණෙන කෝකියන් කිහිප දෙනෙක් ඇයව පිටි ගොඩක් මත දමා සජීවී ආහාර බන්දේසියක් ලෙසින් සකසනු ලබනවා.

මේ සියල්ල සිදු කෙරුනේ ඇගේ නවතම මියුසික් වීඩියෝව වෙනුවෙන්. “බොන් ඇපෙටි” ලෙසයි එය නම් කර තිබෙන්නේ. මෙම ප්‍රංශ වදනේ අරුත වනුයේ “ආහාරවලින් සතුටු කිරීම” යන්නයි. කේටිගේ මෙම වීඩියෝව දින 4 තුළ මිලියන 31ක පිරිසක් නරඹා තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරබන්න..


බුදු සසුන රඟ මඬලක් කරගත් නළුවන්ගේ නරි නාටක



බුදුන් සමච්චලයට ලක් කිරීම

“භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්‍ෂිත වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේට පීත ප‍්‍රාසාදයේ සුවඳ කුටියෙන් දම්සභා මණ්ඩපයේ මිණිපළඟට බැස වඩින්නට ආරාධනා කරමි”.

දොහොත් මුදුන් දී වැඳගත් පැවිදි වෙස් ගත්තෝ ඉහත දැක්වූ ආරාධනයෙන් ද නොනැවතී නව අරහාදී බුද්ධගූණ වන්දනාව ද කරති. එවිට සමන්තභද්‍ර නමින් පෙනී සිටින්නා අත්මුදුන් දී සිටිනා සැදැහැවතියන්ගේ සාධුකාර මධ්‍යයේ දම්සභාවේ මිණිපළඟ දෙසට පිය නගයි. මිණිපළෙඟහි වැඩ හිඳිනා සමන්තභද්‍රයන්ගේ ධර්ම දේශනය ඇරඹෙන්නේ අතවැසි පැචිද්දන් හා සැදැහැවතියන් ලවා භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්‍ෂිත වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා යනුවෙන් කර ගන්නා නමස්කාරයෙන් පසුවය.

මේ ඔබ දකින්නේ බුදුරදුන් සැවැත් නුවර ජේතවනාරාමයේ ගඳකිළියෙහි වැඩසිට දම්සභා මණ්ඩපයට වැඩමවන දසුනක් නොවේ. ඒ වනාහි සැරියුත් මුගලන් ඇතුළත් මහ රහතුන්ගෙන් පැවත එන වසර දෙදහස් පන්සියය ද ඉක්ම වූ සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි පළමු වරට බුදුන් හා සම තත්වයෙහි සිටින්නට උත්සාහ දරන ලාංකික පැවිදි වෙස් ගත්තකුගේ රඟ පෑමකි.

බුදුන් වහන්සේ දෙවුරම්හි වැඩචිසූ යහන් ගැබ සුවඳ කූටි (ගඳකිළි) යයි. ධර්මදේශනා කළ ස්ථානය දම්සභා මණ්ඩපයයි. බුද්ධ පරිනිර්වාණයේ සිට මේ දක්වා ගඳකිළියෙහි විසූ එක ද භික්‍ෂුවක් ගැනවත් ශාසන ඉතිහාසයෙහි සඳහන් නොවේ. එසේ නම් මේ රඟපෑම දෙව්බඹුන් සහිත මින්සුන්ගේ අතිමහත් ගෞරවයට පාත‍්‍ර වූ ශාන්ති නායක බුදුපියාණන් සමච්චලයට ගැනීමක් නොවන්නේද?

බුදුරුව යට ඇඳුම්වල යෙදීම, පාවහන්වල සටහන් කිරීම, යම් යම් පුද්ගලයන් බුදු පිළිම මත වාඩිවීම, කාන්තාවන් අඩනිරුවතින් බුදු පිළිම වැළඳ ගෙන ඡායාරූපවලට පෙනී සිටීම වැනි අවස්ථා අපි දැක ඇත්තෙමු. ඒවා බුදුන්ට කරන අපහාසයන් ලෙස සළකා ලිපි පළ කරන, උද්ඝෝෂණය කරන පිරිස් ද ඇත. එහෙත් බුදුරදුන් පැවිදි වෙස් ගත්තන් සමග සාමාන්‍යකරණය කර දැක්වීමට කරන ඉහත දැක්වූ උත්සාහයන් ගිහි ජනතාවට කෙසේ වෙතත් ශාසන භාරධාරීයයි කියා ගන්නා භික්‍ෂූන්ට නොපෙනෙන්නේ කුමක් නිසාදැයි වටහා ගැනීම අපහසුය.

