01 April 2017

රවිරාජ් ඝාතනයට නිදොස් කළ නාවික බුද්ධි නිලධාරීන් ‘අතුරුදහන්’



දස වසරකට ඉහතදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහමග ඝාතනය සම්බන්ධ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලද නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ආගිය අතක් නැති බව උසාවියට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් සොයා ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය රහස් පොලිසියට නියෝග කොට තිබේ.

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලද්දේ සර්ව සිංහල ජූරි සභාවක් විසින් ඉකුත් වසර අගදී දුන් රවිරාජ් ඝාතන තීන්දුව ට එරෙහිව හිටපු මන්ත්‍රී බිරිඳ සශිකලා මහේෂ්වරන් විසින් ගොනු කරන ලද අභියාචනයකින් අනතුරුවය.

අභියාචනාධිකරණ විනිසුරු එච් සී ජේ මඩවල සහ එල් ටී බී දෙහිදෙනිය හමුවේ පෙත්සම විභාගයට ගන්නා ලද අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට කියා ඇත්තේ සැකකරුවන් තිදෙනා සොයාගත නොහැකි වග නාවික හමුදාපතිවරයා දැනුම් දී ඇති බවයි.

ප්‍රසාද් චන්දන කුමාර හෙවත් නේවි සම්පත්, ගාමිණී හෙට්ටිආරච්චි, සහ ප්‍රදීප් චාමින්ද යන නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව සොයා බලා ඔවුන් ඉන්නා තැනක් සොයාබලා වාර්තා කරන්නැයි අභියාචනාධිකරණය රහස් පොලිසියේ අධ්‍යක්ෂට නියෝග කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබු නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධ චෝදනා ජූරි සභාවක් ඉදිරියේ විභාග කිරීම නීතියට පටහැනි හෙයින් මුල් තීන්දුව අවලංගු කොට නඩුව නැවත විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණයට නියෝග කරන මෙන් සශිකලා මහේෂ්වරන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

පෙත්සම ජුනි මස 16 වනදා වැඩිදුර සලකා බැලීමට නියමිතය.

වරායේ ණය නොගෙව්වොත් එය චීනයට අයිති වෙනවා



හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ගත් ණය 2017 වසර වන වට ගෙවා අවසන් නොකළා හොත් පසුගිය රජය ඇති කර තිබූ ගිවිසුම අනුව වරායේ අයිතිය චීන සමාගමට පවරා දිය යුතු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ත්‍රීකුණාමලය, මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයයේ පැවැති යොවුන් පුරය 2017 තරුණ හමුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ඊයේ (31දා) පැවැසීය.

කුමන පාර්ශ්වය විවිධ චෝදනා කළත් ගැටලුවක් නැති බවත් රට දියුණු කිරීමට අවශ්‍ය බවත් ඔහු පැවැසීය. ණය ගෙවීමට නොහැකිව වරාය චීන සමාගමට ලබා දෙනවාද නැත්නම් එය රජය යටතේ තබාගෙන දියුණු කරනවාද යන්න තීරණය කළ යුතු බවත් ඔහු පැවැසීය.

“විශාල ණය උගුලක් බවට පත්වී තිබෙන හම්බන්තොට වරාය ඉදිරියේදී ජාතික සම්පතක් බවට පත් කිරීම අපේ අපේක්‍ෂාවයි. හම්බන්තොට වරාය ඉදිකිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා චීන එක්ෂිම් සංවර්ධන බැංකුවෙන් ඩොලර් කෝටි 130 ක ණය අරගත්තා. අවුරුදු 5ක් ඇතුළත මුදල් උපයා ගත හැකි බවත් ව්‍යාපෘති සඳහා ලබා ගත් ණය 2016 වර්ෂය වනවිට ගෙවීමට හැකි බවත් නිළධාරීන් පවසා තිබුණා. නමුත් වරායෙන් ආදායම් ලැබුණේ නැහැ. විශාල වෙහෙසක් දරා මේ වන විට අපට ගෙවන්නට හැකිවී තිබෙන්නේ ඩොලර් කෝටි 20 ක් පමණයි.

