27 March 2017

රාජගිරියේ සබීතලාගේ ගොඩනැගිල්ලට රජය ලක්ෂ 245 ගානෙ ගෙවලා මාස 11 ක් වහල දාලා



සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස 11 ක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පෙරේදා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය විය.


හිතවත්කම පදනම් කරගෙන සිදු කර තිබෙන බව කියන

මෙම ගොඩනැගිලි ගනුදෙනුව සම්බන්ධයෙන් මින් ඉහත විවිධ ආකාරයට මාධ්‍ය වාර්තා මගින් කරුණු අනාවරණයවී තිබුණ නමුත් නිල වශයෙන් රජයේ බලධාරීන් කිසිවෙකු පැහැදිලි කිරීමක් සිදුකර තිබුනේ නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස
ඇසූ පැනයකට පිළිතුරු ලෙස ඇමති ගයන්ත මේ ගැන පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කරන ලදි.




මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි දෙකහමාරට අාසන්න මුදලක් (ලක්ෂ 245)  ඩීපී ජයසිංහ සමාගමට ගෙවා ඇති බව එහිදී ඇමතිවරයා පිළිගත් අතර එම මුදල් ඇයවැයෙන් වෙන් කර ඇති ආකාරය නිවැරදි බව පවසා සිටියේ අයවැයෙන් කෝටි 150 කට ආසන්න මාසික කුලී විවිධ අමාත්‍යංශ වලට ගෙවන බව පැහැදිලි කරමිනි.

කෙසේ වෙතත් මෙම මුදල් නාස්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පාර්ලිමේන්තුවේ එම අවස්ථාවේ නොසිටි අතර පාර්ලිමේන්තුවේ සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ කියා සිටියේ තමා මේ ප්‍රශ්නය ඇමතිවරයාට යොමු කරන බව පමණි.

2015 ඔක්තෝබර් මාසයේ වැඩ නිම කරන ලද මහල් 10 කින් යුතු අති නවීන පහසුකම් සහිත රාජගිරියේ පාර්ලිමේන්තු පාරේ පිහිටි මෙම අලංකාර ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ ජනපති මෛත්‍රිපාල සිරිසේන අතිනි. වර්ග අඩි ලක්ෂයක පමණ ඉඩපහසුකම් ඇති මෙහි වාහන 100 කට වඩා නවතා තබන්නට හැකි රථ ගාලක්ද තිබෙන බව කියැවේ. ඩීපී ජයසිංහ සමාගම මෙම ගොඩනැගිල්ල රජයේ අමාත්‍යංශයක් සඳහා දරන්නට අමාරු මාසික කුලියකට ලබාදීම අනුමත වූයේ කෙසේද යන්න ගැන පසුව ගැටලු මතු විය.

2016 ජූලි මස සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙළිදරව් කර තිබෙන ආකාරයට මෙම ගොඩනැගිල්ල බද්දට ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය රජය අනුමත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කර ඇති අතර විගණන පරීක්ෂණ අනුව එය ගැටලු මතු කරන්නකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස දන්වා තිබුනේ මේ සඳහා අගමැතිවරයාගේ අනුමැතිය ලබාගන්නට මෙම හිමිකරුවන් කටයුතු කර තිබුණ බවකි.

මාර්තු 29දා ඉදිරි මැතිවරණ ගැන තීන්දු රැසක්



මැතිවරණ කොමිෂන් සභාව කැඳවන නිත්‍ය නියෝජිත රැස්වීම මාර්තු මස 29 වැනි දින රැස්වීමට නියමිත අතර එදිනඉදිරි මැතිවරණ පිළිබඳ තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තාවේ.පසුගිය කාලයේ පැවති මැතිවරණවලදී බොහෝ තීන්දු තීරණ මෙම නිත්‍ය නියෝජිත රැස්වීමේදී ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය කල්යාම පිළිබඳව හා ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම නිත්‍ය නියෝජිත කමිටුවේදී තීරණයක් ගැනීමට නියමිතය.

මීට අමතරව සැප්තැම්බර් මාසයේදී නිලකාලය අවසන් වන නැගෙනහිර, උතුරුමැද, සබරගමු පළාත් සභා 03හි මැතිවරණය පැවැත්වීම පිළිබඳවත් විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමටත් නියමිතය.