අනුකරණයෙන් පමණක් නොනැවතී බුදුරදුන්ට විශේෂ වූ තත්ත්වයන්ගෙන් තමා සමානයයි පෙන්වීමට ද ඉහත කී පුද්ගලයා උත්සාහ දරන බව රහසක් නොවේ. තමන් සමන්තභද්‍ර යනුවෙන් හඳුන්වා ගැනීම ම බුදුරදුන්ට සමාන වීමට දරන උත්සාහයකි. සමන්තභද්‍ර යන්නෙහි අදහස හාත්පසින් ම යහපත් වූ, පිරිසිදු වූ යන්නයි. මෙය බුදුන්වහන්සේට පමණක් යෙදෙන විශේෂණ පදයකි. රහතන් වහන්සේ නමක්වත් සමන්තභද්‍රයයි තමන් සඳහා යොදා නොගනිති. ඒ, බුදුන්වහන්සේ කෙරෙහි පවත්නා ගෞරවය නිසාය. එහෙත් පණ්ඩිතයන් පය නොතබන තැන්වල මෝඩයෝ බඩපිනුම් ගසති.

හෙතෙම තමන් සත්‍යය සොයාගෙන ඇතැයි බොහෝ විට තම දේශන මගින් ප‍්‍රකාශ කිරීමට උත්සාහ දරයි. අන් සියලු භික්‍ෂූන් සාම්ප‍්‍රදායික මතවල එල්බගෙන ඇතැයි ද ඔවුන් ගෝත්‍රික මත දරන්නවුන්යයි ද තමන් පමණක් සත්‍යය සොයා ගෙන එය ලොවට ප‍්‍රකාශ කරන්නේයයි ද කියයි. සත්‍යය සොයා අවබෝධ කොට ගන්නේ බුදුවරයෙකි. සම්මා සම්බුද්ධයයි බුදුවරුන් හඳුන්වන්නේ සත්‍යය තමා විසින් ම දැන මනාව අවබෝධ කොට ගත් පුද්ගලයා යන අර්ථයෙනි. බුදුවරයෙක් තමන් අවබෝධ කර ගත් සත්‍යය ලෝකයට හෙළි කරති. එබැවින් ඒ බුදුවරයාගේ සසුන පවතින තෙක් තවත් කෙනකුට සත්‍යය සොයා ගැනීමට හැකියාවක් හෝ අවශ්‍යතාවක් නොමැත. හෙළි වී ඇති සත්‍යයේ නැවත හෙළි කරන්නට දෙයක් නොමැති බැවිනි. එසේ තිබියදී යමකු සත්‍යය සොයා ගත්තේයයි පවසන්නේ නම් හෙතෙම අමූලික බොරු කාරයකු වනු පමණක් නොව සත්‍යය සොයා ගත් බුදුන්වහන්සේට නිග‍්‍රහ කරන්නෙක් ද වෙයි.

බුදුන් වහන්සේ විසින් සොයා ගෙන අවබෝධ කරගනු ලැබූ සත්‍යය කුමක් ද? උන්වහන්සේගේ ම දේශනවලට අනුව ඒ වූ කලි අන් කිසිවක් නොව ප‍්‍රතීත්‍ය සමුත්පාද ධර්මතාවයි. මේ ධර්මතාව තුළ සත්වයාගේ සසර පැවැත්මත් එහි නිරෝධයත් විවරණය වෙයි. චතූරාර්ය සත්‍යය තූළින් ඉස්මතූ කොට දැක්වෙන්නේ ප‍්‍රතීත්‍ය සමුත්පාද ධර්මතාවේ ද්විත්ව කි‍්‍රයාකාරිත්වයයි.

බුදුන් වහන්සේ විසින් ම හෙළි කළ ධර්මයේ ලේශමාත්‍ර​යක්, එය ද වැරදි ලෙස ගෙන තමන් සත්‍යය සොයා ගත්තේයයි පැවසීමේ අරුත කුමක් ද? එහි ඇති එකම අරුත වන්නේ බුදුන්වහන්සේ හා තමන් අතර වෙනසක් නැතැයි හඟවමින් බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පහත හෙළීමයි, මෙය බෝහෝ දෙනකු වටහා ගෙන නැතත් ඉතාමත් බරපතල තත්වයක් බව අවධාරණය කළ යුතුය.