2014 වසරේ චීන ජනාධිපතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ආණ්ඩු දෙක අතර ගිවිසුමකට පැමිණියා. ඒ අනුව චීන ආණ්ඩුවේ සේද මාවත ව්‍යාපෘතියට හම්බන්තොට ඇතුල් කර, හම්බන්තොට වරායේ කොටසක් දියුණු කිරීමට චීන සමාගම් දෙකකට ලබා දුන්නා. නමුත් මේ ක්‍රමය අවාසි දායක බව අපට පෙනී ගියා. එම ක්‍රමය යටතේ අප ණය ගෙවන විට එයින් ලාභ ලබන්නේ චීන සමාගමයි. මෙය පුදුම ක්‍රමයක්. අප පහන් පත්තු කළත් නිවන් දකින්නේ ඔවුන්. ණය ගෙවීමටවත් නොහැකි තත්ත්වයක මේ ක්‍රමයට යා යුතුද?

අප බලයට පැමිණෙනවිට අපේ ආර්ථිකය ඉතාමත් අමාරු තැනකයි තිබුණේ කෝටි 3600 ක විශාල ණය මුදලක් ගෙවීමට සිදුවුණා. ගත් ණය ප්‍රමාණය හම්බන්තොට වරායෙන් ගෙවීමට නොහැකි වූ නිසා කොළඹ වරායෙන් ගෙවීමට සිදුවුණා. මේ ණය ගෙවීමට වැට් බද්ද වැඩි කළා නම් ඡන්දය ලබාදුන් අය අපව ගහලා පන්නාවී. ජනතාව අමාරුවේ දමන්නට බැහැ. මේ තත්ත්වය හමුවේ 2016 වසරේ ඇමැති කණ්ඩායමක් සමග මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමට චීනයට ගියා. එහිදී අප පෙන්වා දුන්නේ මේ ණය කන්දරාව ගෙවීමට නොහැකි බවයි. මෙය අසාර්ථක ක්‍රමයක් බවට පෙන්වාදී මෙම ණය අහෝසි කරන මෙන් ද ඉල්ලා සිටියා. ඉන්අනතුරුව චීන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර අපට සහනයක් ලබා දීමට එකඟවුණා. නමුත් ණය අහෝසි කිරීමට නොහැකි බව ඔවුන් පවසා සිටියා.

හම්බන්තොට වරායේ වැඩ කටයුතු ඉදිරියට ගෙනයන්න චීන-ලංකා හවුල් සමාගමකට බදු දීමටත් එම බද්ද එකවරම අය කරගෙන ඒ මගින් සම්පූර්ණ ණය ගෙවන ලෙසට යෝජනා ඉදිරිපත් වුණා. ණය උගුලෙන් බේරීමට මෙය කදිම අවස්ථාවක් හෙයින් අප ඊට එකඟත්වය පළ කළා. චීන ආණ්ඩුවෙන් ආයතන 2ක් ඉදිරිපත් කළා. අප වරාය අධිකාරිය නම් කළා. චීන සමාගම් දෙකින් එක් සමාගමක් ඩොලර් කෝටි 110 ක් බදු දීමට කැමැත්ත පළ කර සිටියා.

එම මුදල ගෙව්වායින් පසු අපට ණය බරක් පැටවෙන්නෙ නැහැ. ඒ සමග අපට සියයට 20 ක කොටස් නොමිලේ ලබා දෙන බවත්, ඉතුරු කොටස් පිළිබඳව සාකච්ඡා කළ හැකි බවත් පැවසුවා. අපේ කොටස් ප්‍රමාණය වැඩි කළ හැකිද කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විමසා සිටියා. සියයට 40 ක කොටස් ලබාදිය හැකිවූවත් ඒ කොටස්වල මිල ඩොලර්වලින් ගෙවීමට සිදුවන බව ඔවුන් දන්වා සිටියා. සියයට 20 ක කොටස ගෙවීමට පවා අමාරු මොහොතක මෙම මුදල් ඩොලර්වලින් ගෙවීම ගැටලුවක්. ගෙවිය හැක්කේ කෙසේද යන්න පැහැදිලි කර සිටියා. අවුරුදු 10 ක කාල සීමාවක් ලබා දෙනවා නම් සියයට 40 ක කොටස් නොව සියයට 45 ක කොටස් වුවත් ලබා ගැනීමට හැකි බව අප ඔවුන්ට පෙන්වා දුන්නා.

