22 May 2017

ඇමතිවරු 09ක්, රාජ්‍ය අමැතිවරයෙකු දිවුරුම් දෙයි – මංගල මුදල්, රවී විදේශ



අද (22) සිදු කිරීමට නියමිතව තිබූ කැබිනට් සංශොධනය අනුව මේ වනවිට ඇමතිවරු 09 දෙනෙකු සහ රාජ්‍ය ඇමතිවරයෙකු දිවුරුම් දී ඇති බවත් වාර්තා වේ.

එ් අනුව මංගල සමරවීර, එස්.බී දිසානායක, ජෝන් සෙනෙවිරත්න, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාරතිලක, අර්ජුන රණතුංග, චන්දිම වීරක්කොඩි, තිලක් මාරපණ යන මහත්වරු නව ඇමති ධුරවල දිවුරුමී ඇත.

එසේම මහින්ද අමරවීර මහතා නව රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.

මංගල සමරවීර – මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය
එස්.බී. දිසානායක – සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කඳුරට උරුමය
රවි කරුණානායක – විදේශ කටුයුතු අමාත්‍ය
ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න – කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන
මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු
ගයන්ත කරුණාතිලක – ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු
අර්ජුණ රණතුංග – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
චන්දිම වීරක්කොඩි- නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු
තිලක් මාරපන – සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය
මහින්ද අමරවීර – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අලුත් යහපාලන ආණ්ඩුවකට එජාපයෙන් රහස් මෙහෙයුමක්!



යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය “නව යහපාලන” ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් හුවමාරු කරගනිමින් මේ සැලසුම නිර්මාණය කෙරෙමින් පවතින බව ‘සිරිකොත’ ආරංචි මාර්ග සඳහන් කරයි.

පිහිටුවනු ලබන නව ආණ්ඩුවට, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා එජාපයේ ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකු මන්ත්‍රිවරුන්ගේ නිවෙස් කරා යමින් මේ දිනවල මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වේ.

නව යහපාලන ආණ්ඩුවට විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද එම ආරංචි කියයි.

පවතින යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය දිනෙන් දින වැඩිවෙමින් පවතින නිසා ජනතාවගේ විශ්වාසය තව තවත් පලුදු වීමට ඉඩ නොතබා, නව යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවද පැවැසේ. අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ඇති කිරීමට යන නව ආණ්ඩුව පිහිටුවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් දැනටමත් සහයෝගය දැක්වීමට එකඟත්වය පළකර ඇති බවද දැනගන්නට ඇත.

එසේ සහයෝගය දක්වන පිරිස අතර ශ්‍රී ලනි පක්ෂයට සම්බන්ධ මන්ත්‍රිවරුන් පිරිසක්ද සිටින බව වාර්තා වෙයි. නව ආණ්ඩුවට සහයෝගය දක්වන මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධුරයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවුව හොත් එ.ජා. පක්ෂයේ ජාතික ලැයිස්තුව යටතේ සිටින මන්ත්‍රිවරයකු අස්වී ඒ සඳහා අවස්ථාව සැලසීමට පවා සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.

නව ආණ්ඩුව බිහිවීමත් සමඟ විපක්ෂ නායක තනතුරේ පවා වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

-මව්බිම-

වෛද්‍යවරු අදත් වර්ජනයේ / හදිසි සේවා පමණයි



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට වැඩ වර්ජනයක නිරත වනවා. ඒ පසුගියදා සරසවි සිසුන් ක්‍රියාත්මක කළ සයිටම් විරෝධතාවයට පහරදුන් බවට වන චෝදනා මතයි. කෙසේ වෙතත් සියලු රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඛණ්‌ඩව ක්‍රියාත්මක වන බවද, මාතෘ, ළමා සහ පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් සහ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන බවද සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා ප්‍රකාශ කළා.

නීති විරෝධී සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට රජය විසින් ම්ලේච්ඡ ලෙස පහර දී තුවාල සිදුකිරීම හා අත්අඩංගුවට ගැනීම, වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් මෙතෙක්‌ අත්අඩංගුවට නොගැනීම, සයිටම්හි හිටපු විධායක නිලධාරියා හා සම්බන්ධ වෙඩි තැබීමේ ජවනිකාවට අදාළ චූදිතයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම, වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සයිටම්හි පරිහරණය සඳහා රජයේ රෝහල් භාවිත කිරීමට අවසර දීමට එරෙහිව වෛද්‍ය නිලධාරි සංගමය අල්ලස්‌ කොමිසමට හා පොලිසියට කළ පැමිණිලිවලට අදාළව විධිමත් පරීක්‌ෂණ නොකිරීම යන කාරණා මුල්කර ගනිමින් අද දවස පුරා මෙම වැඩ වර්ජනය දියත් කරන බවද වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියා.