බුදුන්ට නිග‍්‍රහ කිරීම

යථෝක්ත පුද්ගලයා බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පහත හෙළීමට විවිධ උපාය මාර්ග උපයෝගී කර ගනියි. එහි එක් ක‍්‍රමයක් වන්නේ තමන් තුළ ඇති දුර්වලතා බුදුන්වහන්සේ තුළ ද පවත්නා බව ප‍්‍රකට කිරීමට උත්සාහ දැරීමයි. සිවුරු නැතිව ගිහියකු මෙන් හිඳ ඡායාරූප ගැනීම ගැන කිසිවකු ඇසූ විටෙක ඔහුගේ පිළිතුර වූයේ බුදුන්වහන්සේ ද සවස් කාලයෙහි සිරිතක් වශයෙන් සිවුරු ගලවා දමා සිටිනා බව අරියපරියේසන සූත්‍ර​යෙහි සඳහන් වී ඇති බවයි. මෙය අමූලික අසත්‍යයකි. එබඳු සඳහනක් සූත්‍ර​ පිටකයෙහි කිසිදු සූත්‍ර​යක දක්නට නැත.

මොහුගේ රහත් බවක් නැතැයි ඔප්පු කිරීමට ඔහු සමග විවාදයට පැමිණි පුද්ගලයකු වාචාල කෙළතොලු කථා කිරීමක් රහතුන්ගෙන් සිදු නොවෙතැයි පැවසූ විටෙක මොහු පැවසුවේ බුදුන් වහන්සේට ද එකල මිනිසුන් කෙළතොල්ලා යනුවෙන් නිග‍්‍රහ කොට ඇති බව සූත්‍ර​යන්හි සඳහන්හි වන බවයි. මෙය ද අමූලික බොරුවකි. විවාදයට සහභාගී වූ පුද්ගලයා මොහු තුළ මාන්නක්කාර බවක් දක්නට ඇතැයි කීවිට එයට පිළිතුරු දුන්නේ බුදුන් වහන්සේට ද එකල මිනිසුන් ශාක්‍ය වංශයේ මාන්නක්කාරයා කියමින් බැණවැදී ඇති බව පැවසීමෙනි.

බුදුන් වහන්සේව මාන්නක්කාරයකු වශයෙන් හැඳින්වූ කිසිදු අවස්ථාවක් කිසිදු සූත්‍ර​ ධර්මයක සඳහන් නොවේ. නිහතමාන නිරහංකාර කෙනකු ලෙස හැඳින් වූ අවස්ථා නම් කොතෙකුත් ඇත. පුබ්බභාසී, ඒහි සාගතවාදී යනු බුදුන් වහන්සේගේ ගුණ වැණුමට බොහෝ දෙනෙකු යෙදූ පද දෙකකි. පුබ්බභාසී යනු මුලින් ම කථාකරන්නා යන අදහසින් යෙදී තිබේ. කෙනකු මුණගැසුනු විට ඔහු කථා කරන තෙක් නොසිට මුලින් ම බුදුන් වහන්සේ ඔහුට ආමන්ත්‍රණය කරති. එබැවින් පුබ්බභාසී නමි. ඒහිසාගතවාදී යනු එන්න යහපතක් වේවායි පවසන්නායි. කෙනකු තමන්වහන්සේ හමු වීමට පැමිණෙන විට බුදුන් වහන්සේ එන්න. එන්න. යහපතක් වේවායි පවසමින් අමුත්තා පිළිගනිති. එබැවින් ඒහිසාගතවාදී යනු ද බුදුන් වහන්සේගේ ගුණ වැනීමට මිනිසුන් භාවිත කළ පදයකි. මේ දෙපදයෙන් ම උන්වහන්සේගේ නිහතමානී ගුණය ප‍්‍රකාශ කෙරෙයි.

බුදුන් වහන්සේට කෙළතොල්ලා යනුවෙන් කිසිවෙක් කිසි විටෙක චෝදනා කොට නැත. උන්වහන්සේ බස් වහර පිළිබඳව සූත්‍ර​වල සඳහන් වන්නේ යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඬගමා පහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති යනුවෙනි. කෙළතොලු නොවන, කන්කළු, පි‍්‍රය උපදවන, හදවතට යන, නාගරික වූ, බෙහෝ දෙනාගේ සිත් ඇදගන්නා, බොහෝ දෙනාට මනාප වන වචන කථා කරයි යනු එහි අහසයි. එබඳු වදන් පැවසූ බුදුන් වහන්සේට කෙළතොල්ලා යනුවෙන් කවරෙකුට නම් කිව හැකිද? තමන්ගේ කෙළතොලු කම වසා ගැනීමට බුදුන් වහන්සේ බිලි දීමට තරම් යමකු අලජ්ජි වන්නේ නම් ඒ, තම බත්පත වෙනුවෙන් නොවේ ද?