අවසන් එකඟතාවකට පැමිණ චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගම පිහිටුවීමත් සමගම එම ඩොලර් කෝට් 110 ක් ලැබෙනවා. එවිට අපේ ජාතික ණය බරින් ඩොලර් කෝටි 110 අඩුවීමේ වාසිය අපේ රටටයි. අවුරුදු කිහිපයක් තුළ කර්මාන්ත ශාලා 700, 800 ක ප්‍රමාණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

වරාය සඳහා ගත් ණය 2017 වනවිට ආපසු ගෙව්වේ නැති නම් පසුගිය රජය ඇති කර තිබුණ ගිවිසුම අනුව වරායේ අයිතිය චීන සමාගමට පවරා දිය යුතු වනවා. අප මේ පිළියම් සොයන්නේ ඒ අර්බුදයටයි.
මේ සඳහා පිළියම් සොයන විට රට විකුණන බවට කෑගහනවා. පෝර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටයර් 20 ක් හෝ 30 ක් සින්නක්කරයට විකිණීමට සැලසුම් කර තිබුණා. අප එය වෙනස් කළා. සින්නක්කර දීම වෙනුවට 99 අවුරුදු බදු පදනම යටතේ ඉඩම් ලබාදීමට අප තීරණය කළා.”

එක්දින තරගාවලියත් සමවෙයි


 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති තිරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියද 1-1ක් ලෙස සමව නිමවිණි. ටෙස්ට් තරගාවලියද 1-1ක් ලෙස සමව අවසන් විය.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 280ක් රැස්කිරිමට සමත්විය. කුසල් මෙන්ඩිස් හා තිසර පෙරේරා අර්ධ ශතක වාර්තා කිරිමට සමත්වූහ.

ලකුණු 281ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ඉනිම ලකුණු210ට සිමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ණුවන් කුලසේකර කඩුලු හතරක් දවාගත්තේය.

ත්‍රීරෝධ රථ මීටරය හා බිල්පත අද සිට අනිවාර්යයි



මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන ත්‍රීරෝද රථ සඳහා අනුගමනය කළ යුතු නව නීති මාලාවක් අද සිට ක්‍රියාත්මක වනවා. ඒ  2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුවයි.

කෙසේ වෙතත් මෙම නව නීති රෙගුලාසි ක්‍රියාත්මක වන දිනයක් අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වී නොතිබුණු අතර  අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙම නව නීති 2017 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක විය යුතු බව දන්වා තිබුණා.

මේ අනුව කුලියට තැනැත්තන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා හෝ අන්‍යාකාරයකින් මෝටර් ට්‍රසියිකලයක් භාවිතා කරනු ලබන සෑම මෝටර් ට්‍රයිසිකලයක අයිතිකරු විසින් සියලු අවස්ථාවල දී ක්‍රියාත්මකව පවතින ටැක්සි මීටරයක් එහි සවිකර තිබිය යුතු බව මෙමඟින් අනිවාර්ය කර තිඛෙනවා.

තව ද 2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ගාස්තු ගෙවීමෙන් පසු ඒ වෙනුවෙන් රිසිට් පතක් නිකුත් කිරීම ද මෝටර් ට්‍රයිසිකලයේ රියැදුරාගේ වගකීමක් බවට දක්වා තිබුණා.

තිස්ස අත්තනායක යළි එජාපයට



එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතාට  පසුගිය සතියේදී අධිකරණයට යාමට සිදු වූයේ ඔහුට එරෙහි කූට ලේඛන සකස් කිරීමේ නඩු විභාගයට අදාළවයි.