මෙම නිත්‍ය නියෝජිත කමිටුවට මැතිවරණ කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා තෝරාගත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් ඇතුළත් වේ.

මේ අනුව පළාත් පාලන ආයතන මැතිවරණ සීමා නිර්ණ කටයුතු හෝ ඊට අදාළ තාක්ෂණ කරුණු නිසා තවදුරටත් කල්යාම සිදුවනවානම් පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පවත්වන ලෙසට පක්ෂ කිහිපයක ලේකම්වරු ඉල්ලා සිටීමටත් සැලසුම් කර තිබේ.

මෙහිදී යෝජනා කර ඇති 25% කාන්තා නියෝජනය ඇතුළත්වන ආකාරයට පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවටත් යෝජනා කිරීමට පක්ෂ ලේකම්වරුන් කිහිපදෙනෙකු තීරණය කර තිබෙන බවද වාර්තාවේ.

මෙම නිත්‍ය නියෝජිත කමිටුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ මස 29 වන දින එම කොමිෂන් සභාව තුළදී රැස්වීමට නියමිතය.

හොංකොං නව නායකත්වයට ප්‍රථම වරට කාන්තාවක්



හොංකොං හි රාජ්‍ය නායකයා ලෙස තේරීපත් වූ ප්‍රථම කාන්තාව වන කැරී ලැම් චීන බලපෑම් ඔස්සේ බෙදීමට ලක්ව සිටින හොංකොං රාජ්‍යයට ඉක්මන් සහනයක් ලබාදෙන බව ප්‍රතිඥා දී තිබේ.

59 හැවිරිදි ලැම් එරට නව නායිකාව ලෙස තේරීපත් වූයේ 1,200කින් සමන්විත විශේෂ කොමිසමක ඡන්ද විමසීමකිනි. එරට ප්‍රධාන විධායක ධුරය ලෙස සැලකෙන මෙම ධුරය මහජන ඡන්දයෙන් සිදුවන පත්වීමක් නොවන අතර, ඒ සඳහා විශේෂ කොමිසමක් ඡන්දය ලබාදෙයි.

එහිදී, මෙම කොමිසමේ සාමාජිකයන් බහුතරයක් බීජිං පාලනයට හිතවත් පිරිසක් වූ අතර, නව නායිකාවටද බිජිං පාලනයෙන් සහාය හිමිවන බව විදෙස් වාර්තා පවසයි.

චීනයේම කොටසක් වන හොංකොං රාජ්‍යය වෙනමම සීමිත ස්වයං පාලනයක් යටතේ පාලනය වන අතර, එහි රාජ්‍ය නායකත්වය ප්‍රධාන විධායක ධුරයකි.

ඇය සමග තරගයට පිවිසි එරට මුදල් ලේකම්වරයා වූ ජෝන් සැන්ග් වෙත කොමිසමේ වැඩි කැමැත්තක් ඇති බව මුලින් කියවුණත්, එරට හිටපු නියෝජ්‍ය නායිකාවකද වූ ඇයට කොමිසමේ සාමාජිකයන්ගෙන් බහුතර ඡන්දය හිමිවී තිබුණි.

අද ඩොලරයට රුපියල් 155 ක් පමණ ගෙවන්න සිදුවෙලා



අද වනවිට ඩොලරයට අපිට රුපියල් 155 ක් පමණ ගෙවන්න සිදුවී තිබෙන අතර 2015 දී  අපිට ඩොලරයට රුපියල් 130 ක් ගෙවන්න සිදු වූ  බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් පිටුවට වීඩියෝ පටයක් එක් කරමින් (26) ප‍්‍රකාශ කර සිටියේ ය.