බුදුන් වහන්සේට ජනතාවගෙන් චෝදනා එල්ල වූ බවට වාර්තා වන්නේ කරුණු දෙකක් අරභයා පමණි. එහෙත් ඒ එකක්වත් උන්වහන්සේ කෙරෙහි පැවති දුර්වලතා අරමුණු කොට ගෙන නොවේ. බුදුන් වහන්සේ හඳුන්වා දුන් නව දහම මගධය පුරා ජනපි‍්‍රය වෙත්ම මගධයේ තරුණයෝ සමූහ වශයෙන් පැමිණ පැවිදි වූහ. එබැවින් දෙමාපියන්ට දරුවෝත් තරුණ බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයෝත් අහිමි වූහ. මෙය සීමාව ඉක්ම යන විට මගධ වැසියෝ බුදුන් වහන්සේට පවුල් විනාශ කරන්නකු බිරියන් වැන්දඹුවන් කරන්නකු ලෙස චෝදනා කළහ. මේ හැර බුදුන් වහන්සේ කුලවාදයට එරෙහිව දේශනා පැවැත්වීම නිසා උරණ ව කුලමානයෙන් උමතුවූ ඇතැම් බමුණෝ උන්වහන්සේට අපවාද කළහ.

බුදුන් වහන්සේට ඊර්ෂ්‍යා කළ නිගණ්ඨයෝ ද උන්වහන්සේට අභූත චෝදනා කළ බවට වාර්තා වෙයි. එහෙත් මේ එකද කරුණක්වත් බුදුන් වහන්සේ තුළ පැවති දුර්වලතාවක් පදනම් කොට නැත. කිසිවකුට ඇඟිල්ල දිගු කළ හැකි වන කායික වාචික හා මානසික දුර්ගූණ කිසිවක් උන්වහන්සේ කෙරෙහි විද්‍යමාන නොවීය. එබඳු කරුණක් ගෙන උන්වහන්සේට දොස් නැගූ කිසිදු අවස්ථාවක් වාර්තා වී නොමැත. උන්වහන්සේ නමින් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සද්ගූණවලින් පිරුණු බැචින් සමන්තභද්‍ර වූහ.

ධර්මය විකෘති කිරීම
එක් අරමුණක සිත එකඟ කර ගැනෙන වාරයක් පාසා භවය ඇති වන බව මොහු අවබෝධ කළ සත්‍යයට හසු වූ දෙයකි. මොහුගේ එක් දේශනයකින් මෙය කියවුනේ බෙහෙවින් අවධාරණාත්මකවය. භාවනාව අරභයා වූ මොහුගේ මෙම අදහස කෙතෙක් දුරට බුදුදහමට එකඟදැයි විමසා බැලීම වැදගත් වෙයි. බුදුන්වහන්සේ හෙළි කල සත්‍යයට අනුව නම් භවය ඇති වන්නේ උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නිසාය. උපාදාන පච්චයා භවො යනුවෙන් එය පටිච්චසමුප්පාද ධර්මයේදී පැහැදිලි කොට තිබේ. අරමුණක් තූළ සිත එකඟ කරන හැම වරක භවයක් ඇති වේ නම් කිසිවකූට කිසිදා නිවන සාක්‍ෂාත් කළ නොහැකිය.

අරමුණක් පිළිබඳව සිතක් ඇති වන හැම විටක ම අරමුණෙහි සිත එකඟ වීමක් අනිවාර්යයෙන් ම ඇති වෙයි. එකඟතාව (ඒකග්ගතා) හැම සිතකම පහළ වන චෛතසිකයක් වන බැවිනි. එසේ නම් කෙනකූට නිවන් දැකීමේ අවස්ථාවක් කිසිදා හිමි නොවෙයි. භවය අති කරවීමේ සාධකය වන උපාදානය ඇති වන්නේ ලෝභ ද්වෙෂාදියෙන් මෙහෙයවන ලද චේතනාව නිසාය. බුදුදහමට අනුව නම් සමථ විදස්සනා යන ක‍්‍රම දෙකේදී ම අරමුණෙහි සිත එකඟ නොකර නිවන් දැකීමේ පිළිවෙළක් නොමැත. එකඟතාවට පත්වූ (සමාහිත වූ) සිතෙහි පමණක් ආසවක්ඛය ඤාණය (කෙලෙස් දුරු කිරීමේ නුවණ) අවසන් කොට ඇති සෙසු විශෙෂ ඥන (අභිඥ) පහළ වෙයි.