නඩුවේ සාක්ෂියකට එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන මහ ‍ලේකම් කබිර් හෂීම් මහතාටද අධිකරණය වෙත පැමිණීමට දන්වා තිබුණා.  ඔවුන් දෙදෙනාම අධිකරණයට එකම අවස්තාවකදී පැමිණි අතර මැතිවරණයෙන් පසුව කිසි දිනෙක මුණ නොගැසුණු මොවුන් දෙදෙනා අධිකරණ දොරටුව අසලදී දැඩි මිත්‍රත්වයෙන් එකිනෙකා වැළදගනු ලැබුවා.

අනතුරුව දෙදෙනා එකම ස්ථානයක අසුන් ගත් අතර මෙවන් සංවාදයක්ද එහිදී ඇති වුණා.

මට මේ නඩුවට සාක්ෂි දෙන්න එන්න උවමනාවක් නැහැ. ඒත් අධිකරණය කැඳෙව්වාට පස්සේ එන්නේ නැතිව ඉන්න  බැහැ. අධිකරණයට ගරු කරන නිසා මම ආවේ. එහෙම නැතිව ඔබතුමාට විරුද්ධව සාක්ෂි ලබාදෙන අදහසකින් නොවෙයි. මම ආවේ. ඔබතුමා අයිමත් අපේ පක්ෂයට එන්න. ඇවිත් මගේ වගකීම් ටික භාරගන්න කබීර් හෂීම් මහතා හිටපු මහලේකම්වරයාට එසේ ඇරයුම් කළා.

ආරාධනා කළාට ගොඩක් ස්තූතියි. මම කොහොමත් යූ.එන්.පී. කාරයෙක් ගිය පාර ඡන්දයේදී අපි දෙගොල්ලෝම වැඩ කළේ ශ්‍රී ලංකා එකේ අයටයි. ඔයාලා ශ්‍රී ලංකා එකේ ‍ලේකම්ට ජනාධිපතිවරණයේදී උදව් කළා. මම ශ්‍රී ලංකා එකේ සභාපතිට උදව් කළා. එක්සත් ජාතික පක්ෂය උදව් කළ අපේක්ෂකයා ජනාධිපති වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණා මොනවා වුණත් මම ශ්‍රී ලංකා එකට ගියේ නෑ. මම ශ්‍රී ලංකා එක පැත්තට තල්ලු කරන්න එපා
අපි වෙලාවක මේ ගැන කතා කරමු
මට හිතාගන්න බැරි ඇයි මම මේ ශ්‍රී ලංකා එක පැත්තට තල්ලු කරලා දාන්න හදන්නේ ඇයි කියලයි.
නෑ…….. නෑ………. එහෙම එකක් නැහැ කබීර් හෂීම් මහතා එසේ ප්‍රකාශ කළා.

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතාගේ නිල වෙබ් අඩවියද පුවත් වාර්තාකර තිබුණා.

එහි ප්‍රශ්නාර්ථ ලකුණකින් දැක්වුණු එක් පුවතක සදහන් වන්නේ තිස්ස යළිත් මහ ගෙදරට යන්නයි.

ගවයෙක් මැරවොත් ජීවිතාන්තය තෙක් සිර දඩුවම්



ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය තුල ගව ඝාතනය වෙනුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් පැමිණවීමට අදාල නීතියක් සම්මත කර තිඛෙනවා.

ඒ ප්‍රාන්තයේ බලය හිමි ඉන්දීය භාරතීය ජනතා පක්ෂය විසින්.

ඉන්දියාවේ සත්ත්ව ආරක්ෂණ පනතට අනුවයි මෙම නීතිය සම්මත කර ඇත්තේ.

ඒ අනුව යම් පුද්ගලයකු හරක් මස් සමග අත්අඩංගුවට පත්වුවහොත් ඔහුට හිමි අවම දඩුවම වසර 10ක සිර දඩුවමක් වනවා.

ඒ සමගම ගව ඝාතනය ඇප ලබා දිය නොහැකි වරදක් බවට පත් කර ඇති බවද සදහන්.

ගුජරාට් ප්‍රාන්තය තුල ගව ඝාතනය මීට පෙර තහනම් කරනු ලැබුවේද වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රාන්තයේ මහ අමතිවරයාව සිටි සමයේයි.