15 April 2017

Forbes 30 Under 30 : ආසියාවේ හොදම 30 අතරට ආ ලංකාවේ කොල්ලා | PHOTO


ධනවතුන්ගේ සඟරාව ලෙස සැලකෙන ෆෝබ්ස් සඟරාව විසින් පවත්වනු ලබන එහි කලාපීය තරුණ විශිෂ්ඨ ව්‍යවසායකයින් නම් කිරීමේ වැඩසටහනේ 2017 ආසියානු කලාපයේ හොඳම 30 අතරට පැමිණීමට ශ්‍රී ලාංකීක තරුණයෙකු වන රඛිත මාලෙවන සමත්වී තිබේ. ආසියානු කලාපයේ වයස අවුරුදු 30 අඩු විශිෂ්ඨතම ව්‍යවසායකයින් මෙහිදී හදුනාගනු ලබනවා.

2015 වසරේදී නැනෝ තාක්ෂණය හරහා HIV/AIDS රෝගයට ප්‍රතිකර්මයක් සොයා ගැනීමට අවශ්‍ය ක්‍රමෝපාය සකස් කිරීම වෙනුවෙන් ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විශේෂ ඇගයීමකටද ලක් විය.

ඔහු Forbes 30 Under 30 අතරට තේරී පත්වන්නේ විද්‍යා හා තක්ෂණ විශය ක්ෂේත්‍රය වෙනුවෙන්. ඔහු කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුද වන අතර ideanerd SL නම් විද්‍යා හා තාක්ෂණික පර්යේෂණයන් සඳහා පාසල් සිසුන් පෙළඹවීමේ ආයතනයේ නිර්මාතෘවරයාද වේ.

මීතොටමුල්ල ‍ඛේදවාචකය-මරණ සංඛ්‍යාව 10යි



කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීම හේතුවෙන් ඊට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මිය ගිය පිරිස අතර කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු පිරිමින් සිව්දෙනෙකු හා කාන්තාවන් හය දෙනෙකු වන බව සඳහන්ය.

සිද්ධියෙන් තුවාල ලැබූවන් 07 දෙනෙකු තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මරණයට පත්වූවන් අතුරින් රෝහළ තුළදී මිය ගියේ එක් පුද්ගලයෙකු පමණක් බවත්, අනෙක් අය මරණයට පත්ව සිටියදීම ඇතුළත් කරනු ලැබූ අය බවත් ජාසිංහ මහතා සිහිපත් කළේය.

එසේම බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා සිව්දෙනෙකු පිටව ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර ආපදාවන්ට සහන සැලසීම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා කියා සිටියි.

එසේම ත්‍රිවිධ හමුදා භට පිරිස් සම්බන්ධීකරණය කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන හදිසි මෙහෙයුම් මැදිරිය හරහා සියලුම වගකිව යුතු නිළධාරීන් එක්ව මීතොටමුල්ල සිද්ධියට අදාළව ප්‍රදේශයේ පවත්නා ගැටළුකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට පියවර ගනිමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

එම ස්ථානයෙන් ඉවත්කරන ලද ජනයාට ආහාරපාන, ප්‍රතිකාර ඇතුළු අත්‍යවශ්‍ය දේ සපයන බවත්, කුණු කන්දට යටවූවන් බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත්, ඒ නිසාම සංඛ්‍යාත්මක දත්ත යාවත්කාලීන විය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ලක්ෂ 8 කට මිල දී ගත හැකි ලංකාවේ හැදෙන ඉලෙක්ට්‍රික් කාරය



කැප්ලා මෝටර් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති කේ.ටී. කපිල ද සිල්වා මහතා අද දෙරණ Biz 24×7 සම්මුඛ සාකච්ඡාව හා එක්විය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන අලුත්ම ඉලෙක්ට්‍රික් මෝටර් රථය පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් කපිල ද සිල්වා මෙහිදී හෙළි කළේය.

මෙය ධාවනයේ දී වැය වන පිරිවැය කිලෝ මීටරයක් සඳහා රුපියල් 3.50 ක් පමණක් බව පැවසූ කපිල ද සිල්වා මහතා මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 8 ක මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් දැනටමත් ගැනුම්කරුවන් 200 ක් පමණ දෙනා මෙය මිල දී ගැනීමට ලියාපදිංචි වී සිටින බවත් වැඩිදුරටත් කියා සිටියේය.

තව නොබෝ දිනකින් මෙම මෝටර් රථය වෙළෙඳපොළට එක්ක්ව වීමට නියමිතය.

මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

https://youtube.com/watch?v=LflLGsAspYI?rel=0

හයිටියේ ලිංගික ගොදුරු සෙවූ සොල්දාදුවන් යැවූ රටවල් වගවිය යුතුයි



එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා විසින් හයිටියේ සිදුවීයයි කියනු ලබන ලිංගික අපචාර හා අපරාධ වලට හමුදා යැවූ සියලුම රටවල් තමන්ගේ සොල්දාදුවන් සම්බන්ධයෙන් වගවිය යුතු බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලි මේ බව පවසා ඇත්තේ   ඒ.පී පුවත් සේවය මගින් කරන ලද විමර්ශනයකින් හෙළිදරව් කෙරුණු ශ්‍රී ලංකා සාම සාධක හමුදා, හයිටියේදී ළමා අපචාර හා ලිංගික හිරිහැර සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් විසින් හයිටියේ කරනු ලැබූ මැදිහත්වීම් එළඹෙන ඔක්තෝම්බර් මස සිට අත්හිටුවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇති අතර එකී යෝජනාව ඒකමතිකව සම්මත වූ බැව් විදෙස් පුවත් වාර්තා උපුටා දක්වයි.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන  කිසිදු රටකට තම සොල්දාදුවන් සම්බන්ධයෙන් වගවූයේ නැතිනම් ඔවුන් යළි සිය රටවලට යවා ගෙවීම් නතර කිරීමට පියවර ගත යුතු බව නිකී හේලි පෙන්වාදෙයි.

සාම සාධක හමුදාවන් විසින් සත්‍යවශයෙන්ම හයිටියේ පීඩාවට පත් දරුවන් ආරක්ෂා කළාද යන්න ප්‍රශ්නයක් පැන නඟින බවත්, හමුදාවන් හයිටි වලින් ඉවත්වීම සාර්ථකත්වයක් ලෙස දකින නමුත් හයිටි වල ජනයාගෙන් බොහෝ දෙනෙකුට මෙය නරක හීනයක අත්දැකීමක් බවත් ඇය අවධාරණය කර තිබේ.

මන්ද යත් සිදුවූ අවාසනාවන්ත තත්ත්වය විසින් ඇති කළ කැළැල් ඔවුනට අමතක කර දැමීමට අපහසු බැව් ඇය පෙන්වාදෙයි.

2004-2007 කාලයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා නියෝජනය කරමින් ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් 134 දෙනෙකු හයිටියේ සේවයට ගොස් ඇති බවත්, හයිටි කුඩා දරුවන් නව දෙනෙකු ඔවුන්ගේ ලිංගික ගොදුරු බවට පත්ව ඇති බව සඳහන්ය.

එහෙත් එක්සත් ජාතීන්ගේ මෙහෙවර අනුදත් රටක් ලෙස ශ්‍රී ලංකාව මෙලෙස චෝදනා ලැබූ කිසිදු සොල්දාදුවෙකුට එරෙහිව හෝ නීතිමය ක්‍රියා මාර්ග ගෙන නොමැති බව ඇය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

සියලු බෝම්බවල මව ඇෆ්ගනිස්ථානයට පතිතවෙයි



සටනකදී මෙතෙක් භාවිත කරන ලද න්‍යෂ්ටික නොවන වඩාත් විනාශකාරී බෝම්බය ඇෆ්ඝනිස්ථානයේදී හෙළන ලද බව ඇමෙරිකානු හමුදාව පවසයි.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ උමං සංකීර්ණයකට හෙළන ලද GBU-43/B Massive Ordinance Air Blast Bomb (MOAB) නම් වූ එම බෝම්බය හැඳින්වෙන්නේ 'සියලු බෝම්බවල මව' ලෙස බවත්, 2003 වසරේදී පළමුවරට පරීක්ෂා කරන ලද එම බෝම්බය මේ දක්වා භාවිත නොකෙරුණු බවත් බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.

පෙන්ටගනය පැවසුවේ ඇමෙරිකානු ගුවන් යානයකින් ඇෆ්ඝනිස්ථානයේ නන්ගර්හාර් පළාතේදී බෝම්බය හෙළනු ලැබූ බව යයි වාර්තා වේ.

මේ පිළිබඳ තොරතුරු හෙළිවුයේ සිරියාවේ ගුවන් ප්‍රහාරයකදී වැරදීමකින් මිත්‍ර පාක්ෂික කැරලිකරුවන් 18 දෙනෙකු මිය ගිය බව පෙන්ටගනය පිළිගෙන පැය කිහිපයක් ඉකුත් වෙද්දී බවත්, හවුල් හමුදා විසින් අයිඑස් ඉලක්කයක් ලෙස වරදවා හඳුනාගන්නා ලද ස්ථානයකට අප්‍රේල් 11 වෙනිදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයේදී වොෂිංටනයේ සහය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවේ සාමාජිකයින් පිරිසක් මිය ගිය බවත් බී.බී.සී පුවත් සේවය උපුටා දක්වයි.