එම අනාවරණයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පහත අදහස් දැක්වීය,

රුපියල අවප‍්‍රමාණය වීම ආනයන අපනයන පැත්තෙන් ගත්තාහම මත දෙකක් තියෙනවා, එක පැත්තකින් කියනවා මේක අහිතකරයි කියා. අනෙක් අය කියනවා නෑ මේක රටට හිතකරයි කියා. තවත් දෙයක් තමයි ලංකාවේ ණය බර, ඒ ණය බර රුපියල්වලින් වැඩිවීම මේ අනුව සිද්ද වෙනවා.  ඒ අනුව වැඩියෙන් අපට ගෙවන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් රුපියල සමබර තත්ත්වයක පැවතීම තමයි ආර්ථිකයට වඩාත් සුදුසු තත්ත්වය වන්නේ. ඇයි රුපියල අවප‍්‍රමාණය වෙන්නේ. පළමුවෙන්ම අපේ අපනයන පසුගිය කාලය තුළ වර්ධනය වෙලා නැහැ. බොහෝ කාලයක් අපේ අපනයන ඩොලර් බිලියන  10 සීමාවේ රැඳී තිබෙනවා. අපි ගත්තොත් 1990 දශකයේ මුල්භාගයේ අපේ අපනයන තිබුනේ ඩොලර් බිලියන 5 පමණ කිට්ටුව. ඒ වගේම අපට සමාන අපනයන ප‍්‍රමාණයක් තමයි වියට්නාමය කර කර හිටියේ. නමුත් අද වියට්නාමය අපනයන ප‍්‍රමාණය ඩොලර් බිලියන 175 ට ආසන්න ප‍්‍රමාණයකට වැඩිවෙලා තියෙනවා. 

මේ වාතාවරණය හමුවේ අපේ අපනයන වැඩිකර ගැනීමේ හා විදේශ සංචිත වැඩිකර ගැනීම සඳහා විදේශ ආයෝජන ඒ වගේම විදේශ විනිමය ලබාගැනීම පිළිබඳව අපට විධිමත් වැඩපිළිවෙලක් නොතිබ්බොත් රුපියල තවත් අවප‍්‍රමාණය වෙන්න නියමිතයි.

ඒ වගේම මේ මෑතදී මතුවෙච්ච අලූත් තත්ත්වයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ පොලී අනුපාතය ඉහළ යැවීම නිසා එහි මහා භාණ්ඩාගාරය, අපේ රුපියලට ඇතිවෙච්ච බලපෑම. උදාහරණයක් හැටියට 2008 ලෝකයේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය එක්ක, විශේෂයෙන්ම යුරෝපයේ සහ ඇමරිකාවේ. ඒ රජයන්වලට සිද්ධ වුනා පොලී විරහිතව විශාල ධනය ප‍්‍රමාණයක් ව්‍යාපාරිකයන්ට ලබාදෙන්න. ව්‍යාපාරිකයන් කළේ ඒ ධනය ලබාගෙන ලංකාව, ඉන්දියාව වැනි රටවල්වල වැඩි පොලියට ආයෝජනය කරලා ලාභ ඉපැයූව්වා. ලංකාවේ ඩොලර් බිලියන 03 ක් පමණ 14.5% ක පොලියට ආයෝජනය කරපු ටෙම්පල්ටන් අරමුදල එවැනි අරමුදලක්. ඔවුන් පොලී අනුපාතය 0 ට ඇමරිකා එක්සත් ජනපදයෙන් සල්ලි අරගෙන ලංකාවේ 14.5% ට ආයෝජනය කළා. නමුත් දැන් ඇමරිකාව ක‍්‍රම ක‍්‍රමයෙන් තමන්ගේ පොලී අනුපාත වැඩිකරගනිමින් සිටිනවා.

එතකොට වෙන්නේ මොකක්ද මේ ලංකාව වගේ තැන්වල ආයෝජනය කරගෙන හිටපු ටෙම්පල්ටන් වැනි අය ඒ සල්ලි අරගෙන යනවා ඇමරිකා එක්සත් ජනපදයට යළිත්, මේක අපට විතරක් නෙමෙයි ඉන්දියාව ඇතුළු අනෙක් රටවල්වලටත් බලපාලා තිබෙනවා.

කොටින්ම කිව්වොත් ගෝලීය වශයෙන් ප‍්‍රාග්ධන තැන්පත්වලට තිබුණ මධුසමය, මේ ග්ලෝබල් හනිමූන් එක දැන් ඉවර වෙලා තිබෙනවා. ඒක නිසා අහසින් පොලවට වැටෙන්න දැන් හැම රටකටම සිද්ධ වෙලා තිබෙනවා. ඒක නිසා තමයි අපෙත් සංචිත අඩුවෙලා රුපියලට දැඩි බලපෑමක් එල්ල වෙලා තිබෙන්නේ.