සියලු ආගම්වලින් කියවෙන්නේ එක ම සත්‍යයකි යනු ද සමන්තභද්‍ර නමින් පෙනී සිටින්නා නිතර අවධාරණය කරයි. මෙහි පුදුමය වන්නේ මොහු සත්‍යය අවබෝධ කළ රහතෙකැයි හඟවමින් මෙබඳු ප‍්‍රකාශ කිරීමයි. ඉහතින් ද සඳහන් කළ පරිදි බුදුදහමින් පැවසෙන සත්‍යය ප‍්‍රතීත්‍යසමුද්පාද ධර්මතාවයි. මෙය බුදුදහමින් හැර වෙනත් කිසිදු දහමකින් පැවසුණු සත්‍යයක් නොවේ. බුදුදහමින් හෙළි කරන නිවන පිළිබඳව ද කිවයුත්තේ මෙයමය. මෙහි ලා එක් නිදසුනක් පමණක් දැක්වීම ප‍්‍රමාණවත් වනු ඇතැයි සිතමි. හින්දු ආගමට දාර්ශනික පදනම සපයන උපනිෂද් දර්ශණයෙහි ද විමුක්තිය (නිවන) ගැන කියවෙයි. මෙම විමුක්තිය යනු පුද්ගල ආත්මය පරමාත්මය සමඟ ඒකත්වයට පත් කිරීමයි. ආත්ම සංකල්පය සම්පූර්ණයෙන් ම ප‍්‍රතිෙක්‍ෂප කරන බුදුදහමින් නිවන ලෙස දැක්වන්නේ සියලූ කෙලෙස් දුරු වීමයි.

භික්‍ෂුව හෑල්ලු කිරීම

බුදුසසුනෙහි භික්‍ෂුව සන්සුන් ඉරියවු ඇති උපශාන්ත යතිවරයෙකි. ධර්මදේශනයකදී විශේෂයෙන් ම සන්සුන් බවක් පෙන්වයි. එහෙත් අද රහතුන්යයි හඟින්නෝ මිණිපළඟ අරා සිටිමින් ම ජුගුප්සා ජනක ලෙස හස්තවිකාර මුඛවිකාර දක්වති. අසංවර වූ වචන භාවිතයෙහි යෙදෙති. ඇතැම් භික්‍ෂූහු දේසපාලන අතකොලු බවට පත්ව භික්‍ෂු වෙශයෙන් ම උද්ඝෝෂණවලදී යකා නටති. මහසොහොන් දිෂ්ටියෙන් සිවුරු ගලවා ගෙන දුම්මල වරමින් නටති. මහ තෙරවරු තම අතවැසි හෙරණුන් අලජ්ජී ලෙස හැසිරෙද්දී ඇස් කන් නැති අඳ බිහිරන් සේ සුව යහන්හි නිදි වදිති. බුදුන් දහම් සඟුන් පරිභවයට ලක් කරන පැවිද්දන් පළවා හැරීමට හෝ යහමගට ගැනීමට ධර්මයට හා ශාස්තෘ ශාසනයට අනුව (යථාධම්මං යථාසත්ථං) පිළියම් තිබියදී ඒවා කිසිත් නොකර බුදු සසුනේ ආරක්‍ෂාව සක් දෙවිඳුන්ගෙන් සිදු වන තෙක් බලා සිටිති.