ඇෆ්ඝනිස්තානයේ වේලාවෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේදී හෙළන ලද බෝම්බය රාත්තල් 21,600 ක් (කි.ග්‍රැ. 9,800) වූ අතර දිගින් මීටර 9 ට (අඩි 30 ) වැඩිය.


"ප්‍රදේශයේ එහා මෙහා පහසුවෙන් සැරීමට අයිඑස් සටන්කරුවන් යොදාගත් උමං හා ගුහා සංකීර්ණයක් අපේ ඉලක්කය වුණා. එම සංකීර්ණය නිසා ප්‍රදේශයේ ඇමෙරිකානු ආරක්ෂක උපදේශකයින් වගේම ඇෆ්ඝනිස්තාන හමුදාවද පහසුවෙන් ඉලක්ක කරගැනීමට ඔවුන්ට හැකි වුණා“ යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් පවසා තිබේ.

ප්‍රහාරයේ ප්‍රතිඵලය  කෙබඳුදැයි ඇමෙරිකාව තහවුරු කර නැතත් ප්‍රාදේශීය බලධාරීන් බීබීසී වෙත පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ අයි.එස් නායකයකුගේ සොයුරෙකුද ඇතුළුව සටන්කරුවන් රැසක් මියයන්නට ඇති බවයි.

GPS මග පෙන්වීමකින් යුතු විශාල අවියක්වන GBU-43/B බෝම්බය හෙළනු ලැබුවේ හර්කියුලිස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා අතරින් ඇමෙරිකානු විශේෂ බලකාය භාවිත කරනු ලබන මාදිලියේ යානයකිනි.

මාලිංග IPL ඉතිහාසයේ වටිනාම ක්‍රිඩකයා වෙයි



ඉන්දියානු ප්‍රීමිය ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් IPLතරගාවලි ඉතිහාසයේ මෙතෙක් බිහිවූ වටිනාම ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග තේරී පත්ව තිබේ.

ඉන්දියානු වෙබ් අඩවියක් විසින් සිදු කර ඇති මෙම වර්ගීකරණයට අනුව වටිනාම ක්‍රීඩකයින් පස් දෙනෙකු තොරා ගෙන ඇති අතර අනෙක් සිව් දෙනාම පිතිකරුවන් වේ.

IPL තරගාවලිය යනු පිතිකරුවන්ගේ තරගාවලියක් වුවත් පන්දුයවන්නෙකු වටිනාම ක්‍රීඩකයා බවට පත්වීම විශේෂත්වයක් ගනී. IPL ඉතිහාසයේ තරග 98කට ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග එහිදී කඩුලු 143ක් බිඳ හෙළීමට සමත්ව තිබේ. ලසිත් මාලිංග ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගේ ඉහළම ප්‍රතිචාරය ලබා ගැනීමටද මේ වනවිට සමත්ව සිටී.

රෝහිත් ෂර්මා, ඩ්වේන් බ්‍රාවෝ මෙම වර්ගීකරණයේ පස්වන ස්ථානයටත්, ඒ.බී. ඩී විලියර්ස් සිව් වන ස්ථානයටත්, ක්‍රිස් ගේල් තෙවැනි ස්ථානයටත්, සුරේෂ් රෙයිනා දෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත්ව තිබේ.

මීතොටමුල්ලේ තත්වය ඛේදවාචයක් වෙයි | PHOTO



මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් විපතට පත් නිවාස ගණන 200ට ආසන්න වී ඇතැයි වාර්තාවේ.

(14) පස්වරු 02.00ට පමණ කන්ද නායගොස් ඇති අතර පස්වරු 05.00වනතුරුත් කිසිදු මුදාගැනීමේ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ නැති අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් එහි රැඳී සිට ඇත.

ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් මුදාගත් 06.00 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර මේ වනවිට පොලිස් විශේෂකාර්ය බලකායේ මුදාගැනීමේ කණ්ඩායාම් එම ස්ථානයට පැමිණ ඇත. ඔවූන් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ කටයුතුවල නිරතව සිටිති.

මෙසේ අනතුරට පත්ව ඇති නිවාසවල ජනතාවට එම නිවාසවලින් ඉවත්ව යන ලෙස ආපදා කලමණාකරන නිලධාරීන් දන්වා තිබුණද ඔවුනට එම නිවාසව අත්හැර ගොස් පදිංචි වියහැකි ස්ථානයක් හෝ නැවත නිවාස ගොඩනගාගැනීම සඳහා වන්දි මුදලක් නොලැබීම මත ඔවුන්ට එම නිවාසවලම තවදුරයත් රැඳී සිටීමට සිදුවූ බවත් ආණ්ඩුව එම ජනතාවට නැවත පදිංචිවීම සඳහා විකල්පයක් සළසා නොදීමෙන් මෙම ඛෙදවාචකය ඇති බූ බවත් ප්‍රදේශවාසීහු පවසති.