ඒ විතරක් නෙමෙයි  අපි මේ දිනවල ඩොලර් බිලියන 1.5 ක පමණ ධනයක් බලාපොරොත්තු වෙනවා විදේශ රටවලින් මිලදී ගන්න. නමුත් ඒ ණය බැඳුම්කර මිලදී ගන්න ගියහමත් පොලී අනුපාත ඉහළ පොලී අනුපාතයක් වෙන එක වළක්වන්න බැහැ. මේ ඇමරිකා එක්සත් ජනපදයේ පොලී අනුපාතය ඉහළ යෑම නිසා.  මේ නිසා අපට තදබල ආර්ථික පීඩනයක් එල්ල වෙන්න නියමිතයි. අන්න ඒ නිසා අපි ඒ ගැන විධිමත් තිරසර ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකළහොත් අපිට කෙටි කාලීන උත්තර තියෙන්න පුළුවන්. රාජ්‍ය දේපල විකුණා දැමීමෙන් හෝ රාජ්‍ය දේපළ අන්සතු කිරීමෙන් හෝ අපට තාවකාලිකව මේ විදේශ විනිමය ප‍්‍රශ්නය විසඳා ගැනීමට හැකියාවක් ලැබෙන්න පුළුවන්. නමුත් නැවත  නැවතත් මේ අර්බුදයට ලංකාව ගමන් කරනවා. අපට තිරසර විසඳුමක් නොතිබ්බොත්. එනිසා අනිවාර්යයෙන්ම අපේ අපනයන  ක්‍ෂෙත‍්‍රයේ අපි විශේෂයෙන්ම මේ තේ, පොල්, රබර් ඇගලූම්මත පදනම් වෙන්නේ නැතිව ඉලෙක්ට්‍රොනික හා අන්තර්ජාලය සම්බන්ධවෙච්ච දැනුම පදනම් කර ගත්  නවෝත්පාදන කි‍්‍රයාදාමයට මුල්තැන දුන් අපනයන කි‍්‍රයාවලියකට වහාම යුහුව නැඹුරු විය යුතුයි.

මෙවන් වූ පියවර ගැනීමෙන් අපට හැකිවෙනවා දිගු කාලීනව මේ අර්බුදයට විසඳුම් ලැබීමට. ඒකේ ප‍්‍රධානම කාරණය වෙන්නේ බලශක්ති ස්වාධිනත්වය ළගාකර ගැනීම. මා බලශක්ති ඇමතිවරයාව සිටියදී, 2015 මේ සම්බන්ධයෙන් සැලසුමක් ඇති කළා අපේ රට අවට තියෙන තෙල් සහ ගෑස් සම්පත උකහා ගැනීමෙන් හා බලශක්ති සංරක්‍ෂණයෙන් අපි බලශක්තියෙන් ස්වයං පෝෂිත උනොත් අපට පිටරටින් බලශක්ති ගෙන්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මඟින් අපේ ආනයන බිලට එල්ල වෙලා තිබෙන ලොකුම බලපෑම තෙල්වලින් ගැලවීමේ හැකියාව අපට ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ විධිමත් තිරසර වැඩසටහනක් තුළින් පමණයි, කෙටිකාලීන දේවල් වලින් කෙටිකාලීන විසඳුම් ලැබෙනවා මිසක්, විධිමත් වැඩපිළිවෙලකින් පමණයි රුපියල අපට සමබර තත්ත්වයක පවත්වාගෙන ආර්ථික වශයෙන් බලගතු තත්වයක් උදාකර ගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සැබෑ නාට්‍යයක්




රටේ සංහිඳියාව ඇතිකරන එක ආණ්ඩුවෙ කන්තෝරුවත් බරටම වැඩ...

රටපුරා ජනතාව දැනුම්වත් කරන්නත් සමාජයට සංහිඳියාවේ අගය කියා දෙන්නක් නොයෙක් වැඩසටහන් රටපුරා දියත් කරලා. හිටපු ලොකු නෝනගෙ මූලිකත්වයෙන් තමයි මේ කටයුතු දියත් වෙලා තියෙන්නෙ.