අද ලංකාවේ ථේරවාද බුදුසසුන තාමත් පිරිසුදුව ඇතැයි මහනාහිමිවරු ද වදාරති. බුදුසසුන පිරිසුදුව පවතින්නට නම් සසුන නියෝජනය කිරීමේ පරම වගකීම ඇති භික්‍ෂූන් වහන්සේ අනුනට ආදර්ශවත් වෙමින් ධර්ම විනයානුකූල ජීවිතයක් ගෙවිය යුතුව තිබේ. ඔවුනොවුන් පරයා තමා කැපී පෙනීමට සසුන රඟ මඬලක් කර ගන්නවුන්ගෙන් ද දේශපාලන මඩ ගොහොරුවෙහි නිමග්න වූවන්ගෙන් ද තමන් කැමති දැ ඉටු කර ගැනීමට පොලිසිය හා හමුදාවන් සමග සිවුරු කැස කවා ගෙන පොර බදන්නවුන්ගෙන් ද සසුන පිරිසුදු වේනම් ලක් බුදුසසුන අතිශයින් පිරිසිදු බව කිවයුතුය.

|මහාචාර්ය කපිල අභයවංස

ගෝලීය සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවේ වැඩක්? ගූගල්ට සැකයි



ලොව පුරා රටවල් 150කට වැඩි සංඛ්‍යාවක පරිඝනක තුන්ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට එල්ල වූ දැවැන්ත රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට පරිඝනක ආරක්ෂක විශේෂඥයන් මත පළ කරනවා.

ගූගල් සමාගමේ පරීක්ෂක නීල් මේතා ප්‍රකාශ කළේ රැන්සම්වෙයා පරිඝනක වෛරසය උතුරු කොරියාව අනවසර පිවිසීම් සඳහා යොදා ගන්නා වෛරස්වලට බෙහෙවින් සමාන වන බවයි.

ඊශ්‍රායල පරිඝනක ආරක්ෂක සේවා සමාගමක් ද සයිබර් ප්‍රහාරයට උතුරු කොරියානු සම්භවයක් ඇති බවට මත පළ කළා.

මෙම පරිඝනක වෛරසය ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් සංවර්ධනය කිරීමෙන් අනතුරුව හැකර්වරුන් සොරා ගත් එකක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

චීනයේ සේද මාර්ග සමුළුවට සහභාගි වෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකාවට චෝදනා කළා.

ප්‍රංශ නව කැබිනෙට්ටුවේ හරි අඩක්ම කාන්තාවන්ලු



ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් නව රජයේ කැබිනට් මණ්ඩලයේ කාන්තා දායකත්වය පණහට පණහ සීමාවේ තබමින්, 22 දෙදෙනෙකුගෙන් යුතු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුර 11ක් කාන්තාවන්ට පිරිනමනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජනාධිපතිවරයා මැතිවරණ සමයේ දුන් පොරොන්දු අනුව යමින් මෙම නම් කිරීම් සිදුකර ඇති අතර, ප්‍රංශයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිල්වියා ගෝලාඩ් පත්කර තිබේ. එමෙන්ම, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ ෆෙන්සින් ක්‍රීඩාවේ ඔලිම්පික් ශූරියක වූ ලෝරා ෆ්ලෙසල් ය.

මේ අතර, දැනට නම් කර ඇති අමාත්‍ය ධුර අතර බ්‍රෝනෝ ලෙ මයිරේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසත්, ජෙරාඩ් කොලෝම්බ් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙසත්, ෆ්‍රංශුවා බෙයිරෝ අධිකරණ අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබේ.

නව ජනාධිපතිවරයා අමාත්‍ය ධුර පිරිනැමීමේදී සමස්ත දේශපාලන වර්ණාවලියම හසුවන ආකාරයට කටයුතු කරමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනයක් ලබාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජුලි 1 දා සිට රාජ්‍ය සේවකයන්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කෙරේ

රාජ්‍ය සේවකයන්ගේ පැමිණීම හා පිටවීම සනාථ කළ හැකි පරිදි ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම ලබන ජුලි මස 01 වැනි දින සිට අනිවාර්ය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක්‌ මගින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට,පළාත් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය හා සංස්‌ථා හා ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල ප්‍රධානීන්ට උපදෙස්‌ දී ඇත.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ඡේ.ඡේ.රත්නසිරි මහතාගේ අත්සනින් යුත් චක්‍රලේඛයක්‌ මගින් එසේ උපදෙස්‌ දී ඇත.

මුදල් අමාත්‍යවරයා විසින් 2017 අයවැය යෝජනාවන්හි අංක 373 යටතේ ද සියලුම රාජ්‍ය ආයතනවල කාර්ය මණ්‌ඩල පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කළ යුතු බවට යෝජනා කර තිබුණි.