විග්නේෂ්වරන්ගේ පදයට ආණ්‌ඩුව නටන්නේ නෑ – ඇමැති සරත් ෆොන්සේකා



 උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් කියන කියන පදවලට අප නටන්නේ නැතැයිද ඔහු පවසන. අයුරින් උතුරේ ආරක්‍ෂක හමුදාව කිසිසේත් ඉවත් කරන්නේ නැතැයිද ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. හෙතෙම එසේ පැවසුවේ පසුගිය (20දා) දහවල් කිරිබත්ගොඩ රෝහලේ පැවැති මාධ්‍ය හමුවකදීය.

උතුරේ මහ ඇමැතිවරයා සිහින දකින බව පැවසූ සරත් ෆොන්සේකා මහතා විග්නේෂ්වරම්ලාගේ දේශපාලනය දිගින් දිගට දියවී යන බවද ඔවුන්ගේ බලාපොරොත්තු කිසිසේත් ඉටු නොවන බවද පැවැසීය. ඉකුත් 19 වැනිදා කිලිනොච්චියේ වෙඩි තැබීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී සරත් ෆොන්සේකා ඇමැතිවරයා මෙසේද පැවැසීය.

පිළියන්දල පැත්තෙන්, කළුතර පැත්තෙන් මේ මෑතකදි ඔය වගේ වෙඩි තැබීම් සිදුවුණා. උතුරේ වෙඩි තැබීම් පිළිබඳව මාධ්‍ය ලොකුවට හිතනවා. ප්‍රභාකරන් ඉන්න කාලේ මාධ්‍යයට හොඳයි. දැන් ඒවා නැහැ. ඇතැම් මැති ඇමැතිවරුන් ආණ්‌ඩුවේ සිටම ආණ්‌ඩුව විවේචනය කරනවා. එහෙම අයට දුම්මල ගසා එළවා දැමිය යුතුයි.

කිරිබත්ගොඩ රෝහල දියුණු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

මාලනි ප්‍රෙමතිලක මහත්මිය විසින් මෙහිදී කිරිබත්ගොඩ රජයේ රෝහලට උපකරණ පරිත්‍යාගයක්‌ සිදු කළ අතර රෝහලේ වෛද්‍ය අධිකාරි සුගිත් දර්ශන මහතාට සහ විශේෂ ශ්‍රෝණියේ හෙද නිලධාරි ප්‍රියංගනී සම්පත් මහත්මියට මෙම උපකරණ භාරදීම ඇමැතිවරයා අතින් සිදුවිය.

මෙම උත්සවයට බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී යු. ජෝර්ඡ් පෙරේරා සහ බුද්ධික මිහිපති මහතා ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

යහපාලන රජයේ පළමු කැබිනට් සංශෝධනය අද



සම්මුතිවාදී රජයේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද සිදු කෙරෙනවා.

සියලුම කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට අද (22) පෙරවරු 8.30ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම් දී ඇත්තේ.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (21) පස්වරුවේ අවසන් වරට සාකච්ඡා කර එකඟතාවන්ට පැමිණ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම හමුවෙන් පසුව සම්මුතිවාදී රජයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් ඊයේ රාත්‍රී 9.30ට පමණ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා.

මෙම සාකච්ඡාව ඊයේ රාත්‍රී 10.30 පමණ වනතෙක් පැවති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදී ඇති අමාත්‍ය ධුරවල වෙනසක් සිදු නොවන බවද අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ට දැනුම්දී තිබෙනවා.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුර බොහෝ දුරට විදේශ කටයුතු අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීරට හිමිවනු ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම මුදල් අමාත්‍ය ධුරය දැරූ රවී කරුණානායකට විදේශ කටයුතු අමාත්‍ය ධුරය හිමිවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගියදා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ තිලක් මාරපනට යළිත් අමාත්‍ය ධුරයක් පිරිනැමිය යුතු බවද අග්‍රමාත්‍යවරයා සමග පැවති මෙම හමුවේදී යෝජනා වී තිබෙනවා.