ඒකට තානාපති අංශවලිනුත් උදව් පදව් ලැබෙනවා. එහෙම උදව් ලැබුණ වැඩසටහනකින් සංහිඳියාවේ අගය පෙන්වන නාට්‍ය හදන්න ප්‍රාදේශීය මට්ටමෙන් කටයුතු සංවිධානය වුණා. ඒ අනුව නුවර පැත්තෙන් මරු නාට්‍යයක් හදන්න පටන් අරන්ලු...

ඒත් පොඩි පරහකට තියෙන්නේ මේ නාට්‍යයෙ තියෙන්නෙ හිටපු ලොකු නෝනගෙ පියාගෙ පාලනේ විසින් ආරම්භ කළ සමහර වැඩ නිසා රටේ සංහිඳියාව බිඳ වැටෙන්න පටන් ගත්තය කියලලු. මේ කතාව තවමත් හිටපු ලොකු නෝන දන්නෙත් නැතිලු... ඒත් ළඟදීම ඒ කතාව එතුමිය ළඟ පත්තු කරන්න මේ වනවිට කස්ටියක් සූදානම් වෙනවලු.. එහෙම වුණොත් සංහිඳියා නාට්‍ය වැඩසටහනට මොකද වෙන්නෙ කියලා තතුදත්අය අහනවා.

deshaya

බැදුම්කරය මංකොල්ලයෙන් සිදුව ඇති EPF පාඩුව කෝටි 950ක්‌



සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 950 ක පමණ අතිවිශාල අලාභයක්‌ සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල ආරංචි මාර්ග පවසයි.

ඉකුත් මාර්තු 23 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමට අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත්ව ඇති අතර එම වාර්තාව මගින් එම අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනුවලින් රු. කෝටි 950 ක පමණ අලාභයක්‌ සිදුව ඇතැයි මුදල් මණ්‌ඩලයට නිල වශයෙන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

මහ බැංකුවේ සහකාර අධිපති කුමුදුනී සරවනමුත්තු මහත්මියගේ නායකත්වයෙන් යුතුව මෙම විශේෂ අභ්‍යන්තර පරීක්‍ෂණය සිදුකෙරුණු අතර එමගින් 2015 සහ 2016 යන වසර දෙකේ රජයේ සුරැකුම්පත්වල අර්ථසාධක අරමුදල විසින් සිදුකළ ගනුදෙනු පිළිබඳව පරීක්‍ෂණ සිදුකරන ලදී.

මෙම අභ්‍යන්තර පරීක්‍ෂණයේදී මෙම ගනුදෙනුවලට මහ බැංකුවේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනොගේ නම් ද අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මුදල් මණ්‌ඩලය වෙත වාර්තා කර තිබේ. එම නිලධාරීන් දෙදෙනාගෙන් එක්‌ අයකු මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන අතර අනිත් නිලධාරියා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි.

මේ නිලධාරීන් දෙදෙනා එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ සමඟ අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමට සෘජුවම සම්බන්ධ වී ඇති බවත් එම ගනුදෙනුවලින් සේවක අර්ථ සාධක අරමුදලට විශාල අලාභ සිදුව ඇති බවත් මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට දැනුම් දී තිබෙන බව ද දැනගන්නට ඇත.

මෙම වාර්තාව මගින් හෙළිකර ඇති අර්ථසාධක අරමුදලේ දැවැන්ත අලාභයට සෘජුවම වගකිවයුතු බවට නිලධාරීන් දෙදෙනකු හඳුනාගෙන ඇති බැවින් වහාම එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කොට විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ඉකුත් බ්‍රහස්‌පතින්දා (23 දා) මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී නිහාල් ෆොන්සේකා සහ ක්‍රිෂාන්ත පෙරේරා යන මුදල් මණ්‌ඩල සාමාජිකයන් ඉල්ලීම් කර තිබුණත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා සහ එම්. රාමනාදන් මහත්මිය මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කර ඇති බව ද මුදල් මණ්‌ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. අවසානයේ රටේ සේවක ප්‍රජාවගේ විශාලතම අරමුදලට සිදුකළ දැවැන්ත අලාභයක්‌ හමුවේ පවා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් සැහැල්ලු පිළිවෙතක්‌ අනුගමනය කිරීමට තීරණය කර ඇතැයි ද ඒ අනුව අදාළ සහකාර අධිපතිවරයාගේ සහ අර්ථසාධක අරමුදලේ නිලධාරියාගේ වැඩ තහනම් නොකර ඔවුන් එම තනතුරුවලම තබාගෙන ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.
මෙතරම් විශාල මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ බවට මහ බැංකුවේම අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවකින් පැහැදිලිව චෝදනා එල්ල වී තිබියදීත් වත්මන් මහ බැංකු අධිපතිවරයා මෙවැනි පිළිවෙතක්‌ අනුගමනය කිරීම මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඉමහත් විමතියට හේතු වී ඇති බව ද මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

-දිවයින-

බන්ධනාගාර වලට වෙඩි නොවදින බස් රථ



බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වෙඩි නොවදින ආරක්ෂක බස් රථයක් නිර්මාණය කර තිබේ.

බන්ධනාගාරගතවන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයින් රැගෙනයමින් සිටියදී පසුගිය කාලයේ අවස්තා කිහිපයකදීම බන්ධනාගාර බස්රථවලට වෙඩි තැබීම් ගණනාවක්ම වාර්තා වූ අතර ඉන් බන්ධනාගාර නිලධාරීන් මෙන්න සැකකරුවන් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් වූහ.

එයට පිළියමක් ලෙස කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරී වරයාගේ සංකල්පයක් අනුව මෙම බස් රථය නිර්මාණය කර ඇත.

බන්ධනාගාර භාවිතයේ තිබූ බස් රථයක් නවීකරණය කරමින් මෙම වෙඩි නොවදින බස් රථය නිර්මාණය කර තිබේ.

මෙවැනි බස් රථයක් විදේශයකින් ආනයනය කළේ නම් රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය වන බවත් මෙම බස් රථය නවීකරණය කිරීම සඳහා වැයවූයේ රුපියල් ලක්ෂ 7ක මුදලක් බවත් වාර්තා වේ.

අඩ නිරුවතින් රසිකයින් පිනවූ කිම් කාඩේෂියන් මෙවර රසිකයින් හැඬවූ හේතුව මෙන්න | PHOTOS



වරින්වර ජනප්‍රිය පුවත් මවන්නියක් ලෙස කිම් කාඩේෂියන් ලොව ප්‍රචලිත වෙලා තියෙනවා.

සරාගී ඇඳුම් විලාසිතා සහ අඩනිරුවත් ඡායාරුප, වීඩියෝ සමාජ ජාල අඩවිවලට එකතු කිරීම ඇයගේ විනෝදාංශයක්.

නමුත් මේ කියන්න යන්නේ ඇගේ තවත් එවැනි පුවතක් නම් නෙමෙයි.

කිම් ඇගේ සහකරු වන kanye west සමඟ පසුගිය දා අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී තිබෙනවා.

ඒ කෙන් වෙස්ට් ගේ සොහොයුරෙකු වූ රිකී ඇන්ඩර්සන්ගේ මාස 17 වයසැති සුරතල් සිඟිත්තා හදිසියේ ජීවිතයෙන් සමුගැනීම නිසා.

මෙය කිම්ගේ රසිකයින් බොහෝදෙනෙකු සංවේදී කළ අවස්තාවක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම අවස්ථාවේ ඡායාරුප පහතින්.


ඇමරිකානුවන් හදන අරුම පුදුම ගොඩනැගිල්ලේ විස්තර මෙන්න



ලෝකය පුරා දිනෙන් දින ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධාකාර නව ප්‍රවණතාවයන් අපට දැකගත හැකියි.

ලෝකයේ දිගම ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳව යෝජනාවක් පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය තුල දැඩි ලෙස කතා බහට ලක්වුණා.

මෙම ගොඩනැගිල්ලේ විශේෂත්වය වනුයේ එහි වූ සුවිශේෂී U හැඩයයි.

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ඉදිකිරීමට නියමිත මෙම ගොඩනැගිල්ලේ අනුරුව පිළිබඳ ජායාරූප සහ වීඩියෝවක් පහතින් දැක්වේ.

 

රාජපක්ෂලා සිතූ සිතූ ලෙස ජනතා දේපළ විනාශ කළේ මෙහෙමයි



විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බෙලිඅත්ත කාර්මික විද්‍යාල භූමියේ හා වීරකැටිය පිහිණුම් තටාක සුගතදාස අධිකාරියට පැවරීමේදී අවශ්‍ය නීත්‍යනුකූල කටයුතු සිදු කර නැති බවත් එවකට හිටපු ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත එම පිහිණුම් තටාක දෙක එවකටද පාඩුලබමින් තිබූ  සුගතදාස අධිකාරියට භාරගැනීමට සිදුව ඇති බවත් තරුණ කටයුතු ක්‍රීඩා කලා සහ උරුමයන් පිළිබඳ අධීක්ෂණ කමිටුවේදී අනාවරණය වී තිබේ.

2008 අගොස්තු මස 07 දාතමින් යුතුව ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ එවකට ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් “බෙලිඅත්ත හා වීරකැටිය පිහිණුම් තටාක සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය වෙත පවරා ගැනීම හා ඒවායේ නඩත්තුව පිළිබඳ පුහුණුව ලබාදීම” නැමති PR/PS/N80 අංක දරන ලිපිය මගින් අදාළ පිහිණුම් තටාක සුගතදාස අධිකාරියට පවරා ගැනීමටත් ඒ සඳහා සේවකයන් බඳවා ගැනීමටත් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ සභාපති වරයාට බලපෑම් කර ඇති අයුරුද මනාව පැහැදිළි වේ.

පිහිණුම් තටාක නඩත්තු කිරීම සඳහා සේවකයන් බඳවා ගැනීමට අදාළව නාමලේඛණයක්ද උක්ත ලිපිය සමග කිරීමටද ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වගබලාගෙන තිබේ.

එම පිහිනුම් තටාක සුගතදාස අධිකාරියට පවරාගෙන අදාල සේවකයන්ට අවශ්‍ය පුහුණුව ලබා දී එම පිහිණුම් තටාක නඩත්තු කිරීමේ කටයුතු ඔවුන් වෙත පවරා දීමට කටයුතු කරන්නැයිද ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් අදාළ ලිපිය මගින් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ සභාපති වරයාට නියෝග කර ඇත.

එම නියෝග අනුව උක්ත පිහිණුම් තටාක දෙක පැවරීමේදීද කිසිදු වගකීමකින් තොරව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ පැවරීම් කටයුතුද සිදු කර ඇති අකාරයද තරුණ කටයුතු ක්‍රීඩා කලා සහ උරුමයන් පිළිබඳ අධීක්ෂණ කමිටුවේදී අනාවරණය වී තිබේ.

එහෙත් එම තටාක දෙකට අදාළ නඩත්තු කටයුතු සහ විදුලි, ජල බිල්පත් ගෙවීම 2008 ඔක්තෝබර් 17 වනදා සිට සිදුකරගෙන ගොස් ඇත. එමෙන්ම මෙම පිහිණුම් තටාක පිහිටුවා ඇති භූමිය සහ එම දේපළවල නීත්‍යනුකූල අයිතියක් නොමැතිව ඒ සඳහා කුමන ආකාරයේ හෝ වියදම් දැරීමද විගණන ප්‍රතිපත්තිවලට පටහැනි කරුණක්ද වන්නේ ය.

කෙසේ නමුත් මේ සියල්ල උල්ලංඝනය කරමින් කටයතු කිරීමට එවකට ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් ලිපි නිකුත් කරමින් බලපෑම් කර තිබේ. මේ අනාවරණය වූයේ රාජපක්ෂවරු තම පාලන සමයේ තම සිතැඟි අනුව නීතී රීති උල්ලංඝණය කරමින් ජනතා දේපළ සමග සෙල්ලම් කළ ආකාරයට තවත් එක් උදාහරණයක් පමණි. එකළ ජනාධිපති පෞද්ගලික ලේකම්වරුන්ගේ ලිපිවලට නීති රීති උල්ලංඝණය කරමින් නිලධාරීන්ට කටයුතු කිරීමට සිදු ව තිබූ ආකාරයද මේ අනුව මනාව පැහැදිළි වේ.