මීට පෙර 09/2009 හා 2009.04.16 දිනැති චක්‍රලේඛය මගින් ලබාදුන් උපදෙස්‌ අනුව මෙම ක්‍රමවේදය මෙතෙක්‌ ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති සියලුම රජයේ ආයතනවල චක්‍රලේඛවල විධි විධාන අනුව ඇඟිලි සලකුණු සටහන් කිරීමේ යන්ත්‍ර භාවිත කිරීම මගින් නිලධාරීන් කාර්යාලයට පැමිණීම හා පිටවීම සනාථ කිරීම සම්බන්ධයෙන් වූ වාර්තා තබා ගැනීමට පියවර ගතයුතු බවටද අදාළ චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස්‌ දී ඇත.

චැම්පියන්ස් කුසලානය ගේන්න ශ්‍රී ලංකා පිල අද එංගලන්තයට


 චැම්පියන්ස් කුසලානය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (පෙරවරු 7 ට) එංගලන්තය බලා පිටත්ව යනවා.

ලබන ජුනි පලමුවනදා තරගාවලිය ආරම්භවන අතර ජුනි 18 වනදා තෙක් තරගාවලිය එංගලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර කලකට පසු අත්දැකීම් බහුල ශ්‍රී ලංකා කණ්ඩායමක් තරගාවලියට එක්වීම විශේෂත්වයක් වනවා.
ඒ අනුව එක්දින තරග 100 කට වඩා ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්‌, උපුල් තරංග, චාමර කපුගෙදර, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුලත්වීම විශේෂත්වයක්.

චැම්පියන්ස්‌ කුසලාන ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), උපුල් තරංග (උපනායක), නිරෝෂන් දික්‌වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්, සීක්‌කුගේ ප්‍රසන්න

2017 1 කාර්තුවේ රාජ්‍ය විදයම රු මි 957365


2017 වර්ෂයේ පළමු කාර්තුවේදී රජය රුපියල් මිලියන 957365ක වියදමක් දරා තිබේ.ඒ රුපියල් මිලියන 482,856 ක් පුනරාවර්තන වියදම් හා රුපියල් මිලියන  474,509ක් මුලධන වියදම් ලෙසිනි.

2017 වසරේ මුල් කාර්තුවට අදාළව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වියදම් පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් වෙයි.



මහ බැංකු අධිපතිට හොරෙන් ඊමේල් හුවමාරුවක්



වර්තමාන මහ බැංකු අධිපතිවරයාට නොදන්වා ලෝක බැංකුවේ නිලධාරියකු සහ සාක්ෂිකරු අතර සිදුවී තිබෙන. රාජකාරි මට්ටමේ ඊමේල් පණිවුඩ හුවමාරුවක් පිළිබඳව නීතිඥ චානක ද සිල්වා මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (17) අනාවරණය කළේය. රාජකාරි කටයුත්තකට අදාළ ක්‍රියාවකදී එහි පිටපතකින් මහ බැංකු අධිපතිවරයා දැනුම්වත් කළ යුතු වූවද එවැන්නක් මෙහිදී සිදුවී නැති බව නීතිඥ සිල්වා මහතා පෙන්වා දුන් අතර එය සාක්ෂිකරු වන නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පිළිගත්තේය.

කොමිසමේ සාමාජිකයන් සහ නීතිඥවරුන් පමණක් සහභාගි වෙමින් සාක්ෂිකරුගෙන් රහසිගත සාක්ෂි විමසීමක් ඊයේ (17) සවසත් බැඳුම්කර කොමිසම ඉදිරියේ සිදුවුණි.

කොමිසම හමුවට අද (18) දිනයේ සාක්ෂි ලබාගැනීම සඳහා කැඳවා තිබෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් හිටපු අධ්‍යක්ෂ ජනරාල් රණසිරි සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වී. කේ. අල්විස් යන මහත්වරුන්ය.

පහනක් පත්තු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි : ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා


මැරුණු මිනිහෙක් සැමරීමට පහනක් පත්තු කිරීමට හෝ සිහිපත් කිරීමට ඕනම කෙනෙකුට හැකියාවක් පවතින බව. අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඩෙංගු මර්දනය කිරීම පිළිබඳ ගම්පහ,මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ එම්.කේ ශිවාජිලිංගම් විසින් හෙට දිනයේ වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයේ යුද්ධයෙන් මිය ගිය ඥාතීන් සිහිකිරීමේ වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමිනි.

