08 July 2017

මහා බාධක කොරල් පරයට යුනෙස්කෝවෙන් සහතිකයක්

 මහා බාධක කොරල්පරය ලෝක උරුම අවදානම් ලැයිස්තුවට එක් නොවන බව යුනෙස්කෝව නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය නොසිතූ ලෙස වරින් වර විරංජනයට ලක්වීම තුළ එය ලෝක උරුම අවදානම් ලැයිස්තුවට පත්වනු ඇති බවට විශ්වාසයක් පැවතුණි.

කෙසේ වෙතත්, එය අවදානම් ලැයිස්තුවට එක් නොකිරීම සඳහා යුනෙස්කෝව ගත් තීරණය ඔස්ට්‍රේලියාව මහත් ඉහළින් පිළිගෙන තිබේ. විශේෂයෙන්ම මහා බාධක කොරල් පරය ආරක්ෂා කිරීමට ඔස්ට්‍රේලියාව ගත් ක්‍රියාමාර්ග යුනෙස්කෝව පිළිගෙන ඇති බව ඔස්ට්‍රේලියාව කියයි. කෙසේ වෙතත්, අදාළ යම් යම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යුනෙස්කෝවේ විවේචනයක්ද පැවති බව සඳහන් වේ.

පෝලන්තයේදී යුනෙස්කෝ ලෝක උරුම කමිටුව විසින් මෙම නිගමනයට පැමිණ ඇති අතර, මෙය තම රට ලැබූ ජයග්‍රහණයක් බව ඔස්ට්‍රේලියානු පරිසර අමාත්‍ය ජෝෂ් ෆ්‍රයිඩන්බර්ග් පවසයි.

&අපි මේ සුවිශේෂී මහා පුදුමය ආරක්ෂා කිරීමට සෑම පියවරක්ම ගනු ලැබුවා. එය ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් තවදුරටත් ඉතා හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් පැවතීම අප ලැබූ ජයග්‍රහණයක්* යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ඩෙංගු වසංගතයෙන් මිය ගිය ගණන 230 දක්වා ඉහළට

රටපුරා ඩෙංගු  උණ රෝගය තවදුරටත්  තදින් පැතිර  යමින් තිබෙන අතර  මේ වන විට  එම රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 230 දක්වා  ඉහළ ගොස් ඇතැයි  සෞඛ්‍ය  අංශ  සඳහන්  කරයි.

තවද මේ වසරේ  ගෙවී ගිය මාස හයක කාලය තුළ දිවයිනේ විවිධ පළෘත් වලින් ඩෙංගු උණ රෝගීන් 80,000කට  අධික සංඛ්‍යාවක්  හමු වී තිබෙන බවද එය මෑත ඉතිහාසයේ  වැඩිම ඩෙංගු  උණ රෝගීන්  සංඛ්‍යාව බවද සෞඛ්‍ය  අංශ කියයි.

කොළඹ, ගම්පහ,කළුතර, මාතර මහනුවර, කෑගල්ල,පුත්තලම ආදී  දිස්ත්‍රික්ක ගණනාවකට  තවදුටත් ඩෙංගු  උණ තදින් පැතර  යමින් තිබෙන බවද සෞඛ්‍ය අංශ  වාර්තා සඳහන් කරයි.

උමා ඔය ව්‍යාපෘතියේ සමාගමට සුදුසුකම් නෑ / මූලික පරීක්ෂණයේදී හෙලිවෙයි

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කරන ඉරානයේ ෆරාබ් සමාගම මීට පෙර එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධ අත්දැකීම් නොමැති ඉදිකිරීම් සමාගමක් බව අනාවරණවී තිඛෙනවා.