පලස්තීන භූමිය මත ඉදිවන නීති විරෝධී ඊශ්‍රායල් නිවාස ව්‍යාපෘතිය



බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින පලසතීනයේ බටහිර ඉවුරු ප්‍රදේශය තුළ නීතිවිරෝධී අයුරින් නිවාස 2,630ක් ඉදිකි රීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලයේ මධ්‍යම තොරතුරු බියුරෝව සඳහන් කරන ආකාරයට 2013 වසරේදී ඉදිකරණ ලද නිවාස 2,874කට පසුව සාදන ලද විශාලතම නිවාස ප්‍රමාණය මෙය වී ඇත. 2009 වසරේදී බෙන්ජමින් නෙතන්හායු අගමැති ධුරයට පත්වීමත් සමග නිවාස 14,017ක් සෑදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර මේ දක්වාම සෑම ඊශ්‍රායල් නායකයෙකු යටතේම පලස්තීන භූමිය තුළ මෙවැනි නීතිවිරෝධී නිවාස ඉදිකිරීම් අඛණ්ඩව සිදුවෙමින් ඇති බවද මධ්‍යම තොරතුරු බියුරෝව සඳහන් කරයි.

මෙවැනි ඉදිකිරීම් හරහා පලස්තීනුවන්ට සහ ජාත්‍යන්තරයට ඊශ්‍රායලය ප්‍රකාශ කරමින් ඇත්තේ “රාජ්‍යයන් දෙකක්” සංකල්පයට තමන් එකඟ නැති බව යැයිද “පීස් නව්” නැමති සංවිධානය ප්‍රකාශයට පත් කර ඇත. ඊශ්‍රායල් – පලස්තීන සාම වැඩපිළිවෙලට මෙවැනි ක්‍රියාමාර්ග දැඩි බාධාවන් පමුණුවමින් ඇති බවද සඳහන් වේ.

බැඳුම්කර වැරදිකරුවන්ට නිසි දඞුවම් දිය යුතුයි



බැඳුම්කර වංචාවට අදාළ වැරදිකරුවන්ට නිසි දඞුවම්දීමට වත්මන් රජය ඉඩ ලබාදී ඇති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජය විසින් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සකසා දී ඇති බවයි.

හෝමාගම මහජන ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකට එක්වෙමින් කබීර් හෂීම් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

නීතිඥ සංගමයේ නව නිලධාරි මණ්ඩලය මෙන්න



ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව උප සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි ශබ්‍රි මහතා නිතරගයෙන් තේරී පත්ව තිබේ.

ඊට අමතරව එම සංගමයේ නව භාණ්ඩාගාරික ලෙස සුජීව ලාල් දහනායක මහතාද, උප ලේකම් ලෙස රජිත හතුරුසිංහ මහතාද නිතරගයෙන් පත්වී තිබෙන බව එම සංගමයේ නව සභාපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා අද දෙරණට සඳහන් කළේය.

මීට අමතරව කාරක සභාව සඳහා හය දෙනෙකුගෙන් යුතු මණ්ඩලයක් ඡන්දයකින් තේරී පත්වී ඇති බව වාර්තා වෙයි.

ඔවුන් අතර ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස්, නලින්ද ඉන්දතිස්ස, සංජය ගමගේ, ප්‍රදීප් ගමගේ, මහින්ද ලොකුගේ සහ අතුල පෙරේරා යන අය වෙයි.

මේ අතර නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්වු නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වැඩ බලන අග විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ දිවුරුම් දී තිබේ.

තරගය පැරදීමට හේතුව පන්දු රකින්නන් – චන්දිමාල්



පන්දු රැකීමේ පැවති දුර්වලතා (25) පැවති තරගය පරාජය වීමට බලපෑ ප‍්‍රධානතම හේතුව විය හැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක දිනේෂ් චන්දිමාල් පවසනවා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දිනේෂ් චන්දිමාල් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.
කෙසේවෙතත් මෙම තරගයේදී සිදු වූ අඩුපාඩු හඳුනාගෙන එ්වා නිවරැදි කරගනිමින් මීඟළ තරගයට සාර්ථකව මුහුණ දෙන බවද සඳහන් කළා.

ප‍්‍රබල ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකු සංචිතයෙන් ඉවත් වීම ද මෙම පරාජයට බලපෑ තවත් හේතුවක් බවයි දිනේෂ් චන්දිමාල් මෙහිදී ප‍්‍රකාශ කළේ.