එමෙන්ම ගයන්ත කරුණාතිලකට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ඉඩම් අමාත්‍ය ධුරය හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

මුම්බායි ඉන්දියන්ස් තෙවැනි වරටත් ශූරතාව දිනයි



දහවැනි අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලසිත් මාලිංග ක්‍රිඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල් තරගාවලියේ ශූරතාවය දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2013 සහ 2015 යන වසරවලදීද ඔවුන් ශූරතාවට හිමිකම් කියා තිබේ.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී ඊයේ (21 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලකුණක තියුණු ජයක් අත්කර ගනිමින් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ජයග්‍රහණය සදහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. තරගය ජයගැනීම සදහා අවසන් ඕවරයේදී ලකුණු 11 ක් රැස්කරගත යුතුව තිබුණද නායක ස්ටීවන් ස්මිත් (51) ප්‍රමුඛ පූනේ පිතිකරුවෝ එම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට අපොහොසත් වූහ.

අවසන් ඕවරයේදී පූනේ කණ්ඩායමේ කඩුලු 3 ක් බිඳවැටුණු අතර ඉන් දෙකකටම හිමිකම්කී මිචෙල් ජොන්සන් තරගයේ ජයග්‍රහණය මුම්බායි කණ්ඩායම වෙත නතුකර දුන්නේය. පූනේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අජින්ක්‍යා රහනේගේ (44) කඩුල්ලත් සමගින් ලකුණු 26 කට ජොන්සන් දවාගත් කඩුලු සංඛ්‍යාව තුනකි.

පන්දු 50 කදී වාර්තා වූ ස්මිත්ගේ අර්ධ ශතකයට හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් වූ අතර පන්දු 38 කදි වාර්තා වූ රහනේගේ ඉනිම හතරේ පහර පහකින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට සමත් වූහ. පූනේ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් වූ ජයදේව් උනඩ්කට්ගේ සහ වොෂින්ටන් සුන්දර්ගේ පන්දු යැවීම හමුවේ මුම්බායි පිතිකරුවන්ට පළමු ඕවර 5 තුළදී කඩුලු දෙකක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 16 ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජයදේව් උනඩ්කට් ඕවර 4 ක් යවමින් ලකුණු 19 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කඩුලු ලබාගැනීමට නොහැකිවුවද මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන්හට දැඩි පීඩනයක් එල්ල කළ වොෂින්ටන් සුන්දර් සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කිරීමට සමත් විය.

සෙසු පිතිකරුවන් අසාර්ථක වනවිට සාර්ථක පිතිහරඹයක නිරත වූ කෘනාල් පාණ්ඩ්‍යා පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 47 ක් රැස්කරමින් පූනේ කණ්ඩායමට තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා මුම්බායි කණ්ඩායම රැගෙන ගියේය.

මුම්බායි ඉන්දියන්ස් – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 129
(රෝහිත් ශර්මා 24, කෘනාල් පාණ්ඩ්‍යා 47, ජයදේව් උනඩ්කට් 19/2, ඇඩම් සම්පා 32/2, ඩැනියල් ක්‍රිස්ටියන් 34/2)
රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 128
(අජින්ක්‍යා රහනේ 44, ස්ටීවන් ස්මිත් 51, මිචෙල් ජොන්සන් 26/3, ජස්ප්‍රීට් බුම්රා 26/2)

සතියකට ඩෙංගු රෝගීන් 2000ක්



නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග සතියකට ඩෙංගු රෝගීන් 2000ක් පමණ දෙනා වර්තා වන බව. ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කරයි.

මේ වන විට ඩෙංගු රෝගීන් 48368කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයිද මේ වන විටත් වාර්තා වී තිබෙන බව පැවැසේ.

පසුගිය වසරේදී මැයි මාසය වන විට මෙම සංඛ්‍යාව 9083ක් වූ බවද ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වාදේ.

මේ වර්ෂය තුළ රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාර්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 13,444ක් වන අතර පසුගිය වසරේදී (2016) වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 10715 වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ බවද ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වාදේ.

කෙසේ නමුත් මේ වන විට ඩෙංගු රෝග ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන පුද්ගලයන්ට අවශ්‍ය ඖෂධ සියල්ල සහ දැඩි සත්කාර ඒකක සූදානමින් තබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.