ශිවාජිලිංගම් යනු ප්‍රභාකරන්ගේ ලේ ඥාතියෙකු බව කියා තිබුණු නමුත් යුද මෙහෙයුම් සිදුවන කාලයේ එහෙව් හඳුනාගැනීමක් නොතිබුණු බවත්, ඕනම කෙනෙකුට යුද්ධයෙන් මිය ගිය තම ඥාතීන් සිහිපත් කිරීමට බාධාවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

මේ අයුරින් පහනක් පත්තු කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බවත්, ශිවාජිලිංගම් යනු ශක්තිමත් මනුස්සයෙකු නොවන බවත්, එහෙව් අය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට කාලය හා ශ්‍රමය කැප කිරීම කිසිම තේරුමක් නැති වැඩක් බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරනු ලබන්නේ වෙනත් පුද්ගලික න්‍යාය පත්‍ර වලට කටයුතු කරන අය බවත්, ඒ අයට තමන්ගේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමේ අවශ්‍යතාවක්ද පවතින බවත් ඔහු සඳහන් කළේය.

තමන්ට එලෙස ප්‍රතිරූප ගොඩනංවා ගැනීමේ අවශ්‍යතාවක් හෝ පුද්ගලික න්‍යායපත්‍රයක් නොමැති බැවින් දෙන ඇමති ධූරයක් ලබාගෙන උපරිමයෙන් සේවය කරන බවත්, තමාට ආණ්ඩුව ගැන කිසිදු කලකිරීමක් නොමැති බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

යහපාලනය කුමක්දැයි නිසි අර්ථකථනයක් සිදුකර නොමැතිවීම විශාල අඩුපාඩුවක් බවත්, එම නිසා ඕනම කෙනෙකුට ඕනම දෙයක් කිරීමට ඉඩදීම යහපාලනය යයි වරදවා වටහා ගැනීමක් පවතින බවත් හෙතෙම අවධාරණය කළේය.

අතීතයේ සිදුකළ වංචා, දූෂණ, අපරාධවලට දඬුවම් නොකර සිටීම යහපාලනය නොවන බවත්, රාජපක්ෂවරුන් කළ අපරාධවලට නීතිමය වශයෙන් නිසි පියවර ගත යුතුව ඇති බවත්, ඒවා ප්‍රමාදවීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජී එස් පී සහනයට අදාළ යුරෝපා ගැසට් නිවේදනය අද නිකුත් වෙයි



යුරෝපා සංගමය විසින් යළි මෙරටට ලබාදුන් ජී එස් පී ප්ලස් බදු සහනයට අදාළ ගැසට් පත්‍රිකාව අද යුරෝපා පාර්ලිමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතයි.

ඒ හෙට දිනයේ සිට අදාළ තීන්දුව බලාත්මක කිරීමට අදාළව නියෝග කරමිනුයි.

පසුගිය රජය සමයේ කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් බදු සහනය අහිමි කෙරුණු අතර එය යළි ලබාගැනීම සදහා කොන්දේසි රැසක් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබුණා.

ඒ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අදාළවයි.

ඒ අනුව මෙරටට එම සහනය ලබා නොදෙන්නැයි ඉල්ලමින් යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුවද එය ප්‍රතික්ෂේප කෙරුණා.

අනතුරුවයි යුරෝපා විදෙස් හා වෙළද කමිටුව මෙම යෝජනාව අනුමත කරණු ලැබුවේ.

අත්අඩංගුවට ගත් සරසවි සිසුන් මෙන්න



සයිටම් ආයතනයට විරෝධය පාමින් ඊයේ (17) කොළඹදී අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ පාගමන. තුළදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ පොලිස් අත්අඩංගුවට පත් සිසුන් 08 දෙනාගේ අනන්‍යතාව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව රජරට විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව සිටිනවා.

අත්අඩංගුවට පත් සරසවි ශිෂ්‍ය කණ්ඩායම පහතින්,

ජයසිංහලාගේ ප්‍රදීප් ප්‍රේමලාල් – බිබිල
ජයසූරියගේ ඉසුරු රංගන ප්‍රනාන්දු – මතුගම
තිලකනායක අධිකාරී මුදියන්සේලාගේ ජිනේන්ද්‍ර ජයරත්න – හලාවත
විදාන ආරච්චිගේ වින්තක ලක්මාල් – අම්පාර
කංකානම්ලාගේ ප්‍රදීප් දමිත් චානක වීරසිංහ – රැවන්වැල්ල
නුවන්සිරි නදීෂ – යක්කලමුල්ල
ලියනදේවගේ ගයාන් දිලීප් බණ්ඩාර – හෙට්ටිපොළ
සපුගොල්ලේ විමල හිමි – වරකාපොළ