දැනට කර ඇති සොයා බැලීම් වලදී මේ බව හෙළි වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය හා උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ සොයාබැලීමේ අමාත්‍ය අනු කමිටුවේ සාමාජික මහින්ද අමරවීර මහතා අද ප්‍රකාශ කළා.
ඒ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

මෙම ඉදිකිරීම් සමාගම උමා ඔය ව්‍යාපෘතිය සඳහා නිර්දේශ කර ඇත්තේ ඉරාන රජය විසින් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔවුන් විසින් උමග කැණීමේ දී යොදාගෙන ඇති යන්ත‍්‍ර එම කටයුත්තට නොගැලපෙන ඒවා වීම දැනට මතු වී ඇති ගැටලූවලට හේතුවක් බවයි අනාවරණ කෙරුණේ.

ශ්‍රීලනිපයේ නියෝජ්‍ය ඇමතිවරු 8 ක් මහින්ද සමග රහස් සාකච්ඡාවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් අට දෙනෙකු ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා.

එහිදී එම නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉදිරි දේශපාලන තීරණ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එළඹෙන අගෝස්තු මාසයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති අවබෝධතා ගිවිසුම අවසන් වනවා.

ඉන් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 18 දෙනෙකු සූදානමින් සිටින බවට ඉකුත්දා වාර්තා පළ වුණා.

ඊයේ හිටපු ජනාධිපතිවරයා මුණගැසී ඇත්තේ එලෙස ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් බවයි වාර්තා වුණේ.


පලස්තීනයේ හෙබ්රෝන් නගරය ලෝක උරුමයක් ලෙස නම් කරයි

බටහිර ඉවුරේ දකුණට වන්නට පිහිටි පලස්තීන නගරයක් වන හෙබ්රෝන් නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය (7) කටයුතු කළේය.

යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යා හා සංස්කෘතික සංවිධානය) සංවිධානය ඉපැරැණි හෙබ්රෝන් නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීම සඳහා රහස් ඡන්ද විමසුමක් ද පැවැත්වීය.

යුනෙස්කෝ සංවිධානයේ මෙම තීරණයත් සමඟ ඊශ්‍රායලය හා පලස්තීනය අතර නව අර්බුදයක් ද නිර්මාණය වනු ඇතැයි පැවසේ.  ඡන්ද විමසීමේදී හෙබ්රෝන් නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීමට පක්ෂව ඡන්ද 12ක් ද විපක්ෂව ඡන්ද 3ක් හිමිවිය. රටවල් හයක නියෝජිතයෝ ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොවූහ.

බටහිර ඉවුරේ හෙබ්රෝන් හි පලස්තීන ජාතිකයන් 200,000ක් පමණ ජීවත්වන අතර ඊශ්‍රායල ජාතිකයන් සිය ගණනක් ද එහි ජීවත්වෙති. යුනෙස්කෝ සංවිධානයේ මෙම තීරණයට විරෝධය පළ කරමින් එම තීරණය නින්දා සහගත ක්‍රියාවක් යැයි ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.

ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ඉන්දියාව පෙරමුණ ගනී

22 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මෙතෙක් පැවති තරගවලට අනුව පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටිනවා.

ඒ, රන් පදක්කම් 2 ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්.

චීනය දෙවන ස්ථානයේ රැදී සිටිනේ රන් පදක්කම් දෙකක් සහ එක් රිදී පදක්කමක් දිනා ගනිමින්.

එක් රිදී පදක්කමක් දිනා සිටින ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ නව වන ස්ථානය හිමිකර ගෙන සිටිනවා.


ඇමතිවරුන්ට වාහන මිළදී ගැනීමේ පරිපූරකය ගැන මල්වතු අනුනාහිමි කණස්සල්ලෙන්

විසදිය යුතු ජනතා ගැටළු රැසක් පැවතියදී මැතිඇමතිවරුන්ගේ වාහන සහ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම කණගාටුවට කරුණක් බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා.

මැතිඇමතිවරුන්ට වාහන මිළදී ගැනීම සහ නිවාස අලුත්වැඩියාව ඇතුළු කරුණු ගණනාවක් යටතේ (7) තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම පිළිබඳ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 07 පෙරවරුවේ අනුනාහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියාසිටියා.